ජීවිතය ඇත්තේ විඳින්නටය..
අප අවුරුදු සීයක් හෝ දෙසීයක් ජීවත් වන්නේ නැත. දෑත දෙපයේ වාරු ඇතුව අපට ජීවත් විය හැක්කේ බොහෝවිට අවුරුදු අසූවක් පමණය. එයිනුත් දුව පැන නටා ජීවිතය විඳිය හැක්කේ ස්වල්ප කාලයක් ය. එහෙත් ඒ ස්වල්ප කාලය හෝ අපි ජීවිතය විඳින්නෙමුද ? යි මම ඔබෙන් අසමි. අපි ජීවත් වන්නෙමු ඔබ මට කියනු ඇත. එහෙත් අප බොහෝ දෙනා ජීවත් වන්නන් වාලේ ජීවත් වනවා මිසක ජීවිතය විඳින්නේ නැත. විඳව විඳවා ජීවත් වනවා පමණය.
අපි සෑම සියළු දෙනාම උදෑසන නැගිට්ට පසුව තේ එකක් බොන්නෙමු, එහෙත් නිදිමතේ බොන්නන්වාලේ එය බොනවා මිසක එය විඳිමින් බොන්නෝ සිටිත්ද ? කිරි, කහට, සීනි , මේවායේ රස පදම දිවඟින් විඳිමින් බොන්නෝ සිටිත්ද? එසේ සිටින්නේනම් අල්පයකි. එහෙත් තේ එක නොබොන්නෝ නැති තරම් ය. මේ බොහෝ සරළ කරුණකි. එහෙත් එයවත් අප කරන්නේ නැත.
දඩිබිඩියේ උයාගන්නා කෑමවේල ඔහේ ගිල දමනවා මිසක එහි රසය නිවී සැනසිල්ලේ විඳින්නෝ අල්පය. එහෙත් හැමෝම ගිලින්නෝය. ඔබ වාහනයක යන්නේනම් දෙපස සිරි විඳින්නේදැයි මම ඔබෙන් අසමි. ඔබ එහි සුවපහසුව වාඩිවී යනවා මිසක ඒ යන මග දෙපස ගැන අවභෝදයක් බොහෝ විට ඔබ සතුව නැත. නමුත් ඔබ යන්නේය. නොනැවතී යන්නේය. යාන්ත්‍රිකව යන්නේය.. එහෙත් එහි විඳීමක් ගැන දන්නේ අල්ප දෙනෙක් පමණය.
ඔබ ගීත අසනවා මිස ගීත විඳිනවාදැයි මම අසමි. ගීත විඳින්නෝ අල්පය. එහෙත් අප දිවා රෑ ගීත අසන්නෝ වෙමු.
උදෑසන හිරු පිපෙන අයුරුත් හවස හිරු මියෙන අයුරුත් අපි හැමදාම දකින්නෙමු, එහෙත් එහි අසිරිය හදවතින් නොවිඳින්නෙමු. මේ සාමාන්‍ය අපගේ ජීවිතයය. අප විහින් විඳවන්නෝ වෙමු.
බොහෝ සේ වෙහෙස මහන්සි වී හම්බකර අප යාන වාහන ගෙවල් දොරවල් අයිතිකරගන්නෙමු. එහෙත් ඒවාට වී විඳින්නට නොදැන විඳවන්නෙමු.
මම ඔබෙන් ප්‍රශ්නයක් අසමි,
ඔබ ඔබේ සහකරු හෝ සහකාරියව විඳ තිබේද ?
විවාහක ඔබ ඔබේ මදුසමය විඳ තිබේද ?
ඔබ ඔබේ බිරිඳ /සැමියාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සිපගෙන තිබේද?
ඔබ සංසර්ගයේ යෙදුනා මිසක ඒ මොහොත හදවතින් විඳ තිබේද ??
ලිංගික ක්‍රියාවලිය යනු හුදෙක් වර්ගයා බෝ කිරීම පමණක් නොවන්නේය. එය කලාවකි. එම කලාව විඳින්නෝ අල්පය. බොහෝ පිරිමින් සිතන්නේ ශිෂ්ණය ප්‍රාණවත් වීම ලිංගික කාර්‍යයයට ප්‍රමාණවත් ය කියාය. එහෙත් තමන්ගේ බිරිඳගේ මානසික තෘප්තිය ගැන හිතන්නට ඔවුන්ට වුවමනා නැත. බිරිඳ සැමියා ගේ මානසික තෘප්තිය ගැන හිතන්නේද නැත. සරළව කියනවානම් වර්ගයා බෝ කිරීමට රෙද්ද ඉස්සීම ප්‍රමාණවත් වග බහුතරය සිතා සිටින්නෝය.
තම බිරිඳගේ නිරුවත් සිරුර දැක නැති පිරිමින් පවා සිටිනා වග ඔබ විස්වාස නොකරණු ඇත. එහෙත් එවන් මිනිසුන් ජීවිතය විඳවමින් අප අවටම සිටින්නෝය.
ජීවිතය සැපවත් කිරීමට බොහෝ දේ අවැසි මුත් ජීවිතය විදින්නට මහාලොකු දේ අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නිරවුල් මනසක් පමණකි.
එක් දවසක් හෝ ඔබ ඉටිපන්දම් එලියකින් යුතු රාත්‍රීයක මදුවිතක් සමඟින් ඔබේ සහකරු / සහකාරිය විඳින්න. ( මදුවිත අත්‍යාවශ්‍ය නොවේ) ඔහු / ඇය ගේ සිරුර විවේකීව විඳින්න. සෑම සිපගැන්මක්ම හදවතින් විඳින්න, නුරා ඇස් වලින් ඔහු/ ඇය ව විඳින්න.. ඒ මොහොත හදවතින් විඳිමින් ගෙවන්න , ඔබට ජීවත් වීමට ආසාවක් එනු ඇත.. ජීවිතයට බලාපොරොත්තුවක් එනු ඇත..
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment