Thursday 28 May 2020

කඳුකරයේ මතක 06

කඳුකරේ මතක 06


නෙල්ලි ගගේ කොළ ටිකත් එක්කම හූරගෙන එතනින් බහින අපි ඊගාවට යන්නේ කරාඹු ගස් දෙක මැද්දෙන් වෙරළු ගහට. ඒ ගහේ තිබ්බෙ මස් වෙරළු. මස් වෙරළු කීවේ ඒ ගෙඩි ගොඩක් ලොකු නිසා. ගල්, පොළු වලින් ගහලා අපි වෙරළු කඩනකල් චන්ඩි අක්කා යනවා ලුණු කැට අරන් එන්න. පොල්කට්ටක් පිරෙන්න අරන් එන ලුණු කැට එක්ක අපිට පුලුවන් දවසම වුනත් වෙරළු කන්න. ඒත් එතකොට අපිට පේන්නෙ මෙහෙ එන්න බබාලා කියල අඬ ගහන ජම්බෝල ගහ. අර ලුණු කැට එක්ක ජම්බෝල රේණු හැපෙනකොට දිවට දැනෙන්නෙ දිව්‍යලෝකෙ ‍රස. 

ඔන්න එතකොටම ලොකු අම්මා අපිට කතා කරන්නෙ කන්න එන්න කියන්න. ඒත් කෝ කන්න බඩේ ඉඩක් ? ඒත් ඉතින් එහෙන් මෙහෙන් බත් කටක් දෙකක් බඩට දාගන්න අපි ඔක්කොම අම්මලට තාමත් කෑම මේසෙ ඉන්නකොට, 
" අපි යනවෝ පහල, අපි යනවෝ නායගොඩේ " කියාගෙන පහලට බහින්න පටන් ගන්නව. ඒ තමයි නැන්දලගෙ ගෙදර. මට අදටත් බාලි වල ෆොටෝ එකක් පේන වාරයක් පාසා මතක් වෙන්නෙම නැන්දලගෙ ගෙදර. ඒ පරිසරය තරම් හිත නිවන භාවනාවක් තවත් නැති තරම්. 

ලොකු තාත්තලගෙ ගෙදර ඉඳන් ඒ වත්ත මැදින් පහලට බහිනකොට ඉස්සෙල්ලම හම්බවෙන්නෙ ඇල. ඇලක් කීවට ඒක ලොකුම ලොකු ලොකූ ඇලක්. බැස්සොත් මං නම් යටවෙන තරම් ඒ කාලෙ වතුර. ලොකු තාත්තලගෙ ගෙදර ළමයි පස් දෙනයි අපි තුන් දෙනයි ඇල බැම්මෙ ඉඳන් ඉස්සෙල්ලම කරන්නෙ අර ඇලට කකුල් දාල වතුරෙ සීතල බලන එක. ගෙදරින් එනකොට බෝනික්කියෙක් වගේ අන්දගෙන ආව දැරිවි ව දැන්නම් පේන්නෙ කිතුල් මල් රෑන් කඩ කඩ විරිත්තන රිලා පැටියෙක් ගානට. ලස්සන ලේස් අල්ලපු මේස් දාල ඊට පස්සෙ සපත්තු දාපු කකුල් වලින් බාගෙකම තියෙන්නෙ මඩ. සපත්තු ඒ වෙද්දි තියෙන්නෙ අත් වල. මේස් තියෙන්නෙ අයියගෙ කලිසම් සාක්කු වල. 

පුංචි නිරුවත් දෙපා වල ගල් කැට ඇනෙනකොට චන්ඩි අක්ක කරන්නෙ එයාගෙ සෙරෙප්පු දෙක මට දෙන එක. ඒ තමයි සහෝදරත්වයේ ලේ බැඳීම. පොඩි රිලා රෑනක් වගේ ගම දෙවනත් කරගෙන කෑ ගහ ගහ අපි පහලට යනකොට අපිට හම්බවෙන ගමේ මිනිස්සු අක්කලගෙන් අහන්නේ , "ආ නෑයො ඇවිල්ලා නේද ? මේ අපේ ඇටම්පිටියෙ කච්චේරි මල්ලිගෙ දුව නේද ? අනේ දැක්ක කල්, තාම ඒ ගානමයි නෙ" කියල. ඒ කියන්නෙ මාව ඒ මිනිස්සු අවසානෙට දැක්ක දාත් මම හිටියෙ ඒ ගානට බව. 

වාසනා අක්ක තමයි ඒ පවුලෙ අහිංසකම. චන්ඩි අක්කා නම් නම වගේමයි. වාසනා අක්කට කලින් කට දාන චන්ඩි අක්කා "අනේ නැන්දෙ ආං අරහෙ හරක් ඇලට පැනල නානවා , නැන්ද මෙතන කියෝනකොට " වගේ කතාවක් කියන්නෙ වාසනා අක්කගෙ එරවිලි ගානකට වත් නොගෙන. ඔහොම අපි ඇල කණ්ඩිය දිගේ ටිකක් යනකොට හම්බවෙන පඩිපෙලේ පහලට බහිනව. පඩිපෙලට සමාන්තරව එහා පැත්තෙන් ඇලේ වතුර කොටසකුත් දිය ඇල්ලක් වගෙ වැටෙනව. ඇල්ලට එපිට ගස් වල ඉන්න රිලා පැටවු අපිට විරිත්තනව. අපිත් උන්ට විරිත්තනව. 

පඩිපෙලේ පහලට බැස්සම ආය හම්බවෙන්නෙ තව පොඩි ඒදණ්ඩක්. ඒකෙන් පැන්නම පේන මානෙම තියෙන්නෙ කුඹුරු යාය. කඳුකරේ වගා කරන්නෙ හෙල්මළු ක්‍රමයට නිසා දවස් ගානක් වුනත් බලා ඉන්න පුලුවන් තරම් ලස්සනක් තමයි ඒ කුඹුරු යායෙ තිබ්බේ. කුඹුරු යායේ එහා කෙළවරේ තියෙන්නෙ නැන්දලගෙ ගෙදර. මෙහා කෙළවරේ ඉන්න අපි කෑ ගහන්නේ එහා කෙළවරට ඇහෙන්න. " සී අක්කෝ අපි එනවෝ.. මගට එන්ඩෝ... මාව උස්සං යන්ඩෝ.. මාමට එන්ඩ කියන්ඩෝ.. කූඩැල්ලො එනෝ.. "  

සී අක්කා කීවේ නැන්දගෙ දුවට. එයාට ගෙදරට කීවෙ සීගිරි කියල. අපි කීවෙ සී අක්ක කියල. ඒ අක්කා අපේ ලොකු අයියගෙ වයස. අයියල අක්කට කීවෙ කටුස්සි කියල. ඒ කෙට්ටු නිසා. අක්කල අපේ ලොකු අයියට කීවෙ කණ්නාඩි පොළඟ කියල. ඒ අයියා කණ්නාඩි දාපු නිසා. පොඩි අයියට නම් කාලෙන් කාලෙට කටට ආව ආව නම් කීවා. කාලයක් ගිණි පරයා කියලත් කීවා මානා ලන්දකට ගිණි තියලා. තවත් කාලයක් දෙඹර පොඩ්ඩා කීවා , ඒ නම් දෙඹරෙකට ගල් ගහලා දෙඹරු කළගුණ සලකන්න ඇවිත් නිසා. 

අපි මේ පැත්තෙ ඉඳන් කෑ ගැහුවම අපි එනකල් ඒ පැත්තෙ ඉඳන් බලා හිටිය සී අක්කලා " ඔහොම ඉන්ඩෝ අපි එනෝ" කියල මගට එනව. එයාල එනකල් නොයිඳ අපි කුඹුරෙ නියර දිගේ මගට යනව. නියරෙ හරි ගානට අඩිය තියල නොවැටී යනව කියන්නේ කලාවක්. පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් මඩේ. කුඹුරු වේල්ල කණ්ඩියේ හදල තියන පිපිඤ්ඤා වල පොඩි ගෙඩි කකා තමයි අපි යන්නෙ. පිපිඤ්ඤා විතරක් නෙමෙයි ලඟ පාත්ති වල තියන කැරට් පවා අපි ගලවගෙන නියර අයිනෙන් යන වතුර පාරෙ හෝදගෙන කනවා. ඒවයෙ තිබුනේ පුදුමාකාර රසක්. 

අපි මගට යනකොග මාමා යි අක්කයි හම්බවෙනවා. එහෙන් මෙහෙන් මඩ ගෑවිලා ඌරු පැටික්කියෙක් වගේ ඉන්න මාව පුළුං පොදක් වගේ උස්සල අරන් මාමා කරේ තියාගන්නේ කූඩැල්ලො මාව කාවි කියන බයට. ඔන්න ඊට පස්සෙ අපි යනව එක පෙළට නැන්දලගෙ ගෙදරට. නැන්දලගෙ ගෙදරට කලින් හම්බවෙන්නෙ පීල්ල. අපි කරන්නෙ ඉස්සෙල්ලම එතනින් මූණ අතපය හෝදගන්න එක. සීතලම සීතල වතුර. ඊට පස්සෙ නැන්දලගෙ ගෙදරට.. 

නැන්දේ අපි ආවෝ..... හකුරු බෝල දෙන්ඩෝ... 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 




No comments:

Post a Comment