Sunday 23 February 2020

නපුරු මතක

අම්මේ, මම ඉක්මනටම මැරෙයි ද ??

මේ අන් කිසිවෙකුගේ නොව මගේ එකම පුතුගේ වචනය. ඒ වචන ඔහුගේ මුවින් පිටවූයේ මීට මාස දෙකකට පෙරය. ඒ වදන්  හමුවේ එදා මා පත්වූ අසරණ තාවය මෙලොව කිසිම අම්මා කෙනෙකුට නොදැනේවායි මම පතන්නේ මගෙ මුලු හදවතින් මය. එය ඒ තරම් වේදනාකාරී මොහොතකි. 

දිනය හරි හැටිම මතකයේ නැතත් ඒ 2017 සැප්තැම්බර් 14 හෝ 15 විය යුතුය. අප නිවාඩුවට ලංකාවට ගොස් ආපසු එන්නට දින කීපයකට පෙරය. ස්ථානය මාතර මගේ සැමියාගේ සහෝදරියගේ නිවසය. 

පුතුගේ දතක් රිදෙනවා යැයි කියමින් සිටියේ අප ලංකාවට යන්නට දින කීපයකට පෙරය. එවෙලේම ඔහුගේ වෛද්‍ය වරියට එය දැනුම් දීමෙන් පසු අදාල ප්‍රථිකාර වලට යොමු කල මුත් අප ලංකාව බලා ගුවන්ගත වීම හේතුවෙන් එකී ප්‍රථිකාර කල් දමා වේදනානාශකයක් පමණක් ලබා ගතිමු. එවෙලේ මගේ හිතවත් සහෝදරයෙකු වන අසංක මල්ලී ට දුරකතනයෙන් පුතුගේ තත්වය දැනුම් දුන් පසු ඔහු කීවේ , අනේ අක්කෙ බය වෙන්න එපා ඕක පොඩි දෙයක් මගෙ ක්ලිනික් එකට එක්ක එන්න මම බලන්නම් කියාය. ඔහු දන්ථ වෛද්‍ය වරයෙකි.  
එහෙත් ඉන් පසුව පුතුගෙන් එකී දත සම්භන්ධව කිසිම ඡෝදනාවක් නොවූ අතර , වෙනත් අසනීප තත්ව සමග ලංකාවේ ගෙවූ නිවාඩු කාලය ගෙවිනි. පිටත් වීමට දින කීපයකට පෙර අප මාතර ගොස් සිටියදී පුතුගේ ඇඟ මදක් රත් වී යලිත් දත පිලිබඳ ඡෝදනාව ඉදිරිපත් විය. 

අක්කා එකෙනෙහිම මාතර සිටින හොඳම දන්ත ශල්‍යවෛද්‍ය වරයෙකු වෙත දුරකතනයෙන් කතා කොට පුතු පෙන්වීමට වෙලාවක් ලබාගත් අතර අප එහි පිටත්වීමු.  කොපමණ චන්ඩියෙකු වුවද ලංකාවේ වෛද්‍යවරුන් වෙත බියක් දක්වන පුතු, ( එකී බියට ඕනෑවටත් වඩා සාදාරණ හේතු ඔහුට ඇත) එකී ස්ථානයට ගිය වෙලේ පටන් ඇඬූ කඳුලින් කුණු කුණු ගාන්නට විය. 
අප එහි ගොස් මද වේලාවකින් අදාල වෛද්‍යවරයා පැමිණි අතර , මිසිස් ගුණසේකරගේ මල්ලිගෙ බබා මෙයාද ? යි පුතු පෙන්වා ඇසූ කල අපි ඔවු යි කීයෙන් අනෙක් අයට ප්‍රථමයෙන් අපව ඇතුලට ගනු ලැබීය. 
මදක් ආගිය තොරතුරු කතාකල ඔහු, කෝ බලමුකො චන්ඩියගෙ දත, කී අතර පුතු බාගෙට ඇඬී මා අසලට වී සිටියේය. දෙතුන් පාරක් කතා කොට පුතු නොආ තැන , 
මේහ්හ්.. මෙන්න මෙහෙ එනවා, ඔයිට වැඩිය චන්ඩි මෙතන්ට ඇවිත් තියනවා යැයි කී අතර පුතු ඊට බිය වී ඔහු අසලට ගියේය. 

ඔහු පුතුගේ දත බැලීය. 
මට දත් රෝග ගැන කිසිඳු අවභෝදයක් නැත. මා එය හදාරා හෝ ඒ ගැන අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා හෝ නැත.  එනිසා මා ඒ පිලිබඳ ව කිසිවක්ම දන්නේ නැත. 

මේ එකී වෛද්‍යවරයා ගේ වචනය.. 

මෙයාට මේ හැදිලා තියෙන්නෙ............ මෙන්න මේ ලෙඩේ. ( ඔහු ඊට කී නම මට මතක නැත) අසල වූ බිත්තියක පෝස්ටර් එකක් පෙන්නමින් ඔහු කියයි. මේක තියන් මේ පුතයට ඉන්න බෑ. දත ගලවන්නම වෙනව. නැත්තම් මැරෙනව . ආයෙ දෙකක් නෑ මැරෙනව. මේ වේදනාව දරන්න බෑ. මේ පුතය එක්ක මේක කරන්න ලේසිත් නෑ. මේක කීයටවත් හිරිවට්ටල කරන්න දෙන්නෙ නෑනෙ. මේ පේනවනෙ දැනුත් කොච්චර අමාරුද කියල. මේකට ගෑස් එක ගහල සිහිය නැති කරල දත ගලවන්නම වෙනව. නැත්තන්නම් මැරෙනව පුතෝ.. 

ඒ වචන ඇහුනු මම එතැනම අසල වූ පුටුවේ ඉබේටම ඉන්දවුනු අතර මගේ මුලු ඇඟම වෙවුලන්නට වූ බව කිව යුතුමය. ඒ මගේ එකම දරුවාය. මගේ පණය. මේ මැරෙන බවක් කියන්නේ මගේ පණය. ඒ වදන් දරාගන්නට හැකි අම්මෙක් මෙලොව නැත. ඔහු කියන්නේ දත නොගැලවූවොත් මැරෙනා බවය. එහෙත් අවු. 6 ක කුඩා දරුවෙකු ඉදිරියේ එසේ සාහසික ලෙස කතා කරන්නට වෛද්‍යවරයකුට පුලුවන්දැයි මට සිතාගන්නට බැරිය. වෛද්‍ය ආචාර ධර්ම කියා කොටසක් තිබෙන්නේ ඇයි  දැයි මට සිතාගන්නට ද බැරිය. 
බය බිරාන්තව සිටි මා දෙස බලා එකී වෛද්‍යවරයා , 
මොකද අදම ඇඩ්මිට් කරල වැඩේ කරමුද නැත්තන් පේන් කිලර් එකක් දීල පස්සෙ කරමුද ? යි ඇසීය. ඔහුට උත්තර දීමට නිරවුල් මනසක් මට නොතිබූ හෙයින් මම සැමියා දෙස බැලූ අතර ඔහුද ව්‍යාකූලව සිටින බව මූණෙන් පෙනෙන්නට විය. එහෙත් දැනට පේන්කිලර් එකක් දෙන්න ඩොක්ට මොකද අපි අද හවස කොළඹ යනව. අපි එහෙන් මේක කරගන්නම් යැයි කීය. 

අහ්හ්. එහෙනම් මෙන්න මේ ඩොක්ටර් ට කතා කරන්න , මම එයාට කෝල් කරල කියන්නම්. කී අතර ඒ වෛද්‍ය වරයාගේ දුරකතන අංකය ලියූ කොල කැබැල්ලක්ද මගේ සැමියාගේ අතෙහි රැඳවීය. 

අදාල ස්ථානයේ වෛද්‍ය බිල ගෙවූ අප නිවෙස බලා පිටත් වෙන්නට වාහනයට ගොඩ වූ අතර මගේ පුතු මගේ ගෙල වටා අත් දෙක දමා තුරුලුව මගේ දෑසෙහි කඳුළු පිස,

අම්මේ මම ඉක්මනටම මැරෙයිද? එතකොට අම්ම ඉන්නෙ කොහොමද ? යි ඇසීය. 
එකී වදන් හමුවේ අන්ත අසරණ වුනු මම සැමියා දෙස අඬාවැටෙමින් බලද්දි 
ඔහු, 

නෑ පුතේ ඔයා මැරෙන්නෙත් නෑ අම්මට තනියම ඉන්න වෙන්නෙත් නෑ. අපි බෙහෙත් ගමු. කීය. 
එකෙනෙහිම, 
අනේ අප්පච්චී , මේ යක්කු දොස්තරල ගාවට නම් යන්න මට බෑ, මෙහෙ ඉන්නෙ ඔක්කොම යක්කු දොස්තර ල, අපි ගෙදර යමු ඉක්මනට. යි කීය. 

මම හඬමින්ම අනේ අපි පෙදියාත්‍රට කෝල් එකක් දෙමු, ( ළමා වෛද්‍ය වරිය ) කීයෙන්, සැමියා, 
තාම එහෙට උදේනෙ ආන්ස්වර් කරයිද දන්නෑ බලමු, කියමින් ඇයට අමතන්නට විය. 
ඇය දුරකතනට පිළිතුරු දුන් අතර , කොහොමද නිවාඩුව කෙවින් සතුටින් ද යි මුලින්ම ඇසීය. සිදුව ඇති තත්වය කෙටියෙන් ඇයට කියූ විය, 
පිස්සුද ?? ඔය වගේ කතාවක් කියපු දොස්තර ට නඩු දාන්නත් පුලුවන් ඕනිනම්, කිසිම ප්‍රශ්නයක් නෑ දතේ, ඒක පොඩ්ඩක් ඩැමේජ් දිරල නිසා. පේන් කිලර් එක දීල එක්ක එන්න මෙහෙ. අපි මෙහෙන් වැඩේ කරමු. කී අතර කෙවින් ට දෙන්න්කො ෆෝන් එක යි කීවාය. 
සැමියා සියල්ලන්ටම ඇසෙන සේ ශබ්ධය වැඩි කොට දුරකතනය පුතුට දුන් අතර, 
ඔහුගේ වෛද්‍යවරිය, 

කෙවින් , මගෙ පැටියෝ බය වෙලාද ඉන්නෙ , අනේ ඔයාට මාව විස්වාසයිනෙ. නේද ? ඔයාට මුකුත්ම වෙන්නෙ නෑ. අපි මෙහෙ ඇවිත් දත් සුරංගනාවිට කියල දත හදමු. ඔයා උදේටයි හවසටයි දෙකටම හොදට දත් මැදල බෙහෙත් බොන්නකො. සුරංගනාවි බලාගෙන ඉන්නෙ හොඳෙද? බය වෙන්න එපා.. 
කියමින් පුතුව සනසන්නට විය. 

එකී සිද්ධියෙන් පසු අප ලංකාවෙන් පිටවු අතර , නිවසට පැමිණි වහාම පුතුට අදාල වෛද්‍ය ප්‍රතිකාර ලබා දුනිමු. 
ගෑස් ඇල්ලූවේද නැත, දත ගැලෙවුවේද නැත, පුතු බිය වූයේද නැත, එපමණක් නොව මා බියවූයේද නැත. සිද්ධිය අවසානය. 

හුදෙක් මා මේ සටහන තබන්නට තීර්ණය කලේ මේ ටික පවසන්නටය. මෙය කාරුණික කිසිම වෛද්‍යවරයකු ට අදාල නොවනා අතර , මුදල් පමණක්ම ගරාගන්නා අකාරුණික වෛද්‍යවරුන්ට පමණක් අදාලය. 

වෛද්‍යවරුනි, 
අවු. 6 ක කුඩා දරුවෙකුගේ මානසික මට්ටම හා ගණුදෙනු කල නොහැකි ඔබගේ වෛද්‍ය වෘත්තීය අසාර්ථකය. ඔබ මුදල් අතින් සාර්ථක මුත් වෘත්තීය මට්ටමින් අසාර්ථකය. අනාගත පරපුරෙහි අයිතිය වෙනුවෙන් ය කියා වැඩ වර්ජනය කරමින් , බෝඩ් ලෑලී උස්සා ගනිමින් පාරට බහින්නට පෙර, එකී අනාගතයට පියමනිමින් සිටින කුඩා දරුවන් වෙත මානුෂීය වන්න. ඔවුන්ගේ මනස හා ගණුදෙනු කිරීමේදී ප්‍රවේසම් වන්න. 

අවසාන ලෙස මගේ පුතුගේ මේ වචන කීපය ලියා තබමි. 

අම්මේ, ලංකාවෙ ඉන්නෙ යක්කු දොස්තරල නේද ? සාතන් ල වගේ.. ඒ වුනාට මෙහෙ නම් ඉන්නෙ සුරංගනා ලෝකෙන් ආපු අය.. ඒගොල්ලො ඒන්ජල්ස්ලා.. 

නිමි. 



No comments:

Post a Comment