කඳුකරයේ මතක 10
මගේ අම්මගෙ මුල් ගම වෙන්නෙ පානදුරේ. පානදුරේ කීවට පානදුර - මොරටුව දෙක මැද හරියෙ. ( පරණ ගාලු පාරෙ ) එහෙ ජීවිතේ ගෙවපු සීයා වැඩ කරේ වෝකර් සන්ස් කියන සමාගමේ. ඒ සමාගමට අයිති තේ වතු යායක් තමයි ඇටම්පිටිය වතු යාය කියන්නෙත්. ඉතින් මේ තේ වතු යායට විදුළිය සපයගන්න හදපු මේ පොඩි පවර් හවුස් එකේ විදුළි ඉංජිනේරු අංශයේ සේවය කරපු කෙනෙක් තමා අපේ සීයා. අදටත් ඒ පොඩි පවර් හවුස් එකෙ ප්‍රධාන ජල සැපයුම් නළයේ සීයගෙ නම කොටලා තියෙන හැටි බලාගන්න පුලුවන් ඒ පැත්තට යන කෙනෙක්ට. ඉතින් එහෙම ඒ ආව ගමන , කඳුකරේ ට වශී වුන සීයා ඇටම්පිටිය නගරයෙන් ඉඩම් අරගෙන ගෙවල් හදලා එහෙ පදිංචියට ඇවිත්. කොළඹ ප්‍රධාන බාලිකා පාසැල් වල ඉගෙනගත්ත අම්මයි ලොකු අම්මයිත් පස්සෙ ඇවිත් බණ්ඩාරවෙල පදිංචියට. ඔහොම ආව ලොකු අම්මා නම් ආයම කොළඹට ගියාට අම්මා නම් ඒ කාලෙ නුවරඑළියෙ කච්චේරියේ වැඩ කරපු තරුණ ලිපිකරුවකුට පෙම් කරලා කසාදත් බැඳලා දරු තුන් දෙනෙකුට අම්මෙකුත් වෙලා බණ්ඩාරවෙලම නැවතිලා තියනව.
අන්න ඒ දරු තුන්දෙනාගෙන් බාලම පුංචිත්ති තමයි මේ අකුරු ලියන්නේ. එදා ඒ පවර් හවුස් එක නොහැදුනානම් සීයා කඳුකරේට නො'එන්න තිබ්බා. අපිත් එහෙනම් මෙහෙම නො'ඉන්න තිබ්බා.
ඔන්න අපි ඉතින් පොඩි පවර් හවුස් එක ගාවට වෙලා බලා ඉන්නේ නුවරඑළියෙ හෝ වැලිමඩ ඉඳන් බදුල්ලට යන බස් එකක් එනකල්. බඩු බරකුත් උස්සගෙන පහලට ආව මාමා ආපහු යන්නේ අපිව බස් එකටත් නැග්ගුවට පස්සෙ. බදුල්ල බස් එකේ නගින අපි බහින්න ඕන ඇටම්පිටිය ටවුමෙන්. ඇටම්පිටිය ටවුමෙන් බහින අපි ඔක්කොම ඊට පස්සෙ ගෙදර එනවා. ගෙදර ආව ගමන් කරන්නෙ නැන්දා හදා දුන්න බත් වල රස බලන එක. අම්ම කෑ ගහන්නෙ ආං එතකොට.
හඩ්ඩො ටික යනවද නැද්ද නාගන්න...
බත් කෑම පැත්තක තියලා චන්ද්‍රානි අක්කා එක්ක අපි යන්නෙ නාගන්න. සීතලම සීතල වතුරෙන් අපිව නාවන චන්ද්‍රානි අක්කා අපේ ඇගවල් වල තුවායක් ඇඟේ දවටලා අවුවෙන් හිටවන්නෙ ඔලු වේලෙන්න කියලා. ඊගාවට උකුණු යුද්දෙ..
හතර අතේ නටලා නටලා උකුණොත් හදාගෙනද ආවෙ කියාගෙන උකුණු පනාවට තෙල් පොඩ්ඩක් ගාලා අවුවෙ හිටන් ඉන්න අපේ තෙත ඔලු සීරුවට පීරන්න චන්ද්‍රානි අක්කා හරි හපනි. ඔන්න වැරදිලාවත් උකුණෙක් අහු වුනොත් එදා මුලු දවසම අපේ ඔලු හම ගහන්න නම් අක්කා දෙපාරක් හිතන්නෙ නෑ.
අක්කා පූර්ණ අම්මා එක්ක උයා තිබ්බ කෑමත් , නැන්දා කෙහෙල් කොලේ ඔතා දුන්න කෑමත් අපි කන්නෙ හත් දවසක් බඩගින්නෙ උන්න ළමයි ගානට. ඔන්න කාපු ගමන් කරන්නෙ නටන්න පටන් ගන්න එක. අම්මගෙ කෑ ගැහිල්ල කණකටවත් නොගෙන එක පිම්මට අපි දුවන්නෙ කැලේට.
කැලේ කීවට ඒක පොඩි ලඳු කැලෑවක්. ඒක තිබ්බෙ අපේ වත්ත මායිමේ. කැලේ තිබ්බා පොඩි ලිඳකුත්. ඒ වගේම රස පළතුරු ගසුත්.
කැලේ කියන්නෙ අපේ පාරාදීසෙ. පාරාදීසෙට යන පාර වැටිලා තිබ්බෙ අපේ වත්ත මැදින් , දෙපැත්තෙ පුපුන ලිලී මල් පඳුරු මැදින් තිබ්බ පටු පාරකින් තමයි අපි පාරාදීසෙට ගියේ. ඒ කාලෙ අපේ වත්තේ තිබ්බෙ චන්ද්‍රානි අක්කා අර්සන් , ගනේෂ් වගේ අය ලවා හදපු එළවලු පාත්ති . ඒ පාත්ති කීපේ ඇරුනම අනිත් කොටස නම් තනිකරම මානා ලන්ද. තව තිබුනා එක පැත්තක යෝධ නිදිකුම්බා පඳුරු ගොඩක්. අපි ඒවට ඉස්සර කීවෙ හිටපං මචං කියලා. මොකද ඒවයෙ පැටලුනොත් ඉතින් පැටලුනාම තමයි ආය ගැලවෙනු බොරු. එතකොට ඉතින් හිටපං ම තමයි. පස්සෙ කාලෙක ඒ ඔක්කෝම සුද්ද කරලා එළවලු පාත්තිත් අහක් කරලා අපේ මුලු වත්තම තේ වත්තක් වුනා. අර්සන් , ගනේෂ් කීවෙ වතු වැඩ වලට අපේ දිහා එන දෙන්නෙක්. ගනේෂ් නම් දැන් ජීවතුන් අතර නැති වුනාට අර්සන්ව නම් අදටත් අපේ දිහා ගියොත් බලාගන්න පුලුවන් .
කැලේ කියන්නෙ අපිට දවසම වුනත් ඉන්න පුලුවන් තැනක්.
ටාසන් පදින්න වැල් වගේම ගස් ගෙවල් හදාගන්න පුලුවන් ගසුත් ඒ කැලේ සෑහෙන්න තිබුනා..
මතු සම්භන්ධයි.
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment