Saturday, 30 May 2020

කඳුකරයේ මතක 07

කඳුකරේ මතක 07

අපි එනකල් බලාගෙන හිටිය නැන්දා අපි ගෙට එනකොටම ඊට ටික වෙලාවකට කලින් රතු වැස්සිගෙන් දොවාගෙන ආව කිරි උණුකරලා අපිට ලොකු කෝප්ප වලට දාලා දෙන්නෙ ලොකුම ලොකු හකුරු බෝල එක්ක. අම්මේ ඒවයෙ රස.. ඔය කඩවල් වල තියන සීනි හකුරු වගේ නෙමෙයි. දිවට තිබ්බ පමාවට දියවෙන හොඳම හොඳ පිරිසිඳු හකුරු බෝල. හකුරු බෝල කීවෙ හකුරු බෑ හදලා ඉතිරි වෙන ටික ගුලි කරලා හදාගන්න බෝල වලට. නැන්දා ඒ බෝල තියාගෙන ඉන්නෙම අපිට දෙන්න. ඒ කාලේ මාමා අතේ හකුරු බෝල බෝතලයක් පොඩි අපි තුන්දෙනාට එවන සිරිතකුත් නැන්දට තිබ්බා. නැන්දලා කොහොමත් එහෙමයි. තමන්ගේ අයියලගෙ දරුවොන්ට හරි ආදරෙයි. 

කිරි කෝප්පෙම බොන්න බඩේ ඉඩ නැතුවට මොකද හකුරු බෝල පනහක් කන්න වුනත් අපේ බඩවල් වල ඉඩ තියනව. හකුරු කකා අපි ඊගාවට කරන්නේ වත්ත පුරා නටන එක. ඒ කාලෙ නැන්දලගෙ පරණ ගෙදර මිදුලෙ තිබ්බා රතු පේර ගහකුයි සුදු පේර ගහකුයි. අපි අහවල් දවසෙ එනවා කියල කලින් පණිවිඩයක් එවුවම එහෙ අක්කල ඒ ගස් වල පේර අපිට ඉතුරු කරනව. මොකද ඒ කාලෙ අපේ වත්තෙ තිබ්බෙ එක පේර ගහයි. ඒකෙත් ගෙඩි අපිට කන්න කවදාවත් ඉතුරු වුනේ නෑ. මොකද අම්මගෙන් පාඩං වැඩ අහගන්න හවසට එන ළමයි ආපහු යන්නේ පේර කොළත් හූරගෙන කාලා. 

නැන්දලගෙ පේර ගස් වලින් රසම පේර තිබ්බේ රතු පේර ගහේ. නැන්දලගෙ අයියලා ගහට නැගලා හොඳටම ඉදුන රසම රස පේර කඩල මට දෙන්නෙ ආ කන්න කියන ගමන්. ඔන්න එතකොටම අපේ අම්මලත් එගොඩින් එනව පේනව. මාමා එහෙ ලොකු අයියත් එක්ක ආයම මගට යන්නෙ අම්මලව එක්ක එන්න. ගම් වල අදටත් නෑයො වෙනුවෙන් පෙර ගමන් හා පසු ගමන් තියනව. ඒවා සිරිත් වලට වඩා ආදරණීය බැඳීම්. මාම ල මගට ගිහින් අම්මලව එක්ක එනකල් අපි කරන්නේ නැන්දා අපි එන ආරංචියට අපිටම හදලා තිබ්බා පැණි දෙල් කන එක. 

පැණි දෙල් නැන්දා හදන්නෙ වත්තේ දෙල් ගහෙන් හොඳම ගෙඩි කඩවගෙන ඒ දෙල් හීනියට කපලා වේලල බැදලා පැණි දාලා. ඒ පැණි දෙල් ඊට පස්සෙ තියෙන්නෙ මුට්ටියක දාලා දුම්මැස්සෙ තියා තියල. අපිට නැන්දා ඒව දෙන්නෙ පුවක් පට්ටෙකට දාලා. පොඩි අපි රොත්තම අර පුවක් පට්ටෙ වටේ වාඩි වෙලා දෙල් අහුරු අහුරු කන ගමන් නැන්දේ රෑට උයන්නේ මොනාදෝ කියල අහනව. නැන්දගේ කෑම තමයි මේ ලෝකෙ රසම කෑම. බඩේ ඉඩ තිබ්බද ඒ තරම් කියල හිතෙනව දැන් ආපස්සට මතක් වෙනකොට. 

ඔන්න ඊ ගාවට අපි කරන්නේ බුරුස් පදින එක. පොඩි අපිව පුවක් කොලපතක වාඩි කරවල ලොකු අය ඇදන් යන එක තමයි බුරුස් පැදිල්ල. වරුවක් බුරුස් පැද්දට පස්සෙ අපි ආයම ගස් ගල් උඩ. වැඩියෙන්ම ඉන්නෙ දෙල් ගහේ අතු උඩ. දෙල් ගහේ අතු වලට නැග්ගම කන්ද පාමුලින් ගලන උමා ඔය පේන්නෙ ලස්සනම ලස්සන මනාළියෙක් ගෙ වේල් එක වගේ. නැන්දලගෙ ගේ තිබ්බ කන්ද පාමුලින් තමයි උමා ඔය ගැලුවෙ. කඳු දෙකක් අතර මැද්දෙන් සීරුවට ගලන උමා ඔයේ සද්දෙ හරියට සිංදුවක් වගේ. 

මොහොතක් පොඩි අපි හැමෝම නිහඬ වෙලා උමා ඔයට කන් දෙන එක ඒ කාලෙ අපි කරපු සෙල්ලමක්. ඒක පුදුමාකාර ලස්සන සංගීතයක්. වටෙන්ම ඇහෙන කුරුළු හඬ , බල්ලෙක් ගෙ බිරුමකට උත්තර දෙන රතු වැස්සි ගෙ උම්බෑ හඩ , කොහේ හරි ගේක දර කොටයක් පලන හඬ එක්ක උමා ඔය ගලන හඬ ඒ මැදින් තව ගේක දරුවෙක් අඬන හඬ..... මේ හැම හඬකම සම්මිශ්‍රණයක් තියන තැනකින් එන්නේ මොසාර්ට් ගෙ සංගීතයකින් එනවා හා සමානම වූ දිව්‍යමය සංගීතයක හඬ. 

දැන් හවස වෙලා..... ගෙට එනවද නැද්ද රිලා රොත්ත ගහෙන් බැහැලා නැත්තම් කෝට්ටක් අරන් එන්නද මම.. ඒ අපේ අම්මගෙ හඬ. අම්ම හිතන්නේ අම්මගෙ ඉස්කෝලෙ ළමයි වගේ අම්මගෙ බොරු කෝටුවේ කතාවට අපිත් බය වෙලා ගහෙන් බහීවි කියල. අම්මගෙ බොරු කෝටුවට බය නැති වුනාට එහෙම මෙහෙන් කැරකි කැරකි විදින මදුරු කරදරේ නිසාම ගහෙන් බහින්න හිත හදාගන්නෙ අමාරුවෙන්. අපි දෙල් ගහෙන් බහිනකොට ඊගාවට දෙල් ගහට එන්නේ රැහැයියො එක්ක වවුල්ලු රංචුවක්. ගහට නම් නිවනක් ඇත්තෙම නෑ කන් කරච්චලේම විතරයි. මොකද ඉතින් ළමයි කියන්නෙත් රැහැයියො වගේම සද්දෙ දාන කාණ්ඩයක් නෙ. 

