Sunday 23 February 2020

ඇත්තටම අපි වැරදිද ?




එදින අපි විනෝද චාරිකාවක් යනු වස් උදෑසනම නිවසින් පිටත් වූ දිනයකි. පවුල් කිහිපයක්ම එක්ව ගිය බැවින් බස් රථයක් ගමනට යොදා ගැනිනි. ගමන පිටත් වෙද්දී මගේ පුතු හා මම යාබද අසුන් දෙකකත් ඒ අනිත් පස යාබද අසුන් දෙකෙහි මගේ සැමියා හා ඔහුගේ මවත් විය. ගමන අතර මගදී මට අත්තම්මා ඕනි යැයි කියමින් පුතු රංඩු අල්ලලන්නට වූ අතර කිසිසේත්ම අත්තම්මාට කරදරයක් නොවන බවට පොරොන්දු දෙන්නටද විය. ඒ පොරොන්දු හා රංඩුව නෑසූ කන්ව මා සිටියදී (පුතුගේ තරම මා දන්නා බැවින්) මුණුබුරාව තමා අසලට එවන්නැයි අත්තම්මාද කියන ලදුව ම'පුතුව ඈ අසලට යවන්නට කටයුතු කෙරිණි. 

ස්වල්ප මොහොතකින් "අම්මේ මගෙ වීඩියෝ ජෝකෝ එක දෙන්න" ( වීඩියෝ ගේම් ) පුතු ඉල්ලා සිටියේය. ඔහුගේ මේ ඉල්ලීම් සාමාන්‍ය බැවින් සියල්ල සූදානම් කොට මගට බැසීම අප නිවසේ සාමාන්‍ය සිරිත විය. පුතුට මම විඩියෝ ගේම් එක දුන් අතර ඔහුගේ මිතුරියක් (ඈ උන්නේ අපට ඉදිරියෙනි) ඒ ක්ෂණයකින් ඔහු අසලට ලං විය. ඒ අප බොහෝ සේ දන්නා හදුනන දැරියක් වූ අතර මගේ පුතු හා ඇය සම වයස් විය. ටික මොහොතකින් දෙන්නා බොහොම සාමදානයෙන් සෙල්ලම් කරනු පෙනිනි. තව මොහොතකින් අම්මේ මගේ ෆෝන් එක ( මම පෙර පාවිච්චි කරන ලද දුරකථනයක් ඔහු සින්නක්කර අයිතියට ලියාගෙන ඇත ) කියා ඉල්ලීය . එයද මවිසින් ඔවුන්ට දුන් පසුව දෙන්නා සාමදානයෙන් දුරකථනය හා වීඩියෝ ගේම් එක බෙදාගෙන සෙල්ලම් කරන්නට හා සිංදු අහන්නට විය. 

අප ඉදිරිපස අසුනේ උන්නේ ඇගේ මවය, ඈ දුරකථන සංවාදයක නිරතව වුන් අතර තම දියණිය තමා අසල නැති වග පවා ඈට නිච්චියක් නොවීය. සංවාදය අවසන වටපිට බලමින් දියණිය සෙවූ ඇය, ආ මේ ඉන්නෙ යැයි කියමින් සිනාවක් පෑවාය, ඉන් අනතුරුව මා දෙසට හැරුණු ඇය දන්නවද මේ පහුගිය දවසක දහම් පාසලේදී ඔයාගෙ පුතා අපෙ දුවට කරල තියන වැඩේ ?? යැයි ඇසීය.. 

මගේ කන් දෙක පවා සියුම් ලෙස රත් වූ අතර මා සිතූවේ පුතු ඈට කුමක් හෝ දෙයකින් තඩි බා ඇතැයි කියාය.. කිසිවක් නොදත් මම ඈට නෑ යැයි කීමි.. 

" බලන්නකො ඔයාගෙ පුතා මගේ දුවව බදාගෙන ඉඹල, නිකං නෙමෙයි තොල් දෙකට තමා කිස් එක දීලා තියෙන්නෙ, ඒක දැක්ක කෙනෙක් තමයි මට කෝල් කරල කීවෙ , ගෙදර ගිය ගමන්ම මම නම් අපේ එක්කෙනාට දුන්න අමතක නොවෙන්නම , ඔයා දන්නවනෙ ප්‍රභානී , මම ඉන්නෙ තනියම , මහත්තය එක්ක නෙමෙයිනෙ , ඒ නිසා අපේ කෙනා ඕවා දකින්නෙ නෑ . ළමයි කරන්නෙ වැඩිහිටියො කරන දේ, .... " 

ආදී ලෙසින් බොහොම පැහැදිළිව ඈ අපට ඡෝදනාවක් ගොනු කලාය.. මම මද සිනාවක් පෑ අතර අම්මා (සැමියාගේ මව ) වහා ක්‍රියාත්මක විය... 

අනේ මේ ඔයා නිකං ඒ ළමයට දොස් කියන්න එපා , ඔය සිද්දිය වුනේ මගෙ ඉස්සරහා , කිස් කරා කිස් කරා කියන්න අපේ එකා ඔයාගෙ ළමයව ඉඹගෙන බදාගෙන හිටියෙ නෑ, ඔයාගෙ දුව ඇවිල්ල කෙවින් මට බාචෝ ( හාද්දක්) දෙන්න ගෙදර යන්න කීවම අපේ එකා පොඩි කිස් එකක් දුන්නා, ඒක දුන්නෙ තොළට ඒක ඇත්ත , හැබැයි මේ ඔයා ඔය කියෝන තාලෙට නම් නෙමෙයි, මම ඒ වෙලාවෙම අපේ පොඩි එක්කෙනාට කීවා එපා පුතේ එහෙම දෙන්න අතට බාචෝ දෙන්න එහෙම තමා හොද කියල , ඒ අනිත් අතටම අපේ එක්කෙනා සමාවෙන්න කියල අතට කිස් එකක් දුන්නා , ඔය කෝල් කරපු කෙනා ඒක කීවෙ නැද්ද ??  ඇසීය 

එයට ඈ කිසිවක් නොකීවාය.... 

නමුත් මගේ සිත බොහෝ සේ රිදිනි , ඈ ඡෝදනාව කලේ අපටය.. මගේ සිත අතීතයට එක් වරම දිව ගොස් ඇගේ පුතු මගේ පුතුගේ හිස මතට කළු ලෑල්ල පෙරලා දමා (දහම් පාසැලේදී) හූ කියමින් නැටූ අයුරු ස්වාමීන් වහන්සේ විසින් අපට දුරකථනයෙන් දැනුම් දුන් අයුරු මගෙ මනසේ දිස් වන්නට විය..  එදින හිසට ලද පහර මත මගේ පුතු වමනය කරන්නට වූ අතර ඒ සැනකින් ඔහුව රෝහල් ගත කොට අදාල පරීක්ෂණ වලට ලක් කලෙමු. එදින ඈ හඬා වැලපෙමින් අනේ අපේ පුතා හිතල නෙමෙයි එහෙම කරේ ප්‍රභානී කී අයුරුත්, ඈට උත්තර දෙන්නට තරම් මානසිකත්වයක් නොවූ මම පුතුද වඩාගෙන එහෙත්, ඔක්කොම පොඩි ළමයිනෙ අක්කෙ, යැයි කියමින් පිටත් වුනු අයුරුත් මට මැවී පෙනිනි.. ඒ එදාය....  ඔහුගේ පුතු වෙනුවෙන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට මම නොගියෙමි. මවුවරු කීප දෙනෙක්ම මට පුද්ගලිකව කතා කොට කීවෙ රෝහලට ඇත්ත කියන්න ඔය වසවර්ත ළමයට පාඩමක් ඉගෙන ගන්න කියාය .. එහෙත් මා හෝ සැමියා රෝහලට කිසිවක් නොකී අතර අප කීවේ නිවසේ සෙල්ලම් කරමින් සිටියදී හිසට ඔහුගේම කළු ලෑල්ල පෙරලුණු බවය..  ඒ මම ය.... 

නමුත් මේ ඇය කියන්නේ වෙනමම කතාවක් ය.. මේ ශ්‍රී ලංකාවේ හද්ද පිටිසර ගමක් නොවනා අතර යුරෝපයේද වැඩිපුරම සංචාරක ආකර්ශනයක් පවතින නගර වලින් එකකි. රූපවාහිනිය ඔස්සේද , මගට බට විට පාර දිගේද , බස් රථ වලද සිප වැළඳ ගැනීම් සාමාන්‍ය කරුණක් සේ පෙනෙනා රටකි. එපමණක් නොව පුතු මා හා සැමියාට පවා දෙතොළට කුඩා හාද්දක් දීම සාමාන්‍ය කරුණකි.. ඒ ඔස්සේ කිසිදා අප සිතා නැත.. මේ සිප ගැනීම හුදෙක් නළලත හෝ කම්මුල සිපගන්නවාක් මෙන් දෙතොළ මත දෙතොළ තබා ආපසු ගැනීමක් මිස සෘංගාරාත්මක සිප ගැන්මක් නොවීය.. එහෙත් අපි සෑම විටම පුතුට කියන්නෙ ඔය වැඩේ අම්මටයි , අප්පච්චිටයි , ඇරෙන්න අදුරන්නෙ නැති අයට කරන්න එපා කියාය.. 

ඉතාලියේ කුඩා දරුවන් බහුතරයක් තම දෙමාපියන් හා ගුරුවරුන්ට ( ප්‍රාථමික අධ්‍යාපනයේදී) හාද්දක් දෙන්නේ දෙතොලටය. එය තප්පරයකට සීමා වූ කාරණයකි.. මට අනුව එහි වරදක් නැත ( සමහරවිට මා වැරදි ඇත) කෙනෙක් එය වැරදි ඇසකින් දකින්නේනම් එයට මට කරන්නට දෙයක් ද නැත.. 

ඒ කෙසේ වෙතත් ඒ අහිංසක දැරිය මගේ පුතු නිසා ගුටි කෑ එක ගැන අවංකවම මට දුක සිතිනි, ඒ මන්ද ඈ ඇගේ දියණියට ගහන්නට වූ විට ඈට තැන නොතැන අමතක බව මම මගේ ඇස් දෙකට දැක ඇති නිසාය. වරක් අවුරුදු උත්සවයකට අවුරුදු කුමරා කුමරියට මගේ පුතු හා ඇගේ දුව තරඟ වැදුනු අතර මගේ පුතු අවුරුදු කුමරා වූ අතර ඇගේ දියණිය කුමරිය නොවූවාය. එය ඇගේ වරදක් නොවූ අතර එහි සිටි සෙනඟ මැද්දේ ඒ අහිංසකී ගුටි කෑවාය.. ඒ ප්‍රහාරය නැවතුනේ මම පොඩි එකීව තුරුළට ගැනීමෙන් පසුවය.. ඒ ඇය ය..... 

ඇය සැමියා හා නොසිටීම නිසා ඇගේ ළමයා බොහොම විනීත දැරියක් වන අතර අප පවුලක් ලෙස සිටින නිසා මගේ දරුවා ඇයට අනුව අවිනීතය... මම මගේ දරුවාව දනිමි... ඔහුගේ සෑම සියළු සිතුවිල්ලක්ම දනිමි. ඒ සමානවම අප නිවස තුල අප හැසිරෙන්නේ කොහොමදැයි යන්නද දනිමි.. ඒ නිසා මට ඇගේ ඒ ඡෝදනාව සිනාවකින් ඉවසන්නට පුළුවන් විය, නමුත් හිත රිදුනේ එය ඈ තවත් කීප දෙනෙකු ඉස්සරහා කී නිසා හා  ඇගේ වැඩිමල් පුතුගේ ක්‍රියාව මා ඉවසූ අයුරු මතක් වීමත් නිසාය.... 


ප්‍රභානී 

No comments:

Post a Comment