Thursday, 24 October 2019

මෙස්සි vs ඔල්මො 37

මෙස්සි vs ඔල්මො



මම - මෙස්සි බබා මොකෝ ඔතන ? 🙄

මෙස්සි - මං මේ ඔයාගෙ ලෙඩ බලන්නත් එක්ක ආවෙ , වැඩියම ආවෙ පොඩ්ඩක් කතා කරන්න😽

මම - අනේ කොච්චර හොඳද ? එන්න ඉතින් 😍

මෙස්සි  - මේ , මං මේ අහන්න ආවේ , ඔයාගෙ කොල්ලා බොක්සිං ගහන එක හරි , ඉයාහ්හ් උවාහ්හ්හ්. ගගා.. එයා කොල්ලෙක් නෙ , ඒත් ඇයි අනේ අර බල්ලත් ඒ පස්සෙන් කකුල් දෙකෙං හිටන් චැහ්හ් චැහ්හ් ගගා අත් දෙකෙන් බඩු වලට ගහන්නේ ? 😼😼

මම - අනේ එයා බබෙක් නිසානෙ මෙස්සි , තාම පොඩියි නෙ , එයාගෙ හුරතලේ ! 🥰

මෙස්සි - ආ ඒක මිසක් , ඔයාට ඇහුනද දැන් මුකුත් සද්දයක් එහෙම ? 😼

මම - ඔවු අනේ. මං හිතන්නෙ එහා ගෙදර වෙන්නැති. අපේ ගෙදර බඩු කැඩෙන්න විදියක් නෑනෙ , ගෙදර කවුරුත්ම නෑනෙ. 😕😕

මෙස්සි - නෑ අනේ ඔයා වැරදියි , ඒ ඇහුන සද්දෙ මේ ගෙදරම තමා. අර ඔයා හිටෝල තිබ්බ මල් පෝච්චිය , ආං ඒක බිඳුන සද්දෙ ඒක . 😺😺

මම - මොකක් ! අනේ දෙයියනේ. එහෙම කොහොමද ? 😱😱😱

මෙස්සි - ගණං ගන්නෙපා අනේ , අර ඔයාගෙ හුරතල් බලු බබා බොක්සිං ගහන්න ගිහින් ඒක පෙල්ලුනේ. එයා පොඩිනෙ , ඔයා ඕවා හිතන්නෙපා. මං යන්නං ඈ. ඒක කියන්න ආවෙ ! 😹😹




Monday, 21 October 2019

මෙස්සි vs ඔල්මො 36

මෙස්සි vs ඔල්මො 36



මෙස්සි - මේ මෝඩ බල්ලෝ ! මං මේ ඔහේට කතා කරන්නෙ ? මොකද්ද තමුන්ගෙ නම ? 😺

ඔල්මො - ආ මැස්සි අක්කේ. , මං ඔල්මො 🐶🐶

මෙස්සි - මැස්සි නෙමේ ගොනෝ මම මෙස්සි , මෙ ස් සි මෙස්සි , හරියට කතා කරනවා ! දැන් තමුන් මොකද මෙහෙ කරන්නෙ ? මේ ගෙදර එක වගේ පිස්සො දෙන්නෙක්ට ඉඩ නෑ , එක්කෝ කොල්ලා , නැත්තං බල්ලා ! 😼😼

ඔල්මො - කෝ ගොනෙක් ? අක්කේ ගොනා කවුරු වගේද ? ඇයි ඔයා ඔහොම උඩ ඉඳන් කතා කරන්නෙ ? ඇයි පහලට එන්නැත්තෙ , මට උඩට එන්න බෑනෙ , ලොකු සර් වැටක් ගහලනෙ , ඒත් ඔයාට පුලුවන් නෙ ඒකෙන් පනින්න ! 🐶🐶🐶

මෙස්සි - මී හරකෝ ! අනේ මේ ගොං ඔල්මොරොන්දන් බල්ලා ! මේ ගෙදර මිනිස්සු හදන්නේ තමුන්ව හඳට යවන්න, ඊට කලින් මෙහෙන් පැනලා යනවා කොහේ හරි ! 😼😼

ඔල්මො - මී හරක් ? කෝ අක්කේ ඒ සත්තු ? 
හඳ කොහෙද තියෙන්නෙ ? අර අහසෙ තියන එකද ? අපි ඔක්කොම එහෙ යනවද ? අපි සෙල්ලම් කරමුද ? අපි බෝල ගහමුද ? මං ඔයාගෙ නැට්ට හපන්නද ? 🐶🐶

මෙස්සි - දෙයියනේ කෝ මේ ගෙදර මිනිස්සු ? කොල්ල උදේ ඉඳන් හූ කියනව , නැත්තම් බොක්සිං ගහනව , බල්ලා මගේ නැට්ට කන්න අහනව ! අනේ දෙයියනේ , මේ විකාර කාරයො එක්ක ඉඳල මට මගුලක් වත් කරගන්න බැරුව යනවා ! 😿😿😿



Friday, 18 October 2019

මෙස්සි vs ඔල්මො 35

මෙස්සි vs ඔල්මො 35 


මම - මෙස්සි. , ඔයා මගේ අර ලස්සනට පෑන දැක්කද ? 🙄🙄

මෙස්සි - මොන පෑනක්ද ? මං දන්නැති පෑනක් නෑ ! මළ කරදරේ ! හැම එකටම මාව අල්ලන්නෙ , මොකද ඔයාට මේ ගෙදර වෙන අයව පෙන්නැද්ද ? 😾😾😾

මම - නෑ ඉතින් මේස උඩ ඉන්න එකම කෙනා ඔයානෙ ඒකයි ඇහුවෙ ! ඒක නෙමෙයි , දැං දැං ඔයාට කේන්ති ‍යනව ඕසෙට , නරකද කොහිල කැඳ ටිකක් බිවුවොත් , මූණත් හැඩ වෙනව කියල තිබ්බ පත්තරේක ! 😍😍

මෙස්සි - අනේ යන්න අනේ යන්න ! මගේ ඔලුව කැරකිල්ල හැදෙන විකාර කාරයො දෙන්නෙක් ගෙමැද්දෙ දාගත්ත මදිවට , තව කොහිලයක් කවන්නත් එනව මට , මේ ඒක නෙමෙයි , ඔයාට හිතෙන්නැද්ද අර ඔල්මොරොන්දන් ඔලමොට්ටල ඔල්මො කියන බල්ලව කාට හරි දීලා දාන්න ! 😾😾😾

මම - ඒ මොකටද ? එයා බබෙක් නෙ අනේ ! පවු නෙ 😬😬

මෙස්සි - මගුල ! බබෙක් බබෙක් බබෙක් ! මේ ගෙදර ඉන්නෝන එක බබයි ! ඒ මම බබා විතරයි ! ඔයාගෙ කොල්ලත් දැං ලොකුයි නෙ , එයා බබෙක් නෙමෙයි ! ඒ නිසා මේ ගෙදරට එක බබෙක් ඇති ! දෙයියංගෙ නාමෙට ඕං ඔය බල්ලව කොහාට හරි ගිහිං දාන්න ! 😼😼

මම - මෙස්සි මගෙ පෑන ? 🙄🙄

මෙස්සි - ඒක ඔයාගෙ බල්ලා කෑවා ! මං මගෙ පූස් ඇස් දෙකට දැක්කා එයා ඒක කනවා. ඒක එයාට හප හප ඉන්න දුන්නෙ ඔයාගෙ කොල්ලා !  ගණං ගන්නෙපා අනේ එයා බබෙක් නේ ! දැං ඔයාට සැපද ? 😹😹



මෙස්සි vs ඔල්මො 34

මෙස්සි vs ඔල්මො 34 


මම. -  මොකෝ මෙස්සි මේ හරහ වැටිලා නිදි ? 🙄

මෙස්සි - හරහ වැටිලා නැතුව ඔයා කියන්නෙ මට හිටගෙන නිදාගන්න කියලද ? ඇත්තටම ඔයාට වෙන වැඩක් නැද්ද මගෙ හීන කඩාකප්පල් කරනව ඇරෙන්න ? 😾😾

මම. - දැං ඔයා මේ මහ දවල් හීන බල බල ද හිටියෙ ! 😬😬

මෙස්සි - ඔවු අනේ ! ඒක හරි ලස්සන හීනෙ , ඔයාට කියන්න මම පේජ් බෝයි ට ගත්තෙ අර ඔල්මොරොන්දන් ඔල්මො කුක්කව , ඌ බල්ලෙක් නිසා මං පේජ් ඩෝග් කියල දැම්ම. කමක් නෑනෙ ! 😺😺

මම - අනේ ! ඔයා ඔල්මො ට ආදරෙයි නේද ? ඔයාගෙ මගුලට එයාව ගන්න තරම්ම 😍😍

මෙස්සි - ඔයාට විකාර ද අනේ ! මගුල කාගෙද කියන්න මං දැක්කෙ නෑ , මං අර ගොං බල්ලගෙ බඩේ ගෑස් බැලුං බැඳලා ඔලුව වටේ මල් ගහලා , කකුල් වල රිබන් ඇඳලා ඒකව පිටසක්වලට තොලොංචි කරල දානකොටම 😹😹තමා ඔයා මෙතන බෙරිහන් දෙන්න ගත්තෙ ! 
දැං මට හිතාගන්න බෑ ඌ එහෙට ගියාද? ආපහු මෙහෙට ආවද කියල ! 😾😾


මෙස්සි vs ඔල්මො 33

මෙස්සි vs ඔල්මො 


මම - මෙස්සි , පොඩ්ඩක් එන්නකෝ

මෙස්සි - මට බෑ මං වැඩක් 

මම - මොකද්ද ඔච්චර ලොකු වැඩේ 

මෙස්සි - මම රෙසිපියක් කල්පනා කරනව , ඔයා මගේ ඔලුව කන්නැතුව වැඩක් බලාගන්න ! 

මම - මොකක් ! දැං මොකද්ද ඔය හැටි ඔලුව කරකෝගෙන කල්පනා කරන රෙසිපිය ? 

මෙස්සි - රෝස්ට් බකල විත් සුප් ඔල්මෝ ! 

ඒක හදන්නෙ මෙහෙමයි , ඉස්සෙල්ලම අර බල්ලව හම ගහනව , ඊට පස්සෙ පොඩි පොඩි කෑලි වලට කපලා ලුණු ගම්මිරිස් එක්ක පාස්ලි පොඩ්ඩක් , සේර ඉත්තක් , රොස්මරීනෝ චුට්ටක් , සැල්දිරි බොඩයක් , එක්ක තක්කාලි, ගෙඩියක් දාල ලොකු හැලියට දාල නටන්න අරිනවා !  

ඊ ගාවට අර බකල පරෙයියා ව අල්ලන් හම ගහනව. තටු ටික මගෙ කොට්ටෙට ගන්නව , බකලයව ලුණු ගම්මිරිස් අත ගාල ඔරීගනෝ පොඩ්ඩක් උඩින් ඉහල අවන් එකට දානව ! 

කොහොමද මගෙ මොලේ ? ඔයාටත් ඕනද ? 

Sunday, 13 October 2019

මෙස්සි vs ඔල්මො 32

මෙස්සි vs ඔල්මො 32


මම - මෙස්සි ඔයා නිදිද ? 🙄

මෙස්සි - කොහෙ නිදාගන්නද අනේ මේ ගෙදර ? ඔයා මට විහිළු කරනවද ? 😾😾

මම - ඕනවට වඩා නිදාගත්තම ෆිගර් එක අවුට් යනව 😀

මෙස්සි - මං ඒක ගානට මේන්ටේන් කරනව , ඔයා මෙතන මගෙ හිත රිද්දන්නැතුව ඉන්න ! දැං ඇයි ආවෙ ? 😾😾

මම - ඔයා හිතන්නෙ ත්‍රීටොන් ඉක්මනට පියාඹල යයිද ? 🙄🙄

මෙස්සි - මං දන්න ටොනෙක් නෑ අනේ , ඔයා ඔය කියන්නෙ අර බැල්කනියෙ පිස්සු නටන බකල පරෙයිය ගැන නම් , ඇත්තටම මට ඔයා ගැන දුකයි , 😼😼මොකද එයා පියාඹල යන්නෑ , එයා ගිහිං තව දෙතුන් දෙනෙක් එක්ක ඇවිත් බැල්කනියෙ කක්ක දානව. ඔයාට වෙන්නෙ හැමදාම ඒව සෝදන්න , කොන්දත් කඩාගෙන ඉන්න එකේ නරකද ලොකු මැඩම් ට කියල ඔය බකලය මස් කරොත් ? 😻

මම - මොකද්ද අනේ ඔය කට ? 😭😭

මෙස්සි - ඊට කලින් කියන්න අනේ ඔයාගෙ අර පිස්සු කොල්ලා ඌට දාපු නම ! මළ විකාර , බකලයෙක්ට දාන්න ඕන බකල නමක් , ත්‍රීටොන් , මළ සමයං ! ඔන්න ඕකව මස් කරන්න අනේ , රස පරෙයි හොද්දක් එක්ක පාං කෑල්ලක්
කෑහැකි ! 😻😻


මෙස්සි vs ඔල්මො 31

මෙස්සි vs ඔල්මො 31



මම - මොකෝ ඔලමො ? 🙄🙄

ඔල්මො - ඇයි ඔයා අර මගෙ ලොලිපොප් එක හැංගුවෙ ? 🐶

මම - කී පාරක් කියන්නද ? ඒක කොස්සක් , ලොලිපොප් එකක් නෙමෙයි ! 😡

ඔල්මො - කෝ අර නූඩ්ල්ස් පිඟාන ? 🐶🐶

මම - ඔයාට විකාරද ? ඒ ෆෝන් චාර්ජර්ස් , ඒවා කෑහම ෆෝන් චාර්ජ් කරන්නෙ මොකෙන්ද ? 😡😡

ඔල්මො - කෝ එහෙනම් මම අර ආසාවෙන් කකා හිටිය කරෝල කෑල්ල ? 🐶🐶

මම - මගෙ දෙයියනේ ඔල්මො ! ඔයා ඒ කෑවෙ ලොකු සර්ගෙ සපත්තුව ! 😡

ඔල්මො - ඔය ඔක්කොම ඔයා හංගල නම් , මට අර විස්කිරිඤ්ඤා එක දෙනවද ? 🐶🐶

මම -  දෙයියන්ගෙ නාමෙට මෙතනින් යනවද නැද්ද ? ඒ ගමන ආවා මගෙ හැඳි මිට කන්න ! 🤬😡🤬


මෙස්සි vs ඔල්මො 30

මෙස්සි vs ඔල්මො 30



මම - මෙස්සි බබා ඔයා කොහෙද ? 😍

මෙස්සි - මොකද දෙයියනේ , මං වැඩක් 😼

මම - මොකද්ද දැං වැඩේ ? 🙄🙄

මෙස්සි - මං ෆිල්ම් එකක් බලනව ලයිව් ! 😸😸

මම - මෙතන ඉඳන් ? 😲

මෙස්සි - ඔවු අනේ , ඔයාටත් ඕන්නම් බලන්න , හැබැයි නැති ප්‍රෙශර් නැග්ගුව කියල බෙරිහන් දෙන්නෙපා , ආං අර ඔලමොට්ටල ඔල්මොරොන්දන් බල්ලා , යස අගේට කුශන් එකක් හම ගහනව. පුළුං වැස්සක් වගේ අනේ බලන්න ලස්සනයි ! හැබෑට කවද්ද ඔයා ඔය බල්ලව මරන්නෙ ? මං මේ හරි ආසාවෙන් ඉන්නෙ ඕකගෙ සුප් එකක රහ බලන්න 😻😻


මෙස්සි vs ඔල්මො 29

මෙස්සි vs ඔල්මො 29


මම - මොකෝ මෙස්සි කේන්තියෙන් ? 😕😕

මෙස්සි - මොකද අනේ අර ඔයාගෙ කොල්ලයි බල්ලයි යටි ගිරියෙන් මැරෙන්න හදන්නෙ ? ඒ දෙන්නට පිස්සු ද ? 
😾😾

මම - එයාල සිංදුවක් පුරුදු වෙනව 🙄🙄

මෙස්සි - මොකක් සිංදුවක් ! ඔහොම ගිරිය කඩාගෙන ? 🙀🙀

මම - ඒක ඔපෙරාවක් ! ඔල්මො සහය දෙනවා ඒකට 🥰🥰

මෙස්සි - අනේ අම්මප අපේ ලොකු සර් තාමත් ඉන්නවනෙ මේ මලවිකාර බල බල ! කොල්ලොන්ගෙ සිංදු වලට බල්ලො උදවු කරනව ! හුහ්හ් ! මං ඇහුවමයි 😼😼 මං හිතුවෙම 

බල්ලා කොල්ලව කාලා , කොල්ලා බල්ලව කාල කියල ! 😸😸

Saturday, 28 September 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 28

🐕🐈🐕🐈🐕

මම - මෙස්සි මොකෝ ඔතන ? 🧐🧐

මෙස්සි - මේහ්හ් , මට ගෑරුප්පුවකුයි , පිහියකුයි ගන්න පුලුවන් වෙයිද ? 😽😽

මම - අහවල් එහෙකටද ? 🙄🙄

මෙස්සි - ඔයා අර බැල්කනියෙ දාල තියන බුෆේ එකට වග කියන්න ! 😸😸

මම - මොකක් ? 😲😲

මෙස්සි - ඔවු අනේ අර බකල පරෙයියා ! ලොකු සර් ඌව මට නේද ගෙනල්ල තියෙන්නෙ ? පිහාටු ටික ගලෝල ගත්තම එක කටට කතෑකි 😻😻


