ජීවිතයේ ඇත්තේ යාම් සහ ඊම් ය !
ජනේලෙන් එහා පැත්තේ පේළියට හිටගෙන හිනාවෙන මේපල් ගස් ජීවිතේට අලුත් කතාවක් කියනවා. ලැබීම් නොලැබීම් ලඟ හිනා වෙලා ඉන්න හැටි කියාදෙන්න ඇත්තටම මේපල් ගස් තරම් වෙන කෙනෙක් නැතුව ඇති. මොකද ඒ ගස් ඒ තරම් ම දේ දරාගෙන හිනාවෙලා ඉන්නවා දන්න කාලෙ ඉඳන්ම. ඒ තමයි දරාගැනීමේ හිනාව !
වසන්ත කාලෙ එනකොටම තමන්ගෙ පුංචි පුංචි දළු වලින් හිනාවෙන්න පටන් ගන්න මේපල් ගස් පේළිය ඊගාවට ඒ දළු තරුණ වෙන හැටි දිහාවෙ ආසාවෙන් බලා ඉන්නව. ඊට පස්සෙ ඒ කොළ මැදිවියට ලං වෙනවා. ග්‍රීශ්ම ඍතුවේ මැදක් යනකොට තමන්ට ආවේණික එක එක පැහැය අරගෙන හිනාවෙන මේලප් කොළ ඊගාවට තමන්ගෙ ජීවිතේ අවසාන නිමේශය වෙතට උපේක්ශාවෙන් ලන් වෙනව.
හිතාගන්න බැරි තරමට ලස්සනට හිනා වෙලා පලාතම ලස්සන කරපු මේපල් කොළ එක රොත්තට හුළඟට අහුවෙලා අඬා වැටෙන්න ගන්නේ ගිම්හාන ඍතුව එක්ක. ඊගාවට වැස්සත් එක්ක පොළොවට එන මේපල් කොළ අර තමන්ට ආභරණයක් වෙච්ච තමන්ගෙ පාට, අහිමිව මහපොළොව සිප මිය යනවා දුක්බරිත විදියට. මේපල් ගහ මේ හැමදේම දරාගෙන හිනා වෙලා ශක්තිමත් ව ඉන්නවා මුළු සීත ඍතුව පුරාවටම. කිසිම පැමිණිල්ලක් නොකරම. !
ජීවිතෙත් ඒ වගේ ! කාලෙන් කාලයට එක එක ඍතු එක්ක ජීවිතය ගෙවී යනවා. මේ එක එක කාල වල එක එක අය එක්ක අපේ ජීවිතේ මහ ගොඩක් කාර්‍යබහුල වෙනවා. හිත එක එක කාලෙට එක එක වෙස් ගන්නවා. හරියට මේපල් කොළ වගේ. එක එක පාට , එක එක හැඩ ! අවසානයේ හැමදේම අහිමි වෙනවා. ඒත් එදත් අදත් හෙටත් මනස මේ හැම විපර්යාසයක් ම දරාගෙන නොසැලී ඉන්නවා. හරියටම මේපල් ගහ වගේම ! අවසානයේ දවසක මහ පොළොව සිප මිය යන තෙක්ම මේ හැමදේම යාම් සහ ඊම් එක්ක වෙනස් වෙවී තියෙනවා.
මේපල් ගහ දළු දානකොට වගේම ඒ දළු තරුණ වෙද්දිත් ආයම මැදි වයසට එද්දිත් එක එක කුරුල්ලන්ට නවාතැන් දුන්නා වගේම අපිත් අපේ ජීවිතේ එක එක කාලසීමාවන් වල එක එක අයට අපේ හිතේ නවාතැන් හදල දෙනව. ඒත් ඒ ඒ අය ඒ ඒ කාල සීමාව අහවර කරල අපේ ජීවිත වලින් යන්න යනව. අන්න එදාට මේපල් ගහ දරාගෙන හිටිය වගේම අපිටත් දරා ගන්නම වෙනව. එහෙම නැතුව ගියොත් අපිට පැවැත්මක් නැතුව යනවා. මේ යාම් සහ ඊම් අතර ජීවිතේ ගලාගෙන යනවා ! අපි ඒ හැමදේම දරාගත යුතු වෙනවා මේපල් ගහ වගේම !
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment