කඳුකරේ මතක 13
ඇටම්පිටිය කියන ගම එක්ක මට තියෙන්නෙ හරි ආදරණීය මතක ගොඩක්. හරියට හයිඩි එයාගෙ සීයා එක්ක ජීවිතේ ගත කරපු කඳුකරය එක්ක තිබ්බ බැඳීම වගේ. කඳුකරය කියන්නෙම ආදරේ පිරුණ අව්‍යාජ මිනිස්සුන්ගෙ තෝතැන්නක්. ඒක දැනෙන්න නම් නාගරික , අර්ධ නාගරික ජීවිතෙන් මිදිලා ගම් ඇතුලට යන්න ඕන. හරියට අපේ නැන්දල ගෙ ගෙවල් තියන පැති වලට වගේ.
අපේ ගෙදර තිබ්බෙ ඇටම්පිටියෙ නගරෙම වුනාට ඒක පොඩි නගරයක්. පොඩි කඩ මණ්ඩියක් එක්ක සියළු අවශ්‍යතා සපිරුණ නගරයක්. අවට ගම් කීපෙකටම තිබ්බ ආසන්න නගරයත් ඒක මයි. ඇටම්පිටිය ට ඇටම්පිටිය කියන නම වැටෙන්න කලින් ඉස්සරම කාලෙ මිනිස්සු කියල තියෙන්න සටංපිටිය කියලලු. ඒ නම වැටෙන්න ඇත්තෙ නම් අපේ ගෙදරට උඩින් තියන බලකොටුව නිසා වෙන්න ඇති. කොටුගොඩැල්ල බලකොටුව කියන්නෙ හරි ලස්සන තැනක්. ඒක මේ වෙද්දි පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් සංරක්ෂණය කරනවා වුනාට ඉස්සර අපි පොඩි කාලෙ එහෙම තිබ්බෙ නෑ. ඒක එතකොට අපේ බලකොටුව.
අපේ ගේ ගාවින් කන්ද උඩට පඩි පෙලේ නැග්ගම හම්බවෙන්නෙ කොටුගොඩැල්ලෙ බලකොටුව. බලකොටුව වටේට දිය අගල. බලකොටුව මුදුනට ගියාම ඌව පලාතෙන් බාගෙකටත් වඩා පේනව ලස්සනට. ඒක පෘතුගීසි කාලෙ හදපු බලකොටුවක්. එතන උඩට පේනවා බෝධියක්, අන්න ඒකට අපි කීවෙ නයයි හැපින්නයි බෝධිය කියල. එහෙම කීවේ ඒ බෝධියේ බෝධි මූල යන් දෙකක් එකිනෙකා වෙලාගෙන ඉන්න නයෙක් හා හැපින්නකගේ හැඩය ගත්ත නිසා. පැරැන්නෝ කියන විදියට නම් බලකොටුව මුදුනේ ඉදන් ඊතල පණිවිඩ එවුව තැනක් තමයි ලු ඒ බෝධිය.
පොඩි අපේ ආසම සෙල්ලමක් තමයි බලකොටු නගින එක. වට පිටේ අක්කල අයියල එක්ක අපිත් ලස්සන හවසවල් ගෙවුවේ බලකොටුවෙ. පුංචි නිරුවත් දෙපා වලින් තණගොල්ලේ එහෙට මෙහෙට දුවන එක තරම් සුන්දර දෙයක් තවත් නැති තරම්. කන්දෙ පැත්තක තිබ්බේ ඕසෙට වැවුන ඇඹුල්පේර. තව පැත්තක රෙඩි බෙරි ලන්ද. අතරින් පතර බ්ලැක්බෙරි ලන්ද. ඔය ඔක්කොම අතරේ හිඟුරු යාය.
වල් ගම්මිරිස් වැල් එක්ක හිනාවෙන හීං නාරං ගස් පේලිය. හීං අරත්ත මල් පිපුන අරත්ත යාය.
