Wednesday 24 June 2020

කඳුකරයේ මතක 15

කඳුකරේ මතක 15 


හැමදාමත් අවුරුදු චාරිත්‍ර ඒ විදියටම ඉටු කරන්නත් ඒ එක එකක් ගැන අපිට කියා දෙන්නත් අපේ අම්මයි තාත්තයි දෙන්නම එකා වගේ ඒ වෙනුවෙන් හිටියා කීවොත් මම හරි. හැම අවුරුද්දකම කුස්සිය මැද ලිපක් හදලා ඒකෙ කිරි ඉතිරෙවුවේ අම්මා. අම්මත් එක්කම ඒ හැම තැනකම ආදරේ පුරෝගෙන හිටියේ ලොකු අම්මා. කිරි උතුරවලා ඉවර වෙලා අවුරුදු චාරිත්‍ර කරනකොට අපි හැමෝම ඉස්සෙල්ලම වැන්දේ ලොකු අම්මට. ඊට පස්සෙ තාත්තට. අන්තිමට අම්මට. බුලත් අත දීලා වැන්දම ඒ බුලත් අතෙන්ම කොළයක් අරන් ඒකෙ සල්ලි ඔතල අපිට දෙනවා. 

ඊට පස්සෙ අපි යන්නෙ ගණුදෙනු කරන්න. හැමදාමත් අපි ඉස්සෙල්ලම ගණුදෙනු කරේ ලිඳ එක්ක. කලින් සෝදලා අරන් තිබ්බ අඟුරු කැට පොල්කට්ටක් , ලුණු ටිකක් , සමන් පිච්ච මල් අහුරක්, සල්ලි කාසියක් එක්ක ලිඳට දාන අම්මා ලිඳට වැඳලා අලුත් වතුර පනිට්ටුවක් ගන්නවා. ඒ වතුර පනිට්ටුවෙන් ගන්න වතුර බෝතලයක් අරන් තියනවා පිරිත් කරන්න. හැම අවුරුද්දකම මේ දේ මේ විදියටම අපේ ගෙදර සිද්ද වෙනවා. ඔවු අදටත් , අපි තුන් දෙනාගෙන් දෙන්නෙක්ම අවුරුද්දට ගෙදර නැති වුනත්. 

ඊට පස්සෙ අපි යන්නෙ ඉස්සෙල්ලම පංසලට. කැවිළි කිරිබත් අරගෙන පංසලට ගිහින් වැඳ පුදාගෙන එන ගමන් අම්මා සේකර මාමගෙ කඩෙන් ලුණු පැකට් එකක් හාල් , පොල් වගේ මොනාහරි දෙයක් ගන්නවා. ඊට පස්සෙ සේකර මාමා අපිට තෑගි දෙනවා. ඊගාවට ගෙදර එන අපි කැවිළි පිඟන් අරන් වටේ ගෙවල් වලට යනවා. එයාලත් අපේ ගෙදරට එනවා. කඳුකරේ අවුරුදු සිරියෙන් පිරිලා ඉතිරිලා යනවා. අලුත් ඇඳුම් අලුත් බඩු එක්ක රතිඤ්ඤා හඩින් මුලු පලාතම අලුත් වෙනවා. 

උඩ ගෙදරට පහල ගෙදරට කැවිළි පිඟන් උස්සන් යන පොඩි අපි ඊගාවට පටන් ගන්නේ ඔංචිලි පදින්න. කැට ගහන්න , පංච දාන්න. වට පිටේ ඉන්න පොඩි උන් ඔක්කොම එකතු වුනාම ඕසෙට සෙල්ලම් කලෑකි. සමහර වෙලාවට අවුරුදු උත්සව පවා තියන්න තරම් අපි ඒ කාලේ නිදහස් චරිත. තාලෙට ඔංචිලි වාරම් කිය කිය ඔංචිලි පදින්නේ අවුරුදු කාලෙට විතරයි. අනිත් කාලෙට නිකම්ම ඔංචිලි පදිනව මිසක් සිංදු කවි කියන්නෑනේ. වරුවක් ඔංචිලි පැදලා ඊගාවට කරන්නෙ පංච දාන එක. 

ඊට පස්සෙ ගෑණු ළමයි ටික මිදුලේ ලොකු කොටු ඇඳලා කොටු පනිනකොට පිරිමි ළමයි කරන්නෙ කැට ගහන එක. අන්තිමේ රෑට රෑ වෙනකල් සෙල්ලම් කරලා අවසානෙට කරන්නේ එදා දවසෙ අපිට ලැබුණ ගණුදෙනු වල සල්ලි එකතු කරන එක. පස්සේ ඒ සල්ලි ඔක්කොම අම්මල එක්ක ගිහින් බැංකු පොතට දානවා. පොඩි කාලෙ ඉඳන්ම අපේ අම්මල අපිට ඉතුරු කරන්න කියා දුන්නෙ එහෙමයි. ඒ ජීවිතේ හරිම ලස්සනයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 

මතු සම්භන්ධයි. 



No comments:

Post a Comment