Wednesday, 24 June 2020

කඳුකරයේ මතක 14

කඳුකරයේ මතක 14 


දැන්කාලෙ ළමයින්ට දකින්න අඩුවෙන් තියන කුරහන් ගල , තෝසෙ ගල , ගල් වංගෙඩිය වගේ දේවල් අපේ ගෙදර තිබුනා. දැනටත් මේ බඩු තිබුනා වුනාට දැන්නම් මේව අපේ ගෙදර තියල තියෙන්නේ අපේ අම්මගෙයි තාත්තාගෙයි මුණුබුරු මිණිබිරියො මහ ගෙදරට ආවම එයාලට මේවා ක්‍රියා කරවන හැටි පෙන්නන්න විතරයි. ඒ අතින් ඇත්තටම අපේ දරුවොත් වාසනාවන්තයි. නවීන ලෝකෙ ඉඳන් ඒ අතීත අත්දැකීමුත් ලබාගන්න පුලුවන් නිසා. 

ඉස්සර අපි පොඩි කාලෙ අවුරුදු ලංවෙනකොට අපිට ඒක දනවන්නේ පරිසරය විසින්මයි. කැලේ පිපෙන එරබඳු මල් වගේම වටේ ගස් වල ඉඳන් සිංදු කියන කොහෝ පවුලත් අපිට කියන්නෙ දැන් අවුරුදු ලඟ ලඟම එන බව. අවුරුද්ද කියන්නෙම පොඩි අපිට ලොකු මංගල්ලයක්.තාත්තා ඉස්සෙල්ලම කරන්නේ අලිගැටපේර ගහේ ඔංචිල්ලාව අලුත් කරන එක. ඊට පස්සෙ අර්සන් ලවා ලොකු වලක් වත්තෙ කප්පවන තාත්තා ඒකට කෙසෙල් කැන් දාලා දුංගස්සන්නේ අවුරුදු මේසෙට ගන්න හිතාගෙන. කෙසෙල් කොළ පරඬැල් පත්තු කරලා දුං ගස්සන කොට ඒ වටේ ඉන්න අපි ඒ දිහාවෙ බල බල ඉන්නේ කඳුළු වක්කර වක්කර. 

චන්ද්‍රානි අක්කා ලොකු තාච්චියේ මුං ඇට බදින්න ගන්නේ පූර්ණ අම්මවත් සහයට එකතු කරගෙන. මුලු ගෙදරම සුවඳ ගස්ස ගස්ස බැඳෙන මුංඇට අහුරක් ඉල්ලගන්න කියලා අපි කුස්සියට ගියාම අක්කා කියන්නේ කෝ යන්ඩ අහට්ට මෙතන ගිණි රස්නෙ ලගින්න එන්නෙ නැතුව , මුංඇට දෙන්නං පස්සෙ කියල. ඒත් පොඩි අපි කවුරුවත් ඒ වචනෙට කීකරු නැති බව අක්කත් දන්න හන්දා ලිපෙන් බාන්නත් කලින්ම ලොකු පොල්කටු හැන්දක් පුරෝලා ඒ මුංඇට අපිට දෙන්නේ පිඟානකට දාලා. 

ඊටපස්සෙ අර බැදගත්ත මුංඇට කුරහං ගලේ දාලා ඒක පිටි කරගන්නවා. පොඩි අපි ආසම වැඩේ ඒක. ගල කරකවන එක. අයියලා මුල් වට දහය කරකවන ගමන්ම මටත් දෙනවා ඒ වේගෙන්ම කරකවන්න කියල. එතකොට පොඩි මට වෙහෙස අඩුයි. ඒ කාලෙත් ඔය හැමඑකම කරගන්න හැකි විදුළි උපකරණ අපේ ගෙදර තිබුනා වුනත් අවුරුදු කාලෙට කුරහං ගල එලියට ගන්නේ පොඩි අපි වෙනුවෙන් මයි. ඒ දේවල් ගැන පාඩම් කියා දෙන්න ඕන නිසාමයි. ඇඹරෙන මුංඇට පිටි වලින් ඊටපස්සෙ අම්මයි චන්ද්‍රානි අක්කයි රසම රස මුං කැවුම් හදන්කොට එයාල ඉස්සෙල්ලම කරේ බුද්ධ පූජාව වෙනුවෙන් කොටසක් අයින් කරලාම තියන එක. 

මොකද එහෙම නොවුනොත් පොඩි අපි නිසා ඒ කාර්‍යය හරියකට කරගන්න වෙන්නෙ නැති බව එයාලට විස්වාසයි. 

රැයක් පුරාවට පෙඟෙන්න දාන කැකුළු හාල් පහුවදාට කොටන්නේ පූර්ණා අම්මා. ඒ පිටි වලින් රස කැවුම් හැදුවේ අපේ නැන්දා. අවුරුදු කිට්ටු වෙනකොට නැන්දා අපේ ගෙදර එන්නේ අපිට කැවිළි හදා දෙන්නමයි. මොකද කොළඹ හැදුන අම්මා ගමේ කෑම , කැවිළි ගැන දැනං හිටියේ බොහොම පොඩ්ඩයි. අම්මා කාටත් ලෝබ නැතුව හදා දුන්නේ බටහිර පස්සෙ කෑම. නැන්දාට ගෙනියන්න කේක් මාශ්මෙලෝස් වගේ කෑම අම්මා හදා දුන්නාඅ හැමදාමත්. 

නැන්දා හරි අගේට කැවිළි හදනකොට ඒ දිහා බලා ඉන්න පොඩි මම හරි ආසයි ඒ කාලෙ. කැවුමක් ඕන වුනාම නැන්දාගෙ පිටිපස්සෙන් බෙල්ල බදාගන්නකොට මේ දාඩිය අස්සේ ආවා නාඩගං කරන්ඩ.. කෝ යන්ඩ මං අම්මට කතා කරන්ඩ කලින් , ආ මේං මේක හංගං කන්ඩ , නැන්දා මෙහෙම කියලා හිමීට නිවුන කැවුමක් දෙකක් අතේ තියන්නේ පුදුමාකාර ආදරයක් ඇස් වල පුරෝගෙන. ඒ ඇස් වල එදත් අදත් තියෙන්නෙ අව්‍යාජ කම. ආදරය. 

පෙගෙන්න දාපු උඳු ටික අරන් උඳු ගලේ දාල අඹරන්නේ හැමදාමත් පූර්ණා අම්මා. ඊටපස්සෙ ඒකෙන් අපිට උඳුවැල් හදා දෙන්නෙත් පූර්ණා අම්මාම තමයි. අවුරුදු නිවාඩුවට ඒ කාලේ හැමදාමත් අපේ ලොකු අම්මා ඒ කියන්නෙ අපේ අම්මගේ අක්කා කොළඹ ඉඳන් ගෙදර ආවා. ලොකු අම්මා එනව කියන්නේ අපිට එලිසබෙත් රාජිනී එනවා හා සමාන දෙයක්. ආදරේ එක්ක පොඩි අපි හැමෝටම එක වගේ තෑගි ගොඩාරියක් අරන් එන ලොකු අම්මා කියන්නෙ ඇත්තටම ආදරේ ප්‍රතිමූර්තියක්. 

පොඩි අපි තුන්දෙනාට අලුත් ඇඳුම් වලට අමතරව , රතිඤ්ඤා පෙට්ටි තුනක් , බංටි ටොපී පැකට් තුනක් , මාමයිට් බෝතල් තුනක් , චොක්ලට් පාර්සල් තුනක් , ඇපල් මිදි වගේ මහා ගොඩක් තෑගි අරන් තමයි ලොකු අම්මා හැමදාමත් නිවාඩුවට අපේ දිහා ආවෙ. ලොකු අම්මා තැගි මලු ලිහන හැම වෙලාවෙම අම්මා කීවේ , අනේ අක්කේ මොකට ඔහොම වියදං කරනවද එකක් ගෙනාහම මදෑ කියල. එතකොට ලොකු අම්මා හිනා වෙලා අහන්නේ , එකක් ගෙනාවම මෙතන රංඩු බේරන්නෙ මං ද? කියල. 

තුන් දෙනාට සමානව ලොකුම ලොකු තෑගි මළු තුනක් ගේන ලොකු අම්මා ගෙදර බල්ලා වෙච්ච ටොමීට පවා බිස්කට් ගේන්න කවදාවත්ම අමතක කරේ නෑ. ඒ තරම් ආදරේ උල්පතක් මම මගේ ජීවිතේ කවමදාකවත් දැකල නෑ ඇත්තටම. තුන්දෙනාටම ඉංග්‍රීසි කතා පොත් අරන් එන ලොකු අම්මා මුලු නිවාඩුවෙම අපිට ඒ කතා කියා දුන්නා. බටහිර විදියටම ඉංග්‍රීසි උච්ඡාරණය කරපු ලොකු අම්මා පොඩි අපිට බැරි පාඩම් පවා ඒ කාලෙ කියා දුන්නා. 

මතු සම්භන්ධයි 
©️ප්‍රභානී තෙන්නකෝන්. 



No comments:

Post a Comment