Wednesday 24 June 2020

කඳුකරයේ මතක 15

කඳුකරේ මතක 15 


හැමදාමත් අවුරුදු චාරිත්‍ර ඒ විදියටම ඉටු කරන්නත් ඒ එක එකක් ගැන අපිට කියා දෙන්නත් අපේ අම්මයි තාත්තයි දෙන්නම එකා වගේ ඒ වෙනුවෙන් හිටියා කීවොත් මම හරි. හැම අවුරුද්දකම කුස්සිය මැද ලිපක් හදලා ඒකෙ කිරි ඉතිරෙවුවේ අම්මා. අම්මත් එක්කම ඒ හැම තැනකම ආදරේ පුරෝගෙන හිටියේ ලොකු අම්මා. කිරි උතුරවලා ඉවර වෙලා අවුරුදු චාරිත්‍ර කරනකොට අපි හැමෝම ඉස්සෙල්ලම වැන්දේ ලොකු අම්මට. ඊට පස්සෙ තාත්තට. අන්තිමට අම්මට. බුලත් අත දීලා වැන්දම ඒ බුලත් අතෙන්ම කොළයක් අරන් ඒකෙ සල්ලි ඔතල අපිට දෙනවා. 

ඊට පස්සෙ අපි යන්නෙ ගණුදෙනු කරන්න. හැමදාමත් අපි ඉස්සෙල්ලම ගණුදෙනු කරේ ලිඳ එක්ක. කලින් සෝදලා අරන් තිබ්බ අඟුරු කැට පොල්කට්ටක් , ලුණු ටිකක් , සමන් පිච්ච මල් අහුරක්, සල්ලි කාසියක් එක්ක ලිඳට දාන අම්මා ලිඳට වැඳලා අලුත් වතුර පනිට්ටුවක් ගන්නවා. ඒ වතුර පනිට්ටුවෙන් ගන්න වතුර බෝතලයක් අරන් තියනවා පිරිත් කරන්න. හැම අවුරුද්දකම මේ දේ මේ විදියටම අපේ ගෙදර සිද්ද වෙනවා. ඔවු අදටත් , අපි තුන් දෙනාගෙන් දෙන්නෙක්ම අවුරුද්දට ගෙදර නැති වුනත්. 

ඊට පස්සෙ අපි යන්නෙ ඉස්සෙල්ලම පංසලට. කැවිළි කිරිබත් අරගෙන පංසලට ගිහින් වැඳ පුදාගෙන එන ගමන් අම්මා සේකර මාමගෙ කඩෙන් ලුණු පැකට් එකක් හාල් , පොල් වගේ මොනාහරි දෙයක් ගන්නවා. ඊට පස්සෙ සේකර මාමා අපිට තෑගි දෙනවා. ඊගාවට ගෙදර එන අපි කැවිළි පිඟන් අරන් වටේ ගෙවල් වලට යනවා. එයාලත් අපේ ගෙදරට එනවා. කඳුකරේ අවුරුදු සිරියෙන් පිරිලා ඉතිරිලා යනවා. අලුත් ඇඳුම් අලුත් බඩු එක්ක රතිඤ්ඤා හඩින් මුලු පලාතම අලුත් වෙනවා. 

උඩ ගෙදරට පහල ගෙදරට කැවිළි පිඟන් උස්සන් යන පොඩි අපි ඊගාවට පටන් ගන්නේ ඔංචිලි පදින්න. කැට ගහන්න , පංච දාන්න. වට පිටේ ඉන්න පොඩි උන් ඔක්කොම එකතු වුනාම ඕසෙට සෙල්ලම් කලෑකි. සමහර වෙලාවට අවුරුදු උත්සව පවා තියන්න තරම් අපි ඒ කාලේ නිදහස් චරිත. තාලෙට ඔංචිලි වාරම් කිය කිය ඔංචිලි පදින්නේ අවුරුදු කාලෙට විතරයි. අනිත් කාලෙට නිකම්ම ඔංචිලි පදිනව මිසක් සිංදු කවි කියන්නෑනේ. වරුවක් ඔංචිලි පැදලා ඊගාවට කරන්නෙ පංච දාන එක. 

ඊට පස්සෙ ගෑණු ළමයි ටික මිදුලේ ලොකු කොටු ඇඳලා කොටු පනිනකොට පිරිමි ළමයි කරන්නෙ කැට ගහන එක. අන්තිමේ රෑට රෑ වෙනකල් සෙල්ලම් කරලා අවසානෙට කරන්නේ එදා දවසෙ අපිට ලැබුණ ගණුදෙනු වල සල්ලි එකතු කරන එක. පස්සේ ඒ සල්ලි ඔක්කොම අම්මල එක්ක ගිහින් බැංකු පොතට දානවා. පොඩි කාලෙ ඉඳන්ම අපේ අම්මල අපිට ඉතුරු කරන්න කියා දුන්නෙ එහෙමයි. ඒ ජීවිතේ හරිම ලස්සනයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 

මතු සම්භන්ධයි. 



කඳුකරයේ මතක 14

කඳුකරයේ මතක 14 


දැන්කාලෙ ළමයින්ට දකින්න අඩුවෙන් තියන කුරහන් ගල , තෝසෙ ගල , ගල් වංගෙඩිය වගේ දේවල් අපේ ගෙදර තිබුනා. දැනටත් මේ බඩු තිබුනා වුනාට දැන්නම් මේව අපේ ගෙදර තියල තියෙන්නේ අපේ අම්මගෙයි තාත්තාගෙයි මුණුබුරු මිණිබිරියො මහ ගෙදරට ආවම එයාලට මේවා ක්‍රියා කරවන හැටි පෙන්නන්න විතරයි. ඒ අතින් ඇත්තටම අපේ දරුවොත් වාසනාවන්තයි. නවීන ලෝකෙ ඉඳන් ඒ අතීත අත්දැකීමුත් ලබාගන්න පුලුවන් නිසා. 

ඉස්සර අපි පොඩි කාලෙ අවුරුදු ලංවෙනකොට අපිට ඒක දනවන්නේ පරිසරය විසින්මයි. කැලේ පිපෙන එරබඳු මල් වගේම වටේ ගස් වල ඉඳන් සිංදු කියන කොහෝ පවුලත් අපිට කියන්නෙ දැන් අවුරුදු ලඟ ලඟම එන බව. අවුරුද්ද කියන්නෙම පොඩි අපිට ලොකු මංගල්ලයක්.තාත්තා ඉස්සෙල්ලම කරන්නේ අලිගැටපේර ගහේ ඔංචිල්ලාව අලුත් කරන එක. ඊට පස්සෙ අර්සන් ලවා ලොකු වලක් වත්තෙ කප්පවන තාත්තා ඒකට කෙසෙල් කැන් දාලා දුංගස්සන්නේ අවුරුදු මේසෙට ගන්න හිතාගෙන. කෙසෙල් කොළ පරඬැල් පත්තු කරලා දුං ගස්සන කොට ඒ වටේ ඉන්න අපි ඒ දිහාවෙ බල බල ඉන්නේ කඳුළු වක්කර වක්කර. 

චන්ද්‍රානි අක්කා ලොකු තාච්චියේ මුං ඇට බදින්න ගන්නේ පූර්ණ අම්මවත් සහයට එකතු කරගෙන. මුලු ගෙදරම සුවඳ ගස්ස ගස්ස බැඳෙන මුංඇට අහුරක් ඉල්ලගන්න කියලා අපි කුස්සියට ගියාම අක්කා කියන්නේ කෝ යන්ඩ අහට්ට මෙතන ගිණි රස්නෙ ලගින්න එන්නෙ නැතුව , මුංඇට දෙන්නං පස්සෙ කියල. ඒත් පොඩි අපි කවුරුවත් ඒ වචනෙට කීකරු නැති බව අක්කත් දන්න හන්දා ලිපෙන් බාන්නත් කලින්ම ලොකු පොල්කටු හැන්දක් පුරෝලා ඒ මුංඇට අපිට දෙන්නේ පිඟානකට දාලා. 

ඊටපස්සෙ අර බැදගත්ත මුංඇට කුරහං ගලේ දාලා ඒක පිටි කරගන්නවා. පොඩි අපි ආසම වැඩේ ඒක. ගල කරකවන එක. අයියලා මුල් වට දහය කරකවන ගමන්ම මටත් දෙනවා ඒ වේගෙන්ම කරකවන්න කියල. එතකොට පොඩි මට වෙහෙස අඩුයි. ඒ කාලෙත් ඔය හැමඑකම කරගන්න හැකි විදුළි උපකරණ අපේ ගෙදර තිබුනා වුනත් අවුරුදු කාලෙට කුරහං ගල එලියට ගන්නේ පොඩි අපි වෙනුවෙන් මයි. ඒ දේවල් ගැන පාඩම් කියා දෙන්න ඕන නිසාමයි. ඇඹරෙන මුංඇට පිටි වලින් ඊටපස්සෙ අම්මයි චන්ද්‍රානි අක්කයි රසම රස මුං කැවුම් හදන්කොට එයාල ඉස්සෙල්ලම කරේ බුද්ධ පූජාව වෙනුවෙන් කොටසක් අයින් කරලාම තියන එක. 

මොකද එහෙම නොවුනොත් පොඩි අපි නිසා ඒ කාර්‍යය හරියකට කරගන්න වෙන්නෙ නැති බව එයාලට විස්වාසයි. 

රැයක් පුරාවට පෙඟෙන්න දාන කැකුළු හාල් පහුවදාට කොටන්නේ පූර්ණා අම්මා. ඒ පිටි වලින් රස කැවුම් හැදුවේ අපේ නැන්දා. අවුරුදු කිට්ටු වෙනකොට නැන්දා අපේ ගෙදර එන්නේ අපිට කැවිළි හදා දෙන්නමයි. මොකද කොළඹ හැදුන අම්මා ගමේ කෑම , කැවිළි ගැන දැනං හිටියේ බොහොම පොඩ්ඩයි. අම්මා කාටත් ලෝබ නැතුව හදා දුන්නේ බටහිර පස්සෙ කෑම. නැන්දාට ගෙනියන්න කේක් මාශ්මෙලෝස් වගේ කෑම අම්මා හදා දුන්නාඅ හැමදාමත්. 

නැන්දා හරි අගේට කැවිළි හදනකොට ඒ දිහා බලා ඉන්න පොඩි මම හරි ආසයි ඒ කාලෙ. කැවුමක් ඕන වුනාම නැන්දාගෙ පිටිපස්සෙන් බෙල්ල බදාගන්නකොට මේ දාඩිය අස්සේ ආවා නාඩගං කරන්ඩ.. කෝ යන්ඩ මං අම්මට කතා කරන්ඩ කලින් , ආ මේං මේක හංගං කන්ඩ , නැන්දා මෙහෙම කියලා හිමීට නිවුන කැවුමක් දෙකක් අතේ තියන්නේ පුදුමාකාර ආදරයක් ඇස් වල පුරෝගෙන. ඒ ඇස් වල එදත් අදත් තියෙන්නෙ අව්‍යාජ කම. ආදරය. 

පෙගෙන්න දාපු උඳු ටික අරන් උඳු ගලේ දාල අඹරන්නේ හැමදාමත් පූර්ණා අම්මා. ඊටපස්සෙ ඒකෙන් අපිට උඳුවැල් හදා දෙන්නෙත් පූර්ණා අම්මාම තමයි. අවුරුදු නිවාඩුවට ඒ කාලේ හැමදාමත් අපේ ලොකු අම්මා ඒ කියන්නෙ අපේ අම්මගේ අක්කා කොළඹ ඉඳන් ගෙදර ආවා. ලොකු අම්මා එනව කියන්නේ අපිට එලිසබෙත් රාජිනී එනවා හා සමාන දෙයක්. ආදරේ එක්ක පොඩි අපි හැමෝටම එක වගේ තෑගි ගොඩාරියක් අරන් එන ලොකු අම්මා කියන්නෙ ඇත්තටම ආදරේ ප්‍රතිමූර්තියක්. 

පොඩි අපි තුන්දෙනාට අලුත් ඇඳුම් වලට අමතරව , රතිඤ්ඤා පෙට්ටි තුනක් , බංටි ටොපී පැකට් තුනක් , මාමයිට් බෝතල් තුනක් , චොක්ලට් පාර්සල් තුනක් , ඇපල් මිදි වගේ මහා ගොඩක් තෑගි අරන් තමයි ලොකු අම්මා හැමදාමත් නිවාඩුවට අපේ දිහා ආවෙ. ලොකු අම්මා තැගි මලු ලිහන හැම වෙලාවෙම අම්මා කීවේ , අනේ අක්කේ මොකට ඔහොම වියදං කරනවද එකක් ගෙනාහම මදෑ කියල. එතකොට ලොකු අම්මා හිනා වෙලා අහන්නේ , එකක් ගෙනාවම මෙතන රංඩු බේරන්නෙ මං ද? කියල. 

තුන් දෙනාට සමානව ලොකුම ලොකු තෑගි මළු තුනක් ගේන ලොකු අම්මා ගෙදර බල්ලා වෙච්ච ටොමීට පවා බිස්කට් ගේන්න කවදාවත්ම අමතක කරේ නෑ. ඒ තරම් ආදරේ උල්පතක් මම මගේ ජීවිතේ කවමදාකවත් දැකල නෑ ඇත්තටම. තුන්දෙනාටම ඉංග්‍රීසි කතා පොත් අරන් එන ලොකු අම්මා මුලු නිවාඩුවෙම අපිට ඒ කතා කියා දුන්නා. බටහිර විදියටම ඉංග්‍රීසි උච්ඡාරණය කරපු ලොකු අම්මා පොඩි අපිට බැරි පාඩම් පවා ඒ කාලෙ කියා දුන්නා. 

මතු සම්භන්ධයි 
©️ප්‍රභානී තෙන්නකෝන්. 



කඳුකරයේ මතක 13

කඳුකරේ මතක 13 


ඇටම්පිටිය කියන ගම එක්ක මට තියෙන්නෙ හරි ආදරණීය මතක ගොඩක්. හරියට හයිඩි එයාගෙ සීයා එක්ක ජීවිතේ ගත කරපු කඳුකරය එක්ක තිබ්බ බැඳීම වගේ. කඳුකරය කියන්නෙම ආදරේ පිරුණ අව්‍යාජ මිනිස්සුන්ගෙ තෝතැන්නක්. ඒක දැනෙන්න නම් නාගරික , අර්ධ නාගරික ජීවිතෙන් මිදිලා ගම් ඇතුලට යන්න ඕන. හරියට අපේ නැන්දල ගෙ ගෙවල් තියන පැති වලට වගේ. 

අපේ ගෙදර තිබ්බෙ ඇටම්පිටියෙ නගරෙම වුනාට ඒක පොඩි නගරයක්. පොඩි කඩ මණ්ඩියක් එක්ක සියළු අවශ්‍යතා සපිරුණ නගරයක්. අවට ගම් කීපෙකටම තිබ්බ ආසන්න නගරයත් ඒක මයි. ඇටම්පිටිය ට ඇටම්පිටිය කියන නම වැටෙන්න කලින් ඉස්සරම කාලෙ මිනිස්සු කියල තියෙන්න සටංපිටිය කියලලු. ඒ නම වැටෙන්න ඇත්තෙ නම් අපේ ගෙදරට උඩින් තියන බලකොටුව නිසා වෙන්න ඇති. කොටුගොඩැල්ල බලකොටුව කියන්නෙ හරි ලස්සන තැනක්. ඒක මේ වෙද්දි පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් සංරක්ෂණය කරනවා වුනාට ඉස්සර අපි පොඩි කාලෙ එහෙම තිබ්බෙ නෑ. ඒක එතකොට අපේ බලකොටුව. 

අපේ ගේ ගාවින් කන්ද උඩට පඩි පෙලේ නැග්ගම හම්බවෙන්නෙ කොටුගොඩැල්ලෙ බලකොටුව. බලකොටුව වටේට දිය අගල. බලකොටුව මුදුනට ගියාම ඌව පලාතෙන් බාගෙකටත් වඩා පේනව ලස්සනට. ඒක පෘතුගීසි කාලෙ හදපු බලකොටුවක්. එතන උඩට පේනවා බෝධියක්, අන්න ඒකට අපි කීවෙ නයයි හැපින්නයි බෝධිය කියල. එහෙම කීවේ ඒ බෝධියේ බෝධි මූල යන් දෙකක් එකිනෙකා වෙලාගෙන ඉන්න නයෙක් හා හැපින්නකගේ හැඩය ගත්ත නිසා. පැරැන්නෝ කියන විදියට නම් බලකොටුව මුදුනේ ඉදන් ඊතල පණිවිඩ එවුව තැනක් තමයි ලු ඒ බෝධිය. 

පොඩි අපේ ආසම සෙල්ලමක් තමයි බලකොටු නගින එක. වට පිටේ අක්කල අයියල එක්ක අපිත් ලස්සන හවසවල් ගෙවුවේ බලකොටුවෙ. පුංචි නිරුවත් දෙපා වලින් තණගොල්ලේ එහෙට මෙහෙට දුවන එක තරම් සුන්දර දෙයක් තවත් නැති තරම්. කන්දෙ පැත්තක තිබ්බේ ඕසෙට වැවුන ඇඹුල්පේර. තව පැත්තක රෙඩි බෙරි ලන්ද. අතරින් පතර බ්ලැක්බෙරි ලන්ද. ඔය ඔක්කොම අතරේ හිඟුරු යාය. 
වල් ගම්මිරිස් වැල් එක්ක හිනාවෙන හීං නාරං ගස් පේලිය. හීං අරත්ත මල් පිපුන අරත්ත යාය. 

පොඩි අපි කන්දට නගින්නෙම බොරු විට කන්න තියන ආසාවටමයි. බ්ලැක්බෙරි දලු, වල් ගම්මිරිස් ගෙඩි , හිඟුරු කොළ ,මල් ,ගෙඩි , එක්ක අරත්ත මල් තමයි අපේ බොරු විට. කටවල් රතු වෙනකල්ම මේ විට හපන පොඩි අපි ඊගාවට කරන්නෙ ඇඹුල්පේර කන එක. ඊට පස්සෙ නාරං. මේ හැම දෙයක්ම අතරේ අපි හරිම ආස වැඩේ තමයි දෝංකාරෙ අහන එක. අපේ බලකොටුවේ මුදුනෙ ඉඳන් හූවක් තිබ්බම ඒක වටේ කඳු වල වැදිලා ආපස්සට අපිටම ඇහෙනවා දෙතුන් පාරකට. වටේ ගෙවල් වල ඉන්න මිනිස්සු ගෙවල් වලින් එලියට ඇවිත් , ඔය මදෑ හූ කීවා.. දැං නරිත් එයි දොක්කං කරන් යන්ඩ කට්ටියවම කියල කියනකල්ම අපි කරේ හූ කියන එක. 

බලකොටුවෙ තිබ්බ බදන්න බැරි තරම් ලොකු කලු ගල් උස්සන් ගිහින් වටේ මිනිස්සු ගෙවල් හදාගත්තට පස්සෙ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මතක් වුනේ මේ උරුමය ආරක්ශා කරන්න ඕන කියල. ඒත් ඉතින් ඒ වෙද්දි ඒකෙ ආරක්ශා කරන්න ඉතුරු වෙලා තිබ්බෙ දිය අගල විතරයි. 

කන්ද මුදුනට එක පැත්තකින් නයයි හැපින්නයි බෝධිය පේනකොට අනිත් පැත්තෙන් පෙනුනේ ගමේ පන්සලේ බෝධිය. මේ තුන සමපාද ත්‍රිකෝණයක මුළු තුනක් වගේ. වටේම කඳු වලල්ල. පැත්තකින් නමුණුකුල , පැත්තකින් පිදුරුතලාගල. තව පැත්තකින් ස්ලීපින්ග් සෝල්ජර් කඳු වැටිය. ඈතින් ඇල්ල කඳු වැටිය. පොඩි අපි රෑට රෑ වෙනකල්ම මේ බලකොටුව මුදුනේ තණ ගොල්ලේ දවස ගෙවන්න හරි ආසයි. සමහරදාට විනෝද ගමනක් වගේ කෑමත් අරන් තමයි අපි ආවේ. එහෙම දවසට අම්මලත් ආවා අපි එක්ක. එදාට අපි රෑ තරු පායන හැටි , තාරකා රටා තේරුවේ මේ තණගොල්ලේ නිදාගෙන. 

අයියා මහා වලසා හොයාගන්නකොට මම හැමදාමත් හොයාගත්තේ දඩයක්කාරයගෙ බඳ පටිය. අද ඒ සොඳුරු පරිසරයෙන් හැතැම්ම දාස් ගානක් , මුහුදු ගානක් එපිට ඉඳගෙනත් මගේ ගෙදර සඳලුතලයේ ඉඳන් යුරෝපා අහස බලන මම මගේ සැමියට ,පුතාට කලින් හොයා ගන්නෙත් දඩයක්කාරයගෙ බඳ පටිය. ඒ බඳ පටිය දිගේ ආපහු මම යන්නේ පොඩි කාලෙ මම ගෙවපු කඳුකරේ බලකොටුවට. අහස එකම එක තරු වියනක් වෙද්දි එහෙන් මෙහෙන් එන මදුරුවොන්ගෙන් බේරෙන්න අපි කරේ මදුරුතලා ගස් ටිකක් එක්කරලා ගිණිමැලයක් ගහපු එක. වරුවක් තරු දිහා බලන් ඉන්න අපි ඊගාවට කන්ද බැහැලා යන්නේ ආයම තව දවස් ගානකින් එන බවට බලකොටුවට පොරොන්දු වෙන ගමන්. 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 



කඳුකරයේ මතක 12

කඳුකරේ මතක 12


සේන මාමගෙ ජීවත කතාව හරි දුක්බර එකක්. ඒ මාම ගෙ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට පහලින්. අම්මයි තාත්තායි දෙන්නම නෑ. එයා ඉස්සර ලොකු දේපලක් තිබ්බ කෙනෙක් ලු. ටවුමේ හෝටලයක් පවා. සේන හෝටලේ. ඒ මාම ගෙ අම්මයි තාත්තායි මාමා පොඩි කාලෙම මැරිලා , ඊට පස්සේ ඒ මාමා එයාගෙ නෑයො ගාව තමයි  හැදිලා වැඩිලා තියෙන්නෙ. කොහොම හරි පොඩි කාලෙන්ම බීමට ඇබ්බැහි වීමෙ ප්‍රතිඵලයක් විදියට අන්තිමට ඒ මාම ට උනේ ඒ මාමටම අයිති සේන හෝටලේ දවසෙ පඩියට තේ හදන්න. 

කොහොම වුනත් මම හරි ආස චරිතයක් හිමි කෙනෙක් තමයි ඒ. සේන මාමා සරම පැත්තකින් උස්සගෙන ලොරි තට්ටුවකට වෙලා වැනි වැනී කෑ ගහන හැටි බලන්න මම ඒ කාලෙ හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි ඒ මාමා කරන විදියටම ආපහු ගෙදර ඇවිල්ලා රඟපාන්නත් පුදුම දක්ෂකමක් තමයි මට තිබ්බෙ. ඒ වැඩේ කරන්න කොච්චරක් එපා කීවත් අම්මට හොරෙන් හරි ඒක කරන්න තරමට මං ඒ චරිතයට හරි ආස වෙලා හිටියා. 

දවසක් අම්මයි මායි පොළේ ගිහින් එනකොට සේන මාමා වෙනදා වගේම සරම පැත්තකින් උස්සගෙන නවත්තල තිබ්බ ටිපර් එකක තට්ටුවකට වෙලා කෑ ගහනව. ලොරි තට්ටුවට වඩා එතන ඉදන් කෑ ගහනකොට හොඳට පේනව. මේක දැක්ක අම්මා මාව වෙන පාරකින් එක්ක යන්න හැදුවත් ඒක හරි නොගියේ අම්මගෙ යාලුවෙක් හම්බුන නිසා. අම්මල කතාවට වැටුනම පොඩි අපි ගැන නිනවුවක් නෑනෙ. ඉතින් ඒ නිසා මට එදා සෑහෙන්න වෙලාවක් සේන මාම කරන කියන දේවල් බලන්න පුලුවන් වුනා. 

සේන මාමා ටිපර් තට්ටුවේ වැනි වැනී මෙහෙම කියනව , මේ ලියන මොහොතෙ පවා මට ඒ මනුස්සයව මැවිල පේනවා. 

අඩෝ.... ප&යා..දැනගනිං ඕක මගේ හෝටලේ. ඔවු මගේ යකෝ.. තොපි ඕක ලියා ගත්තේ මට බොන්ඩ දීලා කමක් නෑ යකෝ.. කමක් නෑ... ඔහොම උන් අර පහල කුඹුරෙත් ඉන්නව යකෝ... ප&යෝ.... 

මේක ඇහුන මම ඒ වචන ගොන්නෙන් එක වචනයක් අල්ලගෙන ඒක මොකක් වෙන්න ඇතිද කියල හිතනකොට අන්තිමේ මට හිතුනෙ මෙහෙම. කුඹුරෙත් ඉන්නව නම් ඒ පඹයා වෙන්න ඇති කියලා. ඕක හිතාගෙන ගෙදර ආව මම ඒ ගැන වගක් නැතුව වෙන වෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. චන්ද්‍රානි අක්කා හදලා දෙන ලොකුම ලොකු කිරි කෝප්පෙ බීලා අයියලා එක්ක හැංගි මුත්තනුත් කරා. ඔහොම ඔහොම ගිහින් රෑ වුනාම තාත්තා ත් ගෙදර ආවා. 

ඔන්න අපි රෑ කෑම මේසෙ ඉන්නකොට මට එක පාරම මතක් වුනා මම අද වචනයක් හොයා ගත්ත බව. ඒක මතක් වුන මම , 

කවුද දන්නේ පඹයගෙ සමාන පදේ ? කියලා ඇහුවා. අයියලා දෙන්නා මූණට මූණ බලා ගන්නකොට අම්මා ඇස් ලොකු කරල මගේ දිහා බැලුවා. තාත්තා මගේ දිහා බලලා මොකද්ද පොඩි දූ කියන්නකො බලන්න කීවා. මාත් හරිම උජාරුවෙන් , ප&යා තමයි ඒක. අදයි මම හොයා ගත්තේ කියල කියනකොටම අයියලා දෙන්නා පුටු වලින් නැගිටලා කටවල් අතින් වහගෙන කාමර වලට දිවුවා. අම්මා වචන හිර වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නකොට තාත්තා කොහෙන්ද ඕක ඇහුනෙ ඔයාට කියල මගෙන් ඇහුවා. 

දවල් දැක්ක දේ ඒ විදියටම රඟපාලා පෙන්නුවම තාත්තා බොහොම හිමින් ආදරෙන් ඔලුව අතගාලා කීවා , ඒක පඹයාට කියන සමාන පදයක් නෙමේ පුතේ ඒක නරක වචනයක් කියලා. අම්ම නම් තාත්තාට නොපෙනෙන්න මගේ කණ මිරිකුවා. චන්ද්‍රානි අක්කා බඩ අල්ලන් හිනා වුනා. අයියලා කාලයක් යනකල් මට පඹච්චි කීවා. කාලයක් තිස්සේ ඇටම්පිටියෙ ටවුමේ හැමෝ එක්කම හිතවත්ව හිටිය ආදරණීය චරිතයක් වුන සේන මාමා පස්සෙ දවසක නිදි ඇඳේම මැරිලා හිටියා. මරණ පරීක්ෂණ තිබ්බ අය පපුවෙ අමාරුවක් නිසා කියල කියනකොට , අනේ ඒ අහිංසකයට පපුවෙ අමාරුව නොහැදුනානම් තමා පුදුමෙ කියලා ගමේ ඈයො කීවා. සේන මාම ව වලදාපු තැනට පස්සෙ දවසෙ අම්මා එක්ක ගිය මම එතන බලු නගුටු මල් මිටියක් තියලා වරුවක් කතා කර කර ඉඳලා ආවා. අයියල නම් කීවෙ මට පිස්සු කියල. ඒත් අම්මයි තාත්තයි අයියලට කීවෙ නංගිට පාඩුවෙ ඉන්න දෙන්න එයා දුකෙන් ඉන්නෙ කියල. 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 



කඳුකරයේ මතක 11

කඳුකරේ මතක 11 


පොඩි කාලෙ මම ආසම දෙයක් තමයි අම්මත් එක්ක පොළේ යන එක. අපේ ගෙදර තියෙන්නෙ බණ්ඩාරවෙල පාරෙ හරියටම ඇටම්පිටියෙ ඉස්පිරිතාලෙට පහලින්. ඉතින් අපි බණ්ඩාරවෙල පාරේ පොඩ්ඩක් පහලට ආවම තමයි ඇටම්පිටියෙ ටවුම පටන් ගන්නෙත්. ටවුම පටන් ගන්න තැනම ඉස්සර තිබ්බේ ශෙඩ් එක. දැන් ඒක එතන නැති වුනාට අලුතෙන් පෙට්‍රල් ශෙඩ් එකක් දාල තියනව එතනම පාරෙ අනිත් පැත්තෙන්. ඊට පස්සෙ එතන ඉඳන් පාරෙ පහලට පිළිවෙලකට කඩ පේලිය තැනින් තැන. ඔන්න සිංගර් මාමගේ සිංගර් කඩේ ගාවම තියෙන්නෙ රෝහිත මාමගෙ පොත් කඩේ. ඒ කඩේ පොඩි අපි තුන් දෙනාම යාව ජීව සාමාජිකයො කීවොත් මම හරි. 

පොළේ යන එක පැත්තක තියලා මම අම්මවත් ඇදගෙන ඒ කඩේට යන්නේ තෑගි ටොපී , ස්ටිකර් චොකෝ ගන්න. අපි පොඩි දවස් වල තිබ්බා තෑගි ටොපී කියල ජාතියක්. ඒ ටොෆී එක ඔතල තිබ්බ කොලේ ඇතුල් පැත්තේ ගහලා තිබ්බා අංකයක්. ආන්න ඒ අංකෙට හිමි තෑග්ග අපිට ලැබෙනවා කඩේ මාමා ගෙන්. අනිත් එක තමයි ස්ටිකර් චොකෝ. ඉස්සරම කැන්ඩෝස් චොක්ලට්, එක ඇතුලේ එක එක ස්ටිකර් තිබ්බා. මම දන්නෑ දැන්නම් තියනවද නැද්ද කියලා නම් ඒවා. තෑගි ටොපී වලින් මට ඉස්සර තෑගි ගොඩාක් හම්බවෙලා තියනව. පොඩි පොඩි ඉමිටේශන් මාල එහෙම අපිට හරි ලොකු දේවල් ඒ කාලෙ. දිළිසෙන්නෙ මොකද්ද අන්න ඒක අපිට හරි ලොකු දෙයක් ඒ කාලේ. 

ස්ටිකර් චොකෝ වලින් ගන්න ස්ටිකර් මම දුන්නෙ අයියට. එයා තමයි ඒව එකතු කරේ. එයාට තෑගි ටොපි වලින් හම්බුන කොන්ඩාකටු එහෙම එයා මට දුන්නා ඒකට හිලවුවට. වතාවක් අපේ අයියලා අහල පහල අයියලා එක්ක සෙල්ලම් කරනකොට මොකද්දෝ ස්ටිකර් රංඩුවක් ගිහින් අනූප අයියගේ ස්ටිකර් ඉරලා දාපු වෙලේ ඒ අයියගෙ තාත්තා ඒ කියන්නෙ රාළහාමි මාමා අපේ අයියලට බැනලා තිබ්බේ 

උඹලට මොන ඉස්ටිපිකර්ද බං , මෙතන මරාගන්නැතුව පළයල්ලා ගෙවල් වලට " කියලා. 

ඉතින් එදායින් පස්සේ අපි ඒ මාමට මූණට රාළහාමි මාමා කීවට නැති තැන කීවේ ඉස්ටිපිකර් මාමා කියලා මං පොඩි කාලෙ හිතන් හිටියේ ඒ මාමා පොලිස්  රාළහාමි කෙනෙක් වෙන්න ඇති කියලා. පස්සෙයි අපෙ අම්ම මට කීවේ ඒක ඒ මාමට පොඩි කාලෙ ගෙදරට කීව නම කියල. ඒ මාමා උන්නෙ අපේ වත්තට එහා වත්තේ. වැටෙන් තමා දෙපැත්ත වෙන් වුනේ. 

ඔන්න කොහොමහරි රෝහිත මාමගෙන් තෑගි ටොපී අරන් අම්මයි මායි පහලට එනකොට තියෙන්නෙ ගමේ විංකලේ. විංකලේ ගාවම තිබ්බෙ ටයර් කඩේ. ටයර් කඩේ මාම ට අයියලා කීවේ හුළං මාමා කියල. අදටත් මම දන්නෑ ඇයි ඒ මාම ට එහෙම කීවෙ කියල. කොහොම වුනත් ඒ දෙක පහු කරන් පහලට එනකොට තමයි කඩ ඔක්කොම එක ගොන්නට හම්බවෙන්නෙ. ඒ කාලෙ අපේ අම්මා බඩු ගත්තේ සේකර මාම ගෙ කඩෙන්. සේකර මාමා අපේ තාත්තාගෙ ලඟම නෑයෙක් නිසා මං කෙලින්ම ගිහින් වාඩි වෙන්නෙ මාම ගෙ පුටුවෙ. 

මේකිව නං මං ලොකු වුනාම අපේ දිහාට එක්ක යනවමයි කියල තමා සේකර මාමා ඒ පොඩි දවස් වල කීවේ. ඒ කී කතාවෙ ලොකු තේරුමක් තිබුන බව මට තේරුම් ගියේ ඊට අවු. පහලවකට විතර පස්සේ. ඒත් ඒ කතාව ඇත්තක් නොවුනේ මාමා අපි අතරින් නැතුව ගිය නිසා හා එහෙ අයිය ගෙ ජීවිතේට වගේම මගේ ජීවිතේ ටත් පසු කාලීනව වෙන වෙන චරිත එක්කාසු වුන නිසා. 

අම්මා මාම ලගෙ කඩෙන් ගන්න බඩු එහෙම තියා තියන්නේ අයියා ගෙදර යනකොට ඕක අපේ ගේ ගාවින් දාගෙන යන්න කියල කියන ගමන්. ඒ කියන්නෙ මාම වෑන් එකේ යනකොට ඒ බඩු මල්ල අපේ ගේ ගාවින් තියල යන්න කියන එක. අම්මටයි මටයි බරට බරේ බඩු උස්සන් යන්න බැරි නිසා. ගම් වල එහෙම තමයි. එක එක්කෙනාට උදවු කරගන්නවා. 
අම්මා එහෙම කියල පහල පොළ පැත්තට යන්න හදනකොට මාත් මාම ගෙ පුටුවෙන් බහින්නෙ ඒ එක්ක ම පහලට යන්න. ඔන්න එතකොට මාමා , බට්ටි ඔය යන්ඩද ? ඔරේන්ජ් බාර්ලි එපාද ? කියල අහනව. මම අම්මගෙ අතේ එල්ලෙන ගමන් " මාම ගෙනත් තියන්ඩකො , පහලට ගිහින් උඩහට එනකොට මං මැරෙයි ඕක බීවෙ නැත්තං කියල කියනව. 

මාමා ඒක අහල හයියෙන් හිනා වෙනකොට , අනේ මෙයාගෙ මැරිල්ල , අයියා අහුවෙන්නෙපා ඕවට කියාගෙන අම්ම මාවත් එක්කගෙන පොළට යනව. 

පොළේ තියෙන්නෙ පහල ගම් වලින් අරන් එන අලුත්ම එළවලු. අම්මා ඒ එක එක තෝරල ගන්න ගමන් මටත් පළතුරු මොනාහරි අරන් දෙනව , උලාගන්නෑ කටේ ඕක හෝදල දෙනකල් කියල කියන ගමන්ම. 

පොළෙන් බඩු අරන් අපි ආපහු එනකොට සේකර මාමා මට ඔරේන්ජ් බාර්ලි බෝතලේකුත් ගෙනත් තියල තියෙන්නෙ. ඒක බිබී ඉන්නකොට සමහර දාට මට පේන්නෙ සේන මාමව.

සේන මාමා කීවේ අපේ ගෙවල් ගාව හිටිය මනුස්සයෙක් ට. නෑකමක් නැතත් පොඩි අපි හැමෝම ඒ මනුස්සයට කීවේ සේන මාම කියල. සේන මාමා ඉන්නේ පැත්තකින් සරමක් උස්සගෙන , ලොරි තට්ටුවක කෑ ගගහා තමයි. අම්මා කොච්චරක් එපා කීවත් මං ආසම සේන මාමා කරන කියන දේවල් දිහා ඇස් ලොකු කරන් බලාගෙන ඉන්න. 

සේන මාමා හරි අපූරු චරිතයක් 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 




Tuesday 2 June 2020

කඳුකරයේ මතක 10

කඳුකරයේ මතක 10 

මගේ අම්මගෙ මුල් ගම වෙන්නෙ පානදුරේ. පානදුරේ කීවට පානදුර - මොරටුව දෙක මැද හරියෙ. ( පරණ ගාලු පාරෙ ) එහෙ ජීවිතේ ගෙවපු සීයා වැඩ කරේ වෝකර් සන්ස් කියන සමාගමේ. ඒ සමාගමට අයිති තේ වතු යායක් තමයි ඇටම්පිටිය වතු යාය කියන්නෙත්. ඉතින් මේ තේ වතු යායට විදුළිය සපයගන්න හදපු මේ පොඩි පවර් හවුස් එකේ විදුළි ඉංජිනේරු අංශයේ සේවය කරපු කෙනෙක් තමා අපේ සීයා. අදටත් ඒ පොඩි පවර් හවුස් එකෙ ප්‍රධාන ජල සැපයුම් නළයේ සීයගෙ නම කොටලා තියෙන හැටි බලාගන්න පුලුවන් ඒ පැත්තට යන කෙනෙක්ට. ඉතින් එහෙම ඒ ආව ගමන , කඳුකරේ ට වශී වුන සීයා ඇටම්පිටිය නගරයෙන් ඉඩම් අරගෙන ගෙවල් හදලා එහෙ පදිංචියට ඇවිත්. කොළඹ ප්‍රධාන බාලිකා පාසැල් වල ඉගෙනගත්ත අම්මයි ලොකු අම්මයිත් පස්සෙ ඇවිත් බණ්ඩාරවෙල පදිංචියට. ඔහොම ආව ලොකු අම්මා නම් ආයම කොළඹට ගියාට අම්මා නම් ඒ කාලෙ නුවරඑළියෙ කච්චේරියේ වැඩ කරපු තරුණ ලිපිකරුවකුට පෙම් කරලා කසාදත් බැඳලා දරු තුන් දෙනෙකුට අම්මෙකුත් වෙලා බණ්ඩාරවෙලම නැවතිලා තියනව. 

අන්න ඒ දරු තුන්දෙනාගෙන් බාලම පුංචිත්ති තමයි මේ අකුරු ලියන්නේ. එදා ඒ පවර් හවුස් එක නොහැදුනානම් සීයා කඳුකරේට නො'එන්න තිබ්බා. අපිත් එහෙනම් මෙහෙම නො'ඉන්න තිබ්බා. 

ඔන්න අපි ඉතින් පොඩි පවර් හවුස් එක ගාවට වෙලා බලා ඉන්නේ නුවරඑළියෙ හෝ වැලිමඩ ඉඳන් බදුල්ලට යන බස් එකක් එනකල්. බඩු බරකුත් උස්සගෙන පහලට ආව මාමා ආපහු යන්නේ අපිව බස් එකටත් නැග්ගුවට පස්සෙ. බදුල්ල බස් එකේ නගින අපි බහින්න ඕන ඇටම්පිටිය ටවුමෙන්. ඇටම්පිටිය ටවුමෙන් බහින අපි ඔක්කොම ඊට පස්සෙ ගෙදර එනවා. ගෙදර ආව ගමන් කරන්නෙ නැන්දා හදා දුන්න බත් වල රස බලන එක. අම්ම කෑ ගහන්නෙ ආං එතකොට. 

හඩ්ඩො ටික යනවද නැද්ද නාගන්න... 

බත් කෑම පැත්තක තියලා චන්ද්‍රානි අක්කා එක්ක අපි යන්නෙ නාගන්න. සීතලම සීතල වතුරෙන් අපිව නාවන චන්ද්‍රානි අක්කා අපේ ඇගවල් වල තුවායක් ඇඟේ දවටලා අවුවෙන් හිටවන්නෙ  ඔලු වේලෙන්න කියලා. ඊගාවට උකුණු යුද්දෙ.. 

හතර අතේ නටලා නටලා උකුණොත් හදාගෙනද ආවෙ කියාගෙන උකුණු පනාවට තෙල් පොඩ්ඩක් ගාලා අවුවෙ හිටන් ඉන්න අපේ තෙත ඔලු සීරුවට පීරන්න චන්ද්‍රානි අක්කා හරි හපනි. ඔන්න වැරදිලාවත් උකුණෙක් අහු වුනොත් එදා මුලු දවසම අපේ ඔලු හම ගහන්න නම් අක්කා දෙපාරක් හිතන්නෙ නෑ. 

අක්කා පූර්ණ අම්මා එක්ක උයා තිබ්බ කෑමත් , නැන්දා කෙහෙල් කොලේ ඔතා දුන්න කෑමත් අපි කන්නෙ හත් දවසක් බඩගින්නෙ උන්න ළමයි ගානට. ඔන්න කාපු ගමන් කරන්නෙ නටන්න පටන් ගන්න එක. අම්මගෙ කෑ ගැහිල්ල කණකටවත් නොගෙන එක පිම්මට අපි දුවන්නෙ කැලේට. 

කැලේ කීවට ඒක පොඩි ලඳු කැලෑවක්. ඒක තිබ්බෙ අපේ වත්ත මායිමේ. කැලේ තිබ්බා පොඩි ලිඳකුත්. ඒ වගේම රස පළතුරු ගසුත්. 

කැලේ කියන්නෙ අපේ පාරාදීසෙ. පාරාදීසෙට යන පාර වැටිලා තිබ්බෙ අපේ වත්ත මැදින් , දෙපැත්තෙ පුපුන ලිලී මල් පඳුරු මැදින් තිබ්බ පටු පාරකින් තමයි අපි පාරාදීසෙට ගියේ. ඒ කාලෙ අපේ වත්තේ තිබ්බෙ චන්ද්‍රානි අක්කා අර්සන් , ගනේෂ් වගේ අය ලවා හදපු එළවලු පාත්ති . ඒ පාත්ති කීපේ ඇරුනම අනිත් කොටස නම් තනිකරම මානා ලන්ද. තව තිබුනා එක පැත්තක යෝධ නිදිකුම්බා පඳුරු ගොඩක්. අපි ඒවට ඉස්සර කීවෙ හිටපං මචං කියලා. මොකද ඒවයෙ පැටලුනොත් ඉතින් පැටලුනාම තමයි ආය ගැලවෙනු බොරු. එතකොට ඉතින් හිටපං ම තමයි.  පස්සෙ කාලෙක ඒ ඔක්කෝම සුද්ද කරලා එළවලු පාත්තිත් අහක් කරලා අපේ මුලු වත්තම තේ වත්තක් වුනා. අර්සන් , ගනේෂ් කීවෙ වතු වැඩ වලට අපේ දිහා එන දෙන්නෙක්. ගනේෂ් නම් දැන් ජීවතුන් අතර නැති වුනාට අර්සන්ව නම් අදටත් අපේ දිහා ගියොත්  බලාගන්න පුලුවන් . 

කැලේ කියන්නෙ අපිට දවසම වුනත් ඉන්න පුලුවන් තැනක්. 
ටාසන් පදින්න වැල් වගේම ගස් ගෙවල් හදාගන්න පුලුවන් ගසුත් ඒ කැලේ සෑහෙන්න තිබුනා.. 


මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 


Monday 1 June 2020

කඳුකරයේ මතක 09

කඳුකරයේ මතක 09

වැල් පාලම කීවෙ හෙල්ලෙන පාලමට. ඒක තිබ්බෙ උමා ඔය හරහට. ඔන්න අපි උමා ඔය පාමුලට එනකොට අපිට ඉබේම මතක් වෙන්නෙ පච මුත්තව. පච මුත්තා කීවේ සී අක්කලගෙ සීයට. ඒ සීයට පච මුත්තා කීවේ එයා කියන තරමක් කීවෙ පච නිසා. පච මුත්තා පොඩි අපිව වටකරගෙන ඒ කාලෙ කීව කතා අපි අහන් උන්නෙ ඇස් ගෙඩි ලොකු කරගෙන. ඔන්න වතාවක් පච මුත්තා අපිට කීවා මෙන්න මෙහෙම. 

