තන්හාව !
මුලින්ම කියන්නෝනා මේක මම ලියන්නේ සත්‍යයම සත්‍ය කතා බහක් නිසා බව. ඒ නිසා අනේ අම්මල ඔහොම නෑ අනේ කියල කියාගෙන එන්නෙපා ! කොහොමත් හැම අම්මෙක්ම එක වගේ නෑ.
මේ පහුගිය දවසක ( නත්තල් දා ) අපි අපේ යාලුවෙක්ගෙ ගෙදරකට ගියා කෑමට. එතනදි ඊට මාසෙකට වගේ කලින් මගෙ සැමියා මට දුන්න උපන්දින තෑග්ගක් ගැන කට්ටිය කතා වෙන අතර තුර සිදුවුන කතාබහක් තමා මේ තියෙන්නෙ .
ඇය - දැන් ඉතින් ඔයා දුවෙක් හදන්න අනේ , දවසක ඔය මුද්ද එයාට දෙන්න පුලුවන් නේ
මම - මං හිතන් ඉන්නෙ අපෙ කොල්ලගෙ කෙල්ලට පළවෙනි තෑග්ග හැටියට මේක දෙන්න තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල .
ඇය - අයියෝ පිට කෙල්ලෙක්ට ඔච්චර වටින එකක් දෙන්න ලෝබ නැද්ද අනේ , මම නම් හරි ලෝබයි , මගේම දුවෙක්ට දෙනව වගේද අනේ පිට එකියකට වටින බඩු දෙන එක නෑනෙ.. අපේ අම්මගෙත් බඩු ඔක්කොම මම ගෙනාව මෙහෙට. මං නම් පතන්නෙම දුවෙක් වෙන්න කියල ( ඇගේ ගැබ්බර කුස අතගාමින් ) මගෙ බඩු දවසක දෙන්න.
මම - මට නම් ඕවෑ ගානක් නෑ අනේ , ඇත්තම කීවොත් මට දවසක දුවෙක් හිටියත් මම බොහෝ දුරට මගේ ජුවලරිස් , අපේ කොලු පැටියා ගේන කෙලි පැටික්කිට දෙයි , මොකද එයා සතුටින් හිටියොත් නෙ මගෙ කොලු පැටිය සතුටින් ඉන්නෙ , දුවෙක් හිස් අතින් යවන්නෑනෙ කොහොමත් ඉතින්
ඇය - අනේ මට නම් කවදාවත් බැරිවෙයි එහෙම හිතන්න !
මේ දෙබස් වලින් ඔබට හිතෙන්නෙ මොකද්ද ?
ඇත්තටම මට ඇය ගැන කළකිරීමක් ආවා හිතට. හැබැයි මම ඒ වෙලාවෙම ඒ කළකිරීම හිතින් අයින් කරා මට වැඩක් නෑනෙ ඒක එයාගෙ හැටිය නෙ කියල.
දරුවෙක් ගැන සෙනෙහස හා තන්හාව කියන්නෙ දෙකක්. බොහෝ පවුල් වල ප්‍රශ්න ඇති වෙන්නේ ඔන්න ඔය තන්හාව නිසා. දරුවෙක්ට කවදාවත් තන්හා වෙන්න එපා. ඒකෙන් දුක් විදින්නේ තවත් දරුවෙක්.
මම හැමදාමත් කතා කරන්නෙ මගේ පවුල මුල් කරගෙන. මොකද අනිත් අයගෙ පවුල් ගැන ඇතුලාන්තය මම නොදන්න නිසා. අනේ අරයගෙ පවුල එහෙමයි මෙයාගෙ පවුල එහෙමයි කියල කියන්න මම කවදාවත් කැමති නෑ. මොකද අපි එයාලගෙ පවුල් ගැන ඒවයේ ඇතුලාන්ත ගැන නොදන්න අය නිසා. අපි දන්නෙ ඒකපාර්ශ්වික කතාවක් විතරයි. ඒ අපිට සමීප කෙනා අපි හා කියන කතාව විතරයි. එයා කවදාවත් එයාට අවාසිසහගත පැත්ත කතා කරන්නෙ නෑ. හරි ඒක පැත්තකින් තියන්නකො.
මගෙ පවුල ගත්තොත් අපේ අම්මා වැඩියෙන්ම සමීප එයාගෙ ලේලිලා දෙන්නට. හේතුව දුව වෙච්ච මම ඉන්නෙ බොහෝ දුර වීම. අම්ම එක්ක හැම දේකටම කතා කල සැනින් එන්න , අතේ දුරින් ඉන්නෙ ඒ දෙන්නා , ( අතේ දුරින් කීවට ඉතින් එක්කෙනෙක් ඉන්නේ පැය 6 ක දුර , අනිත් කෙනා ඉන්නේ පැය එකහමාරක දුර තමන්ගෙම වාහනේකින් එනවනම් ) සාමාන්‍යයෙන් අම්මා මට බනින්නෙත් මේ දෙන්න එක්ක. ඒත් විස්වාස කරන්න මේ තාක් කාලයක් ( අම්ම නැන්දම්මෙක් වෙලා දැන් අවු. 18 ක් විතර ) අම්මා ඒ දෙන්නගෙ කිසිම දොසක් මා එක්ක කියල බැනල නෑ. අයියල එක්ක කියන්නෙත් නෑ. ඒ දෙන්නටම හැබැයි එයාලගෙ අඩුපාඩු හරි ආදරෙන් කියල දීලා ලස්සන ජීවිත හදාදීල තියනව. අන්න ඒ නිසා ඒ දෙන්නත් අම්මට පණ ඇරල ඉන්නව.
එතනින් ගියාම මගෙ නැන්දම්මා , එයා කවදත් මට යාලුවෙක්. සමහර දවස් තිබ්බා මගේ හිත රිදවුන , හැබැයි මම ඒ මොහොත ඉවසුවා. අන්න ඒ ඉවසීම මේ වෙද්දි මම එයාගෙ දුවටත් වඩා හොඳයි කියන තැනට ගෙනල්ල තියනව. කිසිම පවුලක ප්‍රශ්න ගැටුම් නැත්තෙ නෑ. ඒත් ඉවසීම තියනවානම් ඒ දේවල් හරි සුළු දේවල්. සමහරවිට මගේ අම්මවත් මගේ නෑනල දෙන්න ඉවසුවා වෙන්න ඇති.
මේ අම්මල දෙන්නගෙම හිත් වල තමන්ගෙ දරුවන් ගැන තන්හාව නෑ. තියෙන්න ආදරේ විතරයි. ආදරේ නිසාම එයාල අපිවත් අපි එයාලවත් ඉවසනව. ඒත් තන්හාව තියන තැනක ආත්මාර්ථය ඇර ආදරයක් ඉතුරු වෙන්නෑ. බොහෝ ගැටුම් වලට මුල ඒක.
තමන්ගෙ දුව විතරක් තමන්ගෙ වෙලා ලේලි පිට එකියක් වෙන්නෙ මෙන්න මේ ආත්මාර්ථය නිසා. තමන්ගෙ පුතා ගේන දුවත් තමන්ගෙමයි කියල හිතන්න තරම් දරු සෙනෙහසක් හැම අම්මෙක්ගෙම හිතේ ඇති වෙනවානම් ඒ තැන් හරි සුන්දරයි.
දැන් කෙනෙක් කියාවි ඔය තමන්ගෙ කියල අල්ල ගන්න එක තමයි හෙණේ කියල.
අල්ලා ගැනීම තමා ආත්මාර්ථකාමි කම. ආදරේ කියන්නෙ අයිතිකරගැනීමම නෙමෙයි. ඒකනෙ හුණු වටයේ කතාවෙදි ගෲෂා දරුවව අතාරින්නෙ. තමන්ගේ කියල හදවතින් අල්ලගෙන ආදරේ කරන එක හරි සුන්දරයි. හැබැයි හදවතින් අතෑරල අනේ මගේ මගේ කියල බදාගන්න යන එක අසුන්දරයි. එහෙම වුනාම වෙන්නෙ හැමෝටම වේදනාවක් ඉතිරි වෙන එක.
අවසානයේ කියන්න තියෙන්නෙ මෙච්චරයි ,
ඔබට ඉන්නේ දුවෙක් නම් ඒ දුවට ආදරේ වෙන තරමටම පුතා ගේන දුවටත් ආදරේ වෙන්න. එයත් තමන්ගෙම දුවෙක් තමා කියල හිතන්න. තමන්ගෙ පුතාට කියා දෙන්න කාන්තාවන් කියන්න කවුද කියල. කාන්තාවකට ගරු කරන්න කියා දෙන්න. තමන්ගෙ අම්මට ආදරේ කොයි තරම් ද අන්න ඒ තරම්ම තමන්ගෙ බිරිඳටත් ආදරේ ආරක්ශාව දෙන්න පුරුදු කරවන්න. මේ හැම දෙයක්ම තියෙන්නෙ අම්මෙක් ගෙ අතේ. අම්මෙක් පුතෙක් හදන විදිය අනුව තවත් ගෙදරක දුවෙක් ගේ ජීවිතේ තීරණය වෙනව. අන්න ඒ නිසාම තමන්ගේ දුවට වගේම පුතාටත් මේ දේවල් කියා දෙන්න. ආදරේ බෙදන්න පුරුදු කරවන්න. ආත්මාර්ථකාමි නොවී දරුවන්ට ආදරේ කරන්න 💜
©️ප්‍රභානී තෙන්නකෝන්.
කතාවට පාදක වුන මුද්ද පහලින්
No comments:
Post a Comment