Thursday 5 September 2019

තීන්දුව !



තීන්දුව


ගෝපාල් හිටියෙ ටවුමෙන් ගොඩාක් ඈත තිබ්බ පුංච පැලක. ඒකෙ කාමර කියල වෙන වෙනම තිබ්බෙ නෑ. කෝකටත් තිබ්බෙ එක කාමරයි. කාමරයක් කීවට ඒක කුස්සි කෑල්ලක්. උයන්නෙ කන්නෙ බොන්නෙ නිදාගන්නෙ ඔක්කොම කරන්නෙ කෑල්ලෙ. ලිපට පොඩ්ඩක් මෙහායින් දාපු මැස්සක තමා ගෝපාල් නිදාගත්තෙ. මැස්සෙ ලී අස්සෙ හංගපු ගංජා සුරුට්ටු වලට උඩින් පොඩි කොට්ට කෑල්ලක තමා ගෝපාල් ඔලුව තිබ්බෙ. ඔලුවට කෙලින්ම උඩින් තිබ්බෙ වතුර දාල එල්ලල තියන ලබු කැටේ. පදමට ගංජා ගහල ඉද්දි  ගෝපාල් මේ ලබු කැටේ ලිහා ගන්න බැරුව මුලු මැස්සම තෙමිල ගියපු වාර තිබ්බා සෑහෙන්න. අනික දැන් වතුර බීව නේද කියල අමතක වෙලා ආය ආයම වතුර බීලා එලිය කියල හිතාගෙන මැස්ස පාමුලම මූත්‍රා කරගත්ත වෙලාවල් පවා තිබ්බා. පහුවදා උදේට තමා ගෝපාල් මතක් වෙන්නෙ දෙයියනේ මම කොහෙටද මූත්‍රා කරේ කියල. ඒත් ඉතින් මුට්ට කර ගහල මහන්සි වුනාම රිදෙන ඇඟට හොඳම බෙහෙත ගංජා. ඔය අර විටමින් මේ විටමින් ගන්න සල්ලි කොහෙන්ද ගෝපාල්

ගංජා වලින් මත් වුන වෙලාවට විතරක් නෙමෙයි එහෙම නොවුන වෙලාවටත් ගෝපාල් ගෙ හිතේ මීනා හිටිය. ඉස්සරම දවසක පිච්ච මල් කොන්ඩෙ ගහගෙන හොරාට බලල අහක බලාගෙන යන මීනා ගෝපාල් ගෙ හිතේ ලොකු ඉඩක් අරක් අරගෙන හිටියා එදා වගේම අදත්. සමහරවිට හෙටත්. මීනා කවදාවත්ම කටින් නොකීවට ගෝපාල් ගැන හිතකින් ඉන්න ඇති කියල ගෝපාල් හැමදාම හිතුව. ලස්සන ඉස්සර දවස් වල ගෝපාල් දැන් වගේ මුට්ට කර ගැහුවෙ නෑ. කාලෙ ගෝපාල් තමා වත්තෙ කංකානි වෙලා හිටියෙ. මීනා දළු කැඩුවෙ වත්තෙ කෑල්ලෙ. වත්ත හෝදා පාලුවට යනවට හදල තිබ්බ සැවැන්දරා වැටි වලින් මීනා සැවැන්දරා උගුල්ලගෙන යන බව කීවෙ මීනගෙ සැවැන්දරා සුවද ගහපු මොට්ටැක්කිලිය. තරමට පිළිවෙලකට තමයි  මීනා හිටියෙ. කක්කානි ගෙ විතරක් නෙමෙයි දෙවනි මහත්තයගෙ පවා හදවතට කතා කරේ මේ පිළිවෙල

මීනා කවදාවත්ම බුලත් කෑවෙ නෑ. මහන්සියට කියල තේ දළු හැපුවෙත් නෑ. නිසාම මීනට තිබ්බෙ කිරි සුදු පාට දත් ටිකක්. තලෙළු පාටට වඩා ටිකක් තද පාට මීනා හිනා වෙනකොට අර දත් හරි ලස්සනට පෙනුනා. කන්ද උඩ ඉදන් පහලට පිළිවෙලකට දළු කඩාගෙන එන මීනාගෙ මූණෙ කවදාවත්ම මහන්සියක් තිබ්බෙ නෑ අවසාන දවසෙ දැක්ක මීනගෙ වගේ. ගෝපාල් අවසානෙට මීනව දකිනකොට මීනා හිටියෙ කන්ද පාමුල පීල්ල ගාව වැටිලා. මූණ තෙහෙට්ටුවෙන් , කියාගන්න බැරුවුන හැඟීම් වලින් , පසු තැවීමකින් වගේ එකිනෙකට වෙනස් ගැඟීම් මහා ගොඩකින් පිරිල තිබ්බෙ. ගෝපාල් හිමීට පාත් වෙලා බැලුවෙ මීන ගෙ මූණ දිහා. ඇස් පියවිලා තිබ්බ මූණෙ වේලිලා ගියපු කඳුළු පාරවල් තිබ්බා. ගෝපාල් ඕන උනේ කඳුළු පිහන්න. මීනගෙ මූණ ලස්සන කරන්න. අන්න එතකොටයි පොලීසිය ආවෙ එතන්ට

මීනව දූෂණය කරල මරල දැම්මෙ ගෝපාල් කියල වත්ත පුරාට කතාව ගියේ තප්පරයකටත් වඩා අඩුම අඩු කාලෙකින්. ගෝපාල් එහෙම නොකරපු බවට කිසිම සාක්කියක් තිබ්බෙ නෑ. සාක්කි හොයන්න කියල යවපු DNA පරීක්ෂණ වාර්තාව පොලීසියෙ මහත්තයගෙ ෆයිල් කවරෙන් ඉගිල්ලිලා ගිහින් තිබ්බා. හැමෝම දැක්කෙ මීනගෙ මූණට එබිල හිටිය ගෝපාල් විතරයි. ඉතින් ඔය අර පරීක්ෂණ වාර්තා මේ පරීක්ෂණ වාර්තා ගැන වත්තෙ අයට නිනවුවක් තිබ්බෙ නෑ. වරද කරේ ගෝපාල් කියල වත්තම තීන්දු කරල තිබ්බෙ. උසාවිය මොනා කීවත් ගෝපාල් ආයම වත්තට යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. පරණ වත්තෙ කාලි දේවාලෙට ගිහින් ගෝපාල් දිවුරුව තමන් අපරාදෙ නොකරපු බවට. ඒත් මිනිස්සු ඒක පිළිගත්තෙ නෑ. සකන්ඩ් ඩිවිශන්  එකේ දෙවනි මහත්තය තමා ඇහින් දැක්ක ගානටම ගෝපාල් වැඩියෙන්ම බැන්නෙ. රස්සාව කරගන්න පුලුවන් කමක් ආපහු ගෝපාල් තිබ්බෙ නෑ. අනික කන්ද උඩ ඉඳන් එනකොට මූණට මුලිච්චි වෙන්න මීනා නැති වත්තේ ආපහු රස්සාවට යන්න ගෝපාල් ඕන වුනෙත් නෑ

සීතලම සීතල මීදුම පිරිච්ච උදේක මීනගෙ සොහොන ගාව මිනී මල් දෙකක් තියල මීනට ආදරෙයි කියල ගමෙන් පිටවුන ගෝපාල් ඊගාවට ආවෙ කොළඹට. මුට්ට කරගහන්න. දවල් දවසම මුට්ට කරගහල මහන්සියට සමහර දවස් වලට පොඩි අඩියක් ගැහුවට ගෝපාල් කවදාවත්ම කාටවත් කරදරයක් නම් වුනේ නෑ. ගෝපාල් ගෙ හිත තිස්සෙම කීවෙ මීනව මරපු මිනිස්සුන්ව හොයන්න කියල. ඒත් මුට්ට කරගහන ගෝපාල් කොහෙන් හොයන්නද ඕවා. හැමෝටම වැරදිකාරයා ගෝපාල්. කවුද පිළිගන්නෙ එහෙම කෙනෙක් කියන කතා. ඔහොම හිත දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක තමා රාජු ආවෙ ගංජා තියනවද අහන්න ගෝපාල් ගෙ පැලට

ගෝපාල් හිටියෙ එයාගෙම මනෝ ලෝකෙක මීනා එක්ක. රාජු ඇවිත් මනෝ ලෝකෙන් බිමට ඇදල දාපු එකට ගෝපාල් එච්චර කැමති නැති වුනත් රාජු ඇරෙන්න වෙන හිතවතෙක් නැති නිසා රාජු වෙනුවෙන් ගෝපාල් ගෙ පැලේ ඉඩක් හැමදාම තිබ්බ. ගංජා මතට අවංක වෙච්ච ගෝපාල් රාජු එක්ක මීනා ගැන අකුරක් නෑර කීවා. රාජු ඔක්කොම අහගෙන හිටියෙ හරියට පිචර් එකක් බලනව ගානට. කොහොම වුනත් ගෝපාල් අහිංසක බවත් දෙවනි මහත්තය පෙන්නන තරම් හොඳ නැති බවත් අර ඉගිල්ලුන DNA රිපෝට් එක හොයාගන්න ඕන බවත් කොළඹ කාපු රාජුගෙ ඔලුවට තේරුම් ගියා. රාජු පොළොවෙ අත ගහල කීවත් මේක කරේ දෙවනි මහත්තය කියල ගෝපාල් විස්වාස කරේම නෑ. ගෝපාල් කීවෙ එච්චර ලොකු මහත්තුරු ඕව කරන්නෑ කියල

ඒත් රාජු එයා දන්න පොලිසියෙ මහත්තයෙක්ට විස්තරේ කීවට පස්සෙ වැඩේ පත්තු වෙලාම ගියා. පුස් කන්න ඔන්න මෙන්න තිබ්බ ෆයිල් කවර එක පිට එක එලියට ආව. අර ඉගිල්ලිලා ගියපු රිපෝර්ට් පවා ආපහු ඉලිල්ලිලා ඇවිත් තිබ්බා. වත්තෙ මහත්තුරු සල්ලි ඕසෙට විසික් කරන්න පටන් ගත්තා. ඒත් අන්තිමේ දෙවනි මහත්තයා තව දෙන්නෙක් එක්ක ජීවිතාන්තෙටම හිරේ ගියා. ගෝපාල් ආපහු වත්තෙ රස්සාවට ගියා. මීන ගෙ සොහොන පුරාවට  ලස්සන මිනී මල් පිපිලා තිබ්බා

©️ප්‍රභානී තෙන්නකෝන්

No comments:

Post a Comment