කඳුකරේ මතක 03
මොන ගල් කැටද ?
අම්ම අහන්නේ මාව දවා අලු කරන්න පුලුවන් බැල්මක් එක්ක. අනේ අම්මේ ගල් කැට ඕනා... මං කියන්නෙ අඬන්න ඔන්න මෙන්න මූණෙන්.
අම්මා බොරු කේන්තියක් අරන් , කී ගමනක් කීවද ඊයෙ මම, ඉස්කෝලෙ වැඩ බලන්න කියල. මෙලෝ සිහියක් නෑ. ගස් ගල් අස්සෙ බඩ ගෑවම හරි බල්ලත් එල්ලගෙන.. යංකො අද ගෙදර .. අල්ලගන්න මම... ආ මෙන්න ගල් කැට.. මට සිහියක් තියන නිසාම හොඳයි කියලා අම්ම කියන ගමන් කල් කැට මල්ලක් මගේ අතින් තියන්නේ තමන්ගෙ එකම දුවගෙ සිහි කල්පනාව ගැන ඕනවටත් වඩා තමන් දන්න බව සිහිපත් කරන ගමන්.
අම්මගෙන් ගල් කැට මල්ල අරන් පන්තියට ගියාට මොකද කොහොමත් හිටි ගමන් නැතුව යන මගේ සිහිය ආපහු එන්න කියල සෝමා ටීචර් කරන්නෙ විනාඩියක් එලියෙ හිට්ටවන එක. ඒ විනාඩියෙ මම කරන්නෙ පන්ති මිදුලේ ලොකුවට බලි චිත්‍ර අඳින එක..
තමන්ගේ යෙහෙළියගෙ දුව ඊගාව මොහොතෙ මිදුලේ කරන්න පුලුවන් වැඩ කන්දරාව ගැන ඉවක් තියන සෝමා ටීචර් මාව පන්තියට ගන්නේ ආය එහෙම ඔහොම වැඩ කරන්නෑ කියන පොරොන්දුව එක්ක. ඔන්න පාඩම් වැඩ ඉවර වුනාම ඊගාවට එන්නෙ ඉන්ටවල් එක.
හැමදාමත් මට ඕන වුනා ඉන්ටවල් එක වෙලාවෙදි ඉස්කෝලෙ පිට්ටනිය පාමුලින් ගලාගෙන යන උමා ඔය අත්තේ කකුල් දෙක පොඩ්ඩක් තෙමා ගන්න. ඒත් කවමදාකවත් කරන්න බැරුව ගිය හීනයක් විදියට ඒ ආසාව අදටත් මගෙ හිතේ තියෙන්නෙ ආයම කවදාවත් පිට්ටනිය පාමුලින් ගලාගෙන නොයන ඒ උමා ඔය වතුරෙම මගේ හීනෙ බොඳ කරමින්. මොකද උමා ඔය හැරවීමත් එක්ක දැන් ඒ අතු ඔය ගලන්නෙ නැතිම තරම්..
මගේ මේ ආසාව ගැන ඉවක් තිබ්බ අම්මා කරන්නේ ගුරු කාමරේ ඉඳන් දෙතුන් පාරකට ඔලුව දාලා එක වසර මිදුලේ අනිත් පුංචි බටු ඇට එක්ක තමන්ගේ නාහෙට නාහන බටු ඇටේ ඉන්නවද බලන එක. ඊගාවට ඉතින් ආයම පන්තියට. දූවිළි පුරෝගෙන. හරියට හත් අවුරුද්දකින් වතුර පොදක් දැකල නැති ළමයි ටිකක් වගේ ළමයි ටිකක් තමයි හැමදාමත් ඉන්ටවල් එකෙන් පස්සෙ පන්තියෙ හිටියෙ.
එක වසර ඉස්කෝලෙ කාලෙ හැමදාමත් ගෙවුනෙ ඔහොම. එකම වෙනස ඉඳ හිට දවසක සෝමා ටීචර් ඉස්කෝලෙට ගේන්න කියන දේවල් මතක තියාගෙන අරන් යන එක විතරයි. ඒ කාලෙදි නම් අපේ අම්මයි සෝමා ටීචර් යි කීවෙ , අම්මෝ..අද වහීද මන්දා... කියල ඒ වගේ දවස් වලට.
ඒ කාලෙ තමයි ජේවීපී කළබල පටන් ගත්තේ. පාරවල් පුරා මිණී කඳු , ටයර් තිබ්බේ..
ඒ කාලෙ මතක අදටත් මාව සීතල කරවන්න පුලුවන් කීවොත් මම හරි. හැබැයි රසබර දේවලුත් නොවුනාම නෙමෙයි ඒ කළබල අස්සෙත්...
©️ප්‍රභානී තෙන්නකෝන්.
මතු සම්භන්ධයි.
No comments:
Post a Comment