Showing posts with label එකෝමත් එක දවසක. Show all posts
Showing posts with label එකෝමත් එක දවසක. Show all posts

Monday, 26 August 2019

ජීවිතය ඇත්තේ විඳින්නය !

ජීවිතය ඇත්තේ විඳින්නට වග ඈ අඳහන්නීය, 

ඔයා මට ආදරේ ඇත්තටමද? 
ඈ අහන්නේ ඔහුගෙ ඇස් වලට එබීගෙන, ඔහු ඒකට උත්තර දෙන්නෙ හිනාවකින්. ඇත්තටම ආදරේද ? නැත්තන් තියෙන්නෙ වෙන දෙයක් ද ? හරියට ආකර්ශනයක් වගේ ? ඈට තියෙන්නෙ ඉවරයක් නැති ප්‍රශ්න, රෑ දවල් තිස්සෙම හිතින් උත්තර හොයන ප්‍රශ්න,  
ඔවු , ඇත්තටම ආදරේ නැත්තං මෙහෙම ඔයාව ආරක්ශා කරනවද ? එහෙම ඔහු කීවේ ඇගේ ඇස් අස්සෙන් ඔහු ඔහුවම හොයන ගමන්. 

ඈ හිනා වෙනව. ඇස් දිළිහෙනව. අවුරුදු ගානකින් ඈ ආදරේ විඳිනව. වසන්ත කාලෙ නිසා වට පිටාවෙ පිපිල තියන මල් වලට වඩා ලස්සනට ඇගෙ හිත හිනාවෙනව. ඒ හිතේ ආදරේ උතුරනවා. 

හරි , ඔයා මට ආදරෙයි ද ? ඔහු අහන්නේ නපුරු තාලෙට. ඒ ඉතින් ඔහුගෙ හැටි, ඈ හිතන්නෙ එහෙම. 

ඒ පිරිමි පපුවෙ උණුහුම විඳින ඈ ඔලුව උස්සල ඔහු දිහාවෙ බලාගෙන , එහෙම නැත්තම් මෙහෙම එනවද ? කියල අහනව. ඔහු හිනා වෙනවා. 
ඇත්ත, ඈ ඔහුව අසීමිතව විස්වාස කරනව. කොන්දේසි විරහිතව ඔහුට ආදරේ කරනව. ඒක හරි පුදුමයි. 

හීතල හුළඟ එක්ක ඈ ඔහුට තව තවත් තුරුල් වෙනව. වහින්න එන්නෙ , ඈ කියන්නෙ ඔලුව උස්සල අහස දිහාවෙ බලාගෙන. 
ඉතිං , වැස්සොත් මං ඔයාව මෙතන දාල යනව , යන එකයි ඇත්තෙ පාර හොයං ගෙදර, ඔහු එහෙම කියන්නෙ හිනා වෙවී. 

ආ ඇත්තට? ඈ අහන්නෙ හුරතල් වෙවී. කොහොමත් ඈ ආස එහෙම. ජීවිතේ විඳින්න. ඒ අස්සෙ ඈට කෙටි පණිවිඩ එනව යාලුවොන්ගෙන්. 

හරි හරි , ඕක බලන්න, ආය කියවන්නෑ මම. ඔහු එහෙම කීවෙ ආදරෙන්, ඈව තවත් පපුවට ගුලි කරගන්න ගමන්. ඈ කෙටි පණිවිඩ බලන්නෙ ඔහු ඉස්සරහ, ඒ ආදරේ ඉස්සරහ මොනා හංගන්නද? ඈ හිතන්නෙ එහෙම. 

ඔය ෆෝන් එකේ ඒව දැක්කම මගෙ ඔලුව කචල් වෙනව , ඔහු කියන්නෙ හිනා වෙවී. ඇයි අංගොඩ යන්න වෙයි වගේද ? ඈ ආස තව හුරතල් වෙන්න. ඔවු ඔවු මෙහෙම්මම යන්න වෙයි, ආපහු ඒ හිනාව. ඒ අතරෙ පින්න. සීතල , හීගඩු

ඈට කොහෙද සීතලක්, ඈට දැනෙන්නෙ ඔහුගෙ පපුවෙ උණුහුම විතරයි. වැස්ස සැර වෙයි , අපි යං. එහෙම කියන ඔහු ඈව ආදරෙන් සිප ගන්නව. තවත් ආදරණීය හැන්දෑවක් ඉවර වෙනව. ඈව ගෙදරට ගෙනත් ඇරලන ඔහු යන්න යනව. ඈ ඇස් පියාගෙන ඔහුව විඳිනවා. ඔවු ඈ ඔහුගෙන් ජීවිතය විඳිනවා. 



©️Prabhani T.



සොඳුර !

සොඳුර, 

ප්‍රේමය 
ගින්නක් වග
දැනගතිමි, 
නුඹේ
එකම එක 
සිපගැනීමකින්
මට මාවම 
අමතකවන වගත්
දැනගතිමි, 
සිත නුඹවම
ලුහුබඳින වගත්, 
එකී ගින්නෙහි
දැවෙන්නට
සිත ඉල්ලන වගත්


දන්වමි.


ආදරේ එහෙම වෙන්න ඇති !



නගින්න..
ඈ වරුවක් තිස්සෙ බලාපොරොත්තුව හිටි ඇස් දෙක, තමන්ගෙ ඉස්සරහ වාහනේ නවත්තගෙන කතා කරනව. 
ඒක හරිම ආදරණීය ඇරයුමක්. ඈ හිටියෙ ඔහු ගැන අප්‍රමාණ විශ්වාසයකින්. ඈ කවමදාවත් නොගිය , නොදන්න පාරවල් වල ඔහු යනව. මිනිස් පුළුටක් නැති පාලු පාරවල් වල, හිතට බය එනව, ආපහු ඒ ඇස් පාමුල ඒ බය නැති වෙනව. ආදරේ කියන්නෙ ඒකට වෙන්න ඇති. ඈ එහෙම හිතනව. සැනසෙනව. 

හිතාගන්නවත් බැරි නිස්කලංක පරිසරයක ඔහු නවතිනව. බහින්න, ඒක විධානයක්. කවදාවත් කාගෙවත් විධාන පිළිනොපැද්ද ඈ ඔහුට අවනත වෙනව. ගස් කොලන් අතරින් ඈ ජීවිතේ හොයනව. කොන්ක්‍රීට් වනන්තරේක ඉන්න ඈට හුස්ම ගන්නව කියල තේරෙනව. 

දන්නවද ? මෙතන අපේ ගෙදර වගේ.. මේ ගස් අපේ වත්තෙත් තියනව , හරියටම මේ වගේමයි, ඈ ඉන්නෙ සතුටින්. ඒ ඇස් පවා දිළිහෙන්න ඇති. ඒකනෙ එක්ක ආවෙ මෙතන්ට, ඔහු එහෙම කියන්නෙ ඇගෙ ඇස් වලට එබීගෙන. ඉවත් හෙලන්න බැරි ඇරයුමක්. ඈ හිමින් ඔහුට වාරු වෙන්නෙ හරි ආදරෙන්.. 

ඈ ඔහුගෙ පපුවට ඔලුව තියාගෙන ඔහේ කියවනව. ඔයා මට ආදරේද? කොච්චරක් ආදරෙයි ද? ඇයි ආදරේ එහෙම? ඈට ප්‍රශ්න කෝටියයි. ඒ ඇස් වලට එබි එබී ඈ කියෝනව. කොහොමත් ඈ ආස එහෙම. ඔහේ කියවන්න. හුරතල් වෙන්න. ජීවිතේ විඳින්න. ඒත් කෝ ඉඩක්, ඔහුට තියෙන්නෙ වෙනමම ලෝකයක්. ඈට තේරුම්ගන්න අමාරු ලෝකයක්. බලාපොරොත්තු , අනාගත සැළසුම්, මහා ගොඩක්. 

ඔහේ කියවන්න හිතන් වුන්න ඈ නිහඬයි. ඒත් ඔහුට කියන්න දේ බොහෝමයි. දන්නවද දැං මේක දන්නෙ ඔයයි මායි විතරයි.. ඒ ඔහුගෙ අනාගත සැළසුම්.. ඒවා හරි ලස්සනයි. 
හ්ම්ම් එහෙම හොඳයි, ඈ එහෙම කියන්නෙ මුලු හදවතින්ම ඒ සැළසුම් ඉටුවෙන්න කියන ප්‍රාර්ථනය එක්ක. ඔහු ඒක දන්නව.

ඔහේ කියෝපු ඔහු නිහඬ වෙනව. අපි යමුද? නැත්තම් ඔයාට පරක්කු වෙයි.. තව විධානයක්, ඒත් ආදරෙන්. 
හ්ම්ම් ඈ හිමින් කියනව. යමු.. එහෙම කියන ඈ ඔහුව තේරුම්ගන්න උත්සාහ කරනව...  ඊගාව දවස මීට වඩා ආදරණීය වෙයි. ඈ හිතන්නෙ එහෙම. බලාපොරොත්තු ඈව ජීවත් කරවනවා.. 

ඔහුගෙ වාහනෙන් බහින ඈ යන්න යනව. ඇස් වල කඳුළු, ඒත් ඒ ඇයිද කියන්න ඈ දන්නෙ නෑ. ඒ කඳුළු වලට හේතුත් නෑ. ඈ ආදරේට ලෝබයි. ඒ ආදරේ අහිමිවෙයි කියල බයයි. ඒක කියාගන්නවත් ඈට නිදහසක් නෑ. ඈ හිතනව. ඔහේ හිතනව. ඔහුව තේරුම්ගන්න පුලුවන් වෙයිද? ඈට පුලුවන්, ඒ ගැන ඈට විස්වාසයි. ඒත් ඔහු ඈව තේරුම් ගනීවිද ? ඒ ගැන ඈට තියෙන්නෙ බයක්. ඈ ඒ ආදරේට ලෝබකම් කරනව. 

අවසානයේ ඈ හිතනව, 
නෑ එයා මට ආදරෙයි...  ගොඩක් ආදරෙයි 

ඒ හිතුවිළි ඈව සනහනව.. ඈව ජීවත් කරවනව.. 



©️ප්‍රභානී තෙන්නකෝන්.

මගෙ විතරමද ?

මගේ විතරමද?


දන්නවද? මට තියෙන්නෙ හුළඟටත් රිදෙන හිතක්, එකම එක වචනයකින් අඬවන්න පුළුවන් ඇස් දෙකක්... 
ඈ එහෙම කීවේ ඇත්තටම.. ඇත්තටම ඈට තිබුනෙ ජීවිතේ හුඟක් තැන් වලදි රිදවිච්ච හිතක්. අනුන්ගැන හිතන්න ගිහින් තෙත් වෙච්ච ඇස් දෙකක්. ඒවා ඔහු දන්නෑ. සමහරවිට ඔහුට ඒවයින් වැඩක් නැතුව ඇති. ඔහු හිටියෙ දේවදාර ගස් වලට එපිටහින් තිබ්බ ඕක් ගහක මුදුනේ ඇස් අලෝගෙන.. ඈ හිටියෙ ඔහුගෙ ඇස් අස්සෙ හැංගිගෙන.. 

ඇගේ වචන ඇහෙන මානෙක ඔහු නෑ. ඔහු ඉන්නෙ ව්‍යාපාරික ලෝකෙක. ඈ ගැන වගක් නෑ. වචනයක් ගානෙම තියෙන්නෙ අනාගතේ විතරයි. ඒවයෙ අහලකවත් ඈට ඉඩක් නෑ. බැරිම තැන ඈ දුරකතන තිරය දිගේ ඇස් යවනව.. ඒ කරන්න වෙන දෙයක් නැති කමට. 

මගේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට අනුව ඕක බෑ. ඒවා මහ නපුරු විධාන. එහෙනම් ඔහුට තිබ්බෙ ඇගේ ලෝකෙ ඉන්න. ඈට ආදරේ දෙන්න. ඒත් ඒ එකක්වත් ඈ වචන කරන්නෑ. මුකුත්ම නොකියන ඈ දුරකතනය දාගන්නව කලිසම් සාක්කුවට. ආපහු කතාව. එක දිගට නොනවත්වාම කතාව. ඒ වචන වල ඇය නෑ . ඒත් ඒ බව දැන දැනම ඈ නිහඬව ආදරේ දෙනව. 



කවදාවත් කාටවත්ම ඇහුන්කන් නොදුන් ඈ ඔහේ අහන් ඉන්නව. කාටවත්ම දෙවනි වෙන්න අකමැති ඈ ඔහුට එක වෙන්න දෙනව.  ඒ උණුහුමට තුරුල් වෙලා ඈ ඔහේ අහන් ඉන්නව. හිතේ තියෙන්නෙ ප්‍රශ්නම විතරමයි , එයා ඇත්තටම මට ආදරෙයි ද? ආදරේ බොරුවටද? මගේ විතරද ? මගේම විතරද ?  ඈට තිස්සෙම ප්‍රශ්න වද දෙනව.


ආදරේ !

ඒක 
පුංචිම පුංචි 
මල් පොකුරක්.. 
හැබැයි
ආදරේ 
මහගොඩක් 


පිරිච්ච.. 🌹

සොඳුර !

සොඳුර, 

ඔබ මට 
ආදරේ වග දැනෙන්නට
එකම එක 
තත්පරයක් ඇතිය.. 
අතිශය 
කාර්‍යබහුල මොහොතක 
ලැබෙන
එකම එක 
වචනයක් වුව සෑහේය, 
ඔබ මා ගැන 
තැවෙනා වග දැනෙන්නට
ඔබේ එකම එක 
බැල්මක් වුව සෑහේය... 

සොඳුර, 

කෙටි වචන කීපයකට 
කරන්නට හැකි දෑ බොහෝය. 💜

©️ප්‍රභානී තෙන්නකෝන්.

Sunday, 25 August 2019

ආදරේට පුළුවන් හිනාවන් වෙන්න !

ආදරේට පුළුවන් අඬන ඇස් වලට හිනාවක් වෙන්න. 
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඈ උදේ ඉදන්ම හිටියෙ වෙන ලෝකෙක. අඬල අඬල හෙම්බත් වුන ඇස් වලට බලාපොරොත්තුවක් දෙන්න ඔහුට පුළුවන් වුනා. වෙනද හම්බවෙන තැනට එන්න, ඈ ඒ පණිවිඩය කියෙවුවෙ ආයාසයෙන් මූණට හිනාවක් ගෙන්නගන්න ගමන්. හිත ඇතුලෙ තෙරපෙන ගිණි කන්දක් තරම් දුකක් හිර කරගෙනම ඈ පිටත් වුනේ ඔහුව දකින්න. කාලෙකට පස්සෙ ඔහුව දකින්න, ඔහුව විඳින්න. 

කොන්ක්‍රීට් වනන්තරෙන් මිදිලා, ගස් වැල් අතරින් දෙපැත්තෙම රතු පාට මල් පිරුන පාර දිගේ ඔහුගෙ වාහනේ ඇදෙනව. ඈ ඉන්නෙ වෙනම ලෝකෙක. ඒක වසන් කරන්න වගේ සැරින් සැරේ ඈ ඔහුගෙ මූණ බලනව. ඒත් ඔහුට දේවල් වසන් කරන්න ඈ ළාමක වැඩියි. ඔහුගෙන් දේවල් හංගන්න ඈට බෑ. සුපුරුදු තුරු ගොමුව ගාවින් වාහනේ නතරකරන ඔහු, කහ පාට පුංචි මල් පිරුන පාරාදීසෙට ඈව එක්ක යනව. මොකක් හරි ප්‍රශ්නයක් වුනාද? ඔහු අහන්නෙ ආදරෙන්, නෑ ඒක කෙටි පිළිතුරක් ඇගෙන්. ගෙදර අය එක්ක රංඩු වුනාද? ඇත්ත කියන්නකො මොකද වුනේ ? ඔහු එහෙම අහන්නෙ කලින්ටත් වඩා ආදරෙන්., 

මම හීනයක් දැක්කා. ඒ පුංචි මැණික හිනාවෙනව දැක්කා. ඈ එහෙම කියන්නෙ කඳුළු අතරින්. එකපාරට නවතින ඔහු ඈව තුරුල් කරගන්නව. හෙලවෙන්නවත් බැරි තරමට ඈව පපුවටම ගුලි කරගන්නව. ආයෙම මැණිකක් හම්බවෙයි, අපි මැණිකක් හොයාගමු. ඔහු එහෙම කියන්නෙ ඇගේ හිස ඉඹින ගමන්. ඇගේ හිත නිවෙනකල්ම ඈව තුරුල් කරන් ඉන්න ඔහුට පුළුවන්. අපි යං අපේ ගෙදර, එහෙදි මම ඔයාව මගේම කරන් ඉන්නව. කාටවත්ම දෙන්නෑ. ඈ කියන්නෙ ඔහුගෙ ඇස් වලට එබෙන ගමන්. ඔහු හිනාවෙනව. කවදාවත්ම හැබෑ නොවන හීන ලඟ ඈ හිනාවෙනව. 

එන්න යමු පහලට, ඔහු ඇගේ අත අල්ලන් කරන්නෙ ආදරණීය ඇරයුමක්. කහ මල් නොපෑගෙන්න ඈ පරිස්සමට ඔහු එක්ක ඇවිදිනව. "මෙහෙ කටු, කොහෙ එක්ක යනවද මන්දා, මාව සත්තුත් කනව දැං" , ආදරණීය නෝක්කාඩු ඇගෙන්. ඔහු හිනාවෙනව. එහෙම තමා , කටුත් තියෙන්න ඕනෙ , ගලුත් තියෙන්න ඕනෙ , සත්තුත් ඔයාව කන්න ඕනෙ , එතකොට තමා ලස්සන, පිටු පිරවෙන්නෙ එහෙම, අපරාදෙ සර්පයො නෑනෙ" ඔහු ඈව හිනස්සනව. මම සර්පයොන්ට බය නෑ , ඈ කියන්නෙ තිර හඬකින්, අනේ මෙයාගෙ චණ්ඩි කම, ඔහු හිනාවෙනව. 

"ඇත්තටම මම සර්පයො සම්භන්දෙන් බොහොම උදාසීනයි.. , ඔයා කතා කරන නැද්ද ගැරඬි එක්ක, කටුස්සො එක්ක, හිකනැල්ලු, තලගොයි එක්ක එහෙම, උන් ශෝක් එකට අපි කියන ඒව අහන් ඉන්නව," තොර තෝංචියක් නැති ඇගේ කතාව ඔහු අහන් ඉන්නෙ ඈව තුරුල්ලෙම තියාගෙන. ගැරඬි එක්ක කතා කරන්න ? ඔහු අහන්නෙ ප්‍රශ්නාර්ථ ලකුණකින්, " ඔවු ඇත්තමයි, උන් ශෝක් එකට ඔලුගෙඩිය වන වන අහන් ඉන්නව." ඈ කියන්නෙ හුරතල් වෙවී. ඔහු හිනාවෙනව. 

උදේ ඉඳන් ඈව වෙලාගෙන හිටිය දුක, කඳුල ඈතකට පන්නල දාන්න ඔහුට පුලුවන් වෙලා. අපි යමු, පරක්කු වෙනව. ඈ එහෙම කියන්නෙ ඔරලෝසුව බලන ගමන්. පරිස්සමෙන් ඉන්න ඕනෙ , හොඳද? ඕන වෙලාවක මට කතා කරන්න , හරිද? ඕන දෙයක් කියන්න. හිතේ තියන් ඉන්න එපා , අඬන්නත් එපා, ඔහු කියන්නෙ පුදුම ආදරේකින්..  ඈ ඔලුව වනනව.. 

ඈව ගේ ගාවට ඇරලවන ඔහු යන්න යනව. ඈ හිතින් ගණන් හදනව, පරිස්සමෙන් ඉන්න ඕනෙ කියල අද මේ පොඩි වෙලාවට හටියටම 12 වතාවක් කීවා... ඈ එහෙම හිතන ගමන් ඈත් නොදැනීම ඇගේ ඇස් වල ආදරේ පිරෙනව. මූණට හිනාවක් එනව.. 

ඔවු ආදරේට පුළුවන් කඳුළු පිහන්න.. ඈ එහෙම හිතනව.. 

©️ප්‍රභානී තෙන්නකෝන්.


ආදරේ මං විතරද ?

ආදරේ මං විතරද ?

ආකහේ ඈතම ඈත කෙළවරින් පළවෙනි තරුව පායනකල් ඈ උන්නෙ පුදුමාකාර නොයිවසිල්ලකින්. ඒ තරුව දිහා බලාගෙන ඈට ඕන උනේ ප්‍රාර්ථනාවක් කරන්න. සංසාරෙ කවමදාකහරි ඇගේ ආදරේ ඈටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. මහා වැස්සකට පස්සෙ සීතලම හුළඟක් එක්ක ලාවට පින්න වැටෙද්දි, හිරු කුමාරයට තනි රකින්න වගේ පාට හතකින් සළු පොරෝගෙන ඉන්ද්‍රචාප කුමාරිකාව හිනාවෙන්න ගන්නකොට ආකහේ තියන ලස්සන වගේම ලස්සනක් ඇගේ මූණට ඇවිත්. ආදරේ ඈව ජීවත් කරවන්න අරන්. 

ඒත් ඈ නොසන්සුන්, දවස් ගානකින් නෑහුන ඒ කටහඬ අහන්න ඈ උන්නෙ පුදුම ආසාවකින්. නොයිවසිලිමත් හීනි දිගටි ඇගේ ඇස් තිස්සේම දුරකතනය තිරය දිහාවෙම බලනව. "වැඩ ඇති, නෑ එක්කො නිදි ඇති," ඈ ඈටම කියා ගන්නව. ඇත්තටම ආදරේ මහ පුදුම දෙයක් ඈ හිතන්න ගන්නව. වෙනද හිටපු ඈ නෙමෙයි දැන් ඉන්නෙ. ඒක ඈට තේරෙනව. ඒත් ඈ වෙනසට ආදරෙයි. 

අවසානෙ දුරකතන තිරයෙ ඔහුගෙ මූණ වැටෙනව. පුදුමාකාර සතුටකින්, ආසාවකින් ඈ ඒ කටහඬ අහනවා. ඒත් විනාඩියයි, ඒ සතුට ඉවරයි. ඈ ආයෙම කල්පනාව.. "එයාට තේරෙන්නෙ නෑ මාව. කාටවත්ම තේරෙන්නෙ නෑ මාව. තිස්සෙම රිදවෙන්නෙ මට. " ඈ ඈටම තනියම කියාගන්නව. ඈටත් නොදැනිම කඳුළු කොපුළත තෙත් කරනවා. "මම විතරයි ආදරේ" ඇගේ හිත ඈ එක්ක තර්ක කරන්න ගන්නව. "මම වැරදි ඇති, මම තිස්සෙම ඕනවට වඩා ආදරේ බලාපොරොත්තු වෙනව." ඈ ඈටම වරද පටෝගෙන නිහඬ වෙනව. 

ඉර කඳු අතර හැංගිලා යන්නම ගිහින්. හාත්පස කළුවර මකන්න වීදි පුරාට විදුලි එළි. රාමසාන් ඉවර වුනා විතරයි නිසා තාමත් තියෙන්නෙ වක ගැහුන හඳ, ඒ හඳට තනි රකින්න තරු මහ ගොඩක්. ටිකකට කලින් ඈ බලා හිටිය මුලින්ම පායපු තරුව අනිත් තරු අතර හොයාගන්නත් බැරි තරමයි. අහස මල් වට්ටියක් ගානයි. ඇගේ ආදරෙත් දවසක, ඒ මුල්ම තරුව අනිත් අතර හැංගිලා ගියා වගේ හැංගේවිද කියන්න ඈ හිතනව. නෑ එහෙම නෑ ඈ ඈටම යලිත් කියනව. 

තිස්සෙම ඈ හිතන්නෙ ආදරේ කියන්නෙ මහා පුදුමාකාර දෙයක් කියල. ඈට සැනසෙන්න ඔහුගෙන් එන එකම එක වචන පේළියකුත් ඇති. ඈ ඒ දිහාවෙ බලාගෙන කාටත් නොපෙනෙන්න ඒ මූණ සිපගෙන ආපහු ආකහේ දිහාවෙ ඇස් අලවන් හීන දකිනව. 

ප්‍රභානී තෙන්නකෝන්.


ආදරෙයි කියා දැනෙන එකම නිවනක් !

ආදරෙයි කියා දැනෙන එකම හිතට නිවනක්.. 

ඈ උන්නෙ දහසක් වැඩ අතර. මහ ගොඩක් කාර්‍යබහුල වෙලාවක් ඒක. දුරකතනයක් කියා එකක් තියනවද කියන්නවත් නිච්චියක් නොතිබ්බ ඈට ඔහු ඒ වෙලාවෙ ඈට කතා කරාවි කියන දේ කොහොමටවත්ම කල්පනාවට ආවෙ නෑ. පැය කීපයක ඇවෑමෙන් ඈ ගෙදර යන්න ලෑස්ති වෙලා ඇගේ ජංගම දුරකතනය අතට අරන් බලනවා. 

ඔහුගෙන් ඇමතුම් 10 ක් , මොහොතකට ඈ ගල් වෙනව. මේ තරම් ඇමතුම්?? ඈ හිතනව. එහෙම හිතමින්ම ඈ ඔහුට ඇමතුමක් ගන්නව.එහා පැත්තෙන් එන්නෙ ගෝරනාඩුවක් , මොනා කරනවද ෆෝන් ආන්ස්වර් නොකර , බය වෙනව කියන්න දන්නැද්ද? ඔය කෙහෙල්මල් රස්සාවට නොගිහින් ගෙදර ඉන්න. කී පාරක් ගත්තද? ඔහු මහ කේන්තියෙන්..  ඈතින් පේන මොන්තෙමොරෙල්ලි කන්දත් නිදාගත්ත ගිණි කන්දක්ලු, ඒකත් පිපිරුවොත් මේ වගේම හිටීවි.. ඈ ඈටම කියාගනිමින් දුරකතනය විසන්දි කරනව. ඔච්චර බනින්න ඕනද ඕකට? ඈ එහෙම හිතමින්ම කඳුළක් පිහගන්නව.

ගෙදර යන්න බස් එක ගන්න බස් නැවතුම්පොළ ගාවට යන්න යන ඈ දකින්නෙ ඔහුගෙ වාහනය. නගින්න, ඒක විධානයක්. කඳුළු කඩාවැටෙන ඇස් වලින් ඈ වාහනයට ගොඩ වෙනව. ඔහු ඔහේ පාර දිගේ යනව. ඔලිව් ගස් , පහු කරගෙන , කහ පාට පුංචි මල් පිපෙන රාජධානියට. වාහනය නවත්තන ඔහු ඈව අතින් අල්ලගෙන මේපල් තුරු ගොමුවට යන්නෙ ඇගේ කඳුළු පිහින ගමන්මයි. 

ලස්සනට දළු දාල හිනාවෙන මේපල් ගහක් පාමුල ඈව තමන්ගෙ පපුවට හිරකරගන්න ඔහු, ආන්ස්වර් කරන්නෙ නැතුව ගියාම බයවෙනවනෙ මම , ඒකනෙ කෑ ගැහුවෙ , කියල කියන්නෙ හාදු වරුසාවක ඈව ගිල්වන ගමන්..

මේ තරම් ආදරයක්... මේ තරම් තැවීමක්... ඈ ඒ ඔහු දිහාවෙ බලාගෙන ඉන්නෙ ආදරේ උතුරල ගලන ඇගේ ඇස් වලින්. ආය කරන්නෑ එහෙම. ඈ කියන්නේ ඔහුගෙ ආදරයේ කිමිදෙන ගමන්.. ඒ එක්කම ඈ හිතනව.. මෙහෙම ආදරයක් ලඟ ජීවිතේම නිවෙනවා නේද කියල.. 



©️ප්‍රභානී තෙන්නකෝන්.


ප්‍රේමය !

මම ආසම 
ඔය පපුවට ගුලි වෙලා ඉන්න
ඇස් දෙක පියාගෙන
ඔහේ කියවන්න...
කියඹුවැල් මැද්දෑවෙ 
ඇඟිළිතුඩු සරණකොට
තව තවත් සීරුවට
ඔය උණුහුමටම ගුලිවෙන්න.. 
නළලතෙහි තැවරෙනා 
උණුහුම්ම හාදු වැහි
ආදරෙන් විඳගන්න.. 
නුඹ මගෙම බව
මගෙ හිතට වටහා දෙන්න.. 



©️ප්‍රභානී තෙන්නකෝන්.