Tuesday 21 January 2020

තවත් එක බිරිඳක් 01

තවත් එක් බිරිඳක් 01 


මාර්තු මාසෙ ලස්සනම දවසක පුදුමාකාර ලස්සන මංගල උත්සවයක් මැද මම පවන් ගේ බිරිඳ වුනා. මාස දෙකක දැන හැඳින ගැනීමකින් පස්සෙ මම පවන් ව බැන්ඳට ඇත්තටම මම ඔහුට ආදරේද කියන දේ පෝරුව උඩදිත් මම මගේ හිතින් ඇහුවා. ජීවිතේ කියන්නෙම මහා පුදුමාකාර කතාවක්. මීට මාස හතරකට කලින් මම ධනූට ආදරේ කරේ පිස්සුවෙන් වගේ. අවුරුදු ගාණකට පස්සෙ වුනත් මට ඒ ආදරේ ඒ වචන අදත් ඇහෙන තරමටම ඒ ආදරේ ප්‍රභලයි. 

ඇයි මම පවන් ව බදින්නේ , අද ඉඳන් මේ ජීවිතේ මොන වගේ වෙයිද ? පවන් මාව පිළිගනීද ? ධනූ එක්ක එකට ජීවත් වෙච්ච මම අද පෝරුවක් උඩ තව කෙනෙක්ට බිරිඳ වෙන්නෙ කොහොමද ? මම පෝරුව් උඩ වැටේවිද ? මේ වගේ මටවත් හිතාගන්න බැරි මහා පැටළිලි සහගත කරුණු කාරණා මහා ගොඩක් මගේ හිතේ සටන් කරා. මම හිතුවෙම ඔය කතා වල තියනවා වගේ මම පෝරුව උඩ කලන්තෙ දායි කියල. ඒත් පෝරුවෙන් බහිනකල්ම එහෙම දෙයක් වුනේ නෑ. 

පෝරුවෙන් බැහැල ගිහින් ලස්සනට හදල තිබ්බ මේසෙක තියල තිබ්බ පොතේ අස්සන් කරද්දි ඇත්තටම මගේ ඇස් බොඳ වුනා. ඇඟිළි වෙවුලුවා. තව දුරටත් මේක හීනයක් නෙමෙයි කියන්න මට මටම වටහලා දෙන්න උත්සාහ කරේ හිත එක්ක සටන් කරන ගමන් මයි. ජීවිතේ අපිව කොහේ ඉඳන් කොහාට ගෙනියනවද ? මම හිතන්න උත්සාහ කරා. පවන් ගෙ බිරිඳ විදියට පොතෙත් අස්සන් කරලා නීතියෙන්ම කසාදත් බැඳලා , හතර අතෙන් ඇහෙන කන් පුපුරණ සංගීත සද්දෙ එක්ක මම තවමත් ඇයි මම ධනූ ව දාලා ආවෙ කියන ප්‍රශ්නෙට උත්තරේ හෙවුවා. තේරුමක් නැති ප්‍රශ්න ! 

අවසානෙ මම අම්මගෙ හිත හදන්න මගේ ජීවිතේ කැප කරා කියන අදහස එක්ක ඉදිරියට යන්න තීරණය කරා. තවත් මොනා හිතුවත් වැඩක් තියනවද ? තව මූණ දෙන්න කොච්චරක් ප්‍රශ්න මගෙ ඉස්සරහා තියනවද ? අද රෑට මම් මූණ දෙන්නෙ කොහොමද ? පවන් මාව පන්නයිද ? මගේ හිත මාවම පිස්සු වට්ටන තැනට ආයම ප්‍රශ්න කරන්න ගත්තා. නෑ පවන් එහෙම පටු තාලෙට හිතන කෙනෙක් නොවේවි , එහෙම නොවේවා ! මං ප්‍රාර්ථනා කරා. දෙයියනේ මේ මගේ මගුල , මං ඉන්නෙ දෙළොවක , හිතාගන්න බැරි දරාගන්න බැරි ප්‍රශ්න කෝටියක මං අතරමං වෙලා ඔලුව බදාගෙන ඉන්න මොහොතක කොහෙන්දෝ පැනඩෝල් දෙකක් උස්සගෙන ආව මගෙ නෑනා මාව මේ ලෝකෙට ආයම ඇදලා දැම්ම. 

මේ ඔයාගෙ මගුල , අවමගුල නෙමේ දෙයියනේ , හිනා වෙලා ඉන්න. අයියා ඔයාට අන්තිම මොහොතෙත් කීවා , අම්මට බම්බු ගහගන්න කියල මේ මගුලට අකමැති නම් බෑ කියන්න කියල. ඔයයි හා කීවෙ. එහෙම එකේ හිනා වෙලා ඉන්න දැන්.  නෑනා එහෙම කියනකොට මං කල්පනා කරා දැන් මොක වුනත් මම බැඳල ඉවරයි නේද කියල. හැමෝම කතා වුනේ මගෙ ලස්සන ගැන. කවුද මාව ඩ්‍රස් කරේ කියන එක ගැන. තමන්ගෙ ලෝගො එක ගහගෙන ඇවිත් ෆොටෝ වීඩියෝ කරපු අය ගැන. බර ගානක් වියදම් කරන්නැති මගුලට , එකම කෙල්ලනෙ , ආය ඉතින් සල්ලි ප්‍රශ්න කියලයෑ. නෑයො කතා වුනේ ඔය වගේ අපබ්‍රංස ! 

අඟල් තුනක හතරක හයි හීල්ස් දෙකක් දාගෙන සුද්දෙක් එක්ක අත් පටලෝගෙන මා ගාවට ආව ලස්සන කෙල්ලෙක් , හායි , මම පවන් ගෙ වන් ඇන්ඩ් ඔන්ලි නෑනා , පවන් ඔයාට හම්බුන කාලෙට වඩා ඉස්සර මාරම ලස්සනයි , මේ ඉන්නෙ බ්‍රයන් , මගෙ බෝයිෆ්‍රෙන්ඩ් , අපි තකහනියෙම ලංකාවට ආවෙ පවන් ගෙ මනමාලිව බලන්නමයි ! මෙන්න බොලේ කොහෙන්දෝ කඩාපාත් වුන මරාලයක් මගෙ ලඟ කියෝනව. ඒ කතාවෙන් මම ගත්තෙ එකයි , ඒ තමයි මට හම්බුනේ කැත පවන් නම් ලස්සන පවන් හිටියේ මේ ඉටිකිරිස් නෑනා ගාව කියන එක විතරයි. හොඳයි , ඒක මට අද රෑ ගෙවාගන්න හොඳ පොයින්ට් එකක්. දෙවියන්ට ස්තූති වේවා ! මම මගේ හිතටම කියා ගත්තා. 

" ඔයාලා කැන්ඩි වල ලු නේද ? කෝ ඔයාගෙ වෙඩින් රිංග් එක බලන්න. ශා මරුනෙ , කවුද තේරුවෙ ? පවන් නම් වෙන්න බෑ , එයාට එහෙම සෙන්ස් එකක් නෑ. " මේ හොල්මන එක දිගට කියෝනව. කතාවෙන් නම් මෙයා පවන් ගෙ අම්මටත් වඩා පවන් ව දන්න පාටයි. මාත් ශේප් න්‍යායෙන් ඉන්නෝන මෙයා එක්ක. මම මටම කියාගන්න ගමන් , ඔවු අක්කි මම කැන්ඩි. ඔයා USA නේද ? මං අහල තියනව. මාත් මොකටද සකන්ඩ් වෙන්නෙ තාලෙන් කතාවට වැටුනා. මෙයා වගේ ලස්සන කෙල්ලක් එක්ක යාලු වෙලා හිටියනම් ඇයි ඒක අතෑරුනෙ. ආයම මට ප්‍රශ්න ! 

" ඩාලිං , මෙහෙම ඉඳල බෑ , දැන් කපල් එක කට්ටියට කතා කරන්න ඕන. කෝ අනේ ගෲම් , ආ මේ එන්නෙ , යං යං දෙන්නම යං. මෙහෙම බෑ අනේ !  " ඒ ගමන මගේ වෙඩින් ප්ලෑනර් බෙරිහං දෙනවා. "මිනිහෝ ! නෑයො අනිද්දා මට ගල් ගහයිද කියලයි මම මේ කල්පනා කරන්නෙ " කියලා මම මටම හිතෙන් කියා ගත්තා. මොකෝ ඕක කටින් කියන්නයෑ ඌට.  ප්‍රගීත් අනේ ඕක ගොයින්ග් අ වේ ඩ්‍රස් එක ඇන්දම කරන්න බැරි ද ? අනේ මේ මාල බරයි. මට නැවෙන්න බෑ. මං හිමීට කෙඳිරි ගෑවා.  ඕකේ ඕකේ ඩාලිං. ප්ලීස් හිනා වෙලා ඉන්න. කෝ මේ මේක් අප් ආටිස්ට්. ඔයාට පොඩි ටච් එකක් දාන්න වෙයි. බ්‍රයිඩ් වුනාම ලස්සනට ඉන්න එපෑ අපායට හෙණ ගැහුව වගේ නැතුව ! ඒ ගමන ආයම ප්‍රගීත් කියෝනව. මට මේ අපාය පෙනිලා ඉන්නව. මේ මිනිහා මගුල් කියෝනව. 

හරි , ඔක්කොම මකබාවල් ඉවර වෙලා පිටත් වෙන මොහොත ආවා. ජය පිරිත් , සෙත් පිරිත් මැද පවන් මගේ අතින් අල්ලගෙන කාර් එකට ගොඩ වුනා. කඳුළු ආයාසයෙන් තද කරගෙන හිටියට ඒ වෙලේ නම් මට බයටම ඇඬුනා. හෝ ගාල ඇඬුනා. මේ යන්නෙ මගේ අවසන් ගමන නේද වගේ හිතුවිළි තොගේකින් මම පීඩා වින්දා. ඔය අස්සෙ මෙන්න කෝල් එකක් ! 

මතු සම්බන්ධයි ! 

No comments:

Post a Comment