ආදරෙයි කියා දැනෙන එකම හිතට නිවනක්..
ඈ උන්නෙ දහසක් වැඩ අතර. මහ ගොඩක් කාර්‍යබහුල වෙලාවක් ඒක. දුරකතනයක් කියා එකක් තියනවද කියන්නවත් නිච්චියක් නොතිබ්බ ඈට ඔහු ඒ වෙලාවෙ ඈට කතා කරාවි කියන දේ කොහොමටවත්ම කල්පනාවට ආවෙ නෑ. පැය කීපයක ඇවෑමෙන් ඈ ගෙදර යන්න ලෑස්ති වෙලා ඇගේ ජංගම දුරකතනය අතට අරන් බලනවා.
ඔහුගෙන් ඇමතුම් 10 ක් , මොහොතකට ඈ ගල් වෙනව. මේ තරම් ඇමතුම්?? ඈ හිතනව. එහෙම හිතමින්ම ඈ ඔහුට ඇමතුමක් ගන්නව.එහා පැත්තෙන් එන්නෙ ගෝරනාඩුවක් , මොනා කරනවද ෆෝන් ආන්ස්වර් නොකර , බය වෙනව කියන්න දන්නැද්ද? ඔය කෙහෙල්මල් රස්සාවට නොගිහින් ගෙදර ඉන්න. කී පාරක් ගත්තද? ඔහු මහ කේන්තියෙන්.. ඈතින් පේන මොන්තෙමොරෙල්ලි කන්දත් නිදාගත්ත ගිණි කන්දක්ලු, ඒකත් පිපිරුවොත් මේ වගේම හිටීවි.. ඈ ඈටම කියාගනිමින් දුරකතනය විසන්දි කරනව. ඔච්චර බනින්න ඕනද ඕකට? ඈ එහෙම හිතමින්ම කඳුළක් පිහගන්නව.
ගෙදර යන්න බස් එක ගන්න බස් නැවතුම්පොළ ගාවට යන්න යන ඈ දකින්නෙ ඔහුගෙ වාහනය. නගින්න, ඒක විධානයක්. කඳුළු කඩාවැටෙන ඇස් වලින් ඈ වාහනයට ගොඩ වෙනව. ඔහු ඔහේ පාර දිගේ යනව. ඔලිව් ගස් , පහු කරගෙන , කහ පාට පුංචි මල් පිපෙන රාජධානියට. වාහනය නවත්තන ඔහු ඈව අතින් අල්ලගෙන මේපල් තුරු ගොමුවට යන්නෙ ඇගේ කඳුළු පිහින ගමන්මයි.
ලස්සනට දළු දාල හිනාවෙන මේපල් ගහක් පාමුල ඈව තමන්ගෙ පපුවට හිරකරගන්න ඔහු, ආන්ස්වර් කරන්නෙ නැතුව ගියාම බයවෙනවනෙ මම , ඒකනෙ කෑ ගැහුවෙ , කියල කියන්නෙ හාදු වරුසාවක ඈව ගිල්වන ගමන්..
මේ තරම් ආදරයක්... මේ තරම් තැවීමක්... ඈ ඒ ඔහු දිහාවෙ බලාගෙන ඉන්නෙ ආදරේ උතුරල ගලන ඇගේ ඇස් වලින්. ආය කරන්නෑ එහෙම. ඈ කියන්නේ ඔහුගෙ ආදරයේ කිමිදෙන ගමන්.. ඒ එක්කම ඈ හිතනව.. මෙහෙම ආදරයක් ලඟ ජීවිතේම නිවෙනවා නේද කියල..
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment