කුඩා දරුවෙක්ගේ මානසිකත්වය , ඔවුන් සිතන පතන ආකාරය චමත්කාරජනකය, අප සිහිනෙන් හෝ නොහිතන සුළු කාරණා අභියස ඔවුන් බොහෝ සේ සංවේදී වන්නේද ඒ නිසාමය. මේද එවන් අවස්ථාවකි.
මගේ පුතුගේ පළමු කිරිදත වැටුනේ මීට මාස ගණනාවකට පෙරය. එදින ඔහු එය බොහෝ සේ පරිස්සම් කොට කොට්ටය යට තබා සුරංගනාවියකගෙන් අලුත් දතක් ඉල්ලීය. ඉතාලි ජනකතා , සුරංගනා කතා වල හැටියට ඒ ලෙසින් කොට්ටය යට දත තබා නිදාගත් විට රාත්‍රියේ පැමිණෙන සුරංගනාව කාසියක් තබා දත සමගින් නික්ම යයි. මෙය තරයේ විස්වාස කල පුතු වැටුනු මුල් දත කොට්ටය යටින් තබා නිදාගත් පසු අප විසින් දත ගෙන එය තිබූ තැනින් කාසියක් තබා කිසිත් නොදන්නා සේ සිටියේ පුතුගේ ප්‍රතිචාරය බලනු වස් ය .. අප සිතූ සේම පුතු බොහෝ සේ සතුටු වී කාසිය අතමිට මොළවාගෙන පෙර පාසලට ගියේ ඔහුගේ ගුරුතුමියට එය පෙන්වීමට ය..
පුතුගේ අතේ තිබූ කාසිය ත් දතක් අහිමි එහෙත් හිනාවෙන් පිරි මුවපොඩිය දුටු ඇයට අලුතෙන් කිසිවක් කීමට වුවමනා වූයේ නැත , මහත්වූ සෙනෙහසින් පුතු වඩාගත් ඇය අනේ බලන්න සුරංගනාවි කෙවින්ට ලොකු කාසියක් දීලා යැයි කියමින් සතුටු වූවාය ... ඒ ඔවුන් කුඩා දරුවන්ගේ ලෝකය සුන්දර කරනා අපූරුවය....
ඉන් දින දෙකකට පමණ පසුව වැටුනු දත අසල තිබු අනිත් දත පාසැලේදී අහිමිව තිබූ අතර පුතුට ඒ ගැන වගක් නොවීය..
ඔහුගේ පළමු දත මා සුරක්ශිතව මගේ මතක ගොන්නේ තැබූවෙමි.. ඒ මතක අතර මගේ පුතු උපන් දා පටන් මේ දක්වා බොහෝ දෑ තිබේ.. පුතුගේ පළමු ඇඳුම , ඔහුව රෝහලේ සිට ගෙදර ගෙන එන විට ආවරණය කල රෙද්ද , පළමු සපත්තු , මුල්ම මේස් , මුල්ම කෙස් රොද , වියැලී හැලීගිය පෙකෙණිවැලෙහි කොටස ,මා විසින් ගත් මුල්ම පුතුගේ සේයාරුව , ආදී ලෙස බොහෝ දෑ තිබේ..
ඒ සිදුවීමෙන් මාස ගණනාවකට පමණ පසු මීට දින දෙකකට පෙර පුතුගේ තුන්වන දත හැලිනි. එය අතට ගත් පුතු පෙර පරිදිම කොට්ටය යටින් තබා ගනිමියි කියමින් කාමරය පුරා නටන්නට විය.. නැටුමේ වේගය සමගින් අතින් ගිළිහීගිය දත කොහේහෝ වැටී නැතිවිනි.. කොතෙක් සෙවූවද එය සොයාගත නොහැකි විය.. ඒ හා සමඟම පුතුගේ ඇඬීමද ක්‍රියාත්මක විය. සැමියා හා මා කොතෙක් සෙවූවද දත යලි නොලැබිනි.. අඩමින් සිටි පුතු එක්වරම මා වෙත කොළයක් හා පෑනක් උස්සගෙන දිව ආවෙ ඇඬීම නවතමිනි,
අම්මේ... අපි ලියුමක් ලියමු,
මොන ලියුමක් ද
අපි සැන්ටට ලියුමක් ලීවෙ , ඉතිං සැන්ටා මං ඉල්ලපු ඔක්කොම දුන්නනෙ , ඒ වගේ අපි ෆේරි ට ලියුමක් ලියමු,
හා, මොනාද ලියන්නෙ දැං ...
ඔහු ලියන්නට කියූ දෑ කීවේ ඉතාලි භාශාවෙන් හෙයින් එහි පරිවර්ථනය මෙලෙස මම ලියමි..
ආදරණීය සුරංගනාව
මගේ දත මගෙ අතින් නැතිවුනා , ඒක මගේ වරද , මොකද මට තිබුනා එය පරිස්සම් කරගන්න. ඒත් දැං ඒක වී අවසානයි, මම හොඳ ළමයෙක්.. ඒ නිසා ඔබ නැති වූ දත ඔබේ මැජික් යශ්ටියේ බලයෙන් සොයාගෙන මට අලුත් දතක් හා කාසියක් දෙන්න ..
මම කෙවින්..
මේ ලෙස ඔහු කියූ දෑ මම ලියූ පසු ඔහු විසින් සුරංගනාවට මල් පොකුරක් ද ඇද තබා ලියුම දොරෙහි අලවා නිදන්නට සැරසිනි.. ඔහුට නින්ද ගිය පසුව අපි විසින් ලියුම වීසිකොට කොට්ටය යට කාසියක් තැබුවෙමු.
පසුදා අවදි වූ පුතු මුල්ම ක්‍රියාව ලෙස කොට්ටය උස්සා බලන්නට වූ අතර අප
එහි සඟවා තිබූ කාසිය දැක සතුටින් ඉපිලෙන්නට විය. එය නොදැක්කා සේ සිටි මා වෙතට පැමිණි පුතු,
අම්මේ මේ දැක්කද ?? අපි හොඳ වෙලාවට ලියුමක් ලීවෙ නේද ??
යැයි පැවසීය.
ඒකනෙ, හැබැයි ඉතින් අර ඔයා දත නැති වුනේ ඔයාගෙ වරදින් කියපු හන්දා තමා ෆේරි කාසිය තියල යන්න ඇත්තෙ , හොඳ ළමයි බොරු කියන්නෙ නෑනෙ.. යි මම කීමි.
එයට පිළිතුරක් ලෙසින් බොරු කීවම
දත් එන්නෙ ඔලුවෙන් හිටගෙන නේද අම්මෙ,, අත්ත්ම්ම කීවෙ මට යි කී පුතු,
අත්තම්මේ ,, මේ මගෙ කාසිය.. කියමින් සෑමියාගෙ මවගෙ කාමරයට දුවන්නට විය.
මේ සිද්දිය බොහෝ කුඩා සිද්දියක් බව සැබෑය.. එහෙත් දරුවෙකුගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම මගින් ඔවුන් යහමගට ගන්නට අපට බොහොමත්ම ලේසිය. දරුවෙකු හා ගැටෙන විට ඔබත් දරුවෙක් වන්න.. මනසින් ඔවුන් හා සම වන්න. එසේ වූ විට දරුවන් සිනා වනු ඇත , ඒ සිනාව අපටද සිනාවක් ගෙනෙනු ඇත. ඒ සිනා අතරින් සමාජයය යහපත් දරුවෙකු බිහිවනු ඇත
ප්‍රභානී
No comments:
Post a Comment