Saturday, 29 February 2020

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 

මම - මෙස්සි ඔයා මගේ පනාව දැක්කද ? 🙄🙄

මෙස්සි - මොන පනාවක්ද ? මං දැක්ක ඇති පනාවක් නෑ.. 😾

මම - මේ ගෙදර වෙන කෙල්ලො නෑ මගෙ බඩු ගන්න 😕😕

මෙස්සි - කෙල්ලො නැතුවට බල්ලො ඉන්නව , බල්ලොන්ට බඩු ගිහින් දෙන කොල්ලො ඉන්නව. හැම කෙහෙල්මලටම මාව අල්ලන්න එන්න එපා හරිද ? 😼අපිටත් කියල පූස් අයිතිවාසිකම් තියනව. පූස් උසාවි තියනව , අරක ගත්තද මේක ගත්තද කිකිය තිස්සෙම මාව හෙරක් ගානට දැම්මම මම කොහොමද මගුලක් කරගන්නෙ ? 😾😾මේ ගෙදර තවත් මේව අහන් ඉන්නවට තලන්නෝනා මට ! ඔවු මට ! මං යනව උසාවි , එක්කො බල්ලා නැත්තම් මම , දෙකෙන් එකක් බේරගන්නම් මම අද,  රෙද්ද ! 😾😾😾😾

මම - ඔහොම බනින්නෙපා ඉතින්... මං ඇහුව විතරනෙ, ගත්තද කියල , ඔහොම බනිනකොට හරි වේදනයි මට ! 😭😭




Sunday, 23 February 2020

හඳ බැලීම

මං ඉන්නෙ ඒරොප්පෙන්නෙ , ඉතින් දැන් මෙහෙට ගිරීස්ම කාලෙ. රෑ 9 වෙනකල් එලිය , ආයම පහුවදා 4.30 වෙනකොට එළිය වැටිලා ඔන්න ඔහොම දවල් කාලෙ වැඩි රෑ කාලෙ අඩුයි ! 

හා හරි ,  ඔන්න දැං ඊයෙ උදේ පාන්දර ( 17 ) මං නිකං ලාවට ඇස් ඇරල බලනකොට දෙයියනේ මේං හඳ මාමා ජනේලෙ ගාව හිනාවෙනව. මේ කාලෙ ජනෙල් ඇරගෙන තමා අපි නිදියන්නෙ. මං ඉතින් දඩ බඩ ගාල පොඩි එකාව ඇහැරවල කීවා , 

පුතේ පුතේ ! නැගිටින්න ආං හඳ කියල , 
ආහ්හ් අම්මේ ආහ්හ්හ්... කියල කොහොම හරි බාගෙට ඇහැරගෙන කොල්ල හඳ බලල එහෙම්ම වැටිල ආපහු නිදි. 

මං ඉතින් තනියම හඳ බලන එක හරි නැති නිසා අපේ මිස්ටර් ඒයි ටත් කතා කරා හඳ බලන්න ! 

මේ ඒයි , ඒයි , නැගිටින්නකො ! අර හඳ , 

ඈහ්හ් මොන හඳ ද ? 

හඳ අනේ හඳ ! පායලා අර බලන්නකො ! 

වෙලාව කීයද ? 

4.40 , නැගිටින්නකො. 

අයියෝ දෙයියනේ , මේ මළ පාන්දර මොන හඳක්ද අනේ ! නිදාගන්නකො

බෑ බෑ , ආය ඔහොම හද දකින්න වෙන්නෙ නෑනෙ. නැගිටින්නකො , 

හරි ඔන්න කොහොම හරි ඒයි මහත්තයා නැගිටල හඳ බැලුව. 

තවත් මං හඳේ සිහියෙන් ඉන්නකොට , කිසිම හිතක් පපුවක් නැතුව ඩෝං ගාල ජනේලෙ වහල බලන මගුලක් බැල්කනියෙන් බලාගන්නවාහ්හ්හ්. මං නිදාගන්නව  කියල උන්දැ නිදා ගත්තා. 

මං ඉතින් කැමරාවත් උස්සගෙන බැල්කනි ගත වෙලා පොටෝ කීපයකුත් අරන් හඳ දිහාවෙ බලා ඉන්නකොට , ඔන්න කුරුල්ලොත් නැගිටල එහෙ මෙහෙ යනව. මාත් අන්න මරු ශොට් එක හඳ හරහා කුරුල්ලො යනකොට ටාං ගාල ගන්නෝන කියල හිතල බැල්කනියට වෙලා කැමරාව මානගෙන හිටියා. 

ඔන්න මං ඉන්නවා ඉන්නවා , 5 ඉඳන් ඉන්නවා ඔහෙ නෑ ඒ ගමන එකෙක්කත් , දැං 5.30 යි. ඒ ගමන මං තේ හදන්න වතුර එක ගෑස් එකෙන් තියල ආයම කැමරාව මානගෙන ඉන්නව. 

මෙන්න ටිකකින් කුරුල්ලො ආපහු පියාඹනව. හරි දැන් තමා වෙලාව කියල මං මෙලෝ සිහියක් නැතුව කැමරාව මානගෙන ඉන්නකොට එක පාරටම මගෙ පිටිපස්සෙන් , 

ඒයි ! මේං වතුර උතුරනවා ! මොන ලෝකෙ ද ඉන්නෙ ? 

කියපි , 

කියන්න බොහෝම කණගාටුයි මිත්‍රවරුනි , 
වතුර උතුරනකොටම කුරුල්ලො පියෑඹුවා ! මගෙ අත ගැස්සුනා ! ෆොටෝ එක කැලේ ගියා ! 
ඒයි මහතා වෙනදට වඩා සෑහෙන්න කලින් වැඩට ගියා ! 


පුතුගේ වචන

💜අම්මේ ! 

🙍‍♀️හ්ම්ම්ම්ම්

💜කකුල රිදෙනවද ? 

🙍‍♀️හ්ම්ම්ම් 

💜මං අතගාන්නද ? 

🙍‍♀️ම්ම්ම්ම්ම් 

💜අම්මේ!! 

🙍‍♀️ම්ම්ම්ම්ම් 

💜ඔයා ඇයි මා එක්ක තරහ වෙන්නෙ නැත්තෙ ? 

🙍‍♀️ඇයි මං ඔයා එක්ක තරහා වෙන්නේ ?

💜ඉතින් මම නිසානෙ ඔයාගෙ කකුල ඌයියා උනේ. දැං ඔයාට ඇවිදින්න බැරි ඒ නිසානෙ . ඒක මගේ වැරැද්ද නෙ අම්මේ. 

🙍‍♀️ඔයා ඒක හිතල කරේ නෑනෙ පුතේ. මේක හෙට වෙද්දි හරියයි. 

💜මං අතගාන්නද ? බෙහෙත් ගාන්නද ? 

🙍‍♀️එපා පුතේ ඔයාගෙ අත දැවිල්ල වෙයි බාම් වලට. අප්පච්චී ගායි ආවම. 

💜ඇයි අම්මෙ ඔහොම ආදරේ වෙන්නෙ. එතකොට මට මං ගැන ලැජ්ජ හිතෙනව. අම්මව මං රිද්දුව කියල මට මං එක්ක තරහ එනව. 

🙍‍♀️ඔයාගෙ අම්මා මීට වඩා ගොඩාක් දේවල් දරාගත්තා පුතේ ඔයා නිසා. ඒ දේවල් එක්ක මේ කකුල පොඩි දෙයක්. ඔයා හොඳට ඉගෙනගන්න , අනිත් අයට ආදරේ වෙන්න, කවමදාකවත් කාවවත්ම රවටන්න , හිතා මතා රිද්දන්න , නරක වැඩ කරන්න එපා. මං උදේ හවා කියන මේ දේවල් අද ඔයාට වදයක් වුනාට දවසක ඔයා ඒ වචන වලටම ආදරේ වෙයි. 

💜අම්මේ , මං ඔයාට ආදරෙයි. මං ලොකු උනාම දවසක , මං ඔයා ගැන ලියනව. අද ඔයා මං ගැන ලියනව වගේම. 

ප.ලි. 
ලීවා හෝ නොලීවා,  මට මේ වචන මහමෙරක් තරම් ය ! 



වස්තර !

ඒයි මේහ්හ්හ් 

ඇයි මං වැඩක ඉන්නෙ , 

වැඩක් උනාට කමක් නෑ පොඩි පස්නයක් , පොඩි කීවට පොඩිමත් නෑ.. 

අනේ මේහ්හ් , අනුන්ගෙ වස්තරයක් නම් පස්සෙ කියන්න මං මෙ වැඩ . 

අනුන්ගෙ වස්තර නෙමෙ  මනුස්සයෝ තමුන්ගෙ  වස්තරයක් ගැන කියන්න ගත්තෙ  , ආං අම්මා අම්මගෙ රතු සායක් එක්ක ඔයාගෙයි පුතාගෙයි ඇඳුම් වගයක් හෝදන්න දාල දැන් ඔක්කොම බතික් වෙලා 😕😕

ඈහ්හ් මොකක් ? හොඳ ඇඳුමුත් චොර වෙලාද ? 

හොඳ කියන්නෙ මෙහෙමයි ! අර ඔයා අලුතෙන් ගත්ත ටී සර්ට් දෙකයි , පුතාගෙ අලුත් ටී සර්ට් 4 යි. ඔක්කොම 6 යි අනිත්ව ගෙදරට අඳින ඒව දැං ඒ ඔක්කොම එක වගේ. අලුත් පරණ හොයන්න බෑ වගේ. අනික දැං ඒ ඔක්කොම ලස්සන ලා රෝස පාටක් වෙලා... 🙄🙄

මගුලයි ! $@&@@$@@"@&$@@"" 

ඒයි හෙලෝ හෙලෝ.... 

බීප්ප්ප්ප්ප්ප්ප්




පඩිපත !

පඩි පත , වියදම හා මම ! 

දැන් සාමාන්‍යයෙන් කෙනෙක් පඩියක් අතට ගත්තම කොච්චරක් වියදම් තියනවද , නේද ? 

අරකට ගෙවන්න මේකට ගෙවන්න , කුලියට නම් ඉන්නෙ ගෙවල් කුලිය , ලයිට් බිල් වතුර බිල් , ළමයින්ගෙ ස්කූල් ෆීස් , ක්ලාස් ෆීස් , ඉන්ටර්නෙට් බිල් , ඔය අතරට මාසෙ කෑම බීම වියදං , දෙයියනේ වියදං වියදං වියදං !! කීයකට කියල ගෙවන්නද ? ඔලුව ඔල්මොරොන්දන් වෙනවනෙ ඕවට අය වැය හදලා , 

ඒ අතින් හිතෝතුනි මං හරීම වාසනාවන්තයි , මට නෑනෙ ඔය එකක්කත් , පඩිය ගත්තාම මට තියෙන්නේ එකම එක දෙයක් කරන්න විතරයි ! 
ඒ තමයි මුළු පඩියම මිස්ටර් ඒයි ට දෙන එක ! 

ඒක වෙන්නෙ මෙහෙම , 

මාසෙ දෙවෙනි දා  ඉදන් ඒ මාසෙ 30 හෝ 31 වෙනකල් මං ඒයි මහත්තයා ට අරකට , මේකට ,අනිකට , අහවල් එකට , කිකිය එක එක ඒවට ණය වෙනවා. ඊට පස්සෙ මාසෙ 1 දට පඩිය අරන් ඒ ණය ගෙවල දානව. 

හැබැයි සූටිම සූටි ප්‍රශ්නයක් තියනවා. ගොඩක් වෙලාවට පඩියට වඩා ණය වැඩිවෙන වෙලාවල් එනව. 

ආං ඒ වෙලාවලට මීට අවු. 11 මාරකට කලින් අපේ කසාදෙට අස්සන් කරපු සාක්කිකාර මහත්තුරු දෙන්නව මට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒ දෙන්න ඉස්සරහනෙ දුක සැප දෙකේම ඉන්නව කියල කසාදෙ අස්සන් කරේ. ඒ විතරක් නෙමේ ණය තත්වෙ පඩියට වඩා සෑහෙන්න වැඩි වුනාම සාක්කිකාර මහත්තුරුන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පවා අපිට මතක් වෙනවා ! 

හරිම සිම්පල් ! 

පඩි ගත්තා පඩියම දුන්නා ! 
අපිට නෑනෙ ඔය ඔලුව ඔල්මොරොන්දන් කරවන තරමේ අයවැය ලේඛණ. ! 


අතහැරීම

මං ඔය තිස්සේම කියනවනෙ , ( දන්න අය දන්නවා ) වේදනාවෙන් අමාරුවෙන් දෙයක් අල්ලගෙන ඉන්නවට වඩා ඒක අතෑරල දැම්මම හරි සනීපයි කියලා ! 

මං ඉතින් මගේ පුද්ගලික ජීවිතේ එහෙම අතෑරපු දේවල් හා ඒ තුළින් ලබපු සැනසීම් එහෙමත් තියනවා. ! 

අද උදෙත් ඇත්තටම මං එහෙම වේදනාවෙන් අල්ලන් හිටිය දෙයක් අතෑරියා ! ඒක උනේ මෙහෙම ! 


ඔන්න අපේ නැන්නම්ම පිඟන් බඩු තියන කබඩ් එකක් අස් කරනවා උදේ , එයා පුටුවක් උඩ නැගං හරි වැඩ , මං උදේ පාන්දර 8 ට විතර ( ඔවු 8 කියන්නෙ නිවාඩු දවසක පාන්දර ) නිදි ගැට කඩ කඩ ඔතනින් යනකොට , 

" පුතේ ! අනේ මෙන්න මේ වීදුරු සෙට් එක අල්ලගන්න මං මෙතන පිහිනකල් " කීවා. 

මාත් ඉතින් "හා අම්මේ " කියලා ඒ වීදුරු සෙට් එක අල්ලගෙන හිටියා. 

ඕං ඔහොම අල්ලගෙන ඉන්නකොට ලාවට අතක වේදනාවක් ආවා. මට ටග්ගාල මතක් වුනා වේදනාව ගේන සියල්ල අතෑරිය යුතුයි කියලා , 

ඉතින් මං අතෑරිය ! 😕😕😕




දෙමාපියන් vs දරුවන්

දෙමාපියන් vs දරුවන්

අපිට නිතර දෙවේලේ අහන්න තියන කතාවක් තමා , අනේ අපිට අපේ අම්මලා එක්ක හැරෙන්නවත් බෑ කියන කතාව , ඒ වගේම , අනේ අපෙ අම්මලගෙ කෑම එක්ක අපි හදන්නෙ මොන කෑම ද ? වගේ කතා. ඒ වගේම ගොඩක් තරුණියන් බයයි විවාහයයෙන් පස්සෙ එයාලට සාර්ථක ගෘහණියක් වෙන්න බැරි වෙයි කියන කාරණාවට. 

ඒත් ඔබ නිකමටවත් හිතුවද අපේ අම්මල තාත්තලටත් අපිට වගේම කාලයක් තිබුන බව හා අපිත් දවසක අම්මලා තාත්තලා වෙන බව. මේ හැමදේම වෙන්නේ වයස මුහුකුරා යෑමත් එක්ක.  ඔය කතාව මුල ඉදන් කියනවානම් මෙහෙමයි , 

අපි කොයි කවුරුත් උපන් ගමන් කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ වගේම හැම අම්මෙක් තාත්තෙක් ම බලන්නේ තමන්ගෙ දරුවන්ට උපරිම සැප සම්පත් සහිත ජීවිතයක් දෙන්න. ඒක එදා වේල හොයාගන්න දෙමාපියන්ගෙ දරුවන් වගේම සල්ලි විසිකරන්න හැකි දෙමාපියන් දක්වාම පොදු කාරණාවක්. 

දෙමාපිය සෙවනේ හැදෙන වැඩෙන දරුවන්ගෙන් බහුතරයක්ම ගෙදර කිසි වැඩක් පලක් නොකරන අය. අපේ අම්මල තාත්තලා උනත් ඒ කාලෙ එහෙම වෙන්න ඇති. ඒත් ජීවිතේ වයස මුහුකුරා යනකොට ඒ ඒ වයස් වලදි අපි වගකීම් බැඳීම් එක්ක ගැටෙනව. එතකොට අපි ඉබේම පරිනත වෙනව අත්දැකීම් එක්ක. 

නිකමට හිතන්නකො , පළවෙනි වතාවට පරිප්පු හදනකොට ඒක දිය හොද්දක් වගේ උනාට ඒකෙන් අපි ඉගෙන ගන්නවා ඊගාවට පරිප්පු හදන්න ඕන විදිය. හැමදේම එහෙම තමයි. මුලින් වැරදේවි ඒත් ඊගාවට හරියට කරාවි. අනික තමා ගොඩක් අය මම දකිනවා හරි උජාරුවෙන් කියනවා අනේ අපිට උයන්න බෑ වගේ කතා. ඒක උජාරුවෙන් කියන්න ඕන දෙයක් නම් නෙමෙයි. ගැහැණියක් වගේම පිරිමියෙක් උනත් කන්න පුළුවන් තරමට දෙයක් උයාගන්න පුලුවන් නම් ඒක තමා උජාරුවෙන් කියන්න පුලුවන් දේ. 

ඒ වගේම තව උදාහරණයක් ගත්තොත්  , තාත්තලා හැම චැනල් එකකම යන ප්‍රවෘත්ති බලනවා කියන කතාව. ඇත්තටම ඕක වෙන්නෙත් වගකීම් සමඟ වයස මුහුකුරා යාම එක්ක. ඒක මටම ගලපලා කියනවානම් මම බැන්ද අලුතම මට මතකයි මගේ සැමියා පවා ඔහුගේ තාත්තා ට ඔය කතාව කියනවා. අනේ තාත්තෙ එකක එකක් බැලුවම ඇති නෙ කියල. ඒත් අවු. 11 කට පස්සෙ මම අද දකිනවා ඒ චරිතයම මගේ සැමියා තුලින්. අද මගේ පුතා ඔහුට කියනවා අනේ පපා එකක් ඇති කියල. ජීවිතේ කියන්නේ ඒකට , ගලා යාමකට. 

ඉස්සර මට මතකයි මගෙ අම්මා අපිට එක එක කෑම ජාති හදනවා. ඒවා තරම් රස කෑම අපිට තවත් තිබ්බෙ නෑ. මම කසාද බදින මොහොත වෙනකොට ඇත්තටම මට රසට කෑම උයන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ. ඒ මුල් දවස් වල මගේ සැමියා මට කියනවා ඔයාගෙ අම්ම හදන අර චිකන් එක නම් මරු අනේ වගේ කතා. ඒත් අද වෙනකොට ඔයාගෙ චිකන් එකට අම්මා පරාදයි අනේ කියන තරමට මම දියුණු වෙලා තියනව. 

අපි හැමෝම එහෙම තමයි. ගෙවල් අස් කිරීම , පිළිවෙලකට ජීවත් වීම , දරුවන්ගේ වගකීම් , මේ හැමදේටම ටියුශන් අවශ්‍ය නෑ. ඒ හැමදේම ඉබේම අපෙන් ඉටුවෙන දේවල්. හැබැයි එකම දේ අපි ජීවිතේට ආදරේ කරන ගමන්  ඒ පවතින ජීවිතයට අනුගත වීම කරන්න ඕන. ජීවත් වෙන්නන් වාලෙ ජීවත්වීම තුලින් නම් කවමදාවත් සාර්ථක වෙන්න බෑ. 

මේක චක්‍රයක් , අද දරුවන් දවසක දෙමාපියන් වෙනවා , අද දෙමාපියන් දවසක සීයා ආච්චිලා වෙනවා , එයාලා මැරිලා ආයම උපදිනවා. 

ඒ නිසා අනේ අපේ අම්මල වගේ අපිට බෑ කියන කතාව කියන්න හදිස්සි වෙන්න එපා. අපිත් අම්මලා වෙනවා එදාට අපිත් මෙහෙම තමයි කියල හිතන්න පුරුදු වෙන්න. අපි කවුරුත්ම සර්ව සම්පූර්ණ නෑ. ඒත් අපිට හැකිතාක් සම්පූර්ණ වෙන්න උත්සාහ කරන්න පුලුවන් , වඩා වැදගත් වෙන්නේ ඒක. ! 



මාර්ශල් ආර්ට්ස්

මාර්ශල් ආර්ට්ස් හා මම 


දන්න දා ඉඳන් මම මාර්ශල් ආර්ට්ස් කරනා අයට බය ය. ඒ විතරක් නොව දඩාර ඇඟපත සහිත මිනිසුන්ට ද බය ය. ඊට හේතුව මෙහෙමය , 

මම හුංචං බංචං පුංචං කාලේ අපේ ගමේ සේන නම් මනුස්සයෙක් විය. අඩෝව්ව් කවුද ඩෝ චංඩීහ්හ් ?? මමත් කලුපටි තමා ඩෝ.... ඉයාහ්හ් උවාහ්හ්හ් චියාහ්හ්හ් දඩාංං බඩාංංං ලෙසින් සරමද පැත්තකින් උස්සාගෙන එකල මම නොදන්නා බොහෝ සිංහල වචනද කියමින් මේ මිනිසා ටවුම මැද සමයං පාන්නේය. ඒද නිකං නොව නාවර පෙරාගෙන කට ගොන්නක් බීගෙන ය. අපේ අම්මා මම මොන අටමගලක් කරත් එකල කියන්නේ ඉන්නවාහ්හ් මම
සේනට එන්න කියනව කියාය. ඉතින් මම සේනට බය ය. සේනට පමණක් නොව කලු පටි දාරී සියල්ලන්ටම බයය. ඒ සියල්ලෝම මට පේන්නේ ඉයාහ්හ්හ් උවාහ්හ්හ් චියාහ්හ්හ් කියමින් ගහන පිරිසක් ලෙසය. 

අනික,  අපේ අයියාද එකල ඔය එක එක වස්තර ඉගෙන ගන්නට ගිය අතර ඔහුගේ පරීක්ශනාගාර මී පැටවා ලෙස එක එක ආකාර පහරවල් මට ලැබෙන්නේය. ඒ එකක් වත් මගේ ඇඟේ වදින්නට ඔහු එල්ල නොකරන අතර මා බෙරිහන් දෙන්නේ ඔහු මගේ අත පය හතරම කඩා බෙල්ලද ඇඹරූ ලෙසට ය. කිරි හාමි මෙන් මා මලා කියා වැළලෙන්නට මම එකල බොහෝ සමත් ය. ඉතින් මට කොහොමත් ඔය මාර්ශල් ආර්ට්ස් පේන්නට බැරිය. 

ඒයි මහතා මා බලන්නට ආ පළමු දවසේ එක වදනක් වත් හරියකට කතා නොකල අතර පහුවදාම ජංගමයාට පණිවිඩයක් එවා ඔයා මට කැමතිද ? යි ඇසූ අතර ඊට පිළිතුරු දෙන්නට පෙර මම පෙරලා කෙටුවේ අයියේ ඔයා මාර්ශල් ආර්ට්ස් කරල තියනවද කියාය. එයින් මහා උද්දාමයට පත් එතුමා , ඔවු ඔවු , මම අහවල් අහවල් අහවල් අය ලඟ අහවල් පටි ලබාගෙන ඇත්තෙමි යි කියූ අතර , එසැනින් ම' පියා අමතා මට මේ මගුල කරන්නට බැරි වග මම කීමි. හේතුවද කීමි. 

ඉන් මොහොතකට පසු ඒයි මහතාගේ අක්කා මා අමතා අනේ නංගි මාර්ශල් ආර්ට්ස් කියන්නෙ දකින දකින එකාට ගහන එකක් නෙමේ , ගහනකොට ආරක්ශා වෙන්න තියන එකක්. ඒ නිසා බය වෙන්න එපා කියා මහා දේශනයක් දුන් අතර , ඒයි මහතා හා දීග නොගියොත් මා මගේ කේන්දර මහතා කියා ඇති පරිදි සදා තනිකඩ වන වග කියමින් අම්මා විලාප තියන්නට විය. ඉතින් මම ඒයි මහතාගේ ජීවිතය කාබාසිනියා කිරීමට එදා තීරණය කල අතර එය ඒ පරිදිම විය. 

කෙසේ උවත් කාලය අවු. 11 මාරක්ම දෙයියනේ කියා ගෙවී ගිය අතර මගේ සියලු ගොං මොට්ට වැඩ ඔහු උහුලා ගත්තේ වදනක් හෝ නොකියාය. ඔහුහේ සහෝදරිය නිරන්තරයෙන් කියනා පරිදි මම පොඩි එකී වගත් මා කරනා අමන වැඩ ඔහු ඉවසීම කල යුතුත් විය. 

මින් මාස කීපයකට පෙර මම ගොංම ගොං අමන වැඩක් කල අතර එයින් ඒයි මහතාට සැළකිය යුතු මුදලක් පාඩු විය. ඒ පාඩුව කොහොමත්ම මකා ගත නොහැකි බව මම දැනගත් විට මගේ කකුල් වෙවුලන්නට වූ අතර දැන් නම් සිකුරටම අර ඉගෙනගත්තා කියූ මාර්ශල් ආර්ට්ස් වල දිග පළල බැලීමට සිදුවන වග සිතී මට දෙළොව රත් විය.  ඊට කලියෙන් සියදිවි නසාගැනීම හොද බවද සිතිනි.

කිසිවක් නොවුන පරිද්දෙන් නිවසට පැමිණි ඒයි මහතා මොකෝ අඬන්නේ කියා ඇසූ අතර , ඔයා මට ගහන්නෑ නේද ? කියමින් අඩන්නට වූ අතර , සමයං ද අනේ , ඔයාට ගහන්න තරම් මම පහත් මිනිහෙක් නෙමේ
ඒත් අනේ වදින්නං ආයනම් ගොං වැඩ කරන්න කලින් අහන්න. හැබැයි මට යස්ස කේන්ති, ඒ නිසා බෙලි කටු මල්ල නම් හොල්ලන්නෙපා යි කීය. 

කොහොමත් කවදත් මම එතුමා සමඟ කට ගහන්නේ නැති අතර , කඳුළු අතරින් , ඇත්තටම කියන්න , අර ඔයා අර දන්නව කීව මාර්ශල් ආර්ට්ස් වලින් මට ගහන්නෑ නේද ? යි ඉතා ගොං ආකාරයට ඇසීමි. 

එය ඇසූ ආකාරයෙන්ම මගේ මානසික මට්ටම තේරුම් ගත් ඔහු , මාර්ශල් ආර්ට්ස් හරියට ඉගෙනගත්ත කෙනෙක් කවදාවත්ම නිකරුනේ අත උස්සන්නෑ , ඒ නිසා ඔය හොටු පිහිදගන්නවා යි කීය. 

ඇත්තටම මම මම එදා දුටු ඒ ඉවසීමටත් , ඒ හික්මීමටත් සදා ණයගැතිය. මට අර පටි මේ පටි තියනවාය කියා අඟවන බොහෝ අයට ඒ පටි ඇත්තේ වචනයට පමණක් වග මම තේරුම් ගත්තේ එදාය. සැබෑ පටි ඇත්තෙකු කවදාවත් එය නිකරුනේ භාවිතා කරන්නේ නැත. විශේෂයෙන්ම දුර්වලයෙකුට පහර දෙන්නේ නැත ! 





කස කසා

කස කසා ඇට ! 

මිතුරනි , ඇත්ත වශයෙන්ම අපේ නැන්නම්මාට පැටලුනේ කෝමාරිකා පමණක්ම නොවේය. උන්දෑට තව එක එක ඒවා පැටලී ඇත්තේය. 

මීට ටික කාලයකට පෙර මම අතිශය බඩගින්නක් සහිතව නිවසට පැමිණි අතර ඒ එනවිට අම්මා රස කෑම
සාදා අහවර කොට තිබුනාය. මෙලෝ සිහියක් නොමැති මම කෑම බෙදාගනිමින් සිටියදී කුස්සියට පැමිණි ඇය , 

මේ සැරේ අපේ කොල්ලා ගෙනත් තියන අබ නම් අන්තිමයි පුතේ , පුපුරන්නෙත් නෑ ඒ මදිවට පෙන වගෙත් එනවා යි කීවාය. එලෝ මෙලෝ නැති මම , 

ඈහ්හ් ? අම්ම කොයි බෝතලෙන්ද දැම්මේ ? ඇසීමි. 

ඇය එවිට , 

පොඩි බෝතලේ ඉවර වෙලා නිසා මම අර උඩ කබඩ් එකේ තිබ්බ ලොකු බෝතලෙන් දැම්මේ , අර ඔයා කලරින් බෝතල් එහෙම තියල තියන තැන, යි කීවාය. 

කෑම බෙදාගැනිල්ල පැත්තක දමා මම වහා ගොස් ඒ කුමන බෝතලයක් දැයි බැලූ අතර , මගේ සැකය නිවැරදි කරමින් එය බීම සාදන විට ගන්නා කස කසා බෝතලය විය. 

මුවට නැගි සිනහව වහා තදකොටගෙන මම , 

අම්මේ අම්මට ඒකෙ අමුත්තක් එහෙම තේරුන්නැද්ද ? යි ඇසුවෙමි. 

ඇය , වෙනස් නිසානෙ මම මේ අපෙ එකාට බැන බැන ඉන්නෙ, මොන ජරාවක් උස්සන් ඇවිල්ලද මන්දා කියල , කීවාය. 

මම , අම්මේ අබ පැකට් එක තිබ්බේ අර සෝයාමීට් එහෙම තියන තැන අනිත් කබඩ් එකේ , අම්මා දාල තියෙන්නෙ කස කසා ඇට. කීමි. 

ඇය , අපොයි සංසාරෙ , මදෑ මම හොදට අබ දාල තෙම්පරාදු කරල පරිප්පු හැදුව ඔයා ආස නිසා, කී අතර
ඇගේ සිත සනසමින් මම , ඔන්නොහෙ කමක් නෑ අම්මේ කොහොමත් බඩටනෙ කීමි. 

මිතුරනි , නැන්නම්මාගේ හිත නොරිදනු වස් , මම තරමක් සෙවල සහිත වුවද රසෙහි ලොකු වෙනසක් නැති කස කසා දමා තෙම්පරාදු කරන ලද පරිප්පු සමගින් බත් කෑවෙමි. 

( ඈ සැබෑ ලෙසම මට ආදරේ බැවින් ඇගේ පුතා කැමති කිරි පරිප්පු නොසාදා මා වෙනුවෙන් එදින තෙම්පරාදු කල පරිප්පු සෑදුවාය. ඉතින් එය කටේ තියනු බැරි තරම් නීරස වුවත් මම කනවා කනවාමය. එපමනක් නොව මාර රහයි අම්මේ කියාද කියනවාමය. ජීවිතය තුල වඩා වැදගත් අනෙකාගේ සිත සතුටු කිරීම පමණමය ! ) 



කෝමාරිකා සමයම

කෝමාරිකා සමයම 


සහෝදර මහතාටත් ඔහුගේ පොකැට්ටුවටත් දින දෙක තුනක් දෙයියගේ කියා පරාල ඇණයක් වීමෙන් පසුව මම  යලි නිවසට පැමිණියේ ඒයි මහතාටත් එතුමාගේ මවටත් ටිපී මහතාටත් ඇණ වීම පිණිසය. නිවසට ගොඩ වූ සැනින් මහත් වූ විස්සෝපයෙන් ටිපී නීතීඥ්ඥ  මගේ නැන්නම්මා මහත්මිය අනේ !! කුඩයක් නැතුව අවුවෙ ගිහින්,  පාට අඳුරු වෙලාහ්හ් කියමින් හිස අත බැඳගෙන විලාප දෙන්නට වූයෙන් කොහොමත් සිහි විකල් මම තවත් ඔල්මොරොන්දන් වී කන්නාඩිය සොයා ගියෙමි. 

කොහොමත් සුන්දර සුකොමල ( මූණේ තැනින් තැන කුරුලෑ කඩා කලු ලප සහිත ) මගේ මූණේ ඒ කියන තරම් අජූවක් මට නොපෙනුන අතර ගෙට ගොඩවූ සැනින් හැකර කට පාවිච්චි කිරීම නොහොඹිනා බැවින් , අනේහ්හ්හ් ඔවු කළු වෙලා තමාහ්හ්හ්හ් කීමි. එකී වදන් කණ වැකි නැන්නම්මානෝ වහා මට සමීප වෙමින් ඕකට හොඳම බෙහෙත කෝමාරිකා , කෝ මම කියන එකක් අහනවෑ කවදාවත්ම , අවුවෙ යනව තිස්සෙම! ආදී ලෙස කියමින් , ඇගේ බැල්කනි කෝමාරිකා වගාවෙන් කෝමාරිකා කොලයක් ( ඒකට කියන්නෙ කොලේ වෙන්න ඕන - කොහොමරි ඒකෙ මදේ තමා ගන්නෙ ) කඩාගෙන ආ මේන්න මේක ගාගන්න යි කීවාය. 

ඇගේ උපදෙස් පරිදි ඒ අනුව මම නෑමට පෙර කෝමාරිකා යුශ ඇඟ පුරා උලා ගනිමින් , නානවිට කෝමාරිකා යුශ ටබ් එකට දමා එයින් නාමින් , නෑමෙන් පසු යලි කෝමාරිකා යුශ ඇඟේ උලමින් සමයං පාන්නට වීමි. ඒ අනුව සීග්‍රයෙන් නැන්නම්මා ගේ කෝමාරිකා වගාව ඉවරවීමේ ලකුණු ද පෙනෙන්නට විය. එන පොට හොඳ නැති වග තේරුම් ගිය එතුමිය ඊයේ හවස කුස්සියේ මේසය උඩ කොහෙන්දෝ කඩාගෙන ආ කෝමාරිකා කොල තොගයක් තබා තිබූ අතර , ඒ ගැන විමසන්නට පෙරම එතුමිය , 

මේ මං ඔයාට අර පහල පාක් එකෙන් කෝමාරිකා කඩාගෙන ආවා. යි කීවාය. 

ඒ අනුව අද උදෑසන ඒ ගෙනත් තිබූ කෝමාරිකා කොලයක් දෙකට පලා බැලූ මට අමුත්තක් තේරුන අතර , ඒවායේ සාමාන්‍ය කෝමාරිකා වල මෙන් සෙවල ගතියක් නොවීය. කෝකටත් අවධානමක් ගන්නට පෙර ආරක්ශා විය යුතු බැවින් මම වහා ඒයි මහතා ඇමතුවෙමි. 

මේ ඒයි නැගිටින්නකො , පොඩ්ඩක් අත දෙන්නකො.. 

මොකද අනේ ! නිදාගන්න දෙන්නකො මළ වදේ ! 

නිදාගන්න බැරියැ රෑට දැං උදේ , මේහ්හ් මෙන්න මේක පොඩ්ඩක් අතේ ගාගන්නකො , ගාගන පොඩ්ඩක් ඉන්න , කසනව වගේනම් කියන්න , කසන්නෙ නැත්තං පලු දාන්නෙ එහෙම නැත්තම් කියන්න. එතකොට මම මේක ගාගන්නං.. 

මොකක් ! එන්නෑ ලඟට !!! යනව ඕක අරන් මෙතනින් , උලන්නෑ මගෙ ඇඟේ ඔය එක එක රෙද්දවල්.. කියන හැටි විතරක් , පලු දාන්නැත්තං කියන්න කියන්නෙ ! මං පරීක්ශනාගාර මීයෙක්ද ? අපෙ අම්ම තමා ඔය විකාර ඔයාට පුරුදු කරවන්නෙ. යන්න යන්න මෙතනින්..

මම බොහෝ සේ බැගෑපත්ව , 

අනේහ්හ්හ් , එහෙනම් මේක ඉඹල බලල හරි කියන්න මේ කෝමාරිකා ද නැද්ද කියල , 

ඒයි මහතා මේඑ මොන කරුමක්ද මූඩ් එක ඔන් කරගනිමින් , 

කෝ දෙනව බලන්න , මළ වදේ උදේ පාන්දර , 
සමයං ද ? මේ කෝමාරිකා නෙමේ , මේ අර පහල පාක් එකෙ ලස්සනට වවල තියන කැක්ටස් වගේ ජාතියක් ! 

මිත්‍රවරුනි ! මම කෝමාරිකා ඉලීම නතර කලෙමි ! 


උත්සාහවන්තයා ජයගනී

උත්සාහවන්තයා ජය ගනී ! 

මේ කියන්නට යන්නේ මගේ අකුරු හරහා බොහෝ දෙනෙක් දැන හඳුනන පාපා ගැනය. 

පාපා යනු බොහෝ කාලයක පටන් මා දන්නා හඳුනන අප නිවසේ උදවුවට එන කාන්තාවකි. මම ඇයව දැන හඳුනා ගන්නා විට මට වයස අවු. 5 කටත් අඩු මිස වැඩි නොවිය යුතුය. ඈ මට වඩා වසර කීපයක් වැඩිමල් ය. දරිද්‍රතාවයෙහි පතුලේ සිටි පවුලක දැරියක වූ පාපා දමිළ ය. ඇය මුලින්ම අපේ ගෙදරට ආවේ මා එක්ක සෙල්ලම් කරන්නටය. ඇයව පාසැල් යැවුවේ අපේ අම්මාය. ඒ දෙමළ පාසැලටය. එහෙත් ඇයට අම්මා සිංහල ඉගැන්නූවාය. සිංහල කියවන්නට මෙන්ම ගලපා ලියන්නටද ඇයට පුළුවන් ඒ නිසාය. 

