Showing posts with label ටිපී විලා අන්දර. Show all posts
Showing posts with label ටිපී විලා අන්දර. Show all posts

Sunday, 23 February 2020

හඳ බැලීම

මං ඉන්නෙ ඒරොප්පෙන්නෙ , ඉතින් දැන් මෙහෙට ගිරීස්ම කාලෙ. රෑ 9 වෙනකල් එලිය , ආයම පහුවදා 4.30 වෙනකොට එළිය වැටිලා ඔන්න ඔහොම දවල් කාලෙ වැඩි රෑ කාලෙ අඩුයි ! 

හා හරි ,  ඔන්න දැං ඊයෙ උදේ පාන්දර ( 17 ) මං නිකං ලාවට ඇස් ඇරල බලනකොට දෙයියනේ මේං හඳ මාමා ජනේලෙ ගාව හිනාවෙනව. මේ කාලෙ ජනෙල් ඇරගෙන තමා අපි නිදියන්නෙ. මං ඉතින් දඩ බඩ ගාල පොඩි එකාව ඇහැරවල කීවා , 

පුතේ පුතේ ! නැගිටින්න ආං හඳ කියල , 
ආහ්හ් අම්මේ ආහ්හ්හ්... කියල කොහොම හරි බාගෙට ඇහැරගෙන කොල්ල හඳ බලල එහෙම්ම වැටිල ආපහු නිදි. 

මං ඉතින් තනියම හඳ බලන එක හරි නැති නිසා අපේ මිස්ටර් ඒයි ටත් කතා කරා හඳ බලන්න ! 

මේ ඒයි , ඒයි , නැගිටින්නකො ! අර හඳ , 

ඈහ්හ් මොන හඳ ද ? 

හඳ අනේ හඳ ! පායලා අර බලන්නකො ! 

වෙලාව කීයද ? 

4.40 , නැගිටින්නකො. 

අයියෝ දෙයියනේ , මේ මළ පාන්දර මොන හඳක්ද අනේ ! නිදාගන්නකො

බෑ බෑ , ආය ඔහොම හද දකින්න වෙන්නෙ නෑනෙ. නැගිටින්නකො , 

හරි ඔන්න කොහොම හරි ඒයි මහත්තයා නැගිටල හඳ බැලුව. 

තවත් මං හඳේ සිහියෙන් ඉන්නකොට , කිසිම හිතක් පපුවක් නැතුව ඩෝං ගාල ජනේලෙ වහල බලන මගුලක් බැල්කනියෙන් බලාගන්නවාහ්හ්හ්. මං නිදාගන්නව  කියල උන්දැ නිදා ගත්තා. 

මං ඉතින් කැමරාවත් උස්සගෙන බැල්කනි ගත වෙලා පොටෝ කීපයකුත් අරන් හඳ දිහාවෙ බලා ඉන්නකොට , ඔන්න කුරුල්ලොත් නැගිටල එහෙ මෙහෙ යනව. මාත් අන්න මරු ශොට් එක හඳ හරහා කුරුල්ලො යනකොට ටාං ගාල ගන්නෝන කියල හිතල බැල්කනියට වෙලා කැමරාව මානගෙන හිටියා. 

ඔන්න මං ඉන්නවා ඉන්නවා , 5 ඉඳන් ඉන්නවා ඔහෙ නෑ ඒ ගමන එකෙක්කත් , දැං 5.30 යි. ඒ ගමන මං තේ හදන්න වතුර එක ගෑස් එකෙන් තියල ආයම කැමරාව මානගෙන ඉන්නව. 

මෙන්න ටිකකින් කුරුල්ලො ආපහු පියාඹනව. හරි දැන් තමා වෙලාව කියල මං මෙලෝ සිහියක් නැතුව කැමරාව මානගෙන ඉන්නකොට එක පාරටම මගෙ පිටිපස්සෙන් , 

ඒයි ! මේං වතුර උතුරනවා ! මොන ලෝකෙ ද ඉන්නෙ ? 

කියපි , 

කියන්න බොහෝම කණගාටුයි මිත්‍රවරුනි , 
වතුර උතුරනකොටම කුරුල්ලො පියෑඹුවා ! මගෙ අත ගැස්සුනා ! ෆොටෝ එක කැලේ ගියා ! 
ඒයි මහතා වෙනදට වඩා සෑහෙන්න කලින් වැඩට ගියා ! 


වස්තර !

ඒයි මේහ්හ්හ් 

ඇයි මං වැඩක ඉන්නෙ , 

වැඩක් උනාට කමක් නෑ පොඩි පස්නයක් , පොඩි කීවට පොඩිමත් නෑ.. 

අනේ මේහ්හ් , අනුන්ගෙ වස්තරයක් නම් පස්සෙ කියන්න මං මෙ වැඩ . 

අනුන්ගෙ වස්තර නෙමෙ  මනුස්සයෝ තමුන්ගෙ  වස්තරයක් ගැන කියන්න ගත්තෙ  , ආං අම්මා අම්මගෙ රතු සායක් එක්ක ඔයාගෙයි පුතාගෙයි ඇඳුම් වගයක් හෝදන්න දාල දැන් ඔක්කොම බතික් වෙලා 😕😕

ඈහ්හ් මොකක් ? හොඳ ඇඳුමුත් චොර වෙලාද ? 

හොඳ කියන්නෙ මෙහෙමයි ! අර ඔයා අලුතෙන් ගත්ත ටී සර්ට් දෙකයි , පුතාගෙ අලුත් ටී සර්ට් 4 යි. ඔක්කොම 6 යි අනිත්ව ගෙදරට අඳින ඒව දැං ඒ ඔක්කොම එක වගේ. අලුත් පරණ හොයන්න බෑ වගේ. අනික දැං ඒ ඔක්කොම ලස්සන ලා රෝස පාටක් වෙලා... 🙄🙄

මගුලයි ! $@&@@$@@"@&$@@"" 

ඒයි හෙලෝ හෙලෝ.... 

බීප්ප්ප්ප්ප්ප්ප්




පඩිපත !

පඩි පත , වියදම හා මම ! 

දැන් සාමාන්‍යයෙන් කෙනෙක් පඩියක් අතට ගත්තම කොච්චරක් වියදම් තියනවද , නේද ? 

අරකට ගෙවන්න මේකට ගෙවන්න , කුලියට නම් ඉන්නෙ ගෙවල් කුලිය , ලයිට් බිල් වතුර බිල් , ළමයින්ගෙ ස්කූල් ෆීස් , ක්ලාස් ෆීස් , ඉන්ටර්නෙට් බිල් , ඔය අතරට මාසෙ කෑම බීම වියදං , දෙයියනේ වියදං වියදං වියදං !! කීයකට කියල ගෙවන්නද ? ඔලුව ඔල්මොරොන්දන් වෙනවනෙ ඕවට අය වැය හදලා , 

ඒ අතින් හිතෝතුනි මං හරීම වාසනාවන්තයි , මට නෑනෙ ඔය එකක්කත් , පඩිය ගත්තාම මට තියෙන්නේ එකම එක දෙයක් කරන්න විතරයි ! 
ඒ තමයි මුළු පඩියම මිස්ටර් ඒයි ට දෙන එක ! 

ඒක වෙන්නෙ මෙහෙම , 

මාසෙ දෙවෙනි දා  ඉදන් ඒ මාසෙ 30 හෝ 31 වෙනකල් මං ඒයි මහත්තයා ට අරකට , මේකට ,අනිකට , අහවල් එකට , කිකිය එක එක ඒවට ණය වෙනවා. ඊට පස්සෙ මාසෙ 1 දට පඩිය අරන් ඒ ණය ගෙවල දානව. 

හැබැයි සූටිම සූටි ප්‍රශ්නයක් තියනවා. ගොඩක් වෙලාවට පඩියට වඩා ණය වැඩිවෙන වෙලාවල් එනව. 

ආං ඒ වෙලාවලට මීට අවු. 11 මාරකට කලින් අපේ කසාදෙට අස්සන් කරපු සාක්කිකාර මහත්තුරු දෙන්නව මට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒ දෙන්න ඉස්සරහනෙ දුක සැප දෙකේම ඉන්නව කියල කසාදෙ අස්සන් කරේ. ඒ විතරක් නෙමේ ණය තත්වෙ පඩියට වඩා සෑහෙන්න වැඩි වුනාම සාක්කිකාර මහත්තුරුන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පවා අපිට මතක් වෙනවා ! 

හරිම සිම්පල් ! 

පඩි ගත්තා පඩියම දුන්නා ! 
අපිට නෑනෙ ඔය ඔලුව ඔල්මොරොන්දන් කරවන තරමේ අයවැය ලේඛණ. ! 


අතහැරීම

මං ඔය තිස්සේම කියනවනෙ , ( දන්න අය දන්නවා ) වේදනාවෙන් අමාරුවෙන් දෙයක් අල්ලගෙන ඉන්නවට වඩා ඒක අතෑරල දැම්මම හරි සනීපයි කියලා ! 

මං ඉතින් මගේ පුද්ගලික ජීවිතේ එහෙම අතෑරපු දේවල් හා ඒ තුළින් ලබපු සැනසීම් එහෙමත් තියනවා. ! 

අද උදෙත් ඇත්තටම මං එහෙම වේදනාවෙන් අල්ලන් හිටිය දෙයක් අතෑරියා ! ඒක උනේ මෙහෙම ! 


ඔන්න අපේ නැන්නම්ම පිඟන් බඩු තියන කබඩ් එකක් අස් කරනවා උදේ , එයා පුටුවක් උඩ නැගං හරි වැඩ , මං උදේ පාන්දර 8 ට විතර ( ඔවු 8 කියන්නෙ නිවාඩු දවසක පාන්දර ) නිදි ගැට කඩ කඩ ඔතනින් යනකොට , 

" පුතේ ! අනේ මෙන්න මේ වීදුරු සෙට් එක අල්ලගන්න මං මෙතන පිහිනකල් " කීවා. 

මාත් ඉතින් "හා අම්මේ " කියලා ඒ වීදුරු සෙට් එක අල්ලගෙන හිටියා. 

ඕං ඔහොම අල්ලගෙන ඉන්නකොට ලාවට අතක වේදනාවක් ආවා. මට ටග්ගාල මතක් වුනා වේදනාව ගේන සියල්ල අතෑරිය යුතුයි කියලා , 

ඉතින් මං අතෑරිය ! 😕😕😕




මාර්ශල් ආර්ට්ස්

මාර්ශල් ආර්ට්ස් හා මම 


දන්න දා ඉඳන් මම මාර්ශල් ආර්ට්ස් කරනා අයට බය ය. ඒ විතරක් නොව දඩාර ඇඟපත සහිත මිනිසුන්ට ද බය ය. ඊට හේතුව මෙහෙමය , 

මම හුංචං බංචං පුංචං කාලේ අපේ ගමේ සේන නම් මනුස්සයෙක් විය. අඩෝව්ව් කවුද ඩෝ චංඩීහ්හ් ?? මමත් කලුපටි තමා ඩෝ.... ඉයාහ්හ් උවාහ්හ්හ් චියාහ්හ්හ් දඩාංං බඩාංංං ලෙසින් සරමද පැත්තකින් උස්සාගෙන එකල මම නොදන්නා බොහෝ සිංහල වචනද කියමින් මේ මිනිසා ටවුම මැද සමයං පාන්නේය. ඒද නිකං නොව නාවර පෙරාගෙන කට ගොන්නක් බීගෙන ය. අපේ අම්මා මම මොන අටමගලක් කරත් එකල කියන්නේ ඉන්නවාහ්හ් මම
සේනට එන්න කියනව කියාය. ඉතින් මම සේනට බය ය. සේනට පමණක් නොව කලු පටි දාරී සියල්ලන්ටම බයය. ඒ සියල්ලෝම මට පේන්නේ ඉයාහ්හ්හ් උවාහ්හ්හ් චියාහ්හ්හ් කියමින් ගහන පිරිසක් ලෙසය. 

අනික,  අපේ අයියාද එකල ඔය එක එක වස්තර ඉගෙන ගන්නට ගිය අතර ඔහුගේ පරීක්ශනාගාර මී පැටවා ලෙස එක එක ආකාර පහරවල් මට ලැබෙන්නේය. ඒ එකක් වත් මගේ ඇඟේ වදින්නට ඔහු එල්ල නොකරන අතර මා බෙරිහන් දෙන්නේ ඔහු මගේ අත පය හතරම කඩා බෙල්ලද ඇඹරූ ලෙසට ය. කිරි හාමි මෙන් මා මලා කියා වැළලෙන්නට මම එකල බොහෝ සමත් ය. ඉතින් මට කොහොමත් ඔය මාර්ශල් ආර්ට්ස් පේන්නට බැරිය. 

ඒයි මහතා මා බලන්නට ආ පළමු දවසේ එක වදනක් වත් හරියකට කතා නොකල අතර පහුවදාම ජංගමයාට පණිවිඩයක් එවා ඔයා මට කැමතිද ? යි ඇසූ අතර ඊට පිළිතුරු දෙන්නට පෙර මම පෙරලා කෙටුවේ අයියේ ඔයා මාර්ශල් ආර්ට්ස් කරල තියනවද කියාය. එයින් මහා උද්දාමයට පත් එතුමා , ඔවු ඔවු , මම අහවල් අහවල් අහවල් අය ලඟ අහවල් පටි ලබාගෙන ඇත්තෙමි යි කියූ අතර , එසැනින් ම' පියා අමතා මට මේ මගුල කරන්නට බැරි වග මම කීමි. හේතුවද කීමි. 

ඉන් මොහොතකට පසු ඒයි මහතාගේ අක්කා මා අමතා අනේ නංගි මාර්ශල් ආර්ට්ස් කියන්නෙ දකින දකින එකාට ගහන එකක් නෙමේ , ගහනකොට ආරක්ශා වෙන්න තියන එකක්. ඒ නිසා බය වෙන්න එපා කියා මහා දේශනයක් දුන් අතර , ඒයි මහතා හා දීග නොගියොත් මා මගේ කේන්දර මහතා කියා ඇති පරිදි සදා තනිකඩ වන වග කියමින් අම්මා විලාප තියන්නට විය. ඉතින් මම ඒයි මහතාගේ ජීවිතය කාබාසිනියා කිරීමට එදා තීරණය කල අතර එය ඒ පරිදිම විය. 

කෙසේ උවත් කාලය අවු. 11 මාරක්ම දෙයියනේ කියා ගෙවී ගිය අතර මගේ සියලු ගොං මොට්ට වැඩ ඔහු උහුලා ගත්තේ වදනක් හෝ නොකියාය. ඔහුහේ සහෝදරිය නිරන්තරයෙන් කියනා පරිදි මම පොඩි එකී වගත් මා කරනා අමන වැඩ ඔහු ඉවසීම කල යුතුත් විය. 

මින් මාස කීපයකට පෙර මම ගොංම ගොං අමන වැඩක් කල අතර එයින් ඒයි මහතාට සැළකිය යුතු මුදලක් පාඩු විය. ඒ පාඩුව කොහොමත්ම මකා ගත නොහැකි බව මම දැනගත් විට මගේ කකුල් වෙවුලන්නට වූ අතර දැන් නම් සිකුරටම අර ඉගෙනගත්තා කියූ මාර්ශල් ආර්ට්ස් වල දිග පළල බැලීමට සිදුවන වග සිතී මට දෙළොව රත් විය.  ඊට කලියෙන් සියදිවි නසාගැනීම හොද බවද සිතිනි.

කිසිවක් නොවුන පරිද්දෙන් නිවසට පැමිණි ඒයි මහතා මොකෝ අඬන්නේ කියා ඇසූ අතර , ඔයා මට ගහන්නෑ නේද ? කියමින් අඩන්නට වූ අතර , සමයං ද අනේ , ඔයාට ගහන්න තරම් මම පහත් මිනිහෙක් නෙමේ
ඒත් අනේ වදින්නං ආයනම් ගොං වැඩ කරන්න කලින් අහන්න. හැබැයි මට යස්ස කේන්ති, ඒ නිසා බෙලි කටු මල්ල නම් හොල්ලන්නෙපා යි කීය. 

කොහොමත් කවදත් මම එතුමා සමඟ කට ගහන්නේ නැති අතර , කඳුළු අතරින් , ඇත්තටම කියන්න , අර ඔයා අර දන්නව කීව මාර්ශල් ආර්ට්ස් වලින් මට ගහන්නෑ නේද ? යි ඉතා ගොං ආකාරයට ඇසීමි. 

එය ඇසූ ආකාරයෙන්ම මගේ මානසික මට්ටම තේරුම් ගත් ඔහු , මාර්ශල් ආර්ට්ස් හරියට ඉගෙනගත්ත කෙනෙක් කවදාවත්ම නිකරුනේ අත උස්සන්නෑ , ඒ නිසා ඔය හොටු පිහිදගන්නවා යි කීය. 

ඇත්තටම මම මම එදා දුටු ඒ ඉවසීමටත් , ඒ හික්මීමටත් සදා ණයගැතිය. මට අර පටි මේ පටි තියනවාය කියා අඟවන බොහෝ අයට ඒ පටි ඇත්තේ වචනයට පමණක් වග මම තේරුම් ගත්තේ එදාය. සැබෑ පටි ඇත්තෙකු කවදාවත් එය නිකරුනේ භාවිතා කරන්නේ නැත. විශේෂයෙන්ම දුර්වලයෙකුට පහර දෙන්නේ නැත ! 





කස කසා

කස කසා ඇට ! 

මිතුරනි , ඇත්ත වශයෙන්ම අපේ නැන්නම්මාට පැටලුනේ කෝමාරිකා පමණක්ම නොවේය. උන්දෑට තව එක එක ඒවා පැටලී ඇත්තේය. 

මීට ටික කාලයකට පෙර මම අතිශය බඩගින්නක් සහිතව නිවසට පැමිණි අතර ඒ එනවිට අම්මා රස කෑම
සාදා අහවර කොට තිබුනාය. මෙලෝ සිහියක් නොමැති මම කෑම බෙදාගනිමින් සිටියදී කුස්සියට පැමිණි ඇය , 

මේ සැරේ අපේ කොල්ලා ගෙනත් තියන අබ නම් අන්තිමයි පුතේ , පුපුරන්නෙත් නෑ ඒ මදිවට පෙන වගෙත් එනවා යි කීවාය. එලෝ මෙලෝ නැති මම , 

ඈහ්හ් ? අම්ම කොයි බෝතලෙන්ද දැම්මේ ? ඇසීමි. 

ඇය එවිට , 

පොඩි බෝතලේ ඉවර වෙලා නිසා මම අර උඩ කබඩ් එකේ තිබ්බ ලොකු බෝතලෙන් දැම්මේ , අර ඔයා කලරින් බෝතල් එහෙම තියල තියන තැන, යි කීවාය. 

කෑම බෙදාගැනිල්ල පැත්තක දමා මම වහා ගොස් ඒ කුමන බෝතලයක් දැයි බැලූ අතර , මගේ සැකය නිවැරදි කරමින් එය බීම සාදන විට ගන්නා කස කසා බෝතලය විය. 

මුවට නැගි සිනහව වහා තදකොටගෙන මම , 

අම්මේ අම්මට ඒකෙ අමුත්තක් එහෙම තේරුන්නැද්ද ? යි ඇසුවෙමි. 

ඇය , වෙනස් නිසානෙ මම මේ අපෙ එකාට බැන බැන ඉන්නෙ, මොන ජරාවක් උස්සන් ඇවිල්ලද මන්දා කියල , කීවාය. 

මම , අම්මේ අබ පැකට් එක තිබ්බේ අර සෝයාමීට් එහෙම තියන තැන අනිත් කබඩ් එකේ , අම්මා දාල තියෙන්නෙ කස කසා ඇට. කීමි. 

ඇය , අපොයි සංසාරෙ , මදෑ මම හොදට අබ දාල තෙම්පරාදු කරල පරිප්පු හැදුව ඔයා ආස නිසා, කී අතර
ඇගේ සිත සනසමින් මම , ඔන්නොහෙ කමක් නෑ අම්මේ කොහොමත් බඩටනෙ කීමි. 

මිතුරනි , නැන්නම්මාගේ හිත නොරිදනු වස් , මම තරමක් සෙවල සහිත වුවද රසෙහි ලොකු වෙනසක් නැති කස කසා දමා තෙම්පරාදු කරන ලද පරිප්පු සමගින් බත් කෑවෙමි. 

( ඈ සැබෑ ලෙසම මට ආදරේ බැවින් ඇගේ පුතා කැමති කිරි පරිප්පු නොසාදා මා වෙනුවෙන් එදින තෙම්පරාදු කල පරිප්පු සෑදුවාය. ඉතින් එය කටේ තියනු බැරි තරම් නීරස වුවත් මම කනවා කනවාමය. එපමනක් නොව මාර රහයි අම්මේ කියාද කියනවාමය. ජීවිතය තුල වඩා වැදගත් අනෙකාගේ සිත සතුටු කිරීම පමණමය ! ) 



කෝමාරිකා සමයම

කෝමාරිකා සමයම 


සහෝදර මහතාටත් ඔහුගේ පොකැට්ටුවටත් දින දෙක තුනක් දෙයියගේ කියා පරාල ඇණයක් වීමෙන් පසුව මම  යලි නිවසට පැමිණියේ ඒයි මහතාටත් එතුමාගේ මවටත් ටිපී මහතාටත් ඇණ වීම පිණිසය. නිවසට ගොඩ වූ සැනින් මහත් වූ විස්සෝපයෙන් ටිපී නීතීඥ්ඥ  මගේ නැන්නම්මා මහත්මිය අනේ !! කුඩයක් නැතුව අවුවෙ ගිහින්,  පාට අඳුරු වෙලාහ්හ් කියමින් හිස අත බැඳගෙන විලාප දෙන්නට වූයෙන් කොහොමත් සිහි විකල් මම තවත් ඔල්මොරොන්දන් වී කන්නාඩිය සොයා ගියෙමි. 

කොහොමත් සුන්දර සුකොමල ( මූණේ තැනින් තැන කුරුලෑ කඩා කලු ලප සහිත ) මගේ මූණේ ඒ කියන තරම් අජූවක් මට නොපෙනුන අතර ගෙට ගොඩවූ සැනින් හැකර කට පාවිච්චි කිරීම නොහොඹිනා බැවින් , අනේහ්හ්හ් ඔවු කළු වෙලා තමාහ්හ්හ්හ් කීමි. එකී වදන් කණ වැකි නැන්නම්මානෝ වහා මට සමීප වෙමින් ඕකට හොඳම බෙහෙත කෝමාරිකා , කෝ මම කියන එකක් අහනවෑ කවදාවත්ම , අවුවෙ යනව තිස්සෙම! ආදී ලෙස කියමින් , ඇගේ බැල්කනි කෝමාරිකා වගාවෙන් කෝමාරිකා කොලයක් ( ඒකට කියන්නෙ කොලේ වෙන්න ඕන - කොහොමරි ඒකෙ මදේ තමා ගන්නෙ ) කඩාගෙන ආ මේන්න මේක ගාගන්න යි කීවාය. 

ඇගේ උපදෙස් පරිදි ඒ අනුව මම නෑමට පෙර කෝමාරිකා යුශ ඇඟ පුරා උලා ගනිමින් , නානවිට කෝමාරිකා යුශ ටබ් එකට දමා එයින් නාමින් , නෑමෙන් පසු යලි කෝමාරිකා යුශ ඇඟේ උලමින් සමයං පාන්නට වීමි. ඒ අනුව සීග්‍රයෙන් නැන්නම්මා ගේ කෝමාරිකා වගාව ඉවරවීමේ ලකුණු ද පෙනෙන්නට විය. එන පොට හොඳ නැති වග තේරුම් ගිය එතුමිය ඊයේ හවස කුස්සියේ මේසය උඩ කොහෙන්දෝ කඩාගෙන ආ කෝමාරිකා කොල තොගයක් තබා තිබූ අතර , ඒ ගැන විමසන්නට පෙරම එතුමිය , 

මේ මං ඔයාට අර පහල පාක් එකෙන් කෝමාරිකා කඩාගෙන ආවා. යි කීවාය. 

ඒ අනුව අද උදෑසන ඒ ගෙනත් තිබූ කෝමාරිකා කොලයක් දෙකට පලා බැලූ මට අමුත්තක් තේරුන අතර , ඒවායේ සාමාන්‍ය කෝමාරිකා වල මෙන් සෙවල ගතියක් නොවීය. කෝකටත් අවධානමක් ගන්නට පෙර ආරක්ශා විය යුතු බැවින් මම වහා ඒයි මහතා ඇමතුවෙමි. 

මේ ඒයි නැගිටින්නකො , පොඩ්ඩක් අත දෙන්නකො.. 

මොකද අනේ ! නිදාගන්න දෙන්නකො මළ වදේ ! 

නිදාගන්න බැරියැ රෑට දැං උදේ , මේහ්හ් මෙන්න මේක පොඩ්ඩක් අතේ ගාගන්නකො , ගාගන පොඩ්ඩක් ඉන්න , කසනව වගේනම් කියන්න , කසන්නෙ නැත්තං පලු දාන්නෙ එහෙම නැත්තම් කියන්න. එතකොට මම මේක ගාගන්නං.. 

මොකක් ! එන්නෑ ලඟට !!! යනව ඕක අරන් මෙතනින් , උලන්නෑ මගෙ ඇඟේ ඔය එක එක රෙද්දවල්.. කියන හැටි විතරක් , පලු දාන්නැත්තං කියන්න කියන්නෙ ! මං පරීක්ශනාගාර මීයෙක්ද ? අපෙ අම්ම තමා ඔය විකාර ඔයාට පුරුදු කරවන්නෙ. යන්න යන්න මෙතනින්..

මම බොහෝ සේ බැගෑපත්ව , 

අනේහ්හ්හ් , එහෙනම් මේක ඉඹල බලල හරි කියන්න මේ කෝමාරිකා ද නැද්ද කියල , 

ඒයි මහතා මේඑ මොන කරුමක්ද මූඩ් එක ඔන් කරගනිමින් , 

කෝ දෙනව බලන්න , මළ වදේ උදේ පාන්දර , 
සමයං ද ? මේ කෝමාරිකා නෙමේ , මේ අර පහල පාක් එකෙ ලස්සනට වවල තියන කැක්ටස් වගේ ජාතියක් ! 

මිත්‍රවරුනි ! මම කෝමාරිකා ඉලීම නතර කලෙමි ! 


ඇන්ටිබයොටික්

ටිපී මහතා හා ඇන්ටිබයොටික් 

පහුගිය බදාදා ටිපී මහතා පාසලේ සිට නිවසට ආවේ කැස්ස වැඩි කරගෙනය. අඟහරුවාදා ලාවට තිබූ හෙම්බිරිස්සාවත් හොඳටෝම වැඩි කරගෙනය. උණක් නොතිබූ අතර කැස්සෙහි අතුරු ප්‍රතිඵලය වූයේ වමනය දැමීමය. බ්‍රහස්පතින්දා වනවිට කැස්ස හා හෙම්බිරිස්සාව දරුණු තත්වයට හැරී තිබූ අතර කැස්ස එන ගානේ වමනය කිරීමද පැවතුණි. ටිපී මහතාගේ වෛද්‍යතුමිය කැස්සට පැණි හා බෙහෙත් දුන් අතර කැස්ස වැඩිවූවොත් ඇන්ටිබයොටික් පටන්ගත යුතු බව කියා එයද දෙන ලදී. 

ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ටිපී මහතා බෙහෙත් බී නිදාගත්තද සිරිත් පරිදි එතුමාගේ මව දරු පැටවා ගැන විස්සෝප වෙමින් අඬමින් , ඒයි මහතාට දොස් පරොස් කියමින් , යුරෝපා දේශගුණික වෙනස්වීම් වලට බනිමින් , නොනිදා සිටි අතර , දරු පැටවාට කැස්සක් එන ගානේ පපුව අතගාමින් හොටු පිහන්නටද අමතක නොකලාය. පාන්දර 1 .30 ට පමණ ටිපී මහතාට දරුණු කැස්සක් ඇතිවූ අතර , මව වහා දරු පැටවාව තුරුළට ගෙන පපුව අතගාන්නට වූ අතර , ටිපී මහතා අම්මේ ඕක්ක්... යැයි කියා නිම කිරීමට පෙරම ඕක් දැමූ අතර , මවත්, පියත් , ඇඳත් , ඕක් වලින්ම නෑවී ගියේය. 

 ටිපී මහතාව සෝදා පවිත්‍ර කොට වෙනත් ඇඳුම් ඇන්දවා , ඔවුන් ද සෝදා පවිත්‍රව , ඇඳ රෙදි මාරු කොට සියළු වැඩ කටයුතු අහවරව යලි නිදන්නට සූදානම් වන විට පාන්දර 3 පමණ විය. වෛද්‍යවරිය ගේ නියමය පරිදි සිකුරාදා උදෑසන සිට ඇන්ටිබයොටික් දීම ආරම්භ කරන්නට තීරණය වූ අතර නිවසේ යම යුද්ධය පටන් ගත්තේ එවිටය. 

ඇන්ටිබයොටික් තරයේ ප්‍රතික්ෂේප කළ ටිපී මහතා සිතා මතාම එය අප්‍රිය කරමින් හැන්ද ලන් කරන්නට පෙර වමනෙ දමමින් විකාර නටන්නට වූ අතර ඒ වෙද්දී ඉවසීමේ සීමාවේ අග්ගිස්සේ සිටි එතුමාගේ මව හැන්ද බිම දමා අඬන්නට විය. සිය මවගේ කඳුළු දුටු ටිපී මහතා අකමැත්තෙන් මුත් ඇන්ටිබයොටික් බොන්නට හිත හදාගත් අතර අප්පිරියාවෙන් බිවූ නිසාවෙන්ම ටිකකින් එයද ආපසු දමන ලදී. අඬා වැටෙමින්ම ඒයි මහතා ඇමතූ මව , අනේ පුතා බෙහෙත් බොන්නෑ ඒයි මට තේරෙන්නෙ නෑ කොහොමද පොවාගන්නෙ කියලා. අනේ බෙහෙත් ඇඟට වැටුනෙ නැත්තන් තව ලෙඩ වැඩිවෙයි, කියමින් කියවන්නට වූ අතර කෝ පුතා යි එතුමා ඇසීය. මේ ලඟ ඉන්නවායි මව කියූ අතර , කෝ දෙන්නකො ෆෝන් එක එහෙනම් කියා එතුමා කීය. 

මව විසින් පුත්‍රයාට දුරකතනය ලබා දුන් අතර , එතුමා විසින් , 

චූටි පුතා මේ අහන්නකො , මං දැං අම්මිගෙ ෆෝන් එකට පොඩි වීඩියෝ එකක් එවනවා. ඔයා ඒක අම්මිට කියල ටීවී එකට දාගෙන බලන්නකො. කෝ අම්මිට කියන්න ඒක දාන්න කියල , මං කියල දෙන්නම්කො ඒකෙ විස්තරේ. කී අතර ඒයි මහතා විසින් එවා තිබූ වීඩියෝව මව විසින් විකාශනය කරවීය. ටිපී මහතා ඇස් දල්වමින් වීඩියෝව නැරඹූ අතර ඒයි මහතා විසින් දරු පැටවාට එය සවිස්තරාත්මකව කියා දෙන ලදී. 

වීඩියෝව හා දුරකතන සංවාදය අහවර වූ සැනින් ටිපී මහතා ස්වකැමැත්තෙන්ම ඇන්ටිබයොටික් බොන්නට පෙරට ආ අතර කිසිම අප්‍රියතාවක් නොමැතිව එක උගුරට ඇන්ටිබයොටික් බිවේය. ඉන් පසුව හාප්ශීට් කොල වල එතුමා ඇන්ටිබයොටික් වල ක්‍රියාකාරීත්වය සිතුවමට නැගූ අතර ඒ සියල්ල ගැන එතුමාගේ මව චිත්තප්‍රීතියෙන් පසුවීය. සියල්ල අවසන ටිපී සිතුවම් වල ඡායාරූපයක් ඒයි මහතාට යැවූ මව දරු පැටවා බෙහෙත් බිවූ බවද පවසන ලදී. ඊට පිළිතුර ලෙස ඒයි මහතා , 

ඒකට කියන්නෙ ආදරේ කියල. දරුවට කියා දෙන්න ඕන දරුවට තේරෙන විදියට මැණිකෙ , කීය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 



නිවසේ සාමය

මේහ්හ් , ඒයි, දෙවියො කේක් හදන්න පටන් අරන් අපිට හෙන කරදරේ.... 😕😕

ඈහ්හ් මොකක් ??? 

නෑ මේ මං කීවෙ අද හිම වැටෙනව.. 

ඔවු ඉතින් ඕව අපිට නවත්තන්න පුලුවන් දේවල් නෙමේනෙ... 

අන්න ඒකනෙ ඒයි, දැං බලන්න රුපියල පාවෙනව , උද්දමනය ඉහල ගිහින් , ගොටුකොළ වගාව පාලු වෙලා , ඊයෙ චිකන් එකට ලුණු වැඩියි ලාවට , ඒ අස්සෙ මෙහෙට කරපිංචා එවන එක නවත්තලා මොක්කුද සත්තු වගයක් හිටිය කියලා.... බ්ලා..... බ්ලා... බ්ලා.... 

මේහ්හ් , ඔයා උදේ පෙත්ත බීවද ?? 

😡 ඔවු මනුස්සයෝ.. ගෑස්ට්‍රික් වැඩිවෙලා එහෙන්... 

හරි හරි , දැං ඔය මොකාටද එන්න හදන්නෙ ?? 

නෑ මං මේ කීයන්න ගියේ.. අද නිවාඩුවක් දාන්න හිතයි අප්පා... පාරවල් වහයිද දන්නෙත් නෑනෙ... 

ආ.. ඔයා නිවාඩු දාල ඉන්න.. හැබැයි එකක්, අම්ම උදේම මාත් එක්ක මළ පන්නං ඉන්නෙ , ඕක යන්නෙ ඔයාගෙ පිටින්, 
මාවලස් නේ.. 🥰🥰 , කැමති නං නිවාඩුවක් දාල ගෙදර ඉන්න, නැත්තං ඉක්මනටම ලෑස්ති වුනොත් මම පුතාවත් දාං ඔයාවත් දාං යන්නං.... මොකෝ කියන්නෙ ?? 


නෑ නෑ , මං නිකං කීවෙ නිවාඩු කතාව.. ඔයා ගිහින් දැම්මෙ නැතත් මං පාරෙ බස් එකේ හරි අද වැඩට යන්නං ඒයි.. 🙄🙄🙄

😂😂😂😂😂😂

( නෑ මේ නැන්නම්මට බයේම නෙමේ.. කෝකටත් ගෙදර සාමය ගැන හිතන්නෙපෑ.. 😕😕)




DNA පරීක්ෂණ අනවශ්‍යයි.

DNA පරීක්ෂණ අනවශ්‍යයි.. 

අපේ පවියාට මේ ලඟකදී ඉඳන් පරණ කාසි , වෙන රටවල කාසි , සල්ලි කොල, වගේ ඒවාට ආසාවක් ඇවිත් ඇත. ඉතින් උන්දෑගේ ඒ ආසාවට අත,හිත, කකුල,බඩ, පස්ස, හොම්බ...... ආදීය දෙනු වස් මේ දිනවල අපිද දිවා රෑ නොබලා කාසි , සල්ලි කොල, හොයන්නෙමු. ඉතිං මං ඕක මේ ගෙදර දෙසාබාද්දී පිය පුතු ඩබලද පවියාට සෙනේ පාන්නට පෙරට විත් කාසි කොල හොයාදෙන්නට පොරොන්දු ප්‍රකාර දුන් අතර, දුන් පොරොන්දු ඉටු කරමින් එහෙම ඒවා මට ගෙනත් දෙන්නටත් වග බලා ගත්තෝය. 

ටිපියාගේ පියා කතා බතා නැතුවම ඉතාලියේ යූරෝ භාවිතයව පෙර භාවිතා කල ලීරේ කාසි කීපයක් හා තවත් රට රටවල කාසි කීපයක් මට දුන් අතර ටිපියා එසේ නොවීය. එතුමා පාරෙන් අහුලගත් කාසි දෙකක් ගෙදර ගෙනැවිත් පපා පපා මේව කොහේ ඒවදැයි ඇසූ අතර පපා විසින් මේවා අහවල් අහවල් රටවලට අයත් වග පැවසූවෙන් ටිපී මහතා සැනෙකින් මා වෙත සැපත් වී අම්මේ මේව වෙන රටවල ඒවා යි කීය...  

මාද පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් අනේ පුතේ මේව අපි පවී නැන්නට දෙමුයි කී අතර ටිපියා එසැනින් මේවා එයාට ගොඩක් වටිනවද ? යි ඇසීය. මම , ඔවු පුතේ ඔයාට ඔය ලට්ට ලොට්ට කෑලි බෑලි වටිනව වගේම පවී නැන්නට මේවා ගොඩක් වටිනව. එයා ආසාවෙන් මේව එකතු කරනවනෙ කීමි. ඊගාවට ටිපී මහතා අතිශයින් බැරෑරුම් මුහුණක් මවා ගනිමින් , 

අපි එහෙනම් මෙහෙම කරමු අම්මේ... දැං මේවා මමනෙ හොයා ගත්තේ. ඒත් ඒව වටින්නෙ පවී නැන්නටනෙ. ඒ වුනාට එයාට දෙන්න ඔයානෙ එකතු කරන්නෙ නේද ? ඒ නිසා ඔයාට මේව ඕන්නං ඔයා මට වෙන කාසි මල්ලක් දෙන්න. එතකොට මම මේව ඔයාට දෙන්නම්... කීය. 

තමන්ට කාසි 50 ක් එක කාසියකට අවශ්‍ය බව කී ටිපී මහතා කාසි 100 ක් දෙන්නේ නම් ඒ කාසි දෙක මට දෙන බව කියමින් සමයං පාන්නට වූ අතර , මම සැනෙකින් ගෙදර වෙනම පොඩි භාජනයකට දමා තියෙන සතේ / දෙකේ / සත පහේ , ආදී කාසි වලින් කාසි අහුරක් මල්ලක දමා ටිපියාට දී ඕන්නං ඕක ගැනගන්න ඔතන 100 ක් තියනවා යි කියා අර කාසි දෙක ඩැහැ ගත්තෙමි.. 

ප.ලි. 

ටිපියාගේ සමහර වැඩ වලදී එතුමා රෝහලේදී මාරු වී ඇති බවකට මට සාධාරණ සැකයක් ඇතිව තිබුනද මේ වැඩෙන් පසුව ඒ සැකය නැත්තටම නැති වී ගිය අතර , මව මම නොවන බවක් දිනයක ඔප්පු වූවත් පිය පුතු සම්භන්ධය නම් තක්කෙටම හරි බව මට තහවුරු වී ගියේය... 




පුටීන්ගේ සාර්ථකත්වය

පුටීන්ගේ සාර්ථකත්වය හා අපේ ගෙදර😈

සාමාන්‍යෙන් අපේ ගෙදර යුධ මුක්ත කලාපයක් වන අතර ඉඳහිට එහෙන් මෙහෙන් පොඩි පහේ රතිඤ්ඤාවක් නම් පුපුරන්නේය. එහෙත් එයින් මහ ලොකු විනාසයක් සිදු නොවන අතර, සද්දය පමණක් ඇහෙනා අතර ඉදහිට සද්ද දාගෙන එද්දීම එය පුස් වන බවත් කිව යුතුය. කොහොමත් වැඩි හරියක්ම ඒවා පුස්‍ ය. 

ටිපී විලා හි දෛනික කරුණු කාරණා අතර ප්‍රවෘත්ති බැලීම ප්‍රධාන ස්ථානයක තිබෙනා අතර ගෙදර බටු සාමාජිකයින් ( මව හා පුතා) කාටුන් බැලීමට රිමෝටය ඉල්ලුවද ගෘහමූලික හස්බන්ඩා මහතා එය අපට ලබා දෙන්නේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුවය.  එදිනද එවන් වෙලාවක නිවැසියේ සාමයෙන් සමඟියෙන් ප්‍රවෘත්ති බලමින් සිටියෝය. 

ටිකකික් තම හඬ අවදිකල හස්බන්ඩා මහතා තම බිරිඳ අමතා , 

🔸ඔයා දන්නවද පුටීන් ඇයි සාර්ථක කියල.? යි ඇසූ අතර, ඊට පිළුතුරු ලෙස මම 
🔹ඒ මනුස්සය කොන්ද කෙලින් තියන මනුස්සය , වැනෙන්නෙ නෑනෙ. හරි තීරණ , කෙලින් තීරණ , ආදී ලෙසින් බොහෝ කරුණු කියන්නට වීමි,  ඒ සියල්ල අසා සිටි එතුමා , 

🔸ඔයා ඔය කියන කෙහෙල්මල් නෙමේ අනේ , හරි සිම්පල් කාරණයක්. හොඳට හිතන්න, එයාට ගෙදරින්ම ලැබෙන සහයෝගය තමා ඉතින් , තව හිතන්නකො.. යි කීය. 
🔹 ඊට හේතුව හිටගෙන, වාඩිවී, ඔලුවෙන් හිටගෙන , පෙරළි පෙරළි ආදී ලෙසින් සිතා අවසන, ශුවර් එකට පුටීන් ගෙ වයිෆ් ට හොදට සල්ලි ඇති, ඒක තමා
බැක් සපෝට් එක ,යි කීමි. 

කට කොනකට හිනාවක් නගාගත් එතුමා 

🔸ඔය කෙහෙල්මල් කාරණා නෙමෙයි අනේ , ඒ මනුස්සයගෙ වයිෆ් ගොලුයි ලු, ඒකම ඇති ඒ මනුස්සයට නිදහසේ ඉන්න. කණමුල ඉදන් නාහෙන් අඬන්නයි , කුරු කුරු ගාන්නයි පොඩ්ඩ එහා මෙහේ උන ගමන් අඬන්නයි, කියවන්නයි කෙනෙක් ඒ මනුස්සයගෙ ජීවිතේ නෑනෙ. ඉතින් ඒ මනුස්සය ඔහොම චරිතයක් වෙන එකත් අහන්න දෙයක්ද? නිශදබ්ද බිරිඳක් තමා ලොකුම හයිය මනුස්සයෙක්ට. 

කීවේය. 

🔹කියන්නට සන්තෝසයි මිත්‍ර වරුනි, එතනින් එහාට ඒ කතන්දරේ විස්තර මෙතන කතා කරන්නට බැරිය. ටිපී විලා හි ගෘහමූලික මහතා වන හස්බන්ඩා මහතාට මේ ආත්මයේ සාර්ථක වන්නට බැරිය. ඊට හේතුව එතුමාගේ බිරිඳ ගොලු නැත. ඈට ඕනෑවටත් වඩා කතා කරන්නට හැකිය. ඇගේ පුතාට ඊටත් වඩා කතා කළ හැකිය.  ඉතින් ඒ නිවැසියන් මේ ආත්මයේ නම් සාර්ථක වන්නේ නැත. 😈😈😈😈





මවගෙන් ලද උරුම

ටිපී මහතාට තම මවගෙන් ලැබුන දායාද


ටිපී මහතා එහෙම්පිටින්ම තම පියාගේ පොටෝ කොපියක් වුවත් එතුමාට තම මවගෙන් ආ ප්‍රවේණි ලක්ශන ද ඇත්තේය. හැතැම්මක් දුර ඇති ගඳක් සුවඳක් තම සැටලයිට් නාසය යොදවා තක්කෙටම නිවැරදිව කීම එක් ලක්ශනයක් වන අතර, නානකාමර වල දිග පළල සෙවීමද තව එකකි. 

යන කර්තව්‍යය නවතා එහි ඇති පැල්ලම් සෙවීම, ටයිල් ගැනීම, සිහින මැවීම, ගීත යැයි සිතා කතා කීම, ආදී වූ නානාප්‍රකාර නානකාමර සමයං ටිපී නිවසේ සුළබ අතර, සුළු පැල්ලමක් හෝ , ලාවට තෙතක් හෝ සහිත තුවා ප්‍රතික්ෂේප කිරීමේ තුවා නාඩගමද එකී නිවැසියෝ මේ වනවිට දැහැමින් සෙමෙන් ඉවසන්නට යෙදෙති. ඒ වෙන කිසිවක් නිසා නොව , මවගේ එවන් සමයං බේරීමට පුතාද , පුතාගේ සමයං සාධාරණීකරණය කිරීමට මවද කඩු පොලු උස්සාගෙන පෙරට එන ගති ලක්ශනය නිසාය. ඒවා එහෙමය. 

ඒ නිවසේ කැරට් කියන්නේ , අමුවෙන් කන , හෝ බොන දෙයක් මිසක උයන දෙයක් නොවන අතර මවගේ පාරේ යන පුතාද කරන්නෙ කැරට් අමුවෙන් කන එකය. ඉතින් ඒ නිවසේ කැරට් උයන්නේ නැත. 

තම මවගෙන් පැමිණි උරුම අතර ඕනෑම කෑමක් සුළු අප්පිරියයා සහගත තත්වයක් යටතේ ආපසු දැමීමේ අසහාය හැකියාවක්ද ටිපී මහතා සතුය. මෙලෙස වමනෙ දැමීමට කුඩා කැස්සක්, සුළු ගඳක්, ඇඬීමක්, ප්‍රමාණවත් වන අතර
බැණුමක් ආතතියක් යනු  වරුවක වමනෙ දැමීමක් වේ. 

එලෙසම, 

ඊගාව මොහොතේ කණ පිරෙන්නට බැනුම් ලැබේය යන තත්වයක් මත එසේ බැනුම් ලැබීමට පෙර මහා හයියෙන් ඇඬීමේ අපූරු දස්කමක්ද ඒ දෙන්නා සතුය. එසේ අඬනා විට මවගේ මුවින් නම්, මම යනව තාත්තා ගාවට මං කියනව තාත්තාට කියනව කියනවමයි, වැනි වැකිද, පුතුගෙන්, අපි යං අම්මෙ සීයා ගෙදර , අපි කියමු සීයට වැනි වැකිද පිටවන අතර ඔය කියන සීයාට ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ඒවා නොකියන බවත් කිව යුතුය. 

තවත් උරුම ලක්ශනයක් ලෙස හපාකෑම දැක්විය හැකි අතර මෙය කිසිසේත්ම දරුණු ඝණයට නොවැටේ. ටිපී මහතාගේ පියා නිදා සිටින අවස්ථාවල ඇහි පිල්ලම් උස්සා එතුමා නිදිදැයි බැලීම, නිදිනම් ඇඟ පුරා බලි ඇඳීම, ආදී එකී මෙකී නොකී සමයං මව හා පුතු විසින් සමගියෙන් සහයෝගෙන්, නිවසේ සිදුකරන අතර මේවා පුතුගේ ආගමනයට පෙර සිටිම මව විසින් කරනු ලබන කටයුතු බැවින් එතුමා මේ වනවිට ඒවාට පදම් වී ඇත. 

තවත් බොහෝ එවන් උරුම ගති ඇති අතර ඒවා පසුවය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 





හස්බන්ඩා මහතාගේ සප්‍රයිස්

හස්බන්ඩා මහතාගේ සප්‍රයිස්😈
➖➖➖➖➖➖➖➖➖➖➖➖


ඒ 2008 වර්ශය විය. හස්බන්ඩා මහතා හා මම අපේ විවාහ මංගලෝත්සවයෙන් පසුව අපේ ගෙදර ගිහින් එන්නට ගිය කල , එතුමා මාව සර්ප්‍රායිස් කරන්නට සිතා දින කීපයක් නුවරඑළියෙ නවතින්නට අදහස් කොට හෝටල්ද බුක් කොට තිබිණි. අපේ ගෙදර ඉඳන් පැයෙන් යන්නට පුලුවන් දුරක හෝටලේක නැවතීම මට මහ ලොකු සප්‍රයිස් එකක් නොවුනත් ඒ දින කීපය පුරාවටම එතුමා කල කී දෑ මට ලොකුම ලොකු සප්‍රයිස් එකක් දෙන්නට සමත් විය.

එකී දින කීපයෙන් පළමු දින එතුමා බුක් කර තිබුනේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය විය. අපි ඉතින් ඔය නුවරඑළියේ සිරි බලා අහවරව හෝටලේට ගොස් විවේකීව සිටියෙමු. රාත්‍රී භෝජනයට පෙර එතුමා නුවරඑළියෙන්ම ගත් කුමක්දෝ වර්ගයක ( මා එහි නම දන්නේ නැත. එකල එය මතක තිබූවත් දැන් එය මතකත් නැත) රහමෙරක රස බැලූ අතර, මේක වදින එකක් නෙමේ වගේ කියමින් පාරම්බාන්නටද විය.

මා එකල දන්නා රහමෙරක් නැත.අපේ තාත්තා පස් පවින් තොර හෙයින් ඕවා අපේ ගෙදර තිබුනේ නැත. මට සිටියේ අයියලා දෙන්නෙක් වුවත් ඒ දෙන්නා ඕවා යන්තන් පාවිච්චි කලත් ගෙදර එන්නේ පාර අයිනේ පේර ගහේ දළු පමණක් නොව කොල පොතු මුල් පවා කෑමෙන් පසුවය. නැත්නම් හැක්ස් ටොපී පැකට් ගනන් කෑමෙන් පසුවය. එනිසා මා දන්නා රහමෙරක් නැති අතර එතුමා කියන වැදිල්ල ගැන කොහෙත්ම දැනීමක් මට තිබුනේ නැත. 

එතුමා කියන්නට යෙදුන වැදිල්ල රාත්‍රී භෝජනය වන තුරුම වැදී නොතිබූ අතර අපි දෙයියනේ කියා කෑම එහෙම කා යලිත් කාමරයට ආවෙමු. එහෙත් ගිය පුද්ගලයා නොව ඊට ටිකක් වෙනස් පුද්ගලයෙක් ආපසු පැමිණි වග පෙනෙන්නට තිබූ අතර මොහොතින් මොහොතම එකී ගති ලක්ශන වැඩි වන්නට විය. එතුමා පිස්සු දොඩවමින් ස්වල්ප වේලාවක් සිට එහෙම්මම ඇඳ බදා ගොරවන්නට වූ අතර කොතෙක් කීවද දත් මදින්නට , ඇඟ හෝදන්නට තබා ඇඳුම් වත් මාරු නොකොටම කොස් , බුරුත, නැදුන්, බර අරටු ඉරන්නට විය. 

මෙහෙම දර්ශනයක් මින් පෙර දැක නොතිබු මම බය බිරාන්තව, දොර ජනෙල් වසා එතුමාව ඇඳේ අයිනටම තල්ලු කොට මැදින් කොට්ටයක්ද තබා ඇඟේ වත් නොගෑවෙන සේ නිදාගත්තෙමි. පසුදා නැගිට්ට පසුත් තත්වය සාමාන්‍ය නොවූ අතර, එතුමා නැගිටින පාටක්ද නොතිබිණි. 
එදින රැයද එකී හෝටලේම ඉන්නට වෙන පාටක් පේන්නට තිබුනෙන් මම රිසෙප්ශන් එක අමතා එසේ පුලුවන් දැයි ඇසූ කල, ඔවුන්ගේ පිළිතුර සුභදායී විය. ( එසේ නොවුනානම් තත්වය තවත් සර්ප්‍රායීඊඊඊස් වෙන්නට ඉඩ තිබුනි) 

හස්බන්ඩා මහතා දෙයියනේ කියා පට්ට පාන්දර උදේ 11 ට විතර නැගිට්ට අතර, එවෙලේ තම අලුත ගෙනා මනමාලියගේ වාජ් ප්‍රහාර හමුවේ මහත් සේ සප්‍රයිස් වී තවත් ටිකක් නිදාගත්තනම් හරි අප්පා පට්ට ඔලුවෙ කැක්කුමක් නෙ යි ඉතා අසරණ ලීලාවෙන් කීය. කොහේ යතත් මගේ නයි මල්ලේ තියෙන පැනඩෝල් කාර්ඩ් එකට පිං සිද්ධ වෙන්නට එතුමාගේ ඔලුවෙ කැක්කුම යාංතම් සුව වූ අතර, එදින දිවා ආහාරය පවා හෝටල් කාමරයටම ගෙන්නා ගන්නට තරමටම එතුමාගේ ඔල්මොරොන්දන් ගතිය ප්‍රභල විය. 

පෙර වැදෙන්නේ නෑය කියමින් පාරම් බෑ රහමෙරෙහි වැදිල්ල එතුමාට තැපැල් මාර්ගෙන් වැදී තිබුන අතර , යලිත් මියෙන තුරා ඒ වර්ගය නම් කටේ නොතියමි කියමින් පොරොන්දු ප්‍රකාර දෙන්නටද විය. 

එතුමා බොහෝ බැගෑපත් ලීලාවෙන් ඔයා ගෙදරට එහෙම කීවේ නෑ නේද ? යි ඇසූ අතර , පැයක දුරින් මගේ මහගෙදර තියෙනා වග මගෙ ඔලුවට ආවේද එවිටය. ශිට්ට් අපරාදෙ රෑ කෝල් කරල තාත්තට එන්න කියන්න තිබ්බෙ කියමින් වීර කතා කියා තවත් එතුමාව අපහසුතාවට පත් කල මම, ඊට සෑහෙන කාලෙකට පසුව සිනාමුසුව ඒ ගැන කියනා තුරුම ගෙදර ඇත්තන්ට එය නොකියන්නට වග බලා ගත්තෙමි. 

එතුමාගේ පළමු හෝටලේ සප්‍රයිස් එක එහෙම වූ අතර ඊගාවට ගියේ රම්බොඩ ෆෝල්ස් හෝටලයටය.. 

දෙයියනේ කියා එහිදීද ලැබුනේ මියෙන තුරු අමතක නොවන සප්‍රයිස් එකක් වූ අතර එය ඊගාව කොටසිනි.. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 


හස්බන්ඩා මහතාගේ සප්‍රයිස් 02 😈 
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

කලින්දා වැදිල්ල හේතුවෙන් ඔල්මොරොන්දන් ගති‍යෙන් පසුවූ හස්බන්ඩා මහතා පහුවදාත් දෙයියනේ කියා වැටුන වැටුන අතට දොයියබබා වූ අතර තුන් වන දින වනවිට එතුමා සාමාන්‍ය තත්වයට පත්වී සිටියේය. එනිසා එදින උදෑසන අදාල බිල හෝටලයට ගෙවා අප පිටත් වූ අතර දවස් කාලයේ හෝට්න්ප්ලේස් එහෙම බලාගෙන හවස් යාමයේ රම්බොඩ ෆෝල්ස් හෝටලට පැමිණියෙමු. 

රම්බොඩ ඇල්ල පැත්තකින් පේන ලෙස යෙදූ ජනෙල් හා බැල්කනියකින් සමන්විත වූ එකී හෝටල් කාමරය ඉතා මනස්කාන්ත විය. බැල්කනියට ගිය කල පේනා දසුන් ද ඉතා මනරම් විය. පෙර දවස් දෙකෙන්  උගත් පාඩම් ඇසුරෙන් හස්බන්ඩා මහතා නොදන්නා මළ කෙහෙල්මල් වල රස බලන්නට නොගිය අතර දන්නා ජැක් ඩැනියල් වීදුරුවක රස බලා ඉන් අනතුරුව රාත්‍රී බෝජනයද ගෙන මද වේලාවක් කතා කරමින් හෝටලේ සිරි නරඹමින් ඉතාමත්ම හොඳ සහකරුවෙකු සේ කලින් කපාගත් ලකුණු ඕසෙට රැස් කරමින් සිටියේය. 

යලිත් හෝටල් කාමරයට එන්නට පිටත් වූ අපට රිසෙප්ශන්  එකේ සිටි ලස්සන තරුණ මහතා , සර් මතක ඇතුවම බැල්කනි එකේ දොර වහගන්න නිදාගද්දි " කීය. එතුමාට කට පුරා හිනාවී කාමරයට පැමිණි අපි දියඇල්ලේ සද්දේ අසමින් ලයිට් එලි වලින් අලංකෘත වටපිටාවේ සිරි බලමින් සිට නිදන්නට සැරසුන අතර, මට කලින් නින්ද ගියොත් ඔයා මතක් කරලම බැල්කනියෙ දොර වහන්න යි මම හස්බන්ඩා මහතා අමතා කීප වරක්ම කීමි. 

මට නින්ද ගියේ කොයිවෙලේද කියා නිච්චියක් මට නොවූ අතර පහුදා කුරුලු සද්ද හා නානාප්‍රකාර සද්ද බද්ද ඇසී ඇහැරියෙමි. 

යාන්තමට ඇස් ඇර බැලූ මට එකවරම දිස් වූයේ කාමරයේ සිවිලිමේ සිට පහලට එල්ලි තිබූ විදුලි ලාම්පුවේ එල්ලෙමින් මා වෙත දත් තිස් දෙකම පෙන්නා විරිත්තාගෙන සිටින රිළා මහතෙකි. දකින්නේ සිහිනයකැයි සිතමින් ඇස් පිස දමා යලි ඇස් ඇර වට පිට බලද්දී , තව රිළා මහතෙක් කණ්නාඩි මේසය උඩද , රිළා නෝනලා හා මහත්තුරු කීප දෙනෙක්ම බැල්කනියේද, එක් තරුණ පහේ රිළා මහතෙක් හස්බන්ඩා මහතා විසින් ඇර දමා තිබූ බැල්කනි දොර මතද සිටිනු දකින්නට පුලුවන් වූ අතර , එක් රිළා මවුතුමියක් ඒ අස්සේ තම පැටවාට බැල්කනි ගැට්ට මත සිට කිරි දෙනුත් පෙනෙන්නෙට තිබිණි. 

අනපේක්ෂිත අමුත්තන්ගේ ආගමනයෙන් ඔල්මොරොන්දන් වී ගිය මනසින් යුතු මම සිහි එලවා ගත නොහී නැගූ සද්දයෙන් හස්බන්ඩා මහතා උඩ ගොස් බිම වැටුන අතර , එකී සද්දයේ තරම මත විනාඩියක් යන්නට පෙර හෝටලේ මැනේජර් මහතා ඇතුලු සේවක පිරිසක් ද දොරට තඩිබාන්නටද විය. පොරවාගෙන සිටි රෙද්ද තුලටම මම ගුලි වෙද්දී හස්බන්ඩා මහතා හනික ඇඳෙන් බැස දොර විවෘත කල අතර , කාමරයට කඩා වැදි හෝටල් සේවක මහත්තුරු පිරිස මගේ කෑගැහිල්ලට හේතුව දුටුවෙන් එලී රිළා පිරිස පන්නා දමන්නට කටයුතු කලෝය.
ආය නම් සර් නිකමට වත් දොර ඇරල තියන්න එපා ඔහොම වෙලාවට. කියා මැනේජර් මහතා කියා නික්මුනු අතර සේවක මහත්තුරු ද ඔහු අනුගමනය කලෝය. 

රිළා මහත්තුරු බැල්කනි දොරෙනුත්, සේවක මහත්තුරු කාමරේ දොරෙනුත් පිටව ගිය පසු ඇඳ රෙද්ද පසෙකට දමා නැගී සිටි මම කී ගමනක් කීවද අර ඉලවු දොර වහන්න කියල, මොන ලෝකෙද අනේ හිටියෙ, කියමින් වාග් ප්‍රහාර එල්ල කරන්නට වූ අතර , ඒ කිසිවක්ම නෑසූ කන්ව සිටි හස්බන්ඩා මහතා අර රිළා පැටියා මාර ලස්සනයි නේදැයි ඇසීය. කටට ආ වචන ගිලගත් මම රිළා මහත්තුරු තම ඇඹේනියන්ට දීමට මගේ ලට්ට ලොට්ට ගෙන ගොස් ඇතිදැයි සොයා බලන්නට වීමි. කිසිවක් නැති නොවී තිබීමම යහපතක් වූ අතර ඒ සර්ප්‍රායීඊඊඊස්  එක එසේ නිමා විය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 




නින්ද මම හා අකරතැබ්බ 02

💜නින්ද මම හා අකරතැබ්බ 02

♦️එදා ලීවේ 2008 දී සිදුවූ අකරතැබ්බයක්ය. මේ ඊට පසුව සිදුවූවකි. 

🔸සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට මහන්සිය නිවා ගන්නට කියාපුම දෙය මද රස්නෙ වතුරෙන් ඇඟ පත සෝදාගැනීමය. ඉතින් මටත් ඒක එහෙම්මමය. අපේ ගෙදර තිබෙන්නේ තට්ටු නිවාස සංකීර්ණයක පස්වෙනි තට්ටුවේය. ඉතින් අපිට මිදුල් එහෙම නැතිය. හැබැයි බැල්කනියක් තිබේය, ඒ අපට ඇතිය. එය තියෙන්නේ කුස්සියට යාබදව වන අතර, නාන කාමරේ ජනේලය ඇරෙන්නේද එකී බැල්කනියටමය. 


ග්‍රීශ්ම ඍතුව කියන්නේ අපේ ගෙදර ඇත්තෝ වතුරේම දඟලන කාලයක් වන නමුත් මටත් පුතාටත් ඕක ශීත කාලෙට පවා වලංගුය. එහෙත් මේක උනේ ග්‍රීශ්ම ඍතුවේ සුන්දර පැහැබර රාත්‍රියකය. රාත්‍රියක් කීවාට රාත්‍රී 9 ට, 10 ට වගේය. 

මම නානකාමරයට ගියේ නාගන්නය. ටබ් එකත් පුරවාගෙන ඒකට බැස්ස මම ලාවට සිංදුවකුත් මටම ඇහෙන්නට කියමින් උන්නෙමි. හීන මවන්නට කියාපුම තැන එතැනය. ලියන්නට එක එක සමයං ඔළුවට එන්නේත් එතැනදීමය. ඉතින් මම මගේ මනෝලෝකයට වී නිදහසේ එකි කරක් ගසමින් උන්නෙමි. එහෙත් මට එහෙම ඉන්නට මහ වෙලාවක් ඉඩ ලැබුනේ නැත. 

🔹එක පාරම උඩ ගොස් බිම වැටුනේ බැල්කනියේ සිට කවුරුන් හෝ ජනේලය බිඳින්නට ඩාං ඩෝං ගාමින් තඩිබානා හඬටය. යන්තම් සිහි එළවාගත් මම මොකද අනේ ජනේලෙට ගහන්නේ යැයි ඇසූ අතර , ඔයාට අවුලක් නෑ නේද , මොකද මෙච්චර වෙලා, ආදී ලෙසින් එලියෙන් පිළිතුරු ලැබුන අතර , ආ මම මේ නානව ඉන්න විනාඩියෙන් එන්නං , ජනේලෙන් නෙමේ අනේ බාතෲම් එකට එන්නෙ දොරෙං දොරෙං.. කියමින් බාගෙට නාගෙනම තුවායත් දවටාගෙන දොර ඇරියෙමි. 

😈යක්සාරූඩෙන් සිටි හස්බන්ඩා මහතා , පැය තුනක් මොන මගුලක් කරාද මේක අස්සෙ , කන් ඇහුන්නැද්ද? කොච්චරක් කතා කරාද? කී පාරක් නං දොරට ගැහුවද , බැරිතැන ජනේලෙ කඩන්න ලෑස්ති වුනේ මං , කියමින් බැන වදින්නට වූ අතර , 

ඒ කිසිවක්ම නෑසූ කන්ව බොහෝම අසරණ ලීලාවෙන්, 

🌹ටබ් එක අස්සෙ පෝඩ්ඩක් නින්ද ගියා ඒයි, ඕකට ඔච්චර කෑ ගහන්නෙ මොකටද? මගුළ, ඔයාට නින්ද යන්නෙ නැද්ද ? 😴

යි පෙරළා එතුමාගෙන් ප්‍රශ්න කල අතර , ඊට මට ලැබුන පිළිතුර මෙතැන කොටන්නට බැරිය. 👿👿

දෙයියනේ කියා මම ටබ් එක අස්සේ රාත්‍රී 9 සිට මධ්‍යම රාත්‍රී 12 ත් පහුවෙනතෙක්ම සෝයි එකට දොයිය බබෙක් වී සිට ඇත. ඕකෙන් ඉතින් නින්ද යන්න ඇත්තේ පැය 2 ක් වැනි සුලුම සුලු කාලයක් වන්නත් ඇතිය. ඒත් ඉතින් මම බාතෲම් එක අස්සේ අන්ඬක් කඩාගෙන සිහි නැතුව ගොස් හෝ , පරළොව ගොස් හෝ ඇතැයි සිතා හස්බන්ඩා මහතා  තව ඩිංගෙන් ජනේලෙත් කඩනවාය. 😬

මගේ ඒ පොඩි නින්ද එහෙමය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 



නින්ද මම හා අකරතැබ්බ

නින්ද, මම , හා අකරතැබ්බ 
➖➖➖➖➖➖➖➖➖➖➖


චුච්චං බච්චං කාලෙ ඉදන්ම අනවශ්‍ය වෙලාවලට යන නින්ද මට කරපු අකරතැබ්බ බෝමය.. 

ඒ පුංචං ඇඹිටිල්ලියක සමයේදී වරක් අයියලා දෙන්නා මාව රෙදි ගොඩක් අස්සේ හංගා හොයනා තුරු එලියට එන්න එපැයි කියමින් හැංගිමුත්තන් කලෝය. ඒ සමයං දෙක මාව මගහරිනු වස් එසේ කල බැවු මම නොදැන සිටියෙන් හොයනා තෙක් සද්ද බද්ද වසා රෙදි ගොඩේ හැංගී සිටියදී මට නින්ද ගොස් ඇත.  පසුව මාව සොයා නැති තැන අම්මා පරළ වී කෑ කෝ ගසා පොලීසිය කැඳවන්නට සිතද්දී ඒ හොල්මන් දෙකට මාව හැංගූ තැන සිහිව සොයා ගන්නා තෙක්ම මම එතැන සෝයි එකට නිදිය. 

ඒ එකය , ඊගාවට ඔය ඉස්කෝලෙ එහෙම ඇරී ගෙදර ආවාට පසු හවස් යාමයේ යන නින්ද මට කල අකරතැබ්බ බොහෝය. 

හවස 6 ට පමණ අපේ අයියලා ජෝඩුව , 
නැගිටිනවාහ්හ්හ් ඉස්කෝලෙ යන්නැද්ද ? පරක්කු වෙනව මෝඩියේ, අම්මට යක්සය එන්න කලින් නැගිටිනවාහ්හ්හ්හ් අන්න මං ගවුම මැද්දා, බෑග් එකත් හැදුවා.. නැගිටිනාවාහ්හ්හ් ගගා දෙන බෙරිහන් දිවිල්ල හේතුවෙන් , ආත භූත නැතුව ඇහැරෙන මම සැබැවින්ම සිතන්නේ මේ උදේ කියාය. විගහට මූණ කට සෝදා සුදු ගවුම ඇඳ බෑග් එකත් පිටේ එල්ලා ගනිද්දී තාත්තා හවස වැඩ ඇරී ආ දවස් බොහෝය. අනෙ මගෙ කෙල්ලව අදත් රවට්ටලා කියමින් තාත්තා මා අස්වසනා අතර අතට අසුවන ඕනෑම දෙයකින් පහර දෙමින් හපා කමින් , හූරමින් , කෑ කෝ ගසමින් අයියලාගෙන් පළි ගන්නේ මා නොව මගේ යක්සයාය. 

ඒවා චුච්චං බච්චං කාලේ ඒවාය. 

මේ කසාදත් බැන්ද පසුය.. 

ඒ 2008 අවුරුද්ද විය යුතුය. යුද්ධය උපරිම අවස්තාවේ තිබූ අතර වැලිවේරියේ බෝම්බය පුපුරා ගොස් ටික කලකට පසුය. මට සහළවා උන අරන් තිබූ අතර, හස්බන්ඩා ඕඩිකොලොන් දමා , උම්මා වරුසා දිදී, කිරිහොදි , ඉඳිආප්ප හදා කවනු වෙනුවට, ලෑස්ති වෙනව බෙහෙත් ගන්න යං , මගෙ යාලුවෙක් ඉන්නව මේ ලඟ, උගෙන් ගත්තැකි, මට ජිම් යන්නත් ඕනෙ ( එතුමා මා මෙන් නොව තම සරීර සෞඛ්‍ය ගැන ඕනෑවටත් වඩා වෙහෙසෙන උතුමෙක් වන අතර වැකේශන් මාසෙත් ලඟ පාත ජිම් එහෙකට බඩගායි) කියමින් බලහත්කාරෙන් මාව කුදලාගෙන වාහනේ අස්සට ඔබාගෙන බෙහෙත් නං බොන්නෑ නෑ නෑමයි කියමින් මා නගනා කිසිම විලාපයක් කනකට නොගෙන , එකී ෆ්‍රෙන්ඩාගෙන් බෙහෙත් අරන් දී උගේ ඉස්සරහාම පළමු බෙහෙත් වඩිය බලෙන්ම පොවන්නට තරම් කාරුණික විය. ඉන් පසුව, ගෙදර ගිහිං දාන්නද නැත්තං මා එක්කෙ ජිම් එකට ගිහිං එතන ඉන්නවදැයි ඇසූයෙන්, එකී නිවසේ ඉන්නවාට වඩා අතරමග සැප හෙයින් දෙවනි ඔප්ශන් එක මම තෝරාගතිමි. 

එහෙත් ජිම් එක ආසන්නයේදී , ඒ මට බෑ ඕකෙ අස්සට එන්න. මං කාර් එකේ ඉන්නං කීයෙන් එතුමා මාව එහිම තබා වැඩි හොඳට ඒ සී එකත් ලාවට දමා දී ජිම් එක කරා නික්ම ගිය අතර, මම යස සැපට සීට් එක පස්ස්ට කරගෙන නිදාගත්තෙමි. ස්ථානය වැලිවේරියේ ශෙහාන් මිහිරංගගේ ගෙවල් ආසන්න මහ පාර අයිනේය. 

යසට සැප නින්දේ සිටි මට යාන්තමට හීනෙන් වගේ පොලීසියට වත් කියන්න වෙයි නේද , මැරිලද දන්නෑ , මරලද කොහෙද ? වගේ කතන්දර ඇසෙන්නට වූයෙන් මම යාන්තමට ඇස් ඇර බැලූයෙමි. කාර් එක වටේ විස්සක් විතර කට්ටියක් එක් වී සිටි අතර, එය හීනයක් විය යුතුය යැයි සිතා මම යලිත් ඇස් පියාගත් අතර, නෑ නෑ මැරිලා නෑ කියූ කතාවක් ඇසුනෙන් මෙය හීනයක් නොවන වග සපථ කරගත් මම දෑස් හැර බැලීමි. 

කාරයේ වීදුරුවට ගැහැණු කෙනෙක් තට්ටුවක් දැමූ අතර මම දෑස් පිසදා නැගිට වීදුරුව හැර , ඇයි කරදරයක් ද ? කවුද මැරිල තියෙන්නෙ ? යි ඇසීමි. 

අනේ නෑ මිස්, අපි හිතුවෙ මිස්ට කරදයරයක් වත් වෙලා කියල, දැං ගොඩක් වෙලානෙ මෙතන. කතා කරා කරා ඇහුනෙත් නෑනෙ. කාලෙත් හොඳනෑනෙ මිස් ඉතින් , 

යැයි එකී කාන්තාව පිළිතුර ලෙස මට දුන් අතර මළ පෙරේතයෙක් මෙන් නිදාසිටි මගේ මළගම මේ මිනිසුන් ප්ලෑන් කර ඇති වග තේරුම් ගිය මට දෙළොව සිහිවිය. 

යාන්තම් සිහි එළවාගත් මම, 
අනේ නෑ මම මේ උණ හැදිල බෙහෙත් බීල හිටියෙ. මහත්තයා අර අතන ජිම් එකට ගියා එනකල් හිටියෙ මම , ඒ අතර ලාවට නින්ද ගිහින් , කී අතර, 

ඒක මරු ලා නින්ද බං , යැයි එක කොල්ලෙක් තව කොල්ලෙකුට කියනු ද ඇසිනි. 

අනේ මිස් අපි හිතුවෙ කරදරයක් ද කියලා. මිස් කැමති නං මහත්තයා එනකල් අපේ ගෙදර ඉන්න , කියමින් ඒ පෙර කී කාන්තාව මා වෙත කාරුණික වූ අතර , ඈත එන හස්බන්ඩා මහතා දුටු මම අනේ ස්තූතියි හස්බන්ඩ් එනවා යි කීමි. 

සිදුවූ අති කුජීත සිදුවීම හේතුවෙන් අදටත් ලංකාවට ගිය පසු එතැන පහු කරද්දී ඔලුව කෙලින් තබාගෙනම එතැනින් මාරු වෙන අතර, දැන් ඒ මිනිසුන්ට ඒවෑ මතකයක් නැති වග මතක් වෙන්නේ එතැන පසුවූ පසුවය.. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 




අම්මයි පුතයි


අම්මයි පුතයි ! 


අම්මෙක් වීම පහසු නැත.. දස මසක් කුස හොවාගෙන පමණක් නොව ඉන් මතු මැරෙන තුරාවටම හිතෙහි හොවාගෙන ජීවත් වීම පහසු නැත. අසීමිත වූ වේදනාවක් අවසන කිරි කැටි මූණක සේයාවක් එකී වේදනාව අවසන් කරන්නේ එහෙවු වේදනාවක් වින්දාදැයි පවා අමතක කරවමිනි. එය පුදුමාකාරය. ඒ වේදනාවේ ප්‍රතිපලය පුතෙකු නම් අම්මෙක්ට ඊට වඩා දෙයක් නැත.. ඊ ගාවට ඉතින් පතන්නේ දුවක් ය. 

පුතෙක් යනු අම්මෙක්ගේ සිහිනයක් බව මම කියමි. 
පුතෙකු හා ඉහගහන්නට අම්මෙකුට ලේසි නැත. අම්මා සිටිය යුත්තේ පුතාට ඕනෑ ලෙසය. පුතා සිතා ඉන්නෙ මෙලොව රසම කෑම හදන්නට දන්නේ අම්මා කියාය.. එපමණක් නොව කියනා සැනින් එසැනින් ඕනෑම කෑමක් හදා දෙන්නට අම්මා සමත් කියාය. ඒ කෑම රෙසිපි අම්මා ඉන්ටර්නෙට් පිහිටෙන් හදා දෙන බවක් පුතා දන්නේ නැත. පුතාට එය අදාලත් නැත. පුතෙකු හැම විටම කියන්නෙ මෙලොව ලස්සනම අම්මා තමන්ගේ අම්මා කියාය. ඉතින් අම්මා ලස්සනට ඉන්නට ඕනෑමය. අනිත් අම්මලාට දෙවනි වනවා දකින්නට පුතා කැමති නැත.. 

අප්පච්චී වෙත කෙලින් ඉදිරිපත් කල නොහැකි සියලු ඉල්ලීම් අම්මා හරහා ඉදිරිපත් කිරීම පුතෙකුගේ සිරිත වන අතර එය අනිවාර්යයෙන් අම්මා විසින් ඉටු කරනා බවත් පුතුන් දනී. අම්මා අප්පච්චී අතර වන අලකලංචි පුතාට අදාල නැත. වැඩේ කෙරනවානම් ඔහුට එච්චරය. 

තමන්ගේ සියලු වැඩ අම්මා ලවා කරවාගැනීම පුතෙකුගේ සාමාන්‍ය සිරිත වන අතර, තමන්ටම ලැජ්ජා සිතෙන මොහොත දක්වාම පස්ස පැත්ත හෝදන එකත් අම්මාම කරන තුරු පුතුන් බලා හිදී. පාසැලේ සියලුම කේලම් අම්මා ඇසිය යුතු අතර, පුතා හා අංචි දාගන්නා සියල්ල එක්ක අම්මා අංචි දා ගත යුතුයැයි පුතුන් තරයේ විස්වාස කරති. පාසැලේ සියලු ගෙදර වැඩ කරදීම අම්මා විසින් කල යුතු අතර නිකමට හෝ ඒවාට අප්පච්චී ගාවා නොගැනීමට පුතුන් වගබලා ගනී. ඔවුන්ට අප්පච්චී අවශ්‍ය කාගෙ හෝ ඕපදූපයක් කියවීමට, අම්මාව ඇවිස්සීමට, සෙල්ලම් කිරීමට, නිවෙස හැඩි කිරීමට, අම්මාගෙ බඩු මුට්ටු අත පත ගා ඒවා විනාස කිරීමට, ආදී වූ එකී මෙකී නොකී සියලු විනාසකාරී වැඩ උදෙසාම පමණක් වන අතර, ඒ සියලු විනාසයන් ඉවසීම අම්මා විසින් කලයුතු වේ.. 

පුතුන් වැඩියෙන්ම ආසා අම්මා ගාව නිදාගන්නට වන අතර, අම්මාගේ හුස්ම හිර වුවත් පුතුන්ට ඕනෑ අම්මාගේ පපුවට් ඔලුව තබාගෙන තුරුල්ව කකුලක්ද ඇඟට දමාගෙන නිදාගන්නට වන අතර නින්ද යන තුරුම ඔලුව අතගෑම අනිවාර්‍ය වේ.. එපමණක් නොව නින්ද යන තුරු අසනා ප්‍රශ්න කන්දරාවට උත්තර බදින්නටද අම්මාට සිදුවේ. පුතාට නින්ද ගියාට අම්මාට නින්දක් ලේසියට ලැබෙන්නේ නැත. පුතා පයින් ඇන විසික් කරනා රෙද්ද පෙරවීම , ඇද පුරා සක්මන් කරන පුතුව නිසි පරිදි තැබීම, පුතු ඇඳෙන් වැටේදැයි සැරින් සැරේ බැලීම, දවල් තිස්සේ නටා රිදෙනා කකුල් අතපය අතගෑම, පුතුගේ කොට්ටය සකස් කිරීම, ආදී දෑ අම්මා විසින් කල යුතුය. 

පුතු අසනීප වීම යනු අම්මා රෝහල් ගත කිරීම හා සමාන වන අතර පුතු නීරෝගී සුවය ලබන විට අම්මා රෝගී වී සිටීම නිවසක සාමාන්‍ය ක්‍රියාවලිය වේ.. පුතෙකුට හචිමක් ගියා දැක්ම අම්මාට අනුව නියුමෝනියාවේ මූලාරම්භය වන අතර අම්මාගේ වදවීම සතපහකට ගණන් නොගැනීමට පුතෙකු සෑම විටම වගබලා ගනී. 

ඒ කෙසේ වෙතත් අම්මෙකුගේ කඳුළක් දැකීම පුතෙක් නයගරා ඇල්ල දැක්කා ලෙස ගනන් ගන්නා අතර ඒ කඳුළට හේතු භූත වූ කාරණාව සමග උරණ වීමට පුතෙකුට යන්නේ තප්පරෙනුත් සීයෙන් පංගුවක් ය. පුතෙකු සෑම විටම අම්මෙකුගේ සෙනෙහස අසීමිතව බලාපොරොත්තු වන අතර ඔහුගේ ලොවේ රැජින අම්මා වේ.. අම්මාටද පුතෙකුට වඩා ලොකු රජෙක් තවත් මේ ලොව නැත... 

ප්‍රභානී තෙන්නකෝන්.