Sunday 23 February 2020

උත්සාහවන්තයා ජයගනී

උත්සාහවන්තයා ජය ගනී ! 

මේ කියන්නට යන්නේ මගේ අකුරු හරහා බොහෝ දෙනෙක් දැන හඳුනන පාපා ගැනය. 

පාපා යනු බොහෝ කාලයක පටන් මා දන්නා හඳුනන අප නිවසේ උදවුවට එන කාන්තාවකි. මම ඇයව දැන හඳුනා ගන්නා විට මට වයස අවු. 5 කටත් අඩු මිස වැඩි නොවිය යුතුය. ඈ මට වඩා වසර කීපයක් වැඩිමල් ය. දරිද්‍රතාවයෙහි පතුලේ සිටි පවුලක දැරියක වූ පාපා දමිළ ය. ඇය මුලින්ම අපේ ගෙදරට ආවේ මා එක්ක සෙල්ලම් කරන්නටය. ඇයව පාසැල් යැවුවේ අපේ අම්මාය. ඒ දෙමළ පාසැලටය. එහෙත් ඇයට අම්මා සිංහල ඉගැන්නූවාය. සිංහල කියවන්නට මෙන්ම ගලපා ලියන්නටද ඇයට පුළුවන් ඒ නිසාය. 

මේ ඇගේ කතාවය. ! 

ඈ අපේ ගෙදර සිටි කාලයේ වැඩි වියට පත් වූවාය. එවකට ඇයට අවු. 14 ක් ලැබුවා පමණය. ඇගේ දෙමාපියෝ ඇයව නිවසට එක්ක ගියේ දමිළ චාරිත්‍ර වාරිත්‍ර කරණු පිණිසය. එහෙත් ඇය යලි අපේ නිවසට ආවේ නැත. යලි පාසැල් ගියේද නැත. ඒ වෙනුවට මාස කීපයකට පසු ඇය මනමාලියක් කොට වයස්ගත ඇගේ මාමා කෙනෙකුට දෙනු ලැබුවාය. ඒ නානුඔය ප්‍රදේශයේ වතු යායකටය. ඊගාවට ඇයට සිදු වූයේ ඒ වයසක මිනිසාගේ අඩම්තේට්ටම්වලට ලක් වීමටය. රෑ තිස්සේ බීගෙන ඇවිත් දෙන ගුටිබැට ඉවසීමටය. මෙලෙස ඇය අවු. 2 ක් විතරම ඒ කසාදය රැකගෙන සිටියාය. එහෙත් තවත් ඉවසාගත නොහැකි තැන ඇය දීගේ දමා ගසා ගෙදර ආවාය. එවිට ඇය ගැබ්බර විය. 

ඊගාවට දරුවා උපන් පසුව දරුවා තම මව බාරයේ තබා ඇය වත්තේ දළු කැඩුවාය. දළු කඩා ගන්නා සල්ලි වලින් ඇය තම දරුවා ජීවත් කලාය. දළු කඩා අවසන කුඩා සිඟිත්තාද කර පින්නාගෙන නගරයට විත් අපේ ගෙදරත් අහල පහල ගෙවල් වලත් වැඩ කලාය. ඈ කෙසේ හෝ ජීවත් වූවාය.  

පළමු දීගය අහවර කොට ඈ දෙවන දීගෙක ගියාය. ඒකෙන් ඇය කබලෙන් ලිපට වැටි සේ විය. දෙවන සැමියාට වෙනත් පවුලක් තියන වග දැනගන්නා විට ඔහුට දාව එක් දරුවෙකුත් කුසේ දරුවෙකුත් විය. ඒ මදිවාට ගුටි බැටය. කට ගොන්නක් කසිප්පු බීගෙන ඇවිත් දෙන දස වදය. මේවා ඉවසා ගන්නට නොහැකි තැන ඇය කට ගොන්නක් බීගෙන ආ ඔහුට දොර පොල්ලෙන් ගසා අප නිවසට ආවාය. ඒ එන අතරමග පොලීසියට ගොස් පැමිණිල්ලක් දමන්නටද අමතක නොකලාය. දරු තුන්දෙනෙක් සමග ඈ තනි වූවාය. 

ඊගාවට කරන්නේ මොකද්ද කියා හිතමින් ඈ හැඬුවාය. එවක ඇගේ අයියා සිටියේ දෙහිවල මගේ මාමා ගේ ව්‍යාපාරික ස්ථානයක සේවය කරමින් ය. ඔහු කසාදබැඳ කලක් වුවද දරුවන් සිටියේ නැත. තම සහෝදරියගේ වැඩිමල් පුතු ඔහු බාරගන්නට කැමති විය. ඇයද ඊට කැමති විය. එපමණක් නොව ටික කලක් සිය සහෝදරියට නවාතැන් දෙන්නටද ඔහු කැමති විය. ඒ අනුව ඇය කොළඹ ගියාය.

පාපා ගේ සහෝදරයා පාපාගේ වැඩිමල් දරුවාව පාසැලකට ඇතුලත් කරවීය. දෙවැන්නියව මොන්ටිසෝරි යවන්නට කටයුතු කලේය. දරුවා ලැබුන පාපා දරුවා සමගම මීගමුව ප්‍රදේශයේ නිවසක අත් උදවුවට ගියාය. එතැන ඇය වසර දෙකක් පමණ වැඩ කොට මුදලක් උපයාගෙන තුන් වැනි දැරිය සමඟින් යලි ගමට ආවාය. වැඩිමල් දුවත් පුතත් සිය සහෝදරයා බාරයේ විය. 

උපයාගෙන ආ මුදලින් රජයෙන් දී තිබූ ඉඩම් කැබැල්ලක කුඩා කාමරයක් හදා ගත්තාය. ඇය එතැනින් ජීවිතය පටන් ගත්තාය. වත්තේ දළු කැඩුවාය. අපේ වත්තේත් අවට කුඩා වතු වලත් දළු කැඩුවාය. නිවෙස් කීපයකම වැඩ කලාය. ඒ අතර කඩයප්පන් හදා විකුණුවාය. මෙසේ ජීවිතය හා ඇය සටන් කලාය. ඉන්පසුව වත්තේ දළු කැඩීම නවතා ඇය පැයේ පඩියට ගෙවල් වලත් අවට වතු වලත් වැඩ කලාය. ඊගාවට දැරිය පාසැල් යන වයසට පත්වීය. එතෙක් සිය දියණිය සිටියේ ඈ සමගය. 

කොහොමත් කොයිවෙලෙත් උණුවන හිතක් ඇති අපෙ අම්මා ඈට අපේ ගෙදර ඇවිත් නවතින්නැයි කීවාය. එහෙත් ඈ ඊට කීවෙ. අනේ නෝනා මගේ පැල පාලුවට යනව මං රෑ වෙද්දි එහෙ යන්නං නෝනට පුලුවන් නම් මගෙ කෙල්ලව මෙහෙ තියාගන්නකො මං වැඩ කරල එනකල් කියාය. 

ඒ අනුව පාසැල් ඇරී අපේ ගෙදරට එන පොඩි පාපා ලොකු පාපා වැඩ කරන තුරු අපේ ගෙදර සිටියාය. මේ අකුරු කරන මොහොතේ පවා ඈ අපේ මිදුලේ කොතැනක හෝ නට නටා ඉනු සිකුරුය. දින සති මාස අවුරුදු ගෙවී ගිය අතර පොඩි පාපා දැන් 6 වසරේ දැරියකි. විටෙක ඈ අපේ අම්මාගේ ඔලුවෙ මල් ගසා හැඩ බලන්නීය. තාත්තා හා කෝලම් කරන්නීය. එදා මෙදා තුර අප නිවසේ අත් උදවුවට සිටින පූර්ණා අම්මාව තරහ ගස්සා මහ හඬින් දෙමළෙන් බනින්නීය. මිදුලේ ඉඩක් වෙන් කරගෙන මල් ගස් හිටවන්නීය. සිය මව සමඟ රෑ වී අවසන් බසයේ ගෙදර යන තුරුම අප නිවසේ පාලු කපන්නීය. 

ලොකු පාපා ජිවිතේ පටන් ගත්තේ කාමරයක් අටවාගෙන ඊට ලෑලි කෑල්ලක් දොර වෙනුවට තියාගෙනය. කාලය ගෙවෙද්දී ඈ සතෙන් සතේ ඉතුරු කරගනිමින් කුඩා ගෙයක් හදා ගත්තාය.කාමර තුනක් , කුඩා සාලයක් , කුස්සියක් හා ගෙට යාබදව කුඩා නානකාමරයක් ඊට අයත් විය. ගෙබිමට සිමෙන්තිය. වහල ඇස්බැස්ටෝස් ය. ( මා එය කීවෙ ඒ ආසන්නයේ ඇති බොහෝ නිවෙස් වල බිමට මැටි හා වහලට ටකරං ඇති නිසාය ) ඇගේ සිහින නිවස ඈ තැනුවාය. 

මා නිවසට අමතන ඇතැම්විට නිවසේ දුරකතනයට අමතන්නී පොඩි පාපා ය. ඇතැම් විටෙක මගේ ඔලුව ඔල්මොරොන්දන් වන තරමට ඈ ගිරවියක සේ දෙමළෙන් නන් දොඩවන්නීය. ඒ කිසිවක් මට තේරෙන්නේ නැත. අම්මා ඉන්නවද ඇසූ කල ඇය කියන්නේ අම්මා දළු කඩනවා කියාය. ඔයාගෙ අම්ම නෙමේ මගෙ අම්මා කීවිට ඈ අසන්නේ ඔයාගෙ අම්ම කවුද කියාය. ඊගාවට කතා කරන්නේ මම බව කී විට ඈ උදේ සිටම කාපු බීපු සියල්ල කියන්න ගන්නීය. ඉස්කෝලෙ වැඩ ගැන කියන්නීය. ඒ ඈය. පොඩි පාපා ය. මීට වසර ගනනාවකට පෙර අප නිවසේ මෙසේ කටකාරව සිටි ලොකු පාපා ය. ඉතිහාසය යලි යලිත් මතු වන්නේය. 

සති කීපෙකට පෙර මා කතා කරන විට පොඩි පාපා දුරකතනයට ඇමතුවාය. ඉන් පසුව ඇය සුදු නෝන දන්නවද අපි අලුත් ගෙට යනවනෙ. ඒකට අපි හෙට ලොකු නෝනලට කෑම දෙනව. අම්ම ගියා බඩු ගේන්න ලොකු ටවුමට කීවාය. ටිකකින් ඈ අපේ අම්මාට කතා කොට දුරකතනය දුන්නාය. 

අම්මේ පාපා ගේ හදල ඉවරද ? මම
ඇසුවෙමි. ඔවු පොඩි දූ ශෝක් ගේ පොඩ්ඩ ආසාවෙ බෑ. මල්  පිරිල මිදුලෙ සිරියාවෙ බෑ. හෙට අපිට කෑම දෙන්න ඕන කියල ඔන්න පාපා ගියා බණ්ඩාරවෙල  , යි අම්මා කීවාය. 
මට ඈ ගැන අවංකවම සතුටු සිතිනි. ජීවිතයෙන් බැට කෑ ඇය අනුන්ට අත නොපා ජීවිතය ජය ගත්තාය. කිසිදා කිසිවෙකුගෙන් සත පහක් හෝ හොරා නොගත්තාය. වංචා නොකලාය. අවසානේ ඈ දින්නාය. 

මම අද උදෑසන අම්මාට කතා කරන විට අම්මා කීවෙ ඔන්න පාපා තාත්තට සෙම කියල එළු කිරි බෝතලයක් උස්සගෙන ඇවිල්ලා කියාය. කෝ ඉන්නවද කියා මා ඇසූ විට අම්මා ඈට කතා කරාය. 
සුදු බේබි ! අනේ කවද්ද එන්නේ ? 
ඉක්මනටම එන්නම්කො ඔයාව බලන්න. කොහෙන්ද පාපා එළු කිරි ? 
මම එළු පට්ටියක් හදන්න ගත්තනෙ බේබි. මගෙ එලිච්චි ගෙ කිරි ගෙනාවෙ , අපේ මහත්තයට ගුණයි නෙ . ඈ කියන්නීය. 
පාපා , මං ඔයා ගැන ලිවුවට කමක් නැද්ද ? 
අනේ ශෝක් නෙ බේබි. බේබිගෙ පොතෙත් මම ඉන්නෙ. මං ඒ පොත් දෙකම අල්මාරියේ දාගෙන ඉන්නෙ. 

ඉතින් මම ඇගේ කතාව ලීවෙමි. ඒ ලීවේ ඇය ජීවිතය ජයගත් දිරිය ගැහැණියක නිසාය. මගේ අකුරු ඇයට උපහාරයක් විය යුතු නිසාය. 



No comments:

Post a Comment