Monday, 26 August 2019

ආදරේ එහෙම වෙන්න ඇති !



නගින්න..
ඈ වරුවක් තිස්සෙ බලාපොරොත්තුව හිටි ඇස් දෙක, තමන්ගෙ ඉස්සරහ වාහනේ නවත්තගෙන කතා කරනව. 
ඒක හරිම ආදරණීය ඇරයුමක්. ඈ හිටියෙ ඔහු ගැන අප්‍රමාණ විශ්වාසයකින්. ඈ කවමදාවත් නොගිය , නොදන්න පාරවල් වල ඔහු යනව. මිනිස් පුළුටක් නැති පාලු පාරවල් වල, හිතට බය එනව, ආපහු ඒ ඇස් පාමුල ඒ බය නැති වෙනව. ආදරේ කියන්නෙ ඒකට වෙන්න ඇති. ඈ එහෙම හිතනව. සැනසෙනව. 

හිතාගන්නවත් බැරි නිස්කලංක පරිසරයක ඔහු නවතිනව. බහින්න, ඒක විධානයක්. කවදාවත් කාගෙවත් විධාන පිළිනොපැද්ද ඈ ඔහුට අවනත වෙනව. ගස් කොලන් අතරින් ඈ ජීවිතේ හොයනව. කොන්ක්‍රීට් වනන්තරේක ඉන්න ඈට හුස්ම ගන්නව කියල තේරෙනව. 

දන්නවද ? මෙතන අපේ ගෙදර වගේ.. මේ ගස් අපේ වත්තෙත් තියනව , හරියටම මේ වගේමයි, ඈ ඉන්නෙ සතුටින්. ඒ ඇස් පවා දිළිහෙන්න ඇති. ඒකනෙ එක්ක ආවෙ මෙතන්ට, ඔහු එහෙම කියන්නෙ ඇගෙ ඇස් වලට එබීගෙන. ඉවත් හෙලන්න බැරි ඇරයුමක්. ඈ හිමින් ඔහුට වාරු වෙන්නෙ හරි ආදරෙන්.. 

ඈ ඔහුගෙ පපුවට ඔලුව තියාගෙන ඔහේ කියවනව. ඔයා මට ආදරේද? කොච්චරක් ආදරෙයි ද? ඇයි ආදරේ එහෙම? ඈට ප්‍රශ්න කෝටියයි. ඒ ඇස් වලට එබි එබී ඈ කියෝනව. කොහොමත් ඈ ආස එහෙම. ඔහේ කියවන්න. හුරතල් වෙන්න. ජීවිතේ විඳින්න. ඒත් කෝ ඉඩක්, ඔහුට තියෙන්නෙ වෙනමම ලෝකයක්. ඈට තේරුම්ගන්න අමාරු ලෝකයක්. බලාපොරොත්තු , අනාගත සැළසුම්, මහා ගොඩක්. 

ඔහේ කියවන්න හිතන් වුන්න ඈ නිහඬයි. ඒත් ඔහුට කියන්න දේ බොහෝමයි. දන්නවද දැං මේක දන්නෙ ඔයයි මායි විතරයි.. ඒ ඔහුගෙ අනාගත සැළසුම්.. ඒවා හරි ලස්සනයි. 
හ්ම්ම් එහෙම හොඳයි, ඈ එහෙම කියන්නෙ මුලු හදවතින්ම ඒ සැළසුම් ඉටුවෙන්න කියන ප්‍රාර්ථනය එක්ක. ඔහු ඒක දන්නව.

ඔහේ කියෝපු ඔහු නිහඬ වෙනව. අපි යමුද? නැත්තම් ඔයාට පරක්කු වෙයි.. තව විධානයක්, ඒත් ආදරෙන්. 
හ්ම්ම් ඈ හිමින් කියනව. යමු.. එහෙම කියන ඈ ඔහුව තේරුම්ගන්න උත්සාහ කරනව...  ඊගාව දවස මීට වඩා ආදරණීය වෙයි. ඈ හිතන්නෙ එහෙම. බලාපොරොත්තු ඈව ජීවත් කරවනවා.. 

ඔහුගෙ වාහනෙන් බහින ඈ යන්න යනව. ඇස් වල කඳුළු, ඒත් ඒ ඇයිද කියන්න ඈ දන්නෙ නෑ. ඒ කඳුළු වලට හේතුත් නෑ. ඈ ආදරේට ලෝබයි. ඒ ආදරේ අහිමිවෙයි කියල බයයි. ඒක කියාගන්නවත් ඈට නිදහසක් නෑ. ඈ හිතනව. ඔහේ හිතනව. ඔහුව තේරුම්ගන්න පුලුවන් වෙයිද? ඈට පුලුවන්, ඒ ගැන ඈට විස්වාසයි. ඒත් ඔහු ඈව තේරුම් ගනීවිද ? ඒ ගැන ඈට තියෙන්නෙ බයක්. ඈ ඒ ආදරේට ලෝබකම් කරනව. 

අවසානයේ ඈ හිතනව, 
නෑ එයා මට ආදරෙයි...  ගොඩක් ආදරෙයි 

ඒ හිතුවිළි ඈව සනහනව.. ඈව ජීවත් කරවනව.. 



©️ප්‍රභානී තෙන්නකෝන්.

No comments:

Post a Comment