Saturday, 25 January 2020

ලොකු අම්මා

ලොකු අම්මා...


මගේ ජීවිතය තුළ මා දුටු අහිංසකම ගැහැණිය ඇයය. ඈ මගේ අම්මාගේ අක්කාය. මීට අවුරුදු ගනනාවකට කලින් ඈ අපේ ගෙදරට ආවේ සිහි විකල් ගැහැණියක ලෙසය. එවක මට අවු. 10 ක් පමණ වන්නට ඇත. තනියම කතා කරනවා ඇරෙන්නට වෙන කිසිම දෙයක් ඈ කලේ නැත. පාසල් අධ්‍යාපනය කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හමාර කල ඇය ඉන් පසුව  රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ රැකියාව කලාය.

මීට අවුරුදු ගනනාවකට පෙර මා ඉපදෙද්දී අපේ තාත්තාට රැකියාව තිබුනේ නැත. ඒ ජූලි වැඩ වර්ජනයට පිං සිදු වන්නටය. ඒ කාලයේ බිළිඳු මාගේ සියළු වියදමත් අපේ ගෙදර වියදමත් දැරුවේ ඇයය. මගේ මතක සීමාවේ ලොකු අම්මා අපේ ගෙදර එනවා යනු අපිට නත්තල් ය. අපි තුන්දෙනාට බන්ටි ටොපී පැකට් තුනක් සමග තෑගි මලු තුනක් ඈ ගෙනෙන්නීය. ඒ දවස් සුන්දරය. වයසින් වැඩෙද්දී මට ලොකු අම්මාට මනස විකෘති වුයේ ඇයිදැයි දැනගන්නට වුවමනා විය. අම්මාගෙන් ඒ ගැන අසූවිට ඈ බොහෝ අනුවේදනීය කතාවක් කීවාය.

ඒ ලොකු අම්මා තරුණ වියේ තිබූ පෙම් පළහිලවුවකි. ඔහු බොරු කාරයෙකි. තක්කඩියෙකි. ඔහු ලොකු අම්මාව රවටා බොහෝ සේ සල්ලි ගරාගෙන මාතලේ ප්‍රදේශයේ ලොකු ගෙයක් හදාගෙනය. ආච්චි ලොකු අම්මාට දුන් රත්තරන් බඩු වලින් හතරෙන් තුනහමාරක්ම ඔහු ගෙන ගොස් ය. එපමණක් නොව සීයා ලොකු අම්මාට ලියා දුන් බොල්ගොඩ ගඟ අයිනේ පොල් අක්කරයද විකුණා සල්ලි ඔහු ගෙන ගොස් ය. ( මගෙ අම්මාගේ ගම පානදුරය) අවසානේ අපේ තාත්තා ( අම්මව බලන්නට ආ ගිය සමයේ )  සීයා හා එක්ව ඔහු ගැන තොරතුරු හොයද්දී ඔහු එවක දෙදරු පියෙක් වගට දැනගන්නට ලැබී ඇත. ඉතින් කසාද මිනිහෙකුට තවත් කසාදයක් කරගන්නට බැරිය. ඔහු කල වංචාවේ ප්‍රථිඵලය ලෙස ලොකු අම්මා තනිකඩව ඉන්නට හිතුවක්කාර තීරණයක් ගත්තාය. තනියම කල්පනා කරමින් අවුරුදු ගණනාවක් විඳවූ ඇය අවසානේ සිහි විකල් ගැහැණියක වූවාය. බෙහෙත් වලින් පලක් වූයේද නැත.

ඈ තනිව ලෝකයක් මනසින් මවාගෙන එහි ජීවත් වූවාය. එහි සනී මහත්තයා යනු ඇගේ පෙම්වතාය. ඔහු රතු කාරයකින් ඈ ගෙනියන්නට එන තුරු ඈ අදටත් දොරකඩ බලා ඉන්නීය. එදවස මට නොතේරුනද අද ඈ මගේ ඇස් වලට කඳුළු ගෙනෙන්නීය. මිනිසෙකු විස්වාස කිරීමේ දඬුවම ඈ තනිව විඳින්නීය. ප්‍රේමය ඈව අතරමංකොට හමාරය.

ඈ විටක තාත්තාට බැන්නාය. තෙන්නකෝන් ගල් මූසලයා කියමින් බනිද්දි තාත්තා ඒ පිටුපස සිට ඒවා අසා සිනාසෙනු මම බොහෝ සේ දැක ඇත්තෙමි. නිරතුරු කෝප වන අම්මා ලොකු අම්මා හා කට ගහගෙන ගියද ඒ හැම අවස්ථාවකම තාත්තා මැදිහත්ව ලොකු අම්මා බේරා ගත්තේය. එහෙත් සනී මහත්තයා පන්නා දැමුවේ තාත්තාය කියමින් ලොකු අම්මා තිස්සේම තාත්තාට බැන්නාය. තාත්තා ඒ කිසිවක් කිසි දවසක හිතට ගත්තේ නැත. තාත්තා නිරතුරුවම අපට කීවේ අපිට නැති කාලෙ ඔයාලට ලොකු අම්මා කිසි අඩුවක් කරේ නෑ. ඔයාල ඒ ගුණේ තියන්න කියාය. මෙලොව උතුම්ම තාත්තා ඉන්නේ මටයැයි මට සිතෙන්නේ එනිසාය.

සිංහල අවුරුද්දට ඈ හා ගණුදෙනු කරන අම්මාත් තාත්තාත් ඈට බුලත් කොළ වල ඔතා සල්ලි දෙන්නේය. අවුරුද්ද පසු වී මාස ගානක් ගෙවුන දාක වුව ලොකු අම්මාට කිට්ටු වී ඔක්කම්මෙ සල්ලි කීයක් වත් නැද්ද අනේ අම්ම නෑනෙ ගෙදර යැයි කී විට ඈ ඇගේ කොට්ට මෙට්ට අවුස්සා බුලත් කොළ වල එතූ 500 / 1000 කොල අපිට දෙන්නීය. ඒවා බුලත් කොලේටම දියව තිබූ අවස්තා පවා අතීතයේ තිබිණි.

මම සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වූ දා අම්මා මට කීවේ ලොකු අම්මගෙන් ඉල්ලගන්න මොනාහරි එයා ගාව තියනව එක එක ජාති කියාය. ඒ අසා මම ලොකු අම්මාට කිට්ටු වී , ඔක්කම්මේ ඔයා මට තෑගි දුන්නෑනෙ. මං විභාගෙ පාස් යැයි කී විට , අනේ ඩෝටර් මා ගාව නෑනෙ ඔයාට දෙන්න දේවල්, මං සනී මහත්තයට දුන්නනෙ ඔක්කොම. ඉන්නකො බලන්න යැයි කියා ඇගේ ඇදුම් අතරින් කුඩා පොට්ටනියක් ගෙන ලිහා එහි වූ රන් මාලයක් මා අත තැබීය. එය මම අම්මාට දුන් විට අම්මා යලි එය මටම දී ඔයා තියාගන්න මදෑ ඔහොම එකක්වත් ඉතුරු වෙලා තිබ්බා යැයි කීවාය. ලොකු අම්මා ඉස්සර ගෙදරට ඇන්දේ සාරිය. ඒ නිසා ඈට හැමෝම තෑගි දුන්නේත් සාරිමය. ඉඳහිට දාක ලොකු අම්මාගේ කාමරයට යන අම්මා අක්කෙ මං මේක ගන්නවායි කියමින් සාරි කීපයක් ගෙන නික්මෙන්නීය. ලොකු අම්මා කිසිදා එපා කියන්නේවත් ගත්තේ මොනාද කියාවත් අසන්නේ නැත. මම නිවසේ හිටි දාක ලොකු අම්මා හා උදේ පාන්දර මිදුලට වී ඉන්න විට අම්මා ලක ලෑස්ති වී පාසල් යන්නට නිවසින් නික්මුනාය.

අම්මා යන දෙස බලා ලොකු අම්මා , "ඩෝටර් දන්නවද ? අරය අර හැඩට ඇඳන් පද්ද පද්ද යන්නෙ මට අහවලා අහවල් දවසෙ දුන්න සාරියක් " යයි කීවාය. හවස අම්මා නිවසට ආ විට මම හිනැහෙමින් එය කී විට අම්මා ඇස් ලොකු කර , ඇත්තටම පුතේ ඒක හරියටම හරි කීවාය.

මගේ විවාහ උත්සවේට කලින් මම ලොකු අම්මා ලඟට වී , ඇයි ඔක්කම්මෙ එන්නෙ නැත්තේ , ඒ මගෙ දවසනෙ. ආස නැද්ද මං එහෙම දකින්න යැයි ඇසූ විට , බෑ ඩෝටර් සනී මහත්තයත් නෑනෙ. ඒත් මං ඔයාට ප්‍රසන්ට් එකක් දෙනව. ඉන්නකො යි කියමින් යලි අර පොට්ටනිය ලිහා පෙන්ඩන්ට් එකක් මා අත තැබීය. එය අල්ල තරම් වූ සිප්පි කටුවට හැඩයෙන් යුතු මුතු එබ්බවූවකි. මම අම්මාට එය දෙන විට අම්මා හඬා වැටෙමින් කීවේ එය ආච්චි විසින් ලොකුඅම්මාට කසාද බඳින දාකට කියා හැදවූවක් බවය.

ලියන්නට දහසක් දේ මතකයට ආවත් ඒවා පෙළගස්සන්නට තරම් හිතේ නිදහසක් නැත. ඒ මේ වෙද්දී මගේ ආදරණීයම ඔක්කම්මා ඉන්නේ රෝහල්ගතව නිසාය. ඇගේ අහිංසක මූණ අද දවසට සිය දහස් වාරයක් මා ඉදිරියේ මැවී බොඳවී ගියේ කඳුළු අතරින් ය. ඉස්සරම දවස් වල මගේ කාමරය ගාවට මහ රෑත් ඇවිත් දොරෙන් එබී ඩෝටර් ඔයා ඉන්නව නේද යි ඇසූ හැටි තිස්සේම කණ මුල ඇහෙනවා සේය. මෙච්චර කාලයකට මට කවමදාවත් වෙන රටක ජීවත් වීම වේදනවාක් කියා නොදැනුනාට අද උදේ සිටම සියුම් ඉඳිකටු තුඩක් අනිනවා සේම එය මට වේදනාවක් දෙන්නේය. ඇය දැන් පසු කරන්නේ අසාධ්‍යම අවදියකි.

මම හුදකලා වන සෑම මොහොතකම ඈ ගැන සිතන්නෙමි. ප්‍රේමය ඇයව මොන තරම් නිර්ලජ්ජිත ලෙස රැවටුවාද යන්න ගැන සිතන්නෙමි. ඈ සතු සබ්බ සේසතම තවත් මිනිසෙකුට පුදන්නට තරම් ඈ ඇගේ ප්‍රේමය තුළ අව්‍යාජ වූවාය. සත්තකටම ඈ ඔහුට ප්‍රේම කලාය. මේ මා අකුරු කරන මොහොතේදී පවා , දියරමය ආහාර පමණක් ගන්නා අවස්ථාවක් පසු කරමින් වුව ඇය ඇගේ සයනයට වී ඔහුට ප්‍රේම කරන වග මම දන්නෙමි.

ඈ සතුව තිබූ ආච්චි මම්මා ඈට දුන් බොහෝ කණ කර ආභරණ ඈ ඔහුට දී තිබිණි. ඒ ඔවුන්ගේ හෙට දවස වෙනුවෙනි. ඈ මසක් පුරා රැකියාව කොට මාසය අවසානයේ පඩි පතද ඔහුට දුන්නාය. ඒ ද හෙට දවස හිනැහෙනු පිණිසය. එපමණක් නොව, සීයා ඇයට ලියා තිබූ බොල්ගොඩ ගඟ අයිනේ තිබූ අක්කර දෙකක පමණ පොල් ඉඩමක් ද විකුණා ඈ ඔහුට මුදල් දුන්නාය. ඒ මාතලේ ප්‍රදේශයේ ඔහු හදනවාය කියූ දෙමහල් නිවස වෙනුවෙන් ය.

ඒ සියල්ල ඈ ඔහු වෙනුවෙන් කරන්නට යෙදුනේ හිතේ අපමණ ප්‍රේමයක් පුරවාගෙනය. එය අව්‍යාජය. එහෙත්  , ඔහු නිර්ලජ්ජිත ලෙස ඈ රැවටුවේය. ඇගෙන් සල්ලි ගෙන වෙන ගැහැණුන් හා ගියේය. ඇයට බොරු පොරොන්දු දෙමින් ඈව ගසා කෑවේය. ගැහැණු රවටා සල්ලි මිල මුදල් ගෙන ගෙදර මිනිසුන් සන්තර්පණය කලේය.

මම ඔහුට තිරිසනෙක් යැයි නොකියමි. ඒ තිරිසන් සතුන් පවා ඊට වැඩි ගුණයකින් යුතු නිසාය.

ඇත්ත පෙනි පෙනී ඒ ඇත්ත පිළිනොගන්න තරම් ලොකු අම්මා සතු ප්‍රේමය ප්‍රබල විය. ඈ ඔහුව විස්වාස කලාය. ඒ විස්වාසයම අවසන පාරාවලල්ලක්ව  ඈ සිහි විකල් ගැහැණියක් කරන්නට සමත් විය. අම්මාත් තාත්තාත් නොහිටින්න ඈ පිස්සන්කොටුවක මේ මොහොතේත් සිටිනු ඇත.
නැගණියක ලෙස තම සහෝදරියට එපමණ යුතුකම් කරනා ගැහැණියක්  හා තම බිරිඳගේ අක්කාට තම සහෝදරියක සේ සිතා ඉවසන පිරිමියෙකු මා කිසි තැනක දැක නැත. එවන් උතුම් දෙපළකගේ දුවක් වීමම පිණකැයි මම සිතන්නේ එහෙයිනි.

ලොකු අම්මාව රැවටූ ඒ නිර්ලජ්ජිත මිනිසා අවසන ජරා ජීර්ණව එක්තැන් වී අසූචි ගොඩක මිහිපිට අපා දුක් විඳ තම ශරීරයේ පණුවන් දගලන තුවාල සහිතව මින් අවු. කීපයකට පෙර මියගිය වග ආරංචි විය. ඔහුට එසේ වූවාට පවු නැත. ඔහුට එසේ විය යුතුය. ලොකුඅම්මාගේ අහිංසක මූණ දකින වාරයක් පාසාම මම ඔහුට වෛර කලෙමි. මියෙන තුරු එවන් මිනිසුන්ට වෛර කරමි. ගැහැණුන් සෙල්ලම්බඩු කරගන්නා අවලං පාපතරයින් ට වෛර කරමි.

මීට අවු. 20 කට පමණ පෙර ලොකු අම්මා මා තුරුල් කොටගෙන මෙසේ කීවාය.

ඩෝටර් ඔයා කවදාවත් කාටවත්ම ලව් කරන්න එපා. මිනිස්සු අපි හිතනවට වඩා ගොඩාක් වෙනස්.
ඒ ඈ කීවෙ ඇගේ වේදනාවය.

ඇය තව කොපමණ කාලයක් ජීවත් වේද කියා කියන්නට නොහැකිය. අද ඈ සිටින්නේ ඇඳේය. එහෙත් මම ආස ඈ යලි ඇඳේ නොයිද ගේ වටේ ඇවිදිනවාටය. ගෙයි දොරඩකට වී සනී මහත්තයා එන තුරු හෝ බලා සිටිනවාටය. තාත්තා මගුල කැඩුවා කියා බනිනවාටය. අම්මා ඇගේ කුමක් හෝ අරන් ඇතැයි කියා කෑ ගහනවාටය. වත්තේ දළු කඩන්නට එන ගැහැණුන්ට කිරි පිටි පැකට් එකම හලා දෙනවාටය. වස දමා ඇතැයි කියා හාල් ගෝනියම විසි කරනවාටය. සත විසි පහකට බොහෝ දේ මිලට ගත හැකි යැයි ගණන් හිලවු කියනවාටය. ගෙදර අත් උදවුවට ඉන්නා පාපා ව රු. 10 ක් හා බඩු ලිස්ට් එකක් දී ගෙයින් එලියට දමා දොර වසනවාටය.

ඇත්තටම ලොකු අම්මා ඒ කල කී කිසිම දෙයක් අප කවමදාකවත් වදයක් කරදරයක් ලෙස සිතුවේ නැත. එදත් අදත් කවදත් ඈ අපට ලොකු අම්මා විය. එය හෙටත් එහෙම්මමය.




No comments:

Post a Comment