ගහෙන් බැහැල එන අපි ඊගාවට නතර වෙන්නෙ පීල්ල ගාව. සීතල වතුරෙන් අයියල අක්කල ඇඟ පත හෝදගන්නකොට නැන්දා මා වෙනුවෙන් උණු වතුර එකක් උස්සන් එන එක ඒ කාලෙ නැන්දා ආදරෙන් කරන දෙයක්. මොකද ඒ දවස් වල අපේ අයියල කීවෙ ඇඬිවතීට සෙංගෙඩි හැදෙන්න බෙංගාල බොක්ක කැළඹුනාම ඇති කියල. සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව නොහදෙන මට හැමදාමත් හැදෙන්නෙ සෙම්ගෙඩි එක්ක එන උගුරෙ අමාරුව විතරයි. ලොකු අය පොඩි අයව හෝදල ගොඩින් තියනව ඇඳුම් ඇඳගන්න කියල. ඇඳුම් ඇඳගන්න පිළිවෙලට මාමා උස්සගෙන ගිහින් ගේ ඇතුලෙන්ම තියනව වැඩි පරිස්සමට. මොකද මේ බටු රෑන ඊගාව මොහොතේ අඳුර එක්ක ආයම මඩකට පනින්න වුනත් පුලුවන් කියන ඉව එයාලට තියන නිසා. 

හෝදල තුවායකින් ඔතාගෙන උස්සන් ගිහින් මාව අම්මට බාර දුන්නම අම්මා කරන්නෙ ක්‍රීම් පවුඩර් ගාන එක. හෝදන වෙලාවෙත් එහෙ මෙහෙ රිදුම් දෙන සීරීම් තුවාල දරාගෙන හිටියට අම්මා ක්‍රීම් ගානකොට නම් කඳුලු වක්කරනව බොරුවටත් එක්කම. ඔන්න එතකොට අම්ම බනින්නෙ "නටනකොට සිහියක් නෑනෙ, දැන් තමා සිහිය එන්නෙ " කියල. ඊගාවට තියෙන්නෙ නැන්ද හදම රසම රසම රස ගමේ කෑම කන්න ..... 

මතු සම්භන්ධයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 


Thursday, 28 May 2020

කඳුකරයේ මතක 06

කඳුකරේ මතක 06


නෙල්ලි ගගේ කොළ ටිකත් එක්කම හූරගෙන එතනින් බහින අපි ඊගාවට යන්නේ කරාඹු ගස් දෙක මැද්දෙන් වෙරළු ගහට. ඒ ගහේ තිබ්බෙ මස් වෙරළු. මස් වෙරළු කීවේ ඒ ගෙඩි ගොඩක් ලොකු නිසා. ගල්, පොළු වලින් ගහලා අපි වෙරළු කඩනකල් චන්ඩි අක්කා යනවා ලුණු කැට අරන් එන්න. පොල්කට්ටක් පිරෙන්න අරන් එන ලුණු කැට එක්ක අපිට පුලුවන් දවසම වුනත් වෙරළු කන්න. ඒත් එතකොට අපිට පේන්නෙ මෙහෙ එන්න බබාලා කියල අඬ ගහන ජම්බෝල ගහ. අර ලුණු කැට එක්ක ජම්බෝල රේණු හැපෙනකොට දිවට දැනෙන්නෙ දිව්‍යලෝකෙ ‍රස. 

ඔන්න එතකොටම ලොකු අම්මා අපිට කතා කරන්නෙ කන්න එන්න කියන්න. ඒත් කෝ කන්න බඩේ ඉඩක් ? ඒත් ඉතින් එහෙන් මෙහෙන් බත් කටක් දෙකක් බඩට දාගන්න අපි ඔක්කොම අම්මලට තාමත් කෑම මේසෙ ඉන්නකොට, 
" අපි යනවෝ පහල, අපි යනවෝ නායගොඩේ " කියාගෙන පහලට බහින්න පටන් ගන්නව. ඒ තමයි නැන්දලගෙ ගෙදර. මට අදටත් බාලි වල ෆොටෝ එකක් පේන වාරයක් පාසා මතක් වෙන්නෙම නැන්දලගෙ ගෙදර. ඒ පරිසරය තරම් හිත නිවන භාවනාවක් තවත් නැති තරම්. 

ලොකු තාත්තලගෙ ගෙදර ඉඳන් ඒ වත්ත මැදින් පහලට බහිනකොට ඉස්සෙල්ලම හම්බවෙන්නෙ ඇල. ඇලක් කීවට ඒක ලොකුම ලොකු ලොකූ ඇලක්. බැස්සොත් මං නම් යටවෙන තරම් ඒ කාලෙ වතුර. ලොකු තාත්තලගෙ ගෙදර ළමයි පස් දෙනයි අපි තුන් දෙනයි ඇල බැම්මෙ ඉඳන් ඉස්සෙල්ලම කරන්නෙ අර ඇලට කකුල් දාල වතුරෙ සීතල බලන එක. ගෙදරින් එනකොට බෝනික්කියෙක් වගේ අන්දගෙන ආව දැරිවි ව දැන්නම් පේන්නෙ කිතුල් මල් රෑන් කඩ කඩ විරිත්තන රිලා පැටියෙක් ගානට. ලස්සන ලේස් අල්ලපු මේස් දාල ඊට පස්සෙ සපත්තු දාපු කකුල් වලින් බාගෙකම තියෙන්නෙ මඩ. සපත්තු ඒ වෙද්දි තියෙන්නෙ අත් වල. මේස් තියෙන්නෙ අයියගෙ කලිසම් සාක්කු වල. 

පුංචි නිරුවත් දෙපා වල ගල් කැට ඇනෙනකොට චන්ඩි අක්ක කරන්නෙ එයාගෙ සෙරෙප්පු දෙක මට දෙන එක. ඒ තමයි සහෝදරත්වයේ ලේ බැඳීම. පොඩි රිලා රෑනක් වගේ ගම දෙවනත් කරගෙන කෑ ගහ ගහ අපි පහලට යනකොට අපිට හම්බවෙන ගමේ මිනිස්සු අක්කලගෙන් අහන්නේ , "ආ නෑයො ඇවිල්ලා නේද ? මේ අපේ ඇටම්පිටියෙ කච්චේරි මල්ලිගෙ දුව නේද ? අනේ දැක්ක කල්, තාම ඒ ගානමයි නෙ" කියල. ඒ කියන්නෙ මාව ඒ මිනිස්සු අවසානෙට දැක්ක දාත් මම හිටියෙ ඒ ගානට බව. 

වාසනා අක්ක තමයි ඒ පවුලෙ අහිංසකම. චන්ඩි අක්කා නම් නම වගේමයි. වාසනා අක්කට කලින් කට දාන චන්ඩි අක්කා "අනේ නැන්දෙ ආං අරහෙ හරක් ඇලට පැනල නානවා , නැන්ද මෙතන කියෝනකොට " වගේ කතාවක් කියන්නෙ වාසනා අක්කගෙ එරවිලි ගානකට වත් නොගෙන. ඔහොම අපි ඇල කණ්ඩිය දිගේ ටිකක් යනකොට හම්බවෙන පඩිපෙලේ පහලට බහිනව. පඩිපෙලට සමාන්තරව එහා පැත්තෙන් ඇලේ වතුර කොටසකුත් දිය ඇල්ලක් වගෙ වැටෙනව. ඇල්ලට එපිට ගස් වල ඉන්න රිලා පැටවු අපිට විරිත්තනව. අපිත් උන්ට විරිත්තනව. 

