Thursday, 28 May 2020

කඳුකරයේ මතක 02

කඳුකරේ මතක 02


අම්මාගෙ සද්දේ වහලේ උඩ යන්න තරම්.. තාත්තගෙ තුරුලෙ ඉඳන් අන්තිම බිස්කට් එක පය පාමුල දැවටෙන කිටීට දීලා කිරි ජොග්ගුව බීගෙන බීගෙන යන මම අම්මා දිහාවෙ බලන්නේ ඇස් දෙක ලොකු කරගෙන අඬන්න ඔන්න මෙන්න මූණක් හදාගෙන. ඒ කපටි කමට. 

හැමදාම කියනව අයියලව අවුස්සන්න එපා කියල. කොච්චර කීවත් කරන්නෙම ඒක. තාත්තා තමයි මෙයාව නරක් කරන්නේ. කෝ යන්න මූණ හෝදන්න..  අම්ම කෑ ගහන්නේ අහල පහලටත් ඇහෙන්න. එතකොටම කොහෙදෝ ඉඳන් දුවගෙන එන චන්ද්‍රානි අක්කා මාවත් වඩාගෙන එක්ක යන්නෙ මූණ හෝදන්න. කලින් ලෑස්ති කරල තිබ්බ උණු වතුරෙන් මූණ හෝදවල ආපහු වඩාගෙන එන්නෙත් අක්කමයි. ඒ නම් වැඩියෙන්ම බිම තිබ්බොත් ටොමී බලන්න දුවලා ආයම හෝදන්න වෙයි කියන බයට. 

ටොමී කීවේ අපේ බල්ලට. මම දැක්ක ආදරණීයම බල්ලා තමයි ටොමී. තාත්තා මාස ගානක් රුසියානු සංචා‍රයක ගිහින් හිටි කාලෙ මගේ හැම අඬෝවැඩියාවක්ම ඇහුවේ ටොමී. කන් දෙන වන වන මං කියන ඔක්කෝම අහන් ඉන්න ටොමී ඊගාවට කරන්නේ මගේ මූණ ඉඹින එක. මං අදටත් හිතන්නෙ ටොමී ට මම කියන ඔක්කෝම තේරුනා කියලා.මොකද ටොමී මා දිහා බලන ඒ ආදරණීය බැල්මෙ හැමදාමත් තිබ්බේ බබාට මම ඉන්නවා කියන හිතවත්කම. 

චන්ද්‍රානි අක්කගෙ තුරුළෙ වහං වෙලා කාමරේට එනකොට තාත්තා කච්චේරි යන්න ලෑස්තියි. එතකොට තාත්තා වැඩ කරේ නුවරඑළියෙ කච්චේරියෙ. තාත්තා හැමදාමත් ඇන්දේ කිරි සුදු නැෂනල් සූට් එක. තරුණ කාලෙ ඉඳන්ම කොමියුනිස්ට් වාදියෙක් වුන තාත්තා අදටත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන ඕනෑවටත් වඩා වද වෙන කෙනෙක්. ඒ ප්‍රතිපත්ති නිසාමද මන්දා තාත්තා කිසිම වෙලාවක එයාගෙ ඇඳුම් පිළිවෙල වෙනස් කරේ නෑ. අවම විදෙස් සංචාරයකදිවත් ! 

තාත්තා කලින් දා වරුවක් තිස්සේ එකම එක ඉරක් වත් නැතිවෙන්න මැදල තිබ්බ සුදු සූට් එක ඇඳගෙන ඒ කිසිම දෙයක් ගැන වද නොවී එයාගෙ මැණික වෙච්ච මාව වඩාගෙන ඉඹල තමයි හැමදාමත් වැඩට ගියේ. ඔන්න ඊට පස්සෙ එන්නෙ ඇඳුම් යුද්දෙ.. 

චන්ද්‍රානි අක්ක තමා මාව අන්දන්නෙ ඒ කාලෙ හැමදාම. සුදු ගවුම අන්දන්නෙ අන්තිමටම. එක මේස් එකක් දාලා අනිත් මේස් එක දාන්න මාව අල්ලන්න හැමදාමත් අක්කා ඇඳ පුරා ගේ පුරා කෑ ගහ ගහ දුවපු කාලයක් ඒක. අන්තිමේ කොහොම හරි අතින් ඇදගෙන ඇවිත් ඇඳුම් අන්දල ඉවර වෙනකොට අම්මා සාරියත් ඇඳගෙන ඉවරයි. ඔන්න ඊගාවට අම්මගෙ අතින් අල්ලගෙන යන්නෙ ඉස්කෝලෙට. 

ඒ පොඩිම කාලෙ මම ගියේ අම්ම එක්ක අම්මා උගන්නපු ඉස්කෝලෙට. ඉස්කෝලෙ තිබ්බෙ සොහොන් පිටියට මායිම්ව. ඉතින් කලින්දා කාගෙහරි මරණයක් භූමිධාන කරල තිබ්බොතින් එහෙම ඉස්කෝලෙ යෑම පැත්තක තියලා මට ඕන වෙනවා කැලෑ මල් කඩාගෙන අර අලුත් මිණීවල වහපු පස් ගොඩැල්ලෙ ඒ මල් අතුරලා ඒ මැරුණ කෙනා එක්ක කතා කරන්න. එයා වල ඇතුලේ සනීපෙන්ද කියලා අහන්න. යන්තම් අකුරු පුළුවන් දා ඉඳන්ම ලස්සන වසීලිස්ස පොතට වහ වැටිලා හිටි නිසාම මට ඕන වුනේ ඉවාන් එයාගෙ තාත්තා එක්ක කතා කරා වගේ මැරුණ අය එක්ක කතා කරලා දුක සැප අහන්න. ඒක ටිකක් විකාරයි වගේ නම් තමයි. ඒත් අදටත් මම ඒ දේට හරිම ආසයි. සොහොන් පිට්ටනි වලට ගිහින් ඒ නිස්කලංක පරිසරේ ඉඳන් සොහොන් කොත් ගාවට වෙලා කියව කියව ඉන්න. මගේ මේ විකාර ඉවසන්නම බැරි වෙනකොට අම්ම කරන්නේ බලෙන්ම මාව ඇදගෙන ඉස්කෝලෙ ඇතුලට යන එක. 

ඊට පස්සෙ අම්මා අම්මගෙ පන්තියටත් මාව මම හිටිය පන්තියටත් දාලා මටත් ඇහෙන්නම මගේ පන්තියේ සෝමා ටීචර් ට , "ඔන්න වැඩ කරේ නැත්තම් අර තඩි වේවැලෙන් දෙන එකයි තියෙන්නෙ පස්ස රත් වෙන්නම , ඊයෙත් එක පොතක් අතින් අල්ලන්නෙ නැතුව නැටුව දවසම " කියාගෙන තමයි යන්නෙ. හැබැයි කවමදාකවත් සෝමා ටීචර් ඒ අම්මා කී තාලෙට මට ගැහුවෙ නෑ. මට තියා පන්තියෙ වෙන කාටවත් ගහපු බවක් ගැන මට මතකයකුත් නෑ. 

ඔන්න ඊගාවට අපේ පංති වැඩ පටන් ගන්නව. කෝ ගන්න බලන්න ගේන්න කීව ගල් කැට ටික....... 

ගල් කැට..... ඔන්න එතකොටයි මට මතක් වෙන්නෙ ගල් කැට. ඒ වෙලාවට මට මතක් වෙන්නෙම එහා පන්තියෙ ඉන්න අම්මව. අම්ම ඉගැන්නුවෙත් එක වසරට. අම්මගෙ බලවත් ඉල්ලීමට තමයි මාව අනිත් පන්තියට දාල තියෙන්නෙ. ඔන්න ඉතින් ගල් කැට ගැන එවෙලෙ අහපු ගානට ඇස් දෙක ලොකු කරන් පුටුවෙන් නැගිටින මම ... 

ටීචර්... මගෙ ගල් කැට අම්මගෙ බෑග් එකේ... මං ඒක අරන් එන්නම්.... කියනවා.. 

සෝමා ටීචර් මා දිහා බලන්නෙ අවිස්වාස හැඟීමෙන්.. ඒත් හා හා ඉක්මනට ගිහින් අරන් එන්න.  ඉ ක් ම න ට...  අන්තිම ඉක්මනට එක කියන්නෙ බර කරල.. 

ඔන්න මම අම්මගෙ පන්තිය ඉස්සරහා.. ඒක හරිම තීරණාත්මක මොහොතක්.. හරියටම කියනවනම්, විත්ති කූඩුවේ ඉඳන් නඩුකාර උන්නාන්සෙ දිහා බලා ඉන්නව වගේ හැඟීමක්.. 

මූණට නගා ගන්න පුලුවන් බයාදුම බැල්මෙන් මම අම්ම දිහා බලනවා.. 

අම්මේ....... 
අම්මේ... ගල් කැට.... 

©️ප්‍රභානී තෙන්නකෝන්. 

මතු සම්භන්ධයි.




No comments:

Post a Comment