ටිපී ඔවදං...
➖➖➖
ඊයේ හවස් යාමයේ පවුලේ වෛද්‍ය වරියගෙන් අපි හැමෝම ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට ඔරොත්තු දෙනු පිණිස වැක්සීන් විදගෙන ගෙදර ආවෙමු. ( ටිපියාට විද්දේ එතුමිය නොව ටිපී වෛද්‍ය තුමියය ) ගෙදර ආ පසුව ටිපී මහතාට උණ ගැනෙතැයි සිතා ඇඳ අසලින් උණ කටුව , ළමා බෙහෙත් ( සිරප්/සපෝසිටරි ), තුවා, වතුර, ඕඩිකොලොන් , පුළුන්, ආදී දෑ තබාගෙන සූදානම් සරීරෙන් නින්දට ගියෙමු..
රෑ මැද වෙද්දී ටිපී මහතා හොඳින් දැයි බැලූ විට එතුමා දම්ම තියා වැලන්ටයින් සිහින දකිමින් සිටි අතර එතුමාගේ මව වන මට සහලවා උණ ගෙන තිබිණි. අද උදෑසනද තත්වය එසේම වූ අතර , හවස් වන විට උණ ගතිය සමනය වී තිබිණි.
පාසැල නිමවා නිවසට පැමිණි සැනෙන් උණ කටුව මගේ කටේ එබූ ටිපී මහතා ,
අම්මේහ්හ් දැං ඔයාට කොහොමද? ඔයා කෑවද ? ඔයා කී පාරක් ඕක් දැම්මද ? බෙහෙත් බීවද ? ආය කියන්නෑ මං , ඔයාට ගුටි ඕනද ? මේ මිදි වත් කාල නෑ නේද ? කියමින් තම ඇඳුම්වත් මාරු නොකර කියවන්නට විය.
හරි හරි , මට දැං හොඳයි සුදු මහත්තයා, ඔයා ඇඳුම් මාරු කරන් කාල ඉන්නකො මොනාහරි.. කියා මම කියූ අතර ඒ අනුව එතුමා සන්සුන් විය.
ටිකකින් ඇපල් ගෙඩියක් උලා කමින් මා අසලට පැමිණි ටිපී මහතා , මහත් වූ බැරෑරුම් ස්වරූපයක් මුහුණට මවා ගනිමින් ,
දැං අම්මේහ්හ් ,
හැම අවුරුද්දෙම ඔය ඉන්ජෙක්ෂන් එක විදිනවනෙ. ඔයාට , මට , අප්පච්චී ට, අත්තම්මාට , අපි හැමෝටම විදිනවනෙ. ඒත් කවදාවත් අපි කාටවත්ම උණ ගන්නෑනෙ. උණ ගන්නෙ ඔයාටනෙ, ඔයා තමා බබා මෙහෙ, ඒ නිසා අම්මේ. ආය අපි බෙහෙත් විදගෙන ආහම , ඔය ඔය පොඩි ස්ටූල් ඔයාගෙ බෙහෙත් තියාගන්න. මට බෙහෙත් ඕන වෙන්නෑ. මොකද මම ශක්තිමත් ඔයාට වඩා.. මට උණ ගන්නෙ නෑ ඕවට ඔයාට වගේ..
කී අතර , මම
හා පුතේ... කීමි...
No comments:
Post a Comment