Tuesday, 21 January 2020

අපි රැවටෙන මිනිස්සු

උපන්දා ඉදන්ම අපි රැවටෙන්න කැමති මිනිස්සු... 



ඒක පුද්ගලිකව පමණක් නොව ජාතියක් ලෙසම අපි රැවටෙන්නට කැමති මිනිසුන් වෙමු. උපන්දා සිටම දැන දැනම අපි රැවටුන වාර අනන්තය අප්‍රමානය. පුංචිම කාලෙ ඉඳන් පටන් ගත්තොත් ඒක මෙහෙමය... 

කට්ට කලු ළමේක් වුනත් ආස අනේ සුදු බෝලෙ කියනවාටය.. ඉතින් එවැනි ළමේකුට සුදු බෝලේ කියා කරවාගතහැකි වැඩ අනන්තය.. ඕක ඉතින් මොට්ටම මොට්ට ළමේකුට අම්මෝ මෙයාගෙ දැනුම.... කියනවා වැනිය.. හැමෝම ආස රැවටෙන්නට ය.. මවාගත් ලෝකයන් තුල ජීවත් වන්නටය.. 

පොඩි එකාගේ පටන් මහ එකා දක්වාම කරන්නෙ අනිකාව ගොනාට ඇන්දවීමය.. ඒ ගැන කතා කරන්නට ගියොත් හෙට එලිවෙනකලුත් මට මේක අකුරු කරන්නට වෙනවා නොඅනුමානය. ඒ හන්දා මම මේ කියන්නට යන්නෙ ෆේස් බුක් එකේ උඩ සිට පහලට යන අතර වාරයේ දකින්නට ලැබෙන මොට්ට කතා ගැනය. 

එකෙක් ලේ වර්ගයක් හොයනා අතර තවකෙක් හොයන්නේ වකුගඩුය. ඒ එකකවත් තියෙනා දුරකථන අංක වැඩ කරන්නේ නැත. ඒ අතර වාරයේ එක එකාගේ දුක් ගැනවිලි අනත්‍තය. හචිමක් ගියත් අනිත් අයව දැනුවත් කරන්නට කටයුතු කරන්නේ ඔන් ලයින්ම බෙහෙත් කරවාගන්නට වෙන්නට ඕනෑ නිසාය. ඒ අතර වාරයේ පිං කැමති ඇත්තෝ අනුන්ට උදවු කරන්නට සැදී පැහැදී සිටිනා අතර, ආර්ථිකමය උදවු කල නොහැකි ඇත්තෝ දකින ඕනෑම ලබ්බක් ශෙයාර් කරන්නේ දෙවරක් නොහිතාය. 

වට්සැප් හරහා ශෙයාර් වන පෝස්ට් එකකට රුපියල් අච්චරක් ගානක් ඩොනේට් වෙනවාය, වයිබර් හරහා නම් මෙච්චරක් ය, අරකය මේකය කතා බොහොමය. ඔයි අතර වාරයේ මේක් ශෙයාර් නොකලොත් දින හතක් තුල මැරෙනවාමය, අසුභය කියන ඇත්තෝද, මේ ඉලවුව ශෙයාර් කරොත් ඔබේ ආදරය නිසැකව ලැබෙනවාය කියන මොට්ට ඉලවු ද මේකෙ වැහි වැහැලාය.. ඒ මදිවාට ජාත්‍යාලයෙන් මත් වුනු ඈයෝ එක්ක දැං දැං ඉහ ගහන්නටත් අමාරුය. 

ඔය ඔක්කොමත් එක්ක දැන් දැන් කාන්තාවන්ගේ දුක විකුණාගෙන කන සමූහද තිබෙනා අතර , අලුත් ම ට්‍රෙන්ඩ් එක කෝ බලන්න ඔයාලගෙ පොටෝ කී සැනින් නොදන්නා දහස් ගානක් ඉදිරියේ තමන්ගේ පොටෝව දමන්නට දෙපාරක් නොහිතනා ගැහැණුය. හැබැයි එවන් ගැහැණුම තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ තියන ෆොටෝ දාගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලිය , ප්‍රොෆයිල් පික්චර් එකට සිකියුරිටි සෙටින්ග්සුත් දමාගෙන ය. ඒත් දෙයියනේ අර දුක අහන කාන්තාවක් කෝ දාන්න ඔයලාගෙ ෆොටෝ කී සැනින් ඔහේ දමන්නේ අන්දකයිප්පු කෑ උන් වාගේය. ඔක්කොගෙම ඇත්තේ රැවටීම් ය. මේවා දකිද්දී මතක් වෙන්නේ කොසොල් රජුගේ හීන 16 ය. දැන් දැන් ඒවා ඔක්කොම වාගේ හැබෑ වී ඇති සේය. 

එක්තරා ප්‍රසිද්ධ කාන්තා සමූහයක නිර්මාතෲ ද අප හොඳින්ම දන්නා කොලු පැටවෙක් වූ අතර ඒ දුක ඇසූ අක්කාගේ ප්‍රොෆයිල් එකෙන් ඒ කාලේ ලොග් වූයේද ඒ අයියාය. ඉතින් අක්කාය කියා හිතාගෙන අපේ උන්දැලා අනේ මගේ වම් පියවුරේ පොඩි ලපයක් ඇවිත් ය කියා පොටෝවක් සමගින්ම යැවුවේ අක්කාට නොව අයියාටය. මේක එහෙවු සමාජයක් ය. අපේ උන්දැලාට ඕවා කොටා පෙවුවත් වැඩක් නැතිය. කියනා අපට කොටන්නට මන්න උස්සාගෙන එනවා මිසක කියන්නේ අහවල් දෙයක් ද කියා සිතන්නට උන්දැලාට ඕනෑ නැතිය. 

හැම සමූහයකම ගන්නට ඇති දේ වගේම මග හැර යා යුතු දේද තියනවාය. අපේ උන්දැලා කරන්නේ ගන්නට ඇති දේ මගහැර , මගහැර යා යුතු දේ බදාගෙන නැටීමය. අවසානේ වෙන්නේ එක එක අක්කලාගේ , නංගිලාගේ කියුම් බහට රැවටී ගෙදර මිනිහාගෙන් ගුටි කන්නය. අන්න එහෙම ගුටි කෑ දවසට අනේ එන්න අපේ ගෙදර කියන්නට නම් ඔය එක අක්කෙක් වත් නංගියෙක් වත් එන්නේ නැති වග අපේ උන්දැලා තේරුම් අරන් ඉන්නවානම් හොඳය. 

ලිං ගෙම්බෝ වගේ එකම තැන ඉන්නට ඕනෑ නැති නමුත් පනින්නං වාලේ ලිඳෙන් එලියට පනින එකද හොඳ නැතිය. ලිං ගැට්ටේ කොක්කුද , පිළිහුඩුවෝද , ඉනුත් නොනැවතී සර්පයින්ද ගොදුරු මානාගෙන ඉන්නා වග වටහාගෙන ඒවායෙන් බේරී ලිඳෙන් ගොඩ ආ යුතුය. එහෙම නොවුනොත් වෙන්නේ ජබොහ් ගා ලිඳෙන් එලියට එන්නට පිම්මක් පනිද්දී , හබුං කියා මොකෙක්ගේ හෝ කටකට වැටෙන්නටය. එනිසා කරනා දෙයක් පරිස්සමෙන් කරනවානම් හොඳය. රැවටී හැඬීමෙන් වැඩක් නැතිය. නොරැවටී ඉන්නට ඉගෙනගත යුතුය. 

©️ප්‍රභානී තෙන්නකෝන්.


No comments:

Post a Comment