උඹලා මොනවැයි දැකල තියෙන්නෙ මයියොක්කා කියලා , දැන් තියෙන්නෙ නාටු මයියොක්කා නෙවැ. ඒකට බලාපංකෝ, මං තරුණ ගොයියා කාලේ උමා ඔය අයිනේ හිටෝපු මයියොක්කා නොවැ මයියොක්කා. උඹලට කියන්න , වතාවක් මං ඉන්දෙවුවා උමා ඔය අයිනෙ මයෙ ඉඩමේ පැත්තක මයියොක්කා පැත්තක බතල. බොලාට කියන්න ළමයිනේ , ඕං මං අල හාරගෙන හාරගෙන යනවා යනවා. බිංගේ වගේ. පොඩි පොඩි අල මිසක මහ අලේ තව නෑ. ඔහොම , ඔහොම ගොහිල්ලා මහ අලේ හම්බුනා. මං කොරාපු වැඩේ ඒක හාරගෙන එතනින් උඩහට පොළොව හාරං ආවා ආපස්සට නොයා. බොලාට කියන්න දරුවනේ, මං උන්නෙ උමා ඔයේ එහා ඉවුරෙ... 

පොඩි අපි ඉතින් මේ කතා අහන්නේ ඇත්ත කියල හිතාගෙන ඒ පොඩි කාලේ. 

පච මුත්තා ඒ කාලෙ කීව විදියට මුත්තා තමයි ඒ පැත්තෙම දඩයමට උපන් හපන් එකම කෙනා. දවසක්දා මුත්තා දඩයම් තුවක්කුවත් අරන් යනකොට ඔන්න එනවලු තඩි වලහෙක් ඉස්සරහට. මුත්තගෙ අතේ තියෙන්නෙ එක පතුරමයි කැත්තයි විතරයි ලු. වලහට තුවක්කුව මානන කොට ඊට එහයින් වැලහින්නත් ගොරෝගෙන එනවලු , ඒ මදිවට කොටි හපුවෙක් තව පැත්තකින් එනවලු. දැන් ඔන්න පච මුත්තට කරන්න දෙයක් නැති පාර කැත්ත ඉස්සරහින් හිටවලා කැත්තට වෙඩි තිබ්බලු. කැත්තේ කෑලි තුනක් කැඩිලා වෙන් වෙලා ගිහින් සත්තු තුන් දෙනාම එතනම මලා ලු. පච මුත්තා ඔය කතා අපිට කියන්නෙ පණ පිහිටවලා. ඒව ඇත්තද බොරුද කියල හොයන්න තර්කන හැකියාවක් නැති පොඩි අපි කරන්නෙ කටවල් බලි වගේ ඇරගෙන ඒ දිහාවෙ බලා ඉන්න එක. 

කොහොමත් මම නම් පච මුත්තා කීව කතා ඔක්කොම ඒ කාලෙ ඇත්තට අරන් තමයි හිටියෙ. අපේ තාත්තා කොච්චරක් කීවත් ඒවා බොරු කතා දරුවෝ කියල ,ලස්සන වසීලිස්සා එළදෙනගෙ ඒ කනෙක් රිංගලා මේ කනෙන් ආව බවත් විස්වාස කරපු මම තාත්තාට කීවේ , පච මුත්තා කියන්නෙ ඇත්ත කියලමයි.

උමා ඔය ඉවුරෙ උඩ වේල්ලෙ ඉඳන් පච මුත්තව මතක් කර කර මම අහන්නේ කෝ මාමේ මුත්තගෙ මයියොක්කා වත්ත කියල. මාමා හිනාවෙලා එතකොට කියන්නෙ අනේ උන්දැගෙ මයියොක්කේ කියල. හරියට ඔලොක්කුවට වගේ. උමා ඔය වතුරෙන් මූණ හෝදන්න හිත තිබ්බත් අම්මල ඒ පැත්තෙන් පහලට බහින්න අපිට ඉඩ දුන්නෑ කවදාවත්ම. ඒත් හෙල්ලෙන පාලමෙන් එගොඩට ගිහින් බන්ට් එක උඩට ගියාමනම් ඔන්න පොඩ්ඩක් අපිට වතුර අල්ලන්න ඉඩ දුන්නා. හෙල්ලෙන පාලමේ ඉස්සෙල්ලම යන්නේ මාමා. මාමා බඩු බර අරන් එහා කොනට යනකල් අපි කවුරුත් පාලමට බහින්නෑ. මාමා එහා ඉවුරට ගියාම ඔන්න අපි තුන්දෙනා පාලමට බහිනවා. අයියල දෙන්නා මට කලින් එහා ඉවුරට ගිහින් පාලම හොල්ලන්නෙ මගෙ විලාපෙ අහන්නමයි. 

ඒ පාලම වත් ඒ පාලමේ සෙල්ලම් කරපු පොඩි ළමයි වත් දැන් ගමේ නෑ. උමා ඔයට ඒ ළමයින්ගේ හිනා හඬවල් නැතුව පාලු ඇති දැන්. එහා ඉවුරට ගියාම ඊට පස්සෙ තියෙන්නෙ බන්ට් එකෙ වේල්ල. අපි කරන්නෙ ඒ බැමි දිගේ යන එක මහ පාරට යනකල්. බැම්ම දිගේ ගියාම හම්බවෙන්නේ පොඩි පවර් හවුස් එක. එතනින් එහා පැත්තේ නුවරඑළිය - බදුල්ල මහ පාර. 

පොඩි පවර් හවුස් එක එක්ක අපිට තියෙන්නෙ ලොකුම ලොකු බැඳීමක්. ඒ පවර් හවුස් එක නිසා තමයි අද මේ අකුරු ඔයාලට ගේන්න මම ඉන්නෙ කීවොත් මම හරි. ඒකෙන් නිපදවුන විදුළිය ගත්තේ ඇටම්පිටිය වතු යායට. අන්න ඒ වතු යාය , මේ පුංචි පවර් හවුස් එක නිසාම තමයි මගේ සීයා ඒ කියන්නෙ මගේ අම්මගෙ තාත්තා පානදුරේ ඉඳන් සීතල කඳුකරේ පදිංචියට එන්නේ.. 

ඒ කතාව මෙහෙමයි.... 

මතු සම්භන්ධයි 
©️ ප්‍රභානී තෙන්නකෝන්.