පඩිපෙලේ පහලට බැස්සම ආය හම්බවෙන්නෙ තව පොඩි ඒදණ්ඩක්. ඒකෙන් පැන්නම පේන මානෙම තියෙන්නෙ කුඹුරු යාය. කඳුකරේ වගා කරන්නෙ හෙල්මළු ක්‍රමයට නිසා දවස් ගානක් වුනත් බලා ඉන්න පුලුවන් තරම් ලස්සනක් තමයි ඒ කුඹුරු යායෙ තිබ්බේ. කුඹුරු යායේ එහා කෙළවරේ තියෙන්නෙ නැන්දලගෙ ගෙදර. මෙහා කෙළවරේ ඉන්න අපි කෑ ගහන්නේ එහා කෙළවරට ඇහෙන්න. " සී අක්කෝ අපි එනවෝ.. මගට එන්ඩෝ... මාව උස්සං යන්ඩෝ.. මාමට එන්ඩ කියන්ඩෝ.. කූඩැල්ලො එනෝ.. "  

සී අක්කා කීවේ නැන්දගෙ දුවට. එයාට ගෙදරට කීවෙ සීගිරි කියල. අපි කීවෙ සී අක්ක කියල. ඒ අක්කා අපේ ලොකු අයියගෙ වයස. අයියල අක්කට කීවෙ කටුස්සි කියල. ඒ කෙට්ටු නිසා. අක්කල අපේ ලොකු අයියට කීවෙ කණ්නාඩි පොළඟ කියල. ඒ අයියා කණ්නාඩි දාපු නිසා. පොඩි අයියට නම් කාලෙන් කාලෙට කටට ආව ආව නම් කීවා. කාලයක් ගිණි පරයා කියලත් කීවා මානා ලන්දකට ගිණි තියලා. තවත් කාලයක් දෙඹර පොඩ්ඩා කීවා , ඒ නම් දෙඹරෙකට ගල් ගහලා දෙඹරු කළගුණ සලකන්න ඇවිත් නිසා. 

අපි මේ පැත්තෙ ඉඳන් කෑ ගැහුවම අපි එනකල් ඒ පැත්තෙ ඉඳන් බලා හිටිය සී අක්කලා " ඔහොම ඉන්ඩෝ අපි එනෝ" කියල මගට එනව. එයාල එනකල් නොයිඳ අපි කුඹුරෙ නියර දිගේ මගට යනව. නියරෙ හරි ගානට අඩිය තියල නොවැටී යනව කියන්නේ කලාවක්. පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් මඩේ. කුඹුරු වේල්ල කණ්ඩියේ හදල තියන පිපිඤ්ඤා වල පොඩි ගෙඩි කකා තමයි අපි යන්නෙ. පිපිඤ්ඤා විතරක් නෙමෙයි ලඟ පාත්ති වල තියන කැරට් පවා අපි ගලවගෙන නියර අයිනෙන් යන වතුර පාරෙ හෝදගෙන කනවා. ඒවයෙ තිබුනේ පුදුමාකාර රසක්. 

අපි මගට යනකොග මාමා යි අක්කයි හම්බවෙනවා. එහෙන් මෙහෙන් මඩ ගෑවිලා ඌරු පැටික්කියෙක් වගේ ඉන්න මාව පුළුං පොදක් වගේ උස්සල අරන් මාමා කරේ තියාගන්නේ කූඩැල්ලො මාව කාවි කියන බයට. ඔන්න ඊට පස්සෙ අපි යනව එක පෙළට නැන්දලගෙ ගෙදරට. නැන්දලගෙ ගෙදරට කලින් හම්බවෙන්නෙ පීල්ල. අපි කරන්නෙ ඉස්සෙල්ලම එතනින් මූණ අතපය හෝදගන්න එක. සීතලම සීතල වතුර. ඊට පස්සෙ නැන්දලගෙ ගෙදරට.. 

නැන්දේ අපි ආවෝ..... හකුරු බෝල දෙන්ඩෝ... 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 




කඳුකරයේ මතක 05

කඳුකරේ මතක 05 


අපි උදේම නැගිටලා යන්න ලෑස්‍ති තාත්තලගේ ගමේ. අවුරුදු නෑගම්. අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 6 ක් වගේ ඈත. ඒ ගම පුදුමාකාර ලස්සන ගමක්. ඉස්සර අපි පොඩි කාලේ ඒ ගමට යන්න බස් තිබ්බෙ නෑ. අපිට පුද්ගලික වාහන තිබ්බෙත් නෑ. ඉතින් අපි යන්නේ බණ්ඩාරවෙල - ඇටම්පිටිය බස් එකේ මගක් ගිහින් දියවුන්නාව හන්දියෙන් බැහැලා ඉතුරු ටික කතා බස් එකෙන්. දියවුන්නාව හන්දියෙ ඉඳන් තාත්තගේ ගමට යන්න මයෙ හිතේ අඩුම කිලෝමීටර් තුනක් වත් තියෙන්න ඇති. වාසනාවට වගේ එළවලු ගෙනියන ලොරියක් හම්බුනොත් මිසක් වෙන නම් වාහන ගියෙ නෑ ඒ පාරවල් වල ඉස්සර. මොකද පාරවල් කීවට ඒවා නිකං ගල් ගොඩැලි වලවල්. 

හැබැයි ඉතින් පොඩි අපිට ඒ පාර තමයි දිව්‍යලෝකෙ යන පාර. මොකද මග දිගට ගඩාගෙඩි. තාත්තගෙ ගමේ හිටියේ තාත්තගෙ අයියා ඒ කියන්නෙ අපේ ලොකු තාත්තයි , තාත්තගෙ එක නංගි කෙනෙක් , ඒ කියන්නෙ අපේ නැන්දයි විතරයි සහෝදර සහෝදරියො විදියට. ඒත් ඉතින් හරියට බැලුවම මුලු ගමම නෑයො තමයි. එක පැත්තකින් ඈතින් නමුණුකුල පේනකොට අනිත් පැත්තෙන් පෙනුනේ පිදුරුතලාගල කඳු වැටිය. ඒ දෙක අතර මැද ස්ලීපින්ග් සෝල්ජර් කඳු වැටිය. ඉස්සර අපි ආසම වැඩේ නිදා හිටිය හමුදා සොල්දාදුවගේ අත් කකුල් තුවක්කු බඳ හොයන එක.(ස්ලීපින්ග් සෝල්ජර් කඳුවැටිය ) එක්කෙනෙක් ඔලුව හොයාගන්නකොට තව එක්කෙනෙක් කකුල හොයාගන්නව. මං හැමදාම හොයාගත්තෙ තුවක්කු බඳ. ඒක තමා ලේසිම මොකද ඒක තිබ්බෙ අර තඩි බඩ ගාවනෙ. 

දියවුන්නාව හන්දියෙන් පටන් ගත්තම ඔන්න ඊගාවට හම්බවෙන්නෙ පොඩි කන්ඳක්. ඒ කන්ද නැග්ගම ඔන්න තියනව නෑදෑ ගෙයක්. ගෙයක් කීවට එතනම ගෙවල් තුන හතරක්. ඔය හැම ගේකටම ගිහින් කතා කරලා තේ බීලා යනකොට ඉතින් කොහෙද මහන්සියක් ? ඒ ගෙවල් වලින් එක ගෙයක් අයිති මඩුවෙ මාමට. එහෙම කීවෙ එහෙ ලොකු ලී මඩුවක් තිබ්බ නිසා. පොඩි අපිට පොඩි පොඩි ලී කැට මල්ලක් හමබවෙනවා එහෙන් හැමදාම. මම නම් යතුගාල පැත්තක් කරල තිබ්බ ලී පතුරුත් ඉල්ලගන්නව. මොකද මට ඒවයින් ලස්සන මාල හදන්න පුලුවන් අපේ කිටීගෙ බඩ වටේ දාන්න. ලස්සන කැරලි ගැහුන ලී පතුරු. 

මඩුවෙ මාමලගෙ ගෙදරට උඩහින් තිබ්බේ ඩිපෝවෙ බාප්පගෙ ගෙදර. ඩිපෝවෙ බාප්ප කීවෙ ඒ බාප්ප වැඩ කරේ බණ්ඩාරවෙල ඩිපෝවෙ නිසා. අපි නෑයන්ට නම් දාල තිබ්බෙ එහෙම ඉස්සර. එහෙ හිටියෙ පිරිමි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් අයියා අනිත් කෙනා මගේ වයස. දුවෙක් නොහිටපු නිසාද මන්දා ඒ බාප්ප හරි ආදරෙන් මාව උඩටම උඩටම උස්සල පහල කඳු පෙන්නනව මට තාම මතකයි. අයියලව ඒ තරම් උඩට උස්සන්න බෑ බාප්පට. අයියල නම් ඒ කාලෙ කීවේ , අපෝ ඇඬිවතී බත් කන්නැති නිසා පුළුං වගේ කියල. සමහරවිට ඇත්තටම ‍ඒකෙ ඇත්තක් තියෙන්න ඇති. 

ඒ ගෙවල් වලින් තේ බීලා අපි ගෙනා තැගි ඒ ගෙවල් වලට දීලා ඊගාවට අපි ආපහු පටන් ගන්නව ගමන. පාර දිගේ , දිගට දිගේ ගමන.. මගක් යනකොට මගේ පුංචි කකුල් රිදෙන්න ගන්නව. ඔන්න එතකොටම මට මතක් වෙනවා මැල්ලුම් නොකෑ බව , මාලු නොකෑ බව , බත් ටික කිටී කෑ බව.එතකොට කරන්න පුලුවන් හොඳම දේ මොකක් කියලද ඔයාල හිතන්නේ ? මගේ කකුල් රිදෙනව කියන එකද ? නැත්තම් මාව වඩාගන්න කියන එකද ? අපෝ නෑ , අර දූවිලි මඩ පිරුන පාර මැද එහෙම්මම බිම වාඩි වෙලා අඬන්න පුලුවන් තරම්ම හයියෙන් අඬන එක , හරියට අර වසීලිස්ස එකේ වසීලිස්සා බාබායිගා යකින්නගෙ ගෙදරින් පැනල ගිය බව දැනගෙන යකින්න බිරියෝසා ගස් වලට බැන බැන කෑ ගහපු තාලෙට. ඔවු ඒ තරම්ම හයියට.. 

අම්මේහ්හ්හ් අනේ අයියගේ කකුල ඇවිත් මගෙ කකුකල ගහලා දැන් මගෙ කකුල කැඩිලා..අයියෝ මම පයින් යන්න හිතාගෙන ආව ගමන.. අනේ දැන් මං කොහොමද නැන්දගෙ රස බත් කන්නෙ. මං දැන් මැරෙන්න යන්නෙ.. 

කකුලක් කැඩිලා කවුරුත් මැරණ බවක් කොහේවත් සඳහන් වෙලා නැතත් , අයියා මීටර් ගානක් ඉස්සරහින් ඉන්නකොට කකුල විතරක් ඇවිත් මගේ කකුල කඩන්න ඉඩක් නැති බවත් දන්නවා වුනත් තාත්තා කරන්නෙ අර පාර මැද වාඩිවෙලා පස් කකා අඬන තමන්ගෙ එකම දූ සිඟිත්තව කර උඩින් වාඩි කරගන්න එක. අන්න එතකොට තමා මට දැනෙන්නේ තාත්තා මට වඩා කොච්චරක් උසද කියන එක. මීට කලින් මට වඩා උස මානා පඳුරුත් දැන් මට වඩා කොටට පේනකොට ඈතම ඈත පේන ගම පාමුල උමා ඔයත් මට හිනා වුනා හරිම ලස්සනට. සමහරවිට උමා ඔයට හිනා ගියා වෙන්නත් පුලුවන් මේ පුංචිත්තිගේ කපටි කමට. 

ඔන්න ඉතින් අපි පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන යනකොට ඊගාවට අපිට හම්බවෙන්නෙ දන්සල් තැන්න. ඒ තමයි ගමේ කඩ මන්ඬිය තියන තැන. එතන ඉඳන් පහලට තියෙන්නෙ ලොකු තාත්තාගෙ මායිම. එයාගෙ රාජධානිය. දන්සල් තැන්නෙන් පහලට එනකොට තියෙන්නෙ යෝධ අඹ ගහ. අපි පස් දෙනාම වටේ වලල්ල වගේ හැදිලා ඒ ගහ බදාගන්න ගියත් බදන්න බැරි තරමට ලොකු යෝධ අඹ ගහ. එතනින් පහලට පඩි පෙල.. 

පඩි පෙලේ මැදක් යනකොට තියන ඒ දන්ඬෙන් පැන්නම මෙන්න තියනව ලොකු තාත්තගෙ ගෙදර. අක්කල නංගිල හතර දෙනෙක්ට එක අයියෙක් හිටියා ඒ ගෙදර. ලොකු අම්ම හදන රසම රස තේ එක බීලා ඉවර වෙනකොට ඔන්න ලොකු තාත්තා කෑ ගහනවා , යන්නෙ හෙම නෑ පිස්සො වගේ මිණිරං අහුලන්න. අදත් නයා ගියා ඒ පැත්තෙන්.. කියල. පොඩි කමටවත් කට තියාගෙන ඉන්න බැරි මම , ඔකුතාත්තෙ ඒ නයා මා එක්ක යාලුයි.. කියනව. 

යාලු පෙනෙයි පෙනේ ගැහුවම.. ඒ තමයි ලොකු තාත්තගෙ උත්තරේ. හැබැයි ඒ නය ඇත්තටම දැක්ක හැම වතාවකම අපිව මගැරල ගියා මිසක් කවදාවත් අපිට පෙනේ පිප්පුවෙ නැති බව නම් මට හොඳටම මතකයි.. 

ලොකු තාත්තගෙ වචන ගැන කිසි තැකීමක් නැති පොඩි අපි රොත්තම යන්නේ නෙල්ලි ගහ ගාව මිණිරං අහුලන්න.. 

ලස්සන මිණිරං පතුරු එකතු කර කර අපි දාගන්නව මලු වලට. ඊට පස්සෙ නෙල්ලි ගහේ.. 

නෙල්ලි ගහෙන් බැහැලා ඊගාවට........ 

මතු සම්භන්ධයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 





කඳුකරයේ මතක 04

කඳුකරේ මතක 04 


ඒ කාලේ අපේ ගෙදර ඉස්සරහ කාමරේ නැවතිලා හිටියා සර් ලා දෙන්නෙක්. අපි කීවෙ මාමලා කියල. කළබල කාලේ ගුරු නිවාසෙ ඉන්න එක අණතුරු දායක නිසා ඒ කාලෙ පිට පලාත් වලින් අම්මලගෙ ඉස්කෝලෙ උගන්නන ආව ගුරුවරු නැවතිලා හිටියේ විස්වාසවන්තම ගෙවල් වල. එයින් එක්කෙනෙක් චන්ද්‍රසිරි අතුකෝරල මාමා ( දැන් නියෝජ්‍ය විභාග කොමසාරිස් ) අනිත් එක්කෙනා නන්දලාල් මාමා. මේ දෙන්නා හරිම ආදරණීය චරිත දෙකක්. 

ඒ දවස් වල අපි ටීවී බැලුවෙ වටෙන් රෙද්දක් දාලා. ටීවි එක ගාවම කවුරු හරි කෙනෙක් ඉන්නවා සද්දයක් ඇහුන ගමන් ටීවි එක නිවන්න. දැන් කාලෙ වගේ රිමෝට් තිබ්බෙ නෑනෙ. අපේ ගෙදර තිබ්බෙ කලුසුදු පොඩි ටීවි එකක්.වැඩිය ගෙවල් වල ටීවි නොතිබ්බ නිසා අපිට ඉතින් ඒක හරි උජාරුයි. ඔන්න අපි දවසක් ටීවි බල බල ඉන්නවා. අපිට ඒ කාලෙ ඕල් ඉන්ඩියා චැනල් එකත් පෙනුනා. කට්ටියම එකට ගුලි වෙලා තමා ටීවි බලන්නෙ. වට පිට ලයිට් ඔක්කොම නිවලා ටීවි එකේ එලිය විතරයි. මං ඉන්නෙ අම්ම ගාව. අයියා ඉන්නෙ ටීවි එක මුල. ඕෆ් කීව ගමන් අයියා ටකස් ගාල කරකවලා ටීවි එක නිමන්න ඕන. ඒක තමයි ඒ කාලෙ විදිය. 

ඔහොම අපි ටීවි බල බල ඉන්නකොට එක පාරම දඩ බඩ සද්දයක් ආවා. අම්මා මාව ගුලි කරන් චන්ද්‍රානි අක්කට දුන්නා. තාත්තා ඕෆ් කියන කියන්නත් කලින් අයියා ටීවි එක ඕෆ් කරා. චන්ද්‍රසිරි මාමවයි නන්දලාල් මාමවයි අම්මලගෙ ලොකු ඇඳ යටට රිංගවලා තාත්තා ඉස්සරහ දොරට මුවා වුනා. අම්මා ඇඳේ වාඩි වුනේ මාම ලාව නොපෙනෙන්න ඇඳේ රෙද්ද පාතට ඇදල දාන ගමන්. හැමෝගෙම හදවත් ගැහුන සද්දෙ හැමෝටම ඇහුනා. එකපාරම ජනේලෙන් ටෝච් එලියක් එක්ක බාල්දි පෙරළෙන සද්දෙකුත් ආවා. අපි ඉහලට ගත්ත හුස්ම ආපහු පාතට දාන්නෙ නැතුව ගල්බීත වෙලා හිටියා. 

ටිකකින් සද්ද නැතුව ගිහින් පරිසරේ නිහඬ වුනා. තාත්තා දොර ඇරන් එලියට ගිහින් වටේ බැලුවා. ලඟපාත කවුරුත් නෑ කියල තක්කෙටම තහවුරු කරන් තාත්තා ආපහු ගෙට ආවා. එදා අපි ආයම ටීවි නොබලාම කලින්ම නිදාගත්තා. පහුවදා සෙනසුරාදාවක්... 

උදේම නැගිට්ට චන්ද්‍රානි අක්කා මිදුලේ ඉඳන් මහ හයියෙන් හිනා වෙන සද්දෙට අපි නැගිටල ගියා බලන්න. අක්කා බිම බලාගෙන බඩ අල්ලගෙන හිනා වෙනවා.. එතනම බිම බාලිදිය පෙරළිලා ඒ ලඟම ගොම්බෙට්ටක්.. වටේම මල් පැල පොඩි වෙලා පාත්ති, මිදුල පුරා හරක් කුර සළකුණු.... ඔන්න එතකොටම කිරි බෝතලේකුත් අරන් එනවා කිරි මාමා පාර දිගේ.. 

අනේ ටීචර් බලන්ඩකො ඊයෙ රෑ වෙච්ච දේ... මං හරක් දෙන්න දක්කගෙන එනකොට එකෙක් ටීටලගෙ වත්තට පැන්නනෙ. මයෙ හිතේ ටීචලා නිදි වෙන්නෝන. ලයිටුත් නිමල ඔක්කොම. හරි අමාරුවෙන් හරකව අල්ලගත්තේ මං ආපහු. මං මේ උදේම ආවෙත් මුකුත් පාඩු වෙලාද බලන්නත් එක්ක... කිරි මාමා එහෙම කියනකොට , එක අතක් ඉනට තියාගෙන අනිත් අතෙන් බාල්දිය එල්ලගෙන චන්ද්‍රානි අක්කා, නෑ නෑ වැඩිය පාඩුවක් වුනේ නෑ.. ගෙදර ඔක්කොගෙම ලේ පයින්ට් දෙක ගානෙ පිච්චුනා මිසක් කියල කීවා.. 

ආපස්සට හැරිලා බලනකොට ජීවිතේ මොන තරම් බයෙන් ගෙවපු කාලයක් ද ඒක. ගමේ තැපැල් කන්තෝරුව ගිණි ගත්තේ මගේ ඇස් ඉස්සරහා. ඒ නැගුණ ගිණි ජාලාව ඒ සද්දෙත් එක්කම අදටත් මට මතකයි. තැපැල් කන්තෝරුව ගිණි තිබ්බ මිනිස්සු එතනින් පහලට පැනලා අපේ වත්ත මැදින් ගිහින් ඊගාවට ගිණි තිබ්බේ කෘෂිකර්ම මධ්‍යස්ථානෙ. ඒකෙ ගිණි ඇවිලෙන හැටි අපි බලා හිටියෙ ඉස්සරහ කාමරේ ජනේලෙන්. 

ඒ දවස් වල ආයුර්වේදෙ දොස්තර වෙලා හිටියෙ අපේ නෑදෑ මාමා කෙනෙක්.ආයුර්වේදෙ ක්වාටස් වල තමයි ඒ මාමයි නැන්දයි මල්ලියි හිටියෙ. දවසක් උදේ අපි මූණ හෝදනකොට පාරෙ කළබලෙන් ගිය ගෑනු කෙනෙක් , අනේ ටීචර් ආයුර්වේදෙ ක්වාටස් ගාව තුන්දෙනෙක් පිච්චෙනවලු කී වෙලාවෙ අම්මල අසිහියෙන් දිවුවෙ ඇඳන් හිටිය නයිටි පිටින් , වෙනේකක් තියා ටූත්පේස්ට් පිරුණ කටවල් වලින්. දොස්තර මාමලගෙ ගෙදරත් තුන් දෙනයි. එතන පිච්චෙන්නෙත් තුන් දෙනෙක්. සිහිය අසිහිය අතරේ අම්මලගෙ පිටිපස්සෙන් දුවපු අපි දැක්කේ එතන පිච්චෙන තරුණ පිරිමි තුන්දෙනෙක්. 

අදටත් එතන පස් කලු පාටයි. ඒ අමිහිරි මතක ගෙවිලා දැන් තිස් අවුරුද්දක් විතර වුනත් එතන තාම මූසලයි. ගුප්තයි. අදටත් එතනින් යනකොට වාහනේ නවත්තලා ඒ කලු පස් අත ගාන මට මොකද්දෝ නොතේරෙන හැඟීමක් එනව. මට මතකයි කාලයක් යනකල්ම එතන මීච්චො කෑ ගැහුව හැටි. පස්සෙ දවසක වයසක අම්මෙකුයි තාත්තෙකුයි ඇවිත් එතන ඉටිපන්දම් පත්තු කරලා එතනින් පස් අරන් ගිය බවත් , මිනී මල් පඳුරක් එතන පැල කරපු බවත් මතකයි. ඒ අම්මගෙ කඳුළු වැටුන තැන හැදුව ඒ ගහේ පස්සෙ කාලෙක මල් පිපෙන්න ඇති. අම්මලගෙ ආදරේ එහෙමයි. ආයම කිසිම කිසි කාලෙක ඒ වගේ දේවල් වෙන්න ඕන නෑ ලෝකෙ කිසිම තැනක.. මොකද ඒ මතක ඒ තරම්ම අමිහිරියි... 

ඒ අමිහිරි කාලෙ ගෙවිලා ගියාම ආයම ආවෙ ලස්සන නිදහස් කාලයක්. බයක් නැතුව ටීවි බලන්න පුලුවන් කාලයක්... නිදහසේ හුස්මක් ගන්න පුලුවන් කාලයක්.. 

ඔන්න දවසක්.... 

©️ප්‍රභානී තෙන්නකෝන්. 
මතු සම්භන්ධයි.. 




කඳුකරයේ මතක 03

කඳුකරේ මතක 03 


මොන ගල් කැටද ? 

අම්ම අහන්නේ මාව දවා අලු කරන්න පුලුවන් බැල්මක් එක්ක. අනේ අම්මේ ගල් කැට ඕනා... මං කියන්නෙ අඬන්න ඔන්න මෙන්න මූණෙන්. 

අම්මා බොරු කේන්තියක් අරන් , කී ගමනක් කීවද ඊයෙ මම, ඉස්කෝලෙ වැඩ බලන්න කියල. මෙලෝ සිහියක් නෑ. ගස් ගල් අස්සෙ බඩ ගෑවම හරි බල්ලත් එල්ලගෙන..  යංකො අද ගෙදර .. අල්ලගන්න මම... ආ මෙන්න ගල් කැට.. මට සිහියක් තියන නිසාම හොඳයි කියලා අම්ම කියන ගමන් කල් කැට මල්ලක් මගේ අතින් තියන්නේ  තමන්ගෙ එකම දුවගෙ සිහි කල්පනාව ගැන ඕනවටත් වඩා තමන් දන්න බව සිහිපත් කරන ගමන්. 

අම්මගෙන් ගල් කැට මල්ල අරන් පන්තියට ගියාට මොකද කොහොමත් හිටි ගමන් නැතුව යන මගේ සිහිය ආපහු එන්න කියල සෝමා ටීචර් කරන්නෙ විනාඩියක් එලියෙ හිට්ටවන එක. ඒ විනාඩියෙ මම කරන්නෙ පන්ති මිදුලේ ලොකුවට බලි චිත්‍ර අඳින එක.. 

තමන්ගේ යෙහෙළියගෙ දුව ඊගාව මොහොතෙ මිදුලේ කරන්න පුලුවන් වැඩ කන්දරාව ගැන ඉවක් තියන සෝමා ටීචර් මාව පන්තියට ගන්නේ ආය එහෙම ඔහොම වැඩ කරන්නෑ කියන පොරොන්දුව එක්ක. ඔන්න පාඩම් වැඩ ඉවර වුනාම ඊගාවට එන්නෙ ඉන්ටවල් එක. 

හැමදාමත් මට ඕන වුනා ඉන්ටවල් එක වෙලාවෙදි ඉස්කෝලෙ පිට්ටනිය පාමුලින් ගලාගෙන යන උමා ඔය අත්තේ කකුල් දෙක පොඩ්ඩක් තෙමා ගන්න. ඒත් කවමදාකවත් කරන්න බැරුව ගිය හීනයක් විදියට ඒ ආසාව අදටත් මගෙ හිතේ තියෙන්නෙ ආයම කවදාවත් පිට්ටනිය පාමුලින් ගලාගෙන නොයන ඒ උමා ඔය වතුරෙම මගේ හීනෙ බොඳ කරමින්. මොකද උමා ඔය හැරවීමත් එක්ක දැන් ඒ අතු ඔය ගලන්නෙ නැතිම තරම්.. 

මගේ මේ ආසාව ගැන ඉවක් තිබ්බ අම්මා කරන්නේ ගුරු කාමරේ ඉඳන් දෙතුන් පාරකට ඔලුව දාලා එක වසර මිදුලේ අනිත් පුංචි බටු ඇට එක්ක තමන්ගේ නාහෙට නාහන බටු ඇටේ ඉන්නවද බලන එක. ඊගාවට ඉතින් ආයම පන්තියට. දූවිළි පුරෝගෙන. හරියට හත් අවුරුද්දකින් වතුර පොදක් දැකල නැති ළමයි ටිකක් වගේ ළමයි ටිකක් තමයි හැමදාමත් ඉන්ටවල් එකෙන් පස්සෙ පන්තියෙ හිටියෙ. 

එක වසර ඉස්කෝලෙ කාලෙ හැමදාමත් ගෙවුනෙ ඔහොම. එකම වෙනස ඉඳ හිට දවසක සෝමා ටීචර් ඉස්කෝලෙට ගේන්න කියන දේවල් මතක තියාගෙන අරන් යන එක විතරයි. ඒ කාලෙදි නම් අපේ අම්මයි සෝමා ටීචර් යි කීවෙ , අම්මෝ..අද වහීද මන්දා... කියල ඒ වගේ දවස් වලට. 

ඒ කාලෙ තමයි ජේවීපී කළබල පටන් ගත්තේ. පාරවල් පුරා මිණී කඳු , ටයර් තිබ්බේ.. 

ඒ කාලෙ මතක අදටත් මාව සීතල කරවන්න පුලුවන් කීවොත් මම හරි. හැබැයි රසබර දේවලුත් නොවුනාම නෙමෙයි ඒ කළබල අස්සෙත්... 

©️ප්‍රභානී තෙන්නකෝන්. 
මතු සම්භන්ධයි. 



කඳුකරයේ මතක 02

කඳුකරේ මතක 02


අම්මාගෙ සද්දේ වහලේ උඩ යන්න තරම්.. තාත්තගෙ තුරුලෙ ඉඳන් අන්තිම බිස්කට් එක පය පාමුල දැවටෙන කිටීට දීලා කිරි ජොග්ගුව බීගෙන බීගෙන යන මම අම්මා දිහාවෙ බලන්නේ ඇස් දෙක ලොකු කරගෙන අඬන්න ඔන්න මෙන්න මූණක් හදාගෙන. ඒ කපටි කමට. 

හැමදාම කියනව අයියලව අවුස්සන්න එපා කියල. කොච්චර කීවත් කරන්නෙම ඒක. තාත්තා තමයි මෙයාව නරක් කරන්නේ. කෝ යන්න මූණ හෝදන්න..  අම්ම කෑ ගහන්නේ අහල පහලටත් ඇහෙන්න. එතකොටම කොහෙදෝ ඉඳන් දුවගෙන එන චන්ද්‍රානි අක්කා මාවත් වඩාගෙන එක්ක යන්නෙ මූණ හෝදන්න. කලින් ලෑස්ති කරල තිබ්බ උණු වතුරෙන් මූණ හෝදවල ආපහු වඩාගෙන එන්නෙත් අක්කමයි. ඒ නම් වැඩියෙන්ම බිම තිබ්බොත් ටොමී බලන්න දුවලා ආයම හෝදන්න වෙයි කියන බයට. 

ටොමී කීවේ අපේ බල්ලට. මම දැක්ක ආදරණීයම බල්ලා තමයි ටොමී. තාත්තා මාස ගානක් රුසියානු සංචා‍රයක ගිහින් හිටි කාලෙ මගේ හැම අඬෝවැඩියාවක්ම ඇහුවේ ටොමී. කන් දෙන වන වන මං කියන ඔක්කෝම අහන් ඉන්න ටොමී ඊගාවට කරන්නේ මගේ මූණ ඉඹින එක. මං අදටත් හිතන්නෙ ටොමී ට මම කියන ඔක්කෝම තේරුනා කියලා.මොකද ටොමී මා දිහා බලන ඒ ආදරණීය බැල්මෙ හැමදාමත් තිබ්බේ බබාට මම ඉන්නවා කියන හිතවත්කම. 

චන්ද්‍රානි අක්කගෙ තුරුළෙ වහං වෙලා කාමරේට එනකොට තාත්තා කච්චේරි යන්න ලෑස්තියි. එතකොට තාත්තා වැඩ කරේ නුවරඑළියෙ කච්චේරියෙ. තාත්තා හැමදාමත් ඇන්දේ කිරි සුදු නැෂනල් සූට් එක. තරුණ කාලෙ ඉඳන්ම කොමියුනිස්ට් වාදියෙක් වුන තාත්තා අදටත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන ඕනෑවටත් වඩා වද වෙන කෙනෙක්. ඒ ප්‍රතිපත්ති නිසාමද මන්දා තාත්තා කිසිම වෙලාවක එයාගෙ ඇඳුම් පිළිවෙල වෙනස් කරේ නෑ. අවම විදෙස් සංචාරයකදිවත් ! 

තාත්තා කලින් දා වරුවක් තිස්සේ එකම එක ඉරක් වත් නැතිවෙන්න මැදල තිබ්බ සුදු සූට් එක ඇඳගෙන ඒ කිසිම දෙයක් ගැන වද නොවී එයාගෙ මැණික වෙච්ච මාව වඩාගෙන ඉඹල තමයි හැමදාමත් වැඩට ගියේ. ඔන්න ඊට පස්සෙ එන්නෙ ඇඳුම් යුද්දෙ.. 

චන්ද්‍රානි අක්ක තමා මාව අන්දන්නෙ ඒ කාලෙ හැමදාම. සුදු ගවුම අන්දන්නෙ අන්තිමටම. එක මේස් එකක් දාලා අනිත් මේස් එක දාන්න මාව අල්ලන්න හැමදාමත් අක්කා ඇඳ පුරා ගේ පුරා කෑ ගහ ගහ දුවපු කාලයක් ඒක. අන්තිමේ කොහොම හරි අතින් ඇදගෙන ඇවිත් ඇඳුම් අන්දල ඉවර වෙනකොට අම්මා සාරියත් ඇඳගෙන ඉවරයි. ඔන්න ඊගාවට අම්මගෙ අතින් අල්ලගෙන යන්නෙ ඉස්කෝලෙට. 

ඒ පොඩිම කාලෙ මම ගියේ අම්ම එක්ක අම්මා උගන්නපු ඉස්කෝලෙට. ඉස්කෝලෙ තිබ්බෙ සොහොන් පිටියට මායිම්ව. ඉතින් කලින්දා කාගෙහරි මරණයක් භූමිධාන කරල තිබ්බොතින් එහෙම ඉස්කෝලෙ යෑම පැත්තක තියලා මට ඕන වෙනවා කැලෑ මල් කඩාගෙන අර අලුත් මිණීවල වහපු පස් ගොඩැල්ලෙ ඒ මල් අතුරලා ඒ මැරුණ කෙනා එක්ක කතා කරන්න. එයා වල ඇතුලේ සනීපෙන්ද කියලා අහන්න. යන්තම් අකුරු පුළුවන් දා ඉඳන්ම ලස්සන වසීලිස්ස පොතට වහ වැටිලා හිටි නිසාම මට ඕන වුනේ ඉවාන් එයාගෙ තාත්තා එක්ක කතා කරා වගේ මැරුණ අය එක්ක කතා කරලා දුක සැප අහන්න. ඒක ටිකක් විකාරයි වගේ නම් තමයි. ඒත් අදටත් මම ඒ දේට හරිම ආසයි. සොහොන් පිට්ටනි වලට ගිහින් ඒ නිස්කලංක පරිසරේ ඉඳන් සොහොන් කොත් ගාවට වෙලා කියව කියව ඉන්න. මගේ මේ විකාර ඉවසන්නම බැරි වෙනකොට අම්ම කරන්නේ බලෙන්ම මාව ඇදගෙන ඉස්කෝලෙ ඇතුලට යන එක. 

ඊට පස්සෙ අම්මා අම්මගෙ පන්තියටත් මාව මම හිටිය පන්තියටත් දාලා මටත් ඇහෙන්නම මගේ පන්තියේ සෝමා ටීචර් ට , "ඔන්න වැඩ කරේ නැත්තම් අර තඩි වේවැලෙන් දෙන එකයි තියෙන්නෙ පස්ස රත් වෙන්නම , ඊයෙත් එක පොතක් අතින් අල්ලන්නෙ නැතුව නැටුව දවසම " කියාගෙන තමයි යන්නෙ. හැබැයි කවමදාකවත් සෝමා ටීචර් ඒ අම්මා කී තාලෙට මට ගැහුවෙ නෑ. මට තියා පන්තියෙ වෙන කාටවත් ගහපු බවක් ගැන මට මතකයකුත් නෑ. 

ඔන්න ඊගාවට අපේ පංති වැඩ පටන් ගන්නව. කෝ ගන්න බලන්න ගේන්න කීව ගල් කැට ටික....... 

ගල් කැට..... ඔන්න එතකොටයි මට මතක් වෙන්නෙ ගල් කැට. ඒ වෙලාවට මට මතක් වෙන්නෙම එහා පන්තියෙ ඉන්න අම්මව. අම්ම ඉගැන්නුවෙත් එක වසරට. අම්මගෙ බලවත් ඉල්ලීමට තමයි මාව අනිත් පන්තියට දාල තියෙන්නෙ. ඔන්න ඉතින් ගල් කැට ගැන එවෙලෙ අහපු ගානට ඇස් දෙක ලොකු කරන් පුටුවෙන් නැගිටින මම ... 

ටීචර්... මගෙ ගල් කැට අම්මගෙ බෑග් එකේ... මං ඒක අරන් එන්නම්.... කියනවා.. 

සෝමා ටීචර් මා දිහා බලන්නෙ අවිස්වාස හැඟීමෙන්.. ඒත් හා හා ඉක්මනට ගිහින් අරන් එන්න.  ඉ ක් ම න ට...  අන්තිම ඉක්මනට එක කියන්නෙ බර කරල.. 

ඔන්න මම අම්මගෙ පන්තිය ඉස්සරහා.. ඒක හරිම තීරණාත්මක මොහොතක්.. හරියටම කියනවනම්, විත්ති කූඩුවේ ඉඳන් නඩුකාර උන්නාන්සෙ දිහා බලා ඉන්නව වගේ හැඟීමක්.. 

මූණට නගා ගන්න පුලුවන් බයාදුම බැල්මෙන් මම අම්ම දිහා බලනවා.. 

අම්මේ....... 
අම්මේ... ගල් කැට.... 

©️ප්‍රභානී තෙන්නකෝන්. 

මතු සම්භන්ධයි.




කඳුකරයේ මතක 01

කඳුකරේ මතක... 01



සීතලම සීතල කඳුකරේ එහෙ මෙහෙ දුව පැන්න හයිඩි වගේ මමත් උපන්නේ සීතල බණ්ඩාරවෙල කඳුකරේ. ඒ මතක තමයි මගේ ජීවිතේ ලස්සනම මතක. මගේ අකුරු අඳුනන බොහෝ අය දන්න දෙයක් තමයි මගේ හිතට සංවේදී වූ මතක ගැන මම ලියන හැම වෙලාවකම , මට පුරුදු මං ලියන හාස්‍ය රටාවෙන් මිදිලා වෙනනම රටාවකින් මම ඒ ලියවිලි ලියන බව. ඇත්තටම කීවෙත් මම ලියනවා නෙමෙයි මට එහෙම ලියවෙනවා ඒ මතක ගැන. මොකද ඒ මතක ඒ තරමටම සංවේදී හා ආදරණීය වීම නිසා. ඉතින් එහෙනම් මම මේ ගේන්න යන්නේ ඒ ආදරණීය කඳුකරේ ලස්සනම ලස්සන ආදරණීය මතක පේළියක්. කඳුකර මතක මම පටන් ගන්නේ එක වසරේ ඉඳන්. මේ මතක දිගෑරෙන අනිත් බිම අච්චාරුව නිසා මේ මතක අරන් යන අයට ඒ ගැන සඳහනක් කරන්න කියලා ඉල්ලනවා මම ඉතාමත්ම ආදරයෙන්. 

ආදරණීය සීතල කඳුකරේට ඉර පායන්නේ ටිකක් පරක්කු වෙලා. ඉස්කෝලෙ යන්න නැගිටින්න කියලා දෙතුන් පාරක් තාත්තා කතා කරත් ආයම ඇඳට ගුලි ගැහෙන්නේ කම්මැලි කමට වඩා සීතල නිසා. දෙතුන් පාරක් කතා කරන තාත්තා ආයම කතා නොකර ඇඳ ගාවට ඇවිත් මාව වඩාගෙන මූණ හෝදන්න එක්ක යන්නේ තවත් කොච්චරක් කතා කරත් නැගිටින්නේ නැති බව දන්න නිසාමයි. අඬ නින්දේ තාත්තගේ තුරුල්ලෙ ඉඳන් ආයම කරේ නිදාගන්න තරම් නිදිමත තදයි සීතලටම. හරියට පූස් පැටියෙක් වගේ ඒ උණුහුමේ ගුළි ගැහෙන්න පුලුවන් තරම්ම තාත්තෙක්ගෙ ආදරේ හරිම උණුහුමයි. 

ඉස්සරම ඒ අපි පුංචි කාලේ අපේ ගෙදර නානකාමරයක් තිබ්බෙ නෑ ගේ ඇතුලේ. මිදුලෙ කොනක තමයි මූණ හෝදන්න හදලා තිබ්බේ. එතනම තිබ්බෙ රතුම රතුපාට බල්බ් දාන ජම්බු ගහ. ඒ ලඟම තිබ්බ අලිගැටපේර ගහේ තිබ්බා ඔංචිල්ලාවක්. අපි මූණ හෝදන වතුර ගලා යන්න තිබ්බ කානුව දෙපැත්තේ ලිලී මල් පඳුරු තිබ්බා ඕසෙට මල් පිපුන. එතනින් ගලන් ගිය වතුර ඊගාවට බෙදිලා ගියේ චන්ද්‍රානි අක්කගේ මල් වලට. සුදු පාට මගුල් කපුරු මැද දම්පාට පොඩි කපුරු පඳුරු වලට. ඊට ටිකක් උඩින් තිබ්බේ ගෝවා , කැරට් , ලීක්ස් වගේ එළවලු පාත්ති. වතුර පාරට පහලින් තිබ්බ පාත්ති වල සේර , පාස්ලි , සලාද , රම්පෙ , නීරමුල්ලිය විතරක් නෙමෙයි ඊටත් පහලින් සැවැන්දරා යායක්ම තිබ්බා කියන්න මට මතකයි. මේ ඔක්කෝගෙම අයිතිකාරි චන්ද්‍රානි අක්කා. 

චන්ද්‍රානි අක්කා කීවෙ අපේ ලොකුම ලොකු නැන්දගෙ දුවට. අපේ ලොකු අයියා පොඩි කාලෙ ඉඳන්ම ඒ අක්කා හිටියේ අපේ ගෙදර. වත්ත පිටියේ වැඩ කරල දෙන්න එන අත් උදවු කාරයින්ට අණසක පතුරවගෙන. ඒ විතරක් නෙමෙයි , උයන්න උදවුවට හිටිය පූර්ණ අම්මට , මගේ තනියට සෙල්ලම් කරන්න හිටිය පාපට , අපේ අයියල දෙන්නට , මට.. අපි හැමෝටම අණසක පතුරවගෙන. හරියට අර මිස්ටර් බීන් කාටුන් එකේ බීන් ගෙ ඉන්න ගෙදර අයිතිකාරි වගේ.. එහෙමත් නැත්තම් එලිසබෙත් මහ රාජිනී වගේ.. ඒ අණසකට විරුද්ධව මැස්සෙක් වත් නිර්භීතව පියාඹන්නෙ නෑ. ඒ තරම්ම ඒවා දරුණුයි. හැබැයි ඒවා හරිම ආදරණීයයි.. 

තාත්තාගෙ කරේ බාගෙට නිදාගෙන කුස්සියට එන මට ඊගාවට හම්බවෙන්නෙ දුම්දාන කිරි කෝප්පයක් එක්ක මාරි බිස්කට් පැකට් එකක්. ඔවු ඒ තමයි මගේ පොඩි කාලේ උදේ කෑම එක. ඒ දෙක නොතිබ්බොත් ගේ යුද්ධ පිටියක් කරන්න පුළුවන් විදියේ ඇඬීමක් මට තිබ්බා පොඩි කාලෙ. ලොකු අයියා නම් කීවෙ ඇඬිවතී අඬලා ඔක්කොම ජය ගන්නව කියල. ඒත් පොඩි අයියා නම් එයාට වාසි වෙන දේවල් වලටත් මගේ ඇඬිල්ලම පාවිච්චි කරා ඒ කාලෙත්. කිරි ජොග්ගුවෙ එක එක මාරි බිස්කට් එක පොඟව පොඟව කන එක කලාවක්. මාරි බිස්කට් එක වැඩියෙන් පෙඟුනොත් කඩාගෙන වැටෙනව කිරි එකට. අඩුවෙන් පෙඟුනොත් හයියයි. ඒ නිසා ඒක හරිම ගානට පොඟවගන්න ඕන. 

කුස්සියෙ උස පුටුවෙ වාඩි වෙලා එතන තිබ්බ මේසෙට වැලමිට ගහගෙන බාගෙට නිදි කිරන ගමන් අර මාරි පැකට් එකම කාලා ඉවර වෙනකොට ඔන්න අපේ අයියල දෙන්නා කිරි කොක්කු වගේ ලස්සනට ඇඳගෙන එනවා ඉස්කෝලෙ යන්න. එයාලා යන්නෙ බස් එකේ බණ්ඩාරවෙල ලොකු ඉස්කෝලෙට. ඒ ගමනට පැයක්ම යන නිසා එයාල උදේ හයට ගෙදරින් යනවා. ඒ කාලෙ ඉස්කෝලෙ පටන් ගත්තේ හතයි තිහට නෙ. පස්සෙ අටට වෙලා දැන්නම් කීයටද මන්දා.. එයාල අම්මට වැඳලා ඊගාවට වඳින්න එන්නේ තාත්තා ගාවට. තාත්තා ඉන්නෙ මා ගාව නිසා එයාල තාත්තාට වඳිනකොට තාත්තාට කලින් ඒ දෙන්නගෙ ඔලුව අතගාන්නෙ මම. ඉතින් එයාල දවස පටන් ගන්නෙම රංඬු වේගෙන හැමදාම. 

ඔන්න එයාලාව සන්සුන් කරලා බස් එකට නග්ගන අම්මා ඊගාවට හැරෙන්නෙ මා දිහාට..... 

පොඩි දුව............. 


මතු සම්භන්ධයි.