ආදරේ මං විතරද ?
ආකහේ ඈතම ඈත කෙළවරින් පළවෙනි තරුව පායනකල් ඈ උන්නෙ පුදුමාකාර නොයිවසිල්ලකින්. ඒ තරුව දිහා බලාගෙන ඈට ඕන උනේ ප්‍රාර්ථනාවක් කරන්න. සංසාරෙ කවමදාකහරි ඇගේ ආදරේ ඈටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. මහා වැස්සකට පස්සෙ සීතලම හුළඟක් එක්ක ලාවට පින්න වැටෙද්දි, හිරු කුමාරයට තනි රකින්න වගේ පාට හතකින් සළු පොරෝගෙන ඉන්ද්‍රචාප කුමාරිකාව හිනාවෙන්න ගන්නකොට ආකහේ තියන ලස්සන වගේම ලස්සනක් ඇගේ මූණට ඇවිත්. ආදරේ ඈව ජීවත් කරවන්න අරන්.
ඒත් ඈ නොසන්සුන්, දවස් ගානකින් නෑහුන ඒ කටහඬ අහන්න ඈ උන්නෙ පුදුම ආසාවකින්. නොයිවසිලිමත් හීනි දිගටි ඇගේ ඇස් තිස්සේම දුරකතනය තිරය දිහාවෙම බලනව. "වැඩ ඇති, නෑ එක්කො නිදි ඇති," ඈ ඈටම කියා ගන්නව. ඇත්තටම ආදරේ මහ පුදුම දෙයක් ඈ හිතන්න ගන්නව. වෙනද හිටපු ඈ නෙමෙයි දැන් ඉන්නෙ. ඒක ඈට තේරෙනව. ඒත් ඈ වෙනසට ආදරෙයි.
අවසානෙ දුරකතන තිරයෙ ඔහුගෙ මූණ වැටෙනව. පුදුමාකාර සතුටකින්, ආසාවකින් ඈ ඒ කටහඬ අහනවා. ඒත් විනාඩියයි, ඒ සතුට ඉවරයි. ඈ ආයෙම කල්පනාව.. "එයාට තේරෙන්නෙ නෑ මාව. කාටවත්ම තේරෙන්නෙ නෑ මාව. තිස්සෙම රිදවෙන්නෙ මට. " ඈ ඈටම තනියම කියාගන්නව. ඈටත් නොදැනිම කඳුළු කොපුළත තෙත් කරනවා. "මම විතරයි ආදරේ" ඇගේ හිත ඈ එක්ක තර්ක කරන්න ගන්නව. "මම වැරදි ඇති, මම තිස්සෙම ඕනවට වඩා ආදරේ බලාපොරොත්තු වෙනව." ඈ ඈටම වරද පටෝගෙන නිහඬ වෙනව.
ඉර කඳු අතර හැංගිලා යන්නම ගිහින්. හාත්පස කළුවර මකන්න වීදි පුරාට විදුලි එළි. රාමසාන් ඉවර වුනා විතරයි නිසා තාමත් තියෙන්නෙ වක ගැහුන හඳ, ඒ හඳට තනි රකින්න තරු මහ ගොඩක්. ටිකකට කලින් ඈ බලා හිටිය මුලින්ම පායපු තරුව අනිත් තරු අතර හොයාගන්නත් බැරි තරමයි. අහස මල් වට්ටියක් ගානයි. ඇගේ ආදරෙත් දවසක, ඒ මුල්ම තරුව අනිත් අතර හැංගිලා ගියා වගේ හැංගේවිද කියන්න ඈ හිතනව. නෑ එහෙම නෑ ඈ ඈටම යලිත් කියනව.
තිස්සෙම ඈ හිතන්නෙ ආදරේ කියන්නෙ මහා පුදුමාකාර දෙයක් කියල. ඈට සැනසෙන්න ඔහුගෙන් එන එකම එක වචන පේළියකුත් ඇති. ඈ ඒ දිහාවෙ බලාගෙන කාටත් නොපෙනෙන්න ඒ මූණ සිපගෙන ආපහු ආකහේ දිහාවෙ ඇස් අලවන් හීන දකිනව.
ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment