Saturday, 31 August 2019

දරාගැනීම !


දරාගැනීම


මිනිහෙක් ඉන්න ඕන ඇඳට විතරද බං , මට මේ ඉලවු ජීවිතේ දැන් තිත්තයි ! කොයිමවෙලාවකහරි මගෙ නහරයක් පුපුරල මං මැරිල යයි. මට ඒක දැනෙනව. මේ දරාගැනීම හරි අමාරුයි

ලාවන්‍යා අඬාගෙන ඔය ටික කීවෙ අසෙනි . අසෙණි මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ ලාවන්‍යා කියන්නෙ පට්ට ලක්ශරි ලයිෆ් එකක් ගෙවන ගෑණියෙක් කියල. ඇත්තටම ලාවන්‍යා මොනාද අඩු ? සල්ලි , සමාජ තත්වය , ලස්සන, දේපල , යාන වාහන , ගෙවල් දොරවල් , මෙච්චර මෙහෙම තියාගෙන මේ ගෑණි මේ මොනාද කියන්නෙ කියල අසෙණි ඔලුව විකාර වෙන තරමටම හිතුවා. ජීවිත කියන්නෙ මහ පුදුම දෙයක්. පිටින් බලල කිසිම දෙයක් ගෙස්ට් කරන්න බෑ අන්තිමට අසෙණි එහෙම හිතුවා

ගලාගෙන යන ආර්නො දිහා බලාගෙන හිටිය මේපල් ගස් පවා ගඟෙන් ඇස් අහක් කරගෙන ඔහේ බලාගෙන හිටියෙ ලවක් දෙවක් නැතුව පාලමේ ගැට්ටට වෙලා අඬන ලාවන්‍යා දිහා. හැමදාම මෙතනින් එහාට මෙහාට ගියාට , ඉඳ හිට මේපල් ගස් ගාව නැවතිලා ගඟ දිහා බලාගෙන හිටියට ලාවන්‍යා කියන්නෙ මේ තරම් මානසික පීඩනයක් දරාගෙන ඉන්න ගෑනියෙක් කියල ගඟ වත් නොහිතන්න ඇති

ලාවි , කියන්න මැණික , මොකද්ද දැන් ප්‍රශ්නෙ ? ඇයි මෙහෙම කඩාගෙන වැටිලා ඉන්නේ ? සහන් කියන්නෙ කොච්චරක් හොඳ කෙනෙක්ද ? ඇයි මෙහෙම ජීවිතේ එපා වුනේ ? අසෙණි ප්‍රශ්න වැලක් ඇහුවෙ ඇත්තටම ලාවන්‍යා ගෙ කඳුළු වලට හේතුවක් හිතාගන්නම බැරුව ගිය තැන

ඇත්ත සහන් කියන්නෙ හොඳ කෙනෙක්. එයා ඔයාලට හොඳ යාලුවෙක් , එයාගෙ දෙමාපියන්ට හොඳම හොඳ දරුවෙක් , අපේ ශාකිට හොඳම හොඳ තාත්තා කෙනෙක් , ඒත් මට , එයා මට හොඳ සෙක්ස් පාට්නර් කෙනෙක් විතරයි අසෙණි

ලාවන්‍යා ගෙ වචන වල තිබ්බෙ මහා හිස් කමක් , වචන ඇහුන අසෙණි ගෙ කටින් , මොකක් ! කියල පිටවුනේ අසෙණි වත් නොදැන

ඔවු අසා , ඒක තමා ඇත්ත , මට ඇත්තටම තේරුම් ගන්න බෑ එයාව. එයාට මාව තේරෙන්නෙ නෑ , මං ශෝෂල් මීඩියා යූස් කරනවට එයා කැමති නෑ , මම චිත්‍ර අඳිනවට එයා කැමති නෑ , චිත්‍ර ඇඳල විකුණන එකට කොහොමත්ම කැමති නෑ , මිනිස්සු අඳුරගන්නවට කැමති නෑ , කොටින්ම මම ප්‍රසිද්ධ චරිතයක් කියන එක එයාට දරාගන්න බෑ. එයාට ඕන මාව ගෙයි තියන්න. ගෙට කරල තියන්න. මට පිස්සු හැදෙයි. මට බෑ මේ විඳවිල්ල තවත් විඳින්න !  

ලාවන්‍යා මහ හයියෙන් අඬ අඬා මෙහෙම කියනකොට අසෙණිට ඇත්තටම කියන්න ඕන මොනාද කියලවත් තේරුණේ නෑ. ඒත් මොනාම හරි කියල මේ කැඩෙන පවුල එක් කරන්න ඕන , අර අසරණ කෙලි පැටික්කි නිසාවත් කියල අසෙණිට හිතුනා

අහන්න ලාවි , ඔයාට ශෝෂල් මීඩියා යූස් කරන්න එපා කියන්නෙ හේතුවක් නැතුව නෙමේනෙ. සහන් බය ඇති මුකුත් කරදරයක් වෙයි කියල. ප්‍රශ්නෙ ඒක විතරනෙ , ඇරෙන්න ඔයාට ආදරේ අඩුවක් නෑනෙ 

අසෙණි අහපු ප්‍රශ්නෙට ලාවි හිනාවුනේ වියරු වැටුන ගෑණියෙක් ගානට. පාර දෙපැත්තෙ හිටිය අය පවා බැලුවෙ මේ පිස්සියෙක් කියල හිතල

ආදරේ , කන්න බොන්න දෙන එක , නිදාගන්න එක , ඕකද අසා ආදරේ

ජීවිතේට බෙහෙතක් අරන් දෙන්න එන්නෙ නැත්තම් , කිසිම දෙයක් ඉල්ලල මිසක් හිතල දෙන්නෙ නැත්තම් , කොයි වෙලෙත් අරකට මෙච්චර ගියා මේකට මෙච්චර ගියා කිකිය ජීවිතේ විඳින්න තියන හැම එකටම බෑ කියනවනම් , ගෙදර කිසිම දේකට උදවුවකුත් නැත්තම් , එලිවෙනකල් ඔලුව කැක්කුම හැදිල අඬනකොට අනිත් පැත්ත හැරිල නිදාගන්න පුලුවන් නම්, මම ආස කිසිම දේකට ඉඩ නොදී ඉන්නවනම්, එතන කොහෙද අසා ආදරේ

මං මැරෙන්න වැටිල ඉද්දි නොබලන මිනිහා අම්මට හචිමක් ගියත් ගෙදරට දුවනකොට මට ඇතිවෙන මානසික පීඩනය මොනතරම් කියල ඔයාට තේරෙනවද අසා ? ලාවන්‍ය එහෙම කීවෙ කඳුළු අතරින්

දෙයියනේ , ඇත්තටම මට ඔයාට කියන්න ඕන මොකද්ද කියනන්වත් තේරෙන්නෙ නෑ ලාවි , අසෙණි ඒක කීවෙ එයාගෙ ආත්මයම බිඳුනා වගේ හැඟීමකින්

ඒත් ලාවි , ඔයා එකපාරට සහන් අතෑරල ගියොත් , ශාකි මොකද වෙන්නෙ ? අනික ඔයාල හරි ආදරෙන් ඉන්න පවුලක් විදියට තමා මුලු සමාජයම දන්නෙ , එහෙම වුනාම මිනිස්සු ඔයාට දොස් කියාවි ලාවි

මිනිස්සු කාටද අසා දොස් නොකීවෙ ? මිනිස්සු හැමදාම කාටමහරි දොස් කියනව. කියන මිනිස්සුන්ගෙත් ඇතුල ඔහොමයි අසා. එයාල විඳවන අතරෙ විඳවීමෙන් කෙනෙක් මිදුනම ඒක එයාලට දරාගන්න බැරුව යනව. එතකොට පද හදනව. දොස් කියනව. ආසියාවෙන් එලියෙ ඉන්න මිනිස්සු තමන්ට නොගැළපෙන බැඳීම් වල හිරවෙලා දුක් විදින්නෑ , නිසාම අයට අනිත් අයගෙ බැඳීම් ලිහීම් ගැන හොය හොය කාලෙ කන්න ඕනත් නෑ. මට දුක ශාකි ගැන විතරයි . ශාකි නිසාම මම මේ ජීවිතේ දරාගන්නව මිසක ඇත්තටම මට මේ ජීවිතේ බරයි අසා

ලාවන්‍යා කියන දේවල් වලට අසෙණි ගාව උත්තර තිබ්බෙ නෑ. ඒත් අමාරුවෙන් වචන එකතු කරගෙන , ඇයි ලාවි ඔයා මේ ගැන සහන් එක්ක කතා නොකරන්නෙ ? කියල ඇහුව , ඒත් බිම බලාගෙන. ලාවිගෙ මූණ බලන්න තරම් පුළුවන් කමක් අසෙණිට තිබ්බෙ නෑ

කතා කරන්න ? මේ අපේ සහන් එක්ක ? හීන නෙ අසා. ගලක් පෙන්නල මලක් කියල තර්ක කරන මිනිහෙක් එක්ක කොහොමද අසා කතා කරන්නෙ ? නිකරුනේ කාලය වචන මගෙ ලේ ටික නැති කරගන්න පොටක් නෙ ඒක. හිතේ තිබ්බ ඔක්කොම කියල ඉවර නිසාද කොහෙදෝ ලාවි ගෙ ඇඬිල්ල දැන් ඉවර වෙලා. අසෙණි ටිශූ කොළයක් දුන්න කඳුළු පිහාගන්න

දැන් එතකොට ඔයා මේ වෙද්දි මේව විඳගෙන ඉන්නෙ කොහොමද ? අසෙණි ඇහුවෙ තවත් ටිශූ කොළයක් ලාවි අතේ තියන ගමන්

මං ටික ටික ජීවිතේ අතාරිනව අසා ! ලාවි කීවෙ පුදුමාකාර විදියට හැඟීම්බරව කීවෙ , අසෙණිට ඒක ප්‍රෙහෙළිකාවක් කියන්න එයාගෙ ඇස් වල තිබ්බ ප්‍රශ්නාර්ථ ලකුණ පෙන්නුවා

කීවෙ , මම දැන් සහන් ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නෑ. එයා බෙහෙත් අරන් දෙනනෑ කියල මට මැරෙන්න බෑනෙ නිසා මං බෙහෙත් ගන්න යනව තනියම. අනිත් දේවලුත් තනියම කරගන්නව. ඒත් මට වේදනයි. දේවල් මම තනියම කරගන්නෙ මට වෙන කරල දෙන්න කෙනෙක් නැති නිසා. ඇත්තටම මාත් ආසයි අසා , ඔයාගෙ පසන් ඔයාව එක්ක යනව වගේ සහන් මාවත් එක්ක යනවනම් , පසන් ඔයාගෙ කේක් බිස්නස් එකට උදවු කරනව වගේ සහන් මටත් වචනෙකින් හරි උදවු කරනවනම්. කොටින්ම මාත් ආසයි මගෙ මිනිහ මාව අගය කරනවනම් ! එහෙම නැති වෙන තැන වේදනාවක් හිස් කමක් ඇර වෙන දෙයක් නෑ අසාලාවි ඔහේ කියෝනව. මේපල් වැටිය පවා අතු බිමට හරෝගෙන ලාවි වෙනුවෙන් දුක් වෙන බව පෙන්නුව. අසෙණිට හිතාගන්න බෑ කියනන්න දෙයක් ගැන

මට තේරෙන්නෙ නෑ ලාවි. එක්කො ඔයා සහන් ගෙන් අයින් වෙන්න. ඔහොම විඳවන්න බෑනෙ දෙයියනේ ! ඔයා ඇවිදින මළ මිනියක් වගේනෙඅසෙණි කීවෙ ඇත්තටම දරාගන්න බැරි වේදනාවෙන්

එතකොට ශාකි ? එයාට මේ දේවල් තේරෙන්නෙ නෑනෙ අසා. කෙල්ල තාම පොඩියි. මේක මගෙ කරුමෙ අසා. ඒත් ඒක ඉක්මනටම ඉවර වේවි. මං සහන් හොරෙන් චිත්‍ර අඳිනව. මගෙ එකම ආසාව ඒකෙන් ප්‍රදර්ශනයක් තියන්න දවසක. ඒත් ඒක කරගන්න මං ජීවත් වෙන එකක් නෑ අසා. ඒත් ශාකි දවසක මා වෙනුවෙන් ඒක කරාවි. මගෙ හීන ඔක්කොම එයා පාට කරාවි. මං ශාකි හැමදේම ඩයරි එකක ලියනව. එයා මං නැති දාක ඒක කියවාවි. එහෙම කියවල මං චිත්‍ර හංගපු තැනින් අරගෙන එයා ප්‍රදර්ශනයක් තියාවි. මං මේ දරාගැනීමේ අවසානෙට ඉක්මනටම ලං වේවි අසා. මං ඉක්මනටම මේ ලෝකෙන් යාවි. මට ඒක දැනෙනව අසා

ලාවිගෙ කතාවට ආර්නො විතරක් නෙමේ නිදාගෙන ඉන්න මොන්තෙමොරෙල්ලි පවා ගැස්සෙන්න ඇති. ගෑනියෙක්ට මේ තරම් දරාගන්න පුලුවන් ? අසෙණි එහෙම හිතන ගමන් එයාගෙ ඇස් ලාවන්‍යා හොරෙන් පිහිදගත්තා

©️ප්‍රභානී තෙන්නකෝන්

No comments:

Post a Comment