Saturday, 24 August 2019

නිහඬ වන්න

නිහඬ වෙන්න

ඈතින් පේන මොන්තෙමොරෙල්ලි කන්දට වහන් වෙලා ඉර හෙමි හෙමින් ගෙදර යනව. දවල් තිස්සෙම පල්ලි වල ඝන්ඨාර කුළුණු වලට වෙලා සැපට නිදාගෙන හිටිය කිරි වවුල්ලු එයාලගෙ දවසෙ රාජකාරි පටන් අරන් .රංචු පිටින් වැහි වලාකුළු වගේ එහෙ මෙහෙ යන වැහි ළිහිණි යාලුවොන්ට මැදි වෙලා කිරි වවුල් යාලුවොත් තරඟෙට වගේ පියාසැරිය පටන් ගෙන. ඈතම ඈත ආකහේ කෙලෝරෙ එකම එක තරුවක් මෝදු වෙලා හිනාවෙද්දි ඊට මෙහායින් ඔලොක්කුවට වගේ ගුවන් යානා එයාලගෙ එලි දල්වනව. එයාල ලෑස්ති එයාලගෙ ගමන නිමා කරන්න , තව ටිකකින් ෆ්ලොරෙන්ස් , පෙරේතොලා ගුවන් තොටුපළට ගොඩ බාන්න. මේ අහස් යානෙක දුම් පාර දිගේ මම මටත් නොදැනිම මගේ ගෙදරට යනවා. මම දුව පැනපු , ගස් ගල් වල සෙල්ලම් කරපු අම්මගෙන් බැණුම් අහපු , තාත්තගෙ ආදරේ සින්නක්කරව විඳපු අතීතෙට යනව

මටත් නොදැනී මගේ කොපුළ් මැදින් පහලට වැටෙන කඳුළු කැට වලට ඔහේ වැටෙන්න ඇරලා මම හිස් අහස දිහා බලාගෙන කල්පනා කරනව. නිහඬ බව මොනතරම් ලස්සනයිද කියල මට හිතෙන්නෙ ගන්නව. මොහොතකට මම මගේම ලෝකයක තනි වෙනව

ජීවිතේ මම හොඳටෝම කඩාගෙන වැටුන තැන් දෙකක් තියනව. මට මේ ජීවිතේ ඇති කියල හිතුන තැන්. මාව මේ ලෝකෙ කාටවත්ම තේරුනේ නෑ කියල හිතුන තැන්. ආදරේ කියන්නෙ මහම මහ මායාවක් කියල මට හිතුන තැන්. එයින් එක් අවස්ථාවක් වෙනකොට මම ගොඩක් පොඩියි. ජීවිතේ ගැන මේ සමාජය ගැන මිනිස්සු ගැන මොකුත්ම නොදන්න කාලෙ. මේ තමයි මගෙ ආදරේ මේ තමයි මගෙ ජීවිතේ මෙයින් තොර ලෝකයක් නෑ කියල හිතුව කාලෙ. මට මගේ ආදරේම ඕන කියල රංඩු කරපු කාලෙ. නොකා නොබී රංඩු අල්ලල අතට අහුවුන විටමින් සී පෙති වගයක් බොන්න කියල කටට දාගත්තු අතීතයක් මට තිබ්බා. අන්න එදා කටට දාගත්තෙ විටමින් සී කියල නොදැන මගේ තාත්තා පිස්සුවෙන් වගේ මගෙ කටින් පෙති එලියට අරන් මාව විනාඩි ගානක් තුරුල් කරගෙන ඇඬුවා

එදා මොහොත මගෙ ජීවිතේ කවමදාකවත් මට අමතක නොවෙන මොහොතක්. ඇති වෙනකල්ම මට අඬන්න කියල අම්මට කාමරෙන් යන්න කියල තාත්තා මට අවසානයේ කීව වචනයක් තිබ්බා
නිහඬ වෙන්න ! හැම වේදනාවක්ම කාලය විසඳනව ! එතෙක් නිහඬ වෙන්න
ඒක ඇත්ත , කාලය ගොඩක් දේ විසඳුවා. නිහඬ වීම මගේ ජීවිතේ වෙනස් කරා. එදා පොඩිම පොඩි කෙල්ලෙක් වෙච්ච මගේ ජීවිතේ තාත්තා වෙනස් කරේ එහෙම

කාලය කොච්චරක් වෙනස් වෙලාද ? සමහර මෝඩ කම් ජීවිතේ පුරාම අපි එක්ක එනව. විශේෂයෙන් මිනිස්සුන්ව විස්වාස කිරීමේදී. පස්සෙ කාලෙක ජීවිතේ වෙනස්ම විදියකට මම කඩාගෙන වැටුනා. මිනිස්සුන්ව විස්වාස කිරීම ගැන මම පසු තැවුනා. ආයම කවමදාකවත් මට නැගිටින්න බැරිවෙයි කියල හිතෙන තරමට මම වැටුනා. ඒක පරාජිත බවක් ! හිස් බවක් ! මට කියාගන්න නොතේරෙන හැඟීම් සමූහයක්

අන්න වෙලාවෙදි මාව ගොඩ ගත්තෙත් පිරිමි තුන් දෙනෙක්. එක්කෙනෙක් මගෙ තාත්තා , තව කෙනෙක් මගෙ සැමියා , අනෙක් කෙනා ජීවිතේ කවමදාකවත් මම නම නොකියන දේව දූතයෙක් ! වෙලාවෙත් මේ තුන් දෙනාම එකම දේ වෙනස් හඬවල් වලින් මට කීවා

තාත්තා , පොඩි දූ නිහඬ වෙන්නකාලය කියන්නෙ බෙහෙතක් . ! 

සැමියා ., ඔයා නිහඬ වෙන්න , මේ හැම ප්‍රශ්නයක් මට දෙන්න , කාලය ඔයාව ආපහු හිටිය කෙනා කරාවි

දේව දූතයා ., - අක්කා නිහඬ වෙන්න , වෙන්න ඕන හැමදේම මම බලාගන්නම්, කාලය තරම් බෙහෙතක් වෙන නෑ. කාලය ඔයාව ආපහු හිටි තැනට ගෙනෙයි

ඇත්ත , බොහෝ ප්‍රශ්න නිහඬ බව හා කාලය විසඳනවා. හැබැයි ජීවිතේ පුරාවටම කල්‍යාණ මිත්‍රයො ( මට මෙතන නම් වශයෙන් කියන්න බැරි ) මගෙ වටේ ඉඳගෙන අය මගේ ජීවිතේ ලස්සන කරනව. අර්ථවත් කරනව. යන්න ඕන පාර පෙන්නනනවා

මේ සටහන කියවපු ඔබට ඔබේ ජීවිතේ යම් තැනක් ආවොත් , මේ තමයි අවසානය , මෙතනින් එහාට මට යන්න හයියක් නෑ කියල හිතෙන , අන්න එතැනදි ඔබ නිහඬ වෙන්න. කාලයට ඉඩ දෙන්න. නිහඬ බව කාලය එක්ක එකතු වී ඔබව ප්‍රතිනිර්මාණය කරාවි. වෙනස්ම විදියකට



.ලි.
මගේ ගෙදර බැල්කනි එක කියන්නෙ මගෙ අතින් ගොඩක් සංවේදී ලියවිලි ලියවෙන තැනක්

මේක ලියවුනෙත් එහෙම

No comments:

Post a Comment