Wednesday 29 January 2020

ඌරුමස් කලුවට

ඌරුමස් කලුවට

අවශ්‍ය ද්‍රව්‍ය,

ඌරුමස්
හාල් මිටක්
පොල් මිටක්
කරඳමුංගු , කරාඹුනැටි
සූදුරු , මාදුරු
අමු තුනපහ
මිරිස්
ගම්මිරිස්
ඉඟුරු , සුදුලූනු,
ලුණු ,  කහ
සියඹලා හා සෝයා සෝස්
කපාගත් , අමුමිරිස්, රම්පෙ , කරපිංචා, රතුලූනු,

සාදාගන්නා ආකාරය

හාල් හා පොල් කලු වනතුරු බැදගන්න. ( පෑන් එකක හෝ කබලේ ) එය නිවෙන්නට හරින්න.

නිවුන හාල් හා පොල් , ගම්මිරිස් , කරඳමුංගු , කරාඹුනැටි , සූදුරු , මාදුරු ග්‍රයිඩර් කරගන්න.

හට්ටිය ලිප තබා ඊට තෙල් ටිකක් දමා එය රත්වන විට කපාගත් අමුමිරිස්, රම්පෙ කරපිංචා, ලූනු හා තලාගත් ඉඟුරු සුදුලූනු, දමන්න.
එය තෙම්පරාදු වනවිට ඊට ග්‍රයිඩර් කරගත් දෑ සමඟින් අමු තුනපහ , මිරිස් , කහ හා ලුණු එක්කට තෙම්පරාදු වෙන්නට හරින්න.

ඉන්පසුව මස් එක්කර සියඹලා හා සෝයා සෝස් ස්වල්පයක් එක්කර මද ගින්නේ පිසගන්න. ටිකකින් මස් ටික කවලම් කර වතුර ස්වල්පයක් එක්කර යලි හොඳින් පිසගන්න.


Tuesday 28 January 2020

ලොකු අම්මා දැන් සතුටිනි !

ලොකු අම්මා දැන් සතුටිනි. !

ඊයේ රාත්‍රියේ අම්මාට මම කතා කරනා විට ඇය මට කීවේ , අනේ පුතේ සමණළයෙක් ආවා , ලොකු අම්ම ගාවම හිටියා , පෙට්ටිය වහනකල්ම හිටියා , ගියේම නෑ , ලොකු අම්මා හොඳ තැනකට යන්න ඇති , එයා කවදාවත්ම පවක් කරේ නෑනේ කියාය. මේ වචන කීපය මට ගෙනාවේද සතුටකි. ඉන පසුව මම අන්තර්ජාලය පීරා ඒ ගැන සෙවුවෙමි. මට නොතේරෙන සමහර තැන් ( මට මහා බර ඉංග්‍රීසි දැනුමක් නැත ) මම රොශාන් මල්ලිගෙන් අසා දැනගත්තෙමි.

එය සැබෑවකි.

අන්තර්ජාලයේ ඒ සම්භන්ධව ඇති බොහෝ ලිපි වලට අනුව කෙනෙක් මිය ගිය පසුව ඒ මිය ගිය තැනත්තාගේ දේහය අසලට සමණළයෙකුගේ පැමිණීම යනු , ඒ මියගිය තැනැත්තා වඩා හොඳ ආත්මයකට ගිය බව දන්වන්නට එවනා පණිවිඩයකි , සංකේතයකි.  ( එය මිත්‍යාවක් වුවත් මට කම් නැත , මම එය විස්වාස කරමි )

ඉතින් මට සතුටුය. ලොකු අම්මා ඇය පෙර ආත්ම බවයක සිට ගෙන ආ සියළු පවු මේ ආත්ම බවයේ ගෙවා අවසන් කොට වඩා හොඳ ආත්ම බවයකට ගියාය. ඇගේ කුසෙන් බිහි නොවූවද ඇගේ දරුවන් ලෙස එය අපට සතුටකි.

මගේ ජිවිතේ මා දුටු අහිංසකම ගැහැණිය ඇය ය. තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් මියෙන මොහොත දක්වාම මග බලා සිටි එකම ගැහැණිය ඇයය. ලොකු අම්මා මියෙන තුරුම කිසිම දවසක අල්මාරියේ සියළුම රෙදි දැම්මේ නැත. ඇය නිතරම ගමන් මල්ලකට රෙදි අසුරාගෙන පාර බලා සිටියාය. මගේ අසල්වැසි සමීපතමයන් මේ ගිණුමේ සිටිනා බැවින් මේ කියන්නේ බොරු නොවනා වගට ඔවුන් සාක්කි දරණු ඇත. පාර අද්දර වාහනයක් නැවතූ සැනින් ආ සනී මහත්තයා මාව එක්ක යන්න ඇවිල්ල වෙන්නැති , බලන්න ඩෝටර් රතු කාර් එකක් ද කියලා යි ඈ කියන්නීය. ඈ එතරම්ම බලාපොරොත්තු සහගතව සිටියාය. අවසන ඈ බලාපොරොත්තු හුළඟට අතැර නික්ම ගියාය.

සිය නැගනියගේ සැමියාට ජූලි වැඩ වර්ජනයෙන් අවු. 7 ක් පුරා රැකියාව අහිමිව සිටියදී ඒ නැගනියගේ දරුවන් තිදෙනාව ඈ රැක්කාය. ඈ මියෙන මොහොත දක්වාම ඒ කරන ලද උදවු අපි සියල්ලෝම මතකේ තබාගෙන සිටියෙමු. නිතර මන්තරයක් මෙන් අපේ තාත්තා ඒ උදවු ගැන මතක් කරමින් ලොකුඅම්මා වෙනුවෙන් කල යුතු යුතුකම් සියල්ල කලේය.  දරුවන් ලෙස අපට කළ හැකි සියළු දේද අපි කළෙමු. ඒ සියල්ල අවසානයේ ඈ නික්ම ගිය පසු අපට ඇත්තේ ඇය නැති හිස්කමක් පමණි. ඇත්තටම දුකක් නැත. ඒ දුකක් නැත්තේ අප , අපට කළ හැකිව තිබූ සියල්ලම කළ දරුවන් නිසාවෙනි.

💜 ඇය අසනීප වූ දෙවාරයකදී මා තැබූ සටහන් කියවා , ඇයට නීරෝගී සුව පැතූ ඔබ සියළු දෙනාටමත් , ඇය නික්ම ගිය පසුව ඇය වෙනුවෙන් අකුරක් ලියූ සියළු දෙනාටමත් මම ස්තූතියි යැයි කියමි.

ලොකු අම්මා දැන් සතුටිනි. ඉතින් දැන් මම ත් සතුටිනි !
ඔබ වපුරන දෑ දිනක ඔබ නෙලාගනු ඇත. ලොකු අම්මා කිසිම දවසක පවක් කියා කිසිවක් නොකලාය. ඉතින් ඈ යහපතම නෙලා ගත්තාය. 💜

Saturday 25 January 2020

සැමන් මිරිසට





සැමන් මිරිසට

අවශ්‍ය ද්‍රව්‍ය,

සැමන් ටින් එකක්
කරපිංචා,
අමුමිරිස්,
සුදුලූනු,
තක්කාලි ,
ඉඟුරු,
ලූනු
තුනපහ,
කහ , ලුණු , රතු මිරිස් කරල් කීපයක් , ගම්මිරිස් , සූදුරු මාදුරු , එනසල් , කරාඹුනැටි.

කොහොමද හදන්නේ ?

ගම්මිරිස් , සූදුරු මාදුරු , රතු මිරිස් කරල් , එනසල් , කරාඹුනැටි  ග්‍රයිඩර් කරගන්න.

හට්ටිය ලිප තියා ඒකට තෙල් දමා , ඒ තෙල් රත් වන විට එයට කපාගත් ළූණු , අමුමිරිස්, , සුදුළූනු , ඉඟුරු , කරපිංචා, දමන්න . එය තෙම්පරාදු වනවිට , ග්‍රයිඩර් කරගත් කුළුබඩු හා ලුණු , කහ , තුනපහ දමා බැදෙන්න හරින්න.
ඉන් පසුව සැම්න් ටින් එකේ තිබුන වතුර හා තක්කාලි දමා හොද්දක් ආකාරයට හදා ගන්න , එයට සැමන් කෑලි ටික එක් කොට මද ගින්නේ පිස ගන්න..




කුකුල් මස් කරිය / මාළු මිරිසට

රසට උයන්න !

සාමාන්‍යයෙන් මම රස නැත්තම් බඩගිනි වුනත් නොකා ඉන්න ජාතියෙ කෙනෙක්. මොකද මට හොඳට ලුණු ඇඹුල් රසට කන්න ඕන. එළවලු වලට මම කිසිම දවසක මිරිස් දාන්නෙ නෑ. මිරිස් දාන්නෙ මස් මාලු කරවල හාල්මැස්සො , පොළොස් වගේ දේවල් වලට විතරයි.

පහුගිය දවසක මම කුකුල් මස් එකක් උයන්න හදනකොට ගෙදර තිබ්බ මිරිස් කුඩු ඉවර වෙලා , මම හිතන් හිටියට මගේ ස්ටෝ රූම් එකේ මිරිස් තියනව කියල, ඒත් ඇත්තටම එතන තිබුනෙ නෑ. ඒත් වේලපු මිරිස් කරල් තිබ්බා. මම ඉන්නෙ ලංකාවෙ නොවන නිසා ලඟ පාත කඩේකින් මිරිස් ගන්නව වගේ දේ කරන්නත් බෑනෙ. ඒ නිසා මම හිතුවා අර මිරිස් කරල් ග්‍රයිඩර් කරලා කුඩු හදාගන්න.

ඒත් ආයම මම හිතුවා මම දැන් උයන්නෙ මස් එකක් නිසා ඒකට මට හිතෙන හිතෙන දේවල් වලි දාලා බ්ලෙන්ඩ් කරල බලනව කියල. ඒ අනුව මම ,

ගම්මිරිස් ටිකක් ,
මිරිස් කරල් 5 ක්
කරඳමුංගු , කරාඹුනැටි
සූදුරු , මාදුරු ,
පොඩිම පොඩි කුරුඳු කෑල්ලක්.
දාලා ග්‍රයිඩර් කරලා , සාමාන්‍ය තුනපහ හැඳි එකහමාරක් එක්ක කවලමට දාලා මස් කරි එක හැදුවා !

විස්වාස කරන්න , පුදුම රහක් තිබ්බේ ,
ඒ එක්කම මම තීරණය කරා ආපහු මම මිරිස් කුඩු ගේන්නෙ නෑ ගෙදරට කියල. ඒ වෙනුවට පහුවදාම මිරිස් කරල් ගෙනත් ඒව සෝදල වේලල අහුරල තිබ්බා.

සාමාන්‍යයෙන් මම වියදමට වඩා මගේ ගෙදර පවුලේ සෞඛ්‍ය ගැන හිතන නිසා ශීතකරණයෙ දාලා දවස් දෙක තුන තියාගෙන කෑම කන කෙනෙක් නෙමෙයි. උපරිම රෑ උයපු කෑම එකක් පහුවදාට කනවා ඇරෙන්න ඊට වඩා වැඩි කලක් තියන්නෙ නෑ.

මාලු මිරිසට හදනකොට මම දාන්නෙ මෙහෙම ,

ගම්මිරිස් , මිරිස් කරල් 5ක් හෝ 6 ක්
ගොරකා කෑල්ලක්  දෙකක්
කරපිංචා කොල පහ හයක් ,
සුදුලූනු, බික්කක් ( මේ රසට අකමැති නම් නොගෙන ඉන්න පුලුවන් )
සූදුරු , මාදුරු ,
කරඳමුංගු , කරාඹුනැටි
ඉඟුරු පොඩ්ඩක්.
අමු තුනපහ තේ හැදි එකහමාරක්

මේ ඔක්කොම එකට දාලා ඒක බ්ලෙන්ඩ් කරලා මාලු කෑලි වල තවරලා තියල ඒ පේස්ට් එක එක්කම උයනවා.

අපි කඩෙන් ගේන මිරිස් තුනපහ වලට වඩා මෙහෙම හදලා උයනකොට ඒකෙ පුදුමාකාර රහක් තියනව. ඒ වගේම අපි හදන කෑම අපේ ආදරණීයයන් රසයි කියල කනකොට අපිට තවත් ඒ වගෙම රසට උයන්නත් හිතෙනවා.

ආ.. මම මෙතෙක් පාවිච්චි කරන්නෙම මගෙ අම්මා ලංකාවෙන් හදල එවන තුනපහ , කඩෙන් තුනපහ ගන්නෙ කල්ප කලාතුරකින්, ඒත් ඉදිරියේදී නම් මම ආය කඩෙන් ගන්නෙම නෑ.

©️ප්‍රභානී තෙන්නකෝන්.


මෙස්සි vs ඔල්මො

ඔල්මො - ඔයා මට බුල්ටො ගෙනාවද අනේ ?

මම - මොන බුල්ටො ද ? ඔයාට විකාරද ?

ඔල්මො -  බුල්ටො අනේ බුල්ටෝ , අර දවසක් මං කෑවේ , ඔයා මට බැන්නෙ ඊට පස්සෙ !

මම - දෙයිහාංදුර්වනේ ඔල්මෝ ! එකාතකට අර මෙස්සි නිකංද කියන්නෙ ඔල්මොරොන්දන් , ඔලමොට්ටල ගොං බල්ලා කියල. ඒ ඔයා කෑවෙ මෙස්සිගෙ ලස්සන ටොයිලට් එකේ තිබ්බ ඒවා ! කියන්නෝන්නෑනෙ මොනාද ඒ කියල !


වළලු

වළලු



ගෑණු ළමයි වැඩියෙන්ම ආසා රත්තරන් බඩු වලට වුනාට මම හැමදාම ආස වුනේ රත්තරන් නොවන විසිතුරු බඩු වලට. විශේෂයෙන් ම ඇස් කඩාගෙන යන පාටවල වීදුරු වළලු වලට. ඒවා දැක්කම හිතට මොකද්දෝ වෙනව. මම ඒ දිහාවට ඇදිල යනව. දාන්න බැරි සයිස් එකක් වුනත් පාට ලස්සනයි නම් මම ගන්නව, ඇත්තම කීවොත් දකින දකින තැනකදි ගත්තට මම ඒවා දාන්නෙත් නෑ, ඒත් ගන්නව.

හරියට නේල් පොලිශ් ගන්නව වගේ, කලාතුරකින් ඇරුනම මම කිසිම වෙලාවක ඒවා ගාන්නෙ නැති වුනාට, මා ගාව පාට එකතුවක් ම තියනව, පෙලක් ඒවා කල් ඉකුත් වෙලා, ගල් වෙලා , ඒත් පාට ලස්සන නිසා විසි කරන්න හිතෙන්නෙ ත් නෑ.

මට මතකයි මම ශිශ්‍යත්වෙ පාස් වුනු දවසෙ අම්ම මගෙන් ඇහුව මොනාද ඕනි කියල, මම ගත්ත කටටම කීවෙ වීදුරු වළලු කියල, ඒක අහල තාත්තා හිනා වුනා. ඒත් අම්ම බණ්ඩාරවෙලෙ එක්ක ගිහින් මට වීදුරු වළලු ගොඩක් අරන් දුන්න, තාත්තා අරන් දුන්නෙ බෝ කොළයක හැඩය තිබ්බ රත්තරන් කරාඹු දෙකක්, ඒ බෝ කොලේට තිබ්බ නැට්ට වැඩියි කියල හිතල මම ඒක කඩන්න පුදුම උත්සාහයක් ගත්ත හැටි තාම මතකයි. ඒ නැට්ටට පිහියකින් පවා මම ගැහුවා. ඒ සිද්දියෙදි අම්ම මගෙ කන පිරෙන්න බැන්න හැටි අදටත් මට ඇහෙන ගානයි.. "කොහෙද අගයක් තියන එකක්‍ යැ, ඔය කරාඹු ගෙනල්ල දුන්න වෙලේ නැති බැරි මනුස්සයෙකුට කන්න අදින්න දුන්නනම් ඒකෙන් පිනක් වත් වෙනව. " අම්ම කෑ ගැහුවෙ එහෙම. ඒත් තාත්ත මට මුකුත් කීවෙ නෑ. රත්තරන් එහෙම කඩාගත්තට අර වීදුරු වළලු මං රැක්කෙ පන වගේ.

අම්මට මහම මහ කරදරයක් වෙලා අන්තිමේ මාව කඩයක් පැත්ත පලාතකට එක්ක නොයන තරමට මේ වීදුරු වළලු පිස්සුව මට  හොඳටම තිබ්බා. ඒවයෙ පාට වල ලස්සන මාව කොහෙදෝ අමුතුම ලෝකෙකට ගෙනියන තරමට මාව වශී කරනව. මේ ලෝකෙ මං වැඩියක්ම ආස දෙයක් තියනවනම් ඒ තමයි වීදුරු වළලු.. පාට පාට දීප්තිමත් වළලු. ඊ ගාවට එක එක පාට නේල් පොලිශ්.

මගෙ මහත්තයා පවා වෙලාවකට මට හිනා වෙන තරමට ඒක උමතුවක්. මගෙ නේල් පොලිශ් වලින් එකක් හරි පුතා ගත්තා කියන්නෙ මහා රංඩුවක මුලක්. අන්තිමේ අප්පච්චී මැදිහත් වෙලා පුතාගෙන් නේල් පොලිශ් බෝතලේ ආපහු අම්මට දෙන තුරාවටම වෙන්නෙ දෙන්න රංඩු වෙන එක. ඒවා ඉතිං හරි හුරතල් රංඩු, ඒ වුනත් අදටත් මගේම පුතාට උනත් ඒව අල්ලන්න නොදෙන තරමට මම ඒවට ආසයි. පුතා වුනත් ඒ දේ කරන්නෙ මාව අවුස්සන්න පුලුවන් එකම විදිය මම ආසාවෙන් රකින දේකට ඇඟිලි ගහන එක කියන්න එයා දන්න නිසා.

කොහොම වුනත් මට නම් මේ වීදුරු වළලු භාවනාවක්. මොකද මට දරාගන්න අමාරු ගොඩක් තැන් වලදි මම කරන්නෙ වීදුරු වළලු දිහා බලා ඉන්න එක. එතකොට ඒ පාට මාව කොහෙදෝ ලෝකෙකට ගෙනිහින් ආපහු නිස්කලංක ව මේ ලෝකෙට ගෙනල්ල දානව.  නිකමට කරල බලන්න, හිත නොසන්සුන් වෙලාවක , තමන් ආසාවෙන් එකතු කරන දෙයක් දිහාවෙ බලා ඉන්න.. ඒ එකතුව අරගෙන එකින් එක අත ගාලා ආපහු තියන්න. ඔබේ හිතටත් සැනසීමක් දැනේවි.


ප්‍රභානී..

මෙස්සි vs ඔල්මො

මම - මෙස්සී

මෙස්සි - ඇයි මොකෝ ? ආව අතක් බලාගන යන්න අනේ
යන්න , මං මෙතන කක්කා දානවා !

මම - සොරි , දැක්කෙ නැතුව ආවෙ

මෙස්සි - අනේ අම්මපා , වැදගත් ගෑනු ළමයෙක්ට නිදහසේ කක්ක දාන්න හැටියක් නෑනේ මේ ඉලවු ගෙදර , එහෙන් බල්ලෝ , මෙහෙන් කොල්ලෝ , ඒ මදිවට දැං ගෑණුත් එනව එක එක ඒවා අහගෙන , රෙද්ද !



අනතුර !

රංජන් ගේ හඬ පටි හා ඔබ නොහිතන ඔබ ඉන්න අනතුර! 



රංජන් රාමනායක කියන පුද්ගලයා හා පුද්ගලික කතා බහ කරපු කිසිම අයෙක් නොහිතුව කාරනාවක්නෙ ඔය කතා බහ හඬපට විදියට එලියට ඒවි කියල. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හා මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ පුද්ගලික දුරකතන ඇමතුම් පටිගත වීම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ පටිගත වීම් වෙනම සී ඩී වලට අරන් ඒවා ගබඩා කරල තියාගෙන ඉන්නව කියන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක අසාමාන්‍ය දෙයක්. මෙන්න මේ අසාමාන්‍ය දේ නිසා අද වෙනකොට බොහෝ ප්‍රසිද්ධ අයගේ හෙළුව ලෝකෙටම පෙනිල තියනව. සමහර හඬපට අහන්නත් හිරිකිත මට්ටමේ ඒවා. ඒත් දැන් ඒ හඬපට සමාජයට මුදා හැරලා ඉවරයි. ඒවයෙ අයිතිකාරයොත් සමාජයට නිරාවරණය වෙලා ඉවරයි.

♦️ඒත් මේ එලියට ආවෙ සාමාන්‍ය එදිනෙදා කතා බහද ?

නෑ නේද ? මේ එලියට ආව ඔක්කොම සාමාන්‍ය කතා බහෙන් ඔබ්බට ගියපු කතා බහ.

දැන් අපි හැරෙමු , මේ අසාමාන්‍ය කතා බහ ඔබට මට බලපාන්නෙ කොහොමද කියල !

ෆේස්බුක් අවකාශයේ තියනවා එක එක විදියේ සමූහ. මේවායින් කිසිම සාමාජිකයෙක්ට ප්‍රශ්නයක් නැති සමූහ තමයි ,

01 - කාන්තා හා පිරිමි දෙගොල්ලම ඉන්න පොදු සමූහ. ( පබ්ලික් ගෲප් )
02 - කාන්තා හා පිරිමි දෙගොල්ලම ඉන්න ඒත් පොදු නොවන සමූහ ( ක්ලෝස්ඩ් ගෲප් )
03 - කාන්තා සමූහ , ඒත් පොදු ( පබ්ලික් ගෲප් )
♦️ - මම මෙතම පිරිමි විතරක් ඉන්න සමූහ ගැන සඳහන් නොකරන්නේ ඒවා ගැන නොදන්න නිසා.

♦️ඇයි මේවායේ සාමාජිකයන්ට ප්‍රශ්නයක් නොවෙන්නේ ?

ප්‍රශ්නයක් නොවෙන්නේ මේවයේ වෙන කතා බහ ඉතාම සාමාන්‍ය නිසා. ඕනම කෙනෙක්ට විවෘත නිසා. මේ ක්ලෝස්ඩ් ගෲප් වල වුනත් තියෙන්නෙ සමාජයට වැදගත් කියල තියන ලිපි විතරයි . එහෙම නැත්තම් කියවල හිනාවෙන්න රසවිඳින්න පුලුවන් දේ විතරයි. මේවයෙන් කිසිම හානියක් නෑ. මොකද කවුරුත් ම ප්‍රසිද්ධියේ තමන්ගේ හෙළුව ලෝකෙට නොපෙන්වන නිසා.

 ප්‍රශ්නයක් තියන සමූහ වලට වැටෙනවා

♦️කාන්තාවන් විතරක් ඉන්න වැහුනු සමූහ ( ක්ලෝස්ඩ් ගෲප් )

ඇයි මම කියන්නෙ මේවයෙ ප්‍රශ්නයක් තියනව කියල. මේවයේ විවිධ තරාතිරම් වල කාන්තාවන් දහස් ගානක් ඉන්නවා. මෙතනින් එක් කාන්තාවක් රැඩිකල් පන්නයේ කතාවක් කීව ගමන් අනිත් බොහෝ කාන්තාවනුත් තමන් රැඩිකල් බව පෙන්නන්න දෙපාරක් නොහිතාම තමන්ගේ මතය එලිපිට කියන්න පෙළබෙනවා. හැබැයි මෙයාල හිතනවා මෙයාලගෙ මතය ඉතාමත්ම සුරක්ශිතයි කියලා.


♦️ඒත් ඇත්තටම මේ මතය සුරක්ශිතයි ද ?

නිකමට හිතන්න ඔය කාන්තා ක්ලෝස්ඩ් ගෲප් එකක ඉන්න දහස් සංක්‍යාත කාන්තාවන්ගෙන් එක් කෙනෙක්ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කිරීමක් මගින් යනවා තවත් කෙනෙක් අතට. නිකං මනුස්සයෙක් හැක් කරලා තවත් කෙනෙක්ගේ ගිණුමක් ගන්නෙ නෑනෙ. එහෙම ගන්නෙම කුමක් හෝ යටි අරමුණක් එක්ක. යම් මානසික අසහනයක් ඇති කෙනෙක් තමයි එහෙම කරන්නේ. මොකද නිරෝගී මනසක් තියන කෙනෙක්ට එහෙම නිකම්ම නිකං තවත් කෙනෙක්ගෙ ෆේස්බුක් ගිණුමක් ගන්න ඕන්නෑනේ. මොකද අපි මහා ප්‍රසිද්ධ චරිත නෙමෙයි නෙ. දෙකෝටියකට වඩා ඉන්න ලාංකිකයො අතරෙත් අපිව නමින් හොඳටම දන්නෙ උපරිම 5000 ක් 6000 ක් , හෝ උපරිම ලක්ශයක් නෙ. ඉතින් ඇත්තටම අපි ප්‍රසිද්ධ චරිත නෙමෙයි. නිකම්ම නිකං චරිත. ඉතින් එහෙම චරිතයකගේ ගිණුමක් හැක් කරල ගන්නෙම විකෘති මනසක් හිමි කෙනෙක් !

දැන් මේ විකෘති මනසක් හිමි කෙනා මේ ගිණුම අරන් පොල්සම්බෝල හදන්නෑනෙ නේද ? මෙයා කරන්නෙ අර ගිණුමේ මැසෙන්ජර් බලන එක , ඊගාවට අර මැසෙන්ජර් වල ඉන්න ලිස්ට් එකට අසැබි වචන වලින් අමතන එක , ඊගාවට කරන්නේ ඒ කෙනා සක්‍රීය සමූහ වලට එබෙන එක !

♦️අන්න ඔබ ඔබවම අමාරුවෙ දාගන්න තැන !...

මේ සක්‍රීය සමූහ වල තියන සාමාන්‍ය කතා බහ මේ විකෘති මනසක් හිමි කෙනාට වැඩක් නෑ.

😈හැබැයි අසාමාන්‍ය කතා බහ !

මෙන්න මේක මේ කෙනාට ඉල්ලමක් කරගන්න පුලුවන් !

අන්න ඒ නිසාම ඔබ තැනක හැසිරෙනකොට , තමන්ගෙ මතය එලියට දෙනකොට , අනේ මෙතන මාරම සුරක්ශිතයි කියලා නම් හිතන්න එපා.

♦️සයිබර් අවකාශයේ කිසිවක් සුරක්ශිත නෑ ! කිසිවක්ම සුරක්ශිත නෑ !

ඔබේ මතය එලියට දෙනකොට , ලයික් , කමෙන්ට් වලට ආසාවෙන් දෙයක් ලියනකොට , දෙපාරක් නෙමෙයි ලක්ෂ වතාවක් හිතන්න ,

🌹මේක දවසක මගේ පවුලෙ මිනිස්සු දැක්කොත් මොනා වේද කියල ?
🌹මේක දවසක මගේ හස්බන්ඩ් දැක්කොත් එයාට කොහොම හිතෙයිද කියලා ?
🌹මේක දවසක එලියට ආවොත් මගෙ දරුවො කොහොම හිතයිද කියල ?

අන්න එහෙම හිතලා , තමන්ගෙ මතය එලියට දෙන්න !...

♦️තමන්ගෙම අතින් තමන්ගෙම බෙල්ල කපාගන්න එපා !

🌹දුරකතන සංවාදයක් වත් සුරක්ශිත නොවූ රටක , ෆේස්බුක් අවකාශයේ සුරක්ශිත තාවයක් හොයන්න එපා !

©️ප්‍රභානී තෙන්නකෝන්.



ලොකු අම්මා

ලොකු අම්මා...


මගේ ජීවිතය තුළ මා දුටු අහිංසකම ගැහැණිය ඇයය. ඈ මගේ අම්මාගේ අක්කාය. මීට අවුරුදු ගනනාවකට කලින් ඈ අපේ ගෙදරට ආවේ සිහි විකල් ගැහැණියක ලෙසය. එවක මට අවු. 10 ක් පමණ වන්නට ඇත. තනියම කතා කරනවා ඇරෙන්නට වෙන කිසිම දෙයක් ඈ කලේ නැත. පාසල් අධ්‍යාපනය කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හමාර කල ඇය ඉන් පසුව  රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ රැකියාව කලාය.

මීට අවුරුදු ගනනාවකට පෙර මා ඉපදෙද්දී අපේ තාත්තාට රැකියාව තිබුනේ නැත. ඒ ජූලි වැඩ වර්ජනයට පිං සිදු වන්නටය. ඒ කාලයේ බිළිඳු මාගේ සියළු වියදමත් අපේ ගෙදර වියදමත් දැරුවේ ඇයය. මගේ මතක සීමාවේ ලොකු අම්මා අපේ ගෙදර එනවා යනු අපිට නත්තල් ය. අපි තුන්දෙනාට බන්ටි ටොපී පැකට් තුනක් සමග තෑගි මලු තුනක් ඈ ගෙනෙන්නීය. ඒ දවස් සුන්දරය. වයසින් වැඩෙද්දී මට ලොකු අම්මාට මනස විකෘති වුයේ ඇයිදැයි දැනගන්නට වුවමනා විය. අම්මාගෙන් ඒ ගැන අසූවිට ඈ බොහෝ අනුවේදනීය කතාවක් කීවාය.

ඒ ලොකු අම්මා තරුණ වියේ තිබූ පෙම් පළහිලවුවකි. ඔහු බොරු කාරයෙකි. තක්කඩියෙකි. ඔහු ලොකු අම්මාව රවටා බොහෝ සේ සල්ලි ගරාගෙන මාතලේ ප්‍රදේශයේ ලොකු ගෙයක් හදාගෙනය. ආච්චි ලොකු අම්මාට දුන් රත්තරන් බඩු වලින් හතරෙන් තුනහමාරක්ම ඔහු ගෙන ගොස් ය. එපමණක් නොව සීයා ලොකු අම්මාට ලියා දුන් බොල්ගොඩ ගඟ අයිනේ පොල් අක්කරයද විකුණා සල්ලි ඔහු ගෙන ගොස් ය. ( මගෙ අම්මාගේ ගම පානදුරය) අවසානේ අපේ තාත්තා ( අම්මව බලන්නට ආ ගිය සමයේ )  සීයා හා එක්ව ඔහු ගැන තොරතුරු හොයද්දී ඔහු එවක දෙදරු පියෙක් වගට දැනගන්නට ලැබී ඇත. ඉතින් කසාද මිනිහෙකුට තවත් කසාදයක් කරගන්නට බැරිය. ඔහු කල වංචාවේ ප්‍රථිඵලය ලෙස ලොකු අම්මා තනිකඩව ඉන්නට හිතුවක්කාර තීරණයක් ගත්තාය. තනියම කල්පනා කරමින් අවුරුදු ගණනාවක් විඳවූ ඇය අවසානේ සිහි විකල් ගැහැණියක වූවාය. බෙහෙත් වලින් පලක් වූයේද නැත.

ඈ තනිව ලෝකයක් මනසින් මවාගෙන එහි ජීවත් වූවාය. එහි සනී මහත්තයා යනු ඇගේ පෙම්වතාය. ඔහු රතු කාරයකින් ඈ ගෙනියන්නට එන තුරු ඈ අදටත් දොරකඩ බලා ඉන්නීය. එදවස මට නොතේරුනද අද ඈ මගේ ඇස් වලට කඳුළු ගෙනෙන්නීය. මිනිසෙකු විස්වාස කිරීමේ දඬුවම ඈ තනිව විඳින්නීය. ප්‍රේමය ඈව අතරමංකොට හමාරය.

ඈ විටක තාත්තාට බැන්නාය. තෙන්නකෝන් ගල් මූසලයා කියමින් බනිද්දි තාත්තා ඒ පිටුපස සිට ඒවා අසා සිනාසෙනු මම බොහෝ සේ දැක ඇත්තෙමි. නිරතුරු කෝප වන අම්මා ලොකු අම්මා හා කට ගහගෙන ගියද ඒ හැම අවස්ථාවකම තාත්තා මැදිහත්ව ලොකු අම්මා බේරා ගත්තේය. එහෙත් සනී මහත්තයා පන්නා දැමුවේ තාත්තාය කියමින් ලොකු අම්මා තිස්සේම තාත්තාට බැන්නාය. තාත්තා ඒ කිසිවක් කිසි දවසක හිතට ගත්තේ නැත. තාත්තා නිරතුරුවම අපට කීවේ අපිට නැති කාලෙ ඔයාලට ලොකු අම්මා කිසි අඩුවක් කරේ නෑ. ඔයාල ඒ ගුණේ තියන්න කියාය. මෙලොව උතුම්ම තාත්තා ඉන්නේ මටයැයි මට සිතෙන්නේ එනිසාය.

සිංහල අවුරුද්දට ඈ හා ගණුදෙනු කරන අම්මාත් තාත්තාත් ඈට බුලත් කොළ වල ඔතා සල්ලි දෙන්නේය. අවුරුද්ද පසු වී මාස ගානක් ගෙවුන දාක වුව ලොකු අම්මාට කිට්ටු වී ඔක්කම්මෙ සල්ලි කීයක් වත් නැද්ද අනේ අම්ම නෑනෙ ගෙදර යැයි කී විට ඈ ඇගේ කොට්ට මෙට්ට අවුස්සා බුලත් කොළ වල එතූ 500 / 1000 කොල අපිට දෙන්නීය. ඒවා බුලත් කොලේටම දියව තිබූ අවස්තා පවා අතීතයේ තිබිණි.

මම සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වූ දා අම්මා මට කීවේ ලොකු අම්මගෙන් ඉල්ලගන්න මොනාහරි එයා ගාව තියනව එක එක ජාති කියාය. ඒ අසා මම ලොකු අම්මාට කිට්ටු වී , ඔක්කම්මේ ඔයා මට තෑගි දුන්නෑනෙ. මං විභාගෙ පාස් යැයි කී විට , අනේ ඩෝටර් මා ගාව නෑනෙ ඔයාට දෙන්න දේවල්, මං සනී මහත්තයට දුන්නනෙ ඔක්කොම. ඉන්නකො බලන්න යැයි කියා ඇගේ ඇදුම් අතරින් කුඩා පොට්ටනියක් ගෙන ලිහා එහි වූ රන් මාලයක් මා අත තැබීය. එය මම අම්මාට දුන් විට අම්මා යලි එය මටම දී ඔයා තියාගන්න මදෑ ඔහොම එකක්වත් ඉතුරු වෙලා තිබ්බා යැයි කීවාය. ලොකු අම්මා ඉස්සර ගෙදරට ඇන්දේ සාරිය. ඒ නිසා ඈට හැමෝම තෑගි දුන්නේත් සාරිමය. ඉඳහිට දාක ලොකු අම්මාගේ කාමරයට යන අම්මා අක්කෙ මං මේක ගන්නවායි කියමින් සාරි කීපයක් ගෙන නික්මෙන්නීය. ලොකු අම්මා කිසිදා එපා කියන්නේවත් ගත්තේ මොනාද කියාවත් අසන්නේ නැත. මම නිවසේ හිටි දාක ලොකු අම්මා හා උදේ පාන්දර මිදුලට වී ඉන්න විට අම්මා ලක ලෑස්ති වී පාසල් යන්නට නිවසින් නික්මුනාය.

අම්මා යන දෙස බලා ලොකු අම්මා , "ඩෝටර් දන්නවද ? අරය අර හැඩට ඇඳන් පද්ද පද්ද යන්නෙ මට අහවලා අහවල් දවසෙ දුන්න සාරියක් " යයි කීවාය. හවස අම්මා නිවසට ආ විට මම හිනැහෙමින් එය කී විට අම්මා ඇස් ලොකු කර , ඇත්තටම පුතේ ඒක හරියටම හරි කීවාය.

මගේ විවාහ උත්සවේට කලින් මම ලොකු අම්මා ලඟට වී , ඇයි ඔක්කම්මෙ එන්නෙ නැත්තේ , ඒ මගෙ දවසනෙ. ආස නැද්ද මං එහෙම දකින්න යැයි ඇසූ විට , බෑ ඩෝටර් සනී මහත්තයත් නෑනෙ. ඒත් මං ඔයාට ප්‍රසන්ට් එකක් දෙනව. ඉන්නකො යි කියමින් යලි අර පොට්ටනිය ලිහා පෙන්ඩන්ට් එකක් මා අත තැබීය. එය අල්ල තරම් වූ සිප්පි කටුවට හැඩයෙන් යුතු මුතු එබ්බවූවකි. මම අම්මාට එය දෙන විට අම්මා හඬා වැටෙමින් කීවේ එය ආච්චි විසින් ලොකුඅම්මාට කසාද බඳින දාකට කියා හැදවූවක් බවය.

ලියන්නට දහසක් දේ මතකයට ආවත් ඒවා පෙළගස්සන්නට තරම් හිතේ නිදහසක් නැත. ඒ මේ වෙද්දී මගේ ආදරණීයම ඔක්කම්මා ඉන්නේ රෝහල්ගතව නිසාය. ඇගේ අහිංසක මූණ අද දවසට සිය දහස් වාරයක් මා ඉදිරියේ මැවී බොඳවී ගියේ කඳුළු අතරින් ය. ඉස්සරම දවස් වල මගේ කාමරය ගාවට මහ රෑත් ඇවිත් දොරෙන් එබී ඩෝටර් ඔයා ඉන්නව නේද යි ඇසූ හැටි තිස්සේම කණ මුල ඇහෙනවා සේය. මෙච්චර කාලයකට මට කවමදාවත් වෙන රටක ජීවත් වීම වේදනවාක් කියා නොදැනුනාට අද උදේ සිටම සියුම් ඉඳිකටු තුඩක් අනිනවා සේම එය මට වේදනාවක් දෙන්නේය. ඇය දැන් පසු කරන්නේ අසාධ්‍යම අවදියකි.

මම හුදකලා වන සෑම මොහොතකම ඈ ගැන සිතන්නෙමි. ප්‍රේමය ඇයව මොන තරම් නිර්ලජ්ජිත ලෙස රැවටුවාද යන්න ගැන සිතන්නෙමි. ඈ සතු සබ්බ සේසතම තවත් මිනිසෙකුට පුදන්නට තරම් ඈ ඇගේ ප්‍රේමය තුළ අව්‍යාජ වූවාය. සත්තකටම ඈ ඔහුට ප්‍රේම කලාය. මේ මා අකුරු කරන මොහොතේදී පවා , දියරමය ආහාර පමණක් ගන්නා අවස්ථාවක් පසු කරමින් වුව ඇය ඇගේ සයනයට වී ඔහුට ප්‍රේම කරන වග මම දන්නෙමි.

ඈ සතුව තිබූ ආච්චි මම්මා ඈට දුන් බොහෝ කණ කර ආභරණ ඈ ඔහුට දී තිබිණි. ඒ ඔවුන්ගේ හෙට දවස වෙනුවෙනි. ඈ මසක් පුරා රැකියාව කොට මාසය අවසානයේ පඩි පතද ඔහුට දුන්නාය. ඒ ද හෙට දවස හිනැහෙනු පිණිසය. එපමණක් නොව, සීයා ඇයට ලියා තිබූ බොල්ගොඩ ගඟ අයිනේ තිබූ අක්කර දෙකක පමණ පොල් ඉඩමක් ද විකුණා ඈ ඔහුට මුදල් දුන්නාය. ඒ මාතලේ ප්‍රදේශයේ ඔහු හදනවාය කියූ දෙමහල් නිවස වෙනුවෙන් ය.

ඒ සියල්ල ඈ ඔහු වෙනුවෙන් කරන්නට යෙදුනේ හිතේ අපමණ ප්‍රේමයක් පුරවාගෙනය. එය අව්‍යාජය. එහෙත්  , ඔහු නිර්ලජ්ජිත ලෙස ඈ රැවටුවේය. ඇගෙන් සල්ලි ගෙන වෙන ගැහැණුන් හා ගියේය. ඇයට බොරු පොරොන්දු දෙමින් ඈව ගසා කෑවේය. ගැහැණු රවටා සල්ලි මිල මුදල් ගෙන ගෙදර මිනිසුන් සන්තර්පණය කලේය.

මම ඔහුට තිරිසනෙක් යැයි නොකියමි. ඒ තිරිසන් සතුන් පවා ඊට වැඩි ගුණයකින් යුතු නිසාය.

ඇත්ත පෙනි පෙනී ඒ ඇත්ත පිළිනොගන්න තරම් ලොකු අම්මා සතු ප්‍රේමය ප්‍රබල විය. ඈ ඔහුව විස්වාස කලාය. ඒ විස්වාසයම අවසන පාරාවලල්ලක්ව  ඈ සිහි විකල් ගැහැණියක් කරන්නට සමත් විය. අම්මාත් තාත්තාත් නොහිටින්න ඈ පිස්සන්කොටුවක මේ මොහොතේත් සිටිනු ඇත.
නැගණියක ලෙස තම සහෝදරියට එපමණ යුතුකම් කරනා ගැහැණියක්  හා තම බිරිඳගේ අක්කාට තම සහෝදරියක සේ සිතා ඉවසන පිරිමියෙකු මා කිසි තැනක දැක නැත. එවන් උතුම් දෙපළකගේ දුවක් වීමම පිණකැයි මම සිතන්නේ එහෙයිනි.

ලොකු අම්මාව රැවටූ ඒ නිර්ලජ්ජිත මිනිසා අවසන ජරා ජීර්ණව එක්තැන් වී අසූචි ගොඩක මිහිපිට අපා දුක් විඳ තම ශරීරයේ පණුවන් දගලන තුවාල සහිතව මින් අවු. කීපයකට පෙර මියගිය වග ආරංචි විය. ඔහුට එසේ වූවාට පවු නැත. ඔහුට එසේ විය යුතුය. ලොකුඅම්මාගේ අහිංසක මූණ දකින වාරයක් පාසාම මම ඔහුට වෛර කලෙමි. මියෙන තුරු එවන් මිනිසුන්ට වෛර කරමි. ගැහැණුන් සෙල්ලම්බඩු කරගන්නා අවලං පාපතරයින් ට වෛර කරමි.

මීට අවු. 20 කට පමණ පෙර ලොකු අම්මා මා තුරුල් කොටගෙන මෙසේ කීවාය.

ඩෝටර් ඔයා කවදාවත් කාටවත්ම ලව් කරන්න එපා. මිනිස්සු අපි හිතනවට වඩා ගොඩාක් වෙනස්.
ඒ ඈ කීවෙ ඇගේ වේදනාවය.

ඇය තව කොපමණ කාලයක් ජීවත් වේද කියා කියන්නට නොහැකිය. අද ඈ සිටින්නේ ඇඳේය. එහෙත් මම ආස ඈ යලි ඇඳේ නොයිද ගේ වටේ ඇවිදිනවාටය. ගෙයි දොරඩකට වී සනී මහත්තයා එන තුරු හෝ බලා සිටිනවාටය. තාත්තා මගුල කැඩුවා කියා බනිනවාටය. අම්මා ඇගේ කුමක් හෝ අරන් ඇතැයි කියා කෑ ගහනවාටය. වත්තේ දළු කඩන්නට එන ගැහැණුන්ට කිරි පිටි පැකට් එකම හලා දෙනවාටය. වස දමා ඇතැයි කියා හාල් ගෝනියම විසි කරනවාටය. සත විසි පහකට බොහෝ දේ මිලට ගත හැකි යැයි ගණන් හිලවු කියනවාටය. ගෙදර අත් උදවුවට ඉන්නා පාපා ව රු. 10 ක් හා බඩු ලිස්ට් එකක් දී ගෙයින් එලියට දමා දොර වසනවාටය.

ඇත්තටම ලොකු අම්මා ඒ කල කී කිසිම දෙයක් අප කවමදාකවත් වදයක් කරදරයක් ලෙස සිතුවේ නැත. එදත් අදත් කවදත් ඈ අපට ලොකු අම්මා විය. එය හෙටත් එහෙම්මමය.




තන්හාව

තන්හාව ! 



මුලින්ම කියන්නෝනා මේක මම ලියන්නේ සත්‍යයම සත්‍ය කතා බහක් නිසා බව. ඒ නිසා අනේ අම්මල ඔහොම නෑ අනේ කියල කියාගෙන එන්නෙපා ! කොහොමත් හැම අම්මෙක්ම එක වගේ නෑ.

මේ පහුගිය දවසක ( නත්තල් දා ) අපි අපේ යාලුවෙක්ගෙ ගෙදරකට ගියා කෑමට. එතනදි ඊට මාසෙකට වගේ කලින් මගෙ සැමියා මට දුන්න උපන්දින තෑග්ගක් ගැන කට්ටිය කතා වෙන අතර තුර සිදුවුන කතාබහක් තමා මේ තියෙන්නෙ .

ඇය - දැන් ඉතින් ඔයා දුවෙක් හදන්න අනේ , දවසක ඔය මුද්ද එයාට දෙන්න පුලුවන් නේ

මම - මං හිතන් ඉන්නෙ අපෙ කොල්ලගෙ කෙල්ලට පළවෙනි තෑග්ග හැටියට මේක දෙන්න තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල .

ඇය - අයියෝ පිට කෙල්ලෙක්ට ඔච්චර වටින එකක් දෙන්න ලෝබ නැද්ද අනේ , මම නම් හරි ලෝබයි , මගේම දුවෙක්ට දෙනව වගේද අනේ පිට එකියකට වටින බඩු දෙන එක නෑනෙ.. අපේ අම්මගෙත් බඩු ඔක්කොම මම ගෙනාව මෙහෙට.  මං නම් පතන්නෙම දුවෙක් වෙන්න කියල ( ඇගේ ගැබ්බර කුස අතගාමින් ) මගෙ බඩු දවසක දෙන්න.

මම - මට නම් ඕවෑ ගානක් නෑ අනේ , ඇත්තම කීවොත් මට දවසක දුවෙක් හිටියත් මම බොහෝ දුරට මගේ ජුවලරිස් , අපේ කොලු පැටියා ගේන කෙලි පැටික්කිට දෙයි , මොකද එයා සතුටින් හිටියොත් නෙ මගෙ කොලු පැටිය සතුටින් ඉන්නෙ , දුවෙක් හිස් අතින් යවන්නෑනෙ කොහොමත් ඉතින්

ඇය - අනේ මට නම් කවදාවත් බැරිවෙයි එහෙම හිතන්න !

මේ දෙබස් වලින් ඔබට හිතෙන්නෙ මොකද්ද ?
ඇත්තටම මට ඇය ගැන කළකිරීමක් ආවා හිතට. හැබැයි මම ඒ වෙලාවෙම ඒ කළකිරීම හිතින් අයින් කරා මට වැඩක් නෑනෙ ඒක එයාගෙ හැටිය නෙ කියල.

දරුවෙක් ගැන සෙනෙහස හා තන්හාව කියන්නෙ දෙකක්. බොහෝ පවුල් වල ප්‍රශ්න ඇති වෙන්නේ ඔන්න ඔය තන්හාව නිසා. දරුවෙක්ට කවදාවත් තන්හා වෙන්න එපා. ඒකෙන් දුක් විදින්නේ තවත් දරුවෙක්.

මම හැමදාමත් කතා කරන්නෙ මගේ පවුල මුල් කරගෙන. මොකද අනිත් අයගෙ පවුල් ගැන ඇතුලාන්තය මම නොදන්න නිසා. අනේ අරයගෙ පවුල එහෙමයි මෙයාගෙ පවුල එහෙමයි කියල කියන්න මම කවදාවත් කැමති නෑ. මොකද අපි එයාලගෙ පවුල් ගැන ඒවයේ ඇතුලාන්ත ගැන නොදන්න අය නිසා. අපි දන්නෙ ඒකපාර්ශ්වික කතාවක් විතරයි. ඒ අපිට සමීප කෙනා අපි හා කියන කතාව විතරයි. එයා කවදාවත් එයාට අවාසිසහගත පැත්ත කතා කරන්නෙ නෑ. හරි ඒක පැත්තකින් තියන්නකො.

මගෙ පවුල ගත්තොත් අපේ අම්මා වැඩියෙන්ම සමීප එයාගෙ ලේලිලා දෙන්නට. හේතුව දුව වෙච්ච මම ඉන්නෙ බොහෝ දුර වීම. අම්ම එක්ක හැම දේකටම කතා කල සැනින් එන්න , අතේ දුරින් ඉන්නෙ ඒ දෙන්නා , ( අතේ දුරින් කීවට ඉතින් එක්කෙනෙක් ඉන්නේ පැය 6 ක දුර , අනිත් කෙනා ඉන්නේ පැය එකහමාරක දුර තමන්ගෙම වාහනේකින් එනවනම් ) සාමාන්‍යයෙන් අම්මා මට බනින්නෙත් මේ දෙන්න එක්ක. ඒත් විස්වාස කරන්න මේ තාක් කාලයක් ( අම්ම නැන්දම්මෙක් වෙලා දැන් අවු. 18 ක් විතර ) අම්මා ඒ දෙන්නගෙ කිසිම දොසක් මා එක්ක කියල බැනල නෑ. අයියල එක්ක කියන්නෙත් නෑ. ඒ දෙන්නටම හැබැයි එයාලගෙ අඩුපාඩු හරි ආදරෙන් කියල දීලා ලස්සන ජීවිත හදාදීල තියනව. අන්න ඒ නිසා ඒ දෙන්නත් අම්මට පණ ඇරල ඉන්නව.
එතනින් ගියාම මගෙ නැන්දම්මා , එයා කවදත් මට යාලුවෙක්. සමහර දවස් තිබ්බා මගේ හිත රිදවුන , හැබැයි මම ඒ මොහොත ඉවසුවා. අන්න ඒ ඉවසීම මේ වෙද්දි මම එයාගෙ දුවටත් වඩා හොඳයි කියන තැනට ගෙනල්ල තියනව. කිසිම පවුලක ප්‍රශ්න ගැටුම් නැත්තෙ නෑ. ඒත් ඉවසීම තියනවානම් ඒ දේවල් හරි සුළු දේවල්. සමහරවිට මගේ අම්මවත් මගේ නෑනල දෙන්න ඉවසුවා වෙන්න ඇති.

මේ අම්මල දෙන්නගෙම හිත් වල තමන්ගෙ දරුවන් ගැන තන්හාව නෑ. තියෙන්න ආදරේ විතරයි. ආදරේ නිසාම එයාල අපිවත් අපි එයාලවත් ඉවසනව. ඒත් තන්හාව තියන තැනක ආත්මාර්ථය ඇර ආදරයක් ඉතුරු වෙන්නෑ. බොහෝ ගැටුම් වලට මුල ඒක.

තමන්ගෙ දුව විතරක් තමන්ගෙ වෙලා ලේලි පිට එකියක් වෙන්නෙ මෙන්න මේ ආත්මාර්ථය නිසා. තමන්ගෙ පුතා ගේන දුවත් තමන්ගෙමයි කියල හිතන්න තරම් දරු සෙනෙහසක් හැම අම්මෙක්ගෙම හිතේ ඇති වෙනවානම් ඒ තැන් හරි සුන්දරයි.

දැන් කෙනෙක් කියාවි ඔය තමන්ගෙ කියල අල්ල ගන්න එක තමයි හෙණේ කියල.

අල්ලා ගැනීම තමා ආත්මාර්ථකාමි කම. ආදරේ කියන්නෙ අයිතිකරගැනීමම නෙමෙයි. ඒකනෙ හුණු වටයේ කතාවෙදි ගෲෂා දරුවව අතාරින්නෙ. තමන්ගේ කියල හදවතින් අල්ලගෙන ආදරේ කරන එක හරි සුන්දරයි. හැබැයි හදවතින් අතෑරල අනේ මගේ මගේ කියල බදාගන්න යන එක අසුන්දරයි. එහෙම වුනාම වෙන්නෙ හැමෝටම වේදනාවක් ඉතිරි වෙන එක.

අවසානයේ කියන්න තියෙන්නෙ මෙච්චරයි ,
ඔබට ඉන්නේ දුවෙක් නම් ඒ දුවට ආදරේ වෙන තරමටම පුතා ගේන දුවටත් ආදරේ වෙන්න. එයත් තමන්ගෙම දුවෙක් තමා කියල හිතන්න. තමන්ගෙ පුතාට කියා දෙන්න කාන්තාවන් කියන්න කවුද කියල. කාන්තාවකට ගරු කරන්න කියා දෙන්න. තමන්ගෙ අම්මට ආදරේ කොයි තරම් ද අන්න ඒ තරම්ම තමන්ගෙ බිරිඳටත් ආදරේ ආරක්ශාව දෙන්න පුරුදු කරවන්න. මේ හැම දෙයක්ම තියෙන්නෙ අම්මෙක් ගෙ අතේ. අම්මෙක් පුතෙක් හදන විදිය අනුව තවත් ගෙදරක දුවෙක් ගේ ජීවිතේ තීරණය වෙනව. අන්න ඒ නිසාම තමන්ගේ දුවට වගේම පුතාටත් මේ දේවල් කියා දෙන්න. ආදරේ බෙදන්න පුරුදු කරවන්න. ආත්මාර්ථකාමි නොවී දරුවන්ට ආදරේ කරන්න 💜

©️ප්‍රභානී තෙන්නකෝන්.

කතාවට පාදක වුන මුද්ද පහලින්




Friday 24 January 2020

ලිංගික අධ්‍යාපනය හා අපි.

ලිංගික අධ්‍යාපනය  හා අපි !

මම උදේම කියෙවුවෙ කුශාන් ප්‍රේමසිරි මල්ලිගෙ ලිපියක්. ඔහු හරි අපූරුවට අපේ සමාජයේ බහුතරයක් පිරිස ගැන ලියලා තිබ්බා , ශිෂ්ණය පෙන්නලා මොකද්ද මේ ඇහුවම ඒකට කියන වචන ලිස්ට් එකක් ගැනම ඔහු ලියලා තිබ්බා. ඔහු ගේ හැම වචනයක් එක්කම මම එකඟයි. මොකද මමත් අත්දැකීමෙන්ම දන්නවා අපේ සමාජයේ අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට හැසිරෙන්නෙ ලිංගිකත්වය කියන්නෙ අනෙ අම්මෝ වගේ සංකල්පයක් ඔලුවෙ තියාගෙන කියන්න කියන එක ගැන.

මීට සෑහෙන්න කාලෙකට කලින් මම එක්තරා පත්තරේක ගියපු ලිපියක් කියෙවුවා , මට දැන් ඒ පත්තරේ නම මතක නෑ , ඒත් ඒ ලිපිය මතකයි , ඒ ලිපියේ තිබ්බා මෙහෙම , අම්මා මල්ලිව ( අලුත උපන් )  නාවලා ඇඳෙන් තියලා අන්දන්න ලෑස්ති වුනාම එතන්ට අක්කා එනවා ( ඇයට අවු. 2 ක් හෝ 3 ක් ) ඇය අහනවා අම්මේ මොකද්ද මේ නැට්ටක් කියලා මල්ලියේ රහස් අවයවය පෙන්නමින්. අම්ම කියනවා ආ මේ වැඩි කෑල්ලක් පස්සෙ කපන්න ඕන කියල. ඒ මොහොතෙ ම නිවසේ බෙල් එක වදින නිසා අම්මා යනව කවුද බලන්න , විනාඩි දෙකක් වගේ කාලයකින් අලුත උපන් බබා යටිගිරියෙන් අඬන හඬ එන්න අම්මා එනව කාමරේට. ඇය දකින්නේ කතුරක් අතේ තියන් ඉන්න අක්කා හා රහස් අවයවය අහිමි මල්ලිව. අක්කා අම්මට කියනවා , අම්මේ ඔයාට ලේසි වෙන්න ඔන්න මම ඒක කපල දැම්ම කියල.

මේ තමයි නූගත්කමට දෙන්න පුලුවන් හොඳම උදාහරණය !

ඇයි මේ දේවල් ළමයින්ට මැජික් කරල තියෙන්නෙ ?

මම අනුන්ගේ පවුල් ගැන නොදන්න නිසා මම කතා කරන්නම් මගේ පවුල ගැන.

මගේ පුතාට මේ වෙද්දි අවු. 9 කට මාස 3 ක් අඩුයි. ඔහු මේ වෙද්දි බොහෝ දේ දන්නවා. මමත් මගේ සැම්යාත් , 1 වසරේ සිට ලැබෙන පාසැල් අධ්‍යාපනයත් ඔහුට කියා දී තියෙනවා හැම දේ ගැනම. ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් වෙනස් වෙන්නෙ කොහොමද කියන්න ඔහු දන්නවා. වැඩිවිය පැමිණීම කියන්නෙ මොකද්ද කියන්න ඔහු දන්නවා. තමන්ගෙ මව මාසෙකට වරක් ගෙවන අපහසු දින කීපය ගැන දන්නවා. මාසෙ මුල සුපර්මාර්කට් එකෙන් බඩු ගන්නකොට පෑඩ් පැකට් ගන්න ඕන කියලත් ඒ ඇයි කියන්නත් ඒක පාවිච්චි කරන්නෙ කොහොමද කියන්නත් ඔහු දන්නවා. තමන්ගේ ශිෂ්ණය පිරිසිඳු කරගන්න ඕන කොහොමද කියන්න හොඳ අවභෝදයක් තියනවා. දරුවෙක් පිළිසිඳගන්නේ කොහොමද කියන්න ඔහු දන්නවා. ඒ වගේම Gay හා Lesbian  දෙක වෙන් වෙන්නේ කොහොමද හා ඒ අයගේ සිතුවිළි කොහොමද කියන්න දන්නවා !
මෙන්න මේ කරුණු නිසා මගේ පුතාට එයාගෙ අම්මා බිකිණි එකක් ඇඳන් ඉන්න එක මැජික් එකක් නෙමෙයි ! ඒ වගේම තමන්ගෙ රහස් අවයව  හා තමන්ගෙ පියා යට ඇඳුමෙන් ඉන්නකොට දකින ස්වරූපය හෝ මැජික් එකක් නෙමෙයි. අනේ මේ මොකද්ද කියා අහන්න ඔහුට අවශ්‍යතාවක් නෑ. මොකද ඔහු දන්නවා මේ කිසිවක් මැජික් නොවන බව !

ඒත් කියන්න හරිම කණගාටුයි , අපේ සමාජෙ බහුතරයක් ඉන්නේ තමන්ගේ පියාගේ හා සහෝදරයාගේ  අවයවය ගැන බොරු කතා කියා දෙන අම්මලා වගේම , කොහෙන්ද අම්මේ නංගි / මල්ලි ගෙනාවෙ කියල ඇහුවම රෝස කැලෙන් කියන අම්මලා. මේක අදටත් එහෙම්මම තමයි. ඒකෙ කිසිම වෙනසක් නෑ. මොකද මම එහෙම කෙටි ලිපියක් හා ඒකට අදාල කමෙන්ට් කියවලා ඇවිත් තමා මේක ලියන්නෙ. ( දැන් අහන්නෙපා කොහෙන්ද දැක්කෙ කියලා , මොක්ද මගෙ ප්‍රතිපත්තිය තමයි කිසිම සමූහයක් ගැන හෝ එකී සමූහ වල සක්‍රීය කුළක ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීම )

මේ තත්වය වෙනස් විය යුතුයි. මම පොඩි කාලෙ මට ලැබුන ලිංගික අධ්‍යාපනයක් නෑ. කාලයක් යනකල් මම හිතාගෙන හිටියේ දූෂණය කරනව කියන්නෙ හිංදි නිළියන්ගේ හැට්ටෙ ගලවන එකට කියල.මොකද හැම හින්දි චිත්‍රපටයකම නිළිය බචාඕ බචාඕ කිකිය දුවන්නෙ හැට්ටෙ බේරගන්න නිසා. ඒත් කාලය එක්ක 11 වසරට ආවම තමා ඒ ගැන යම් අවභෝදයක් ලැබුනේ මොකද්ද මේ වෙන්නෙ කියල. ඒත් ඒ අධ්‍යාපනය ලැබෙන්න ඕන අවු. 6-10 වයස් කාණ්ඩ වලට. මොකද ඒ දරුවන්ට තමයි කුතුහලය උපරිමයෙන් තියෙන්නෙ.   බහුතරයක් ලාංකික දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය තියෙන්නේ පහල මට්ටමක. එතනින් මිදිලා ,  හතේ පොත කියා ලබාදෙන අධ්‍යාපනයටත් අකුල් හෙලන සමාජයක් තමා අපිට තියෙන්නෙ. ඇත්තටම ඒ පොත දෙන්න ඕනා හත වසරට නෙමෙයි එහි මූලික අදියර දෙන්න ඕනා 1 වසරට.

ඊටත් කලින් අම්මා තාත්තා කියා දෙන්න ඕනා පුතේ මේකෙ නම චූ පැටියා - ජුංඩා - රං කුරුල්ලා නෙමෙයි , මේකෙ හරි නම ශිෂ්ණය , මේකෙන් වෙන්නෙ මෙන්න මේක , ශිෂ්ණය කියල කියාගන්න බැරි නිසා මගෙ පුතා මේකට ඕන නමක් කියන්න මේක නංගිට නෑ මොකද , ඒක නැති නිසා තමයි නංගි ගෑනු කෙනෙක් වෙලා ඔයා පිරිමි කෙනෙක් වෙලා තියෙන්නෙ , තාත්තා ට මේක තියනව අම්මට මේක නෑ ඔයාගෙ ඇඟේ වටිනාම කොටස් වලින් එකක් මේක , ඒ නිසා මේක පරිස්සම් කරගන්න , කාටවත්ම අතපත ගාන්න දෙන්න එපා කියල ! ඒ වගේම දුවෙක් ටත් ඒකම අනිත් විදියට කියා දෙන්න ! මේ එකක්වත් මැජික් නොවන බව ඔබේ දරුවන්ට වටහා දෙන්න !

©️ප්‍රභානී තෙන්නකෝන්.


කී නොකී කවි





කී නොකී කවි.