හැම බැඳීමක් ඇතුලෙන්ම අපි හොයන්නෙ සැනසීම..
ජීවිතේ එක එක කාලවල අපිට එක එක බැඳීම් ඇතිවෙනවා. දෙමාපිය දූ දරු , සහෝදර , මිත්‍ර, ආදී විදියට එක එක බැඳීම්. ටිකක් වයසින් වැඩෙනකොට අපි ප්‍රේමණීය බැඳීම් හොයනව. ඒ බැඳීමට විවාහය කියන මාතෘකාව එකතුකරලා අර්ථයක් දෙනව අඹු සැමි බැඳීම විදියට. ඊගාවට ආයම අපි දෙමාපියන් වෙලා අපේ දරුවො එක්ක දෙමාපිය දූ දරු බැඳීම හදා ගන්නවා. මේ විදියට හැම කෙනාගෙම ජීවිත එකම චක්‍රයක ගලාගෙන යනවා.
ජීවිතේ බොහෝ අමාරු තැන් වලදි අපි මේ බැඳීම් වලින් හයියක් හොයනව. මේ බැඳීම් අපිව ආරක්ශා කරාවි , අපි වෙනුවෙන් පෙනී හිටීවි කියල බලාපොරොත්තු වෙනව. මේ බලාපොරොත්තු සීයට සීයක් ඉටු නොවෙනකොට ආත්මාර්ථකාමි අපේ හිත මේ බැඳීම් වලින් මිදෙන්න ලිහිල් තැන් හොයනව. දරුවො නම් හිතුවක්කාර වෙනව. දෙමාපියන් නපුරු වෙනව , එක්කො දරුවන්ව අතෑරල දානව , සහෝදර බැමි ලිහෙනව, මිත්‍රත්වයන් පලුදු වෙනවා, ඒ ඒ විදියට මේ බැමි කඩතොලු වෙනවා.
මේ විදියටම අඹු සැමි කියන බැදීමෙ ලිහිල් තැන් වලට තව කෙනෙක් එනව. එතනදි නියම් බැඳීමේ කඩතොලු තැන් අනියම් බැඳීමෙන් වැහෙනව. සමාජය මොන විදියට මේ දේ දැක්ක වුනත් මේ ලිහිල් තැන් ඒ ඒ අයව රිදවන තරම් දන්නෙත් ඒ ඒ අයම තමයි නිසා මේ අයට සමාජය ගැන තකන්නට හිතෙන්නෙත් නෑ. මේක තමයි සාමාන්‍ය විදිය.
මේ හැම බැඳීමකින්ම අපි හොයන්නෙ සැනසීම.
නිකමට හිතන්න,
මේ දරුවන්ගෙන් මට සැනසීමක් නැති හැටි කියල කියන වාක්‍යය ඔබට ජීවිතේ කී පාරක් මේ සමාජයේම එක එක තැන් වලින් ඇහිල ඇතිද ? ඒ වගේම අනෙ මට සැනසීමෙන් ඉන්න දෙන්න අම්මේ කියනව කී පාරක් ඇහිල ඇතිද ? මට කිසි සැනසීමක් නෑ දෙයියනේ කියල කී වතාවක් නම් ඇහිලා ඇතිද ? මේ හැමෝම හොයන්නෙ , බලාපොරොත්තු වෙන්නෙ සැනසීම.
ඒත් මේ සැනසීම එන්නෙ අහසින්ද ? නෑ මේ සැනසීම අපිම ඇතිකරගන්න ඕන දෙයක්. අපිම අපි විහින්ම නැති කරගන්න සැනසීම ආයමෙ ඇති කරගන්න ඕනත් අපිමයි.
අපිට පුලුවන්නම් අපිට රිදෙන තැන් තේරුම් අරන්, අනෙකාටත් ඒ විදියටම එතන රිදෙනව ඇති කියල හිතන්න, අන්න එතකොට රිදීම අඩුවෙනවා. ඒත් බොහෝ අය කරන්නෙ තමන්ට රිදුනට වඩා අනිකාව රිද්දල කුරිරු සතුටක් ලබන එක. තමන් විඳවන තරමට වැඩියෙන් අනෙකා විඳවිය යුතුයි කියල හිතන එක. මෙහෙම
හිතන මිනිස්සු අනෙකාගෙ සැනසීම නැති කරන්න තමන්ට කරන්න පුලුවන් හැමදේම උපරිමයෙන්ම කරනවා. ගෙදර කන්න පොල් ගෙඩිය නැතත් අනෙක් කෙනාව හැඳිගෑවිලා යන්නය කියල දේවාලෙ ගිහින් පොල් ගහනවා. මේක තමා මිනිස් හිතේ තියන කුහක කම. තමන්ට නැති සැනසීමක් අනුන්ට තියනව දකින්න තියන අකමැත්ත.
මේ දේවල් වෙනස් කරගන්න ඕනත් අපිමයි. තමන් ට රිදෙන තැන් තේරුම් අරන් අනිත් කෙනාට සාදාරණ වෙන්න පුලුවන් නම් ඇත්තටම මේ බැදීම් ආරක්ශා කරගන්න වෙන මුකුත්ම කරන්න ඕන නෑ. බැඳීම තද කරගන්නය කියල තව තව රිදවන්න යන එකෙන් වෙන්නෙ ඒ බැඳීම් ඇතුලෙ වේදනාවෙන් මිරිකෙන එක. ඒත් සැහැල්ලුවෙන් අවබෝධයෙන් තමන්ටම අනෙක් කෙනාව ආදේශ කරල හිතන්න පුලුවන් නම් අන්න එතනදි මේ කියන සැනසීම
ලැබේවි.
විවාහය කියන බැඳීම ඇතුලෙදි, එකිනෙකා අතර නොරිස්සුමෙන් පටන් ගන්න පලුදුවීම අන්තිමේ නවතින්නේ බැඳීම දෙපළු කරලා. එක්කෝ ඒ බැදීමෙන් ඇතිවන පලුදු වලට අනියම් පැලැස්තර අලවලා පිටට පේන්න බැඳීම හැඩ කරලා. ඒ පැලැස්තර අලවගන්නකොට මේවයින් අපි බලාපොරොත්තු වෙන්නෙ අර පලුද්දට සාර්ථකම විසඳුම. ඒ කියන්නෙ සැනසීම. මේ පැලැස්තරය වැරදුනොත් වෙන්නෙ බැඳීමෙනුත් , පැලැස්තරෙනුත් දෙකෙන්ම සැනසීම අහිමි කරගෙන මානසික රෝගියෙකු වෙන එක. මොකද මනුස්සයෙක්ගෙ මනසට දරාගන්න පුලුවන් සීමාවක් තියන නිසා.
ජීවිතේ දුශ්කර තැන් එනකොට අපිට අල්ලගන්නත් තැනක් නැතුව යනකොට අපි ශක්තිමත්ය කියල හිතෙන තැනක් අල්ලගන්නව. මේක මනුස්ස ස්වභාවය. මේක කෙනාගෙන් කෙනාට වෙනස්. කෙනෙක් ලෞකික ව මේ දේ හොයාගන්නකොට තව කෙනෙක් ලෝකෝත්තරව හොයාගන්න පන්සල් යනවා. මෙතනදි ගැහැණිය කියන කෙනා බොහෝවිට තමන්ගෙ මාන්සික පීඩනය මුදාහරින තැන විදියට තෝරගන්නෙ තමන් අදහන ධර්මය. මෙතන සැනසීමයි. ඒක නැත්තෙ නෑ. නමුත් අන්තගාමීව මේ පංසල් පල්ලි බදාගැනීම කියන්නෙම අර බැඳීම් පලුද්දට තව පලුද්දක් එක් කිරීම විතරමයි. එතනින් වෙන්නෙ නොහිතන දුරස්වීමක් විවාහය කියන දේට නොදැනුවත්ව එක් කිරීමක්.
හැමෝම සැනසීම හොයනව. තමන් විහින් නැතිකරගත්ත සැනසීම ආයම ආයම හොයනව.
No comments:
Post a Comment