Sunday 23 February 2020

මනුස්සකම්

මනුස්ස කම්


කුඩා දරුවෙක් කරපින්නාගෙන සිඟමන් යදිනා කාන්තාවකි. ඇය රුමේනියානු අහිකුන්ඨික ජන වර්ගයක් වන සිංගිරි ගනයට අයත් කාන්තාවකි. ඇය සිටින්නේ මගේ පුතුගේ බැලේ ඇකඩමි එකට යන පාරේ ය. සෑම අඟහරුවාදාවකම හා සෑම සිකුරාදාවකම මට ඇය මුණ ගැසේ. කුඩා දියණියක තුරුල් කරගෙන සිටින ඇයට කපුචීනො එකක් බොන්න යැයි යූරො 1.20 ක් දීම මගේ සිරිතය. 

"ඕකුන් හොරුන්" යැයි සම්මත ජනවර්ගයක් වන සිංගිරි  න් ඇත්තටම ඉතාලි බලධාරීන්ට ද මහත්ම හිසරදයකි. මෙරටෙහි රැඳී සිටීමේ නිශ්චිත බලපත්‍ර අහිමි ඔවුන් දේශ සීමා තරණය කර විත් මෙහි සිටින්නේ පිනට කා බී කොහේ හෝ වැටී සිටීමේ අරමුණ ඇතුවය. බොහෝ විට රැකියා නොකරන ඔවුන්ගේ කාන්තාවන් ගේ ප්‍රධානම ජීවනෝපාය සිඟමනය.  හොරුන් ලෙස හංවඩු ගසා ඇති බැවින් කිසිවෙකුත් රැකියා දෙන්නේද නැත. 

අධික ශීත කාලගුණයක් පවතින මේ දිනවල තම සිඟිති දියණිය ද තුරුල් කොට ගෙන ඇයව දකින මගේ පුතු, කොහොමද අම්මෙ එයාල එහෙම ඉන්නේ යැයි මගෙන් අසයි. ඇයි අම්මෙ එයාල එහෙම පාරෙ ඉන්නෙ?  වහිනකොටත් එයාල ඉන්නෙ එතන නෙ තෙමෙනවනෙ අර පොඩි බබා යැයි කියයි.  මගේ සිතද ඒ මව හා දරුවා වෙනුවෙන් උණු වෙතත් කීයක් හෝ දීම ඇර ඔවුන් වෙනුවෙන් මට කල හැකි අන් කිසිවකුත් නැත.  

ඔයා ඔහොම පවු කිකිය දුන්නට ඔය මිනිස්සු හරි කපටියි. ඒ මගේ සැමියා නිතර කියනා වදනකි. එහෙත් මා කරනා කිසිවකට කිසිදා ඔහු එපා කියන්නේ නැත. එනිසාම නත්තලට කලින් ( අප බෞද්ධ මුත්) කුඩා ඇඳුම් කීපයක් මම අර කුඩා දියණියට තෑගි දෙන්නට සිතා ගතිමි.. එයට අනුග්‍රහය දැක්වූවේ සැමියාගේ පසුම්බිය ය. අප පුතුට ඇදුම් ගනිද්දීම එකී ඇඳුම් ද ගත් අතර ඔහු කිසිවක් නොකියා එහි බිල ගෙවා දැමීය. 

පහුවදා අඟහරුවාදා  වූ අතර එකී දියණියට මම අර ඇඳුම් තෑගි කලෙමි. ඒ අව්‍යාජ සිනහව මට කිසිදාහෝ අමතක වන්නේ නැත. පන්තිය අහවරව ඇකඩමියේ ගේට්ටුව අසල සැමියා එනතුරු, රැඳී සිටීම පුතුගේ හා මගේ සාමාන්‍ය සිරිතය..  මේ අතර වාරයේ පුතු දඟ කිරීමද ඉතා සාමාන්‍යය. 

මම එපා කියද්දීම මගේ අත බැඳි ඔරලෝසුව ගෙන ඔහු අත දමාගෙන ඉන් කෝළම් කරන්නට වූ අතර කීප වරක් යලි ඉල්ලුවද ඔහු එය මට යලි දුන්නේ නැත. වටිනා එකක් වූ එය ( ශ්‍රී ලංකා මුදලින් 30.000 ස ඉක්මවූවකි) සෙල්ලම් බඩුවක් නොවනා බව කීවද මගේ වදන් කනකට නොගත් ඔහු දිගටම එය තම අතෙහි දමාගෙන ඉන්නට විය. 

ටිකකින් සැමියා ආ අතර අප දෙදෙන වාහනයට ගොඩවූ අතර එහිදී මම ඔරලෝසුව ඉල්ලන විට ඔහු අත එය තිබුනේ නැත. මුලු කාරයේම බැලූ මුත් එය නොතිබූ අතර, 
ශුවර් එකටම ඕක වැටෙන්න ඇත්තෙ ගේට් එක ගාව , ආය හම්බවෙයි මේන් කියල. අර ඔයාගෙ සුරතල්ලු දැන් ඕක විකුණලත් ඇති . යැයි සැමියා කී අතර, 
අනේ අපි හරවගෙන යමු යි මම කීවෙමි. 
කිසිවක් නොකී අපි යලිත් වාහනය හරවා පන්තිය දෙසට ආ අතර අර කාන්‍තාව අප වාහනය ඈත් සිට දැක අත වනන්නට විය. 

 ඇය අසල වාහනය නතර කරන විටම මගේ ඔරලෝසුව රැගෙන අප අසලට ආ ඇය මේක බබාගෙ අතින් වැටුනෙ කාර් එකට නගිනකොට. ඕගොල්ලො ආපහු ආවෙ නැත්තම් සිකුරාදාට බබා පන්ති එනකොට දෙන්න මම හිතන් හිටියෙ යැයි කීවාය.  මම ඇයට ස්තූති කලෙමි. සැමියාද ස්තූතියි කීය. 

ආපසු එන අතරවාරයේ , දැක්කද මගෙ සුරතල්ලු මට ආදරෙයි යැයි සැමියා දෙස බලා කී අතර සිරාවටම මම නම් හීනෙන් වත් නොහිතපු දෙයක් මේක යැයි ඔහු කීවෙය. 

අප බාහිරින් බලා මිනිසුන් විවේචනය කිරීමට මිනිසුන් ට චරිත සහතික දීමට සැදී පැහැදි සිටින්නෙමු. එහෙත් අප හොඳ හිතින් යමක් යමෙකුට කරන්නේ නම් අපට පෙරළා ලැබෙන්නේද යහපතක් මය. කිසිවෙක් දෙස පිටින් බලා චරිත සහතික දීමට අපට නොහැකිය. 

ප.ලි. 
මේ සිදුවීම මම වත් සිදුවිය හැකි දෙයක් යැයි විස්වාස නොකලක් වන අතර , 98% ක් රුමේනියානු සිංගිරි ජනවර්ගයෙක් අත් විදින්නට වන්නේ වංචාවන් පමණය.

©️ප්‍රභානී තෙන්නකෝන්. 




No comments:

Post a Comment