පොඩි අපි කන්දට නගින්නෙම බොරු විට කන්න තියන ආසාවටමයි. බ්ලැක්බෙරි දලු, වල් ගම්මිරිස් ගෙඩි , හිඟුරු කොළ ,මල් ,ගෙඩි , එක්ක අරත්ත මල් තමයි අපේ බොරු විට. කටවල් රතු වෙනකල්ම මේ විට හපන පොඩි අපි ඊගාවට කරන්නෙ ඇඹුල්පේර කන එක. ඊට පස්සෙ නාරං. මේ හැම දෙයක්ම අතරේ අපි හරිම ආස වැඩේ තමයි දෝංකාරෙ අහන එක. අපේ බලකොටුවේ මුදුනෙ ඉඳන් හූවක් තිබ්බම ඒක වටේ කඳු වල වැදිලා ආපස්සට අපිටම ඇහෙනවා දෙතුන් පාරකට. වටේ ගෙවල් වල ඉන්න මිනිස්සු ගෙවල් වලින් එලියට ඇවිත් , ඔය මදෑ හූ කීවා.. දැං නරිත් එයි දොක්කං කරන් යන්ඩ කට්ටියවම කියල කියනකල්ම අපි කරේ හූ කියන එක.
බලකොටුවෙ තිබ්බ බදන්න බැරි තරම් ලොකු කලු ගල් උස්සන් ගිහින් වටේ මිනිස්සු ගෙවල් හදාගත්තට පස්සෙ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මතක් වුනේ මේ උරුමය ආරක්ශා කරන්න ඕන කියල. ඒත් ඉතින් ඒ වෙද්දි ඒකෙ ආරක්ශා කරන්න ඉතුරු වෙලා තිබ්බෙ දිය අගල විතරයි.
කන්ද මුදුනට එක පැත්තකින් නයයි හැපින්නයි බෝධිය පේනකොට අනිත් පැත්තෙන් පෙනුනේ ගමේ පන්සලේ බෝධිය. මේ තුන සමපාද ත්‍රිකෝණයක මුළු තුනක් වගේ. වටේම කඳු වලල්ල. පැත්තකින් නමුණුකුල , පැත්තකින් පිදුරුතලාගල. තව පැත්තකින් ස්ලීපින්ග් සෝල්ජර් කඳු වැටිය. ඈතින් ඇල්ල කඳු වැටිය. පොඩි අපි රෑට රෑ වෙනකල්ම මේ බලකොටුව මුදුනේ තණ ගොල්ලේ දවස ගෙවන්න හරි ආසයි. සමහරදාට විනෝද ගමනක් වගේ කෑමත් අරන් තමයි අපි ආවේ. එහෙම දවසට අම්මලත් ආවා අපි එක්ක. එදාට අපි රෑ තරු පායන හැටි , තාරකා රටා තේරුවේ මේ තණගොල්ලේ නිදාගෙන.
අයියා මහා වලසා හොයාගන්නකොට මම හැමදාමත් හොයාගත්තේ දඩයක්කාරයගෙ බඳ පටිය. අද ඒ සොඳුරු පරිසරයෙන් හැතැම්ම දාස් ගානක් , මුහුදු ගානක් එපිට ඉඳගෙනත් මගේ ගෙදර සඳලුතලයේ ඉඳන් යුරෝපා අහස බලන මම මගේ සැමියට ,පුතාට කලින් හොයා ගන්නෙත් දඩයක්කාරයගෙ බඳ පටිය. ඒ බඳ පටිය දිගේ ආපහු මම යන්නේ පොඩි කාලෙ මම ගෙවපු කඳුකරේ බලකොටුවට. අහස එකම එක තරු වියනක් වෙද්දි එහෙන් මෙහෙන් එන මදුරුවොන්ගෙන් බේරෙන්න අපි කරේ මදුරුතලා ගස් ටිකක් එක්කරලා ගිණිමැලයක් ගහපු එක. වරුවක් තරු දිහා බලන් ඉන්න අපි ඊගාවට කන්ද බැහැලා යන්නේ ආයම තව දවස් ගානකින් එන බවට බලකොටුවට පොරොන්දු වෙන ගමන්.
මතු සම්භන්ධයි.
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment