කඳුකරේ මතක 05
අපි උදේම නැගිටලා යන්න ලෑස්‍ති තාත්තලගේ ගමේ. අවුරුදු නෑගම්. අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 6 ක් වගේ ඈත. ඒ ගම පුදුමාකාර ලස්සන ගමක්. ඉස්සර අපි පොඩි කාලේ ඒ ගමට යන්න බස් තිබ්බෙ නෑ. අපිට පුද්ගලික වාහන තිබ්බෙත් නෑ. ඉතින් අපි යන්නේ බණ්ඩාරවෙල - ඇටම්පිටිය බස් එකේ මගක් ගිහින් දියවුන්නාව හන්දියෙන් බැහැලා ඉතුරු ටික කතා බස් එකෙන්. දියවුන්නාව හන්දියෙ ඉඳන් තාත්තගේ ගමට යන්න මයෙ හිතේ අඩුම කිලෝමීටර් තුනක් වත් තියෙන්න ඇති. වාසනාවට වගේ එළවලු ගෙනියන ලොරියක් හම්බුනොත් මිසක් වෙන නම් වාහන ගියෙ නෑ ඒ පාරවල් වල ඉස්සර. මොකද පාරවල් කීවට ඒවා නිකං ගල් ගොඩැලි වලවල්.
හැබැයි ඉතින් පොඩි අපිට ඒ පාර තමයි දිව්‍යලෝකෙ යන පාර. මොකද මග දිගට ගඩාගෙඩි. තාත්තගෙ ගමේ හිටියේ තාත්තගෙ අයියා ඒ කියන්නෙ අපේ ලොකු තාත්තයි , තාත්තගෙ එක නංගි කෙනෙක් , ඒ කියන්නෙ අපේ නැන්දයි විතරයි සහෝදර සහෝදරියො විදියට. ඒත් ඉතින් හරියට බැලුවම මුලු ගමම නෑයො තමයි. එක පැත්තකින් ඈතින් නමුණුකුල පේනකොට අනිත් පැත්තෙන් පෙනුනේ පිදුරුතලාගල කඳු වැටිය. ඒ දෙක අතර මැද ස්ලීපින්ග් සෝල්ජර් කඳු වැටිය. ඉස්සර අපි ආසම වැඩේ නිදා හිටිය හමුදා සොල්දාදුවගේ අත් කකුල් තුවක්කු බඳ හොයන එක.(ස්ලීපින්ග් සෝල්ජර් කඳුවැටිය ) එක්කෙනෙක් ඔලුව හොයාගන්නකොට තව එක්කෙනෙක් කකුල හොයාගන්නව. මං හැමදාම හොයාගත්තෙ තුවක්කු බඳ. ඒක තමා ලේසිම මොකද ඒක තිබ්බෙ අර තඩි බඩ ගාවනෙ.
දියවුන්නාව හන්දියෙන් පටන් ගත්තම ඔන්න ඊගාවට හම්බවෙන්නෙ පොඩි කන්ඳක්. ඒ කන්ද නැග්ගම ඔන්න තියනව නෑදෑ ගෙයක්. ගෙයක් කීවට එතනම ගෙවල් තුන හතරක්. ඔය හැම ගේකටම ගිහින් කතා කරලා තේ බීලා යනකොට ඉතින් කොහෙද මහන්සියක් ? ඒ ගෙවල් වලින් එක ගෙයක් අයිති මඩුවෙ මාමට. එහෙම කීවෙ එහෙ ලොකු ලී මඩුවක් තිබ්බ නිසා. පොඩි අපිට පොඩි පොඩි ලී කැට මල්ලක් හමබවෙනවා එහෙන් හැමදාම. මම නම් යතුගාල පැත්තක් කරල තිබ්බ ලී පතුරුත් ඉල්ලගන්නව. මොකද මට ඒවයින් ලස්සන මාල හදන්න පුලුවන් අපේ කිටීගෙ බඩ වටේ දාන්න. ලස්සන කැරලි ගැහුන ලී පතුරු.
මඩුවෙ මාමලගෙ ගෙදරට උඩහින් තිබ්බේ ඩිපෝවෙ බාප්පගෙ ගෙදර. ඩිපෝවෙ බාප්ප කීවෙ ඒ බාප්ප වැඩ කරේ බණ්ඩාරවෙල ඩිපෝවෙ නිසා. අපි නෑයන්ට නම් දාල තිබ්බෙ එහෙම ඉස්සර. එහෙ හිටියෙ පිරිමි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් අයියා අනිත් කෙනා මගේ වයස. දුවෙක් නොහිටපු නිසාද මන්දා ඒ බාප්ප හරි ආදරෙන් මාව උඩටම උඩටම උස්සල පහල කඳු පෙන්නනව මට තාම මතකයි. අයියලව ඒ තරම් උඩට උස්සන්න බෑ බාප්පට. අයියල නම් ඒ කාලෙ කීවේ , අපෝ ඇඬිවතී බත් කන්නැති නිසා පුළුං වගේ කියල. සමහරවිට ඇත්තටම ඒකෙ ඇත්තක් තියෙන්න ඇති.
ඒ ගෙවල් වලින් තේ බීලා අපි ගෙනා තැගි ඒ ගෙවල් වලට දීලා ඊගාවට අපි ආපහු පටන් ගන්නව ගමන. පාර දිගේ , දිගට දිගේ ගමන.. මගක් යනකොට මගේ පුංචි කකුල් රිදෙන්න ගන්නව. ඔන්න එතකොටම මට මතක් වෙනවා මැල්ලුම් නොකෑ බව , මාලු නොකෑ බව , බත් ටික කිටී කෑ බව.එතකොට කරන්න පුලුවන් හොඳම දේ මොකක් කියලද ඔයාල හිතන්නේ ? මගේ කකුල් රිදෙනව කියන එකද ? නැත්තම් මාව වඩාගන්න කියන එකද ? අපෝ නෑ , අර දූවිලි මඩ පිරුන පාර මැද එහෙම්මම බිම වාඩි වෙලා අඬන්න පුලුවන් තරම්ම හයියෙන් අඬන එක , හරියට අර වසීලිස්ස එකේ වසීලිස්සා බාබායිගා යකින්නගෙ ගෙදරින් පැනල ගිය බව දැනගෙන යකින්න බිරියෝසා ගස් වලට බැන බැන කෑ ගහපු තාලෙට. ඔවු ඒ තරම්ම හයියට..
අම්මේහ්හ්හ් අනේ අයියගේ කකුල ඇවිත් මගෙ කකුකල ගහලා දැන් මගෙ කකුල කැඩිලා..අයියෝ මම පයින් යන්න හිතාගෙන ආව ගමන.. අනේ දැන් මං කොහොමද නැන්දගෙ රස බත් කන්නෙ. මං දැන් මැරෙන්න යන්නෙ..
කකුලක් කැඩිලා කවුරුත් මැරණ බවක් කොහේවත් සඳහන් වෙලා නැතත් , අයියා මීටර් ගානක් ඉස්සරහින් ඉන්නකොට කකුල විතරක් ඇවිත් මගේ කකුල කඩන්න ඉඩක් නැති බවත් දන්නවා වුනත් තාත්තා කරන්නෙ අර පාර මැද වාඩිවෙලා පස් කකා අඬන තමන්ගෙ එකම දූ සිඟිත්තව කර උඩින් වාඩි කරගන්න එක. අන්න එතකොට තමා මට දැනෙන්නේ තාත්තා මට වඩා කොච්චරක් උසද කියන එක. මීට කලින් මට වඩා උස මානා පඳුරුත් දැන් මට වඩා කොටට පේනකොට ඈතම ඈත පේන ගම පාමුල උමා ඔයත් මට හිනා වුනා හරිම ලස්සනට. සමහරවිට උමා ඔයට හිනා ගියා වෙන්නත් පුලුවන් මේ පුංචිත්තිගේ කපටි කමට.
ඔන්න ඉතින් අපි පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන යනකොට ඊගාවට අපිට හම්බවෙන්නෙ දන්සල් තැන්න. ඒ තමයි ගමේ කඩ මන්ඬිය තියන තැන. එතන ඉඳන් පහලට තියෙන්නෙ ලොකු තාත්තාගෙ මායිම. එයාගෙ රාජධානිය. දන්සල් තැන්නෙන් පහලට එනකොට තියෙන්නෙ යෝධ අඹ ගහ. අපි පස් දෙනාම වටේ වලල්ල වගේ හැදිලා ඒ ගහ බදාගන්න ගියත් බදන්න බැරි තරමට ලොකු යෝධ අඹ ගහ. එතනින් පහලට පඩි පෙල..
පඩි පෙලේ මැදක් යනකොට තියන ඒ දන්ඬෙන් පැන්නම මෙන්න තියනව ලොකු තාත්තගෙ ගෙදර. අක්කල නංගිල හතර දෙනෙක්ට එක අයියෙක් හිටියා ඒ ගෙදර. ලොකු අම්ම හදන රසම රස තේ එක බීලා ඉවර වෙනකොට ඔන්න ලොකු තාත්තා කෑ ගහනවා , යන්නෙ හෙම නෑ පිස්සො වගේ මිණිරං අහුලන්න. අදත් නයා ගියා ඒ පැත්තෙන්.. කියල. පොඩි කමටවත් කට තියාගෙන ඉන්න බැරි මම , ඔකුතාත්තෙ ඒ නයා මා එක්ක යාලුයි.. කියනව.
යාලු පෙනෙයි පෙනේ ගැහුවම.. ඒ තමයි ලොකු තාත්තගෙ උත්තරේ. හැබැයි ඒ නය ඇත්තටම දැක්ක හැම වතාවකම අපිව මගැරල ගියා මිසක් කවදාවත් අපිට පෙනේ පිප්පුවෙ නැති බව නම් මට හොඳටම මතකයි..
ලොකු තාත්තගෙ වචන ගැන කිසි තැකීමක් නැති පොඩි අපි රොත්තම යන්නේ නෙල්ලි ගහ ගාව මිණිරං අහුලන්න..
ලස්සන මිණිරං පතුරු එකතු කර කර අපි දාගන්නව මලු වලට. ඊට පස්සෙ නෙල්ලි ගහේ..
නෙල්ලි ගහෙන් බැහැලා ඊගාවට........
මතු සම්භන්ධයි.
©️ප්‍රභානී තෙන්නකෝන්.
No comments:
Post a Comment