Sunday 23 February 2020

මර්‍යූෂ්කා

මර්‍යූෂ්කා !
➖➖➖

ඒ පුංචි ගෙදර තිබ්බේ මොන්තෙ මොරෙල්ලි කන්දට යන පාරෙ. ලස්සන හුරුබුහුටි ගේ පොඩ්ඩ. ගේ වටේට ලැවැන්ඩර් යායට පිපිලා දම් පාර සිත්තමක් වගේ. ඒ අතරින් පතර සුදු පාටට ඩේසි පිපිලා හරියට පොට්ටු තියලා වගේ. ඊට ටිකක් එහායින් තිබ්බේ ඕසෙට මල් පිපෙන ලිලී පඳුරු ඊටත් එහායින් තමා පල්ලියට යන පාර තිබ්බේ. පල්ලිය පාරෙන් පොඩ්ඩක් එහාට ගියාම කනත්ත. කනත්ත පුරාම තිබ්බේ පියෝනියා මල්. ඔය ඔක්කොටම පහලින් කන්ද මුලින් ගලාගෙන ගියේ ආර්නො ගඟ.. 

මර්‍යූෂ්කා හිටියෙ ඒ පුංචි හුරුබුහුටි ගෙදර. ස්ටෙප්ස් බිම තරම්ම නැතුවට මේ වටපිටාවත් අපූරු බව ඈ තේරුම් ගත්තේ වයස එක්ක ලොකු මහත් වෙනකොට. ඒ වෙනකල්ම ඈට ඕන උනේ ආයෙම රුසියාවට යන්න. කවුද අකමැති තමන්ගෙ මවු බිමට. අනික එතන තරම් සැනසීමක් කොහෙද වෙන තැනක. රුසියාවෙ හුළඟ පවා ඈට සමීපයි කියලයි ඈ ඒ කාලෙ කීවෙ. ඒ කාලෙ කීවෙ ඒ කාලෙට. අර දුං කවුළු සුද්ද කරන මාර්කොව මුණ ගැහෙන්න කලින් කාලෙට. ඒත් පස්සෙ ඈට මේ ෆ්ලොරන්ස් තරම් වෙන නගරයක් නැතුව ගියා වගේ. පල්ලියෙ පාදිලි උන්නාන්සෙ පවා ඒක කීවා දන්න කියන අය එක්ක. 

මාර්කො ට ඕන වුනේ මර්‍යූෂ්කා එක්ක එක වහලක් යටට එන්න. ඒත් මර්‍යූෂ්කා තිස්සෙම කීවෙ දැන්ම එහෙම බෑ කියල. ලෙඩින් ඉන්න මහළු අත්තම්මව සනීප කරගන්න ඈට ඕන වුනා. ඒත් මාර්කොගෙ අදහස වුනේ නාකිච්චි ඉක්මනින්  ස්වර්ගෙට යනවනම් හරි නිදහසයි වගේ හැඟීමක්. අසරණ කෙල්ල කොහොම කියවන්නද නපුරු හිතක ඇතුලාන්තය! ඒත් ඈට ඒක නොදැනුනාම නෙමේ. අනික මාර්කො කියන්නෙත් කට පියන් ඉන්න පුළුවන් මනුස්සයෙක් යැ, අර මස් කඩේ ගෑනුකෙනා එක්ක ඕක කියනකොට එතන ලඟ වුන්න මර්‍යූෂ්කාගෙ හොඳම යාලුව පාවොලා ඕක අහන් ඉදලා මර්‍යූෂ්කාගෙ කනේ තිබ්බ වෙලේ ඉඳන් ඈ වුන්නෙ වරම ගත්ත ගානට. 

දේව මෑනියන් පල්ලා ඈට යකෙක් වැහුන ගානටයි වුන්නේ. අර වයසක උන්දැත් බැරි බැරි ගාතෙ උත්සාහ කරේ ඈව සන්සුන් කරන්න. ඒත් ඒක කරන්න සක්කරයාටවත් බැරුව ගියා වගේ. මාර්කො හවස ගෙයි වැට ගාවට එනකොටම මර්‍යූෂ්කා ගියා වැට ගාවට. 

"එන්නෙ එහෙම නෑ මේ හතර මායිමට. ආව අතක් බලාගෙන යනවනම් තමා හොඳ මාර්කෝ , උඹ මයෙ අත්තම්මා මැරෙනකල් ඉන්නෙ අහවල් ඉටිගෙඩියකටද උලමෝ ? ඒ අහිංසකී තොට මක් කරාටද ? මේ මොන්තෙමොරෙල්ලි කන්දෙ පිපෙන බිම්මල් සාක්කි , මයෙ අත්තම්මා මාව ජීවත් කරවන්න වින්ද දුක් කන්ද , මේ මොන්තෙමොරෙල්ලි කන්දෙ හැදෙන බෙහෙත් පැල සාක්කි. මයෙ කුසේ ගින්දර නිවන්න ඒ අසරණි හිම කුණාටු මැද්දෙ පවා මේ කන්දෙ නැග්ග බවට. එහෙවු අසරණී ස්වර්ගෙට යනකල් ඉන්න පාපතර අවලමා.. පලයං යන්ඩ මගෙ දෑහට නොපෙනී.. 

ඔන්න ඔහොමයි මාර්කො මර්‍යූෂ්කාගෙ ජීවිතෙන් යන්න ගියේ.  කෙනෙක් ගියාය කියල ඒ මත්තෙ ජීවතේ වෙනස් කරගන්න ඕනෙ නෑය කියල මර්‍යූෂ්කා කලින් ඉදන්ම හිතන් හිටි නිසා මාර්කොව පන්නගත්තට පස්සෙ ඒ ගැන පසුතැවීමක් වත් දුකක් වත් මර්‍යූෂ්කාට ඇතිවුනේ නෑ. මාර්කො ගිහින් ශීත ඍතු තුනකට පස්සෙ හතරවෙනි ශීත ඍතුවෙදියි අත්තම්මාට හොඳටම අමාරු වුනේ. පල්ලියෙ පාදිළි උන්නාන්සෙ එතුම දන්න වෙදකම් කරාට මෙදා සැරේ වැඩේ ලේසි වුනේ නෑ. වෙදෙක් ගෙන්නනම ඕන වෙන පාටකුයි තිබුනෙ. 

අත්තම්මට හයිය තිබ්බ ඒ දවස් වල මොන තරම් හිම වැටුනත් , මොන තරම් වැහි වැටුනත් ඈ එක දවසක වත් නිවාඩු නොගෙන කරේ මේ මොන්තෙමොරෙල්ලි කන්දෙ වස්තුව එකතු කරපු එක. උන්දැ හැමදාම කීවෙ මේක නිධානයක් කියලා. අත්තම්මා බෙහෙත් පැල එකතු කරල විකුණපු වෙදාව එක්ක එන්නයි අන්තිමේ තීරණය වුනේ. වෙදාව එක්ක එන්න ගියේ පාවොලාගෙ අම්මා. මර්‍යූෂ්කා හිටියෙ දෙලොවක් අතර. අත්තම්මා නැති ජීවිතයක් ගැන ඈ දැනගෙන හිටියෙ නෑ. කොටින්ම අත්තම්මා නැතුව හුස්ම ගන්න හැටියක් ඈ දැනන් හිටියෙත් නෑ. 

අන්තිමේ පාවොලා ගෙ අම්මා එක්ක වෙදා ආවා. අත්තම්මාව එහෙට මෙහෙට පෙරළා බැලුව. අන්තිමේ ඔහු බැලුවෙ මර්‍යූෂ්කා දිහා. 

අසරණ ළමයෝ ! අත්තම්මා ට බෙහෙත් කරන්න ඕන. ඒකට මෙන්න මේ බෙහෙත් පැලේ ඕන. අනික දවස් දෙකක් ඇතුලෙ බෙහෙත් නොදුන්නොත් බලාපොරොත්තු අතැරගන්න එක තමා හොඳම. 
වෙදෙක් කියන කතාවක්ද හැබෑට ඒක , මර්‍යූෂ්කා එහෙම හිතුවා කටින් නොකීවට. ඈ තීරණය කරා කන්ද නගින්න. බෙහෙත් හොයන්න. 

පාවොලාට අත්තම්මා ව බලාගන්න බාරදුන්න මර්‍යූෂ්කා හැමෝම එපා කියද්දි මොන්තෙමොරෙල්ලි නගින්න පටන් ගත්තා. ඈ ඒ බෙහෙත් පැල හොයාගෙන හොයාගෙන ගියා. සීතම සීත පටු අඩිපාරවල් දිගේ ගියා. තද කුණාටු වුනත් ඈට ආශිර්වාද කරපු ගානයි , හමාගෙන ආව කුණාටු පවා නතරව ඇගෙ ගමන ඈට යන්න ඉඩ ඇරියා. විටෙක ඈ ගස් මුල් වල හැප්පිලා ඇදගෙන වැටුනා. මූණත් තුවාල වුනා. ඒත් ඈට ඕන වුනේ ඇගෙ ලෝකෙ හැමදාම ලස්සන වෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලපු ඇගෙ අත්තම්මාට ජීවිතේ දෙන්න. 

හදිස්සි වෙලා මාර්කොව එලවගත්තේ ඇයි කියල ගෙවුන හතර අවුරුද්දට ඈට දහස් වතාවකට වඩා හිතෙන්න ඇති. අනික පාවොලාගෙ අම්ම කීවෙ ඇත්තක්මද කියන්නවත් ඈ හෙවුවෙ නෑනෙ. මාර්කො එහෙම කීවෙ ඇයි කියන්නවත් අහන්න යුතුකමක් තිබ්බ නේද කියල ඈට බොහෝ වතාවල හිතුනා. එහෙම හිතුනෙ අත්තම්ම හුස්ම ගන්න අමාරුවෙන් විඳපු අපමණ දුක් කන්දරාව ඇහැට පෙනුනට පස්සෙ. අනේ දේවමෑණියනේ ඈට සැනසීම දෙන්න කියල මර්‍යූෂ්කා ම හිතුවට පස්සෙ. මොනා වුනත් දැං මනමාලි වෙලා අල්තාරෙ ඉන්න හීනෙ ගොඩක් දුරයි. මාර්කො නැතුව මොන ඇටගෙම්බෙක් එක්ක අල්තාරෙ නගින්නද? මර්‍යූෂ්කා තිස්සෙම හිතුවෙ ඒක. 

ඈ හීන ලෝක වල එහෙ මෙහෙ යන ගමන් කන්ද මුදුනට වෙන්නම නැග්ගා. මේ හරියෙ වෙන්නෝන ඔය කියපු බෙහෙත! ඈ එහෙම හිතන ගමන්ම ඒක හොයන්න පටන් ගත්තා. හෙවුවා හෙවුවා හෙවුවා ! අත් ගල් වෙනකල්ම හිම පහුරු ගගා ඈ ඒ පැලේ හෙවුවා. දේව මෑනියනේ ඈට අවසානෙ ඇගෙ අත් දෙක තියනව කියල දැනෙන්නෙම නැතුව ගියා. ඇඟිලි තුඩු ගල් වෙලා පුපුරු ගහන්න ගත්තා. අන්න එතකොට ඈට දැනුනා අත් දෙකක් තවමත් තියන වගට. ඒත් ඈ හිම අස්සෙ පැල හෙවුවා. 


මර්‍යූෂ්කා ! මර්‍යූෂ්කා ! 
දෙයියනේ කවුද ඒ කතා කරන්නේ. ඒ මාර්කො ගෙ හඬ. මාර්කොව මට නොපෙනුනාට හඬ ඇහෙනව. දෙවියනි ! මේක යක්ෂ පරීක්ශාවක්ද ? ඇයි මේ කටහඬ ඇහෙන්නෙ මට. එක්කෝ මම ස්වර්ගෙට ලං වෙලාද ? නැත්තම් මං සීතට පිස්සු වැටිලද ? බෙහෙත් පැල... කෝ මේ බෙහෙත් පැල.. !! ඉලවු හිම ! ඈ ඔහේ තනියම කියවන්න ගත්තා.. 

ටිකකින් ඈට දැනුනෙ කවුරුන් හෝ ඈව වත්තන් කරන් කන්ද බහින බවක්. ඈට හිතුනෙම ස්වර්ගෙට කෙසේවෙතත් යක්ශයන් ඈව අපායට ගෙනියන බවක්. නැත්තන් මොකටද පහලට යන්නෙ. ස්වර්ගෙට යන්නනම් ඉහලට එපෑ යන්න. අනේ අත්තම්මා ! උන්දැ බෙහෙත් නැතුවම මියැදේවි.. මාර්කෝ!! හම්බුනා නම් එකම එක වතාවක් සමාව ඉල්ලන්න තිබ්බා කෑ ගහලා පන්නගත්තට.. දැං මොනා කරන්නද ! අපායට ගියොත් ආය කොහෙද ගැලවීමක්.. ඈ කෑ ගහන්න වුනා යක්ශයන්ට, ඈව අපායට ගෙනියන්න එපා කියල. 


මර්‍යූෂ්කා දෙයියන්ගෙ නාමෙට ඔය කියවිල්ල නවත්තපං.. උඹෙ අත්තම්මාගේ බෙහෙත් පැලත් උස්සන් , ඒ මදිවට උඹවත් උස්සන් පල්ලං බහින මට කණක් ඇහිලා ඉන්න දීපං.. මොන කරුමයක්ද ! සීතත් ඉවසුවෑකි , උඹේ බරත් ඉවසුවෑකි , ! ඒත් උඹෙ මේ කෑ ගැහිල්ල ඉවසන්න බෑ ගෑනියේ !!

අන්න එතකොටයි ඈ පියවි ලෝකෙට ආවෙ. මේ ඈව පහලට ගෙනියන්නෙ මාර්කෝ මිසක් ආපයෙන් ආව යමපල්ලො නෙමෙයි කියන්න ඈට තේරුනේ එතකොටයි. ආදරේ කියන්නෙ මෙන්න මේකට කියන්න ඈට තේරුනෙත් එතකොටයි.. මැරෙන්න වුනත් එකට යන එක.. ඒක තමයි ආදරේ !! 

©️ප්‍රභානී තෙන්නකෝන්. 







No comments:

Post a Comment