Sunday, 15 September 2019

මෙස්සි vs ඔල්මො 27

මෙස්සි vs ඔල්මො 27 

🐕🐈🐕🐈🐕🐈

මම - මෙස්සි මොකෝ සසර කළකිරිල වගේ ? වනගත වෙන්නද කල්පනාව !🤔🤔

මෙස්සි - විකාරද ? මං වනගත වෙන්න අර ගොං බල්ලට මෙතන යහතින් ඉන්න ඉඩ ඇරලා ? එවුව හඳේ 😾😾

මම - එහෙනම් මොකෝ ඔය ? 

මෙස්සි - මගෙ බර පොඩ්ඩක් වැඩි වෙලා අනේ ! මේ ඔයාට යූරින් ඉන්ෆෙක්ශන් එකක් එහෙම ලඟදි එන එකක් නැද්ද ? 

මම - මොකක් ?? 

මෙස්සි - නෑ අනේ මං මේ නිකමට ඇහුවෙ , දැන් මෙහෙමනෙ , ඔයාට යූරින් ඉන්ෆෙක්ශන් එකක් ආව වෙලේ ඔයාගෙ නැන්නම්ම ඔයාට පෙවුව බෙහෙත් තොගේට ඔයාට සතියක් ලූස්මෝශන් ! කිලෝ 4 ක් ම බැස්සනෙ අනේ 😻😻, අරළු පෙත්තට වඩා ශුවර් ඒ බෙහෙත් 😻😻 ඒකයි ඇහුවෙ , මටත් ටිකක් ඉල්ලගන්න ඔයා බොනකොට 😹😹. ගානට ස්ලිම් වෙලා එයි අනේ ! 

මම - සමයං ! එන්න මං හදා දෙන්න ඒ බෙහෙත් ඔයාට 

මෙස්සි - ඔයා ? බෙහෙත් හදන්න ? 
එහෙනම් කෝකටත් අපි ඒක අර ඔල්මොරොන්දන් ඔලමොට්ටල බල්ලට පොවල ඉමු ! 😼😼



Wednesday, 11 September 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 26 

🐈🐕🐈🐕🐈🐕

මම - මෙස්සි ! මෙස්සි ! 🧐🧐

මෙස්සි - මොකද අනේ මැරෙන්න හදන්නෙ ? 😾මගෙ නම කියල කෑ ගැහුවෙ නැත්තම් ඔයාට ටොයිලට් යන්නැද්ද ? 😾එක ඩිංගක් නිදාගන්න නැති හැටි මේ ගෙදර 😾! දැං ඇයි කතා කරේ ? 😾

මම - මොකද්ද අනේ ඒ ඇහෙන සද්දෙ ? 🙄🙄

මෙස්සි - ආ... ! ඒ ඔයාගෙ කොල්ලගෙ බෙරේ බල්ලා ගහන සද්දෙ 😼

මම - මොකක් ? 😲😲

මෙස්සි - ඔවු ! ඔයා අර මොකද්ද එහෙකට කියල කොල්ලට ගෙනත් දුන්න බෙරේ 😺! ආං ඒකෙ පටියෙන් බිම දිගේ ඇදගෙන ගිහිං දැං ඒක ගහන්නෙ ඔයාගෙ බල්ලා ! 😸ඔය ඇහෙන්නෙ ඒකෙ සද්දෙ , දැම්ම ගියොත් අඩුම බෙරේ පටිය වත් බේරගන්න පුලුවන් ! සද්දෙ හැටියට නම් බෙරේ පලුවට වග කියල ! 😸😸

මම - දෙයියනේ ! ඔච්චර දෙයක් කරනකල් ඔයා මෙතන නිදාගෙනද හිටියෙ ? 😒😒

මෙස්සි.  - නෑ මං ඇහැරල හිටියෙ , 😻වැඩක් නෑනෙ අනේ ඕවට කට දාල 😼, ඔයා තිස්සෙම කියන්නෙ, ඔල්මොට පාඩුවෙ ඉන්න දෙන්න මෙස්සි එයා තාම බබෙක් කියලනෙ. ඉතින් බබා බෙරේ ගහනකල් මං බලා හිටියා. 😹😹


Saturday, 7 September 2019

මෙස්සි vs ඔල්මො 25

මෙස්සි vs ඔල්මො 25 

🐈🐕🐈🐕🐈🐕



මම - ඔයා මොකද්ද කීවෙ මට ඇහුන්නෑ 🤔🤔

මෙස්සි - මං කීවෙ මට මාලු ස්ටූ එක්ක එක්ක මැකරෝනි දෙන්න කියල 😻😻

මම - මැකරෝනි හොඳ නෑ කොලොස්ටරෝල් එනව !🙄
මාලු ස්ටූ එක්ක හදන්නම් වැඩිපුර ගම්මිරිස් සුදුලූනු, දාල, කමක් නෑනෙ ! 😌

මෙස්සි - මොකක් ! හැබෑට ඔයාට පිස්සු ද ? මොන මගුළටද ගම්මිරිස් සුදුලූනු, ? 🙀🙀

මම - සෙම , කොලෙස්ටරෝල් ඔක්කොම කැපිල යන්න අනේ ! ඒව බෙහෙට් 😍

මෙස්සි - මට ඇති සෙමක් නෑ! අනික මට කොලෙස්ටරෝලුත් නෑ. 😼මට යස අපූරුවට අර ටක්ක ටොකොස් ගගා උඩ පැන පැන යන කෝටු බකල කෙල්ලොන්ට වඩා හොඳට කැට් වෝක් එක කරන්න පුලුවන් ! 😸

මම - ඉතින් ඔයා පූසෙක් නෙ ! පූසෙක් කැට් වෝක් නොකර මොකෝ ක්‍රොකඩයිල් වෝක් කරන්නයෑ විකාර ! 😜😜

මෙස්සි - අනේ මේ ! දැන් එතකොට අර ඔල්මොරොන්දමා යන්නෙ ඩෝග් වෝක් එකද ? 😾ඌ තනිකරම යන්නෙ එක තැන රවුමට කැරකෙන බමරචක්කර වෝක් එක ! එහෙම නැත්තං විකාරෙන් වගේ වැනි වැනී යන ඔල්මොරොන්දන් වෝක් එක ! 😸😸



Thursday, 5 September 2019

තීන්දුව !



තීන්දුව ! 


ගෝපාල් හිටියෙ ටවුමෙන් ගොඩාක් ඈත තිබ්බ පුංච පැලක. ඒකෙ කාමර කියල වෙන වෙනම තිබ්බෙ නෑ. කෝකටත් තිබ්බෙ එක කාමරයි. කාමරයක් කීවට ඒක කුස්සි කෑල්ලක්. උයන්නෙ කන්නෙ බොන්නෙ නිදාගන්නෙ ඔක්කොම කරන්නෙ ඒ කෑල්ලෙ. ලිපට පොඩ්ඩක් මෙහායින් දාපු මැස්සක තමා ගෝපාල් නිදාගත්තෙ. ඒ මැස්සෙ ලී අස්සෙ හංගපු ගංජා සුරුට්ටු වලට උඩින් පොඩි කොට්ට කෑල්ලක තමා ගෝපාල් ඔලුව තිබ්බෙ. ඔලුවට කෙලින්ම උඩින් තිබ්බෙ වතුර දාල එල්ලල තියන ලබු කැටේ. පදමට ගංජා ගහල ඉද්දි  ගෝපාල් ට මේ ලබු කැටේ ලිහා ගන්න බැරුව මුලු මැස්සම තෙමිල ගියපු වාර තිබ්බා සෑහෙන්න. අනික දැන් වතුර බීව නේද කියල අමතක වෙලා ආය ආයම වතුර බීලා එලිය කියල හිතාගෙන මැස්ස පාමුලම මූත්‍රා කරගත්ත වෙලාවල් පවා තිබ්බා. පහුවදා උදේට තමා ගෝපාල් ට මතක් වෙන්නෙ දෙයියනේ මම කොහෙටද මූත්‍රා කරේ කියල. ඒත් ඉතින් මුට්ට කර ගහල මහන්සි වුනාම රිදෙන ඇඟට හොඳම බෙහෙත ගංජා. ඔය අර විටමින් මේ විටමින් ගන්න සල්ලි කොහෙන්ද ගෝපාල් ට. 

ගංජා වලින් මත් වුන වෙලාවට විතරක් නෙමෙයි එහෙම නොවුන වෙලාවටත් ගෝපාල් ගෙ හිතේ මීනා හිටිය. ඉස්සරම දවසක පිච්ච මල් කොන්ඩෙ ගහගෙන හොරාට බලල අහක බලාගෙන යන මීනා ගෝපාල් ගෙ හිතේ ලොකු ඉඩක් අරක් අරගෙන හිටියා එදා වගේම අදත්. සමහරවිට හෙටත්. මීනා කවදාවත්ම කටින් නොකීවට ගෝපාල් ගැන හිතකින් ඉන්න ඇති කියල ගෝපාල් හැමදාම හිතුව. ඒ ලස්සන ඉස්සර දවස් වල ගෝපාල් දැන් වගේ මුට්ට කර ගැහුවෙ නෑ. ඒ කාලෙ ගෝපාල් තමා වත්තෙ කංකානි වෙලා හිටියෙ. මීනා දළු කැඩුවෙ වත්තෙ ඒ කෑල්ලෙ. වත්ත හෝදා පාලුවට යනවට හදල තිබ්බ සැවැන්දරා වැටි වලින් මීනා සැවැන්දරා උගුල්ලගෙන යන බව කීවෙ මීනගෙ සැවැන්දරා සුවද ගහපු මොට්ටැක්කිලිය. ඒ තරමට පිළිවෙලකට තමයි  මීනා හිටියෙ. කක්කානි ගෙ විතරක් නෙමෙයි දෙවනි මහත්තයගෙ පවා හදවතට කතා කරේ මේ පිළිවෙල. 

මීනා කවදාවත්ම බුලත් කෑවෙ නෑ. මහන්සියට කියල තේ දළු හැපුවෙත් නෑ. ඒ නිසාම මීනට තිබ්බෙ කිරි සුදු පාට දත් ටිකක්. තලෙළු පාටට වඩා ටිකක් තද පාට මීනා හිනා වෙනකොට අර දත් හරි ලස්සනට පෙනුනා. කන්ද උඩ ඉදන් පහලට පිළිවෙලකට දළු කඩාගෙන එන මීනාගෙ මූණෙ කවදාවත්ම මහන්සියක් තිබ්බෙ නෑ අවසාන දවසෙ දැක්ක මීනගෙ වගේ. ගෝපාල් අවසානෙට මීනව දකිනකොට මීනා හිටියෙ කන්ද පාමුල පීල්ල ගාව වැටිලා. මූණ තෙහෙට්ටුවෙන් , කියාගන්න බැරුවුන හැඟීම් වලින් , පසු තැවීමකින් වගේ එකිනෙකට වෙනස් ගැඟීම් මහා ගොඩකින් පිරිල තිබ්බෙ. ගෝපාල් හිමීට පාත් වෙලා බැලුවෙ මීන ගෙ මූණ දිහා. ඇස් පියවිලා තිබ්බ ඒ මූණෙ වේලිලා ගියපු කඳුළු පාරවල් තිබ්බා. ගෝපාල් ට ඕන උනේ ඒ කඳුළු පිහන්න. මීනගෙ මූණ ලස්සන කරන්න. අන්න එතකොටයි පොලීසිය ආවෙ එතන්ට. 

මීනව දූෂණය කරල මරල දැම්මෙ ගෝපාල් කියල වත්ත පුරාට කතාව ගියේ තප්පරයකටත් වඩා අඩුම අඩු කාලෙකින්. ගෝපාල් එහෙම නොකරපු බවට කිසිම සාක්කියක් තිබ්බෙ නෑ. සාක්කි හොයන්න කියල යවපු DNA පරීක්ෂණ වාර්තාව පොලීසියෙ මහත්තයගෙ ෆයිල් කවරෙන් ඉගිල්ලිලා ගිහින් තිබ්බා. හැමෝම දැක්කෙ මීනගෙ මූණට එබිල හිටිය ගෝපාල් ව විතරයි. ඉතින් ඔය අර පරීක්ෂණ වාර්තා මේ පරීක්ෂණ වාර්තා ගැන වත්තෙ අයට නිනවුවක් තිබ්බෙ නෑ. වරද කරේ ගෝපාල් කියල වත්තම තීන්දු කරල තිබ්බෙ. උසාවිය මොනා කීවත් ගෝපාල් ට ආයම වත්තට යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. පරණ වත්තෙ කාලි දේවාලෙට ගිහින් ගෝපාල් දිවුරුව තමන් ඒ අපරාදෙ නොකරපු බවට. ඒත් මිනිස්සු ඒක පිළිගත්තෙ නෑ. සකන්ඩ් ඩිවිශන්  එකේ දෙවනි මහත්තය තමා ඇහින් දැක්ක ගානටම ගෝපාල් ව වැඩියෙන්ම බැන්නෙ. රස්සාව කරගන්න පුලුවන් කමක් ආපහු ගෝපාල් ට තිබ්බෙ නෑ. අනික කන්ද උඩ ඉඳන් එනකොට මූණට මුලිච්චි වෙන්න මීනා නැති වත්තේ ආපහු රස්සාවට යන්න ගෝපාල් ට ඕන වුනෙත් නෑ. 

සීතලම සීතල මීදුම පිරිච්ච උදේක මීනගෙ සොහොන ගාව මිනී මල් දෙකක් තියල මීනට ආදරෙයි කියල ගමෙන් පිටවුන ගෝපාල් ඊගාවට ආවෙ කොළඹට. මුට්ට කරගහන්න. දවල් දවසම මුට්ට කරගහල මහන්සියට සමහර දවස් වලට පොඩි අඩියක් ගැහුවට ගෝපාල් කවදාවත්ම කාටවත් කරදරයක් නම් වුනේ නෑ. ගෝපාල් ගෙ හිත තිස්සෙම කීවෙ මීනව මරපු මිනිස්සුන්ව හොයන්න කියල. ඒත් මුට්ට කරගහන ගෝපාල් කොහෙන් හොයන්නද ඕවා. හැමෝටම වැරදිකාරයා ගෝපාල්. කවුද පිළිගන්නෙ එහෙම කෙනෙක් කියන කතා. ඔහොම හිත දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක තමා රාජු ආවෙ ගංජා තියනවද අහන්න ගෝපාල් ගෙ පැලට. 

ගෝපාල් හිටියෙ එයාගෙම මනෝ ලෝකෙක මීනා එක්ක. රාජු ඇවිත් ඒ මනෝ ලෝකෙන් බිමට ඇදල දාපු එකට ගෝපාල් එච්චර කැමති නැති වුනත් රාජු ඇරෙන්න වෙන හිතවතෙක් නැති නිසා රාජු වෙනුවෙන් ගෝපාල් ගෙ පැලේ ඉඩක් හැමදාම තිබ්බ. ගංජා මතට අවංක වෙච්ච ගෝපාල් රාජු එක්ක මීනා ගැන අකුරක් නෑර කීවා. රාජු ඔක්කොම අහගෙන හිටියෙ හරියට පිචර් එකක් බලනව ගානට. කොහොම වුනත් ගෝපාල් අහිංසක බවත් දෙවනි මහත්තය පෙන්නන තරම් හොඳ නැති බවත් අර ඉගිල්ලුන DNA රිපෝට් එක හොයාගන්න ඕන බවත් කොළඹ කාපු රාජුගෙ ඔලුවට තේරුම් ගියා. රාජු පොළොවෙ අත ගහල කීවත් මේක කරේ දෙවනි මහත්තය කියල ගෝපාල් විස්වාස කරේම නෑ. ගෝපාල් කීවෙ එච්චර ලොකු මහත්තුරු ඕව කරන්නෑ කියල. 

ඒත් රාජු එයා දන්න පොලිසියෙ මහත්තයෙක්ට විස්තරේ කීවට පස්සෙ වැඩේ පත්තු වෙලාම ගියා. පුස් කන්න ඔන්න මෙන්න තිබ්බ ෆයිල් කවර එක පිට එක එලියට ආව. අර ඉගිල්ලිලා ගියපු රිපෝර්ට් පවා ආපහු ඉලිල්ලිලා ඇවිත් තිබ්බා. වත්තෙ මහත්තුරු සල්ලි ඕසෙට විසික් කරන්න පටන් ගත්තා. ඒත් අන්තිමේ දෙවනි මහත්තයා තව දෙන්නෙක් එක්ක ජීවිතාන්තෙටම හිරේ ගියා. ගෝපාල් ආපහු වත්තෙ රස්සාවට ගියා. මීන ගෙ සොහොන පුරාවට  ලස්සන මිනී මල් පිපිලා තිබ්බා. 

©️ප්‍රභානී තෙන්නකෝන්.