Saturday, 30 May 2020

කඳුකරයේ මතක 07

කඳුකරේ මතක 07

අපි එනකල් බලාගෙන හිටිය නැන්දා අපි ගෙට එනකොටම ඊට ටික වෙලාවකට කලින් රතු වැස්සිගෙන් දොවාගෙන ආව කිරි උණුකරලා අපිට ලොකු කෝප්ප වලට දාලා දෙන්නෙ ලොකුම ලොකු හකුරු බෝල එක්ක. අම්මේ ඒවයෙ රස.. ඔය කඩවල් වල තියන සීනි හකුරු වගේ නෙමෙයි. දිවට තිබ්බ පමාවට දියවෙන හොඳම හොඳ පිරිසිඳු හකුරු බෝල. හකුරු බෝල කීවෙ හකුරු බෑ හදලා ඉතිරි වෙන ටික ගුලි කරලා හදාගන්න බෝල වලට. නැන්දා ඒ බෝල තියාගෙන ඉන්නෙම අපිට දෙන්න. ඒ කාලේ මාමා අතේ හකුරු බෝල බෝතලයක් පොඩි අපි තුන්දෙනාට එවන සිරිතකුත් නැන්දට තිබ්බා. නැන්දලා කොහොමත් එහෙමයි. තමන්ගේ අයියලගෙ දරුවොන්ට හරි ආදරෙයි. 

කිරි කෝප්පෙම බොන්න බඩේ ඉඩ නැතුවට මොකද හකුරු බෝල පනහක් කන්න වුනත් අපේ බඩවල් වල ඉඩ තියනව. හකුරු කකා අපි ඊගාවට කරන්නේ වත්ත පුරා නටන එක. ඒ කාලෙ නැන්දලගෙ පරණ ගෙදර මිදුලෙ තිබ්බා රතු පේර ගහකුයි සුදු පේර ගහකුයි. අපි අහවල් දවසෙ එනවා කියල කලින් පණිවිඩයක් එවුවම එහෙ අක්කල ඒ ගස් වල පේර අපිට ඉතුරු කරනව. මොකද ඒ කාලෙ අපේ වත්තෙ තිබ්බෙ එක පේර ගහයි. ඒකෙත් ගෙඩි අපිට කන්න කවදාවත් ඉතුරු වුනේ නෑ. මොකද අම්මගෙන් පාඩං වැඩ අහගන්න හවසට එන ළමයි ආපහු යන්නේ පේර කොළත් හූරගෙන කාලා. 

නැන්දලගෙ පේර ගස් වලින් රසම පේර තිබ්බේ රතු පේර ගහේ. නැන්දලගෙ අයියලා ගහට නැගලා හොඳටම ඉදුන රසම රස පේර කඩල මට දෙන්නෙ ආ කන්න කියන ගමන්. ඔන්න එතකොටම අපේ අම්මලත් එගොඩින් එනව පේනව. මාමා එහෙ ලොකු අයියත් එක්ක ආයම මගට යන්නෙ අම්මලව එක්ක එන්න. ගම් වල අදටත් නෑයො වෙනුවෙන් පෙර ගමන් හා පසු ගමන් තියනව. ඒවා සිරිත් වලට වඩා ආදරණීය බැඳීම්. මාම ල මගට ගිහින් අම්මලව එක්ක එනකල් අපි කරන්නේ නැන්දා අපි එන ආරංචියට අපිටම හදලා තිබ්බා පැණි දෙල් කන එක. 

පැණි දෙල් නැන්දා හදන්නෙ වත්තේ දෙල් ගහෙන් හොඳම ගෙඩි කඩවගෙන ඒ දෙල් හීනියට කපලා වේලල බැදලා පැණි දාලා. ඒ පැණි දෙල් ඊට පස්සෙ තියෙන්නෙ මුට්ටියක දාලා දුම්මැස්සෙ තියා තියල. අපිට නැන්දා ඒව දෙන්නෙ පුවක් පට්ටෙකට දාලා. පොඩි අපි රොත්තම අර පුවක් පට්ටෙ වටේ වාඩි වෙලා දෙල් අහුරු අහුරු කන ගමන් නැන්දේ රෑට උයන්නේ මොනාදෝ කියල අහනව. නැන්දගේ කෑම තමයි මේ ලෝකෙ රසම කෑම. බඩේ ඉඩ තිබ්බද ඒ තරම් කියල හිතෙනව දැන් ආපස්සට මතක් වෙනකොට. 

ඔන්න ඊ ගාවට අපි කරන්නේ බුරුස් පදින එක. පොඩි අපිව පුවක් කොලපතක වාඩි කරවල ලොකු අය ඇදන් යන එක තමයි බුරුස් පැදිල්ල. වරුවක් බුරුස් පැද්දට පස්සෙ අපි ආයම ගස් ගල් උඩ. වැඩියෙන්ම ඉන්නෙ දෙල් ගහේ අතු උඩ. දෙල් ගහේ අතු වලට නැග්ගම කන්ද පාමුලින් ගලන උමා ඔය පේන්නෙ ලස්සනම ලස්සන මනාළියෙක් ගෙ වේල් එක වගේ. නැන්දලගෙ ගේ තිබ්බ කන්ද පාමුලින් තමයි උමා ඔය ගැලුවෙ. කඳු දෙකක් අතර මැද්දෙන් සීරුවට ගලන උමා ඔයේ සද්දෙ හරියට සිංදුවක් වගේ. 

මොහොතක් පොඩි අපි හැමෝම නිහඬ වෙලා උමා ඔයට කන් දෙන එක ඒ කාලෙ අපි කරපු සෙල්ලමක්. ඒක පුදුමාකාර ලස්සන සංගීතයක්. වටෙන්ම ඇහෙන කුරුළු හඬ , බල්ලෙක් ගෙ බිරුමකට උත්තර දෙන රතු වැස්සි ගෙ උම්බෑ හඩ , කොහේ හරි ගේක දර කොටයක් පලන හඬ එක්ක උමා ඔය ගලන හඬ ඒ මැදින් තව ගේක දරුවෙක් අඬන හඬ..... මේ හැම හඬකම සම්මිශ්‍රණයක් තියන තැනකින් එන්නේ මොසාර්ට් ගෙ සංගීතයකින් එනවා හා සමානම වූ දිව්‍යමය සංගීතයක හඬ. 

දැන් හවස වෙලා..... ගෙට එනවද නැද්ද රිලා රොත්ත ගහෙන් බැහැලා නැත්තම් කෝට්ටක් අරන් එන්නද මම.. ඒ අපේ අම්මගෙ හඬ. අම්ම හිතන්නේ අම්මගෙ ඉස්කෝලෙ ළමයි වගේ අම්මගෙ බොරු කෝටුවේ කතාවට අපිත් බය වෙලා ගහෙන් බහීවි කියල. අම්මගෙ බොරු කෝටුවට බය නැති වුනාට එහෙම මෙහෙන් කැරකි කැරකි විදින මදුරු කරදරේ නිසාම ගහෙන් බහින්න හිත හදාගන්නෙ අමාරුවෙන්. අපි දෙල් ගහෙන් බහිනකොට ඊගාවට දෙල් ගහට එන්නේ රැහැයියො එක්ක වවුල්ලු රංචුවක්. ගහට නම් නිවනක් ඇත්තෙම නෑ කන් කරච්චලේම විතරයි. මොකද ඉතින් ළමයි කියන්නෙත් රැහැයියො වගේම සද්දෙ දාන කාණ්ඩයක් නෙ. 

ගහෙන් බැහැල එන අපි ඊගාවට නතර වෙන්නෙ පීල්ල ගාව. සීතල වතුරෙන් අයියල අක්කල ඇඟ පත හෝදගන්නකොට නැන්දා මා වෙනුවෙන් උණු වතුර එකක් උස්සන් එන එක ඒ කාලෙ නැන්දා ආදරෙන් කරන දෙයක්. මොකද ඒ දවස් වල අපේ අයියල කීවෙ ඇඬිවතීට සෙංගෙඩි හැදෙන්න බෙංගාල බොක්ක කැළඹුනාම ඇති කියල. සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව නොහදෙන මට හැමදාමත් හැදෙන්නෙ සෙම්ගෙඩි එක්ක එන උගුරෙ අමාරුව විතරයි. ලොකු අය පොඩි අයව හෝදල ගොඩින් තියනව ඇඳුම් ඇඳගන්න කියල. ඇඳුම් ඇඳගන්න පිළිවෙලට මාමා උස්සගෙන ගිහින් ගේ ඇතුලෙන්ම තියනව වැඩි පරිස්සමට. මොකද මේ බටු රෑන ඊගාව මොහොතේ අඳුර එක්ක ආයම මඩකට පනින්න වුනත් පුලුවන් කියන ඉව එයාලට තියන නිසා. 

හෝදල තුවායකින් ඔතාගෙන උස්සන් ගිහින් මාව අම්මට බාර දුන්නම අම්මා කරන්නෙ ක්‍රීම් පවුඩර් ගාන එක. හෝදන වෙලාවෙත් එහෙ මෙහෙ රිදුම් දෙන සීරීම් තුවාල දරාගෙන හිටියට අම්මා ක්‍රීම් ගානකොට නම් කඳුලු වක්කරනව බොරුවටත් එක්කම. ඔන්න එතකොට අම්ම බනින්නෙ "නටනකොට සිහියක් නෑනෙ, දැන් තමා සිහිය එන්නෙ " කියල. ඊගාවට තියෙන්නෙ නැන්ද හදම රසම රසම රස ගමේ කෑම කන්න ..... 

මතු සම්භන්ධයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 


No comments:

Post a Comment