Monday 26 August 2019

මනසට බෙහෙතක් !

මනසට බෙහෙත්

තරු එකින් එක වලාකුළු අස්සෙන් එබි එබී බලන වෙලාවට මම ආසයි තරු දිහාවෙ බලාගෙන ඒවා ගණින්න. මනස නොසන්සුන් හවසකට ඒක තමයි කියාපුම බෙහෙත

ඇත්තටම ඒක භාවනාවක්

අහස කියන්නෙ පුදුමාකාර ලස්සන තැනක්. පාට පාට වලාකුළු මොහොතින් මොහොත එයාලගෙ ස්වරූපය වෙනස් කරගන්න හැටි , වලාකුළු වල වර්ණ සංයෝගය. වලාකුළු නිල් අහසෙ මවන එක එක කතන්දර , ඇත්තටම ඒක වෙනමම ලෝකයක්. එක පැත්තක සුරංගනාවියො මල් පාත්ති හදලා වගේ හරිම ලස්සනට පිළිවෙලකට තියන වලාකුළු , තවත් පැත්තක දඟකාර දේව දූතයන් සෙල්ලම් කරපු පිට්ටනියක් වගේ අපිළිවෙල වලාකුළු . මේ හැම වලාකුළකටම කතන්දරයක් මවන්න පුලුවන්

ටික ටික හාත්පස අඳුර පැතිරෙනකොට , එහෙන් මෙහෙන් තරු ඉඟි පාන්න පටන් ගන්නව. ඔන්න ඊගාවට කුරුල්ලො එයාලගෙ දවස නිමා කරලා ගෙවල් බලා යන්න ගන්නවා. අහස පුරාවට එකම කාලගෝට්ටියක් ! එහෙ මෙහෙ කළබලයෙන් යන කුරුළු රංචු. කිචි බිචි සද්දෙන් අහස පිරිලා. මේ අතරේ ඉර එයාගෙ දවසෙ මෙහෙවර අවසාන කරලා කඳු අතරින් ගෙදර යන්න යනවා. සඳ ටිකෙන් ටික එයාගෙ රාජකාරිය පටන් ගන්නව. ඔය අතරෙ අහසෙ එහෙට මෙහෙට ඉරි ගහලා වගේ අහස්‍ යානා කළබලයෙන් තම තමන්ගෙ ගමනාන්ත වෙත යනවා

බලාපොරොත්තු පුරවාගත්ත මිනිස්සු
ජීවිතේ හොයාගෙන යන මිනිස්සු
ජීවිතෙන් පැරදුන මිනිස්සු
තමන්ගෙ ආදරණීයයන්ගෙන් වෙන් වුන මිනිස්සු
තමන්ගේ ආදරණීයයන් වෙත යන මිනිස්සු

මේ හැම වර්ගෙම මිනිස්සු දරාගත්ත යකඩ කුරුල්ලෝ අහස දිගේ ලෝකෙ එක තැනක ඉඳන් තව තැනකට යනවා

ටික ටික කළුවර වෙනකොට තරු රටා පේන්න ගන්නවා , ඔරායන් එක පැත්තක හිනා වෙද්දි , මහ වලසා තවත් තැනක හිනා වෙනව. සිකුරු තරුව ලස්සනට හිනා වෙනකොට තවත් පුංචිම පුංචි තරුවක් එළිය මදි කියල අඬන්න ගන්නවා. තරු අතරින් ග්‍රහලෝක , චන්ද්‍රිකා වෙන් කරගන්න ඇස් මහන්සි වෙනකොට කොහේදෝ ඉඳන් ආව උල්කා කැබැල්ලක් දේවතා එළියක් විදියට ඇස් රවට්ටනවා. ටිකෙන් ටික ගැනලා ඉවර කරන්න බැරි තරමට අහස තරු වියනකින් සැරසෙනවා ! මුළු අහසම කතන්දර ලෝකයකින් බැබළෙනවා

ඔබත් නොසන්සුන් මොහොතක අහස දිහාවෙ බලා ඉන්න. අහස කියන්නෙ පුදුමාකාර ලස්සන සුරංගනා ලෝකයක්.

ඒක හරිම ලස්සන හිත නිවන භාවනාවක්



©️ප්‍රභානී තෙන්නකෝන්




No comments:

Post a Comment