Saturday 24 August 2019

දරාගැනීමක අවසානය !

දරාගැනීමක අවසානයඔබ නොහිතනා ඉමකට ඔබව ගෙනයනු ඇත

නිල් අහස පුරාවට සුදු වලාකුළු රටා මවනවා. වැහිළිහිණි එහෙ මෙහෙ පියෑඹුවට වැස්සක් නම් ලඟකදි නොඑන බව හුළඟ හිමීට කනට කරලා කියනවා. ජීවිතේ කියන්නෙ යාම් සහ ඊම් , මම එහෙම හිතනවා. මිනිස්සු ගෙවන්නෙ මොන තරම් අවුල් සහගත ජීවිතද ? සමහර මිනිස්සු තවත් මිනිස්සුන්ගෙ කඳුළ විකුණනවා. තව සමහර අය අනිත් අයගෙ දාඩිය මහන්සිය විකුණනවා. හැමෝම එකම ජීවිත රේස් එකක තරඟ වදිනවා

නිදාගෙන හිටියට මොන්තෙමොරෙල්ලි කියන්නෙ ගිණි කන්දක්. මම හැමදාම හිතනවා මොන්තෙමොරෙල්ලි නැගිට්ටොත් මොනා වේවිද කියල. එයා සක්‍රීය වුනොත් මුළු ෆ්ලොරන්ස් නගරයම ලාවා වලින් යට වේවි. හැමෝම පොම්පෙ නටඹුන් වගේ මමී වේවී. ඝණ දූවිලි තට්ටු වලින් යට වෙලා ඒවාටම වැහිලා යාවි. හැම දේම මොහොතින් සුන්නද්ධූලි වේවි

අපේ දරාගැනීම/ ඉවසීම  කියන්නෙත් අන්න එහෙම නිදාගත්ත ගිණි කන්දක්. නිදාගෙන ඉන්නතාක් පුදුමාකාර ලස්සනක්. බොහෝ දේවල් දරාගෙන ඉන්නකොට එතන ගුප්ත සුන්දරත්වයක් තියනවා. නිහඬ බව ඇතුලේ හරි ලස්සනක් තියනව. මතුපිටින් මල් , ගස් , පොඩි දොළ පාරවල් එක්ක චිත්‍රයක් තරම් ලස්සනක් දරාගැනීම තුළ තියනවා. ඉවසීම එක්ක තියන දරාගැනීම තරම්ම ලස්සනයි. ඒත් මතුපිට

දවසක මේ දරාගැනීම කෙළවරක් වුනොත්
ඒත් නිකම්ම කවදාවත් දරාගැනීම අවසන් වෙන්නෑ. ඒක වෙන්නෙ භාහිර බලපෑමක් ආවොත් විතරයි

අන්න එදාට ගිණි කන්ද යට තිබ්බ ලාවා කැකෑරිලා මතුපිටට ඇවිත් පුපුරලා අලු දූලි නංවගෙන මහා ව්‍යසනයක් වෙනවා හා සමානවම අපි යටපත් කරන් හිටිය අපේ කේන්තිය , නපුරු කම , අර දරාගැනීම අවසන් කරලා එලියට එනව. අන්න ඒදාට දරාගැනීමේ කෙළවර මහා ව්‍යසනයක ආරම්භයක් වෙන්න පුළුවන්

මේක කියවන ඔබ දැන් මගෙන් අසාවි දරාගන්න එක වරදක්ද කියලා. නෑ ඔබ දරාගත යුතුයි. ඒත් කෙනෙක්ගේ දරාගැනීම හා ඉවසීම විහිළුවක් කර නොගත යුතුයි. ගං ගොඩේ කියනවා වාගෙම ගහන්න ගහන්න වඳින්නෙත් , වඳින්න වඳින්න ගහන්නෙත් මෝඩයෝ. කෙනෙක් නිහඬව බොහෝ දේ ඉවසීමෙන් දරාගන්නවා කියල දැනගත්තම කෙනාටම තව දරාගැනීම් දෙන්න එපා. ඒක ඔබ , ඔබ විසින්ම ඔබේ අවසානය ලඟා කරගත්තා හා සමානයි

කෙනෙක් නිහඬව ඉවසීමෙන් ඉන්නෙ මෝඩ නිසා නෙමෙයි. තමයි නුවණක්කාරකම. අන්න දේ මෝඩ ලෙසට අරගෙන දරාගන්න කෙනාටම තව දරාගැනීම් වේදනා දෙනවිට වෙන්නේ දරාගත් කෙනාගෙ දරාගැනීම අවසන් වෙනවා. එතකොට ඒක නිකම්ම නිකම් අවසන් වීමක් නොවෙන්න පුලුවන් , සමහරවිට ඔබව නැත්තටම නැති කරන්න පුලුවන් තරමේ ප්‍රභල වෙන්නත් පුලුවන් . අන්න නිසාම කෙනෙක්ගෙ දරාගැනීම විහිළුවට ගන්නෙපා. දරාගෙන ඉවසන බව දැනගෙන පහර දෙන්නෙපා. දිනක එය ආපස්සට ඔබව නැත්තටම නැති කර දමාවි. ! 

ප්‍රභානී තෙන්නකෝන්



No comments:

Post a Comment