කඳුකරේ මතක 08
නැන්දගෙ කෑම තමයි මේ ලෝකෙ රසම කෑම. ඒව කන්න වෙන්නෙත් ඌව කඳුකරෙන්ම විතරක් වීමත් විශේෂ දෙයක්. ඌව කඳුකරේටම ආවේනික වුන කෑම වර්ග ගනනාවක් තියනව. කොල්ලු ව්‍යාංජනය, මඤ්ඤොක්කා කොල තිබ්බටු පොල් එක්ක කොටල හදන මැල්ලුම , තක්කාලි ඇඹුල , අල කොළ ඇඹුල , කහට ගෙඩි ඇඹුළ, නෙල්ලි ඇඹුල, තිත්ත තිබ්බටු ,පේර ඇඹුල, මේ රසම රස කෑම කන්න නම් බණ්ඩාරවෙල කඳුකරේටම එන්න ඕන.
සාමාන්‍යයෙන් කඳුකරේ කෑම වලට පොල් යොදාගන්නව අඩුයි. ගොඩක් කෑම ජාති හැදෙන්නෙ මිරිස් තුනපහ පදම එක්ක තෙල් එක්කාසු කරල. අනික ටිකක් මිරිසට බර කෑම තමයි කඳුකරේ තියෙන්නෙත්. පොඩි අපිට රසම රස කිරි හොඳ්දක් හදන්නත් නැන්දා අමතක නොකරන්නේ අපිට මිරිස් තුනපහ කන්න අමාරු බව දන්න නිසාමයි. ඒත් ඉතින් හෑස්ස් හූස්ස් ගගා හරි නැන්දගෙ කෑම නොකා කොහොමද ?
සාමාන්‍යයෙන් නැන්දා උයන්නේ වත්තෙන්ම ගන්න එළවලු. අනික අපේ තාත්තා ආසම කෑම වර්ග තමයි අපි එන දාට නැන්දා හදන්නේ. ඒ නිසා අපි එහෙ යන හැම දාකම , කොල්ලු , කහට ඇඹුල , තිත්ත තිබ්බටු , නම් කවදාවත් වරදින්නෑ. ඔය තුන එක්ක තව ජාති හතරක් වත් හදන්න අපේ නැන්දා හරි හපනි. පොඩි අපි රොත්තම කාල බීල ඉවර වෙනකොට මාමා ඇවිත් අහන්නේ , උඩහ ළමයි උඩහා යනවද මෙහෙ නිදියනවද කියලා. ඒක අහන්නේ නිකමට. මොකද ලොකු තාත්තලත් දන්නවා එදාට අපි ඔක්කොම නිදන්නෙ නැන්දලෑ ගෙදර බව. නැන්දගෙ රස කෑම වලින් පංගුවක් කෙහෙල් කොලේක ඔතාගෙන කෑලි පහේ ටෝච් එකත් පත්තු කරගෙන මාමා ඇලේ අයියා එක්ක එලියට බහින්නෙ ඒ කෑම එක ලොකු තාත්තලට දීල එන්න. ගම් වල එහෙමයි. ඇලේ අයියා කීවේ නැන්දලගෙ ගෙදර නැවතිලා හිටිය වාරීමාර්ගෙ වැඩ කරපු අයියට. ඒ අයියට තමා ඇලේ වැඩ කටයුතු බාරව තිබ්බේ. ඒ කාලෙ ගමේ ගොවි සංවර්ධන සභාවේ සභාපති වුනේ මාමා නිසයි ඒ අයියා එහෙ නතර වෙලා වුන්නෙ. නැත්තම් එයාගෙ ගම පොලොන්නරුව කිට්ටුව.
අපි ඔක්කොම එක පෙලට එකා උඩ එකා වැටිලා නිදාගන්න ලෑස්ති වෙනකොට ඈතින් ඇහෙන්නෙ පැල් කවි වල සද්දෙ. එක්කෙනෙක් එකක් කියල ඉවර කරනකොට තව පැත්තකින් තව කෙනෙක් එකක් කියනව. ඒ අතර වාරේ අපි නිදි දෙවු දූ තුරුළට යනවා. ආපස්සට හැරිලා බලනකොට මොන තරම් සුන්දර කාලයක් ද ඒක කියල හිතෙනව. ඒත් දැන් වෙද්දි ඒ ලස්සන ගමේ ලස්සන ජීවිත ගොඩාක් වෙනස් වෙලා. නැන්දලා පරණ ගේ අතෑරලා ඊට ටිකක් උඩින් අලුතෙන් ගෙවල් හදලා. ලොකු තාත්තාගෙ ළමයි කවුරුත් ම මේ වෙද්දි ගමේ නෑ. නැන්දලගෙ ළමයින් ගෙන් ගමේ ඉන්නෙ පොඩි අයියා විතරයි. ඇලේ වතුර දැන් නැතිම තරම්. ඇලේ වතුර වලින් හැදුන දිය ඇලිත් ඒ නිසාම නැතුව ගිහින්. ගම දැන් ටිකෙන් ටික වෙනස් වෙලා.
පහුවදා අපි ඇහැරෙන්නෙ ලොකු අම්මගෙ කට හඬට. උදේම උඩහින් ඉඹුල් කිරිබත් හදාගෙන ලොකු අම්මල පහලට ඇවිත්. පොඩි අපි පෝලිමට පීල්ල ගාවට යන්නේ මූණ හෝදගන්න.ලොකු අම්මා හදපු ඉඹුල් කිරිබත් වල රස බලන්න තියන හදිස්සියට සිහියක් නෑ අපිට. උදේට ඉඹුල් කිරිබත් කන අපි ඊගාවට ආපහු ගෙදර යන්න ලෑස්ති වෙනව. ආයම දවසක එන පොරොන්දුව පිට. අපිට ගෙනියන්න වත්තෙන් කඩාගත්ත එලවළු ගොඩක් එක්ක නැන්දගෙ රස කෑමත් මල්ලකට දාලා මාමත් පාරට යන්න එන්නේ ඒවා අපිට උස්සන් යන්න අමාරු බව දන්න නිසාමයි.
බඩුත් උස්සගෙන ආපහු කන්ද නැගලා බණ්ඩාරවෙල පාරට යන එක අමාරු නිසා ආපහු අපි ගෙදර යන්න තෝරගන්නේ ඒ කන්දෙම පහලට බැස්සම හමබ්වෙන නුවරඑළිය- බදුල්ල පාර. ඒ පාර තමා මම ආසම පාර. උමා ඔයෙන් එගොඩ වෙන්න තියෙන වැල් පාලමට තමා මම ආසම. ඊට පස්සෙ බන්ට් එක දිගේ පේලියට ඇවිදන් යන එක.
නැන්දලගෙ ගෙදරින් පිටත් වෙන අපි කන්ද පහලට පඩි බහින්න පටන් ගන්නකොට ලොකු අම්මල ඒ කන්දෙම උඩහට යන්න පටන් ගන්නව එයාලගෙ ගෙදරට. අපි පඩි බහිනකොට මගදි හම්බවෙනවා හෙලේනා ආච්චිගෙ ගෙදර. ඒ ආච්චිගෙ නම , සද්ද විද්ද පළඟ පතිර මුතුකුමාරණලාගේ හෙලේනා පීරිස්. මේ මුලු නමම නොලියා එන කිසිම ලියුමක් ආච්චි බාර නොගන්න බව කියන්නෙ ගමට එන තැපැල් පියුං මාමා. සමහරදාට පියුං මාමා වත් පන්නගත්ත අවස්ථා තිබුනා කියලයි ගමේ ඈයො කියන්නෙ. ඒත් ඉතින් අපි පඩි බැහැලා ඔය ගේ ගාවට ආවම , ආ මේ අපේ ඇටම්පිටියෙ පුතානේ කියල ලොකු ජම්බෝල ගෙඩියක් දෙකක් දෙන්න නම් ඒ ආච්චි කවදාවත් අමතක කරේ නෑ.
ඔන්න ඔහොම අපි පඩි බැහැල බැහැල ඇවිත් පාමුල කුඹුරු යාය මැදින් ගිහින් එන්නෙ උමා ඔය පාමුලට. ඊ ගාවට වැල් පාලම..
මතු සම්භන්ධයි.
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment