ආදරේට පුළුවන් අඬන ඇස් වලට හිනාවක් වෙන්න.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඈ උදේ ඉදන්ම හිටියෙ වෙන ලෝකෙක. අඬල අඬල හෙම්බත් වුන ඇස් වලට බලාපොරොත්තුවක් දෙන්න ඔහුට පුළුවන් වුනා. වෙනද හම්බවෙන තැනට එන්න, ඈ ඒ පණිවිඩය කියෙවුවෙ ආයාසයෙන් මූණට හිනාවක් ගෙන්නගන්න ගමන්. හිත ඇතුලෙ තෙරපෙන ගිණි කන්දක් තරම් දුකක් හිර කරගෙනම ඈ පිටත් වුනේ ඔහුව දකින්න. කාලෙකට පස්සෙ ඔහුව දකින්න, ඔහුව විඳින්න.
කොන්ක්‍රීට් වනන්තරෙන් මිදිලා, ගස් වැල් අතරින් දෙපැත්තෙම රතු පාට මල් පිරුන පාර දිගේ ඔහුගෙ වාහනේ ඇදෙනව. ඈ ඉන්නෙ වෙනම ලෝකෙක. ඒක වසන් කරන්න වගේ සැරින් සැරේ ඈ ඔහුගෙ මූණ බලනව. ඒත් ඔහුට දේවල් වසන් කරන්න ඈ ළාමක වැඩියි. ඔහුගෙන් දේවල් හංගන්න ඈට බෑ. සුපුරුදු තුරු ගොමුව ගාවින් වාහනේ නතරකරන ඔහු, කහ පාට පුංචි මල් පිරුන පාරාදීසෙට ඈව එක්ක යනව. මොකක් හරි ප්‍රශ්නයක් වුනාද? ඔහු අහන්නෙ ආදරෙන්, නෑ ඒක කෙටි පිළිතුරක් ඇගෙන්. ගෙදර අය එක්ක රංඩු වුනාද? ඇත්ත කියන්නකො මොකද වුනේ ? ඔහු එහෙම අහන්නෙ කලින්ටත් වඩා ආදරෙන්.,
මම හීනයක් දැක්කා. ඒ පුංචි මැණික හිනාවෙනව දැක්කා. ඈ එහෙම කියන්නෙ කඳුළු අතරින්. එකපාරට නවතින ඔහු ඈව තුරුල් කරගන්නව. හෙලවෙන්නවත් බැරි තරමට ඈව පපුවටම ගුලි කරගන්නව. ආයෙම මැණිකක් හම්බවෙයි, අපි මැණිකක් හොයාගමු. ඔහු එහෙම කියන්නෙ ඇගේ හිස ඉඹින ගමන්. ඇගේ හිත නිවෙනකල්ම ඈව තුරුල් කරන් ඉන්න ඔහුට පුළුවන්. අපි යං අපේ ගෙදර, එහෙදි මම ඔයාව මගේම කරන් ඉන්නව. කාටවත්ම දෙන්නෑ. ඈ කියන්නෙ ඔහුගෙ ඇස් වලට එබෙන ගමන්. ඔහු හිනාවෙනව. කවදාවත්ම හැබෑ නොවන හීන ලඟ ඈ හිනාවෙනව.
එන්න යමු පහලට, ඔහු ඇගේ අත අල්ලන් කරන්නෙ ආදරණීය ඇරයුමක්. කහ මල් නොපෑගෙන්න ඈ පරිස්සමට ඔහු එක්ක ඇවිදිනව. "මෙහෙ කටු, කොහෙ එක්ක යනවද මන්දා, මාව සත්තුත් කනව දැං" , ආදරණීය නෝක්කාඩු ඇගෙන්. ඔහු හිනාවෙනව. එහෙම තමා , කටුත් තියෙන්න ඕනෙ , ගලුත් තියෙන්න ඕනෙ , සත්තුත් ඔයාව කන්න ඕනෙ , එතකොට තමා ලස්සන, පිටු පිරවෙන්නෙ එහෙම, අපරාදෙ සර්පයො නෑනෙ" ඔහු ඈව හිනස්සනව. මම සර්පයොන්ට බය නෑ , ඈ කියන්නෙ තිර හඬකින්, අනේ මෙයාගෙ චණ්ඩි කම, ඔහු හිනාවෙනව.
"ඇත්තටම මම සර්පයො සම්භන්දෙන් බොහොම උදාසීනයි.. , ඔයා කතා කරන නැද්ද ගැරඬි එක්ක, කටුස්සො එක්ක, හිකනැල්ලු, තලගොයි එක්ක එහෙම, උන් ශෝක් එකට අපි කියන ඒව අහන් ඉන්නව," තොර තෝංචියක් නැති ඇගේ කතාව ඔහු අහන් ඉන්නෙ ඈව තුරුල්ලෙම තියාගෙන. ගැරඬි එක්ක කතා කරන්න ? ඔහු අහන්නෙ ප්‍රශ්නාර්ථ ලකුණකින්, " ඔවු ඇත්තමයි, උන් ශෝක් එකට ඔලුගෙඩිය වන වන අහන් ඉන්නව." ඈ කියන්නෙ හුරතල් වෙවී. ඔහු හිනාවෙනව.
උදේ ඉඳන් ඈව වෙලාගෙන හිටිය දුක, කඳුල ඈතකට පන්නල දාන්න ඔහුට පුලුවන් වෙලා. අපි යමු, පරක්කු වෙනව. ඈ එහෙම කියන්නෙ ඔරලෝසුව බලන ගමන්. පරිස්සමෙන් ඉන්න ඕනෙ , හොඳද? ඕන වෙලාවක මට කතා කරන්න , හරිද? ඕන දෙයක් කියන්න. හිතේ තියන් ඉන්න එපා , අඬන්නත් එපා, ඔහු කියන්නෙ පුදුම ආදරේකින්.. ඈ ඔලුව වනනව..
ඈව ගේ ගාවට ඇරලවන ඔහු යන්න යනව. ඈ හිතින් ගණන් හදනව, පරිස්සමෙන් ඉන්න ඕනෙ කියල අද මේ පොඩි වෙලාවට හටියටම 12 වතාවක් කීවා... ඈ එහෙම හිතන ගමන් ඈත් නොදැනීම ඇගේ ඇස් වල ආදරේ පිරෙනව. මූණට හිනාවක් එනව..
ඔවු ආදරේට පුළුවන් කඳුළු පිහන්න.. ඈ එහෙම හිතනව..
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment