Wednesday, 24 June 2020

කඳුකරයේ මතක 15

කඳුකරේ මතක 15 


හැමදාමත් අවුරුදු චාරිත්‍ර ඒ විදියටම ඉටු කරන්නත් ඒ එක එකක් ගැන අපිට කියා දෙන්නත් අපේ අම්මයි තාත්තයි දෙන්නම එකා වගේ ඒ වෙනුවෙන් හිටියා කීවොත් මම හරි. හැම අවුරුද්දකම කුස්සිය මැද ලිපක් හදලා ඒකෙ කිරි ඉතිරෙවුවේ අම්මා. අම්මත් එක්කම ඒ හැම තැනකම ආදරේ පුරෝගෙන හිටියේ ලොකු අම්මා. කිරි උතුරවලා ඉවර වෙලා අවුරුදු චාරිත්‍ර කරනකොට අපි හැමෝම ඉස්සෙල්ලම වැන්දේ ලොකු අම්මට. ඊට පස්සෙ තාත්තට. අන්තිමට අම්මට. බුලත් අත දීලා වැන්දම ඒ බුලත් අතෙන්ම කොළයක් අරන් ඒකෙ සල්ලි ඔතල අපිට දෙනවා. 

ඊට පස්සෙ අපි යන්නෙ ගණුදෙනු කරන්න. හැමදාමත් අපි ඉස්සෙල්ලම ගණුදෙනු කරේ ලිඳ එක්ක. කලින් සෝදලා අරන් තිබ්බ අඟුරු කැට පොල්කට්ටක් , ලුණු ටිකක් , සමන් පිච්ච මල් අහුරක්, සල්ලි කාසියක් එක්ක ලිඳට දාන අම්මා ලිඳට වැඳලා අලුත් වතුර පනිට්ටුවක් ගන්නවා. ඒ වතුර පනිට්ටුවෙන් ගන්න වතුර බෝතලයක් අරන් තියනවා පිරිත් කරන්න. හැම අවුරුද්දකම මේ දේ මේ විදියටම අපේ ගෙදර සිද්ද වෙනවා. ඔවු අදටත් , අපි තුන් දෙනාගෙන් දෙන්නෙක්ම අවුරුද්දට ගෙදර නැති වුනත්. 

ඊට පස්සෙ අපි යන්නෙ ඉස්සෙල්ලම පංසලට. කැවිළි කිරිබත් අරගෙන පංසලට ගිහින් වැඳ පුදාගෙන එන ගමන් අම්මා සේකර මාමගෙ කඩෙන් ලුණු පැකට් එකක් හාල් , පොල් වගේ මොනාහරි දෙයක් ගන්නවා. ඊට පස්සෙ සේකර මාමා අපිට තෑගි දෙනවා. ඊගාවට ගෙදර එන අපි කැවිළි පිඟන් අරන් වටේ ගෙවල් වලට යනවා. එයාලත් අපේ ගෙදරට එනවා. කඳුකරේ අවුරුදු සිරියෙන් පිරිලා ඉතිරිලා යනවා. අලුත් ඇඳුම් අලුත් බඩු එක්ක රතිඤ්ඤා හඩින් මුලු පලාතම අලුත් වෙනවා. 

උඩ ගෙදරට පහල ගෙදරට කැවිළි පිඟන් උස්සන් යන පොඩි අපි ඊගාවට පටන් ගන්නේ ඔංචිලි පදින්න. කැට ගහන්න , පංච දාන්න. වට පිටේ ඉන්න පොඩි උන් ඔක්කොම එකතු වුනාම ඕසෙට සෙල්ලම් කලෑකි. සමහර වෙලාවට අවුරුදු උත්සව පවා තියන්න තරම් අපි ඒ කාලේ නිදහස් චරිත. තාලෙට ඔංචිලි වාරම් කිය කිය ඔංචිලි පදින්නේ අවුරුදු කාලෙට විතරයි. අනිත් කාලෙට නිකම්ම ඔංචිලි පදිනව මිසක් සිංදු කවි කියන්නෑනේ. වරුවක් ඔංචිලි පැදලා ඊගාවට කරන්නෙ පංච දාන එක. 

ඊට පස්සෙ ගෑණු ළමයි ටික මිදුලේ ලොකු කොටු ඇඳලා කොටු පනිනකොට පිරිමි ළමයි කරන්නෙ කැට ගහන එක. අන්තිමේ රෑට රෑ වෙනකල් සෙල්ලම් කරලා අවසානෙට කරන්නේ එදා දවසෙ අපිට ලැබුණ ගණුදෙනු වල සල්ලි එකතු කරන එක. පස්සේ ඒ සල්ලි ඔක්කොම අම්මල එක්ක ගිහින් බැංකු පොතට දානවා. පොඩි කාලෙ ඉඳන්ම අපේ අම්මල අපිට ඉතුරු කරන්න කියා දුන්නෙ එහෙමයි. ඒ ජීවිතේ හරිම ලස්සනයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 

මතු සම්භන්ධයි. 



කඳුකරයේ මතක 14

කඳුකරයේ මතක 14 


දැන්කාලෙ ළමයින්ට දකින්න අඩුවෙන් තියන කුරහන් ගල , තෝසෙ ගල , ගල් වංගෙඩිය වගේ දේවල් අපේ ගෙදර තිබුනා. දැනටත් මේ බඩු තිබුනා වුනාට දැන්නම් මේව අපේ ගෙදර තියල තියෙන්නේ අපේ අම්මගෙයි තාත්තාගෙයි මුණුබුරු මිණිබිරියො මහ ගෙදරට ආවම එයාලට මේවා ක්‍රියා කරවන හැටි පෙන්නන්න විතරයි. ඒ අතින් ඇත්තටම අපේ දරුවොත් වාසනාවන්තයි. නවීන ලෝකෙ ඉඳන් ඒ අතීත අත්දැකීමුත් ලබාගන්න පුලුවන් නිසා. 

ඉස්සර අපි පොඩි කාලෙ අවුරුදු ලංවෙනකොට අපිට ඒක දනවන්නේ පරිසරය විසින්මයි. කැලේ පිපෙන එරබඳු මල් වගේම වටේ ගස් වල ඉඳන් සිංදු කියන කොහෝ පවුලත් අපිට කියන්නෙ දැන් අවුරුදු ලඟ ලඟම එන බව. අවුරුද්ද කියන්නෙම පොඩි අපිට ලොකු මංගල්ලයක්.තාත්තා ඉස්සෙල්ලම කරන්නේ අලිගැටපේර ගහේ ඔංචිල්ලාව අලුත් කරන එක. ඊට පස්සෙ අර්සන් ලවා ලොකු වලක් වත්තෙ කප්පවන තාත්තා ඒකට කෙසෙල් කැන් දාලා දුංගස්සන්නේ අවුරුදු මේසෙට ගන්න හිතාගෙන. කෙසෙල් කොළ පරඬැල් පත්තු කරලා දුං ගස්සන කොට ඒ වටේ ඉන්න අපි ඒ දිහාවෙ බල බල ඉන්නේ කඳුළු වක්කර වක්කර. 

චන්ද්‍රානි අක්කා ලොකු තාච්චියේ මුං ඇට බදින්න ගන්නේ පූර්ණ අම්මවත් සහයට එකතු කරගෙන. මුලු ගෙදරම සුවඳ ගස්ස ගස්ස බැඳෙන මුංඇට අහුරක් ඉල්ලගන්න කියලා අපි කුස්සියට ගියාම අක්කා කියන්නේ කෝ යන්ඩ අහට්ට මෙතන ගිණි රස්නෙ ලගින්න එන්නෙ නැතුව , මුංඇට දෙන්නං පස්සෙ කියල. ඒත් පොඩි අපි කවුරුවත් ඒ වචනෙට කීකරු නැති බව අක්කත් දන්න හන්දා ලිපෙන් බාන්නත් කලින්ම ලොකු පොල්කටු හැන්දක් පුරෝලා ඒ මුංඇට අපිට දෙන්නේ පිඟානකට දාලා. 

ඊටපස්සෙ අර බැදගත්ත මුංඇට කුරහං ගලේ දාලා ඒක පිටි කරගන්නවා. පොඩි අපි ආසම වැඩේ ඒක. ගල කරකවන එක. අයියලා මුල් වට දහය කරකවන ගමන්ම මටත් දෙනවා ඒ වේගෙන්ම කරකවන්න කියල. එතකොට පොඩි මට වෙහෙස අඩුයි. ඒ කාලෙත් ඔය හැමඑකම කරගන්න හැකි විදුළි උපකරණ අපේ ගෙදර තිබුනා වුනත් අවුරුදු කාලෙට කුරහං ගල එලියට ගන්නේ පොඩි අපි වෙනුවෙන් මයි. ඒ දේවල් ගැන පාඩම් කියා දෙන්න ඕන නිසාමයි. ඇඹරෙන මුංඇට පිටි වලින් ඊටපස්සෙ අම්මයි චන්ද්‍රානි අක්කයි රසම රස මුං කැවුම් හදන්කොට එයාල ඉස්සෙල්ලම කරේ බුද්ධ පූජාව වෙනුවෙන් කොටසක් අයින් කරලාම තියන එක. 

මොකද එහෙම නොවුනොත් පොඩි අපි නිසා ඒ කාර්‍යය හරියකට කරගන්න වෙන්නෙ නැති බව එයාලට විස්වාසයි. 

රැයක් පුරාවට පෙඟෙන්න දාන කැකුළු හාල් පහුවදාට කොටන්නේ පූර්ණා අම්මා. ඒ පිටි වලින් රස කැවුම් හැදුවේ අපේ නැන්දා. අවුරුදු කිට්ටු වෙනකොට නැන්දා අපේ ගෙදර එන්නේ අපිට කැවිළි හදා දෙන්නමයි. මොකද කොළඹ හැදුන අම්මා ගමේ කෑම , කැවිළි ගැන දැනං හිටියේ බොහොම පොඩ්ඩයි. අම්මා කාටත් ලෝබ නැතුව හදා දුන්නේ බටහිර පස්සෙ කෑම. නැන්දාට ගෙනියන්න කේක් මාශ්මෙලෝස් වගේ කෑම අම්මා හදා දුන්නාඅ හැමදාමත්. 

නැන්දා හරි අගේට කැවිළි හදනකොට ඒ දිහා බලා ඉන්න පොඩි මම හරි ආසයි ඒ කාලෙ. කැවුමක් ඕන වුනාම නැන්දාගෙ පිටිපස්සෙන් බෙල්ල බදාගන්නකොට මේ දාඩිය අස්සේ ආවා නාඩගං කරන්ඩ.. කෝ යන්ඩ මං අම්මට කතා කරන්ඩ කලින් , ආ මේං මේක හංගං කන්ඩ , නැන්දා මෙහෙම කියලා හිමීට නිවුන කැවුමක් දෙකක් අතේ තියන්නේ පුදුමාකාර ආදරයක් ඇස් වල පුරෝගෙන. ඒ ඇස් වල එදත් අදත් තියෙන්නෙ අව්‍යාජ කම. ආදරය. 

පෙගෙන්න දාපු උඳු ටික අරන් උඳු ගලේ දාල අඹරන්නේ හැමදාමත් පූර්ණා අම්මා. ඊටපස්සෙ ඒකෙන් අපිට උඳුවැල් හදා දෙන්නෙත් පූර්ණා අම්මාම තමයි. අවුරුදු නිවාඩුවට ඒ කාලේ හැමදාමත් අපේ ලොකු අම්මා ඒ කියන්නෙ අපේ අම්මගේ අක්කා කොළඹ ඉඳන් ගෙදර ආවා. ලොකු අම්මා එනව කියන්නේ අපිට එලිසබෙත් රාජිනී එනවා හා සමාන දෙයක්. ආදරේ එක්ක පොඩි අපි හැමෝටම එක වගේ තෑගි ගොඩාරියක් අරන් එන ලොකු අම්මා කියන්නෙ ඇත්තටම ආදරේ ප්‍රතිමූර්තියක්. 

පොඩි අපි තුන්දෙනාට අලුත් ඇඳුම් වලට අමතරව , රතිඤ්ඤා පෙට්ටි තුනක් , බංටි ටොපී පැකට් තුනක් , මාමයිට් බෝතල් තුනක් , චොක්ලට් පාර්සල් තුනක් , ඇපල් මිදි වගේ මහා ගොඩක් තෑගි අරන් තමයි ලොකු අම්මා හැමදාමත් නිවාඩුවට අපේ දිහා ආවෙ. ලොකු අම්මා තැගි මලු ලිහන හැම වෙලාවෙම අම්මා කීවේ , අනේ අක්කේ මොකට ඔහොම වියදං කරනවද එකක් ගෙනාහම මදෑ කියල. එතකොට ලොකු අම්මා හිනා වෙලා අහන්නේ , එකක් ගෙනාවම මෙතන රංඩු බේරන්නෙ මං ද? කියල. 

තුන් දෙනාට සමානව ලොකුම ලොකු තෑගි මළු තුනක් ගේන ලොකු අම්මා ගෙදර බල්ලා වෙච්ච ටොමීට පවා බිස්කට් ගේන්න කවදාවත්ම අමතක කරේ නෑ. ඒ තරම් ආදරේ උල්පතක් මම මගේ ජීවිතේ කවමදාකවත් දැකල නෑ ඇත්තටම. තුන්දෙනාටම ඉංග්‍රීසි කතා පොත් අරන් එන ලොකු අම්මා මුලු නිවාඩුවෙම අපිට ඒ කතා කියා දුන්නා. බටහිර විදියටම ඉංග්‍රීසි උච්ඡාරණය කරපු ලොකු අම්මා පොඩි අපිට බැරි පාඩම් පවා ඒ කාලෙ කියා දුන්නා. 

මතු සම්භන්ධයි 
©️ප්‍රභානී තෙන්නකෝන්. 



කඳුකරයේ මතක 13

කඳුකරේ මතක 13 


ඇටම්පිටිය කියන ගම එක්ක මට තියෙන්නෙ හරි ආදරණීය මතක ගොඩක්. හරියට හයිඩි එයාගෙ සීයා එක්ක ජීවිතේ ගත කරපු කඳුකරය එක්ක තිබ්බ බැඳීම වගේ. කඳුකරය කියන්නෙම ආදරේ පිරුණ අව්‍යාජ මිනිස්සුන්ගෙ තෝතැන්නක්. ඒක දැනෙන්න නම් නාගරික , අර්ධ නාගරික ජීවිතෙන් මිදිලා ගම් ඇතුලට යන්න ඕන. හරියට අපේ නැන්දල ගෙ ගෙවල් තියන පැති වලට වගේ. 

අපේ ගෙදර තිබ්බෙ ඇටම්පිටියෙ නගරෙම වුනාට ඒක පොඩි නගරයක්. පොඩි කඩ මණ්ඩියක් එක්ක සියළු අවශ්‍යතා සපිරුණ නගරයක්. අවට ගම් කීපෙකටම තිබ්බ ආසන්න නගරයත් ඒක මයි. ඇටම්පිටිය ට ඇටම්පිටිය කියන නම වැටෙන්න කලින් ඉස්සරම කාලෙ මිනිස්සු කියල තියෙන්න සටංපිටිය කියලලු. ඒ නම වැටෙන්න ඇත්තෙ නම් අපේ ගෙදරට උඩින් තියන බලකොටුව නිසා වෙන්න ඇති. කොටුගොඩැල්ල බලකොටුව කියන්නෙ හරි ලස්සන තැනක්. ඒක මේ වෙද්දි පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් සංරක්ෂණය කරනවා වුනාට ඉස්සර අපි පොඩි කාලෙ එහෙම තිබ්බෙ නෑ. ඒක එතකොට අපේ බලකොටුව. 

අපේ ගේ ගාවින් කන්ද උඩට පඩි පෙලේ නැග්ගම හම්බවෙන්නෙ කොටුගොඩැල්ලෙ බලකොටුව. බලකොටුව වටේට දිය අගල. බලකොටුව මුදුනට ගියාම ඌව පලාතෙන් බාගෙකටත් වඩා පේනව ලස්සනට. ඒක පෘතුගීසි කාලෙ හදපු බලකොටුවක්. එතන උඩට පේනවා බෝධියක්, අන්න ඒකට අපි කීවෙ නයයි හැපින්නයි බෝධිය කියල. එහෙම කීවේ ඒ බෝධියේ බෝධි මූල යන් දෙකක් එකිනෙකා වෙලාගෙන ඉන්න නයෙක් හා හැපින්නකගේ හැඩය ගත්ත නිසා. පැරැන්නෝ කියන විදියට නම් බලකොටුව මුදුනේ ඉදන් ඊතල පණිවිඩ එවුව තැනක් තමයි ලු ඒ බෝධිය. 

පොඩි අපේ ආසම සෙල්ලමක් තමයි බලකොටු නගින එක. වට පිටේ අක්කල අයියල එක්ක අපිත් ලස්සන හවසවල් ගෙවුවේ බලකොටුවෙ. පුංචි නිරුවත් දෙපා වලින් තණගොල්ලේ එහෙට මෙහෙට දුවන එක තරම් සුන්දර දෙයක් තවත් නැති තරම්. කන්දෙ පැත්තක තිබ්බේ ඕසෙට වැවුන ඇඹුල්පේර. තව පැත්තක රෙඩි බෙරි ලන්ද. අතරින් පතර බ්ලැක්බෙරි ලන්ද. ඔය ඔක්කොම අතරේ හිඟුරු යාය. 
වල් ගම්මිරිස් වැල් එක්ක හිනාවෙන හීං නාරං ගස් පේලිය. හීං අරත්ත මල් පිපුන අරත්ත යාය. 

පොඩි අපි කන්දට නගින්නෙම බොරු විට කන්න තියන ආසාවටමයි. බ්ලැක්බෙරි දලු, වල් ගම්මිරිස් ගෙඩි , හිඟුරු කොළ ,මල් ,ගෙඩි , එක්ක අරත්ත මල් තමයි අපේ බොරු විට. කටවල් රතු වෙනකල්ම මේ විට හපන පොඩි අපි ඊගාවට කරන්නෙ ඇඹුල්පේර කන එක. ඊට පස්සෙ නාරං. මේ හැම දෙයක්ම අතරේ අපි හරිම ආස වැඩේ තමයි දෝංකාරෙ අහන එක. අපේ බලකොටුවේ මුදුනෙ ඉඳන් හූවක් තිබ්බම ඒක වටේ කඳු වල වැදිලා ආපස්සට අපිටම ඇහෙනවා දෙතුන් පාරකට. වටේ ගෙවල් වල ඉන්න මිනිස්සු ගෙවල් වලින් එලියට ඇවිත් , ඔය මදෑ හූ කීවා.. දැං නරිත් එයි දොක්කං කරන් යන්ඩ කට්ටියවම කියල කියනකල්ම අපි කරේ හූ කියන එක. 

බලකොටුවෙ තිබ්බ බදන්න බැරි තරම් ලොකු කලු ගල් උස්සන් ගිහින් වටේ මිනිස්සු ගෙවල් හදාගත්තට පස්සෙ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මතක් වුනේ මේ උරුමය ආරක්ශා කරන්න ඕන කියල. ඒත් ඉතින් ඒ වෙද්දි ඒකෙ ආරක්ශා කරන්න ඉතුරු වෙලා තිබ්බෙ දිය අගල විතරයි. 

කන්ද මුදුනට එක පැත්තකින් නයයි හැපින්නයි බෝධිය පේනකොට අනිත් පැත්තෙන් පෙනුනේ ගමේ පන්සලේ බෝධිය. මේ තුන සමපාද ත්‍රිකෝණයක මුළු තුනක් වගේ. වටේම කඳු වලල්ල. පැත්තකින් නමුණුකුල , පැත්තකින් පිදුරුතලාගල. තව පැත්තකින් ස්ලීපින්ග් සෝල්ජර් කඳු වැටිය. ඈතින් ඇල්ල කඳු වැටිය. පොඩි අපි රෑට රෑ වෙනකල්ම මේ බලකොටුව මුදුනේ තණ ගොල්ලේ දවස ගෙවන්න හරි ආසයි. සමහරදාට විනෝද ගමනක් වගේ කෑමත් අරන් තමයි අපි ආවේ. එහෙම දවසට අම්මලත් ආවා අපි එක්ක. එදාට අපි රෑ තරු පායන හැටි , තාරකා රටා තේරුවේ මේ තණගොල්ලේ නිදාගෙන. 

අයියා මහා වලසා හොයාගන්නකොට මම හැමදාමත් හොයාගත්තේ දඩයක්කාරයගෙ බඳ පටිය. අද ඒ සොඳුරු පරිසරයෙන් හැතැම්ම දාස් ගානක් , මුහුදු ගානක් එපිට ඉඳගෙනත් මගේ ගෙදර සඳලුතලයේ ඉඳන් යුරෝපා අහස බලන මම මගේ සැමියට ,පුතාට කලින් හොයා ගන්නෙත් දඩයක්කාරයගෙ බඳ පටිය. ඒ බඳ පටිය දිගේ ආපහු මම යන්නේ පොඩි කාලෙ මම ගෙවපු කඳුකරේ බලකොටුවට. අහස එකම එක තරු වියනක් වෙද්දි එහෙන් මෙහෙන් එන මදුරුවොන්ගෙන් බේරෙන්න අපි කරේ මදුරුතලා ගස් ටිකක් එක්කරලා ගිණිමැලයක් ගහපු එක. වරුවක් තරු දිහා බලන් ඉන්න අපි ඊගාවට කන්ද බැහැලා යන්නේ ආයම තව දවස් ගානකින් එන බවට බලකොටුවට පොරොන්දු වෙන ගමන්. 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 



කඳුකරයේ මතක 12

කඳුකරේ මතක 12


සේන මාමගෙ ජීවත කතාව හරි දුක්බර එකක්. ඒ මාම ගෙ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට පහලින්. අම්මයි තාත්තායි දෙන්නම නෑ. එයා ඉස්සර ලොකු දේපලක් තිබ්බ කෙනෙක් ලු. ටවුමේ හෝටලයක් පවා. සේන හෝටලේ. ඒ මාම ගෙ අම්මයි තාත්තායි මාමා පොඩි කාලෙම මැරිලා , ඊට පස්සේ ඒ මාමා එයාගෙ නෑයො ගාව තමයි  හැදිලා වැඩිලා තියෙන්නෙ. කොහොම හරි පොඩි කාලෙන්ම බීමට ඇබ්බැහි වීමෙ ප්‍රතිඵලයක් විදියට අන්තිමට ඒ මාම ට උනේ ඒ මාමටම අයිති සේන හෝටලේ දවසෙ පඩියට තේ හදන්න. 

කොහොම වුනත් මම හරි ආස චරිතයක් හිමි කෙනෙක් තමයි ඒ. සේන මාමා සරම පැත්තකින් උස්සගෙන ලොරි තට්ටුවකට වෙලා වැනි වැනී කෑ ගහන හැටි බලන්න මම ඒ කාලෙ හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි ඒ මාමා කරන විදියටම ආපහු ගෙදර ඇවිල්ලා රඟපාන්නත් පුදුම දක්ෂකමක් තමයි මට තිබ්බෙ. ඒ වැඩේ කරන්න කොච්චරක් එපා කීවත් අම්මට හොරෙන් හරි ඒක කරන්න තරමට මං ඒ චරිතයට හරි ආස වෙලා හිටියා. 

දවසක් අම්මයි මායි පොළේ ගිහින් එනකොට සේන මාමා වෙනදා වගේම සරම පැත්තකින් උස්සගෙන නවත්තල තිබ්බ ටිපර් එකක තට්ටුවකට වෙලා කෑ ගහනව. ලොරි තට්ටුවට වඩා එතන ඉදන් කෑ ගහනකොට හොඳට පේනව. මේක දැක්ක අම්මා මාව වෙන පාරකින් එක්ක යන්න හැදුවත් ඒක හරි නොගියේ අම්මගෙ යාලුවෙක් හම්බුන නිසා. අම්මල කතාවට වැටුනම පොඩි අපි ගැන නිනවුවක් නෑනෙ. ඉතින් ඒ නිසා මට එදා සෑහෙන්න වෙලාවක් සේන මාම කරන කියන දේවල් බලන්න පුලුවන් වුනා. 

සේන මාමා ටිපර් තට්ටුවේ වැනි වැනී මෙහෙම කියනව , මේ ලියන මොහොතෙ පවා මට ඒ මනුස්සයව මැවිල පේනවා. 

අඩෝ.... ප&යා..දැනගනිං ඕක මගේ හෝටලේ. ඔවු මගේ යකෝ.. තොපි ඕක ලියා ගත්තේ මට බොන්ඩ දීලා කමක් නෑ යකෝ.. කමක් නෑ... ඔහොම උන් අර පහල කුඹුරෙත් ඉන්නව යකෝ... ප&යෝ.... 

මේක ඇහුන මම ඒ වචන ගොන්නෙන් එක වචනයක් අල්ලගෙන ඒක මොකක් වෙන්න ඇතිද කියල හිතනකොට අන්තිමේ මට හිතුනෙ මෙහෙම. කුඹුරෙත් ඉන්නව නම් ඒ පඹයා වෙන්න ඇති කියලා. ඕක හිතාගෙන ගෙදර ආව මම ඒ ගැන වගක් නැතුව වෙන වෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. චන්ද්‍රානි අක්කා හදලා දෙන ලොකුම ලොකු කිරි කෝප්පෙ බීලා අයියලා එක්ක හැංගි මුත්තනුත් කරා. ඔහොම ඔහොම ගිහින් රෑ වුනාම තාත්තා ත් ගෙදර ආවා. 

ඔන්න අපි රෑ කෑම මේසෙ ඉන්නකොට මට එක පාරම මතක් වුනා මම අද වචනයක් හොයා ගත්ත බව. ඒක මතක් වුන මම , 

කවුද දන්නේ පඹයගෙ සමාන පදේ ? කියලා ඇහුවා. අයියලා දෙන්නා මූණට මූණ බලා ගන්නකොට අම්මා ඇස් ලොකු කරල මගේ දිහා බැලුවා. තාත්තා මගේ දිහා බලලා මොකද්ද පොඩි දූ කියන්නකො බලන්න කීවා. මාත් හරිම උජාරුවෙන් , ප&යා තමයි ඒක. අදයි මම හොයා ගත්තේ කියල කියනකොටම අයියලා දෙන්නා පුටු වලින් නැගිටලා කටවල් අතින් වහගෙන කාමර වලට දිවුවා. අම්මා වචන හිර වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නකොට තාත්තා කොහෙන්ද ඕක ඇහුනෙ ඔයාට කියල මගෙන් ඇහුවා. 

දවල් දැක්ක දේ ඒ විදියටම රඟපාලා පෙන්නුවම තාත්තා බොහොම හිමින් ආදරෙන් ඔලුව අතගාලා කීවා , ඒක පඹයාට කියන සමාන පදයක් නෙමේ පුතේ ඒක නරක වචනයක් කියලා. අම්ම නම් තාත්තාට නොපෙනෙන්න මගේ කණ මිරිකුවා. චන්ද්‍රානි අක්කා බඩ අල්ලන් හිනා වුනා. අයියලා කාලයක් යනකල් මට පඹච්චි කීවා. කාලයක් තිස්සේ ඇටම්පිටියෙ ටවුමේ හැමෝ එක්කම හිතවත්ව හිටිය ආදරණීය චරිතයක් වුන සේන මාමා පස්සෙ දවසක නිදි ඇඳේම මැරිලා හිටියා. මරණ පරීක්ෂණ තිබ්බ අය පපුවෙ අමාරුවක් නිසා කියල කියනකොට , අනේ ඒ අහිංසකයට පපුවෙ අමාරුව නොහැදුනානම් තමා පුදුමෙ කියලා ගමේ ඈයො කීවා. සේන මාම ව වලදාපු තැනට පස්සෙ දවසෙ අම්මා එක්ක ගිය මම එතන බලු නගුටු මල් මිටියක් තියලා වරුවක් කතා කර කර ඉඳලා ආවා. අයියල නම් කීවෙ මට පිස්සු කියල. ඒත් අම්මයි තාත්තයි අයියලට කීවෙ නංගිට පාඩුවෙ ඉන්න දෙන්න එයා දුකෙන් ඉන්නෙ කියල. 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 



කඳුකරයේ මතක 11

කඳුකරේ මතක 11 


පොඩි කාලෙ මම ආසම දෙයක් තමයි අම්මත් එක්ක පොළේ යන එක. අපේ ගෙදර තියෙන්නෙ බණ්ඩාරවෙල පාරෙ හරියටම ඇටම්පිටියෙ ඉස්පිරිතාලෙට පහලින්. ඉතින් අපි බණ්ඩාරවෙල පාරේ පොඩ්ඩක් පහලට ආවම තමයි ඇටම්පිටියෙ ටවුම පටන් ගන්නෙත්. ටවුම පටන් ගන්න තැනම ඉස්සර තිබ්බේ ශෙඩ් එක. දැන් ඒක එතන නැති වුනාට අලුතෙන් පෙට්‍රල් ශෙඩ් එකක් දාල තියනව එතනම පාරෙ අනිත් පැත්තෙන්. ඊට පස්සෙ එතන ඉඳන් පාරෙ පහලට පිළිවෙලකට කඩ පේලිය තැනින් තැන. ඔන්න සිංගර් මාමගේ සිංගර් කඩේ ගාවම තියෙන්නෙ රෝහිත මාමගෙ පොත් කඩේ. ඒ කඩේ පොඩි අපි තුන් දෙනාම යාව ජීව සාමාජිකයො කීවොත් මම හරි. 

පොළේ යන එක පැත්තක තියලා මම අම්මවත් ඇදගෙන ඒ කඩේට යන්නේ තෑගි ටොපී , ස්ටිකර් චොකෝ ගන්න. අපි පොඩි දවස් වල තිබ්බා තෑගි ටොපී කියල ජාතියක්. ඒ ටොෆී එක ඔතල තිබ්බ කොලේ ඇතුල් පැත්තේ ගහලා තිබ්බා අංකයක්. ආන්න ඒ අංකෙට හිමි තෑග්ග අපිට ලැබෙනවා කඩේ මාමා ගෙන්. අනිත් එක තමයි ස්ටිකර් චොකෝ. ඉස්සරම කැන්ඩෝස් චොක්ලට්, එක ඇතුලේ එක එක ස්ටිකර් තිබ්බා. මම දන්නෑ දැන්නම් තියනවද නැද්ද කියලා නම් ඒවා. තෑගි ටොපී වලින් මට ඉස්සර තෑගි ගොඩාක් හම්බවෙලා තියනව. පොඩි පොඩි ඉමිටේශන් මාල එහෙම අපිට හරි ලොකු දේවල් ඒ කාලෙ. දිළිසෙන්නෙ මොකද්ද අන්න ඒක අපිට හරි ලොකු දෙයක් ඒ කාලේ. 

ස්ටිකර් චොකෝ වලින් ගන්න ස්ටිකර් මම දුන්නෙ අයියට. එයා තමයි ඒව එකතු කරේ. එයාට තෑගි ටොපි වලින් හම්බුන කොන්ඩාකටු එහෙම එයා මට දුන්නා ඒකට හිලවුවට. වතාවක් අපේ අයියලා අහල පහල අයියලා එක්ක සෙල්ලම් කරනකොට මොකද්දෝ ස්ටිකර් රංඩුවක් ගිහින් අනූප අයියගේ ස්ටිකර් ඉරලා දාපු වෙලේ ඒ අයියගෙ තාත්තා ඒ කියන්නෙ රාළහාමි මාමා අපේ අයියලට බැනලා තිබ්බේ 

උඹලට මොන ඉස්ටිපිකර්ද බං , මෙතන මරාගන්නැතුව පළයල්ලා ගෙවල් වලට " කියලා. 

ඉතින් එදායින් පස්සේ අපි ඒ මාමට මූණට රාළහාමි මාමා කීවට නැති තැන කීවේ ඉස්ටිපිකර් මාමා කියලා මං පොඩි කාලෙ හිතන් හිටියේ ඒ මාමා පොලිස්  රාළහාමි කෙනෙක් වෙන්න ඇති කියලා. පස්සෙයි අපෙ අම්ම මට කීවේ ඒක ඒ මාමට පොඩි කාලෙ ගෙදරට කීව නම කියල. ඒ මාමා උන්නෙ අපේ වත්තට එහා වත්තේ. වැටෙන් තමා දෙපැත්ත වෙන් වුනේ. 

ඔන්න කොහොමහරි රෝහිත මාමගෙන් තෑගි ටොපී අරන් අම්මයි මායි පහලට එනකොට තියෙන්නෙ ගමේ විංකලේ. විංකලේ ගාවම තිබ්බෙ ටයර් කඩේ. ටයර් කඩේ මාම ට අයියලා කීවේ හුළං මාමා කියල. අදටත් මම දන්නෑ ඇයි ඒ මාම ට එහෙම කීවෙ කියල. කොහොම වුනත් ඒ දෙක පහු කරන් පහලට එනකොට තමයි කඩ ඔක්කොම එක ගොන්නට හම්බවෙන්නෙ. ඒ කාලෙ අපේ අම්මා බඩු ගත්තේ සේකර මාම ගෙ කඩෙන්. සේකර මාමා අපේ තාත්තාගෙ ලඟම නෑයෙක් නිසා මං කෙලින්ම ගිහින් වාඩි වෙන්නෙ මාම ගෙ පුටුවෙ. 

මේකිව නං මං ලොකු වුනාම අපේ දිහාට එක්ක යනවමයි කියල තමා සේකර මාමා ඒ පොඩි දවස් වල කීවේ. ඒ කී කතාවෙ ලොකු තේරුමක් තිබුන බව මට තේරුම් ගියේ ඊට අවු. පහලවකට විතර පස්සේ. ඒත් ඒ කතාව ඇත්තක් නොවුනේ මාමා අපි අතරින් නැතුව ගිය නිසා හා එහෙ අයිය ගෙ ජීවිතේට වගේම මගේ ජීවිතේ ටත් පසු කාලීනව වෙන වෙන චරිත එක්කාසු වුන නිසා. 

අම්මා මාම ලගෙ කඩෙන් ගන්න බඩු එහෙම තියා තියන්නේ අයියා ගෙදර යනකොට ඕක අපේ ගේ ගාවින් දාගෙන යන්න කියල කියන ගමන්. ඒ කියන්නෙ මාම වෑන් එකේ යනකොට ඒ බඩු මල්ල අපේ ගේ ගාවින් තියල යන්න කියන එක. අම්මටයි මටයි බරට බරේ බඩු උස්සන් යන්න බැරි නිසා. ගම් වල එහෙම තමයි. එක එක්කෙනාට උදවු කරගන්නවා. 
අම්මා එහෙම කියල පහල පොළ පැත්තට යන්න හදනකොට මාත් මාම ගෙ පුටුවෙන් බහින්නෙ ඒ එක්ක ම පහලට යන්න. ඔන්න එතකොට මාමා , බට්ටි ඔය යන්ඩද ? ඔරේන්ජ් බාර්ලි එපාද ? කියල අහනව. මම අම්මගෙ අතේ එල්ලෙන ගමන් " මාම ගෙනත් තියන්ඩකො , පහලට ගිහින් උඩහට එනකොට මං මැරෙයි ඕක බීවෙ නැත්තං කියල කියනව. 

මාමා ඒක අහල හයියෙන් හිනා වෙනකොට , අනේ මෙයාගෙ මැරිල්ල , අයියා අහුවෙන්නෙපා ඕවට කියාගෙන අම්ම මාවත් එක්කගෙන පොළට යනව. 

පොළේ තියෙන්නෙ පහල ගම් වලින් අරන් එන අලුත්ම එළවලු. අම්මා ඒ එක එක තෝරල ගන්න ගමන් මටත් පළතුරු මොනාහරි අරන් දෙනව , උලාගන්නෑ කටේ ඕක හෝදල දෙනකල් කියල කියන ගමන්ම. 

පොළෙන් බඩු අරන් අපි ආපහු එනකොට සේකර මාමා මට ඔරේන්ජ් බාර්ලි බෝතලේකුත් ගෙනත් තියල තියෙන්නෙ. ඒක බිබී ඉන්නකොට සමහර දාට මට පේන්නෙ සේන මාමව.

සේන මාමා කීවේ අපේ ගෙවල් ගාව හිටිය මනුස්සයෙක් ට. නෑකමක් නැතත් පොඩි අපි හැමෝම ඒ මනුස්සයට කීවේ සේන මාම කියල. සේන මාමා ඉන්නේ පැත්තකින් සරමක් උස්සගෙන , ලොරි තට්ටුවක කෑ ගගහා තමයි. අම්මා කොච්චරක් එපා කීවත් මං ආසම සේන මාමා කරන කියන දේවල් දිහා ඇස් ලොකු කරන් බලාගෙන ඉන්න. 

සේන මාමා හරි අපූරු චරිතයක් 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 




Tuesday, 2 June 2020

කඳුකරයේ මතක 10

කඳුකරයේ මතක 10 

මගේ අම්මගෙ මුල් ගම වෙන්නෙ පානදුරේ. පානදුරේ කීවට පානදුර - මොරටුව දෙක මැද හරියෙ. ( පරණ ගාලු පාරෙ ) එහෙ ජීවිතේ ගෙවපු සීයා වැඩ කරේ වෝකර් සන්ස් කියන සමාගමේ. ඒ සමාගමට අයිති තේ වතු යායක් තමයි ඇටම්පිටිය වතු යාය කියන්නෙත්. ඉතින් මේ තේ වතු යායට විදුළිය සපයගන්න හදපු මේ පොඩි පවර් හවුස් එකේ විදුළි ඉංජිනේරු අංශයේ සේවය කරපු කෙනෙක් තමා අපේ සීයා. අදටත් ඒ පොඩි පවර් හවුස් එකෙ ප්‍රධාන ජල සැපයුම් නළයේ සීයගෙ නම කොටලා තියෙන හැටි බලාගන්න පුලුවන් ඒ පැත්තට යන කෙනෙක්ට. ඉතින් එහෙම ඒ ආව ගමන , කඳුකරේ ට වශී වුන සීයා ඇටම්පිටිය නගරයෙන් ඉඩම් අරගෙන ගෙවල් හදලා එහෙ පදිංචියට ඇවිත්. කොළඹ ප්‍රධාන බාලිකා පාසැල් වල ඉගෙනගත්ත අම්මයි ලොකු අම්මයිත් පස්සෙ ඇවිත් බණ්ඩාරවෙල පදිංචියට. ඔහොම ආව ලොකු අම්මා නම් ආයම කොළඹට ගියාට අම්මා නම් ඒ කාලෙ නුවරඑළියෙ කච්චේරියේ වැඩ කරපු තරුණ ලිපිකරුවකුට පෙම් කරලා කසාදත් බැඳලා දරු තුන් දෙනෙකුට අම්මෙකුත් වෙලා බණ්ඩාරවෙලම නැවතිලා තියනව. 

අන්න ඒ දරු තුන්දෙනාගෙන් බාලම පුංචිත්ති තමයි මේ අකුරු ලියන්නේ. එදා ඒ පවර් හවුස් එක නොහැදුනානම් සීයා කඳුකරේට නො'එන්න තිබ්බා. අපිත් එහෙනම් මෙහෙම නො'ඉන්න තිබ්බා. 

ඔන්න අපි ඉතින් පොඩි පවර් හවුස් එක ගාවට වෙලා බලා ඉන්නේ නුවරඑළියෙ හෝ වැලිමඩ ඉඳන් බදුල්ලට යන බස් එකක් එනකල්. බඩු බරකුත් උස්සගෙන පහලට ආව මාමා ආපහු යන්නේ අපිව බස් එකටත් නැග්ගුවට පස්සෙ. බදුල්ල බස් එකේ නගින අපි බහින්න ඕන ඇටම්පිටිය ටවුමෙන්. ඇටම්පිටිය ටවුමෙන් බහින අපි ඔක්කොම ඊට පස්සෙ ගෙදර එනවා. ගෙදර ආව ගමන් කරන්නෙ නැන්දා හදා දුන්න බත් වල රස බලන එක. අම්ම කෑ ගහන්නෙ ආං එතකොට. 

හඩ්ඩො ටික යනවද නැද්ද නාගන්න... 

බත් කෑම පැත්තක තියලා චන්ද්‍රානි අක්කා එක්ක අපි යන්නෙ නාගන්න. සීතලම සීතල වතුරෙන් අපිව නාවන චන්ද්‍රානි අක්කා අපේ ඇගවල් වල තුවායක් ඇඟේ දවටලා අවුවෙන් හිටවන්නෙ  ඔලු වේලෙන්න කියලා. ඊගාවට උකුණු යුද්දෙ.. 

හතර අතේ නටලා නටලා උකුණොත් හදාගෙනද ආවෙ කියාගෙන උකුණු පනාවට තෙල් පොඩ්ඩක් ගාලා අවුවෙ හිටන් ඉන්න අපේ තෙත ඔලු සීරුවට පීරන්න චන්ද්‍රානි අක්කා හරි හපනි. ඔන්න වැරදිලාවත් උකුණෙක් අහු වුනොත් එදා මුලු දවසම අපේ ඔලු හම ගහන්න නම් අක්කා දෙපාරක් හිතන්නෙ නෑ. 

අක්කා පූර්ණ අම්මා එක්ක උයා තිබ්බ කෑමත් , නැන්දා කෙහෙල් කොලේ ඔතා දුන්න කෑමත් අපි කන්නෙ හත් දවසක් බඩගින්නෙ උන්න ළමයි ගානට. ඔන්න කාපු ගමන් කරන්නෙ නටන්න පටන් ගන්න එක. අම්මගෙ කෑ ගැහිල්ල කණකටවත් නොගෙන එක පිම්මට අපි දුවන්නෙ කැලේට. 

කැලේ කීවට ඒක පොඩි ලඳු කැලෑවක්. ඒක තිබ්බෙ අපේ වත්ත මායිමේ. කැලේ තිබ්බා පොඩි ලිඳකුත්. ඒ වගේම රස පළතුරු ගසුත්. 

කැලේ කියන්නෙ අපේ පාරාදීසෙ. පාරාදීසෙට යන පාර වැටිලා තිබ්බෙ අපේ වත්ත මැදින් , දෙපැත්තෙ පුපුන ලිලී මල් පඳුරු මැදින් තිබ්බ පටු පාරකින් තමයි අපි පාරාදීසෙට ගියේ. ඒ කාලෙ අපේ වත්තේ තිබ්බෙ චන්ද්‍රානි අක්කා අර්සන් , ගනේෂ් වගේ අය ලවා හදපු එළවලු පාත්ති . ඒ පාත්ති කීපේ ඇරුනම අනිත් කොටස නම් තනිකරම මානා ලන්ද. තව තිබුනා එක පැත්තක යෝධ නිදිකුම්බා පඳුරු ගොඩක්. අපි ඒවට ඉස්සර කීවෙ හිටපං මචං කියලා. මොකද ඒවයෙ පැටලුනොත් ඉතින් පැටලුනාම තමයි ආය ගැලවෙනු බොරු. එතකොට ඉතින් හිටපං ම තමයි.  පස්සෙ කාලෙක ඒ ඔක්කෝම සුද්ද කරලා එළවලු පාත්තිත් අහක් කරලා අපේ මුලු වත්තම තේ වත්තක් වුනා. අර්සන් , ගනේෂ් කීවෙ වතු වැඩ වලට අපේ දිහා එන දෙන්නෙක්. ගනේෂ් නම් දැන් ජීවතුන් අතර නැති වුනාට අර්සන්ව නම් අදටත් අපේ දිහා ගියොත්  බලාගන්න පුලුවන් . 

කැලේ කියන්නෙ අපිට දවසම වුනත් ඉන්න පුලුවන් තැනක්. 
ටාසන් පදින්න වැල් වගේම ගස් ගෙවල් හදාගන්න පුලුවන් ගසුත් ඒ කැලේ සෑහෙන්න තිබුනා.. 


මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 


Monday, 1 June 2020

කඳුකරයේ මතක 09

කඳුකරයේ මතක 09

වැල් පාලම කීවෙ හෙල්ලෙන පාලමට. ඒක තිබ්බෙ උමා ඔය හරහට. ඔන්න අපි උමා ඔය පාමුලට එනකොට අපිට ඉබේම මතක් වෙන්නෙ පච මුත්තව. පච මුත්තා කීවේ සී අක්කලගෙ සීයට. ඒ සීයට පච මුත්තා කීවේ එයා කියන තරමක් කීවෙ පච නිසා. පච මුත්තා පොඩි අපිව වටකරගෙන ඒ කාලෙ කීව කතා අපි අහන් උන්නෙ ඇස් ගෙඩි ලොකු කරගෙන. ඔන්න වතාවක් පච මුත්තා අපිට කීවා මෙන්න මෙහෙම. 

උඹලා මොනවැයි දැකල තියෙන්නෙ මයියොක්කා කියලා , දැන් තියෙන්නෙ නාටු මයියොක්කා නෙවැ. ඒකට බලාපංකෝ, මං තරුණ ගොයියා කාලේ උමා ඔය අයිනේ හිටෝපු මයියොක්කා නොවැ මයියොක්කා. උඹලට කියන්න , වතාවක් මං ඉන්දෙවුවා උමා ඔය අයිනෙ මයෙ ඉඩමේ පැත්තක මයියොක්කා පැත්තක බතල. බොලාට කියන්න ළමයිනේ , ඕං මං අල හාරගෙන හාරගෙන යනවා යනවා. බිංගේ වගේ. පොඩි පොඩි අල මිසක මහ අලේ තව නෑ. ඔහොම , ඔහොම ගොහිල්ලා මහ අලේ හම්බුනා. මං කොරාපු වැඩේ ඒක හාරගෙන එතනින් උඩහට පොළොව හාරං ආවා ආපස්සට නොයා. බොලාට කියන්න දරුවනේ, මං උන්නෙ උමා ඔයේ එහා ඉවුරෙ... 

පොඩි අපි ඉතින් මේ කතා අහන්නේ ඇත්ත කියල හිතාගෙන ඒ පොඩි කාලේ. 

පච මුත්තා ඒ කාලෙ කීව විදියට මුත්තා තමයි ඒ පැත්තෙම දඩයමට උපන් හපන් එකම කෙනා. දවසක්දා මුත්තා දඩයම් තුවක්කුවත් අරන් යනකොට ඔන්න එනවලු තඩි වලහෙක් ඉස්සරහට. මුත්තගෙ අතේ තියෙන්නෙ එක පතුරමයි කැත්තයි විතරයි ලු. වලහට තුවක්කුව මානන කොට ඊට එහයින් වැලහින්නත් ගොරෝගෙන එනවලු , ඒ මදිවට කොටි හපුවෙක් තව පැත්තකින් එනවලු. දැන් ඔන්න පච මුත්තට කරන්න දෙයක් නැති පාර කැත්ත ඉස්සරහින් හිටවලා කැත්තට වෙඩි තිබ්බලු. කැත්තේ කෑලි තුනක් කැඩිලා වෙන් වෙලා ගිහින් සත්තු තුන් දෙනාම එතනම මලා ලු. පච මුත්තා ඔය කතා අපිට කියන්නෙ පණ පිහිටවලා. ඒව ඇත්තද බොරුද කියල හොයන්න තර්කන හැකියාවක් නැති පොඩි අපි කරන්නෙ කටවල් බලි වගේ ඇරගෙන ඒ දිහාවෙ බලා ඉන්න එක. 

කොහොමත් මම නම් පච මුත්තා කීව කතා ඔක්කොම ඒ කාලෙ ඇත්තට අරන් තමයි හිටියෙ. අපේ තාත්තා කොච්චරක් කීවත් ඒවා බොරු කතා දරුවෝ කියල ,ලස්සන වසීලිස්සා එළදෙනගෙ ඒ කනෙක් රිංගලා මේ කනෙන් ආව බවත් විස්වාස කරපු මම තාත්තාට කීවේ , පච මුත්තා කියන්නෙ ඇත්ත කියලමයි.

උමා ඔය ඉවුරෙ උඩ වේල්ලෙ ඉඳන් පච මුත්තව මතක් කර කර මම අහන්නේ කෝ මාමේ මුත්තගෙ මයියොක්කා වත්ත කියල. මාමා හිනාවෙලා එතකොට කියන්නෙ අනේ උන්දැගෙ මයියොක්කේ කියල. හරියට ඔලොක්කුවට වගේ. උමා ඔය වතුරෙන් මූණ හෝදන්න හිත තිබ්බත් අම්මල ඒ පැත්තෙන් පහලට බහින්න අපිට ඉඩ දුන්නෑ කවදාවත්ම. ඒත් හෙල්ලෙන පාලමෙන් එගොඩට ගිහින් බන්ට් එක උඩට ගියාමනම් ඔන්න පොඩ්ඩක් අපිට වතුර අල්ලන්න ඉඩ දුන්නා. හෙල්ලෙන පාලමේ ඉස්සෙල්ලම යන්නේ මාමා. මාමා බඩු බර අරන් එහා කොනට යනකල් අපි කවුරුත් පාලමට බහින්නෑ. මාමා එහා ඉවුරට ගියාම ඔන්න අපි තුන්දෙනා පාලමට බහිනවා. අයියල දෙන්නා මට කලින් එහා ඉවුරට ගිහින් පාලම හොල්ලන්නෙ මගෙ විලාපෙ අහන්නමයි. 

ඒ පාලම වත් ඒ පාලමේ සෙල්ලම් කරපු පොඩි ළමයි වත් දැන් ගමේ නෑ. උමා ඔයට ඒ ළමයින්ගේ හිනා හඬවල් නැතුව පාලු ඇති දැන්. එහා ඉවුරට ගියාම ඊට පස්සෙ තියෙන්නෙ බන්ට් එකෙ වේල්ල. අපි කරන්නෙ ඒ බැමි දිගේ යන එක මහ පාරට යනකල්. බැම්ම දිගේ ගියාම හම්බවෙන්නේ පොඩි පවර් හවුස් එක. එතනින් එහා පැත්තේ නුවරඑළිය - බදුල්ල මහ පාර. 

පොඩි පවර් හවුස් එක එක්ක අපිට තියෙන්නෙ ලොකුම ලොකු බැඳීමක්. ඒ පවර් හවුස් එක නිසා තමයි අද මේ අකුරු ඔයාලට ගේන්න මම ඉන්නෙ කීවොත් මම හරි. ඒකෙන් නිපදවුන විදුළිය ගත්තේ ඇටම්පිටිය වතු යායට. අන්න ඒ වතු යාය , මේ පුංචි පවර් හවුස් එක නිසාම තමයි මගේ සීයා ඒ කියන්නෙ මගේ අම්මගෙ තාත්තා පානදුරේ ඉඳන් සීතල කඳුකරේ පදිංචියට එන්නේ.. 

ඒ කතාව මෙහෙමයි.... 

මතු සම්භන්ධයි 
©️ ප්‍රභානී තෙන්නකෝන්. 


කඳුකරයේ මතක 08

කඳුකරේ මතක  08

නැන්දගෙ කෑම තමයි මේ ලෝකෙ රසම කෑම. ඒව කන්න වෙන්නෙත් ඌව කඳුකරෙන්ම විතරක් වීමත් විශේෂ දෙයක්. ඌව කඳුකරේටම ආවේනික වුන කෑම වර්ග ගනනාවක් තියනව. කොල්ලු ව්‍යාංජනය, මඤ්ඤොක්කා කොල තිබ්බටු පොල් එක්ක කොටල හදන මැල්ලුම , තක්කාලි ඇඹුල , අල කොළ ඇඹුල , කහට ගෙඩි ඇඹුළ, නෙල්ලි ඇඹුල, තිත්ත තිබ්බටු ,පේර ඇඹුල, මේ රසම රස කෑම කන්න නම් බණ්ඩාරවෙල කඳුකරේටම එන්න ඕන. 

සාමාන්‍යයෙන් කඳුකරේ කෑම වලට පොල් යොදාගන්නව අඩුයි. ගොඩක් කෑම ජාති හැදෙන්නෙ මිරිස් තුනපහ පදම එක්ක තෙල් එක්කාසු කරල. අනික ටිකක් මිරිසට බර කෑම තමයි කඳුකරේ තියෙන්නෙත්. පොඩි අපිට රසම රස කිරි හොඳ්දක් හදන්නත් නැන්දා අමතක නොකරන්නේ අපිට මිරිස් තුනපහ කන්න අමාරු බව දන්න නිසාමයි. ඒත් ඉතින් හෑස්ස් හූස්ස් ගගා හරි නැන්දගෙ කෑම නොකා කොහොමද ? 

සාමාන්‍යයෙන් නැන්දා උයන්නේ වත්තෙන්ම ගන්න එළවලු. අනික අපේ තාත්තා ආසම කෑම වර්ග තමයි අපි එන දාට නැන්දා හදන්නේ. ඒ නිසා අපි එහෙ යන හැම දාකම , කොල්ලු , කහට ඇඹුල , තිත්ත තිබ්බටු , නම් කවදාවත් වරදින්නෑ. ඔය තුන එක්ක තව ජාති හතරක් වත් හදන්න අපේ නැන්දා හරි හපනි. පොඩි අපි රොත්තම කාල බීල ඉවර වෙනකොට මාමා ඇවිත් අහන්නේ , උඩහ ළමයි උඩහා යනවද මෙහෙ නිදියනවද කියලා. ඒක අහන්නේ නිකමට. මොකද ලොකු තාත්තලත් දන්නවා එදාට අපි ඔක්කොම නිදන්නෙ නැන්දලෑ ගෙදර බව. නැන්දගෙ රස කෑම වලින් පංගුවක් කෙහෙල් කොලේක ඔතාගෙන කෑලි පහේ ටෝච් එකත් පත්තු කරගෙන මාමා ඇලේ අයියා එක්ක එලියට බහින්නෙ ඒ කෑම එක ලොකු තාත්තලට දීල එන්න. ගම් වල එහෙමයි. ඇලේ අයියා කීවේ නැන්දලගෙ ගෙදර නැවතිලා හිටිය වාරීමාර්ගෙ වැඩ කරපු අයියට. ඒ අයියට තමා ඇලේ වැඩ කටයුතු බාරව තිබ්බේ. ඒ කාලෙ ගමේ ගොවි සංවර්ධන සභාවේ සභාපති වුනේ මාමා නිසයි ඒ අයියා එහෙ නතර වෙලා වුන්නෙ. නැත්තම් එයාගෙ ගම පොලොන්නරුව කිට්ටුව. 

අපි ඔක්කොම එක පෙලට එකා උඩ එකා වැටිලා නිදාගන්න ලෑස්ති වෙනකොට ඈතින් ඇහෙන්නෙ පැල් කවි වල සද්දෙ. එක්කෙනෙක් එකක් කියල ඉවර කරනකොට තව පැත්තකින් තව කෙනෙක් එකක් කියනව. ඒ අතර වාරේ අපි නිදි දෙවු දූ තුරුළට යනවා. ආපස්සට හැරිලා බලනකොට මොන තරම් සුන්දර කාලයක් ද ඒක කියල හිතෙනව. ඒත් දැන් වෙද්දි ඒ ලස්සන ගමේ ලස්සන ජීවිත ගොඩාක් වෙනස් වෙලා. නැන්දලා පරණ ගේ අතෑරලා ඊට ටිකක් උඩින් අලුතෙන් ගෙවල් හදලා. ලොකු තාත්තාගෙ ළමයි කවුරුත් ම මේ වෙද්දි ගමේ නෑ. නැන්දලගෙ ළමයින් ගෙන් ගමේ ඉන්නෙ පොඩි අයියා විතරයි. ඇලේ වතුර දැන් නැතිම තරම්. ඇලේ වතුර වලින් හැදුන දිය ඇලිත් ඒ නිසාම නැතුව ගිහින්. ගම දැන් ටිකෙන් ටික වෙනස් වෙලා. 

පහුවදා අපි ඇහැරෙන්නෙ ලොකු අම්මගෙ කට හඬට. උදේම උඩහින් ඉඹුල් කිරිබත් හදාගෙන ලොකු අම්මල පහලට ඇවිත්. පොඩි අපි පෝලිමට පීල්ල ගාවට යන්නේ මූණ හෝදගන්න.ලොකු අම්මා හදපු ඉඹුල් කිරිබත් වල රස බලන්න තියන හදිස්සියට සිහියක් නෑ අපිට. උදේට ඉඹුල් කිරිබත් කන අපි ඊගාවට ආපහු ගෙදර යන්න ලෑස්ති වෙනව. ආයම දවසක එන පොරොන්දුව පිට. අපිට ගෙනියන්න වත්තෙන් කඩාගත්ත එලවළු ගොඩක් එක්ක නැන්දගෙ රස කෑමත් මල්ලකට දාලා මාමත් පාරට යන්න එන්නේ ඒවා අපිට උස්සන් යන්න අමාරු බව දන්න නිසාමයි. 

බඩුත් උස්සගෙන ආපහු කන්ද නැගලා බණ්ඩාරවෙල පාරට යන එක අමාරු නිසා ආපහු අපි ගෙදර යන්න තෝරගන්නේ ඒ කන්දෙම පහලට බැස්සම හමබ්වෙන නුවරඑළිය- බදුල්ල පාර. ඒ පාර තමා මම ආසම පාර. උමා ඔයෙන් එගොඩ වෙන්න තියෙන වැල් පාලමට තමා මම ආසම. ඊට පස්සෙ බන්ට් එක දිගේ පේලියට ඇවිදන් යන එක. 

නැන්දලගෙ ගෙදරින් පිටත් වෙන අපි කන්ද පහලට පඩි බහින්න පටන් ගන්නකොට ලොකු අම්මල ඒ කන්දෙම උඩහට යන්න පටන් ගන්නව එයාලගෙ ගෙදරට. අපි පඩි බහිනකොට මගදි හම්බවෙනවා හෙලේනා ආච්චිගෙ ගෙදර. ඒ ආච්චිගෙ නම , සද්ද විද්ද පළඟ පතිර මුතුකුමාරණලාගේ හෙලේනා පීරිස්. මේ මුලු නමම නොලියා එන කිසිම ලියුමක් ආච්චි බාර නොගන්න බව කියන්නෙ ගමට එන තැපැල් පියුං මාමා. සමහරදාට පියුං මාමා වත් පන්නගත්ත අවස්ථා තිබුනා කියලයි ගමේ ඈයො කියන්නෙ. ඒත් ඉතින් අපි පඩි බැහැලා ඔය ගේ ගාවට ආවම , ආ මේ අපේ ඇටම්පිටියෙ පුතානේ කියල ලොකු ජම්බෝල ගෙඩියක් දෙකක් දෙන්න නම් ඒ ආච්චි කවදාවත් අමතක කරේ නෑ. 

ඔන්න ඔහොම අපි පඩි බැහැල බැහැල ඇවිත් පාමුල කුඹුරු යාය මැදින් ගිහින් එන්නෙ උමා ඔය පාමුලට. ඊ ගාවට වැල් පාලම.. 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 




Saturday, 30 May 2020

කඳුකරයේ මතක 07

කඳුකරේ මතක 07

අපි එනකල් බලාගෙන හිටිය නැන්දා අපි ගෙට එනකොටම ඊට ටික වෙලාවකට කලින් රතු වැස්සිගෙන් දොවාගෙන ආව කිරි උණුකරලා අපිට ලොකු කෝප්ප වලට දාලා දෙන්නෙ ලොකුම ලොකු හකුරු බෝල එක්ක. අම්මේ ඒවයෙ රස.. ඔය කඩවල් වල තියන සීනි හකුරු වගේ නෙමෙයි. දිවට තිබ්බ පමාවට දියවෙන හොඳම හොඳ පිරිසිඳු හකුරු බෝල. හකුරු බෝල කීවෙ හකුරු බෑ හදලා ඉතිරි වෙන ටික ගුලි කරලා හදාගන්න බෝල වලට. නැන්දා ඒ බෝල තියාගෙන ඉන්නෙම අපිට දෙන්න. ඒ කාලේ මාමා අතේ හකුරු බෝල බෝතලයක් පොඩි අපි තුන්දෙනාට එවන සිරිතකුත් නැන්දට තිබ්බා. නැන්දලා කොහොමත් එහෙමයි. තමන්ගේ අයියලගෙ දරුවොන්ට හරි ආදරෙයි. 

කිරි කෝප්පෙම බොන්න බඩේ ඉඩ නැතුවට මොකද හකුරු බෝල පනහක් කන්න වුනත් අපේ බඩවල් වල ඉඩ තියනව. හකුරු කකා අපි ඊගාවට කරන්නේ වත්ත පුරා නටන එක. ඒ කාලෙ නැන්දලගෙ පරණ ගෙදර මිදුලෙ තිබ්බා රතු පේර ගහකුයි සුදු පේර ගහකුයි. අපි අහවල් දවසෙ එනවා කියල කලින් පණිවිඩයක් එවුවම එහෙ අක්කල ඒ ගස් වල පේර අපිට ඉතුරු කරනව. මොකද ඒ කාලෙ අපේ වත්තෙ තිබ්බෙ එක පේර ගහයි. ඒකෙත් ගෙඩි අපිට කන්න කවදාවත් ඉතුරු වුනේ නෑ. මොකද අම්මගෙන් පාඩං වැඩ අහගන්න හවසට එන ළමයි ආපහු යන්නේ පේර කොළත් හූරගෙන කාලා. 

නැන්දලගෙ පේර ගස් වලින් රසම පේර තිබ්බේ රතු පේර ගහේ. නැන්දලගෙ අයියලා ගහට නැගලා හොඳටම ඉදුන රසම රස පේර කඩල මට දෙන්නෙ ආ කන්න කියන ගමන්. ඔන්න එතකොටම අපේ අම්මලත් එගොඩින් එනව පේනව. මාමා එහෙ ලොකු අයියත් එක්ක ආයම මගට යන්නෙ අම්මලව එක්ක එන්න. ගම් වල අදටත් නෑයො වෙනුවෙන් පෙර ගමන් හා පසු ගමන් තියනව. ඒවා සිරිත් වලට වඩා ආදරණීය බැඳීම්. මාම ල මගට ගිහින් අම්මලව එක්ක එනකල් අපි කරන්නේ නැන්දා අපි එන ආරංචියට අපිටම හදලා තිබ්බා පැණි දෙල් කන එක. 

පැණි දෙල් නැන්දා හදන්නෙ වත්තේ දෙල් ගහෙන් හොඳම ගෙඩි කඩවගෙන ඒ දෙල් හීනියට කපලා වේලල බැදලා පැණි දාලා. ඒ පැණි දෙල් ඊට පස්සෙ තියෙන්නෙ මුට්ටියක දාලා දුම්මැස්සෙ තියා තියල. අපිට නැන්දා ඒව දෙන්නෙ පුවක් පට්ටෙකට දාලා. පොඩි අපි රොත්තම අර පුවක් පට්ටෙ වටේ වාඩි වෙලා දෙල් අහුරු අහුරු කන ගමන් නැන්දේ රෑට උයන්නේ මොනාදෝ කියල අහනව. නැන්දගේ කෑම තමයි මේ ලෝකෙ රසම කෑම. බඩේ ඉඩ තිබ්බද ඒ තරම් කියල හිතෙනව දැන් ආපස්සට මතක් වෙනකොට. 

ඔන්න ඊ ගාවට අපි කරන්නේ බුරුස් පදින එක. පොඩි අපිව පුවක් කොලපතක වාඩි කරවල ලොකු අය ඇදන් යන එක තමයි බුරුස් පැදිල්ල. වරුවක් බුරුස් පැද්දට පස්සෙ අපි ආයම ගස් ගල් උඩ. වැඩියෙන්ම ඉන්නෙ දෙල් ගහේ අතු උඩ. දෙල් ගහේ අතු වලට නැග්ගම කන්ද පාමුලින් ගලන උමා ඔය පේන්නෙ ලස්සනම ලස්සන මනාළියෙක් ගෙ වේල් එක වගේ. නැන්දලගෙ ගේ තිබ්බ කන්ද පාමුලින් තමයි උමා ඔය ගැලුවෙ. කඳු දෙකක් අතර මැද්දෙන් සීරුවට ගලන උමා ඔයේ සද්දෙ හරියට සිංදුවක් වගේ. 

මොහොතක් පොඩි අපි හැමෝම නිහඬ වෙලා උමා ඔයට කන් දෙන එක ඒ කාලෙ අපි කරපු සෙල්ලමක්. ඒක පුදුමාකාර ලස්සන සංගීතයක්. වටෙන්ම ඇහෙන කුරුළු හඬ , බල්ලෙක් ගෙ බිරුමකට උත්තර දෙන රතු වැස්සි ගෙ උම්බෑ හඩ , කොහේ හරි ගේක දර කොටයක් පලන හඬ එක්ක උමා ඔය ගලන හඬ ඒ මැදින් තව ගේක දරුවෙක් අඬන හඬ..... මේ හැම හඬකම සම්මිශ්‍රණයක් තියන තැනකින් එන්නේ මොසාර්ට් ගෙ සංගීතයකින් එනවා හා සමානම වූ දිව්‍යමය සංගීතයක හඬ. 

දැන් හවස වෙලා..... ගෙට එනවද නැද්ද රිලා රොත්ත ගහෙන් බැහැලා නැත්තම් කෝට්ටක් අරන් එන්නද මම.. ඒ අපේ අම්මගෙ හඬ. අම්ම හිතන්නේ අම්මගෙ ඉස්කෝලෙ ළමයි වගේ අම්මගෙ බොරු කෝටුවේ කතාවට අපිත් බය වෙලා ගහෙන් බහීවි කියල. අම්මගෙ බොරු කෝටුවට බය නැති වුනාට එහෙම මෙහෙන් කැරකි කැරකි විදින මදුරු කරදරේ නිසාම ගහෙන් බහින්න හිත හදාගන්නෙ අමාරුවෙන්. අපි දෙල් ගහෙන් බහිනකොට ඊගාවට දෙල් ගහට එන්නේ රැහැයියො එක්ක වවුල්ලු රංචුවක්. ගහට නම් නිවනක් ඇත්තෙම නෑ කන් කරච්චලේම විතරයි. මොකද ඉතින් ළමයි කියන්නෙත් රැහැයියො වගේම සද්දෙ දාන කාණ්ඩයක් නෙ. 

ගහෙන් බැහැල එන අපි ඊගාවට නතර වෙන්නෙ පීල්ල ගාව. සීතල වතුරෙන් අයියල අක්කල ඇඟ පත හෝදගන්නකොට නැන්දා මා වෙනුවෙන් උණු වතුර එකක් උස්සන් එන එක ඒ කාලෙ නැන්දා ආදරෙන් කරන දෙයක්. මොකද ඒ දවස් වල අපේ අයියල කීවෙ ඇඬිවතීට සෙංගෙඩි හැදෙන්න බෙංගාල බොක්ක කැළඹුනාම ඇති කියල. සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව නොහදෙන මට හැමදාමත් හැදෙන්නෙ සෙම්ගෙඩි එක්ක එන උගුරෙ අමාරුව විතරයි. ලොකු අය පොඩි අයව හෝදල ගොඩින් තියනව ඇඳුම් ඇඳගන්න කියල. ඇඳුම් ඇඳගන්න පිළිවෙලට මාමා උස්සගෙන ගිහින් ගේ ඇතුලෙන්ම තියනව වැඩි පරිස්සමට. මොකද මේ බටු රෑන ඊගාව මොහොතේ අඳුර එක්ක ආයම මඩකට පනින්න වුනත් පුලුවන් කියන ඉව එයාලට තියන නිසා. 

හෝදල තුවායකින් ඔතාගෙන උස්සන් ගිහින් මාව අම්මට බාර දුන්නම අම්මා කරන්නෙ ක්‍රීම් පවුඩර් ගාන එක. හෝදන වෙලාවෙත් එහෙ මෙහෙ රිදුම් දෙන සීරීම් තුවාල දරාගෙන හිටියට අම්මා ක්‍රීම් ගානකොට නම් කඳුලු වක්කරනව බොරුවටත් එක්කම. ඔන්න එතකොට අම්ම බනින්නෙ "නටනකොට සිහියක් නෑනෙ, දැන් තමා සිහිය එන්නෙ " කියල. ඊගාවට තියෙන්නෙ නැන්ද හදම රසම රසම රස ගමේ කෑම කන්න ..... 

මතු සම්භන්ධයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 


Thursday, 28 May 2020

කඳුකරයේ මතක 06

කඳුකරේ මතක 06


නෙල්ලි ගගේ කොළ ටිකත් එක්කම හූරගෙන එතනින් බහින අපි ඊගාවට යන්නේ කරාඹු ගස් දෙක මැද්දෙන් වෙරළු ගහට. ඒ ගහේ තිබ්බෙ මස් වෙරළු. මස් වෙරළු කීවේ ඒ ගෙඩි ගොඩක් ලොකු නිසා. ගල්, පොළු වලින් ගහලා අපි වෙරළු කඩනකල් චන්ඩි අක්කා යනවා ලුණු කැට අරන් එන්න. පොල්කට්ටක් පිරෙන්න අරන් එන ලුණු කැට එක්ක අපිට පුලුවන් දවසම වුනත් වෙරළු කන්න. ඒත් එතකොට අපිට පේන්නෙ මෙහෙ එන්න බබාලා කියල අඬ ගහන ජම්බෝල ගහ. අර ලුණු කැට එක්ක ජම්බෝල රේණු හැපෙනකොට දිවට දැනෙන්නෙ දිව්‍යලෝකෙ ‍රස. 

ඔන්න එතකොටම ලොකු අම්මා අපිට කතා කරන්නෙ කන්න එන්න කියන්න. ඒත් කෝ කන්න බඩේ ඉඩක් ? ඒත් ඉතින් එහෙන් මෙහෙන් බත් කටක් දෙකක් බඩට දාගන්න අපි ඔක්කොම අම්මලට තාමත් කෑම මේසෙ ඉන්නකොට, 
" අපි යනවෝ පහල, අපි යනවෝ නායගොඩේ " කියාගෙන පහලට බහින්න පටන් ගන්නව. ඒ තමයි නැන්දලගෙ ගෙදර. මට අදටත් බාලි වල ෆොටෝ එකක් පේන වාරයක් පාසා මතක් වෙන්නෙම නැන්දලගෙ ගෙදර. ඒ පරිසරය තරම් හිත නිවන භාවනාවක් තවත් නැති තරම්. 

ලොකු තාත්තලගෙ ගෙදර ඉඳන් ඒ වත්ත මැදින් පහලට බහිනකොට ඉස්සෙල්ලම හම්බවෙන්නෙ ඇල. ඇලක් කීවට ඒක ලොකුම ලොකු ලොකූ ඇලක්. බැස්සොත් මං නම් යටවෙන තරම් ඒ කාලෙ වතුර. ලොකු තාත්තලගෙ ගෙදර ළමයි පස් දෙනයි අපි තුන් දෙනයි ඇල බැම්මෙ ඉඳන් ඉස්සෙල්ලම කරන්නෙ අර ඇලට කකුල් දාල වතුරෙ සීතල බලන එක. ගෙදරින් එනකොට බෝනික්කියෙක් වගේ අන්දගෙන ආව දැරිවි ව දැන්නම් පේන්නෙ කිතුල් මල් රෑන් කඩ කඩ විරිත්තන රිලා පැටියෙක් ගානට. ලස්සන ලේස් අල්ලපු මේස් දාල ඊට පස්සෙ සපත්තු දාපු කකුල් වලින් බාගෙකම තියෙන්නෙ මඩ. සපත්තු ඒ වෙද්දි තියෙන්නෙ අත් වල. මේස් තියෙන්නෙ අයියගෙ කලිසම් සාක්කු වල. 

පුංචි නිරුවත් දෙපා වල ගල් කැට ඇනෙනකොට චන්ඩි අක්ක කරන්නෙ එයාගෙ සෙරෙප්පු දෙක මට දෙන එක. ඒ තමයි සහෝදරත්වයේ ලේ බැඳීම. පොඩි රිලා රෑනක් වගේ ගම දෙවනත් කරගෙන කෑ ගහ ගහ අපි පහලට යනකොට අපිට හම්බවෙන ගමේ මිනිස්සු අක්කලගෙන් අහන්නේ , "ආ නෑයො ඇවිල්ලා නේද ? මේ අපේ ඇටම්පිටියෙ කච්චේරි මල්ලිගෙ දුව නේද ? අනේ දැක්ක කල්, තාම ඒ ගානමයි නෙ" කියල. ඒ කියන්නෙ මාව ඒ මිනිස්සු අවසානෙට දැක්ක දාත් මම හිටියෙ ඒ ගානට බව. 

වාසනා අක්ක තමයි ඒ පවුලෙ අහිංසකම. චන්ඩි අක්කා නම් නම වගේමයි. වාසනා අක්කට කලින් කට දාන චන්ඩි අක්කා "අනේ නැන්දෙ ආං අරහෙ හරක් ඇලට පැනල නානවා , නැන්ද මෙතන කියෝනකොට " වගේ කතාවක් කියන්නෙ වාසනා අක්කගෙ එරවිලි ගානකට වත් නොගෙන. ඔහොම අපි ඇල කණ්ඩිය දිගේ ටිකක් යනකොට හම්බවෙන පඩිපෙලේ පහලට බහිනව. පඩිපෙලට සමාන්තරව එහා පැත්තෙන් ඇලේ වතුර කොටසකුත් දිය ඇල්ලක් වගෙ වැටෙනව. ඇල්ලට එපිට ගස් වල ඉන්න රිලා පැටවු අපිට විරිත්තනව. අපිත් උන්ට විරිත්තනව. 

පඩිපෙලේ පහලට බැස්සම ආය හම්බවෙන්නෙ තව පොඩි ඒදණ්ඩක්. ඒකෙන් පැන්නම පේන මානෙම තියෙන්නෙ කුඹුරු යාය. කඳුකරේ වගා කරන්නෙ හෙල්මළු ක්‍රමයට නිසා දවස් ගානක් වුනත් බලා ඉන්න පුලුවන් තරම් ලස්සනක් තමයි ඒ කුඹුරු යායෙ තිබ්බේ. කුඹුරු යායේ එහා කෙළවරේ තියෙන්නෙ නැන්දලගෙ ගෙදර. මෙහා කෙළවරේ ඉන්න අපි කෑ ගහන්නේ එහා කෙළවරට ඇහෙන්න. " සී අක්කෝ අපි එනවෝ.. මගට එන්ඩෝ... මාව උස්සං යන්ඩෝ.. මාමට එන්ඩ කියන්ඩෝ.. කූඩැල්ලො එනෝ.. "  

සී අක්කා කීවේ නැන්දගෙ දුවට. එයාට ගෙදරට කීවෙ සීගිරි කියල. අපි කීවෙ සී අක්ක කියල. ඒ අක්කා අපේ ලොකු අයියගෙ වයස. අයියල අක්කට කීවෙ කටුස්සි කියල. ඒ කෙට්ටු නිසා. අක්කල අපේ ලොකු අයියට කීවෙ කණ්නාඩි පොළඟ කියල. ඒ අයියා කණ්නාඩි දාපු නිසා. පොඩි අයියට නම් කාලෙන් කාලෙට කටට ආව ආව නම් කීවා. කාලයක් ගිණි පරයා කියලත් කීවා මානා ලන්දකට ගිණි තියලා. තවත් කාලයක් දෙඹර පොඩ්ඩා කීවා , ඒ නම් දෙඹරෙකට ගල් ගහලා දෙඹරු කළගුණ සලකන්න ඇවිත් නිසා. 

අපි මේ පැත්තෙ ඉඳන් කෑ ගැහුවම අපි එනකල් ඒ පැත්තෙ ඉඳන් බලා හිටිය සී අක්කලා " ඔහොම ඉන්ඩෝ අපි එනෝ" කියල මගට එනව. එයාල එනකල් නොයිඳ අපි කුඹුරෙ නියර දිගේ මගට යනව. නියරෙ හරි ගානට අඩිය තියල නොවැටී යනව කියන්නේ කලාවක්. පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් මඩේ. කුඹුරු වේල්ල කණ්ඩියේ හදල තියන පිපිඤ්ඤා වල පොඩි ගෙඩි කකා තමයි අපි යන්නෙ. පිපිඤ්ඤා විතරක් නෙමෙයි ලඟ පාත්ති වල තියන කැරට් පවා අපි ගලවගෙන නියර අයිනෙන් යන වතුර පාරෙ හෝදගෙන කනවා. ඒවයෙ තිබුනේ පුදුමාකාර රසක්. 

අපි මගට යනකොග මාමා යි අක්කයි හම්බවෙනවා. එහෙන් මෙහෙන් මඩ ගෑවිලා ඌරු පැටික්කියෙක් වගේ ඉන්න මාව පුළුං පොදක් වගේ උස්සල අරන් මාමා කරේ තියාගන්නේ කූඩැල්ලො මාව කාවි කියන බයට. ඔන්න ඊට පස්සෙ අපි යනව එක පෙළට නැන්දලගෙ ගෙදරට. නැන්දලගෙ ගෙදරට කලින් හම්බවෙන්නෙ පීල්ල. අපි කරන්නෙ ඉස්සෙල්ලම එතනින් මූණ අතපය හෝදගන්න එක. සීතලම සීතල වතුර. ඊට පස්සෙ නැන්දලගෙ ගෙදරට.. 

නැන්දේ අපි ආවෝ..... හකුරු බෝල දෙන්ඩෝ... 

මතු සම්භන්ධයි. 
©️ප්‍රභානී තෙන්නකෝන්. 




කඳුකරයේ මතක 05

කඳුකරේ මතක 05 


අපි උදේම නැගිටලා යන්න ලෑස්‍ති තාත්තලගේ ගමේ. අවුරුදු නෑගම්. අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 6 ක් වගේ ඈත. ඒ ගම පුදුමාකාර ලස්සන ගමක්. ඉස්සර අපි පොඩි කාලේ ඒ ගමට යන්න බස් තිබ්බෙ නෑ. අපිට පුද්ගලික වාහන තිබ්බෙත් නෑ. ඉතින් අපි යන්නේ බණ්ඩාරවෙල - ඇටම්පිටිය බස් එකේ මගක් ගිහින් දියවුන්නාව හන්දියෙන් බැහැලා ඉතුරු ටික කතා බස් එකෙන්. දියවුන්නාව හන්දියෙ ඉඳන් තාත්තගේ ගමට යන්න මයෙ හිතේ අඩුම කිලෝමීටර් තුනක් වත් තියෙන්න ඇති. වාසනාවට වගේ එළවලු ගෙනියන ලොරියක් හම්බුනොත් මිසක් වෙන නම් වාහන ගියෙ නෑ ඒ පාරවල් වල ඉස්සර. මොකද පාරවල් කීවට ඒවා නිකං ගල් ගොඩැලි වලවල්. 

හැබැයි ඉතින් පොඩි අපිට ඒ පාර තමයි දිව්‍යලෝකෙ යන පාර. මොකද මග දිගට ගඩාගෙඩි. තාත්තගෙ ගමේ හිටියේ තාත්තගෙ අයියා ඒ කියන්නෙ අපේ ලොකු තාත්තයි , තාත්තගෙ එක නංගි කෙනෙක් , ඒ කියන්නෙ අපේ නැන්දයි විතරයි සහෝදර සහෝදරියො විදියට. ඒත් ඉතින් හරියට බැලුවම මුලු ගමම නෑයො තමයි. එක පැත්තකින් ඈතින් නමුණුකුල පේනකොට අනිත් පැත්තෙන් පෙනුනේ පිදුරුතලාගල කඳු වැටිය. ඒ දෙක අතර මැද ස්ලීපින්ග් සෝල්ජර් කඳු වැටිය. ඉස්සර අපි ආසම වැඩේ නිදා හිටිය හමුදා සොල්දාදුවගේ අත් කකුල් තුවක්කු බඳ හොයන එක.(ස්ලීපින්ග් සෝල්ජර් කඳුවැටිය ) එක්කෙනෙක් ඔලුව හොයාගන්නකොට තව එක්කෙනෙක් කකුල හොයාගන්නව. මං හැමදාම හොයාගත්තෙ තුවක්කු බඳ. ඒක තමා ලේසිම මොකද ඒක තිබ්බෙ අර තඩි බඩ ගාවනෙ. 

දියවුන්නාව හන්දියෙන් පටන් ගත්තම ඔන්න ඊගාවට හම්බවෙන්නෙ පොඩි කන්ඳක්. ඒ කන්ද නැග්ගම ඔන්න තියනව නෑදෑ ගෙයක්. ගෙයක් කීවට එතනම ගෙවල් තුන හතරක්. ඔය හැම ගේකටම ගිහින් කතා කරලා තේ බීලා යනකොට ඉතින් කොහෙද මහන්සියක් ? ඒ ගෙවල් වලින් එක ගෙයක් අයිති මඩුවෙ මාමට. එහෙම කීවෙ එහෙ ලොකු ලී මඩුවක් තිබ්බ නිසා. පොඩි අපිට පොඩි පොඩි ලී කැට මල්ලක් හමබවෙනවා එහෙන් හැමදාම. මම නම් යතුගාල පැත්තක් කරල තිබ්බ ලී පතුරුත් ඉල්ලගන්නව. මොකද මට ඒවයින් ලස්සන මාල හදන්න පුලුවන් අපේ කිටීගෙ බඩ වටේ දාන්න. ලස්සන කැරලි ගැහුන ලී පතුරු. 

මඩුවෙ මාමලගෙ ගෙදරට උඩහින් තිබ්බේ ඩිපෝවෙ බාප්පගෙ ගෙදර. ඩිපෝවෙ බාප්ප කීවෙ ඒ බාප්ප වැඩ කරේ බණ්ඩාරවෙල ඩිපෝවෙ නිසා. අපි නෑයන්ට නම් දාල තිබ්බෙ එහෙම ඉස්සර. එහෙ හිටියෙ පිරිමි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් අයියා අනිත් කෙනා මගේ වයස. දුවෙක් නොහිටපු නිසාද මන්දා ඒ බාප්ප හරි ආදරෙන් මාව උඩටම උඩටම උස්සල පහල කඳු පෙන්නනව මට තාම මතකයි. අයියලව ඒ තරම් උඩට උස්සන්න බෑ බාප්පට. අයියල නම් ඒ කාලෙ කීවේ , අපෝ ඇඬිවතී බත් කන්නැති නිසා පුළුං වගේ කියල. සමහරවිට ඇත්තටම ‍ඒකෙ ඇත්තක් තියෙන්න ඇති. 

ඒ ගෙවල් වලින් තේ බීලා අපි ගෙනා තැගි ඒ ගෙවල් වලට දීලා ඊගාවට අපි ආපහු පටන් ගන්නව ගමන. පාර දිගේ , දිගට දිගේ ගමන.. මගක් යනකොට මගේ පුංචි කකුල් රිදෙන්න ගන්නව. ඔන්න එතකොටම මට මතක් වෙනවා මැල්ලුම් නොකෑ බව , මාලු නොකෑ බව , බත් ටික කිටී කෑ බව.එතකොට කරන්න පුලුවන් හොඳම දේ මොකක් කියලද ඔයාල හිතන්නේ ? මගේ කකුල් රිදෙනව කියන එකද ? නැත්තම් මාව වඩාගන්න කියන එකද ? අපෝ නෑ , අර දූවිලි මඩ පිරුන පාර මැද එහෙම්මම බිම වාඩි වෙලා අඬන්න පුලුවන් තරම්ම හයියෙන් අඬන එක , හරියට අර වසීලිස්ස එකේ වසීලිස්සා බාබායිගා යකින්නගෙ ගෙදරින් පැනල ගිය බව දැනගෙන යකින්න බිරියෝසා ගස් වලට බැන බැන කෑ ගහපු තාලෙට. ඔවු ඒ තරම්ම හයියට.. 

අම්මේහ්හ්හ් අනේ අයියගේ කකුල ඇවිත් මගෙ කකුකල ගහලා දැන් මගෙ කකුල කැඩිලා..අයියෝ මම පයින් යන්න හිතාගෙන ආව ගමන.. අනේ දැන් මං කොහොමද නැන්දගෙ රස බත් කන්නෙ. මං දැන් මැරෙන්න යන්නෙ.. 

කකුලක් කැඩිලා කවුරුත් මැරණ බවක් කොහේවත් සඳහන් වෙලා නැතත් , අයියා මීටර් ගානක් ඉස්සරහින් ඉන්නකොට කකුල විතරක් ඇවිත් මගේ කකුල කඩන්න ඉඩක් නැති බවත් දන්නවා වුනත් තාත්තා කරන්නෙ අර පාර මැද වාඩිවෙලා පස් කකා අඬන තමන්ගෙ එකම දූ සිඟිත්තව කර උඩින් වාඩි කරගන්න එක. අන්න එතකොට තමා මට දැනෙන්නේ තාත්තා මට වඩා කොච්චරක් උසද කියන එක. මීට කලින් මට වඩා උස මානා පඳුරුත් දැන් මට වඩා කොටට පේනකොට ඈතම ඈත පේන ගම පාමුල උමා ඔයත් මට හිනා වුනා හරිම ලස්සනට. සමහරවිට උමා ඔයට හිනා ගියා වෙන්නත් පුලුවන් මේ පුංචිත්තිගේ කපටි කමට. 

ඔන්න ඉතින් අපි පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන යනකොට ඊගාවට අපිට හම්බවෙන්නෙ දන්සල් තැන්න. ඒ තමයි ගමේ කඩ මන්ඬිය තියන තැන. එතන ඉඳන් පහලට තියෙන්නෙ ලොකු තාත්තාගෙ මායිම. එයාගෙ රාජධානිය. දන්සල් තැන්නෙන් පහලට එනකොට තියෙන්නෙ යෝධ අඹ ගහ. අපි පස් දෙනාම වටේ වලල්ල වගේ හැදිලා ඒ ගහ බදාගන්න ගියත් බදන්න බැරි තරමට ලොකු යෝධ අඹ ගහ. එතනින් පහලට පඩි පෙල.. 

පඩි පෙලේ මැදක් යනකොට තියන ඒ දන්ඬෙන් පැන්නම මෙන්න තියනව ලොකු තාත්තගෙ ගෙදර. අක්කල නංගිල හතර දෙනෙක්ට එක අයියෙක් හිටියා ඒ ගෙදර. ලොකු අම්ම හදන රසම රස තේ එක බීලා ඉවර වෙනකොට ඔන්න ලොකු තාත්තා කෑ ගහනවා , යන්නෙ හෙම නෑ පිස්සො වගේ මිණිරං අහුලන්න. අදත් නයා ගියා ඒ පැත්තෙන්.. කියල. පොඩි කමටවත් කට තියාගෙන ඉන්න බැරි මම , ඔකුතාත්තෙ ඒ නයා මා එක්ක යාලුයි.. කියනව. 

යාලු පෙනෙයි පෙනේ ගැහුවම.. ඒ තමයි ලොකු තාත්තගෙ උත්තරේ. හැබැයි ඒ නය ඇත්තටම දැක්ක හැම වතාවකම අපිව මගැරල ගියා මිසක් කවදාවත් අපිට පෙනේ පිප්පුවෙ නැති බව නම් මට හොඳටම මතකයි.. 

ලොකු තාත්තගෙ වචන ගැන කිසි තැකීමක් නැති පොඩි අපි රොත්තම යන්නේ නෙල්ලි ගහ ගාව මිණිරං අහුලන්න.. 

ලස්සන මිණිරං පතුරු එකතු කර කර අපි දාගන්නව මලු වලට. ඊට පස්සෙ නෙල්ලි ගහේ.. 

නෙල්ලි ගහෙන් බැහැලා ඊගාවට........ 

මතු සම්භන්ධයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 





කඳුකරයේ මතක 04

කඳුකරේ මතක 04 


ඒ කාලේ අපේ ගෙදර ඉස්සරහ කාමරේ නැවතිලා හිටියා සර් ලා දෙන්නෙක්. අපි කීවෙ මාමලා කියල. කළබල කාලේ ගුරු නිවාසෙ ඉන්න එක අණතුරු දායක නිසා ඒ කාලෙ පිට පලාත් වලින් අම්මලගෙ ඉස්කෝලෙ උගන්නන ආව ගුරුවරු නැවතිලා හිටියේ විස්වාසවන්තම ගෙවල් වල. එයින් එක්කෙනෙක් චන්ද්‍රසිරි අතුකෝරල මාමා ( දැන් නියෝජ්‍ය විභාග කොමසාරිස් ) අනිත් එක්කෙනා නන්දලාල් මාමා. මේ දෙන්නා හරිම ආදරණීය චරිත දෙකක්. 

ඒ දවස් වල අපි ටීවී බැලුවෙ වටෙන් රෙද්දක් දාලා. ටීවි එක ගාවම කවුරු හරි කෙනෙක් ඉන්නවා සද්දයක් ඇහුන ගමන් ටීවි එක නිවන්න. දැන් කාලෙ වගේ රිමෝට් තිබ්බෙ නෑනෙ. අපේ ගෙදර තිබ්බෙ කලුසුදු පොඩි ටීවි එකක්.වැඩිය ගෙවල් වල ටීවි නොතිබ්බ නිසා අපිට ඉතින් ඒක හරි උජාරුයි. ඔන්න අපි දවසක් ටීවි බල බල ඉන්නවා. අපිට ඒ කාලෙ ඕල් ඉන්ඩියා චැනල් එකත් පෙනුනා. කට්ටියම එකට ගුලි වෙලා තමා ටීවි බලන්නෙ. වට පිට ලයිට් ඔක්කොම නිවලා ටීවි එකේ එලිය විතරයි. මං ඉන්නෙ අම්ම ගාව. අයියා ඉන්නෙ ටීවි එක මුල. ඕෆ් කීව ගමන් අයියා ටකස් ගාල කරකවලා ටීවි එක නිමන්න ඕන. ඒක තමයි ඒ කාලෙ විදිය. 

ඔහොම අපි ටීවි බල බල ඉන්නකොට එක පාරම දඩ බඩ සද්දයක් ආවා. අම්මා මාව ගුලි කරන් චන්ද්‍රානි අක්කට දුන්නා. තාත්තා ඕෆ් කියන කියන්නත් කලින් අයියා ටීවි එක ඕෆ් කරා. චන්ද්‍රසිරි මාමවයි නන්දලාල් මාමවයි අම්මලගෙ ලොකු ඇඳ යටට රිංගවලා තාත්තා ඉස්සරහ දොරට මුවා වුනා. අම්මා ඇඳේ වාඩි වුනේ මාම ලාව නොපෙනෙන්න ඇඳේ රෙද්ද පාතට ඇදල දාන ගමන්. හැමෝගෙම හදවත් ගැහුන සද්දෙ හැමෝටම ඇහුනා. එකපාරම ජනේලෙන් ටෝච් එලියක් එක්ක බාල්දි පෙරළෙන සද්දෙකුත් ආවා. අපි ඉහලට ගත්ත හුස්ම ආපහු පාතට දාන්නෙ නැතුව ගල්බීත වෙලා හිටියා. 

ටිකකින් සද්ද නැතුව ගිහින් පරිසරේ නිහඬ වුනා. තාත්තා දොර ඇරන් එලියට ගිහින් වටේ බැලුවා. ලඟපාත කවුරුත් නෑ කියල තක්කෙටම තහවුරු කරන් තාත්තා ආපහු ගෙට ආවා. එදා අපි ආයම ටීවි නොබලාම කලින්ම නිදාගත්තා. පහුවදා සෙනසුරාදාවක්... 

උදේම නැගිට්ට චන්ද්‍රානි අක්කා මිදුලේ ඉඳන් මහ හයියෙන් හිනා වෙන සද්දෙට අපි නැගිටල ගියා බලන්න. අක්කා බිම බලාගෙන බඩ අල්ලගෙන හිනා වෙනවා.. එතනම බිම බාලිදිය පෙරළිලා ඒ ලඟම ගොම්බෙට්ටක්.. වටේම මල් පැල පොඩි වෙලා පාත්ති, මිදුල පුරා හරක් කුර සළකුණු.... ඔන්න එතකොටම කිරි බෝතලේකුත් අරන් එනවා කිරි මාමා පාර දිගේ.. 

අනේ ටීචර් බලන්ඩකො ඊයෙ රෑ වෙච්ච දේ... මං හරක් දෙන්න දක්කගෙන එනකොට එකෙක් ටීටලගෙ වත්තට පැන්නනෙ. මයෙ හිතේ ටීචලා නිදි වෙන්නෝන. ලයිටුත් නිමල ඔක්කොම. හරි අමාරුවෙන් හරකව අල්ලගත්තේ මං ආපහු. මං මේ උදේම ආවෙත් මුකුත් පාඩු වෙලාද බලන්නත් එක්ක... කිරි මාමා එහෙම කියනකොට , එක අතක් ඉනට තියාගෙන අනිත් අතෙන් බාල්දිය එල්ලගෙන චන්ද්‍රානි අක්කා, නෑ නෑ වැඩිය පාඩුවක් වුනේ නෑ.. ගෙදර ඔක්කොගෙම ලේ පයින්ට් දෙක ගානෙ පිච්චුනා මිසක් කියල කීවා.. 

ආපස්සට හැරිලා බලනකොට ජීවිතේ මොන තරම් බයෙන් ගෙවපු කාලයක් ද ඒක. ගමේ තැපැල් කන්තෝරුව ගිණි ගත්තේ මගේ ඇස් ඉස්සරහා. ඒ නැගුණ ගිණි ජාලාව ඒ සද්දෙත් එක්කම අදටත් මට මතකයි. තැපැල් කන්තෝරුව ගිණි තිබ්බ මිනිස්සු එතනින් පහලට පැනලා අපේ වත්ත මැදින් ගිහින් ඊගාවට ගිණි තිබ්බේ කෘෂිකර්ම මධ්‍යස්ථානෙ. ඒකෙ ගිණි ඇවිලෙන හැටි අපි බලා හිටියෙ ඉස්සරහ කාමරේ ජනේලෙන්. 

ඒ දවස් වල ආයුර්වේදෙ දොස්තර වෙලා හිටියෙ අපේ නෑදෑ මාමා කෙනෙක්.ආයුර්වේදෙ ක්වාටස් වල තමයි ඒ මාමයි නැන්දයි මල්ලියි හිටියෙ. දවසක් උදේ අපි මූණ හෝදනකොට පාරෙ කළබලෙන් ගිය ගෑනු කෙනෙක් , අනේ ටීචර් ආයුර්වේදෙ ක්වාටස් ගාව තුන්දෙනෙක් පිච්චෙනවලු කී වෙලාවෙ අම්මල අසිහියෙන් දිවුවෙ ඇඳන් හිටිය නයිටි පිටින් , වෙනේකක් තියා ටූත්පේස්ට් පිරුණ කටවල් වලින්. දොස්තර මාමලගෙ ගෙදරත් තුන් දෙනයි. එතන පිච්චෙන්නෙත් තුන් දෙනෙක්. සිහිය අසිහිය අතරේ අම්මලගෙ පිටිපස්සෙන් දුවපු අපි දැක්කේ එතන පිච්චෙන තරුණ පිරිමි තුන්දෙනෙක්. 

අදටත් එතන පස් කලු පාටයි. ඒ අමිහිරි මතක ගෙවිලා දැන් තිස් අවුරුද්දක් විතර වුනත් එතන තාම මූසලයි. ගුප්තයි. අදටත් එතනින් යනකොට වාහනේ නවත්තලා ඒ කලු පස් අත ගාන මට මොකද්දෝ නොතේරෙන හැඟීමක් එනව. මට මතකයි කාලයක් යනකල්ම එතන මීච්චො කෑ ගැහුව හැටි. පස්සෙ දවසක වයසක අම්මෙකුයි තාත්තෙකුයි ඇවිත් එතන ඉටිපන්දම් පත්තු කරලා එතනින් පස් අරන් ගිය බවත් , මිනී මල් පඳුරක් එතන පැල කරපු බවත් මතකයි. ඒ අම්මගෙ කඳුළු වැටුන තැන හැදුව ඒ ගහේ පස්සෙ කාලෙක මල් පිපෙන්න ඇති. අම්මලගෙ ආදරේ එහෙමයි. ආයම කිසිම කිසි කාලෙක ඒ වගේ දේවල් වෙන්න ඕන නෑ ලෝකෙ කිසිම තැනක.. මොකද ඒ මතක ඒ තරම්ම අමිහිරියි... 

ඒ අමිහිරි කාලෙ ගෙවිලා ගියාම ආයම ආවෙ ලස්සන නිදහස් කාලයක්. බයක් නැතුව ටීවි බලන්න පුලුවන් කාලයක්... නිදහසේ හුස්මක් ගන්න පුලුවන් කාලයක්.. 

ඔන්න දවසක්.... 

©️ප්‍රභානී තෙන්නකෝන්. 
මතු සම්භන්ධයි.. 




කඳුකරයේ මතක 03

කඳුකරේ මතක 03 


මොන ගල් කැටද ? 

අම්ම අහන්නේ මාව දවා අලු කරන්න පුලුවන් බැල්මක් එක්ක. අනේ අම්මේ ගල් කැට ඕනා... මං කියන්නෙ අඬන්න ඔන්න මෙන්න මූණෙන්. 

අම්මා බොරු කේන්තියක් අරන් , කී ගමනක් කීවද ඊයෙ මම, ඉස්කෝලෙ වැඩ බලන්න කියල. මෙලෝ සිහියක් නෑ. ගස් ගල් අස්සෙ බඩ ගෑවම හරි බල්ලත් එල්ලගෙන..  යංකො අද ගෙදර .. අල්ලගන්න මම... ආ මෙන්න ගල් කැට.. මට සිහියක් තියන නිසාම හොඳයි කියලා අම්ම කියන ගමන් කල් කැට මල්ලක් මගේ අතින් තියන්නේ  තමන්ගෙ එකම දුවගෙ සිහි කල්පනාව ගැන ඕනවටත් වඩා තමන් දන්න බව සිහිපත් කරන ගමන්. 

අම්මගෙන් ගල් කැට මල්ල අරන් පන්තියට ගියාට මොකද කොහොමත් හිටි ගමන් නැතුව යන මගේ සිහිය ආපහු එන්න කියල සෝමා ටීචර් කරන්නෙ විනාඩියක් එලියෙ හිට්ටවන එක. ඒ විනාඩියෙ මම කරන්නෙ පන්ති මිදුලේ ලොකුවට බලි චිත්‍ර අඳින එක.. 

තමන්ගේ යෙහෙළියගෙ දුව ඊගාව මොහොතෙ මිදුලේ කරන්න පුලුවන් වැඩ කන්දරාව ගැන ඉවක් තියන සෝමා ටීචර් මාව පන්තියට ගන්නේ ආය එහෙම ඔහොම වැඩ කරන්නෑ කියන පොරොන්දුව එක්ක. ඔන්න පාඩම් වැඩ ඉවර වුනාම ඊගාවට එන්නෙ ඉන්ටවල් එක. 

හැමදාමත් මට ඕන වුනා ඉන්ටවල් එක වෙලාවෙදි ඉස්කෝලෙ පිට්ටනිය පාමුලින් ගලාගෙන යන උමා ඔය අත්තේ කකුල් දෙක පොඩ්ඩක් තෙමා ගන්න. ඒත් කවමදාකවත් කරන්න බැරුව ගිය හීනයක් විදියට ඒ ආසාව අදටත් මගෙ හිතේ තියෙන්නෙ ආයම කවදාවත් පිට්ටනිය පාමුලින් ගලාගෙන නොයන ඒ උමා ඔය වතුරෙම මගේ හීනෙ බොඳ කරමින්. මොකද උමා ඔය හැරවීමත් එක්ක දැන් ඒ අතු ඔය ගලන්නෙ නැතිම තරම්.. 

මගේ මේ ආසාව ගැන ඉවක් තිබ්බ අම්මා කරන්නේ ගුරු කාමරේ ඉඳන් දෙතුන් පාරකට ඔලුව දාලා එක වසර මිදුලේ අනිත් පුංචි බටු ඇට එක්ක තමන්ගේ නාහෙට නාහන බටු ඇටේ ඉන්නවද බලන එක. ඊගාවට ඉතින් ආයම පන්තියට. දූවිළි පුරෝගෙන. හරියට හත් අවුරුද්දකින් වතුර පොදක් දැකල නැති ළමයි ටිකක් වගේ ළමයි ටිකක් තමයි හැමදාමත් ඉන්ටවල් එකෙන් පස්සෙ පන්තියෙ හිටියෙ. 

එක වසර ඉස්කෝලෙ කාලෙ හැමදාමත් ගෙවුනෙ ඔහොම. එකම වෙනස ඉඳ හිට දවසක සෝමා ටීචර් ඉස්කෝලෙට ගේන්න කියන දේවල් මතක තියාගෙන අරන් යන එක විතරයි. ඒ කාලෙදි නම් අපේ අම්මයි සෝමා ටීචර් යි කීවෙ , අම්මෝ..අද වහීද මන්දා... කියල ඒ වගේ දවස් වලට. 

ඒ කාලෙ තමයි ජේවීපී කළබල පටන් ගත්තේ. පාරවල් පුරා මිණී කඳු , ටයර් තිබ්බේ.. 

ඒ කාලෙ මතක අදටත් මාව සීතල කරවන්න පුලුවන් කීවොත් මම හරි. හැබැයි රසබර දේවලුත් නොවුනාම නෙමෙයි ඒ කළබල අස්සෙත්... 

©️ප්‍රභානී තෙන්නකෝන්. 
මතු සම්භන්ධයි. 



කඳුකරයේ මතක 02

කඳුකරේ මතක 02


අම්මාගෙ සද්දේ වහලේ උඩ යන්න තරම්.. තාත්තගෙ තුරුලෙ ඉඳන් අන්තිම බිස්කට් එක පය පාමුල දැවටෙන කිටීට දීලා කිරි ජොග්ගුව බීගෙන බීගෙන යන මම අම්මා දිහාවෙ බලන්නේ ඇස් දෙක ලොකු කරගෙන අඬන්න ඔන්න මෙන්න මූණක් හදාගෙන. ඒ කපටි කමට. 

හැමදාම කියනව අයියලව අවුස්සන්න එපා කියල. කොච්චර කීවත් කරන්නෙම ඒක. තාත්තා තමයි මෙයාව නරක් කරන්නේ. කෝ යන්න මූණ හෝදන්න..  අම්ම කෑ ගහන්නේ අහල පහලටත් ඇහෙන්න. එතකොටම කොහෙදෝ ඉඳන් දුවගෙන එන චන්ද්‍රානි අක්කා මාවත් වඩාගෙන එක්ක යන්නෙ මූණ හෝදන්න. කලින් ලෑස්ති කරල තිබ්බ උණු වතුරෙන් මූණ හෝදවල ආපහු වඩාගෙන එන්නෙත් අක්කමයි. ඒ නම් වැඩියෙන්ම බිම තිබ්බොත් ටොමී බලන්න දුවලා ආයම හෝදන්න වෙයි කියන බයට. 

ටොමී කීවේ අපේ බල්ලට. මම දැක්ක ආදරණීයම බල්ලා තමයි ටොමී. තාත්තා මාස ගානක් රුසියානු සංචා‍රයක ගිහින් හිටි කාලෙ මගේ හැම අඬෝවැඩියාවක්ම ඇහුවේ ටොමී. කන් දෙන වන වන මං කියන ඔක්කෝම අහන් ඉන්න ටොමී ඊගාවට කරන්නේ මගේ මූණ ඉඹින එක. මං අදටත් හිතන්නෙ ටොමී ට මම කියන ඔක්කෝම තේරුනා කියලා.මොකද ටොමී මා දිහා බලන ඒ ආදරණීය බැල්මෙ හැමදාමත් තිබ්බේ බබාට මම ඉන්නවා කියන හිතවත්කම. 

චන්ද්‍රානි අක්කගෙ තුරුළෙ වහං වෙලා කාමරේට එනකොට තාත්තා කච්චේරි යන්න ලෑස්තියි. එතකොට තාත්තා වැඩ කරේ නුවරඑළියෙ කච්චේරියෙ. තාත්තා හැමදාමත් ඇන්දේ කිරි සුදු නැෂනල් සූට් එක. තරුණ කාලෙ ඉඳන්ම කොමියුනිස්ට් වාදියෙක් වුන තාත්තා අදටත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන ඕනෑවටත් වඩා වද වෙන කෙනෙක්. ඒ ප්‍රතිපත්ති නිසාමද මන්දා තාත්තා කිසිම වෙලාවක එයාගෙ ඇඳුම් පිළිවෙල වෙනස් කරේ නෑ. අවම විදෙස් සංචාරයකදිවත් ! 

තාත්තා කලින් දා වරුවක් තිස්සේ එකම එක ඉරක් වත් නැතිවෙන්න මැදල තිබ්බ සුදු සූට් එක ඇඳගෙන ඒ කිසිම දෙයක් ගැන වද නොවී එයාගෙ මැණික වෙච්ච මාව වඩාගෙන ඉඹල තමයි හැමදාමත් වැඩට ගියේ. ඔන්න ඊට පස්සෙ එන්නෙ ඇඳුම් යුද්දෙ.. 

චන්ද්‍රානි අක්ක තමා මාව අන්දන්නෙ ඒ කාලෙ හැමදාම. සුදු ගවුම අන්දන්නෙ අන්තිමටම. එක මේස් එකක් දාලා අනිත් මේස් එක දාන්න මාව අල්ලන්න හැමදාමත් අක්කා ඇඳ පුරා ගේ පුරා කෑ ගහ ගහ දුවපු කාලයක් ඒක. අන්තිමේ කොහොම හරි අතින් ඇදගෙන ඇවිත් ඇඳුම් අන්දල ඉවර වෙනකොට අම්මා සාරියත් ඇඳගෙන ඉවරයි. ඔන්න ඊගාවට අම්මගෙ අතින් අල්ලගෙන යන්නෙ ඉස්කෝලෙට. 

ඒ පොඩිම කාලෙ මම ගියේ අම්ම එක්ක අම්මා උගන්නපු ඉස්කෝලෙට. ඉස්කෝලෙ තිබ්බෙ සොහොන් පිටියට මායිම්ව. ඉතින් කලින්දා කාගෙහරි මරණයක් භූමිධාන කරල තිබ්බොතින් එහෙම ඉස්කෝලෙ යෑම පැත්තක තියලා මට ඕන වෙනවා කැලෑ මල් කඩාගෙන අර අලුත් මිණීවල වහපු පස් ගොඩැල්ලෙ ඒ මල් අතුරලා ඒ මැරුණ කෙනා එක්ක කතා කරන්න. එයා වල ඇතුලේ සනීපෙන්ද කියලා අහන්න. යන්තම් අකුරු පුළුවන් දා ඉඳන්ම ලස්සන වසීලිස්ස පොතට වහ වැටිලා හිටි නිසාම මට ඕන වුනේ ඉවාන් එයාගෙ තාත්තා එක්ක කතා කරා වගේ මැරුණ අය එක්ක කතා කරලා දුක සැප අහන්න. ඒක ටිකක් විකාරයි වගේ නම් තමයි. ඒත් අදටත් මම ඒ දේට හරිම ආසයි. සොහොන් පිට්ටනි වලට ගිහින් ඒ නිස්කලංක පරිසරේ ඉඳන් සොහොන් කොත් ගාවට වෙලා කියව කියව ඉන්න. මගේ මේ විකාර ඉවසන්නම බැරි වෙනකොට අම්ම කරන්නේ බලෙන්ම මාව ඇදගෙන ඉස්කෝලෙ ඇතුලට යන එක. 

ඊට පස්සෙ අම්මා අම්මගෙ පන්තියටත් මාව මම හිටිය පන්තියටත් දාලා මටත් ඇහෙන්නම මගේ පන්තියේ සෝමා ටීචර් ට , "ඔන්න වැඩ කරේ නැත්තම් අර තඩි වේවැලෙන් දෙන එකයි තියෙන්නෙ පස්ස රත් වෙන්නම , ඊයෙත් එක පොතක් අතින් අල්ලන්නෙ නැතුව නැටුව දවසම " කියාගෙන තමයි යන්නෙ. හැබැයි කවමදාකවත් සෝමා ටීචර් ඒ අම්මා කී තාලෙට මට ගැහුවෙ නෑ. මට තියා පන්තියෙ වෙන කාටවත් ගහපු බවක් ගැන මට මතකයකුත් නෑ. 

ඔන්න ඊගාවට අපේ පංති වැඩ පටන් ගන්නව. කෝ ගන්න බලන්න ගේන්න කීව ගල් කැට ටික....... 

ගල් කැට..... ඔන්න එතකොටයි මට මතක් වෙන්නෙ ගල් කැට. ඒ වෙලාවට මට මතක් වෙන්නෙම එහා පන්තියෙ ඉන්න අම්මව. අම්ම ඉගැන්නුවෙත් එක වසරට. අම්මගෙ බලවත් ඉල්ලීමට තමයි මාව අනිත් පන්තියට දාල තියෙන්නෙ. ඔන්න ඉතින් ගල් කැට ගැන එවෙලෙ අහපු ගානට ඇස් දෙක ලොකු කරන් පුටුවෙන් නැගිටින මම ... 

ටීචර්... මගෙ ගල් කැට අම්මගෙ බෑග් එකේ... මං ඒක අරන් එන්නම්.... කියනවා.. 

සෝමා ටීචර් මා දිහා බලන්නෙ අවිස්වාස හැඟීමෙන්.. ඒත් හා හා ඉක්මනට ගිහින් අරන් එන්න.  ඉ ක් ම න ට...  අන්තිම ඉක්මනට එක කියන්නෙ බර කරල.. 

ඔන්න මම අම්මගෙ පන්තිය ඉස්සරහා.. ඒක හරිම තීරණාත්මක මොහොතක්.. හරියටම කියනවනම්, විත්ති කූඩුවේ ඉඳන් නඩුකාර උන්නාන්සෙ දිහා බලා ඉන්නව වගේ හැඟීමක්.. 

මූණට නගා ගන්න පුලුවන් බයාදුම බැල්මෙන් මම අම්ම දිහා බලනවා.. 

අම්මේ....... 
අම්මේ... ගල් කැට.... 

©️ප්‍රභානී තෙන්නකෝන්. 

මතු සම්භන්ධයි.




කඳුකරයේ මතක 01

කඳුකරේ මතක... 01



සීතලම සීතල කඳුකරේ එහෙ මෙහෙ දුව පැන්න හයිඩි වගේ මමත් උපන්නේ සීතල බණ්ඩාරවෙල කඳුකරේ. ඒ මතක තමයි මගේ ජීවිතේ ලස්සනම මතක. මගේ අකුරු අඳුනන බොහෝ අය දන්න දෙයක් තමයි මගේ හිතට සංවේදී වූ මතක ගැන මම ලියන හැම වෙලාවකම , මට පුරුදු මං ලියන හාස්‍ය රටාවෙන් මිදිලා වෙනනම රටාවකින් මම ඒ ලියවිලි ලියන බව. ඇත්තටම කීවෙත් මම ලියනවා නෙමෙයි මට එහෙම ලියවෙනවා ඒ මතක ගැන. මොකද ඒ මතක ඒ තරමටම සංවේදී හා ආදරණීය වීම නිසා. ඉතින් එහෙනම් මම මේ ගේන්න යන්නේ ඒ ආදරණීය කඳුකරේ ලස්සනම ලස්සන ආදරණීය මතක පේළියක්. කඳුකර මතක මම පටන් ගන්නේ එක වසරේ ඉඳන්. මේ මතක දිගෑරෙන අනිත් බිම අච්චාරුව නිසා මේ මතක අරන් යන අයට ඒ ගැන සඳහනක් කරන්න කියලා ඉල්ලනවා මම ඉතාමත්ම ආදරයෙන්. 

ආදරණීය සීතල කඳුකරේට ඉර පායන්නේ ටිකක් පරක්කු වෙලා. ඉස්කෝලෙ යන්න නැගිටින්න කියලා දෙතුන් පාරක් තාත්තා කතා කරත් ආයම ඇඳට ගුලි ගැහෙන්නේ කම්මැලි කමට වඩා සීතල නිසා. දෙතුන් පාරක් කතා කරන තාත්තා ආයම කතා නොකර ඇඳ ගාවට ඇවිත් මාව වඩාගෙන මූණ හෝදන්න එක්ක යන්නේ තවත් කොච්චරක් කතා කරත් නැගිටින්නේ නැති බව දන්න නිසාමයි. අඬ නින්දේ තාත්තගේ තුරුල්ලෙ ඉඳන් ආයම කරේ නිදාගන්න තරම් නිදිමත තදයි සීතලටම. හරියට පූස් පැටියෙක් වගේ ඒ උණුහුමේ ගුළි ගැහෙන්න පුලුවන් තරම්ම තාත්තෙක්ගෙ ආදරේ හරිම උණුහුමයි. 

ඉස්සරම ඒ අපි පුංචි කාලේ අපේ ගෙදර නානකාමරයක් තිබ්බෙ නෑ ගේ ඇතුලේ. මිදුලෙ කොනක තමයි මූණ හෝදන්න හදලා තිබ්බේ. එතනම තිබ්බෙ රතුම රතුපාට බල්බ් දාන ජම්බු ගහ. ඒ ලඟම තිබ්බ අලිගැටපේර ගහේ තිබ්බා ඔංචිල්ලාවක්. අපි මූණ හෝදන වතුර ගලා යන්න තිබ්බ කානුව දෙපැත්තේ ලිලී මල් පඳුරු තිබ්බා ඕසෙට මල් පිපුන. එතනින් ගලන් ගිය වතුර ඊගාවට බෙදිලා ගියේ චන්ද්‍රානි අක්කගේ මල් වලට. සුදු පාට මගුල් කපුරු මැද දම්පාට පොඩි කපුරු පඳුරු වලට. ඊට ටිකක් උඩින් තිබ්බේ ගෝවා , කැරට් , ලීක්ස් වගේ එළවලු පාත්ති. වතුර පාරට පහලින් තිබ්බ පාත්ති වල සේර , පාස්ලි , සලාද , රම්පෙ , නීරමුල්ලිය විතරක් නෙමෙයි ඊටත් පහලින් සැවැන්දරා යායක්ම තිබ්බා කියන්න මට මතකයි. මේ ඔක්කෝගෙම අයිතිකාරි චන්ද්‍රානි අක්කා. 

චන්ද්‍රානි අක්කා කීවෙ අපේ ලොකුම ලොකු නැන්දගෙ දුවට. අපේ ලොකු අයියා පොඩි කාලෙ ඉඳන්ම ඒ අක්කා හිටියේ අපේ ගෙදර. වත්ත පිටියේ වැඩ කරල දෙන්න එන අත් උදවු කාරයින්ට අණසක පතුරවගෙන. ඒ විතරක් නෙමෙයි , උයන්න උදවුවට හිටිය පූර්ණ අම්මට , මගේ තනියට සෙල්ලම් කරන්න හිටිය පාපට , අපේ අයියල දෙන්නට , මට.. අපි හැමෝටම අණසක පතුරවගෙන. හරියට අර මිස්ටර් බීන් කාටුන් එකේ බීන් ගෙ ඉන්න ගෙදර අයිතිකාරි වගේ.. එහෙමත් නැත්තම් එලිසබෙත් මහ රාජිනී වගේ.. ඒ අණසකට විරුද්ධව මැස්සෙක් වත් නිර්භීතව පියාඹන්නෙ නෑ. ඒ තරම්ම ඒවා දරුණුයි. හැබැයි ඒවා හරිම ආදරණීයයි.. 

තාත්තාගෙ කරේ බාගෙට නිදාගෙන කුස්සියට එන මට ඊගාවට හම්බවෙන්නෙ දුම්දාන කිරි කෝප්පයක් එක්ක මාරි බිස්කට් පැකට් එකක්. ඔවු ඒ තමයි මගේ පොඩි කාලේ උදේ කෑම එක. ඒ දෙක නොතිබ්බොත් ගේ යුද්ධ පිටියක් කරන්න පුළුවන් විදියේ ඇඬීමක් මට තිබ්බා පොඩි කාලෙ. ලොකු අයියා නම් කීවෙ ඇඬිවතී අඬලා ඔක්කොම ජය ගන්නව කියල. ඒත් පොඩි අයියා නම් එයාට වාසි වෙන දේවල් වලටත් මගේ ඇඬිල්ලම පාවිච්චි කරා ඒ කාලෙත්. කිරි ජොග්ගුවෙ එක එක මාරි බිස්කට් එක පොඟව පොඟව කන එක කලාවක්. මාරි බිස්කට් එක වැඩියෙන් පෙඟුනොත් කඩාගෙන වැටෙනව කිරි එකට. අඩුවෙන් පෙඟුනොත් හයියයි. ඒ නිසා ඒක හරිම ගානට පොඟවගන්න ඕන. 

කුස්සියෙ උස පුටුවෙ වාඩි වෙලා එතන තිබ්බ මේසෙට වැලමිට ගහගෙන බාගෙට නිදි කිරන ගමන් අර මාරි පැකට් එකම කාලා ඉවර වෙනකොට ඔන්න අපේ අයියල දෙන්නා කිරි කොක්කු වගේ ලස්සනට ඇඳගෙන එනවා ඉස්කෝලෙ යන්න. එයාලා යන්නෙ බස් එකේ බණ්ඩාරවෙල ලොකු ඉස්කෝලෙට. ඒ ගමනට පැයක්ම යන නිසා එයාල උදේ හයට ගෙදරින් යනවා. ඒ කාලෙ ඉස්කෝලෙ පටන් ගත්තේ හතයි තිහට නෙ. පස්සෙ අටට වෙලා දැන්නම් කීයටද මන්දා.. එයාල අම්මට වැඳලා ඊගාවට වඳින්න එන්නේ තාත්තා ගාවට. තාත්තා ඉන්නෙ මා ගාව නිසා එයාල තාත්තාට වඳිනකොට තාත්තාට කලින් ඒ දෙන්නගෙ ඔලුව අතගාන්නෙ මම. ඉතින් එයාල දවස පටන් ගන්නෙම රංඬු වේගෙන හැමදාම. 

ඔන්න එයාලාව සන්සුන් කරලා බස් එකට නග්ගන අම්මා ඊගාවට හැරෙන්නෙ මා දිහාට..... 

පොඩි දුව............. 


මතු සම්භන්ධයි. 




Tuesday, 14 April 2020

Tuscany news

Tuscany News ( Italy ) 
ටොස්කානා ප්‍රවෘත්ති   ( මධ්‍යම ඉතාලිය ) 


කොරෝනා නිසා වැඩිම බලපෑම් ඇතිවූ රටවල් අතර තාමත් ඉතාලිය ඉන්නෙ තුන් වෙනි තැනට. ( මුලින් අංක 1 ට හිටියට ) බොහෝ අය මගෙන් අහනව මෙච්චර මැරෙනකොට ඉන්න බය නැද්ද , ඔයාලට කොහොමද කියල. මරණ සංඛ්‍යාව ගැන මම  සවිස්තරාත්මකව ලියපු නිසා ඒක දැන් අවශ්‍ය නෑ. ඕනෑම කලු වලාකුලක රිදී රේඛාවක් තියනව වගේ අපි දැන් ඉන්නේ සතුට එක්ක. 

ඇයිද දන්නවද මම එහෙම කියන්නෙ , මරණ ගැන හිතන්න හිතන්න වෙන්නෙ අපි බය වෙන එක. රෝගීන් ගාන ගැන ගනින්න ගනින්න වෙන්නෙ අපි බය වෙන එක. බය වෙන්න වෙන්න වෙන්නෙ අපි දුර්වල වෙන එක.  ඊටපස්සෙ මානසික ආතතිය වැඩි වෙලා කොරෝනා අපිව හොයාගෙන එන එක ඉක්මන් වෙන එක. 

අන්න ඒක නිසාම ඉතාලි රජය නිතරම තමන්ගෙ මිනිස්සුන්ට කීවේ ගෙවල් ඇතුලෙ ඉන්න , හැකි සෑම මොහොතකම සතුටින් ඉන්න , සතුට ගේන දේ කරන්න. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියල විතරයි. ඉතින් අපි ඒ පිළිවෙලට ගෙවල් ඇතුලේ හිටියා. ( මුලින් කියන දේ අහපු නැති අයත් පස්සෙ ඇහුවා ) විශේෂයෙන්ම ඉතාලි රජය නිරතුරුවම තමන්ගෙ වැසියන්ට කීව එක දෙයක් තියනවා , 

රෝගීන් හා මරණ වල ඉලක්කම් ගණින්නෙපා ! 

මේ වෙනුවෙන් , අපි අපිට කළ හැකි හැමදේම ඔබ වෙනුවෙන් කරනවා ,ඔබ ඔබට කළ හැකි එකම දේ විදියට නිවෙස් වලට වී ඉන්න කියන එක විතරයි. 

ඉතින් දැන් මම කියන්නේ මම ජීවත් වෙන ප්‍රාන්තයේ තත්වය ගැන. ඉතාලිය ඉතාලිය කීවට මම කලිනුත් කීවා වගේ උතුරු ඉතාලියෙ තමයි කොරෝනා තත්වය බරපතලව තියෙන්නෙ. මම ජීවත් වෙන්නෙ මධ්‍යම ඉතාලියෙ , ටොස්කානා ප්‍රාන්තයේ. ටොස්කනි කියන්නෙත් ඒකට. ඒකෙ අගනගරය තමයි ෆ්ලොරන්ස්. මම ජීවත් වෙන්නෙ ආන්න ඒ නගරයෙ. ලෝකප්‍රකට කලා ශූරීන්ගේ භූමියක්. ලෝකයේ වැඩිම සංචාරක ආකර්ශනය තියන නගර වලින් එකක්.. 

කොරෝනා නිසා සමස්ථ ඉතාලිය මාර්තු 09 වහනවත් එක්කම ඒ ඒ ප්‍රාන්තත් වැහුවා. ඒ කියන්නේ ප්‍රාන්තයකින් තව ප්‍රාන්තයකට යන්න බෑ. ( අත්‍යාවශ්‍ය කටයුතු වලට පුලුවන් ) 

ඒ අනුව භූමි ප්‍රමාණය  22,985 km2 වුන ඉඩක , ජන ගහනය 3,729,641 ( ආසන්න වශයෙන් ) ප්‍රමාණයක් කොටු වෙලා ඉන්නව. https://www.citypopulation.de/en/italy/admin/09__toscana/

මම ජීවත් වෙන්නෙ නගරයේ නිසා සීයට අනූවක්ම තියෙන්නෙ මහල් නිවාස. අපි බැල්කනි වල ඉඳන් සිංදු කියනව. එකිනෙකා එක්ක කතා කරනව. ඉතාලි ජාතික ගීය කියනව. අපේ ළමයි හැමදේම ඉක්මනටම හරියන්න කියල දේදුනු අඳිනවා. බැල්කනි වලින් එලියට පේන්න ඒ දේදුනු එල්ලනවා. වැඩිහිටියො ගෙදර ටබ් එකේ මාලු බානවා , ළමයින්ගෙ සෙල්ලම් තුවක්කු වලින් ගේ ඇතුලෙ දඩයමේ යනවා , ගොල්ෆ් පිති වලින් ගොල්ෆ් ගහනවා ගේ ඇතුලෙ කාපට් වල, ඔවු ඔබට ඒ ටිකට හිනා ගියා. මම ඒක දන්නව , නමුත් මිනිස්සු මානසික ආතතිය මග හරවා ගන්න ඒ වගේ දේවල් කරනව. හැබැයි කවුරුත් කාටවත් බනින්නේවත් වත් කතා කියන්නෙවත් නෑ ඒවට. ඔබට ඕන්නම් යූ ටියුබ් එකේ පවා italian quarantine fun කියල සෝදිසි කරොත් බලන්න පුලුවන් ඒ දේවල් ඇත්තටම. 

ෆ්ලොරන්ස් නගරයෙන් , පළමු රෝගියා පෙබරවාරි 24 හමු වීම එක්ක මේ දක්වා ( 14 අප්‍රේල් )කාලය තුළ 


2.269 - florence   (10 ක් - ගතවූ පැය 24 තුළ අලුතින් ) , 
394 - Prato (1 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ), 
509 - Pistoia (3 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ) 
867 - Massa Carrara (12 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ), 
1.060 - Lucca (40 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ), 694 - pissa  (17 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ), 
404  - Livorno (6 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ), 453 - Arezzo (24 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ), 372 - Siena (1 ක් ගතවූ පැය 24 තුළ අලුතින් ), 
368  - Grosseto (41 ගතවූ පැය 24 තුළ අලුතින් ). 

ප්‍රාන්තය තුල සක්‍රීය රෝගීන් - 6257 ක් 

ආදී වශයෙන් , මේ දක්වා මුලු රෝගීන් ගාන , 7.390 කින් රෝගීන් 615 ක් සුව වී , මරණ 518 ක් ( මේ
අයගෙන් වැඩි ප්‍රමාණය වයස අවු. 75 ට වැඩි ) වීමෙන් පසුව සමස්ථ ටොස්කානා ප්‍රාන්තය තුළ සක්‍රීය රෝගීන් 6.257 ක් ඉන්නවා. 

මේ අය අතරින් ප්‍රාන්තය තුළ පමණක් ( භූමි ප්‍රමාණය - 
22,985 km2 ) දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් 225 ක් ඉන්නවා. ප්‍රාන්තය තුළ රෝහල් ධාරිතාව ඉක්මවා නොමැති බැවින් මේ අයට අවශ්‍ය සියළුම ප්‍රථිකාර හා අවධානය නොකඩවා ලැබෙනවා. 

ප්‍රාන්තයේ බලධාරීන් ප්‍රාන්ත වැසියන්ට අවශ්‍ය සියළුම දේ දෙනවා. ආහාර පාන කිසිම හිඟයක් නැතුව සුපර්මාර්කට් වල තියනවා. සියළුම ෆාමසි විවෘත නිසා කිසිම ඖෂධ හිඟයකුත් නෑ. ප්‍රාන්තයේ සියළුම වැසියන්ට මුඛ ආවරණ පවුලේ සාමාජික සංඛ්‍යාව අනුව නොමිලේ දෙන්නත් ප්‍රාන්ත බළධාරීන් කටයුතු කරල තියනව. ආරක්ශාව වෙනුවෙන් පල්ලි වසා මේ අවුරුද්දේ පාස්කු දේව මෙහෙය බැතිමතුන් හා එක්ව නොපැවැත්වුනත් ගෙවල් වල ඉඳන් පාස්කු උත්සවය සමරන්න කියල රජය හැම පහසුකමක්ම සලස්වලත් තිබ්බා. මේ විදියට මින් පෙර ඉතාලි ඉතිහාසය තුළ පල්ලිය වසා සෙනඟ නැතුව පාස්කු දේව මෙහෙයක් තිබුනේ  1944 දි පමණයි. ඒ දෙවන ලෝක යුද්ධය නිසා. 

මේ දේවල් මෙහෙම වෙලා මිනිස්සු ගෙවල් ඇතුළට හිර වුනාම හතර අතේ පිස්සුවෙන් වගේ ගිය මිනිස්සු කෝ කියල බලන්න ඉස්සෙල්ලම ෆ්ලොරන්ස් නගරෙට ආවෙ පාත්ත පවුලක්. ඇලක් ගාව තියන ෆාමසියක දොරකඩට ආව පාත්ත පවුලට ෆාමසියෙ අය කොරෝනා පාත්තයින්ට හැදෙන්නෙ නැති බවත් පාත්ත හොටට මුඛ ආවරණ ගැලපෙන්නෙ නැති බවත් කියා දුන්නට පස්සෙ ඒ අය ආපහු ඇලටම ගිහින් තිබ්බා. 



ඊට පස්සෙ ෆ්ලොරන්ස් නගරෙ තවත් පැත්තකට ඇවිත් තිබ්බේ වල් ඌරෙක්. වෙනදට තුවක්කුත් මානගෙන අපිව හොයන් එන දෙපා ඌරෝ කෝ බලන්න සිවුපා වල් ඌරා ආවට පස්සේ එයාව ඒ ආසන්නයේ මහල් නිවාසෙක හිටි කෙනෙක්කුගේ කැමරා ඇසකට අහු වෙලා තිබුනා. ඒ වගේම එයාව නගරේ ආරක්ශක කැමරා පද්ධතියටත් අහුවෙලා තිබුනා. පොලිසිය මැදිහත් වෙලා එයාට ආපහු කැලේට යන්න පාර පෙන්නල තිබ්බා. 





ඒ අයට පස්සෙ පෙරේදා අලුතෙන්ම නගරෙ තොරතුරු බලන්න කියල ඇවිත් තිබ්බෙ නරියෙක්. එයා හරි අපූරුවට නගරේ ආරක්ෂක කැමරා වලට හිනා වෙලා තිබුනා. එයාවත් ආපහු කැලේට යවන්න වෙලා තිබ්බේ පොලීසියට. 




මාර්තු වෙනකල්ම නොකඩවා හැල්මෙ දුවපු , කළබලකාරී නගරය මෙහෙම නිහඬ බවේ ගිළෙනකොට සත්තුන්ටත් ඒක දරාගන්න බැරුව යන්න ඇති. මේ මිනිස්සුන්ට මක් වෙලාද කියල බලන්න ඒ අය එන්න ඇති. 

ඉතින් අපිට ඒ ඇති සතුටින් ඉන්න. ජීවිතේ දිහා උපේක්ශාවෙන් බලන්න. 

අච්චරක් මැරුනා මෙච්චරක් මැරුනා නොකියා මේ රටේ වෛද්‍යවරු මේ තරම් මිනිස්සුන්ව සනීප කරා කියල , මේ තරම් කැප වෙනවා කියල , රජය මේ තරම් තමන්ගෙ වැසියන් වෙනුවෙන් වැඩ කරනවා කියල , ලෝකයේ බොහෝ රවවල් වල මනුස්සකම ඉතාලිය එක්ක අත් වැල් බැඳගත්තා කියල අපිට පුලුවන් සතුටු වෙන්න. ඔවු මේ ව්‍යසනය මැද්දේ ඉතාලිය තනි වුනේ නෑ කියල අපිට පුලුවන් සතුටු වෙන්න. 

මේකම අපේ පුංචි මුතු ඇටය වුන ලංකාවටත් ආදේශ කරගන්න පුලුවන් , බයෙන් , තරහෙන් , වෛරයෙන් ඉන්නෙ නැතුව හැම මොහොතම ධනාත්මක හිතල සතුටින් ඉන්න. රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙල ගැන සතුටු වෙන්න. වෛද්‍ය කාර්‍යමණ්ඩල කරන වැඩ කොටස ගැන සතුටු වෙන්න. ත්‍රිවිධ හමුදාව කරන කැපවීම ගැන සතුටු වෙන්න. ඒ කැපවීම් වලට සාධාරණයක් කරන්න ගෙවල් වලට වෙලා උදවු කරන්න. හැකි සෑම මොහොතකම සතුටින් ඉන්න. 

©️ ප්‍රභානී තෙන්නකෝන්. 

Thursday, 9 April 2020

Food Preservation

ආහාර කල් තබා ගැනීම. 

මම මේ ලියන්නේ මම අනුගමනය කරන ක්‍රියාමාර්ග , මේවා මොන තරම් සෞඛ්‍යාරක්ෂිත ද කියන එක නම් මම දන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන දන්න වෛද්‍ය තුමියක් හෝ වෙන කෙනෙක් හෝ කියා දෙනවනම් මම කැමතියි. 

මම ජීවත් වෙන්නෙ ඉතාලියෙ නිසා සාමාන්‍යයෙන් අපිට ශීත කාලෙදි ගොඩාක් පළතුරු එහෙම නෑ. ඇපල් මිදි දොඩම් ඇරුනම වසන්ත කාලෙ හා ග්‍රීශ්ම කාලෙ තියන නානාප්‍රකාර පළතුරු ශීත කාලෙදි නෑ. නමුත් විවිධාකාරයෙ පළතුරු වෙනත් රටවලින් ගෙන්වා හෝ දෙන නිසා පළතුරු නැති වෙන්නෙත් නෑ. ඒත් ඒවයෙ කල් තබාගන්න රසායනික සංයෝග අඩංගු නිසා බයෝ ප්‍රඩක්ක්ට් පමණක්ම ගන්න එක සාමාන්‍යයෙන් මම කරන දෙයක් ටිකක් මිලෙන් අධික වුනත්. 

ඒත් ග්‍රීශ්ම කාලෙදි බොහෝ පළතුරු එළවලු වල මිල සෑහෙන්නම අඩු වෙන නිසා ඒවා කල් තියාගන්න අපි සෑහෙන්න දේ කරනව. 

01 - නිවිති - ලුණු මිශ්‍ර උණු වතුරේ විනාඩියක් දෙකක් තම්බාගෙන ඒවායේ වතුර පෙරෙන්නෙ තියනව. ඊටපස්සෙ ඒවා කියුබ්ස් හෝ බෝල හැඩේට හදාගෙන තෙල් කඩදාසියක් ට්‍රේ එකක එළලා ඒවා දුරින් දුරින් තියලා මුලින් ෆ්‍රීස් වෙන්න අරිනව. ඊට පස්සෙ ඒ ෆ්‍රීස් වුන බෝල හෝ කියුබ්ස් එකකට එකක් ඇලෙන්නෙ නෑ. එහෙම එකකට එකක් නොඇලෙන නිවිති කියුබ්ස් හෝ බෝල වෙනම සිප් ලොක් බෑග් එකකට දාල වැකියුම් කරලා ෆ්‍රීස් කරනව.

02 - තක්කාලි. 
මුලින්ම නටන උණුවතුර ටිකකට තක්කාලි දැම්මම ඒවයෙ පොත්ත ගලවගන්න හරිම ලේසියි. එහෙම පොත්ත ගලවගත්ත තක්කාලි ටික චොප් කරගෙන ඒවයින් සෝස් හදාගන්න පුලුවන්. https://youtu.be/4RwuSZDl_do

ලංකාවෙ බදුලු , බණ්ඩාරවෙල පැත්තෙ ක්‍රමයට තක්කාලි ඇඹුල හදන්නත් පුලුවන්. 

තක්කාලි ඇඹුල - 

තක්කාලි , අමුමිරිස්, කරපිංචා, ඉඟුරු , සුදුලූනු, 

තුනපහ , උම්බලකඩ , අබ , ලුනු , මිරිස්. 

ඉඟුරු සුදුලූනු, පේස්ට් එකක් හදාගන්න. 

තක්කාලි පොඩි කෑලි වලට කපා ගන්න ( චොප් ) 
අමුමිරිස් දිග අතට පලාගන්න. 

ලොකු භාජනයක්  ( මැටි නම් වඩා හොඳයි ) ගෙන තෙල් ස්වල්පයක් දමා රත් වෙන්න තියන්න. 
තෙල් රත් වන විට එයට අබ දමන්න. අබ පුපුරන විට එයට ඉඟුරු සුදුලූනු, පේස්ට් එක දමා තෙම්පරාදු වනවිට එයට මිරිස් , තුනපහ , උම්බලකඩ දමා තෙම්පරාදු වෙන්නට හැර එයට අමුමිරිස්, හා කරපිංචා, දමන්න. ඒ සමඟම කපාගත් තක්කාලි දමා කවලම් කර ලුනු දමා කවලම් කරමින් ඉදෙන්න අරින්න. 

එහි ඉස්ම ගතිය මැකී හිඳෙන විට සීනි ස්වල්පක් එක් කරගන්න. 

රස්නෙ පිටින් බෝතල් කර මූඩි වසා සීල් කරන්න. 
( රස්නෙ පිටින් මූඩිය වැසූ විට සීල් වේ ) 

එහෙම නැත්තම් මදේ ඉවත් කොට ලුණු දමා අවුවේ වේලා බෝතල් වල අසුරා ගන්නත් පුලුවන් , මෙහෙම වේලාගත් තක්කාලි වියළි මිරිස් හා ඔලිව් ඔයිල් වල දමා බෝතල් කරන්නත් පුලුවන්. 

03 - දෙහි , 

ලුණුදෙහි හදන්න පුලුවන් 
දෙහි ඉස්ම අයිස් කියුබ් විදියට හදන්නත් පුලුවන් ( පුද්ගලිකව මම නොකරන දෙයක් ) 
දෙහි හෝ ඇඹුල්දොඩම් ඉස්ම ගෙන එය කකාරා ඇඹුලක් හදා ගන්න පුලුවන් , 

ඇඹුළ - දෙහි හෝ ඇඹුල්දොඩම් ඉස්ම. ගෙන තක්කාලි ඇඹුල හැදූ අයුරෙන්ම හදා ගන්න. මෙහිදී ඉස්ම ගතිය මැකී කලු පැහැ පල්ප් එකක් වෙනතුරුම මැටි හට්ටියක හිඳවා ගත යුතුයි. 

04 - එළවලු  

නැවුම් එළවලු මම කිසිම වෙලාවල අධිශීතකරණයෙ තියන්නෙ නෑ. ඒ වෙනුවට මම කරන්නේ මිරිසට උයා හෝ තම්බා වැඩි ප්‍රමාණය අධි ශීතකරණයෙ තැබීම පමණයි. 

නමුත් කරපිංචා, රම්පෙ , සේර වැනි දෑ අධිශීතකරණයෙ තියනව. 

05 - කොස් , පොළොස් , දෙල්. 
මේ තුනම මේ රටවල් වලට එන්නෙම ෆ්‍රීස් කරපු පැකට් හැටියට. 

පොළොස් හා දෙල් ලුණු හා කහ දමා අත ගෑ කෑලි අර නිවිති ෆ්‍රීස් කරපු විදියටම එකිනෙක නොගෑවෙන විදියට මුලින් ෆ්‍රීස් කරලා ඊට පස්සෙ බෑග් වලට දානවා. එතකොට කෑලි වෙන් වෙන්ව තියනවා බෑග් එක ඇතුලෙත්. 

කොස් නම් කපා හෝ මදුළු ලෙසම ෆ්‍රීස් කරන්න හෝ වේලා ගන්න පුලුවන්. 

06. පළතුරු 
ජෑම් හෝ චට්නි ලෙස 
පළතුරු ඩිහයිඩ්‍රේට් කරගැනීම. 
බොහෝ නිවෙස් වල ඩි හයිඩ්‍රේටර් එකක් නැති නිසා , ( මටත් නෑ 😉, මම ඉදිරිපස නිවසේ පිහිට පතනවා ඒ වගේ වෙලාවට ) 
පෙති කපා මද පවනේ හෝ අවන් එකක හෝ වියලා ගැනීම. 

https://youtu.be/kjLWtgOpOL4

චෙරි වැනි පළතුරු සීනි සමඟ බෝතල් වල අසුරා ගැනීම. 

07 - කොහිල , ලූණු, හතු , අලුකෙසෙල් , වැනි දෑ ගැඹුරු තෙලේ බැද තියාගන්න පුලුවන්. 

කල්තබාගතහැකි  කොහිල බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය, 

කොහිල ( හීනියට කපා ගත් ගිනිකූරු ලෙස ) 
ලොකු ලූනු ගෙඩි 2 ( සිහින්ව ලියාගත් ) 
හාල්මැස්සන්
රම්පෙ කරපිංචා, 
අමු මිරිස්, 
ඉඟුරු , සුදුලූනු, ( කොටා ගත්) 
අවශ්‍ය නම් සුදුලූනු පෙති ගපා ගත හැක
අවශ්‍ය නම් තිබ්බටු, අලුකෙසෙල් පොඩි කොටු කපාගත්, 
කෑලි මිරිස් කුඩු
විනාකිරි ස්වල්පයක්
සීනි තේ හැඳි බාගයක්


සාදා ගන්නා ආකාරය 

කොහිල, ( ලුනු ටිකක් ඉහ ගන්න ) ලොකු ලූනු, හාල්මැස්සන්, තිබ්බටු, අමු මිරිස් , 
සුදුලූනු පෙති, අලුකෙසෙල් , ආදී දෑ ගැඹුරු තෙලේ බැදගන්න. 

ටිකක් ලොකු භාජනයක් ගෙන ඊට තෙල් ස්වල්පයක් දමා එය රත්වනවිට ඊට කොටාගත් ඉඟුරු , සුදුලූනු, පේස්‍ට් එක එක් කරන්න. 
ඊට රම්පෙ කරපිංචා, දමා බැදෙන්නට හරින්න. 
එය බැදෙන විට, ඊට කෑලි මිරිස් එක් කරගන්න, එය හැන්දෙන් එහා මෙහා කරන අතරතුර අර බැදගත් සියල්ල ඊට එක් කරන්න. ලිප නිවන්න. 

දැන් සියල්ල හොදින් කවලම් කරන්න, රස අනුව ලුනු එක් කරන්න , සීනි , හා විනාකිරි ස්වල්පයක් එක් කර හොදින් කවලම් කරන්න. 

නිවෙන්නට හැර භාජනයකට දමා ශීතකරණයක් තුල තබන්න. මෙය මාසයකට වඩා කාලයක් තබා ගත හැක. 

( හාල්මැස්සො වෙනුවට උම්බලකඩ වුවත් පාවිච්චි කල හැක) 

කැමතිනම් ඔය කජු , රටකජු , මැගී නූඩ්ල්ස් එකක් ( අමුවෙන් රස කාරක නැතුව අරන් ලාවට බැදගන්න ) එහෙම අරන් බැදල දාගත්තමත් රස වැඩියි ) 

මේ විදියටම හතු ත් හදාගන්න පුලුවන් . 

08 - එලවළු අච්චාරු වර්ග. 

09 - පොල් 
පොල් ගාලා ෆ්‍රීස් කරන්න පුලුවන් 
පොල් කිරි අයිස් කියුබ් ට්‍රේ එකකට දාල ෆ්‍රීස් කරල උයනකොට ගන්න පුලුවන් 

10 - වට්ටක්කා. 
කෑලි කපල සෝදලා තෙත යනකල් ඉඳලා ෆ්‍රීස් කරන්න පුලුවන්. සිප් ලොක් බෑග් එකක වැකුම් කරල දැමීම වඩාත් හොඳයි. 

චිකන් ඇතුව හෝ නැතුව වට්ටක්ක තම්බලා පොඩි කරලා සුප් වගේ හදලා ඒක ෆ්‍රීස් කරන්න පුලුවන්. තම්බගත්ත පැස්ටා මේක එක්ක කවලම් කරල ගත්තමත් හරිම 
රසයි. https://youtu.be/7MDhhmPxGtM


©️ප්‍රභානී තෙන්නකෝන්. 




Wednesday, 1 April 2020

plan B

ප්ලෑන් B එකක් එක්ක ජීවත් වීමේ වාසිය. 


මාර්තු 10 වනදා සමස්ථ ඉතාලියම රතු කලාපයක් බවට නිවේදනය කිරීමත් එක්ක අපි ගෙවල් වලට කොටු වෙලා මේ ගෙවෙන්නෙ 4 වෙනි සතිය. මේ වෙද්දි අපි මේ ජීවිතේ ට හුරු වෙලා කීවොත් මම හරි. බොහෝ විට තවත් කාලයක් අපිට මෙහෙම ඉන්න වේවි. හැමදාමත් ප්ලෑන් B එකක් එක්ක ජීවත් වෙන්න මට කියා දුන්නෙ ඉස්සරහ ගෙදර ආච්චි. ඇගේ නම බෙප්පීනා. වයස අවු. 80 ක ඉතාලි ජාතික කාන්තාවක්. අපි දැන් ඉන්න ගෙදර පදිංචියට ඇවිත් හරියටම අවු. 09 ක් වෙනවා. මේ අවුරුදු නමය පුරාම ඇය මගේ දරුවට ආදරණීය මිත්තණියක් වගේම මටත් මගෙ පවුලේ අනිත් අයටත් ආදරණීය හිතවතියක් වුනා කීවොත් මම නිවැරදියි. 

වසන්ත ඍතුව පටන් ගන්නකොට මල් වලින් බර වෙන පළතුරු හා එළවලු ගස්  වසන්ත කාලේ ඉවර වෙලා එන ග්‍රීශ්ම ඍතුවේදී තමන්ගේ ඵල වැල අපිට දෙන්න පටන් ගන්නව. ඊ ගාවට එන්නේ ශීත ඍතුව කියන්න දන්න අපි මේ ලැබෙන එළවලු පළතුරු මතු ප්‍රයෝජනයට ගබඩා කරගන්නව. මේ ගැන මට කියා දුන්නෙත් , මට මේ දේවල් වලට උදවු කරෙත් බෙප්පීනා. බොහෝ ඉතාලි ජාතිකයන් මේ වගෙයි. ( ශීත කාලයක් එන බොහෝ රටවල විදිය මේකයි ) 

ග්‍රීශ්ම ඍතුවේදී තක්කාලි , ස්පිනාචි, ( නිවිති ) ඇතුළු එළවලු , පළතුරු  බොහෝමයක මිල ගොඩාක් අඩු වෙනව.මේ කාලෙදි අපි කරන්නෙ මේ මිල අඩු වෙන එළවලු පළතුරු විශාල ප්‍රමාණ වලින් ගෙනත් ඒවයින් මතු ප්‍රයෝජනයට ආහාර සකස් කරලා තියන එක. 

තක්කාලි. - මිල අඩු කාලෙදි විශාල ප්‍රමාණයෙන් ගෙනෙන තක්කාලි වලි අපි සෝස් හදනවා. මම නම් සෝස් වලට අමතරව අපේ ගමේ ක්‍රමය ට තක්කාලි ඇඹුල හදලා බෝතල් කරලා සීල් තියල තියනව. මෙහෙම හදාගන්න බෝතල් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් , මාස 6 කටත් වැඩියෙන්. 

නිවිති - ලංකාවෙ අපි දකින්නෙ සාමාන්‍යයෙන් වැල් නිවිති වුනාට යුරෝපයේ අපිට තියෙන්නෙ පඳුරු නිවිති. අපි මේ පඳුරු නිවිති ගෙනත් හොඳට සෝදලා ලුණු දාලා නටන උණු වතුරේ පොඩි වෙලාවක් තම්බනව. ඊට පස්සෙ ඒ තම්බපු නිවිති වලින් බෝල හෝ කැට හදලා ඒක අධි ශීතකරණයෙ දාලා තියනව. 

පළතුරු , - සමහර පළතුරු වලින් ජෑම් හදලා බෝතල් කරද්දි , සමහර පළතුරු සීනි එක්ක බෝතල් කරනවා. ( චෙරි එහෙම ) 

ගර්කින් - විනාකිරි එක්ක පිකල් හදලා බෝතල් කරනවා. 

මේ කීපයක් විතරයි. මේ වගේ තව බොහෝ දේවල් මේ ප්ලෑන් B එකේදි තියනව. මේ හැම දේකින්ම වෙන්නේ මුදල් ඉතුරු වීම හා සෞඛ්‍ය ආරක්ෂිත බවක් ලැබීම. . මොකද ඕනම වෙලාවකදි සාමාන්‍යයෙන් ඔය කියන හැම දේම සුපිරි වෙළඳ සැල් වලින් ගන්න පුලුවන් වුනත් ඒවයෙ තියන කෘතීම රසායනික ද්‍රව්‍ය, අපි ගෙදර හදාගන්න ඒවයෙ නැති නිසා. 

ඒ වගෙම තමයි තමන්ට තියන මොහොතෙ දි තණකොළපෙත්තො වගේ නාස්ති නොකර ඒ මුදල් ඉතුරු කරන එකෙන් තමන්ට නැති මොහොතක් ආවම ඒකෙන් ලැබෙන වාසිය හිතාගන්නවත් බෑ. මේ වෙද්දි මම නිවසේ ඉන්නෙ පඩි රහිත නිවාඩු මත. අපි ගෙදර ආදායම හැමදාමත් කළමනාකරණය කරා. මට ඉතුරු කරන්න බැරි බව දන්න නිසාම මම කරේ මගෙ පඩියෙන් කොටසක් මගෙ සැමියගෙ ගිණුමට හරවපු එක. ඉතිරිය හිතූ හැටියට වියදම් කරා , සංචාර ගියා , සතුටු වුනා ,අවශ්‍ය දේවල් ගත්තා වගේ දේවල් කරා. මම එහෙම වුනාට මගේ සැමියාට මුදල් කළමනාකරණය ගැන තියෙන්නෙ සහජ හැකියාවක්. ඔහු හැමදාමත් ජීවත් වෙන්නෙ අනාගතේ ගැන හිතලා. ඒ නිසාම මේ මොහොතෙ අපි සුරක්ශිතව ඉන්නව. 

ජීවිතේ කියන්නෙ හැමදාම එකම විදියට එක තැනක තියන දෙයක් නෙමෙයි. ඒක ගලාගෙන යන දෙයක්. ඒ නිසා හැමදාමත් අපි ජීවත් වෙනකොට කාටවත් පේන්න ජීවත් නොවී ප්ලෑන් B එකක් එක්ක ජීවිතේ විඳින එක වටිනවා. ඒකෙන් අපිට හා අපේ සමීපතමයන්ට සුරක්ශිත බවක් ලැබෙනවා. 

මෙහෙම ජීවත් නොවුන අය අපි අතර ඉන්න නිසා ඒ අයට මේ මොහොතෙ වුනත් හිතුවොත් ඒ දේ කරන්න පුලුවන්. මේක අපි හැමෝටම අමාරු කාලයක්. නොහිතූ ව්‍යසනයක්. නමුත් මේකෙන් ඉගෙනගන්න තියන පාඩම් බොහෝමයක් තියනව. උදේ ඉඳන් රෑ වෙනකල්ම කොරෝනා ගැනම
බල බලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඔලුව වෙහෙසලා ගෙදර වට පිට බැලුවොත් කරන්න පුලුවන් වැඩ දහසක් පෙනේවි. දරුවන්ට මදි වුන ඇඳුම් වෙනස් විදියකට සකසා ගන්න පුලුවන් කියල තේරේවි. තියන එළවලුව දෙක එකතු කරලා අඩු වියදමින් මික්ස් රයිස් එකක් හදලා නිවැසියන්ව සතුටු කරන්න පුලුවන් කියල හිතේවි. එළවලු දෙක තුනක් උයනවට වඩා ඒක වාසියි. දරුවන්ව එකතු කරගෙන පොඩි පොඩි අත් වැඩ කරන්න පුලුවන් වේවි. ඇස් ඇරල වට පිට බැලුවොත් ඔබට මේ කාල සීමාව ආදායමක් කරගන්නත් පුලුවන් වේවි. පොඩි පොඩි අත්කම් නිර්මාණ වලින්ම. 

ස්තූතියි 






Tuesday, 31 March 2020

ඔබ සටන් කළ යුත්තේ ඔබ සමඟයි !

ඔබ සටන් කළයුත්තේ ඔබ සමඟමයි. ! 


ලංකාවෙ මේ වෙද්දි කොරෝනා ව්‍යාප්තිය වලක්වන්න රජය  අරන් තියන ක්‍රියාමාර්ග ගැන තියෙන්නෙ ලොකු පැහැදීමක්. ඒ වගේම සෞඛ්‍ය අංශ ගැනත් ලොකු විශ්වාසයක් තියනවා. මගේ අම්ම තාත්තා ඉන්නෙත් ලංකාවෙ නිසා මේ වැඩපිළිවෙළ ගැන මගෙ හිතේ තියෙන්නෙ ගෞරවයක්. මිනිස්සු මීට වඩා කැමකිරීමක් කරානම් මේ ක්‍රියාන්විතය මීට වඩා ගොඩක් සාර්ථක කරගන්න පුලුවන් වෙයි. 

🔹නමුත් මාධ්‍ය ගැන නම් මට කිසිම පැහැදීමක් නෑ. 

♦️එක්කෙනෙක් කියනවා ඉතාලියේ අවු 60 ට වැඩි අයව අතෑරලා ඉන්නේ ඒ නිසා තමයි මරණ වැඩි කියලා. නමුත් ඇත්ත තත්වේ එහෙම දෙයක් නෑ. මම කලිනුත් කීවා වගේම උතුරු ඉතාලියේ අසීමිත රෝගීන් සංඛ්‍යාවක් සිටින නිසා ICU ඇඳන් දීමෙදි ප්‍රමුඛත්වය තරුණ අයට හිමි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එයින් කොහොමත්ම කියවෙන්නෙ නෑ ප්‍රථිකාර කරන්නෙ නෑ කියල. සාමාන්‍ය ප්‍රතිකාර හා දැඩි සත්කාර ඒකක කියන දෙකෙන් සාමාන්‍ය ප්‍රථිකාර හෝ කෙරෙනවාමයි. මේ වෙද්දි අලුත් රෝහල් හා අලුත් දැඩි සත්කාර ඒකක , වෙනත් රටවල් වලින් පැමිණි වෛද්‍යවරු ,හෙද හෙදියන් , ගෙන ඖෂධ ඇතුලු වෛද්‍ය උපකරණ නිසා උතුරු ඉතාලියේ තත්වය ඉදිරියේ යහපත් වේවි. 

💜මේ ඡායාරූපයේ ඉන්නේ අවු. 102 ක කාන්තාවක්. ඉතාලිකා ග්‍රොන්ඩෝනා කියන ඇය උතුරු ඉතාලියේ ජෙනෝවා වල ජීවත් වුන කාන්තාවක්. ඇය ත් ඇගේ මුණුබුරත් දෙන්නම කොරෝනා වෛරසයට ගොදුරු වුනා. ඇය දවස් 20 ක් පුරා ප්‍රථිකාර ගැනීමෙන් පසුව සුවවී නිවසට යන්නේ පහුගිය 29 වෙනිදා. අවසානයේ ඇයට වෛද්‍යවරු Highlander — the immortal.” කියන සුරතල් නාමය පවා දෙනවා. මේ වෙලාවෙදි ඇගේ වෛද්‍යවරු කියනවා , "අපි කරේ බොහොම පොඩි දෙයයි අනිත් සියල්ල කරේ ඇය විසින්මයි. ඇය සටන් කරේ ඇය සමඟ , ඇය මානසිකව කඩා නොවැටීම ඇයව සුවපත් කරා , මෙය අපේ වැඩිහිටි ජනතාවට අලුත් බලාපොරොත්තුවක්. ඇය අපේ ජනතාවට ආදර්ශයක් ලෙසින් " මීට පෙර අවු, 95 ක කාන්තාවකුත් මේ විදියටම ටොස්කානා ප්‍රාන්තයෙන් සුවය ලබනවා. 





https://www.wantedinmilan.com/news/italy-102-year-old-woman-recovers-from-coronavirus.html

Coronavirus, guarita a 102 anni: la forza di Italica finisce sulla Cnn
https://www.tgcom24.mediaset.it/cronaca/liguria/coronavirus-guarita-a-102-anni-la-forza-di-italica-finisce-sulla-cnn_16693165-202002a.shtml


🔹ඒ වගේම තවත් තැනකදි මාධ්‍ය මගින් කියවෙනවා මේ වෙද්දි ඉතාලියේ මැරෙන අයට කිසිම ආගමික වතාවතක් කෙරෙන්නෙ නෑ කියල. ඔවුන්ව මිනී පෙට්ටියක් වත් නැතිව නිරුවතින් ආදාහනය කරනවා කියල. මේකත් වැරදියි. 

💜උතුරු ඉතාලිය විතරක් නෙමෙයි සමස්ථ ඉතාලියේම මිනිස්සු ඉන්නේ තමන්ගෙ ආදරණීය මිනිසුන් තමන්ව අතෑරල යන වේදනාව එක්ක. ඔවුන් එක්ක අවසානෙට වචනයක් හෝ කතා කරගන්න බැරුව ගිය අවසානෙට ඔවුන්ගෙ අවමංගල උත්සවයකට සහභාගී වෙන්න බැරුව ගිය වේදනාව එක්ක. ඉතාලි ජාතිකයන් නොවුනත් පුරා අවු. 10 කට අදික කාලයක් මේ ආදරණීය මිනිසුන් එක්ක ගැවසුන මටත් අවු, 17 ක් පුරා මේ මිනිසුන් එක්ක ගැටෙන මගේ සැමියාටත් ඒ හා සමානම වේදනාවක් තියන මොහොතක්. කිසිම වර්ණ බේදයක් නැතුව , පංති බේදයක් නැතුව , උස් පහත් බේදයක් නැතුව හැමෝටම එක වගේ සළකපු මිනිස්සුන්ගෙන් කොටසක් තමයි මේ විදියට අපිව අතෑරලා යන්නේ. ඔය ඡායාරූප වල තියෙන්නෙ ලෝකේ එක් දිනකදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්ථා වුන දවසෙදි , ඒ මරණයට පත් වුන අයට නිසි ආගමික වතාවත් දක්වන විදිය. හැමෝටම මිනීපෙට්ටි , සමහර මිනී පෙට්ටි උඩ තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් තැබූ රතු රෝස මල්, හැම මියගිය ආදරණීය මිනිසෙකුටම ආගමික වතාවත්.. මෙතැන ඉතාලි නොවන කතෝලික මිනිසුන් පවා ඉන්නවා ඇති. නමුත් ඔවුන් ඒ කිසිවෙකුට හෝ බේදයක් කරන්නේ නෑ. මරණයට පෙර එක හා සමානව සැලකුවා වාගෙම මරණයෙන් පසුවත් එක හා සමානව සලකන මිනිස්සු. 








Italy's coronavirus death toll passes 10,000. Many are asking why the fatality rate is so high
https://www.cnn.com/2020/03/28/europe/italy-coronavirus-cases-surpass-china-intl/index.html


♥️මේ ටික ලීවේ ඔබ නොදන්නා නොදකිනා නොසොයනා දෙයක් ඔබට දෙන්නට පමණයි. ලාංකීය ෆේස්බුක් පේජ් වලින් පමණක් තොරතුරු ගන්න එපා. අවම ඉතාලි අගමැති හෝ ජනාධිපති කවුද වත් නොදන්නා,  ඉතාලියේ හැඩය කොයි වගේද වත් නොදන්නා , මිනිස්සු කියන කතා විස්වාස කරන්න එපා. ඒවායින් තොරතුරු ගන්න එපා. ජාත්‍යන්තරව පිළිගන්න නිළ මාධ්‍ය විස්වාස කරන්න. ඒවායින් තොරතුරු ගන්න. ඉතාලි නිළ මාධ්‍ය වල තියෙන භාෂාව තේරෙන්නේ නැතිනම් එහි ඉංග්‍රීසි පරිවර්තනය ගන්න. CNN , Aljazeera වැනි ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා ටිකක් බලන්න. පේජ් රීච් වෙනුවෙන් අම්ම අප්පා හෝ විකුණන කසිකබල් ෆේස්බුක් පේජ් විස්වාස නොකරන්න. 


♥️ WHO මගින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න. 

❤️ ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන නිළ වෙබ් පිටුවේ හා නිළ ෆේස්බුක් පිටුවේ ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න. 

❤️ වඩා වැදගත් මනසින් කඩා නොවැටී සිටීමයි. ඔබ සටන් කළ යුත්තේ ඔබ සමඟමයි. එනිසා ඔබ , ඔබ හා සටන් කරන්න. එවිට කොරෝනා වෛරසය පරාජය වනු ඇති. 

❤️ කොරෝනා වල ඇති රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් කරුණාකර අදාල වෛද්‍යවරුන්ට ඇත්තම කියන්න. ඔබේ බොරුව නිසා බොහෝ ජීවිත ප්‍රමාණයක් අහිමි වන්නට පුළුවන. 

❤️ නිරෝධායනය නොවී ඉන්නා අයෙක් වේ නම් ඉතාම ඉක්මනින් අදාල නිරෝධායනය වැඩපිළිවෙළ හා එක්වෙන්න. 

ආදරණීය ලාංකිකයිනි , 

❤️ රෝග ලක්ෂණ සඟවා ඔබ අද කියනා බොරුව හෙට මිනී කන්දකට හේතුවක් වන්නට පුලුවන් බව සිහියේ තබා ගන්න. 

ස්තූතියි 

Saturday, 28 March 2020

ඇයි ඉතාලියෙ මෙච්චර මැරෙන්නෙ ?

ඉතාලියේ 10,000 කට කිට්ටුව මැරිලා... 



ඔවු , ඉතාලියේ මේ වෙද්දි කොරොනා වෛරසය ආසාදනය වීම නිසා අද ( 28/ මාර්තු )  වෙනවිට මාසයකට ආසන්න කාලයක් ඇතුළත 10,000 කට ආසන්න පිරිසක් මැරිල තියනව. 

▪️මේ පිරිස මැරිල තියෙන්නේ ඉතාලියෙ හැම තැනින්මද ?  

▪️ඉතාලිය පුරාම මිනිස්සු මැරි මැරී යනවද ? 

▪️ලෝකයේ සෞඛ්‍ය සේවාව අතින් දෙවනියට හිටිය රටට මේ වෙලා තියෙන්නෙ මොකද්ද ? 

▪️ඇයි මිනිස්සු මෙහෙම මැරෙන්නෙ ? 

මේ තමයි ඉතාලියේ මරණ සංක්‍යාව අහන දකින අයට තියන ලොකුම ප්‍රශ්න ටික.  දැන් මම කියන්නම් මේ වෙන්නෙ මොකද්ද කියල. 

♦️මුලින්ම කියන්න ඕනා මම වෛද්‍ය වරියක් නොවන බවත් සාමාන්‍යයෙන් ඉතාලි නිළ ප්‍රවෘත්ති අහන සාමාන්‍යය කාන්තාවක් පමණක් බවත් , ඒ නිසා මම තොරතුරු ගත්ත හැම අන්තර්ජාල ඇමුණුමක්ම එක් කරනවා මේ ලිපියට. 

🔹මේ අයගෙන් වැඩි ප්‍රමාණයක් මැරිලා තියෙන්නෙ උතුරු ඉතාලියෙ පමණයි. සමස්ථ ඉතාලියම ගත්තොත් කොරෝනා ව්‍යාප්තිය තියෙන්නේ බොහොම පහල මට්ටමක. 



මුළු ඉතාලියම ගත්තොත් වර්ග කිලෝමීටර , 301,340 ක භූමි ප්‍රමාණයක් තියන රටක්. ජනගහනය , දළ වශයෙන්, 60,317,546 ක් ඉන්න රටක්. 

https://en.wikipedia.org/wiki/Italy

https://worldpopulationreview.com/countries/italy-population/

එතකොට , මේ වෛරස එක තදින් ව්‍යාප්ත වෙලා තියෙන්නේ උතුරු ඉතාලිය තුළ. එතැන භූමි ප්‍රමාණය ගත්තම , 120,260 km2 ක් හා ජන ගහනය ,  • Estimate (2014 est.) 27,801,460 ( මේ වෙනකොට මීට වැඩියි ) . 






https://en.wikipedia.org/wiki/Northern_Italy

මෙතනිනුත් ප්‍රාන්ත 3 ක තමයි බරපතල තත්වයක් තියෙන්නෙ. ඒ තමයි ලොම්බර්දියා , වෙනීතො හා එමීලියා රොමානියා කියන ප්‍රාන්ත තුන. මේ තුනේ භූමි ප්‍රමාණය ගත්තම , පිළිවෙලින් 

භූමි ප්‍රමාණය      ජන ගහනය 
23,844 km2. 10,078,012
18,345 km2 4,865,380
22,446 km2 4,446,220

https://en.wikipedia.org/wiki/Northern_Italy

එතකොට , අපි මේක මේ ප්‍රාන්ත තුන පැත්තක තියල උතුරු ඉතාලියම කියල ගත්තත් , එතැන 120,260 km2 ක් හා ජන ගහනය ,  • Estimate (2014 est.) 27,801,460 ( මේ වෙනකොට මීට වැඩියි ) . සාමාන්‍යයෙන් අපි නිකමට හිතුවොත් ලංකාව වගේ දෙගුණයකට කිට්ටු භූමි ප්‍රමාණයක්. මේ උතුරු ඉතාලියෙ රෝහල් පද්ධතිය ඉතාමත් හොඳ මට්ටමක තිබ්බා හා තියනවා. 

නමුත් , පෙබරවාරි 26 රෝගීන් 2 ක් ගෙන් පටන් අරන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත මේ වෛරස් එක නිසා එකවර තැන තැන දවසට 1000 , 2000 හ මතු වෙන්න ගත්ත රෝගීන් එක්ක මේ රෝහල් පද්ධතිය සතු ධාරිතාව ඉක්මවල ගියා. මම නැවතත් කියනව මේ සිද්ධිය මුලු ඉතාලියටම අදාල නෑ. උතුරු ඉතාලියෙන් මතු වන මේ රෝගීන් එතනින් පහලට ගේන්න බෑ සෞඛ්‍ය හේතූන් මත. ඒ නිසා ඒ අයව රඳවාගන්න ඕන ඒ පලාතෙම පමණයි.

ඒක මම උදාහරණයකට කියනවානම් ලංකාවෙ බස්නාහිර පලාතෙන් මතුවන රෝගීන් රඳවාගන්නේ IDH හා කොළඹ ජාතික රෝහලේ පමණයි කියල ගත්තොත් ( උදාහරණයක් පමණයි ) ඒ රෝහල් දෙකේ ධාරිතාව ඉක්මවා ගියොත් මොනම හේතුවක් නිසාවත් මේ රෝගීන් මධ්‍යම පලාතේ පේරාදෙණිය රෝහලට ගේන්නෑ. අලුතෙන් රෝහල් හදලා හෝ බස්නාහිර පලාතේම රඳවාගන්නවා මිසක. 

ඉතාලියේ තියෙන්නෙත් ඔය සිද්ධාන්තයම පමණයි. 
මුළු ඉතාලියේම රෝගීන් ( ප්‍රථිකාර ලබන ) 66414 කින් 
මේ වෙද්දි ලංකාව වගේ දෙගුණයකට කිට්ටු භූමි ප්‍රමාණයක රෝගීන් අවම 55,000 ක් වත් ඉන්නවා. ඉතිරිය ඉතාලිය පුරා සාමාන්‍ය පරිදි විහිදී ප්‍රථිකාර ලබනව. මේ අයට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ඒ ප්‍රාන්ත වල රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින් නැති නිසා මේ අයට රෝහල් කාර්‍යමණ්ඩල වල උපරිම අවධානය ලැබෙනව. 

නමුත් අර දැනට උතුරු ඉතාලියේ  ප්‍රතිකාර ලබන දළ වශයෙන් 55,000 ක වගේ අයට ප්‍රායෝගිකව ඒ අවධානය දෙන්න බෑ. ඒ නිසා තමයි නව රෝහල් ඉදිවෙන්නේ , වෙන රටවල් වලින් සෞඛ්‍ය සේවකයො හා බෙහෙත් එන්නේ , අලුතෙන් දැඩි සත්කාර ඒකක ඉදි වෙන්නේ. ඔය 55,000 න් දළ වශයෙන් , 2500 කට වඩා රෝගීන් පිරිසක් ඒ පලාතේ පමණක් දැඩිසත්කාර ඒකක වල ඉන්නවා. 


https://www.worldometers.info/coronavirus/

මෙතනදි සමහරවිට අර රෝගීන් 55,000 අතර ඉන්න වැඩිම වයස්ගත අයව අතාරින්න වේවි, තරුණ ජීවත බේරගන්න. හැබැයි මම අවධාරණයෙන් කියා සිටිනවා මේ අතෑරීම කරන්නේ ඒ රෝගීන්ගේ පවුලේ අයගේ කැමැත්ත තියේනම් පමණයි කියන්න. එහෙම නැත්තම් ඒ විදියට අතාරින්නෙ නෑ. 

♦️ඇයි එහෙම අතාරිනවානම් අතාරින්නේ ? 

සාමාන්‍යයෙන් ඉතාලිය තුළ අවු. 65 ට වැඩි අයට බොහෝ සේවාවන් ලැබෙන්නේ නොමිලේ. ඒ අය රැකියාවක් කලා හෝ නොකලා ඒ අයට විශ්‍රාම වැටුපක් ලැබෙනව. ඒ වගේම ඒ අයට සෞඛ්‍ය සේවාවන් ලැබෙන්නෙත් නොමිලේ. එකතැන් වූ අයෙකුට අන්දන පැම්පස් එකේ පටන් ඒ ලෙඩා නිදාගන්නා ඉලෙක්ට්‍රික් ඇඳ වෙනකල්ම ඉතාලි රජය දෙන්නේ නොමිලේ. එහෙම වාතාවරණයක් යටතේ රටේ ආර්ථිකය කඩා නොවැටී තියාගන්න නම් මේ වගේ වෙලාවක රටකට යම් යම් තීරණ ගන්න වෙනවා. අතාරින්නේ කාවද ? බේරගන්නේ කාවද කියන එක ගැන. නමුත් මේක වෙන්නෙත් අර මම පෙර කී පවුලේ අනුමැතිය ඇතුව විතරයි. නැතුව කිසිම රෝගියෙක් අතාරින්නෙ නෑ. 

මේ මැරෙන හැම කෙනෙක්ටම නිසි ගෞරවය ලැබෙනවා. එකම දේ සෞඛ්‍ය හේතූන් මත මෘතදේහය ලබා නොදීම නිසා පවුලේ අය එක්ක අවමංගල උත්සවයක් පල්ලියේ ගන්නෙ නැති එක පමණයි. 

♦️දැන් බලමු , ඇයි මෙහෙම රෝගීන් වැඩි වුනේ කියන එක ගැන. 

🔸යුරෝපයේ ඍතු වෙනස් වීම එක්ක මිනිස්සුන්ට වැළඳෙන ඉන්ෆ්ලුවෙන්සා ‍රෝගය හා ජනවාරි අන්තිම පෙබරවාරි මුල වගේ ඉතාලිය තුළ පැතිරීගිය වෛරස් උණ කියන දෙක එක්ක මේ කොරෝනා රෝගය පැටලීම.
මේ තුනේම රෝග ලක්ශන එක හා සමානයි. තද උණ , කැස්ස මේ තුනේම තියනව. ඒ වගේම වෛරස් උණට හා ඉන්ෆ්ලුවෙන්සා වලට ගන්න ඇන්ටිබයොටික්  දවස් 05 ක් පාවිච්චි කරලා අඩුවක් නොවුන තැන යලිත් පරීක්ශා කිරීමේදී කොවිඩ්බව තහවුරු වනවිට රෝගය උත්සන්න වී තිබීමත් මුල් කාලෙදි දකින්න තිබුන දෙයක්. ඕක තමයි මේ වෛරස ව්‍යාප්ත වෙන්න බලපෑ අනිත් ප්‍රධාන හේතුව. අර දෙක හැදුන මිනිස්සු එක්ක කොරෝනා හැදුන අයත් අරකමයි කියල හිතාගෙන බෙහෙත් ගන්න ගියා. ඒ නිසා මේක පැතිරීම ඉක්මන් වුනා. 

🔸අනිත් කාරණාව ඉතාලියේ සාමාන්‍ය ආචාර ක්‍රමය වෙන සිප වැළඳ ගැනීම. මේ මගින් වෛරසය ආසාධනය වෙලා කියන නොදැන ඒත් ආසාධනය වෙලා හිටි අයගෙන් අනිත් අයට පැතිරුණා. 

🔸මේ දෙකටම වඩා මුල් අවධියේදි බොහෝ පිරිසකගේ නොසැළකිල්ල හා නොහික්මුන හැසිරීමත් රෝග ව්‍යාප්තියට හේතුවක් වුනා. 

♦️මේ තරම් ව්‍යසනයක් ඇති රටක මේ වෙද්දි මිනිස්සුන්ට දෙන සහන මොනවාද ? 


🔹මේ කාලසීමාවේදී රැකියාව අහිමි වූවෙකු ( නීත්‍යානුකූල ) වේ නම් ඔවුන්ට මාසික චේතනය ලබා දීම 

🔹දරුවන් නිවෙස් වල සිටිනා බැවින් ඔවුන් බලා ගන්නට කෙනෙක් නොමැති නම් ( දෙමාපියන් රැකියා වලට යන ) ඒ වෙනුවෙන් සේවයට ගන්නා අයෙකුට යූරෝ 600 ක මුදලක් ලබා දීම 

🔹චේතනය අනුව බෝනස් එකක් ( වසරක වැටුප යූරෝ , 40000 ට අඩු ) 

🔹නීත්‍යානුකූලව ස්වයං රැකියා වල නියුතු වූවන්ට දීමනාවක් 

🔹ගෙවීමේ පදනම මත නිවෙසක් ලබාගෙන ඇත්නම් ණය වාරික වලට සහනයක් 

🔹විදුලිය , ගෑස් , වතුර බිල් වලට සහනයක් 

🔹රැකියා අහිමි වූවන්ගේ නිවාස කුළිය වෙනුවෙන් සහනයක් 

මීට අමතරව , 
🔹සියලුම ෆාමසි හා සුපර්මාර්කට් විවෘතව ඇති අතර කිසිසේත්ම ආහාර හෝ බෙහෙත් හිඟයක් රට තුළ නැත. 

🔹අවශ්‍යතාව අනුව නිවෙසටම අවශ්‍ය ද්‍රව්‍ය, ගෙන්වාගත හැකි අතර , වයස්ගතව තනිව නිවෙස් වල වෙසෙන අය වෙනුවෙන් වෙනම සේවාවක් ක්‍රියාත්මකය. 

🔹රට තුළ සියලුම ප්‍රවාහන සේවාවන් නොකඩවා ක්‍රියාත්මකය. 

🔹පාසැල් අධ්‍යාපනය අන්තර්ජාලය ඔස්සේ ලබා දේ.

🔹රැකියා විරහිත අයට හා සරණාගත අයට ( ඉන්න හිටින්න තැනක් නැති )  පල්ලිය මගින් නොමිලේ ලබාදෙන ආහාර හා සෞඛ්‍යමය සහන ( නාන්න හා නෑමෙන් පසුව අලුත් ඇඳුම් ) කිසිවක් නැවතී නැත. ( කාරිතාස් ) ඒ සියල්ල මේ මොහොතේත් ක්‍රියාත්මකය. එකම වෙනස පාර්සල් ලබාදීම පමණය. පල්ලිය මගින් ඔවුන්ට තාවකාලික නවාතැන් සපයා ඇත.



♦️ඉතින් මම මේ කෙටි සටහන තිබ්බේ ඉතාලියේ මේ වෙනකොට ඇයි මේ තරම් මැරෙන්නේ කියන කාරණාවට හා මෙහෙම මැරෙනකොට ඔයාලට බය නැද්ද වගේ ප්‍රශ්න තියන අය වෙනුවෙන්. 

♦️වාද විවාද රංඩු අවශ්‍ය නෑ මොකද මම මෙතන කිසිම තැනක ලංකාව හා සංසන්දනය කරල නැති නිසාත් කිසිම තැනක කිසිම දෝශාරෝපනයක් කිසිවෙකුට හෝ කරල නැති නිසාත්. 

ස්තූතියි