කඳුකරේ මතක 12
සේන මාමගෙ ජීවත කතාව හරි දුක්බර එකක්. ඒ මාම ගෙ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට පහලින්. අම්මයි තාත්තායි දෙන්නම නෑ. එයා ඉස්සර ලොකු දේපලක් තිබ්බ කෙනෙක් ලු. ටවුමේ හෝටලයක් පවා. සේන හෝටලේ. ඒ මාම ගෙ අම්මයි තාත්තායි මාමා පොඩි කාලෙම මැරිලා , ඊට පස්සේ ඒ මාමා එයාගෙ නෑයො ගාව තමයි හැදිලා වැඩිලා තියෙන්නෙ. කොහොම හරි පොඩි කාලෙන්ම බීමට ඇබ්බැහි වීමෙ ප්‍රතිඵලයක් විදියට අන්තිමට ඒ මාම ට උනේ ඒ මාමටම අයිති සේන හෝටලේ දවසෙ පඩියට තේ හදන්න.
කොහොම වුනත් මම හරි ආස චරිතයක් හිමි කෙනෙක් තමයි ඒ. සේන මාමා සරම පැත්තකින් උස්සගෙන ලොරි තට්ටුවකට වෙලා වැනි වැනී කෑ ගහන හැටි බලන්න මම ඒ කාලෙ හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි ඒ මාමා කරන විදියටම ආපහු ගෙදර ඇවිල්ලා රඟපාන්නත් පුදුම දක්ෂකමක් තමයි මට තිබ්බෙ. ඒ වැඩේ කරන්න කොච්චරක් එපා කීවත් අම්මට හොරෙන් හරි ඒක කරන්න තරමට මං ඒ චරිතයට හරි ආස වෙලා හිටියා.
දවසක් අම්මයි මායි පොළේ ගිහින් එනකොට සේන මාමා වෙනදා වගේම සරම පැත්තකින් උස්සගෙන නවත්තල තිබ්බ ටිපර් එකක තට්ටුවකට වෙලා කෑ ගහනව. ලොරි තට්ටුවට වඩා එතන ඉදන් කෑ ගහනකොට හොඳට පේනව. මේක දැක්ක අම්මා මාව වෙන පාරකින් එක්ක යන්න හැදුවත් ඒක හරි නොගියේ අම්මගෙ යාලුවෙක් හම්බුන නිසා. අම්මල කතාවට වැටුනම පොඩි අපි ගැන නිනවුවක් නෑනෙ. ඉතින් ඒ නිසා මට එදා සෑහෙන්න වෙලාවක් සේන මාම කරන කියන දේවල් බලන්න පුලුවන් වුනා.
සේන මාමා ටිපර් තට්ටුවේ වැනි වැනී මෙහෙම කියනව , මේ ලියන මොහොතෙ පවා මට ඒ මනුස්සයව මැවිල පේනවා.
අඩෝ.... ප&යා..දැනගනිං ඕක මගේ හෝටලේ. ඔවු මගේ යකෝ.. තොපි ඕක ලියා ගත්තේ මට බොන්ඩ දීලා කමක් නෑ යකෝ.. කමක් නෑ... ඔහොම උන් අර පහල කුඹුරෙත් ඉන්නව යකෝ... ප&යෝ....
මේක ඇහුන මම ඒ වචන ගොන්නෙන් එක වචනයක් අල්ලගෙන ඒක මොකක් වෙන්න ඇතිද කියල හිතනකොට අන්තිමේ මට හිතුනෙ මෙහෙම. කුඹුරෙත් ඉන්නව නම් ඒ පඹයා වෙන්න ඇති කියලා. ඕක හිතාගෙන ගෙදර ආව මම ඒ ගැන වගක් නැතුව වෙන වෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. චන්ද්‍රානි අක්කා හදලා දෙන ලොකුම ලොකු කිරි කෝප්පෙ බීලා අයියලා එක්ක හැංගි මුත්තනුත් කරා. ඔහොම ඔහොම ගිහින් රෑ වුනාම තාත්තා ත් ගෙදර ආවා.
ඔන්න අපි රෑ කෑම මේසෙ ඉන්නකොට මට එක පාරම මතක් වුනා මම අද වචනයක් හොයා ගත්ත බව. ඒක මතක් වුන මම ,
කවුද දන්නේ පඹයගෙ සමාන පදේ ? කියලා ඇහුවා. අයියලා දෙන්නා මූණට මූණ බලා ගන්නකොට අම්මා ඇස් ලොකු කරල මගේ දිහා බැලුවා. තාත්තා මගේ දිහා බලලා මොකද්ද පොඩි දූ කියන්නකො බලන්න කීවා. මාත් හරිම උජාරුවෙන් , ප&යා තමයි ඒක. අදයි මම හොයා ගත්තේ කියල කියනකොටම අයියලා දෙන්නා පුටු වලින් නැගිටලා කටවල් අතින් වහගෙන කාමර වලට දිවුවා. අම්මා වචන හිර වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නකොට තාත්තා කොහෙන්ද ඕක ඇහුනෙ ඔයාට කියල මගෙන් ඇහුවා.
දවල් දැක්ක දේ ඒ විදියටම රඟපාලා පෙන්නුවම තාත්තා බොහොම හිමින් ආදරෙන් ඔලුව අතගාලා කීවා , ඒක පඹයාට කියන සමාන පදයක් නෙමේ පුතේ ඒක නරක වචනයක් කියලා. අම්ම නම් තාත්තාට නොපෙනෙන්න මගේ කණ මිරිකුවා. චන්ද්‍රානි අක්කා බඩ අල්ලන් හිනා වුනා. අයියලා කාලයක් යනකල් මට පඹච්චි කීවා. කාලයක් තිස්සේ ඇටම්පිටියෙ ටවුමේ හැමෝ එක්කම හිතවත්ව හිටිය ආදරණීය චරිතයක් වුන සේන මාමා පස්සෙ දවසක නිදි ඇඳේම මැරිලා හිටියා. මරණ පරීක්ෂණ තිබ්බ අය පපුවෙ අමාරුවක් නිසා කියල කියනකොට , අනේ ඒ අහිංසකයට පපුවෙ අමාරුව නොහැදුනානම් තමා පුදුමෙ කියලා ගමේ ඈයො කීවා. සේන මාම ව වලදාපු තැනට පස්සෙ දවසෙ අම්මා එක්ක ගිය මම එතන බලු නගුටු මල් මිටියක් තියලා වරුවක් කතා කර කර ඉඳලා ආවා. අයියල නම් කීවෙ මට පිස්සු කියල. ඒත් අම්මයි තාත්තයි අයියලට කීවෙ නංගිට පාඩුවෙ ඉන්න දෙන්න එයා දුකෙන් ඉන්නෙ කියල.
මතු සම්භන්ධයි.
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment