Monday, 26 August 2019

අවසානයට පෙර


අවසානයට පෙර


මේ මිනිහා පිස්සෙක් අම්මේ, අමු තිරිසනෙක්, ඇයි අම්මෙ ඔයා මට මෙහෙම කරේ? මොන පලියක්ද මේ මගෙන් ගත්තේ?? නොදන්න රටක මෙහෙම මිනිහෙක් එක්ක මාව තනි කරේ ඇයි අම්මේ... ???  

ශාකි ගෙ අන්තිම වචන ටික. ඒවා පිහිතුඩු වගේ මගෙ පපුව හිල් කරනවා. ශාකි මගෙ එකම දුව. මගෙ පණ. මට ඕනි වුනේ එයාව සතුටින් තියන්න, මට නොලැබුන මං නොවින්ද හැම සැප සම්පතක්ම එයා විඳිනව දකින්න. හිතුන හිතුන තැන යන්න, දකින දකින දේ ගන්න පුලුවන් විදිය තැනක එයා ඉන්නව දකින්න. ඒත් අද වෙනකොට හැමදේම වෙනස් වෙලා, ශාකි මට වෛර කරන තැනට ඇවිල්ලා, මම දිවිනහගන්න තැනට වැටිලා. මටම සමාවදීගන්න බැරි තරමට මම වැරදිකාරියක් කියන හැඟීම මාව මරවන තරමටම දිවා රාත්‍රී මටම වදදෙන්න පටන් අරන්. කෙළවරක් දකින්න බැරි ප්‍රශ්නෙක මම මගේ දරුවව හිර කරා නේද කියන එක මගේ ඔලුව පුපුරවන තරමට හිතේ පුපුරුගහන්න පටන් අරන්

"ආර්‍යා.. ඔහොම කල්පනා කරා කියල කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ දැං, අපි කොහොමහරි ශාකිව සනීප කරගමු. එයාට ට්‍රීට් කරන්නෙ ලෝකෙ හොඳම දොස්තරල, නිසා අපිට පුලුවන් බලාපොරොත්තු තියාගන්න. ලංකාවෙ තියන හැමදේම විකුණල හරි අපි ශාකිව ගොඩගමු. "

"සනත්.. මොන දේ කරත් මට වාවන්නෙ නෑ, මම දසමාසයක් කුසේ තියන් හදපු දරුවා සනත්, දිවා රෑ ඇහිපිල්ලමක් වත් ගහන්නෙ නැතුව ආරක්ශා කරපු මගෙ දරුව. එහෙවු දරුවව මම බිල්ලට දුන්න නේද කියන එක මාව මරවනව සනත්.. "

"ඔයා කිසිම දෙයක් හිතා මතා කරේ නෑනේ ආර්‍යා , දැං පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න. මම හොස්පිට්ල් එකට ගිහින් එන්නම්. "

සනත් එහෙම කියල පිටවෙනකොට මම ආයෙම තනිවුනේ මගෙ කඳුළුත් එක්ක. කඳුළු මාව අරන් ගියේ අතීතෙට. ශාකි ලස්සනම ලස්සන මලක් වගේ මගෙ ලඟ හිනාවෙලා හිටිය අතීතෙට. අම්ම කෙනෙක් විදියට මම හිතුවෙ ශාකිගෙ අනාගතේ සැපවත් කරන්න. නිසාම ශාකිව මම හැදුවෙ කිසිම දුකක් නොදැනෙන්න, කිසිම අඩුවක් නොකර.  

ශාකි එක එක විභාග පාස් කර කර ලොකු වෙනකොට මම හිටියෙ පුදුම සතුටකින්. උගත් කමට ලස්සන එකතු උනාම මම හිතුවෙ ශාකි තමයි මේ ලෝකෙ වාසනාවන්තම කෙල්ල කියල. හැම විශයකටම A අරන් ශාකි සාමාන්‍යපෙළ පාස් වුනාම මම එයාව දැක්කෙ සුරංගනාවියක් වගේ. එදා මට ඕනි වුනේ එයාව දොස්තර කෙනෙක් කරන්න, ඒත් එදා ශාකි කීවෙ
"අනේ අම්මෙ, මට ඕනි ආර්ථික විද්‍යාවෙන් ඉහලටම යන්න. ඒක තාත්තගෙ බිස්නස් වලට වුනත් හොඳයි නෙ, "  කියල
තාත්තයි දුවයි දෙන්නම හිටියෙ මතේ නිසා මම ඒකට කැමති වුනේ මං එහෙනම් මේ කෙල්ලව දොස්තර කෙනෙකුට දෙනව කවදහරි කියල හිතාගෙන. ඒක අම්මෙක්ගෙ ලස්සන හීනයක්

ශාකි උසස් පෙළ ලංකාවෙන්ම පළවෙනිය වෙලා පාස් වුනාම සතුට දරාගන්න බැරිව මම හිතුවෙ එදා මම මැරේවි කියල. මගෙ කෙල්ල වාසනාවන්තයි හැම වෙලේම මට හිතුනෙ එහෙම. ශාකි විශ්වවිද්‍යාලෙ ගිහින් ඒකෙත් එක දිගට බැජ් ටොප් වෙද්දි මම හැමදාම ඇස්වහ කටවහ පිච්චුව මගෙ කෙල්ලට. තරමට මම මගෙ ශාකිට ආදරේ වුනා. ඒත් ශාකි කොහෙටවත් නැති කොල්ලෙක් එක්ක යාලුයි කියල දැනගත්තම.... එදා මට ඒක දැනුනෙ මගෙ ඔලුවට හෙණයක් ගැහුව වගේශාකි උපන් දා ඉඳන් මගුල් ගෙයක් වගේ තිබ්බ අපේ ගෙදර මළ ගෙයක් කරන්න ශාකිට ගියේ විනාඩි ගානයි

"මොන ලෝකෙන්ද ඔය කොල්ලව හොයාගත්තෙ ? මගෙන් මැරුම් කනව ශාකි, ඕක නවත්තල දාන්න මේ දැන්ම" සනත් එදා කෑ ගැහුවෙ වහල උඩයන්න. මම ශාකිට වැන්දෙ නැතිව විතරයි සම්භන්දෙ නවත්තන්න කියල

"ශාකි, ළමය අපිට ගැලපෙන්නෙ නෑ, ඔයාව මේ තරම් සැප සම්පත් දීල අපි හැදුවෙ ඔහොම කෙනෙකුට දෙන්න් නෙමෙයිනෙ, ළමය උගත් ඇති, හොඳත් ඇති, ඒත් එයා අපිට ගැළපෙන්නෙ නෑ, අනික ඔයාට ළමය ඕනිනම් ඔයාට ගමන යන්න වෙන්නෙ මගෙ මිනිය උඩින්".  

මම එදා එහෙම කීවම මගෙ අහිංසකී කඳුළු බොන්න ඇති. වරුවක් කාමරේ දොර වහගෙන හිටිය ශාකි ආයෙ එලියට ආවෙ ඇස් රතුම රතු කරන්, මූණත් තඩිස්සි කරන්


මම ඒක නවත්තන්නම් අම්මෙ , ඒත් මම මැරෙනතාක් ආදරේ ශකිල විතරයි. ඒක මගෙ හදවතේ තියෙයි. ඔයාලට ගින්දර දීල මට එලියට බහින්න බෑ, ශකිල ගින්දර දෙන්නත් බෑ, මම ශකිල එක්ක කතා කරන්නම්, එයා මාව තේරුම් ගනිවි,  
ශාකි එහෙම කීවම මට සතුට දරාගන්න බැරුව ගියා. ශාකි කීව විදියටම ඒක කරා

ශකිල මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වුනාට , ශාකි ගැන මම දැකපු හීන වල හිටිය දොස්තර එයා නෙමෙයි. ශකිල දුප්පත් පවුලක බොහොම අමාරුවෙන් ඉගෙනගෙන ගොඩ ආව දරුවෙක්. ශාකි ගෙ ජීවිතේට එන්න ශකිල බෑ කියන එක සනත් වඩා මම එකහෙලාම කියා හිටියෙ මගෙ කෙල්ලට දුක් විදින්න වෙයි කියන බයට. මගෙ ශාකිට තිබ්බ ආදරේට. ශකිල එදා ශාකිට යන්න දීල තිබ්බෙ මැරෙන තුරා ශාකි වෙනුවෙන් ඉන්නව කියල දිවුරල පොරොන්දු වෙලා. අපි එදා ශකිල හිනා වුනා. අනේ උගෙ පොරොන්දු , අපි හිතුවෙ එහෙම

ශාකි කැම්පස් අවුට් වුනාම එයාව වෙන රටකට යවල තව උගන්නමු කියල යෝජනා කරේ සනත්, ශාකිගෙ ඒකට ලොකු කැමැත්තක් තිබ්බෙ නෑ, මට ඔය නොදන්න රටවල් ඕනි නෑ අම්මෙ, මේ මදැයි, ශාකි කීවෙ එහෙම. ඒත් ශාකි එහෙම කියන්නෙ ශකිල දාල යන්න බැරිකමට කියලයි අපි එදා හිතුවෙ. ඔය අතරෙ තමයි මගෙ යාලුවෙක් රයන් යෝජනා කරේ ශාකිට

"ශාකිට නියමෙටම ගැළපෙන කොල්ල ආර්‍යා, සල්ලි උතුරනව. අනික ෆැමිලි එකම බිස්නස් කරන්නෙ, ෆ්‍රාන්ස් කියන්නෙ මොනතරම් ලස්සන රටක්ද, ශාකිට කියාපු රට. " අමන්දා එහෙම කියනකොට මම හිතින් ශාකිට රයන්ව බන්දලත් ඉවරයි
ශාකි මොනතරම් අකමැති වුනත්, මම හිටියෙ එකම ස්ථාවරේ, ශාකි රයන් බදින්නම ඕනි කියන මතේ. සනත් මට කීවෙ තව පාරක් හිතන්න කියල. ඒත් මට එහෙම හිතන්න ඕනි උනේ නෑ, ශාකිව දොස්තර කෙනෙකුට බන්දන හීනෙ මට එපා උනේ ශකිල දොස්තර කෙනෙක් නිසා. නිසා ශාකිව රයන්ට දෙනවමයි කියන එක විකාරයක් තරමට මගෙ හිත දෙවනත් කරා

"ආර්‍යා , කවුරුත් කියන පලියට ඕව කරන්න බෑ, රයන් ගැන අපි හොයන්න ඕනි." සනත් එහෙම කීවට රයන් නරක ළමයෙක් කියල කියන්න කිසිම කාරණාවක් පේන්න තිබ්බෙ නෑ , රයන් ගෙ අම්ම තාත්තා හිටියෙ සිංගප්පූරුවේ, එයාලට හොටේල්ස් තිබ්බා, ෆ්‍රාන්ස් වල හොටේල් එක බලාගෙන හිටියෙ රයන්. ඉතින් ඊට වඩා මොනාද ? මං හිතුවෙ එහෙම

ශාකි මනමාලි විච්ච දවසෙ හිටියෙ සුරංගනාවියක් වගේ. එයා හිටියෙ සතුටින් නොවුනට එයා ඒක පෙන්නුවෙ නෑ, ඒත් මම ශාකි ගෙ අම්ම. මට දුක හංගන්න ශාකිට බෑ, ඒත් මම හිතුවෙ ඕව ඔක්කොම හරියයි කියල. බැඳල ටික දවසකින් ශාකි රයන් එක්ක ෆ්‍රාන්ස් ගියා. ගියේ කිසිම කැමැත්තකින් නොවන බව මම දැනන් හිටිය. ඒත් ගියාම ඕව හරියාවි කියල මම හිතුව. මම එහෙම හිත රවට්ටගත්තා

ශාකි ගිහින් මාස දෙක තුනක් යනකල්ම හැමදාමත් අපිට කතා කරා. හයි ස්ටඩි වලට යුනිවර්සිටි එකක් බැලුවද කියල ඇහුවම ඒක මගෑරිය මොකක් හරි කියල. ශාකි මොනාහරි හංගනව කියන එක මට දැනුනා. ඒත් මොකද්ද කියන්න මට හිතාගන්න බැරිවුනා. ශාකි ගිහින් හරියටම මාස 5 ක් වුනු දවසෙ ශකිල ආවා අපේ ගෙදර

"ආන්ටි, මම ඉන්ග්ලන්ඩ් යනව. මට ස්කොල් එකක් හම්බුනා. ශාකි ගැන බලන්න මීට වඩා. එයා ඉන්නෙ හොඳ මානසික මට්ටමක නෙමෙයි. "  
ශකිල එහෙම කීවම මට ආවෙ කේන්තියක්
"ඔයා යන තැනක යන්න දරුවො, අපි ශාකි ගැන බලන්නම්
මම එහෙම කීවෙ හිතේ කේන්තිය වහගෙන

ශාකි තාම මේ කොල්ල එක්ක සම්භන්ධයි මං හිතුවෙ එහෙම. මම මගේ කුසින් බිහිකරපු මගෙ දරුවව අවිස්වාස කරා. ශකිල ගිය ගමන්ම මම ශාකිට කතා කරා

ෆෝන් එක ඕෆ් , මුලදි වගේ නෙමෙයි දැං ශාකිම කතා කරොත් ඇරෙන්න අනිත් වෙලාවට ෆෝන් එක ඕෆ්. ඊට පස්සෙ මම ගත්තෙ රයන්
රයන්, පුතා ශාකි ඉන්නවද ?? 
ශාකි යාලුවො එක්ක එලියට ගියා අම්මෙ, ආවම ගන්න කියන්නම්, ෆෝන් එකත් දාල ගිහින්
.. හොදින් නේද පුතේ දෙන්නම.. 
ඔවු ඔවු , හිතන්නවත් බැරි තරම් හොඳින් අම්මෙ
එහෙම් කීව රයන් ෆෝන් එක කට් කරා

මං හිටියෙ මුකුත් හිතාගන්න බැරුව. පැයකින් දෙකකින් ශාකි කතා කරා, ඇයි අම්මෙ
ඔයා හොඳින් පුතේ
ඔවු ඔවු , මගෙ කැම්පස් යාලුවෙක් අම්මව මුණ ගැහෙන්න ඒවි. එයා ඉන්ග්ලන්ඩ්යනව කීව ස්කොල් එකකට, අම්මෙ එයාට මගෙ රූම් එකේ තියන රතු පාට පිට කවරෙ තියන ඩයරි එක දෙන්න ප්ලීස්
මම පස්සෙ කතා කරන්නම් අම්මෙ

ශාකි එහෙම කියල, ෆෝන් එක තිබ්බ. මට මුකුත්ම හිතාගන්න බැරුව ගියා. ශාකි මේ කීවෙ ශකිල ගැන. ඒත් දැං ශකිල ගිහින් ඉවරයි. මම වෙලේම ගියෙ ශාකි කීව ඩයරි එක බලන්න

ශාකි හංගල තිබ්බ තැනින් මට ඒක හොයාගන්නත් සෑහෙන්න වෙලාවක් ගියා
මම ඒක දිගෑරියෙ සැකෙන්. , 

ඒකෙ මුකුත්ම තිබ්බෙ නෑ , ඒත් ඒකෙ රයන් ගෙ විසිටින් කාඩ් එකක්, තව මොබයිල් නම්බර් එකක් එහෙම තිබ්බා. ඉන් එහා මුකුත් තිබ්බෙ නෑ

"හොඳ වෙලාවට ශකිල ගියේ. ශාකි මොකටද රයන් ගෙ විස්තර ශකිලට දෙන්නෙ , ". 
මගෙ හිතේ ප්‍රශ්න පිට ප්‍රශ්න නැගුනා

ශාකි සතියකට සැරයක් තරමෙ වත් ගෙදරට කතා කරේ නෑ , මගෙ කිසිම ඊමේල් එකකට උත්තර ආවෙ නෑ , එයාම කතා කරොත් ඇරෙන්න ෆෝන් එක ඔන් වෙන්නෙ නැති නිසා යවන කිසිම මැසේජ් එකකට උත්තර ආවෙත් නෑ

අන්තිමේ ශාකි කතා කරා, වෙන නම්බර් එකකින්, හොඳටම අඬාගෙන. අම්මෙ මේ මනුස්සය මාව විකුණනව. මාව හිරකරන් ඉන්නෙ, අනේ මාව බේරගන්න අම්මේ.. 

මට මුකුත් හිතාගන්න බැරුව ගියා
මගෙ පුතේ ඔයා කොහෙද ඉන්නෙ
පුතේ.. ශාකි.. පුතේ... 

ඒත් ශාකි උත්තර දුන්නෙ නෑ, උත්තර දෙන්න ශාකි ලයින් එකේ හිටියෙ නෑ , මම ආපහු ආපු නම්බර් එකට ගත්තට ඒක වැඩ කරෙත් නෑ , කොහේහරි මගකින් වෙන්න ඇති

මම අමන්දට කතා කරා, ඒත් එයා රයන් ගෙ අම්ම තාත්තා මිසක් රයන් දැනන් හිටියෙ නෑ, රයන් ගෙ අම්ම තාත්ත කීවෙ ඒක් වෙන්න බෑ කියල. ඒත් මම හිටියෙ පිස්සුවෙන්. සනත් හිටියෙ ඊටත් පිස්සුවෙන්. අපි යමු සිංගප්පූරුව , ගිහින් රයන් ගෙ අම්ම තාත්තා එක්ක කතා කරමු. සනත් කීවෙ එහෙම

ශාකි ගෙ අන්තිම කෝල් එක ආවෙ අපි සිංගප්පූරුවේ ඉන්නකොට. වෙද්දි ශාකි හිටියෙ පැරිස් වල හොස්පිට්ල් එකක. හොස්පිට්ල් එකේ කෙනෙක්ගෙන් ෆෝන් එකක් ඉල්ලගෙන ඒකෙන් ශාකි කතා කරේ ඉවසන්නම බැරිව වෙන්න ඇති

අපි රයන් ගෙ අම්ම තාත්තා එක්ක ෆ්‍රාන්ස් වලට ආවෙ මගෙ ශාකිව ආපහු එක්ක යන්න. වෙනකොට ශාකි හිටියෙ බලාගත්තු අත බලාගෙන කා එක්කවත් කතා නොකර

මගෙ කෙල්ලව මම විනාස කරා කියන එක මගෙ හිතට වද දෙනව තිස්සෙම. රයන් මගෙ කෙල්ලට දෙන්න තියන හැම වදයක්ම දීල තියනව, දවසට මිනිස්සු දහය පහලව මගෙ අහිංසකීව දූෂණය කරද්දි මේ තිරිසනා ඒවා බලා ඉඳල තියනව. මගෙ කෙල්ලව නොමර මරල තියනව. අදට අවුරුද්දක් මගෙ කෙල්ල බලාගත් අත බලා ඉන්නව. කා එක්කවත් කතා කරන්නෙ නෑ. කිසිම දේකට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නෑ

රයන් හිරේ ගියා. ඒත් මගෙ අහිංසකී... 

ශාකි ඉන්ග්ලන්ඩ් වලට ගේන්න කියල ශකිල අපිට කීවෙ ගොඩක් දේවල් ගැන හිතල. එකක් අපිට ෆ්‍රෙන්ච් තේරෙන්නෙ නෑ, අනික අපිට අපේ කියන කිසිම කෙනෙක් ෆ්‍රාන්ස් වල හිටියෙත් නෑ. අපි ශාකිව ඉන්ග්ලන්ඩ් වලට ගෙනාව. ශාකිට ලෝකෙ ඉන්න හොඳම දොස්තරල ගෙන්නල බෙහෙත් කරවන්න ගත්තා. මොන දේ වුනත් ශාකි යන්තම් හරි ඔලුව උස්සල බලන්නෙ ශකිල දිහා විතරයි. ශකිල ශාකිට විච්ච පොරොන්දුව රකිනව. කොල්ල තාමත් ශාකි ලඟ ඉන්නව
මේ හැමදේම දකින මම තප්පරයක් ගානෙ මැරි මැරී උපදිනවා. ශාකි හෙට වත් ඔලුව උස්සල
අම්මේ කියයි කියල මම බලා ඉන්නව.. 

නිමි

©️ප්‍රභානී තෙන්නකෝන්



No comments:

Post a Comment