මේ ඇගේ කතාවය. ! 

ඈ අපේ ගෙදර සිටි කාලයේ වැඩි වියට පත් වූවාය. එවකට ඇයට අවු. 14 ක් ලැබුවා පමණය. ඇගේ දෙමාපියෝ ඇයව නිවසට එක්ක ගියේ දමිළ චාරිත්‍ර වාරිත්‍ර කරණු පිණිසය. එහෙත් ඇය යලි අපේ නිවසට ආවේ නැත. යලි පාසැල් ගියේද නැත. ඒ වෙනුවට මාස කීපයකට පසු ඇය මනමාලියක් කොට වයස්ගත ඇගේ මාමා කෙනෙකුට දෙනු ලැබුවාය. ඒ නානුඔය ප්‍රදේශයේ වතු යායකටය. ඊගාවට ඇයට සිදු වූයේ ඒ වයසක මිනිසාගේ අඩම්තේට්ටම්වලට ලක් වීමටය. රෑ තිස්සේ බීගෙන ඇවිත් දෙන ගුටිබැට ඉවසීමටය. මෙලෙස ඇය අවු. 2 ක් විතරම ඒ කසාදය රැකගෙන සිටියාය. එහෙත් තවත් ඉවසාගත නොහැකි තැන ඇය දීගේ දමා ගසා ගෙදර ආවාය. එවිට ඇය ගැබ්බර විය. 

ඊගාවට දරුවා උපන් පසුව දරුවා තම මව බාරයේ තබා ඇය වත්තේ දළු කැඩුවාය. දළු කඩා ගන්නා සල්ලි වලින් ඇය තම දරුවා ජීවත් කලාය. දළු කඩා අවසන කුඩා සිඟිත්තාද කර පින්නාගෙන නගරයට විත් අපේ ගෙදරත් අහල පහල ගෙවල් වලත් වැඩ කලාය. ඈ කෙසේ හෝ ජීවත් වූවාය.  

පළමු දීගය අහවර කොට ඈ දෙවන දීගෙක ගියාය. ඒකෙන් ඇය කබලෙන් ලිපට වැටි සේ විය. දෙවන සැමියාට වෙනත් පවුලක් තියන වග දැනගන්නා විට ඔහුට දාව එක් දරුවෙකුත් කුසේ දරුවෙකුත් විය. ඒ මදිවාට ගුටි බැටය. කට ගොන්නක් කසිප්පු බීගෙන ඇවිත් දෙන දස වදය. මේවා ඉවසා ගන්නට නොහැකි තැන ඇය කට ගොන්නක් බීගෙන ආ ඔහුට දොර පොල්ලෙන් ගසා අප නිවසට ආවාය. ඒ එන අතරමග පොලීසියට ගොස් පැමිණිල්ලක් දමන්නටද අමතක නොකලාය. දරු තුන්දෙනෙක් සමග ඈ තනි වූවාය. 

ඊගාවට කරන්නේ මොකද්ද කියා හිතමින් ඈ හැඬුවාය. එවක ඇගේ අයියා සිටියේ දෙහිවල මගේ මාමා ගේ ව්‍යාපාරික ස්ථානයක සේවය කරමින් ය. ඔහු කසාදබැඳ කලක් වුවද දරුවන් සිටියේ නැත. තම සහෝදරියගේ වැඩිමල් පුතු ඔහු බාරගන්නට කැමති විය. ඇයද ඊට කැමති විය. එපමණක් නොව ටික කලක් සිය සහෝදරියට නවාතැන් දෙන්නටද ඔහු කැමති විය. ඒ අනුව ඇය කොළඹ ගියාය.

පාපා ගේ සහෝදරයා පාපාගේ වැඩිමල් දරුවාව පාසැලකට ඇතුලත් කරවීය. දෙවැන්නියව මොන්ටිසෝරි යවන්නට කටයුතු කලේය. දරුවා ලැබුන පාපා දරුවා සමගම මීගමුව ප්‍රදේශයේ නිවසක අත් උදවුවට ගියාය. එතැන ඇය වසර දෙකක් පමණ වැඩ කොට මුදලක් උපයාගෙන තුන් වැනි දැරිය සමඟින් යලි ගමට ආවාය. වැඩිමල් දුවත් පුතත් සිය සහෝදරයා බාරයේ විය. 

උපයාගෙන ආ මුදලින් රජයෙන් දී තිබූ ඉඩම් කැබැල්ලක කුඩා කාමරයක් හදා ගත්තාය. ඇය එතැනින් ජීවිතය පටන් ගත්තාය. වත්තේ දළු කැඩුවාය. අපේ වත්තේත් අවට කුඩා වතු වලත් දළු කැඩුවාය. නිවෙස් කීපයකම වැඩ කලාය. ඒ අතර කඩයප්පන් හදා විකුණුවාය. මෙසේ ජීවිතය හා ඇය සටන් කලාය. ඉන්පසුව වත්තේ දළු කැඩීම නවතා ඇය පැයේ පඩියට ගෙවල් වලත් අවට වතු වලත් වැඩ කලාය. ඊගාවට දැරිය පාසැල් යන වයසට පත්වීය. එතෙක් සිය දියණිය සිටියේ ඈ සමගය. 

කොහොමත් කොයිවෙලෙත් උණුවන හිතක් ඇති අපෙ අම්මා ඈට අපේ ගෙදර ඇවිත් නවතින්නැයි කීවාය. එහෙත් ඈ ඊට කීවෙ. අනේ නෝනා මගේ පැල පාලුවට යනව මං රෑ වෙද්දි එහෙ යන්නං නෝනට පුලුවන් නම් මගෙ කෙල්ලව මෙහෙ තියාගන්නකො මං වැඩ කරල එනකල් කියාය. 

ඒ අනුව පාසැල් ඇරී අපේ ගෙදරට එන පොඩි පාපා ලොකු පාපා වැඩ කරන තුරු අපේ ගෙදර සිටියාය. මේ අකුරු කරන මොහොතේ පවා ඈ අපේ මිදුලේ කොතැනක හෝ නට නටා ඉනු සිකුරුය. දින සති මාස අවුරුදු ගෙවී ගිය අතර පොඩි පාපා දැන් 6 වසරේ දැරියකි. විටෙක ඈ අපේ අම්මාගේ ඔලුවෙ මල් ගසා හැඩ බලන්නීය. තාත්තා හා කෝලම් කරන්නීය. එදා මෙදා තුර අප නිවසේ අත් උදවුවට සිටින පූර්ණා අම්මාව තරහ ගස්සා මහ හඬින් දෙමළෙන් බනින්නීය. මිදුලේ ඉඩක් වෙන් කරගෙන මල් ගස් හිටවන්නීය. සිය මව සමඟ රෑ වී අවසන් බසයේ ගෙදර යන තුරුම අප නිවසේ පාලු කපන්නීය. 

ලොකු පාපා ජිවිතේ පටන් ගත්තේ කාමරයක් අටවාගෙන ඊට ලෑලි කෑල්ලක් දොර වෙනුවට තියාගෙනය. කාලය ගෙවෙද්දී ඈ සතෙන් සතේ ඉතුරු කරගනිමින් කුඩා ගෙයක් හදා ගත්තාය.කාමර තුනක් , කුඩා සාලයක් , කුස්සියක් හා ගෙට යාබදව කුඩා නානකාමරයක් ඊට අයත් විය. ගෙබිමට සිමෙන්තිය. වහල ඇස්බැස්ටෝස් ය. ( මා එය කීවෙ ඒ ආසන්නයේ ඇති බොහෝ නිවෙස් වල බිමට මැටි හා වහලට ටකරං ඇති නිසාය ) ඇගේ සිහින නිවස ඈ තැනුවාය. 

මා නිවසට අමතන ඇතැම්විට නිවසේ දුරකතනයට අමතන්නී පොඩි පාපා ය. ඇතැම් විටෙක මගේ ඔලුව ඔල්මොරොන්දන් වන තරමට ඈ ගිරවියක සේ දෙමළෙන් නන් දොඩවන්නීය. ඒ කිසිවක් මට තේරෙන්නේ නැත. අම්මා ඉන්නවද ඇසූ කල ඇය කියන්නේ අම්මා දළු කඩනවා කියාය. ඔයාගෙ අම්ම නෙමේ මගෙ අම්මා කීවිට ඈ අසන්නේ ඔයාගෙ අම්ම කවුද කියාය. ඊගාවට කතා කරන්නේ මම බව කී විට ඈ උදේ සිටම කාපු බීපු සියල්ල කියන්න ගන්නීය. ඉස්කෝලෙ වැඩ ගැන කියන්නීය. ඒ ඈය. පොඩි පාපා ය. මීට වසර ගනනාවකට පෙර අප නිවසේ මෙසේ කටකාරව සිටි ලොකු පාපා ය. ඉතිහාසය යලි යලිත් මතු වන්නේය. 

සති කීපෙකට පෙර මා කතා කරන විට පොඩි පාපා දුරකතනයට ඇමතුවාය. ඉන් පසුව ඇය සුදු නෝන දන්නවද අපි අලුත් ගෙට යනවනෙ. ඒකට අපි හෙට ලොකු නෝනලට කෑම දෙනව. අම්ම ගියා බඩු ගේන්න ලොකු ටවුමට කීවාය. ටිකකින් ඈ අපේ අම්මාට කතා කොට දුරකතනය දුන්නාය. 

අම්මේ පාපා ගේ හදල ඉවරද ? මම
ඇසුවෙමි. ඔවු පොඩි දූ ශෝක් ගේ පොඩ්ඩ ආසාවෙ බෑ. මල්  පිරිල මිදුලෙ සිරියාවෙ බෑ. හෙට අපිට කෑම දෙන්න ඕන කියල ඔන්න පාපා ගියා බණ්ඩාරවෙල  , යි අම්මා කීවාය. 
මට ඈ ගැන අවංකවම සතුටු සිතිනි. ජීවිතයෙන් බැට කෑ ඇය අනුන්ට අත නොපා ජීවිතය ජය ගත්තාය. කිසිදා කිසිවෙකුගෙන් සත පහක් හෝ හොරා නොගත්තාය. වංචා නොකලාය. අවසානේ ඈ දින්නාය. 

මම අද උදෑසන අම්මාට කතා කරන විට අම්මා කීවෙ ඔන්න පාපා තාත්තට සෙම කියල එළු කිරි බෝතලයක් උස්සගෙන ඇවිල්ලා කියාය. කෝ ඉන්නවද කියා මා ඇසූ විට අම්මා ඈට කතා කරාය. 
සුදු බේබි ! අනේ කවද්ද එන්නේ ? 
ඉක්මනටම එන්නම්කො ඔයාව බලන්න. කොහෙන්ද පාපා එළු කිරි ? 
මම එළු පට්ටියක් හදන්න ගත්තනෙ බේබි. මගෙ එලිච්චි ගෙ කිරි ගෙනාවෙ , අපේ මහත්තයට ගුණයි නෙ . ඈ කියන්නීය. 
පාපා , මං ඔයා ගැන ලිවුවට කමක් නැද්ද ? 
අනේ ශෝක් නෙ බේබි. බේබිගෙ පොතෙත් මම ඉන්නෙ. මං ඒ පොත් දෙකම අල්මාරියේ දාගෙන ඉන්නෙ. 

ඉතින් මම ඇගේ කතාව ලීවෙමි. ඒ ලීවේ ඇය ජීවිතය ජයගත් දිරිය ගැහැණියක නිසාය. මගේ අකුරු ඇයට උපහාරයක් විය යුතු නිසාය. 



ඇන්ටිබයොටික්

ටිපී මහතා හා ඇන්ටිබයොටික් 

පහුගිය බදාදා ටිපී මහතා පාසලේ සිට නිවසට ආවේ කැස්ස වැඩි කරගෙනය. අඟහරුවාදා ලාවට තිබූ හෙම්බිරිස්සාවත් හොඳටෝම වැඩි කරගෙනය. උණක් නොතිබූ අතර කැස්සෙහි අතුරු ප්‍රතිඵලය වූයේ වමනය දැමීමය. බ්‍රහස්පතින්දා වනවිට කැස්ස හා හෙම්බිරිස්සාව දරුණු තත්වයට හැරී තිබූ අතර කැස්ස එන ගානේ වමනය කිරීමද පැවතුණි. ටිපී මහතාගේ වෛද්‍යතුමිය කැස්සට පැණි හා බෙහෙත් දුන් අතර කැස්ස වැඩිවූවොත් ඇන්ටිබයොටික් පටන්ගත යුතු බව කියා එයද දෙන ලදී. 

ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ටිපී මහතා බෙහෙත් බී නිදාගත්තද සිරිත් පරිදි එතුමාගේ මව දරු පැටවා ගැන විස්සෝප වෙමින් අඬමින් , ඒයි මහතාට දොස් පරොස් කියමින් , යුරෝපා දේශගුණික වෙනස්වීම් වලට බනිමින් , නොනිදා සිටි අතර , දරු පැටවාට කැස්සක් එන ගානේ පපුව අතගාමින් හොටු පිහන්නටද අමතක නොකලාය. පාන්දර 1 .30 ට පමණ ටිපී මහතාට දරුණු කැස්සක් ඇතිවූ අතර , මව වහා දරු පැටවාව තුරුළට ගෙන පපුව අතගාන්නට වූ අතර , ටිපී මහතා අම්මේ ඕක්ක්... යැයි කියා නිම කිරීමට පෙරම ඕක් දැමූ අතර , මවත්, පියත් , ඇඳත් , ඕක් වලින්ම නෑවී ගියේය. 

 ටිපී මහතාව සෝදා පවිත්‍ර කොට වෙනත් ඇඳුම් ඇන්දවා , ඔවුන් ද සෝදා පවිත්‍රව , ඇඳ රෙදි මාරු කොට සියළු වැඩ කටයුතු අහවරව යලි නිදන්නට සූදානම් වන විට පාන්දර 3 පමණ විය. වෛද්‍යවරිය ගේ නියමය පරිදි සිකුරාදා උදෑසන සිට ඇන්ටිබයොටික් දීම ආරම්භ කරන්නට තීරණය වූ අතර නිවසේ යම යුද්ධය පටන් ගත්තේ එවිටය. 

ඇන්ටිබයොටික් තරයේ ප්‍රතික්ෂේප කළ ටිපී මහතා සිතා මතාම එය අප්‍රිය කරමින් හැන්ද ලන් කරන්නට පෙර වමනෙ දමමින් විකාර නටන්නට වූ අතර ඒ වෙද්දී ඉවසීමේ සීමාවේ අග්ගිස්සේ සිටි එතුමාගේ මව හැන්ද බිම දමා අඬන්නට විය. සිය මවගේ කඳුළු දුටු ටිපී මහතා අකමැත්තෙන් මුත් ඇන්ටිබයොටික් බොන්නට හිත හදාගත් අතර අප්පිරියාවෙන් බිවූ නිසාවෙන්ම ටිකකින් එයද ආපසු දමන ලදී. අඬා වැටෙමින්ම ඒයි මහතා ඇමතූ මව , අනේ පුතා බෙහෙත් බොන්නෑ ඒයි මට තේරෙන්නෙ නෑ කොහොමද පොවාගන්නෙ කියලා. අනේ බෙහෙත් ඇඟට වැටුනෙ නැත්තන් තව ලෙඩ වැඩිවෙයි, කියමින් කියවන්නට වූ අතර කෝ පුතා යි එතුමා ඇසීය. මේ ලඟ ඉන්නවායි මව කියූ අතර , කෝ දෙන්නකො ෆෝන් එක එහෙනම් කියා එතුමා කීය. 

මව විසින් පුත්‍රයාට දුරකතනය ලබා දුන් අතර , එතුමා විසින් , 

චූටි පුතා මේ අහන්නකො , මං දැං අම්මිගෙ ෆෝන් එකට පොඩි වීඩියෝ එකක් එවනවා. ඔයා ඒක අම්මිට කියල ටීවී එකට දාගෙන බලන්නකො. කෝ අම්මිට කියන්න ඒක දාන්න කියල , මං කියල දෙන්නම්කො ඒකෙ විස්තරේ. කී අතර ඒයි මහතා විසින් එවා තිබූ වීඩියෝව මව විසින් විකාශනය කරවීය. ටිපී මහතා ඇස් දල්වමින් වීඩියෝව නැරඹූ අතර ඒයි මහතා විසින් දරු පැටවාට එය සවිස්තරාත්මකව කියා දෙන ලදී. 

වීඩියෝව හා දුරකතන සංවාදය අහවර වූ සැනින් ටිපී මහතා ස්වකැමැත්තෙන්ම ඇන්ටිබයොටික් බොන්නට පෙරට ආ අතර කිසිම අප්‍රියතාවක් නොමැතිව එක උගුරට ඇන්ටිබයොටික් බිවේය. ඉන් පසුව හාප්ශීට් කොල වල එතුමා ඇන්ටිබයොටික් වල ක්‍රියාකාරීත්වය සිතුවමට නැගූ අතර ඒ සියල්ල ගැන එතුමාගේ මව චිත්තප්‍රීතියෙන් පසුවීය. සියල්ල අවසන ටිපී සිතුවම් වල ඡායාරූපයක් ඒයි මහතාට යැවූ මව දරු පැටවා බෙහෙත් බිවූ බවද පවසන ලදී. ඊට පිළිතුර ලෙස ඒයි මහතා , 

ඒකට කියන්නෙ ආදරේ කියල. දරුවට කියා දෙන්න ඕන දරුවට තේරෙන විදියට මැණිකෙ , කීය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 



මිරිවැඩි

මිරිවැඩි !!

ඇයි මිනිස්සු සපත්තු දාන්නෙ ? 
තම තමන්ගෙ කකුල් පරිස්සම් කරගන්න.. ඕකනෙ මූලික පරමාර්ථය සපත්තුවක් දාන එකේ. 

හරි දැං ඕක ඔහොම්මම වෙනවද ? නෑනෙ 

ගස් ගල් වල නොහැපී , වතුර මඩ දූවිළි වලින් ආරක්ශා වෙලා තමන් යන ගමන සුවපහසුවට යන්නනෙ අපිට සපත්තුවක් ඕන. ඒත් දැන් දැන් වෙන්නෙ ඕක නෙමේ. මේ වෙද්දි අපි සපත්තු දාන්නෙ අනුන්ට පේන්න. තමන්ගෙ කකුල කැපිලා ලේ ඇවිල්ලා , සපත්තු ගැට ඇවිල්ල , ඇවිදගන්න බැරුව ගියත් අර ලෝකෙට පේන්න දාන් ඉන්න වැදගත් සපත්තුව ගලවන්න මිනිස්සු අකමැතියි. මොනතරම් වේදනා මැද්දෙ වුනත් ඒක දාගෙන ඉන්නෙ අනේ මේක ගැලෙවුවොත් මිනිස්සු මොනා නොකියයිද ? මේක ගැලෙවුව වගේ නෙමේ මීට වඩා හොද එකක් ආය ලැබේද ? ගලවන්න ලේසියි ආය දාන්නනෙ බැරි වගේ එක එක හේතු කාරණා නිසා. 

ඒත් ඇත්තටම තමන්ට වේදනා ගෙනෙන සපත්තුව අයින් කරලා සරළ සැහැල්ලු තමන්ට ගැලපෙන ගමනක් යන්න පුලුවන් සපත්තුවක් තෝරගන්න එක නේද වටින්නේ ? සමහරවිට මේ අලුත් සපත්තුව පරණ එකට වඩා මිලෙන් අඩු වෙන්න පුලුවන් , ඒ වගේම වැඩි වෙන්නත් පුලුවන් , බැලූ බැල්මට නොවටිනව වගේ පේන ඒත් ඇතුලාන්තයේ වටිනාකම ඉතාමත්ම ඉහල එකක් වෙන්නත් පුලුවන් , කොහොම වුනත් කලින් එකට වඩා හොඳ එකක් වෙයි කියල නම් විස්වාසයි. 

හැබැයි නිකං ගලවන්නම් වාලෙ දාගෙන ඉන්න සපත්තුව ගලවලා නිදහස්‍ ය කියල හිතලා නිරුවත් දෙපා වලින් ඉන්න අයත් ඉන්නව. හැබැයි එතනදි එයාලට එයාලගෙ දෙපා ගොඩක් කරදර වලින් බේරගන්න වෙනව. ඕක තමා සාමාන්‍ය ස්වභාවය. කොහොම වුනත් තමන්ට වේදනා දෙන සපත්තුව මාරු කරන්න කලින් දෙපාරක් නෙමේ සියවතාවක් වුනත් හිතුවට කමක් නෑ. මොකද ඒක අර කලින්ට වඩා වේදනාවක් නොවෙන්නක් විය යුතුම නිසා. 

අවසානෙට මට කියන්න ඕන මෙච්චරයි , ඔබ වේදනාවෙන් ඉන්න එපා.. අමාරුවෙන් ලෝකෙට පේන්න සපත්තුව දාගෙන ඉන්නත් එපා. කවදාහරි කකුලට සපත්තුව ගැලපේවි කියල හිතන් ඒ වේදනාව උහුලගෙන ඔහේ ඉන්නත් එපා. එහෙම ඕනනම් ඒකට අවශ්‍ය ප්‍රථිකාර කරන්න. කකුල කැපිල නම් ඒකට ප්ලාස්‍ටර් එකක් දාගන්න. සපත්තුවෙ දැඩි බව අඩු කරගන්න පිළියමක් යොදාගන්න. එහෙම කරල ඒ සපත්තුවම දාගෙන ඉන්න. ඒත් බැරිනම් අනේ ඒක ගලවන්න. ගලවලා නිරුවත් දෙපා වලින් නොයිද ගැලපෙන සපත්තුවක් එක්ක ගමන යන්න. ඒ සපත්තු කලින් සපත්තුව එක්ක සසඳන්න යන්නත් එපා. ඒකෙන් වෙන්නෙ සැනසීම නැතිවීම විතරයි.. ඒ නිසා ජීවිතේ වඩා වටිනාම දේ සැනසීම කියන එක තේරුම් අරන් ජීවිත් වෙන්න. 


©️Prabhani T. 



මර්‍යූෂ්කා

මර්‍යූෂ්කා !
➖➖➖

ඒ පුංචි ගෙදර තිබ්බේ මොන්තෙ මොරෙල්ලි කන්දට යන පාරෙ. ලස්සන හුරුබුහුටි ගේ පොඩ්ඩ. ගේ වටේට ලැවැන්ඩර් යායට පිපිලා දම් පාර සිත්තමක් වගේ. ඒ අතරින් පතර සුදු පාටට ඩේසි පිපිලා හරියට පොට්ටු තියලා වගේ. ඊට ටිකක් එහායින් තිබ්බේ ඕසෙට මල් පිපෙන ලිලී පඳුරු ඊටත් එහායින් තමා පල්ලියට යන පාර තිබ්බේ. පල්ලිය පාරෙන් පොඩ්ඩක් එහාට ගියාම කනත්ත. කනත්ත පුරාම තිබ්බේ පියෝනියා මල්. ඔය ඔක්කොටම පහලින් කන්ද මුලින් ගලාගෙන ගියේ ආර්නො ගඟ.. 

මර්‍යූෂ්කා හිටියෙ ඒ පුංචි හුරුබුහුටි ගෙදර. ස්ටෙප්ස් බිම තරම්ම නැතුවට මේ වටපිටාවත් අපූරු බව ඈ තේරුම් ගත්තේ වයස එක්ක ලොකු මහත් වෙනකොට. ඒ වෙනකල්ම ඈට ඕන උනේ ආයෙම රුසියාවට යන්න. කවුද අකමැති තමන්ගෙ මවු බිමට. අනික එතන තරම් සැනසීමක් කොහෙද වෙන තැනක. රුසියාවෙ හුළඟ පවා ඈට සමීපයි කියලයි ඈ ඒ කාලෙ කීවෙ. ඒ කාලෙ කීවෙ ඒ කාලෙට. අර දුං කවුළු සුද්ද කරන මාර්කොව මුණ ගැහෙන්න කලින් කාලෙට. ඒත් පස්සෙ ඈට මේ ෆ්ලොරන්ස් තරම් වෙන නගරයක් නැතුව ගියා වගේ. පල්ලියෙ පාදිලි උන්නාන්සෙ පවා ඒක කීවා දන්න කියන අය එක්ක. 

මාර්කො ට ඕන වුනේ මර්‍යූෂ්කා එක්ක එක වහලක් යටට එන්න. ඒත් මර්‍යූෂ්කා තිස්සෙම කීවෙ දැන්ම එහෙම බෑ කියල. ලෙඩින් ඉන්න මහළු අත්තම්මව සනීප කරගන්න ඈට ඕන වුනා. ඒත් මාර්කොගෙ අදහස වුනේ නාකිච්චි ඉක්මනින්  ස්වර්ගෙට යනවනම් හරි නිදහසයි වගේ හැඟීමක්. අසරණ කෙල්ල කොහොම කියවන්නද නපුරු හිතක ඇතුලාන්තය! ඒත් ඈට ඒක නොදැනුනාම නෙමේ. අනික මාර්කො කියන්නෙත් කට පියන් ඉන්න පුළුවන් මනුස්සයෙක් යැ, අර මස් කඩේ ගෑනුකෙනා එක්ක ඕක කියනකොට එතන ලඟ වුන්න මර්‍යූෂ්කාගෙ හොඳම යාලුව පාවොලා ඕක අහන් ඉදලා මර්‍යූෂ්කාගෙ කනේ තිබ්බ වෙලේ ඉඳන් ඈ වුන්නෙ වරම ගත්ත ගානට. 

දේව මෑනියන් පල්ලා ඈට යකෙක් වැහුන ගානටයි වුන්නේ. අර වයසක උන්දැත් බැරි බැරි ගාතෙ උත්සාහ කරේ ඈව සන්සුන් කරන්න. ඒත් ඒක කරන්න සක්කරයාටවත් බැරුව ගියා වගේ. මාර්කො හවස ගෙයි වැට ගාවට එනකොටම මර්‍යූෂ්කා ගියා වැට ගාවට. 

"එන්නෙ එහෙම නෑ මේ හතර මායිමට. ආව අතක් බලාගෙන යනවනම් තමා හොඳ මාර්කෝ , උඹ මයෙ අත්තම්මා මැරෙනකල් ඉන්නෙ අහවල් ඉටිගෙඩියකටද උලමෝ ? ඒ අහිංසකී තොට මක් කරාටද ? මේ මොන්තෙමොරෙල්ලි කන්දෙ පිපෙන බිම්මල් සාක්කි , මයෙ අත්තම්මා මාව ජීවත් කරවන්න වින්ද දුක් කන්ද , මේ මොන්තෙමොරෙල්ලි කන්දෙ හැදෙන බෙහෙත් පැල සාක්කි. මයෙ කුසේ ගින්දර නිවන්න ඒ අසරණි හිම කුණාටු මැද්දෙ පවා මේ කන්දෙ නැග්ග බවට. එහෙවු අසරණී ස්වර්ගෙට යනකල් ඉන්න පාපතර අවලමා.. පලයං යන්ඩ මගෙ දෑහට නොපෙනී.. 

ඔන්න ඔහොමයි මාර්කො මර්‍යූෂ්කාගෙ ජීවිතෙන් යන්න ගියේ.  කෙනෙක් ගියාය කියල ඒ මත්තෙ ජීවතේ වෙනස් කරගන්න ඕනෙ නෑය කියල මර්‍යූෂ්කා කලින් ඉදන්ම හිතන් හිටි නිසා මාර්කොව පන්නගත්තට පස්සෙ ඒ ගැන පසුතැවීමක් වත් දුකක් වත් මර්‍යූෂ්කාට ඇතිවුනේ නෑ. මාර්කො ගිහින් ශීත ඍතු තුනකට පස්සෙ හතරවෙනි ශීත ඍතුවෙදියි අත්තම්මාට හොඳටම අමාරු වුනේ. පල්ලියෙ පාදිළි උන්නාන්සෙ එතුම දන්න වෙදකම් කරාට මෙදා සැරේ වැඩේ ලේසි වුනේ නෑ. වෙදෙක් ගෙන්නනම ඕන වෙන පාටකුයි තිබුනෙ. 

අත්තම්මට හයිය තිබ්බ ඒ දවස් වල මොන තරම් හිම වැටුනත් , මොන තරම් වැහි වැටුනත් ඈ එක දවසක වත් නිවාඩු නොගෙන කරේ මේ මොන්තෙමොරෙල්ලි කන්දෙ වස්තුව එකතු කරපු එක. උන්දැ හැමදාම කීවෙ මේක නිධානයක් කියලා. අත්තම්මා බෙහෙත් පැල එකතු කරල විකුණපු වෙදාව එක්ක එන්නයි අන්තිමේ තීරණය වුනේ. වෙදාව එක්ක එන්න ගියේ පාවොලාගෙ අම්මා. මර්‍යූෂ්කා හිටියෙ දෙලොවක් අතර. අත්තම්මා නැති ජීවිතයක් ගැන ඈ දැනගෙන හිටියෙ නෑ. කොටින්ම අත්තම්මා නැතුව හුස්ම ගන්න හැටියක් ඈ දැනන් හිටියෙත් නෑ. 

අන්තිමේ පාවොලා ගෙ අම්මා එක්ක වෙදා ආවා. අත්තම්මාව එහෙට මෙහෙට පෙරළා බැලුව. අන්තිමේ ඔහු බැලුවෙ මර්‍යූෂ්කා දිහා. 

අසරණ ළමයෝ ! අත්තම්මා ට බෙහෙත් කරන්න ඕන. ඒකට මෙන්න මේ බෙහෙත් පැලේ ඕන. අනික දවස් දෙකක් ඇතුලෙ බෙහෙත් නොදුන්නොත් බලාපොරොත්තු අතැරගන්න එක තමා හොඳම. 
වෙදෙක් කියන කතාවක්ද හැබෑට ඒක , මර්‍යූෂ්කා එහෙම හිතුවා කටින් නොකීවට. ඈ තීරණය කරා කන්ද නගින්න. බෙහෙත් හොයන්න. 

පාවොලාට අත්තම්මා ව බලාගන්න බාරදුන්න මර්‍යූෂ්කා හැමෝම එපා කියද්දි මොන්තෙමොරෙල්ලි නගින්න පටන් ගත්තා. ඈ ඒ බෙහෙත් පැල හොයාගෙන හොයාගෙන ගියා. සීතම සීත පටු අඩිපාරවල් දිගේ ගියා. තද කුණාටු වුනත් ඈට ආශිර්වාද කරපු ගානයි , හමාගෙන ආව කුණාටු පවා නතරව ඇගෙ ගමන ඈට යන්න ඉඩ ඇරියා. විටෙක ඈ ගස් මුල් වල හැප්පිලා ඇදගෙන වැටුනා. මූණත් තුවාල වුනා. ඒත් ඈට ඕන වුනේ ඇගෙ ලෝකෙ හැමදාම ලස්සන වෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලපු ඇගෙ අත්තම්මාට ජීවිතේ දෙන්න. 

හදිස්සි වෙලා මාර්කොව එලවගත්තේ ඇයි කියල ගෙවුන හතර අවුරුද්දට ඈට දහස් වතාවකට වඩා හිතෙන්න ඇති. අනික පාවොලාගෙ අම්ම කීවෙ ඇත්තක්මද කියන්නවත් ඈ හෙවුවෙ නෑනෙ. මාර්කො එහෙම කීවෙ ඇයි කියන්නවත් අහන්න යුතුකමක් තිබ්බ නේද කියල ඈට බොහෝ වතාවල හිතුනා. එහෙම හිතුනෙ අත්තම්ම හුස්ම ගන්න අමාරුවෙන් විඳපු අපමණ දුක් කන්දරාව ඇහැට පෙනුනට පස්සෙ. අනේ දේවමෑණියනේ ඈට සැනසීම දෙන්න කියල මර්‍යූෂ්කා ම හිතුවට පස්සෙ. මොනා වුනත් දැං මනමාලි වෙලා අල්තාරෙ ඉන්න හීනෙ ගොඩක් දුරයි. මාර්කො නැතුව මොන ඇටගෙම්බෙක් එක්ක අල්තාරෙ නගින්නද? මර්‍යූෂ්කා තිස්සෙම හිතුවෙ ඒක. 

ඈ හීන ලෝක වල එහෙ මෙහෙ යන ගමන් කන්ද මුදුනට වෙන්නම නැග්ගා. මේ හරියෙ වෙන්නෝන ඔය කියපු බෙහෙත! ඈ එහෙම හිතන ගමන්ම ඒක හොයන්න පටන් ගත්තා. හෙවුවා හෙවුවා හෙවුවා ! අත් ගල් වෙනකල්ම හිම පහුරු ගගා ඈ ඒ පැලේ හෙවුවා. දේව මෑනියනේ ඈට අවසානෙ ඇගෙ අත් දෙක තියනව කියල දැනෙන්නෙම නැතුව ගියා. ඇඟිලි තුඩු ගල් වෙලා පුපුරු ගහන්න ගත්තා. අන්න එතකොට ඈට දැනුනා අත් දෙකක් තවමත් තියන වගට. ඒත් ඈ හිම අස්සෙ පැල හෙවුවා. 


මර්‍යූෂ්කා ! මර්‍යූෂ්කා ! 
දෙයියනේ කවුද ඒ කතා කරන්නේ. ඒ මාර්කො ගෙ හඬ. මාර්කොව මට නොපෙනුනාට හඬ ඇහෙනව. දෙවියනි ! මේක යක්ෂ පරීක්ශාවක්ද ? ඇයි මේ කටහඬ ඇහෙන්නෙ මට. එක්කෝ මම ස්වර්ගෙට ලං වෙලාද ? නැත්තම් මං සීතට පිස්සු වැටිලද ? බෙහෙත් පැල... කෝ මේ බෙහෙත් පැල.. !! ඉලවු හිම ! ඈ ඔහේ තනියම කියවන්න ගත්තා.. 

ටිකකින් ඈට දැනුනෙ කවුරුන් හෝ ඈව වත්තන් කරන් කන්ද බහින බවක්. ඈට හිතුනෙම ස්වර්ගෙට කෙසේවෙතත් යක්ශයන් ඈව අපායට ගෙනියන බවක්. නැත්තන් මොකටද පහලට යන්නෙ. ස්වර්ගෙට යන්නනම් ඉහලට එපෑ යන්න. අනේ අත්තම්මා ! උන්දැ බෙහෙත් නැතුවම මියැදේවි.. මාර්කෝ!! හම්බුනා නම් එකම එක වතාවක් සමාව ඉල්ලන්න තිබ්බා කෑ ගහලා පන්නගත්තට.. දැං මොනා කරන්නද ! අපායට ගියොත් ආය කොහෙද ගැලවීමක්.. ඈ කෑ ගහන්න වුනා යක්ශයන්ට, ඈව අපායට ගෙනියන්න එපා කියල. 


මර්‍යූෂ්කා දෙයියන්ගෙ නාමෙට ඔය කියවිල්ල නවත්තපං.. උඹෙ අත්තම්මාගේ බෙහෙත් පැලත් උස්සන් , ඒ මදිවට උඹවත් උස්සන් පල්ලං බහින මට කණක් ඇහිලා ඉන්න දීපං.. මොන කරුමයක්ද ! සීතත් ඉවසුවෑකි , උඹේ බරත් ඉවසුවෑකි , ! ඒත් උඹෙ මේ කෑ ගැහිල්ල ඉවසන්න බෑ ගෑනියේ !!

අන්න එතකොටයි ඈ පියවි ලෝකෙට ආවෙ. මේ ඈව පහලට ගෙනියන්නෙ මාර්කෝ මිසක් ආපයෙන් ආව යමපල්ලො නෙමෙයි කියන්න ඈට තේරුනේ එතකොටයි. ආදරේ කියන්නෙ මෙන්න මේකට කියන්න ඈට තේරුනෙත් එතකොටයි.. මැරෙන්න වුනත් එකට යන එක.. ඒක තමයි ආදරේ !! 

©️ප්‍රභානී තෙන්නකෝන්. 







නිවසේ සාමය

මේහ්හ් , ඒයි, දෙවියො කේක් හදන්න පටන් අරන් අපිට හෙන කරදරේ.... 😕😕

ඈහ්හ් මොකක් ??? 

නෑ මේ මං කීවෙ අද හිම වැටෙනව.. 

ඔවු ඉතින් ඕව අපිට නවත්තන්න පුලුවන් දේවල් නෙමේනෙ... 

අන්න ඒකනෙ ඒයි, දැං බලන්න රුපියල පාවෙනව , උද්දමනය ඉහල ගිහින් , ගොටුකොළ වගාව පාලු වෙලා , ඊයෙ චිකන් එකට ලුණු වැඩියි ලාවට , ඒ අස්සෙ මෙහෙට කරපිංචා එවන එක නවත්තලා මොක්කුද සත්තු වගයක් හිටිය කියලා.... බ්ලා..... බ්ලා... බ්ලා.... 

මේහ්හ් , ඔයා උදේ පෙත්ත බීවද ?? 

😡 ඔවු මනුස්සයෝ.. ගෑස්ට්‍රික් වැඩිවෙලා එහෙන්... 

හරි හරි , දැං ඔය මොකාටද එන්න හදන්නෙ ?? 

නෑ මං මේ කීයන්න ගියේ.. අද නිවාඩුවක් දාන්න හිතයි අප්පා... පාරවල් වහයිද දන්නෙත් නෑනෙ... 

ආ.. ඔයා නිවාඩු දාල ඉන්න.. හැබැයි එකක්, අම්ම උදේම මාත් එක්ක මළ පන්නං ඉන්නෙ , ඕක යන්නෙ ඔයාගෙ පිටින්, 
මාවලස් නේ.. 🥰🥰 , කැමති නං නිවාඩුවක් දාල ගෙදර ඉන්න, නැත්තං ඉක්මනටම ලෑස්ති වුනොත් මම පුතාවත් දාං ඔයාවත් දාං යන්නං.... මොකෝ කියන්නෙ ?? 


නෑ නෑ , මං නිකං කීවෙ නිවාඩු කතාව.. ඔයා ගිහින් දැම්මෙ නැතත් මං පාරෙ බස් එකේ හරි අද වැඩට යන්නං ඒයි.. 🙄🙄🙄

😂😂😂😂😂😂

( නෑ මේ නැන්නම්මට බයේම නෙමේ.. කෝකටත් ගෙදර සාමය ගැන හිතන්නෙපෑ.. 😕😕)




රෝස පිපෙන්නෙ මැයි වල

රෝස පිපෙන්නෙ මැයි වල


එක පුංචි රෝස පැලයක් තිබ්බා. තනියම හුදකලාවෙ හිටිය මේ රෝස පැලේ එක මලක් පිපුණා. ඒ මල ලස්සනට සුවඳ හමන්න ගත්තා. දකින දකින හැමෝම අනේ ලස්සන රෝස මල කීවා. ගහ ගොඩක් ආඩම්බර වුනා. ඒත් දුක් වුනා ඒ රෝස මල තනියම නිසා. ගහට කොච්චර ඕනෙ වුනත්, ගහ කොච්චරක් ආසාවෙන් හිටියත් ඒ රෝස මලට තනි රකින්න තව රෝස මලක් ආවෙම නෑ. 

ඔහොම අවුරුදු ගානක් ගියා. ශීත කාල ගොඩාක් පහුවුනා. වසන්ත කාල නොදැනීම ගියා. ග්‍රීශ්ම කාලවල රෝස ගහ හෙම්බත් වුනා. තනිකම සෑහෙන්න දැනුනා. රෝස මල ආඩපාලි කීවා මට තනියි කීවා, අනේ රෝස ගහ , බලන්න අනිත් ගහ් හැමඑකේම මල් ගොඩයි කීවා. රෝස ගහ ඒ ඔක්කොම දරාගත්තා.. රෝස ගහ දකින , රෝස ගහ විඳින අයත් රෝස ගහෙන් ඇයි ආය මල් නැත්තෙ ඇහුවා. ඒවට දෙන්න රෝස ගහට උත්තර තිබ්බෙ නෑ. රෝස ගහ තනියම ඒ හැම එකම දරාගත්තා. තමන්ගෙ එකම රෝස මල පණ වගේ රැක්කා. 

ඔන්න එක නපුරු ශීත කාලයක් ඉවර වෙලා ලස්සන වසන්ත කාලයක් ආවා. රෝස ගහ හරි ආදරෙන් ඒ වසන්ත කාලය වැළඳ ගත්තා. රෝස පිපෙන්නෙ මැයි මාසේ, රෝස ගහ තිස්සෙම හිතුවෙ එහෙම.. ඉතින් දැන් මැයි ඇවිත් රෝස ගහ බලාපොරොත්තු දල්වාගත්තා..  බලා හිටියා. ආසාවෙන් බලා හිටියා.. 

මෙන්න දවසක් උදේ, ලස්සනම ලස්සන රෝස පොට්ටුවක් ගහේ මෝදුවෙන වග රෝස ගහට දැනුනා. රෝස ගහ පරිස්සම් වුනා. ඒ රෝස පොට්ටුවට මහ ගොඩක් ආදරේ වුනා. අනේ එකම එක දවසයි ඒ සතුට ඒ රෝස ගහ වින්දේ.. පහුවදා හවස් වෙද්දි ඒ රෝස පොහොට්ටුව ගහ දාල යන්න තීරණය කරල තිබුනා.. ගහ අඬා වැළපුනා. අනේ මගේ මල දාල යන්න එපා මාව කියල කෑ ගහ ගහ ඇඬුවා. වටේ ගස් වැල් පවා  අඬවන තරමටම රෝස ගහ ඉකි ගහ ගහ ඇඬුවා. දන්න තරම් හැම දෙවියෙක්ගෙන්ම ඉල්ලුවා රෝස පොට්ටුව ආරක්ශා කරල දෙන්න කියලා. ඒත් වැඩක් වුනේ නෑ. 

පහුවදා උදේ රෝස පොට්ටුව කලින් තීරණය කරල තිබ්බ ගානට රෝස ගහ අතෑරල ගියා. රෝස ගහට ඔහේ බලා ඉන්නව ඇරෙන්න වෙන දෙයක් තිබ්බෙ නෑ. ඒ වෙද්දි රැයක් පුරා රෝස ගහ හෙම්බත් වෙලා හිටියෙ රෝස පොට්ටුව ආරක්ශා කරගන්න සටන් කරලම. ගහ පිස්සුවෙන් වගේ ඇඬුවා.  කෑ ගහ ගහ ඇඬුවා. රෝස ගහ එයාගෙ වේදනාවන් හංගගත්තා.. රෝස මල රෝස ගහේ කඳුළු පිස්සා.. මම ඉන්නව ඔයාට.. රෝස මල කීවා.. රෝස ගහ රෝස මලව තුරුල් කරගෙන රෝස පොහොට්ටුව තමන්ව දාල යන හැටි බලා වුන්නා.. 

අන්තිමේ ඈ මෙහෙම කීවා.. 

ඇයි එයා මාව දාල ගියේ. 
යන්නනම් ඇයි ආවෙ? 
ඇයි ආව බව මට කීවේ? 
නොකියාම ඇවිත් නොකියාම නොගිහින් ,
කියලා ඇවිත් නොකියා ගියේ ඇයි? 
එයාට තිබ්බා ඉන්න.. 
මාව දාලා නොයා ඉන්න.. 
මගේ තුරුල්ලෙම ඉන්න. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 

DNA පරීක්ෂණ අනවශ්‍යයි.

DNA පරීක්ෂණ අනවශ්‍යයි.. 

අපේ පවියාට මේ ලඟකදී ඉඳන් පරණ කාසි , වෙන රටවල කාසි , සල්ලි කොල, වගේ ඒවාට ආසාවක් ඇවිත් ඇත. ඉතින් උන්දෑගේ ඒ ආසාවට අත,හිත, කකුල,බඩ, පස්ස, හොම්බ...... ආදීය දෙනු වස් මේ දිනවල අපිද දිවා රෑ නොබලා කාසි , සල්ලි කොල, හොයන්නෙමු. ඉතිං මං ඕක මේ ගෙදර දෙසාබාද්දී පිය පුතු ඩබලද පවියාට සෙනේ පාන්නට පෙරට විත් කාසි කොල හොයාදෙන්නට පොරොන්දු ප්‍රකාර දුන් අතර, දුන් පොරොන්දු ඉටු කරමින් එහෙම ඒවා මට ගෙනත් දෙන්නටත් වග බලා ගත්තෝය. 

ටිපියාගේ පියා කතා බතා නැතුවම ඉතාලියේ යූරෝ භාවිතයව පෙර භාවිතා කල ලීරේ කාසි කීපයක් හා තවත් රට රටවල කාසි කීපයක් මට දුන් අතර ටිපියා එසේ නොවීය. එතුමා පාරෙන් අහුලගත් කාසි දෙකක් ගෙදර ගෙනැවිත් පපා පපා මේව කොහේ ඒවදැයි ඇසූ අතර පපා විසින් මේවා අහවල් අහවල් රටවලට අයත් වග පැවසූවෙන් ටිපී මහතා සැනෙකින් මා වෙත සැපත් වී අම්මේ මේව වෙන රටවල ඒවා යි කීය...  

මාද පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් අනේ පුතේ මේව අපි පවී නැන්නට දෙමුයි කී අතර ටිපියා එසැනින් මේවා එයාට ගොඩක් වටිනවද ? යි ඇසීය. මම , ඔවු පුතේ ඔයාට ඔය ලට්ට ලොට්ට කෑලි බෑලි වටිනව වගේම පවී නැන්නට මේවා ගොඩක් වටිනව. එයා ආසාවෙන් මේව එකතු කරනවනෙ කීමි. ඊගාවට ටිපී මහතා අතිශයින් බැරෑරුම් මුහුණක් මවා ගනිමින් , 

අපි එහෙනම් මෙහෙම කරමු අම්මේ... දැං මේවා මමනෙ හොයා ගත්තේ. ඒත් ඒව වටින්නෙ පවී නැන්නටනෙ. ඒ වුනාට එයාට දෙන්න ඔයානෙ එකතු කරන්නෙ නේද ? ඒ නිසා ඔයාට මේව ඕන්නං ඔයා මට වෙන කාසි මල්ලක් දෙන්න. එතකොට මම මේව ඔයාට දෙන්නම්... කීය. 

තමන්ට කාසි 50 ක් එක කාසියකට අවශ්‍ය බව කී ටිපී මහතා කාසි 100 ක් දෙන්නේ නම් ඒ කාසි දෙක මට දෙන බව කියමින් සමයං පාන්නට වූ අතර , මම සැනෙකින් ගෙදර වෙනම පොඩි භාජනයකට දමා තියෙන සතේ / දෙකේ / සත පහේ , ආදී කාසි වලින් කාසි අහුරක් මල්ලක දමා ටිපියාට දී ඕන්නං ඕක ගැනගන්න ඔතන 100 ක් තියනවා යි කියා අර කාසි දෙක ඩැහැ ගත්තෙමි.. 

ප.ලි. 

ටිපියාගේ සමහර වැඩ වලදී එතුමා රෝහලේදී මාරු වී ඇති බවකට මට සාධාරණ සැකයක් ඇතිව තිබුනද මේ වැඩෙන් පසුව ඒ සැකය නැත්තටම නැති වී ගිය අතර , මව මම නොවන බවක් දිනයක ඔප්පු වූවත් පිය පුතු සම්භන්ධය නම් තක්කෙටම හරි බව මට තහවුරු වී ගියේය... 




කවුද බබා ?

ටිපී ඔවදං... 
➖➖➖


ඊයේ හවස් යාමයේ පවුලේ වෛද්‍ය වරියගෙන් අපි හැමෝම ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට ඔරොත්තු දෙනු පිණිස වැක්සීන් විදගෙන ගෙදර ආවෙමු. ( ටිපියාට විද්දේ එතුමිය නොව ටිපී වෛද්‍ය තුමියය ) ගෙදර ආ පසුව ටිපී මහතාට උණ ගැනෙතැයි සිතා ඇඳ අසලින් උණ කටුව , ළමා බෙහෙත් ( සිරප්/සපෝසිටරි ), තුවා, වතුර, ඕඩිකොලොන් , පුළුන්, ආදී දෑ තබාගෙන සූදානම් සරීරෙන් නින්දට ගියෙමු.. 

රෑ මැද වෙද්දී ටිපී මහතා හොඳින් දැයි බැලූ විට එතුමා දම්ම තියා වැලන්ටයින් සිහින දකිමින් සිටි අතර එතුමාගේ මව වන මට සහලවා උණ ගෙන තිබිණි. අද උදෑසනද තත්වය එසේම වූ අතර , හවස් වන විට උණ ගතිය සමනය වී තිබිණි. 

පාසැල නිමවා නිවසට පැමිණි සැනෙන් උණ කටුව මගේ කටේ එබූ ටිපී මහතා , 

අම්මේහ්හ් දැං ඔයාට කොහොමද? ඔයා කෑවද ? ඔයා කී පාරක් ඕක් දැම්මද ? බෙහෙත් බීවද ? ආය කියන්නෑ මං , ඔයාට ගුටි ඕනද ? මේ මිදි වත් කාල නෑ නේද ? කියමින් තම ඇඳුම්වත් මාරු නොකර කියවන්නට විය. 

හරි හරි , මට දැං හොඳයි සුදු මහත්තයා, ඔයා ඇඳුම් මාරු කරන් කාල ඉන්නකො මොනාහරි.. කියා මම කියූ අතර ඒ අනුව එතුමා සන්සුන් විය. 

ටිකකින් ඇපල් ගෙඩියක් උලා කමින් මා අසලට පැමිණි ටිපී මහතා , මහත් වූ බැරෑරුම් ස්වරූපයක් මුහුණට මවා ගනිමින් , 

දැං අම්මේහ්හ් , 

හැම අවුරුද්දෙම ඔය ඉන්ජෙක්ෂන් එක විදිනවනෙ. ඔයාට , මට , අප්පච්චී ට, අත්තම්මාට , අපි හැමෝටම විදිනවනෙ.  ඒත් කවදාවත් අපි කාටවත්ම උණ ගන්නෑනෙ. උණ ගන්නෙ ඔයාටනෙ, ඔයා තමා බබා මෙහෙ, ඒ නිසා අම්මේ. ආය අපි බෙහෙත් විදගෙන ආහම , ඔය ඔය පොඩි ස්ටූල් ඔයාගෙ බෙහෙත් තියාගන්න. මට බෙහෙත් ඕන වෙන්නෑ. මොකද මම ශක්තිමත් ඔයාට වඩා.. මට උණ ගන්නෙ නෑ ඕවට ඔයාට වගේ.. 

කී අතර , මම
හා පුතේ... කීමි... 


සම්මත අසම්මත

සම්මත... අසම්මත...
➖➖➖➖➖➖➖➖

තමන්ගෙ දුව ගැන වදවෙන්න අම්ම කෙනෙක්ට සාධාරණ අයිතියක් තියනවය කියන්න හිතන ඔල්ගාගෙ අම්මා ඔල්ගාට කෑ ගහන්න තියාගත්තෙ වෙනද වගේම. 
ඔල්ගා... 
උඹ ඔය සම්බන්දෙ නතර කරන්නෙම නැද්ද?

ඒ මොකටද? ඈ අහන්න කැත්තට පොල්ල ගානට. අම්මව රුස්සන්නෙම නැති තාලෙට. 

මොකටද අහන්නේ.... උඹ විකාරෙන්ද? උඹ ආස නැද්ද දෙයියනේ කියලා කසාදයක් කරන් දරු මල්ලො හදන් ජීවත් වෙන්න... අම්ම ඉන්නෙ පුදුමාකාර හිත කරදරේකින්, ඈ කෑ කෝ ගහන්නෙ ඒකයි. 
ඒත් ඔල්ගා ඉන්නෙ ඒව තේරුම් ගන්න පුලුවන් තත්වෙක නෙමෙයි. 
ඔය කසාද බඳින හැමෝටම දරුවො ඉන්නවාද අම්මේ.... උන් ඔක්කොමලාම හොඳින් ඉන්නවද? ඕව බොරු වැඩ... ඔල්ග එහෙම කීවෙ අම්ම දිහා නොබලා , ඈතම ඈත වලාකුලක ඇහැ රඳෝගෙන. 

තවත් ඉවසන්න බැරි තැන අම්ම කරන්නෙම කෑ ගහන එක. ඔල්ගා.... උඹට බෑ ලෝක චාරිත්තරයෙන්  පිට පනින්න... දෙයියන්ගේ නාමෙට කසාදයක් බැදන් පිළිවෙලක් වෙයන්... මට හිත නිදහසින් ඇස් පියාගන්න ඕනි... 

ඒත් අම්ම කියන කිසිම දෙයක් ඔල්ගගෙ හිතට වැටෙන්නෙ නැති ගානයි. ඈ අම්ම එක්ක කට ගහන්න ගන්නෙ ඇගේ හිතෙත් පීඩනයක් තියන නිසාමයි. , 
ඉතිං උඹ පියාගනිං අම්මේ.. ඒක මහ අසාධාරණ කතාවක්... උඹට හිත නිදහසේ ඇස් පියාගන්න ඉඩ අරින්න මං හිත කරදරෙන් ජීවත් වෙන්න ඕනිද?.. උඹ මට කියන්නේ.. කොහේවත් ඉන්න අසරණ මිනිහෙක්වත් අමාරුවේ දාලා ඒ මත්තට මටත් අමාරුවේ වැටෙන්නද... උඹේ ඔය චාරිත්තරේ රකින්න උදවු වෙලා මුළු ජීවිත කාලෙම විඳවන්න මට බෑ...  ඔල්ගා අම්මට උත්තර දෙන්නෙ පුදුම ආවේගෙකින්, අම්මට ඈව තේරෙන්නෙ නෑ. 
ඔල්ගා.... මං කියන දේ තේරුංගනිං.... 
ඒ තමයි අම්මෙකුගෙ ආවේගය.. 

උඹ කියන දේ මට තේරුනාට මං කියන දේ උඹට තේරෙන්නේ නෑ අම්මේ... 
අම්ම මොන තරම් ආවේගෙන් කෑ කෝ ගැහුවත් ඈ අම්මට උත්තර දෙන්නෙ ඇඬුම්බර හඬින්.  

මේ අහපං දුවේ... මාත් ආසයි උඹේ දරුවෙක්ගෙ මූණ බලන්න.. පොඩි එකෙක්ගෙ හිනාවෙන් මේ ගෙයි පිරෙනවා දකින්න... උඹෙ පොඩි එකා එක්ක තරු ඇහැරෙන වෙලාවට ආර්නෝ ගඟ අයිනෙ ඉදං අහස බලන්න...  ඒ පිටවෙන්නෙ අම්මෙකුගෙ හීන.. තමන්ගෙ එකම දුව ගැන දකින හීන. 

අනේ නවත්තපං අම්මේ... උඹේ හීන හරී ලස්සනයි.. ඒත් ඒවා හැබෑ නොවෙනා එක ගැන මට දුකයි... උඹට පොඩි එකෙක්ගේ මූණ දකින්න ඕනම නම් ඔය පල්ලියේ ඉන්නෙ ඕන තරං පොඩි උන්.. උඹ ගිහිං උන්ව හුරතල් කරපං.. දෙයියන්ගෙ නාමෙට මට මේ ඉන්න විදියට ඉන්න දීපං.. ඈ තමන්ගෙ අම්මගෙ හීන ඔක්කොම එකට ගුලි කරලා විසිකරන ගානයි. 

ඔල්ගා... දවසක මිනිස්සු උඹට ගල් ගහාවි.. 

උන්ට පිස්සු අම්මේ.. උඹ ඕව ගැන නොහිතා ඉඳිං.. 

පිස්සු උන්ට නෙමේ උඹට... මගෙ දුවේ... මගෙ රත්තරං දුවේ... ඔය සම්බන්ධෙ නතර කරාපං..... මං උඹට හොදින් ගැලපෙන කොලුවෙක් හොයන්නම්... 

අම්මේ.... දේව කරුණාවෙන් කොහේවත් ඉන්න අසරණයෙක් අමාරුවේ නොදා ඉඳිං... 

ඌට උගේ පාඩුවේ ඉන්න ඉඩ දීපං. මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දීපං... 
මේ අහපං අම්මේ... මගේ හිත අකමැති මිනිහෙක් එක්ක මට ජීවත් වෙන්න බෑ... එහෙවු මිනිහෙක් එක්ක එකට එක ඇඳේ නිදාගන්නත් මට බෑ... හිතේ කැමැත්තක් නැතුව මට ඔය කිසි දෙයක් කරන්න බෑ.. මං එහෙම කරොත් ඒක ඒ මිනිහට කරණ ලොකු අසාධාරණයක්... හිතේ කැමැත්ත වහංගු කරං මැරෙන තුරා මට ජීවත් වෙන්නත් බෑ.. රටේ ලෝකෙ උන් අපිට හිනා උනාට අපේ දුකට උන් අඬන්නේ නෑ අම්මේ.. කියන දේ තේරුං ගනිං... 

මේ අම්මගෙයි දූගෙයි රංඩුව පාරෙන් එපිට මේපල් ගස් පාමුල ගෙදරට පවා ඇහෙන්න ඇති. ඒත් මේක වටපිටාවට මේ වෙද්දි හුරු වෙච්ච රංඩුවක්. අම්ම කියන කිසිම දෙයක් නාහා එලියට බහින්න හදන ඔල්ගගෙන් ඇගේ අම්ම මෙහෙම ඇහුවෙ උත්තර දැන දැනමයි. 
හොඳයි... දැං උඹ ඔය කොහෙද යන්නේ... ? 
ගඟ ගාවට... ඒ තමයි ඔල්ගගෙ සුපුරුදු උත්තරය. 
මේ ගොම්මනේ.. 
ඔවු... තරු ඇහැරෙන වෙලාව හරි ලස්සනයි අම්මේ... ආදරවන්තයන්ට ඒක තමයි ආදරේ කරන්න හොඳම වෙලාව... මෙහෙම කියපු ඔල්ගා යන්න යනවා. 
හ්ම්ම්ම්... අනේ මංදා කෙල්ලෙ... පරිස්සමින්.. අම්ම ඔල්ග යන දිහාවෙ බලන් එහෙම කීවෙ නොකියා බැරිකමට. ඔල්ගා වුනත් ඒක දන්නව. 

ආ ආවෙ ආර්නෝ ගඟ ගාවට. ඈත තියාම ඈ දැක්කෙ ඇගේ ඇස් බලාපොරොත්තුව හිටි දසුන. ඒ ඇගේ බලාපොරොත්තුව. ඇය පතන ඇගේ ජීවිතය..  

ඔල්ගා.... මගෙ කෙල්ල.... මගේ ආදර කෙල්ල... මොකද මේ  මූණ අඳුරු වෙලා....

හැමදාමත් එකම තැටිය... අම්මගෙ වදේ...

මොකද කියන්නේ...
කොල්ලෙක් හොයන්නම් කියන්නේ..මට බඳින්න... උන්දැට ඕනිලු දරු සුරතල් බලන්න... 

ඉතිං මොකෝ කීවෙ....
මං කීවා පල්ලියේ ඉන්න ළමයෙක් හුරතල් කරන්නය කියලා... 

ඒත් අම්ම පවු කියලා හිතෙන්නෙ නැද්ද...

ඊට වඩා මං පවු කියලා හිතෙන්නෙ නැද්ද... ඔය මට බන්දන්නය කියලා අම්ම දඟලන කොල්ලා පවු කියලා හිතෙන්නෙ නැද්ද... හිතට එකඟ නැතුව ජීවත් වෙන්න පුලුවන්ද... කිසිම හැඟීමක් නැතුව මිනිහෙක්ට ලං වෙන්න පුලුවන්ද... කිසිම හැගීමක් දැනීමක් නැතුව රූකඩයක් වගේ ජීවත් වෙන්න පුලුවන්ද... එහෙම ජීවත් වෙන්න උනොත් අපි පවු නැද්ද... 

ඔවු.. ඒක ඇත්ත.... ඒ කියන්නේ.. මට එච්චරම ආදරේද?. 

ඔවු කියාරා... මගෙ රත්තරං කෙල්ල... මං ආදරෙයි.. 

ඒත් ලෝකයා... උන් අපිට හිනාවේවි...

ඔවු.. උන් දන්නේ හිනාවෙන්න... ඒත් උන් ඇයි නොහිතන්නේ අපිත් මිනිස්සු බව... අපිටත් ආදරේ ඕනි බව... අපි සත්තු නොවන බව.. මිනිස්සු අපිව කොන් කරාවි... අපිව පිලිකුල් කරාවි.. අපිට පද හදාවි.... ඒත්... අපි අපිව දන්නවානම්... අපේ අසරණ කම දන්නවානම්.. අපිට ලෝකෙන් වැඩක් නෑ කෙල්ලේ.. 
ගෑණියෙක් පිරිමියෙක්ව බදින්නම ඕනි කියලා කොහෙකවත් නීතියක් නෑ... පිරිමියෙක් ගැන ආසාවක් හිතෙන්නේ නැත්තන්.. අපි උන්ව බැඳන් උන්ට කරන්නේ අසාධාරණයක්... ඒක ලෝකෙ අපිට හිනාවෙන උන් දවසක තේරුම් ගනීවි කියාරා... එතකං අපි බලා ඉමු... 

ඉර බැහැන් යන හැන්දෑවෙ කියාරගෙ අත් අල්ලන්, ඒ ආර්නෝ ඉවුරෙ ඔල්ගා ජීවිතේ ගැන හීන දැක්කා , කවදාවත් ඉටුවෙයිද ? නොවෙයිද ? කියන්න ගැන හාංකවිසියක් වත් හිතන්නෙ නැතුවම ඈ හීන දැක්කා...

නිමි..

අපි හොයන්නෙ සැනසීම

හැම බැඳීමක් ඇතුලෙන්ම අපි හොයන්නෙ සැනසීම.. 


ජීවිතේ එක එක කාලවල අපිට එක එක බැඳීම් ඇතිවෙනවා. දෙමාපිය දූ දරු , සහෝදර , මිත්‍ර, ආදී විදියට එක එක බැඳීම්. ටිකක් වයසින් වැඩෙනකොට අපි ප්‍රේමණීය බැඳීම් හොයනව. ඒ බැඳීමට විවාහය කියන මාතෘකාව  එකතුකරලා අර්ථයක් දෙනව අඹු සැමි බැඳීම විදියට. ඊගාවට ආයම අපි දෙමාපියන් වෙලා අපේ දරුවො එක්ක දෙමාපිය දූ දරු බැඳීම හදා ගන්නවා. මේ විදියට හැම කෙනාගෙම ජීවිත එකම චක්‍රයක ගලාගෙන යනවා. 

ජීවිතේ බොහෝ අමාරු තැන් වලදි අපි මේ බැඳීම් වලින් හයියක් හොයනව. මේ බැඳීම් අපිව ආරක්ශා කරාවි , අපි වෙනුවෙන් පෙනී හිටීවි කියල බලාපොරොත්තු වෙනව. මේ බලාපොරොත්තු සීයට සීයක් ඉටු නොවෙනකොට ආත්මාර්ථකාමි අපේ හිත මේ බැඳීම් වලින් මිදෙන්න ලිහිල් තැන් හොයනව. දරුවො නම් හිතුවක්කාර වෙනව. දෙමාපියන් නපුරු වෙනව , එක්කො දරුවන්ව අතෑරල දානව , සහෝදර බැමි ලිහෙනව, මිත්‍රත්වයන් පලුදු වෙනවා, ඒ ඒ විදියට මේ බැමි කඩතොලු වෙනවා.

මේ විදියටම අඹු සැමි කියන බැදීමෙ ලිහිල් තැන් වලට තව කෙනෙක් එනව. එතනදි නියම් බැඳීමේ කඩතොලු තැන් අනියම් බැඳීමෙන් වැහෙනව. සමාජය මොන විදියට මේ දේ දැක්ක වුනත් මේ ලිහිල් තැන් ඒ ඒ අයව රිදවන තරම් දන්නෙත් ඒ ඒ අයම තමයි නිසා මේ අයට සමාජය ගැන තකන්නට හිතෙන්නෙත් නෑ. මේක තමයි සාමාන්‍ය විදිය. 

මේ හැම බැඳීමකින්ම අපි හොයන්නෙ සැනසීම. 

නිකමට හිතන්න, 

මේ දරුවන්ගෙන් මට සැනසීමක් නැති හැටි කියල කියන වාක්‍යය ඔබට ජීවිතේ කී පාරක් මේ සමාජයේම එක එක තැන් වලින් ඇහිල ඇතිද ? ඒ වගේම අනෙ මට සැනසීමෙන් ඉන්න දෙන්න අම්මේ කියනව කී පාරක් ඇහිල ඇතිද ? මට කිසි සැනසීමක් නෑ දෙයියනේ කියල කී වතාවක් නම් ඇහිලා ඇතිද ? මේ හැමෝම හොයන්නෙ , බලාපොරොත්තු වෙන්නෙ සැනසීම.

ඒත් මේ සැනසීම එන්නෙ අහසින්ද ? නෑ මේ සැනසීම අපිම ඇතිකරගන්න ඕන දෙයක්. අපිම අපි විහින්ම නැති කරගන්න සැනසීම ආයමෙ ඇති කරගන්න ඕනත් අපිමයි. 

අපිට පුලුවන්නම් අපිට රිදෙන තැන් තේරුම් අරන්, අනෙකාටත් ඒ විදියටම එතන රිදෙනව ඇති කියල හිතන්න, අන්න එතකොට රිදීම අඩුවෙනවා. ඒත් බොහෝ අය කරන්නෙ තමන්ට රිදුනට වඩා අනිකාව රිද්දල කුරිරු සතුටක් ලබන එක. තමන් විඳවන තරමට වැඩියෙන් අනෙකා විඳවිය යුතුයි කියල හිතන එක. මෙහෙම
හිතන මිනිස්සු අනෙකාගෙ සැනසීම නැති කරන්න තමන්ට කරන්න පුලුවන් හැමදේම උපරිමයෙන්ම කරනවා. ගෙදර කන්න පොල් ගෙඩිය නැතත් අනෙක් කෙනාව හැඳිගෑවිලා යන්නය කියල දේවාලෙ ගිහින් පොල් ගහනවා. මේක තමා මිනිස් හිතේ තියන කුහක කම. තමන්ට නැති සැනසීමක් අනුන්ට තියනව දකින්න තියන අකමැත්ත. 

මේ දේවල් වෙනස් කරගන්න ඕනත් අපිමයි. තමන් ට රිදෙන තැන් තේරුම් අරන් අනිත් කෙනාට සාදාරණ වෙන්න පුලුවන් නම් ඇත්තටම මේ බැදීම් ආරක්ශා කරගන්න වෙන මුකුත්ම කරන්න ඕන නෑ. බැඳීම තද කරගන්නය කියල තව තව රිදවන්න යන එකෙන් වෙන්නෙ ඒ බැඳීම් ඇතුලෙ වේදනාවෙන් මිරිකෙන එක. ඒත් සැහැල්ලුවෙන් අවබෝධයෙන් තමන්ටම අනෙක් කෙනාව ආදේශ කරල හිතන්න පුලුවන් නම් අන්න එතනදි මේ කියන සැනසීම
ලැබේවි. 

විවාහය කියන බැඳීම ඇතුලෙදි,  එකිනෙකා අතර නොරිස්සුමෙන් පටන් ගන්න පලුදුවීම අන්තිමේ නවතින්නේ බැඳීම දෙපළු කරලා. එක්කෝ ඒ බැදීමෙන් ඇතිවන පලුදු වලට අනියම් පැලැස්තර අලවලා පිටට පේන්න බැඳීම හැඩ කරලා. ඒ පැලැස්තර අලවගන්නකොට මේවයින් අපි බලාපොරොත්තු වෙන්නෙ අර පලුද්දට සාර්ථකම විසඳුම. ඒ කියන්නෙ සැනසීම. මේ පැලැස්තරය වැරදුනොත් වෙන්නෙ බැඳීමෙනුත් , පැලැස්තරෙනුත් දෙකෙන්ම සැනසීම අහිමි කරගෙන මානසික රෝගියෙකු වෙන එක. මොකද මනුස්සයෙක්ගෙ මනසට දරාගන්න පුලුවන් සීමාවක් තියන නිසා. 

ජීවිතේ දුශ්කර තැන් එනකොට අපිට අල්ලගන්නත් තැනක් නැතුව යනකොට අපි ශක්තිමත්ය කියල හිතෙන තැනක් අල්ලගන්නව. මේක මනුස්ස ස්වභාවය. මේක කෙනාගෙන් කෙනාට වෙනස්. කෙනෙක් ලෞකික ව මේ දේ හොයාගන්නකොට තව කෙනෙක් ලෝකෝත්තරව හොයාගන්න පන්සල් යනවා. මෙතනදි ගැහැණිය කියන කෙනා බොහෝවිට තමන්ගෙ මාන්සික පීඩනය මුදාහරින තැන විදියට තෝරගන්නෙ තමන් අදහන ධර්මය. මෙතන සැනසීමයි. ඒක නැත්තෙ නෑ. නමුත් අන්තගාමීව මේ පංසල් පල්ලි බදාගැනීම කියන්නෙම අර බැඳීම් පලුද්දට තව පලුද්දක් එක් කිරීම විතරමයි. එතනින් වෙන්නෙ නොහිතන දුරස්වීමක් විවාහය කියන දේට නොදැනුවත්ව එක් කිරීමක්. 

හැමෝම සැනසීම හොයනව. තමන් විහින් නැතිකරගත්ත සැනසීම ආයම ආයම හොයනව. 




ජීවිතය ඇත්තේ විඳින්නය

ජීවිතය ඇත්තේ විඳින්නටය.. 

අප අවුරුදු සීයක් හෝ දෙසීයක් ජීවත් වන්නේ නැත. දෑත දෙපයේ වාරු ඇතුව අපට ජීවත් විය හැක්කේ බොහෝවිට අවුරුදු අසූවක් පමණය. එයිනුත් දුව පැන නටා ජීවිතය විඳිය හැක්කේ ස්වල්ප කාලයක් ය. එහෙත් ඒ ස්වල්ප කාලය හෝ අපි ජීවිතය විඳින්නෙමුද ? යි මම ඔබෙන් අසමි.  අපි ජීවත් වන්නෙමු ඔබ මට කියනු ඇත. එහෙත් අප බොහෝ දෙනා ජීවත් වන්නන් වාලේ ජීවත් වනවා මිසක ජීවිතය විඳින්නේ නැත. විඳව විඳවා ජීවත් වනවා පමණය. 

අපි සෑම සියළු දෙනාම උදෑසන නැගිට්ට පසුව තේ එකක් බොන්නෙමු, එහෙත් නිදිමතේ බොන්නන්වාලේ එය බොනවා මිසක එය විඳිමින් බොන්නෝ සිටිත්ද ? කිරි, කහට, සීනි , මේවායේ රස පදම දිවඟින් විඳිමින් බොන්නෝ සිටිත්ද? එසේ සිටින්නේනම් අල්පයකි. එහෙත් තේ එක නොබොන්නෝ නැති තරම් ය. මේ බොහෝ සරළ කරුණකි. එහෙත් එයවත් අප කරන්නේ නැත. 

දඩිබිඩියේ උයාගන්නා කෑමවේල ඔහේ ගිල දමනවා මිසක එහි රසය නිවී සැනසිල්ලේ විඳින්නෝ අල්පය. එහෙත් හැමෝම ගිලින්නෝය. ඔබ වාහනයක යන්නේනම් දෙපස සිරි විඳින්නේදැයි මම ඔබෙන් අසමි. ඔබ එහි සුවපහසුව වාඩිවී යනවා මිසක ඒ යන මග දෙපස ගැන අවභෝදයක් බොහෝ විට ඔබ සතුව නැත. නමුත් ඔබ යන්නේය. නොනැවතී යන්නේය. යාන්ත්‍රිකව යන්නේය.. එහෙත් එහි විඳීමක් ගැන දන්නේ අල්ප දෙනෙක් පමණය. 

ඔබ ගීත අසනවා මිස ගීත විඳිනවාදැයි මම අසමි. ගීත විඳින්නෝ අල්පය. එහෙත් අප දිවා රෑ ගීත අසන්නෝ වෙමු. 
උදෑසන හිරු පිපෙන අයුරුත් හවස හිරු මියෙන අයුරුත් අපි හැමදාම දකින්නෙමු, එහෙත් එහි අසිරිය හදවතින් නොවිඳින්නෙමු. මේ සාමාන්‍ය අපගේ ජීවිතයය. අප විහින් විඳවන්නෝ වෙමු.  

බොහෝ සේ වෙහෙස මහන්සි වී හම්බකර අප යාන වාහන ගෙවල් දොරවල් අයිතිකරගන්නෙමු. එහෙත් ඒවාට වී විඳින්නට නොදැන විඳවන්නෙමු. 

මම ඔබෙන් ප්‍රශ්නයක් අසමි, 

ඔබ ඔබේ සහකරු හෝ සහකාරියව විඳ තිබේද ? 
විවාහක ඔබ ඔබේ මදුසමය විඳ තිබේද ? 
ඔබ ඔබේ බිරිඳ /සැමියාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සිපගෙන තිබේද? 
ඔබ සංසර්ගයේ යෙදුනා මිසක ඒ මොහොත හදවතින් විඳ තිබේද ?? 

ලිංගික ක්‍රියාවලිය යනු හුදෙක් වර්ගයා බෝ කිරීම පමණක් නොවන්නේය. එය කලාවකි. එම කලාව විඳින්නෝ අල්පය. බොහෝ පිරිමින් සිතන්නේ ශිෂ්ණය ප්‍රාණවත් වීම ලිංගික කාර්‍යයයට ප්‍රමාණවත් ය කියාය. එහෙත් තමන්ගේ බිරිඳගේ මානසික තෘප්තිය ගැන හිතන්නට ඔවුන්ට වුවමනා නැත. බිරිඳ සැමියා ගේ මානසික තෘප්තිය ගැන හිතන්නේද නැත. සරළව කියනවානම් වර්ගයා බෝ කිරීමට රෙද්ද ඉස්සීම ප්‍රමාණවත් වග බහුතරය සිතා සිටින්නෝය. 

තම බිරිඳගේ නිරුවත් සිරුර දැක නැති පිරිමින් පවා සිටිනා වග ඔබ විස්වාස නොකරණු ඇත. එහෙත් එවන් මිනිසුන් ජීවිතය විඳවමින් අප අවටම සිටින්නෝය. 

ජීවිතය සැපවත් කිරීමට බොහෝ දේ අවැසි මුත් ජීවිතය විදින්නට මහාලොකු දේ අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නිරවුල් මනසක් පමණකි. 

එක් දවසක් හෝ ඔබ ඉටිපන්දම් එලියකින් යුතු රාත්‍රීයක මදුවිතක් සමඟින් ඔබේ සහකරු / සහකාරිය විඳින්න. ( මදුවිත අත්‍යාවශ්‍ය නොවේ) ඔහු / ඇය ගේ සිරුර විවේකීව විඳින්න. සෑම සිපගැන්මක්ම හදවතින් විඳින්න, නුරා ඇස් වලින් ඔහු/ ඇය ව විඳින්න..  ඒ මොහොත හදවතින් විඳිමින් ගෙවන්න , ඔබට ජීවත් වීමට ආසාවක් එනු ඇත..  ජීවිතයට බලාපොරොත්තුවක් එනු ඇත.. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 



මී පුප් ලදිමි

මී පුප් ලඳිමි... දරු නොලඳිමි.... 
➖➖➖➖➖➖➖➖➖➖➖➖

ආකාසේ මූසලම මූසල අඳුරු පාට වෙලාගෙන හිම කුණාටුක් එන්න ඔන්න මෙන්න ගානට මූණ හදාගෙන බලාගෙන ඉන්නකොට ක්‍රිස්තීනා හිටියෙ පාවොලාට කැමෙමිල්ලා එකක් හදන ගමන්. දෙළොවක් අතර තනිවීම දැන් පාවොලාට හුරු දෙයක් කියන එක ඒ වෙද්දි ක්‍රිස්තීනා තේරුම් අරන් හිටියේ. ගේ ඇතුලෙ රස්නෙ තියාගන්න දර පෝරණුවත් පත්තු කරාට මොකද දුං ගඳ ඇස් පවා රතු කරන් ඔලුව ඔල්මොරොන්දන් කරවන්න පුලුවන් දෙයක් ය කියන්න පාවොලාට වගේම ක්‍රිස්තීනටත් තේරුම් ගිහින් තියන වෙලාවක පාවොලා ඈත පේන මොන්තෙමොරෙල්ලි දිහා බලාගෙන ඔහේ කියවන්න ගත්තා. 

💜"දන්නවද?
මං මේ පාර ග්‍රීශ්ම ඍතුව ගෙවන්න හිතා ඉන්නේ නේපල්ස් වල.."
💙ඇයි .. 
💜මට හිතෙනවා විසූවියස් ඇහැරේවි කියලා... 
💙ඒ මොන පිස්සු කතාවක්ද? ඒක නිදි.
💜නිදා ඉන්න හැමෝම දවසක නැගිටිනවා ක්‍රිස්තීනා.. 
💙එහෙනං ඇයි නේපල්ස් ම යන්නේ... බැරියැ සිසීලි යන්න.. එහෙත් ඔය එක්කෙනෙක් නිදා ඉන්නෙ අපූරුවට... 
💜එයා ඇහැරෙන එකක් නෑ... මර නින්දේ.. 
💙ඉතිං ඇයි ඕකට ග්‍රීශ්ම ඍතුව එනකල් කල් මරන්නේ.. බැරිද එහෙදි නත්තල සමරන්න.. 
💜වැඩක් නෑ....
💙ඇයි... ?
💜සීත ඉවර වෙනකල්ම නිදා ගත්තම රස්නෙ ආහම නැගිටින්න ලේසියි... හරියට හිතුවිලි වගේ... 
💙දැං ඔය මදැයි හිතෙන් විඳෙව්ව තරම... දැංවත් ඔය විකාර අතෑරපං පාවොලා.. ගිය උන් ගියා... උන් ආයෙ එන්නෙ නෑ.. අනික උන් ගියේ ආයෙත් එන්න පුලුවන් දුරකට නෙමෙයි.. උන් හොඳින් ඇති... 
💜උඹට පිස්සු... ඔවු.. උඹට පිස්සු.. ක්‍රිස්තීනා.... තනේ එල්ලිගෙන කිරි බිබී උන්නු එකා... උඹ හිතන්නේ ඌට මම නැතුව ඉන්න ඇහැකියි කියලද?
💙එහෙමෙයි කියලා දැං උඹට ඌට කිරි දෙන්න බෑ පාවොලා... තේරුම් ගනින්... මේ තමයි ජීවිතේ... දෙවියන් වහන්සේ උන්ව බලා ගනීවි... 

💜දෙවියන්වහන්සේට කරදර කරන්න බෑ ක්‍රිස්තීනා... මගෙ දරුවව  බලාගන්න මම ඉන්න ඕනි.. ගිය පාර ග්‍රීශ්ම කාලෙදි අන්ද්‍රේ හරි බලාපොරොත්තුවෙන් උන්නේ විසූවියස් නැගිටීවි කියලා... එයා මා එක්ක කීවා..
අම්මේ.. විසූවියස් නැගිට්ටම අපි ලාව බලන්න යමු කියලා.. ඒත් ඒ ඍතුවෙදි පිපිරුනේ මගෙ හිත... උඹට ඒක හිතාගන්නවත් බෑ ක්‍රිස්තීනා... නිකොලො ගියාට මට දුක නෑ.. ඒත් අන්ද්‍රේ.... ඒ මගෙ පණ.

එලියෙ සීතල පරාද කරවන තරම්ම සීතල හඬකින් පාවොලා කියද්දි ක්‍රිස්තීනාත් අහක බලාගෙන හිමීට හැට්ට කර උස්සල ඇස් පිහාගත්තා. මේ ඔලුව විකාර කරවන දුං ගඳ.. ජීවිතේ බරම දවස් ගෙවාගන්න මේ තරම්ම අමාරුයි කියන්න කලින් නොතේරෙන හැටි. සීතලට දඬු ගැහිච්ච මහළු මේපල් ගස් වැටියට,  ඊට එහායින් මොන සීතලෙත් තමන්ගෙ තුරුපත් දරාගෙන ඉන්න දේවදාර වැට ඔලොක්කු හිනා පානව ක්‍රිස්තීනා කවුළුවෙන් බලාගෙන. ඈ ආයෙම පාවොලා දිහාවෙ ඇස් කැරකෙවුවෙ දේවදාර ගස් මොනතරම් හයියද කියල හිතන ගමන්. 

💙උඹේ දුක මට තේරෙනවා පාවොලා... ඒත් දැං ඔය ගැන තවත් හිතනඑකේ තේරුමක් නෑ නේද?

ඒත් එහෙම කීවට තුවාලෙක වේදනාව දන්නෙ තුවාලෙ තියන කෙනාය කියන්න ක්‍රිස්තීනා නොදන්නව නෙමේ. බෙහෙත් නොදාන , යන්තමට උඩුහම වේලිගෙන එනකොට පොත්ත කඩල විසිකරලා එතනම කොනිති ගහන , ඔඩුදුවන තුවාල. පැසව පැසව ඔජස් ගලන තුවාල. 
ආයෙම බලාපොරොත්තු තාරකා වලින් ඇස් සරසවගෙන කියවන්න පටන් ගන්න පාවොලා ක්‍රිස්තීනා ව වෙහෙසකරවන ගානයි. 

💜ක්‍රිස්තීනා.... අපි මේ පාර නත්තල් ගහ රතු පාටින් සරසමු... අන්ද්‍රේ ආසම පාට රතු... 
💙හොඳයි.. අපි එහෙම කරමු.. 
💜ගහ මුදුනෙම තාරකාව හයි කරමු... අන්ද්‍රේ ආස වෙයි... 
💙ඔවු... පාවොලා උඹ දැං ටිකක් නිදාගනින්... පස්සෙ බැරියෑ කතා කරන්න... 

💜ක්‍රිස්තීනා... උඹ හිතන්නේ ඔය කඩවල් වල තියෙන දේවදාර ගස් හොඳයි කියලද?
මං නං හිතන්නේ ඊට වඩා හොඳයි අපි ගහක් යොයා ගත්තොත්.. නිකොලො ගෙ මල්ලිට කීවොත් ගෙනත් දේවි... 
💙ඌට දහසක් වැඩ පාවොලා.. ඔලිව් කඩන්නත් ලඟයි නේ.. සීත තද උනොත් කියලා බයේ ඉන්නේ.. එහෙම උනොත් කට්ටිය හොයන්න අමාරු වේවි.. 
💜ඔය කීවට සල්ලි ඕන මිනිස්සු අනන්තවත් හිම කුණාටු මැද්දේත් වැඩ කරනවා.. 
💙ඔවු.. උඹ හරි.. 
💜උඹ දන්නවැයි ක්‍රිස්තීනා..  අන්ද්‍රේ මා එක්ක ගිය වාරෙදි ඔලිව් කඩන්න එන්න හිටියේ.. පොඩි එකා... ඌට ඕනි උනේ අපිට උදවු කරන්න... අනේ මොන තරම් උතුම් හදවතක්ද... 
💙ඒක තමා... හොඳ අයව දෙවියන් වහන්සේ ඉක්මනින්ම ගන්නවා... 

ආයෙම මූසල කල්පනා බරිත මූණ. කඩාගෙන වැටෙන හදවත. එක එල්ලේ කවුළුවෙන් එහා මහළු මේපල් තුරු අග්ගිස්සෙ රැඳවිච්ච මලානික ඇස්. කම්මුලක් මැද්දෙන් ගලාගෙන ගිය කඳුළක වේලිච්ච පාරක්. 

💜එලියෙ ජනේලෙත් වහපං ක්‍රිස්තීනා.. සීත ඇතුලට ආවොත් මේ උණුහුම මදි වේවි...
💙ඔවු.. ඒක ඇත්ත... හැබැයි වැස්සොත් මේ සීත අඩු වේවි.. 
💜ඔවු... මං ආසයි එක දිගටම වැහැල.. වැහැල... ලුන්ගාර්නො ගලනවා දකින්න.. 
💙ඒක මහ විකාර ආසාවක් පාවොලා.. 
💜නෑ... අන්ද්‍රේ හැමදාමත් බලා හිටියේ ලුන්ගාර්නෝ ගලනවා දකින්න. 
💙ඒක අන්තිමට උනේ මීට අවුරුදු හැටකටත් වඩා කලින්.. ආයෙ එහෙම වෙන්නෙ නෑ... 
💜උඹට එහෙම කියන්න බෑ ක්‍රිස්තීනා... නොවිය යුතු මොන තරම් දේ වෙනවද... 
උඹ හිතුවද... ඒ කාලකණ්නි දවසේ මගේ මිනිහයි දරුවයි..දෙන්නම මාව දාල යාවි කියලා.. එතකොට ඒ උනේ නොවිය යුතු දෙයක් නෙමෙයිද..?
මේ ලෝකේ අපිට උවමනා දේට වඩා සිද්දවෙන්නේ උවමනා නැති දේ... 
💙ඔවු... ඔය උඹේ විඳවීමත් ඒ වගේ.. ඒකත් උවමනා නැති දෙයක්.. 

විදවීම, ජීවිතේ කාළකන්නිම හැඟීම. බීල ඉවරවෙච්ච කැමෙමිල්ලා කෝප්පෙ හෝදන්න අරන් යන ගමන් ක්‍රිස්තීනා කල්පනා කරන්නෙ පාවොලා ගැන. ඇගේ ජීවිතේ සුන්දරම දවස් ලස්සනට ගෙවුන හැටි ගැන. මිනිස් ජීවිත උඩුයටිකුරු කරන්න තප්පරෙත් ඇති. ඈට එහෙම හිතෙනව. ආයමෙ පාවොලා කරන්නෙ ඒ දැහැන බිඳින්න කියෝන එක. 

💜ක්‍රිස්තීනා.... 
💙හ්ම්ම්ම්ම්ම්
💜මට හිතෙනවා මම මීට වඩා අන්ද්‍රේ ගැන හිතුවනම්.. එයා මාව දාල නොයන්න තිබ්බා කියලා.. 
💙දැං ඔය මොන දේ හිතුවත් වැඩක් නෑ... ගිය දේ ගියා... ආයෙත් අතීතෙට යන්න බෑනෙ.. 
💜ඔවු... 
💜දන්නවද.... 
අන්ද්‍රේ හරි ආසයි පුරේ කන්න.. මං හිතා ඉන්නෙ ටිකක් හදලා පල්ලියේ පොඩි උන්ට දෙන්න... අනික, ඇපල් තම්බලා මී පැණි දාල මේ කාලෙ පොඩි උන්ට දෙන්න ඕනි.. සෙමට හොඳයි නේ... ගෙවුනු හැම සීත කාලෙදිම මම එහෙම හදලා අන්ද්‍රේ ට දුන්නා... හරි ආසාවෙන් කොල්ලා කෑවේ..  

💙ඔන්න.. ආයෙම අඬනවා.... දැං මදෑ ඔය.. හිතට දහිරිය ගනින් පාවොලා.. 
💜කොහොම වාවන්නද මං... දින සති මාස ගෙවුනට... හිත තාමත් එතන... ඒ දේවදාර ගහ මුල.. නත්තල් සීත ඔලුව කාපු වෙලාව ඒක. 

💚ට්‍රීං... ට්‍රීං.... 

💜ක්‍රිස්තීනා.... කවුදෝ ඇවිත්... අනේ බලාපං...
💙හොඳයි... මේ බෙහෙත් පෙත්ත බීල හිටිං ඉස්සෙල්ලා... 

ක්‍රිශාන්තිමම් මල් පොකුරකුත් අරන් ජූලියා දොරකඩ ලඟ. අවසරයක් ලැබෙන්නත් කලින් ඈ ගෙට ගොඩවෙන්නෙ ගේ ඇතුලෙ වුන්න දෙන්න වගේම මලානික ඇස් වලින්. සීතට ගල්වෙච්ච අත් උණුහුම් දර උඳුනෙන් රත් කරන ගමන් ජූලියා ක්‍රිස්තීනා එක්ක කතාව.

💚ආ... කොහොමද දැං පාවොලාට... 
💙කිසිම ගුණයක් නෑ ජූලියා... මගෙ හිතේ පිස්සං කොටු ගෙනියන්න වේවි.. 
අනේ දේව මෑණියනේ... කොහොම හිටිය කෙල්ලද... 

❤️ඔවු.... ඒත් මට හිතාගන්න බැරි.... 

උපදින්නත් කලින් බඩේදිම නැතිවුන දරුවෙක් ගැන අම්මෙකුට මේ තරම් හීන කන්දරාවක් දකින්න පුලුවනිද කියලා.... මීට අවුරුදු කීපෙකට උඩදි නැතිවෙලා ගියපු හීනයක් හිතේ දරාගෙන මෙහෙම බලාපොරොත්තු කඳු ගහන් උස්මහත් කරන්න පුලුවන්ද කියලා. 

මට හිතාගන්න බැරි ගෑනියෙක්ට මේ තරම් විඳවිල්ලක් දරන්න පුලුවන් ද කියලා. 

💚 ඒක තමා ක්‍රිස්තීනා ගෑනියෙක්ගෙ විදිය. විඳවීම, දරාගැනීම. මහපොළොවට වුනත් අම්මා කියන්නෙ ඒකයි තාත්තා නොකිය. ඒක තමා ස්වභාවධර්මයේ නියමය. 

නිමි.

©️ප්‍රභානී තෙන්නකෝන්. 

රිදෙන තැන් බලා රිද්දීම


රිදෙන තැන බලා රිද්දීම. 

අපි කවුරුත්ම සර්වසම්පූර්ණ නෑ. මේ අකුරු කොටන මම ත් ඒ අකුරු කියෝන ඔබත් අපි ඔක්කොම මේ එකම බෝට්ටුවේ. 
කලු- සුදු, උස-මිටි, මහත-කෙට්ටු, දුප්පත් පෝසත්, ඔය වගේ එකී මෙකී නොකී සෑහෙන්න දේවල් තීරණය වෙන්නෙ තව කෙනෙකුට සාපේක්ශව. සමහරු පුදුම තරම් උජාරුවෙන් කියවනව තමන් පෝසත් කියල , අපි නම් කන්නෙ මෙහෙම , අනේ ඕවත් කෑමද ? කොහොමද අනේ ඔයා බස් වල යන්නෙ ? මට නම් බෑ අඩියක් වත් වාහන නැතුව යන්න , ඔයාගෙ ඇඳුම හරි චීප් ලුකින්ග් අනේ , මම නම් ගන්නෙ අහවල් ශොප් එකෙන් , වගේ රිච් කතා ගොඩයි. ඒත් ඇත්තටම බැලුවොත් එයාලගෙ ජීවිත පෝසත් ද ?

දුප්පත් පෝසත් කියන එක සාපේක්ශයි. අපි මහ ලොකුවට පෝසත් කියල හිතන් ඉන්න කෙනෙක් බිල්ගේට්ස් වගේ කෙනෙක් ලඟ දූවිල්ලක් තරමයි. ඒ වගේම අපි දුප්පත් කියල හිතන කෙනෙක්ගෙ හදවත අපිට හිතන්නවත් බැරි තරම් පොහොසත් වෙන්නත් පුලුවන්. අනික අපි කවුරුත් ම දුප්පත් නෑ. අපි හැමෝම අපේ ලෝකයන් තුල පෝසත්. සල්ලි ගොඩක් උඩ අඬනවට වඩා සල්ලි ටිකක් ලඟ හිනාවෙන එක වටිනව. කන්න අඳින්න නැති බඩගින්න ඉවසගන්න බැරුව මැරිල යන දහසක් දෙනා ඉන්න ලෝකෙක ජීවත්වෙන අපිට අපේ පෝසත් කම් ගැන කතාකරන්න ඇත්තටම සදාචාරාත්මක අයිතියක් තියනවද ? 

තව කෙනෙක්ට රිදෙනව කියල දන්නවනම් අපි කරන්න ඕනෙ ඒ රිදෙන තැන පාරන එක නෙමෙයි ඒ රිදීමට සහනයක් වෙන්න බැරිනම් අඩුම එතනින් අයින් වෙලා පාඩුවෙ නොරිද්දා ඉන්න එක. ඒත් දකින්න අහන්න ලැබෙන්නෙම වැඩියම අර රිදෙන තැන උඩ නැගගෙන එතනම පාරන අයම තමයි. 

කෙනෙක් මූණට හම්බුනාම අම්මෝ ඔයාගෙ මහත කියනකොට ඒ මනුස්සය පත් වෙන මානසිකත්වය අපිට අමුතුවෙන් කියන්න ඕනෙ නැ. ඒත් ඒ මහතයි කියල දකින කෙනාම ඊට වඩා මහත් කෙනෙක් ලඟදි පේන්නෙ කෙට්ටුවට. අනික හැමදේටම හේතුවක් තියනව. මහත් වෙන්නත් මොකක්ම හරි හේතුවක් ඇති. අනිත් හැමදේටමත් ඒ වගේම තමයි. 

අනේ කලුවෙලා කියල කියනකොට පොඩ්ඩක් හිතන්න ඒ කලු වෙලා ඉන්න කෙනා ආසාවට අඟුරු ගාගෙන කලුවෙලා නෑනෙ. ඒකට ඒ මනුස්සයට සාධාරණ හේතුවක් ඇති. එහෙම කියනකොට ඒ කෙනාට කොච්චරක් දුක හිතෙනව ඇතිද. අනික ඔය කලුයි කීව කෙනා ඇෆ්‍රිකන් ජාතික කෙනෙක් ගාවදි කොච්චරක් පැහැපත්ද. අනිත් අතට කලු ජාතික කාන්තාවො මොනතරම් ඉන්නවද හිතාගන්න බැරිතරම් ලස්සන.  මේ හැමදේම සාපේශයි. 

අනේ මොකද අනේ මේ, කටු ටික විතරයිනෙ තියෙන්නෙ?  ඔහොම අහන අය ඕනෙ තරම්. හරි ඉතින් කටු ටික විතරයි කියල මැරෙන්නද ? බෑනෙ.  කෙට්ටු වෙන්න උදේ හවා දතකන මනුස්සයො ඉන්න ලෝකෙ කෙට්ටු වුනාම ඒකත් ප්‍රශ්නයක්. කවුද දන්නෙ ඒ කෙනාට මොකක්ම හරි අභ්‍යන්තර රෝගයක් නිසා එහෙම වෙලා තියනවද කියල. එහෙම තත්වයකදි අර මනුස්සය මොන තරම් මානසිකව වැටෙනවද. ? 

ඒවගේමයි මානව සම්භන්ධතා ත්. අනේ අරය වෙන් වෙලා නේද ? දැන් ඉන්නෙ අහවලා එක්ක නේද ? ඇයි ඒ ඩිවෝස් වෙලා තියෙන්නෙ ? ආ, ඒ මගුල කැඩිලද ?  බදින්නෙ හෙටයි කියල මගුල කැඩිලාලු, ඔහොම කතා ගොඩයි , කාගෙවත් සම්භන්ධතා වලින් කාටවත් වැඩක් තියනවද ? ඒ අය ඒ අයගෙ ජීවිත බලාගනීවි නේද ? වෙන් වෙන්නෙ ඒ අයට එකට ඉන්න බැරි නිසා , වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ ඒ කෙනා එයාට ගැළපෙන නිසා. එහෙම එකේ කතා කියන එක හරි මදි නේද ? 

ඔය වගේම තමයි කසාද නොබැඳපු අයගෙන් බඳින්නැද්ද අහන එකත් , ඒ වගේම බැන්ද අයගෙන් ළමයි නැද්ද අහන එකත්. ඒක ඒ අයගෙ පුද්ගලික කාරණාවක්. ඒ ගැන හාරාවුස්සන්නට අපිට තියන අයිතිය මොකද්ද?  හිතවත්කම ? සැබෑ හිතවත්කමක් තියේනම් එහෙම දේ අහනවද ? නෑ නේද, ? 

ඔය ඔක්කෝම වගේ තමා අනුන්ට චරිත සහතික දීමත්. අනේ අහවලා මෙහෙමයි කිකිය කියන මිනිස්සු. ඒ අය අනිත් අයට මඩ ගහන්න කලින් නොහිතන ප්‍රධානම දේ තමා තමන්ගෙ අතෙත් මඩ ගෑවෙන විත්තිය. ඒත් එහෙම අයට තමන් අසූචි නාගෙන හිටියත් වැඩක් නෑ. ඒක දැනෙන්නෙ නෑ. කරන්න තියන තරම් කුහක කම් කරනව. 

මේ වගේ දහසකුත් කතා වලට කටකාර කෙනෙක් නම් උත්තර දේවි. ඒත් එහෙම නොවන කෙනෙක්?? ඒ අය හිතින් දුක දරාගෙන ඉඳීවි. ඒ හන්දා ආයෙත් මේ වගේ දේ කියනකොට දෙපාරක් හිතන්න. තව කෙනෙක්ට නොරිද්දා ඉන්න උත්සාහ ගන්න. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 





පාවෙන හිතුවිළි

පාවෙන හිතුවිළි

ජීවතය කොහේ හෝ මගහැරී ඇති වගක් කියන්නේ ඇගේ ඇස් ය. සෙමින් දෙකොපුල් තෙත්කරන් පහලට ගලාබසින ගමන් ඒ කඳුළු කියන්නේ මේ සිටින්නේ ඈ නොවන වගය. නිදහසේ හඬන්නට අවැසි වගත්, 
ඒ ගලායන කඳුලු පිහින්නට ආදරණීය දෑතක් අවැසි වගත් කියන්නේ රත්ව දිළිහෙන දෙකොපුල් ය. වැටෙන්නට ඔන්න මෙන්න තිබෙනා කඳුලු කැට ඔහේ වැටෙන්නට හැර ඒ බරට උර දෙන්නට ආදරණීය උරතලයක් අවැසි බව කියන්නේ ඒ කදුළු බර උහුළනා ඇහිපියන් ය. 

හිත මත තෙරපෙනා දහසකුත් එකක් හිතුවිළි ඉකියකින් හෝ එලි දැමිය යුතු බව සියුම් ඉසියුම් නහර වැල් පවා කියන්නේ එකී නහරයන් මත දුක දරා ගලායන රුහිර ටය. තව දුරටත් දරාගැනීම අසීරු වගත්, සැනසීම දුර වගත් ඈ වෙතම පසක් කරන්නේ ඉඳ හිට රිදෙන පපුවය. එක් පැත්තක සිට තවත් පැත්තක් කරා දිවයන එකී වේදනාව සියුම් ඉඳිකටු තුඩු දහසක පහරවල් මෙන් ය. එය එතරම් වේදනාකාරීය. 

කවුලු හැර බැලූවද පෙනෙන්නේ තවත් එක් කවුලුවක්ම මිස නිල්ලක් නොවන වග බලාපොරොත්තු පිරි දෑස පවසන්නේය. එකී දෑස පවා නිල්ලක් දකිනු රිසින් පිපාසිතය. කාන්තාරයක් මැද ඔබ තනි වී නම් ඔබටද ක්ශේමභූමියක අගය වැටහෙනු ඇත. ඉමක් නොපෙනන වැලි තලාවක, මිරිඟුවක් හෝ මොහොතක සැපයක් දෙන වග ඒ දෑස් දන්නේය. එහෙත් මිරිඟුව දෑස් හැර ගිය පසුව ඒ කඳුළු බර දරන්නට වෙන්නේත් එකී දෑසටම බව ඒ දෑස් පසක්කොට සිටින්නීය. 

ජීවිතය වෙහෙසකාරී බවත්, බොහෝ සේ ඒකාකාරී බවත් දන්නේ බිත්ති හතර හා කඳුළු වැල් සලකුණු පිරි කොට්ටය පමණමය. ඉඳින් ඈට සරණක් අවැසි වග බිත්ති ලාම්පුව මත ඉන්නා මෙරුවෙකු වුවත් දන්නා වග ඈ දන්නීය. තනිව කියවීම වුව ඉතාමත්ම දුශ්කර වග ඈ පසක්කොට සිටිනීය. කිරි සිනාවක් දකින්නට පුරනා පෙරුම් එක් රළු වදනකින් ඈට අහිමි කරන්නට තරම් සමත් වග බිත්ති මට අඩ අඳුරේ නටන නපුරු සෙවනැළි දන්නේය.

ජීවිතය තවත් එක් නපුරු හීනයක්ව දැනෙන මොහොතක බදා වැළඳගන්නට ආදරණීය පපුතුරක් තියේ නම් එවන් පපුතුරක් මොනතරම් වටින්නේද යන්න ඈ දන්නීය. ප්‍රේමය නාමමාත්‍රික වූ ජීවිතයකට බලාපොරොත්තු මොනතරම් වටින්නේද යන්න දන්නේ එවන් හුදකලා සිතක් පමණමය. 

ඔයාට බෑ තනියම ප්ලේන් එකේ යන්න

👿ටිපී විත්ති,  නිවාඩුවක් කියන්නේ නිවාඩුවකට අම්මේ.. 👿

ටිපී මහතා මේ දිනවල ඉන්නේ තම එක පුංචන් කකුලක් ප්ලේන් තට්ට මත තබාගෙනය. එතුමා සිහිනෙන් කියවන්නේත් තමන්ගේ සිරිලංකා ගමන ගැන වන අතර තිස්සේම අහන්නේත් සඳුදාට තව දින කීයද කියාය. මේ වනවිට තත්වය උත්සන්නව ඇති අතර බොහෝ සේ කීකරු දරුවෙකුගේ චරිතය රඟමින් ටිපී මහතා තම මව කියනා ඕනෑම දෙයක් කරමින් සිටී. 

අද උදෑසන මව විසින් අණ කරන ලදුව එතුමා තමන්ගේ ලට්ට ලොට්ට එකතු කරන්නට වූ අතර එයින් කොටසක් එක ගොඩකට අඩුක් කරමින් සිටිනුද දක්නට ලැබිණි. ටික මොහොතකින්, "සුදු මහත්තයා සීය ගෙදර ගෙනියන බඩු ඔයාගෙ බෑග් එකට දාගන්න, ඔයාගෙ වීඩියෝ ගේම්, ටැබ් එක, ඒවයෙ චාජර් දාගන්න අම්මට ඕව මතක නෑ පස්සෙ " යනුවෙන් මව විසින් කියූ අතර, එකෙනෙහිම "ආ අම්මෙ මම ඒ ඔක්කොම දා ගත්තා, මේ ඔක්කොමත් දාගන්න ඕනෙ ඒත් ඉඩ නෑහ්හ් " යි එතුමා කීය. 

ඒ ලට්ට ලොට්ට ගොඩ දුටු මවට තරු පිට තරු පොකුරු පිටින් විසි වූ අතර , කලු කුහරයෙන් විසිවී වෙනම මණ්දාකිණියකට පවා ඇතුලු වනුත් ඈට දැණිනි.  ඇය ඉතාමත්ම කාරුණිකව පුංචන් හිස අතගාමින් එතුමාට ගෙන යා හැක්කේ කිලෝ 47 ක් පමණක් බවත්, මේ ලට්ට ලොට්ට කන්දරාව ගෙන යෑමට වෙනම ප්ලේන් එකක් අවශ්‍ය බවත් ඒවැන්නක් කිරීමට අප රාජකීය පවුලක් නොවනා බවත් , එසේ රාජකීය නොවුනත් මහා ප්‍රකෝටිපතියනුත් නොවන බවත් කියා දීමෙන් අනතුරුව එකී ලට්ට ලොට්ට තොගයෙන් සෑහෙන ප්‍රමාණයක් එතුමාගේ කැමැත්තෙනුත්, ඉතුරු හරිය මවගේ තනි කැමැත්තෙනුත් අහක් කරනා ලදී. අවසන බොහෝ වාද විවාද වලින් පසුව එතුමාගේ තනි නොතනියට උපන් දා සිටම ඉන්නා කොහේ යතත් යන , තුන් වරක් ලංකාවටද ගොස් පැමිණි, තවත් රට රටවල කරක් ගසා ඇති, පූෆ්ෆි හා බවුසන්ට පමණක් එතුමාගේ මල්ල තුළ ඉඩ ලබාදෙන්නට මව එකඟ වීමෙන් අනතුරුව යන්තම් අමතර ගෙවීම් නොකර කිලෝ 40 ක පමණ අඩුම කුඩුම මල්ලක් එතුමාට ලැබිණි. 

මොහොතකට පසුව , යලිත් මව විසින් , 

සුදු මැණික, කෝ ඔයාගෙ වකන්සා පොත් ( නිවාඩු කාලයේ කරන්නට දී ඇති පොත්) ඒ ටික දාගන්න සීය ගෙදර ගිහින් කරන්න" යි කී අතර, 

ඒ වනවිට කඩුවක් අමෝරාගෙන කණ්නාඩියට විරිත්තමින් සෝරෝගේ ඇඳුමකින් සැරසී කුඩා කබඩ්ඩුව මත සිටගෙන සිටි එතුමා , එකී කඩුවත් අමෝරාගෙනම කබඩ්ඩුවෙන් ඇඳටත් , ඇඳෙන් බිමටත් කරණම් දෙකක් ගසා මව අසලට විත්, 

" අම්මේ,  වකන්සා කියන්නෙ වකන්සා එකකට ( නිවාඩුවක් කියන්නෙ නිවාඩුවකට) ඒකට පොත් ඕන්නෑහ්හ්, අනික ලංකාව කියන්නෙ පොත් ඕන්නැති රටක්, එහෙ ගියාම තියෙන්නෙ ගස් බලන්න, සත්තු එක්ක කතා කරන්න, සෙල්ලම් කරන්න, එහෙට පොත් ඕන්නෑහ්හ්, " යි කියමින් සමයං පාන්නට වූ අතර, 

එකී සමයම නෑසූ කන්ව මව විසින් , 

" ආ එහෙමද ? එහෙනම් ඔයා මෙහෙ ඉදන් පපා එක්ක හෝම්වර්ක් කරන්න ප්ලීස්, මට තනියම යතෑකි. එයාපෝර්ට් එකේදි මාව හමුදාවෙන් අල්ලගත්තොත් මම ඉතින් හිරේට යනව. හෝම්වර්ක් නොකරන බබෙක් ඕන්නෑ මට. අම්මව හිරේට යවන්න කැමති නැත්තම් විතරක් මල්ලට පොත් ටික දාගන්න. මොකද ඉතින් හමුදාවක් එක්ක කතා කරල අම්මව බේරගන්නත් ඉගෙනගෙන ඉන්න එපෑ.." කී අතර, 

ඉන් ටික මොහොතකට පසුව , තනිවම කුටු කුටු ගාමින්ම එතුමා තමන්ගේ පොත් ටික මල්ලට දමනු ඈ දුටුවාය.  ඒ නුදුටුවා සේ සිටි මව වෙත ආ එතුමා , 

"එක්කො අම්මෙ මම පොත් ටිකත් අරන්ම එන්නම්, ඔයාට බෑ ප්ලේන් එකේ තනියම යන්න. " යි කීය. ඊට ඇගේ පිළිතුර හාද්දකින් එතුමාට ලැබිණි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 



පුටීන්ගේ සාර්ථකත්වය

පුටීන්ගේ සාර්ථකත්වය හා අපේ ගෙදර😈

සාමාන්‍යෙන් අපේ ගෙදර යුධ මුක්ත කලාපයක් වන අතර ඉඳහිට එහෙන් මෙහෙන් පොඩි පහේ රතිඤ්ඤාවක් නම් පුපුරන්නේය. එහෙත් එයින් මහ ලොකු විනාසයක් සිදු නොවන අතර, සද්දය පමණක් ඇහෙනා අතර ඉදහිට සද්ද දාගෙන එද්දීම එය පුස් වන බවත් කිව යුතුය. කොහොමත් වැඩි හරියක්ම ඒවා පුස්‍ ය. 

ටිපී විලා හි දෛනික කරුණු කාරණා අතර ප්‍රවෘත්ති බැලීම ප්‍රධාන ස්ථානයක තිබෙනා අතර ගෙදර බටු සාමාජිකයින් ( මව හා පුතා) කාටුන් බැලීමට රිමෝටය ඉල්ලුවද ගෘහමූලික හස්බන්ඩා මහතා එය අපට ලබා දෙන්නේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුවය.  එදිනද එවන් වෙලාවක නිවැසියේ සාමයෙන් සමඟියෙන් ප්‍රවෘත්ති බලමින් සිටියෝය. 

ටිකකික් තම හඬ අවදිකල හස්බන්ඩා මහතා තම බිරිඳ අමතා , 

🔸ඔයා දන්නවද පුටීන් ඇයි සාර්ථක කියල.? යි ඇසූ අතර, ඊට පිළුතුරු ලෙස මම 
🔹ඒ මනුස්සය කොන්ද කෙලින් තියන මනුස්සය , වැනෙන්නෙ නෑනෙ. හරි තීරණ , කෙලින් තීරණ , ආදී ලෙසින් බොහෝ කරුණු කියන්නට වීමි,  ඒ සියල්ල අසා සිටි එතුමා , 

🔸ඔයා ඔය කියන කෙහෙල්මල් නෙමේ අනේ , හරි සිම්පල් කාරණයක්. හොඳට හිතන්න, එයාට ගෙදරින්ම ලැබෙන සහයෝගය තමා ඉතින් , තව හිතන්නකො.. යි කීය. 
🔹 ඊට හේතුව හිටගෙන, වාඩිවී, ඔලුවෙන් හිටගෙන , පෙරළි පෙරළි ආදී ලෙසින් සිතා අවසන, ශුවර් එකට පුටීන් ගෙ වයිෆ් ට හොදට සල්ලි ඇති, ඒක තමා
බැක් සපෝට් එක ,යි කීමි. 

කට කොනකට හිනාවක් නගාගත් එතුමා 

🔸ඔය කෙහෙල්මල් කාරණා නෙමෙයි අනේ , ඒ මනුස්සයගෙ වයිෆ් ගොලුයි ලු, ඒකම ඇති ඒ මනුස්සයට නිදහසේ ඉන්න. කණමුල ඉදන් නාහෙන් අඬන්නයි , කුරු කුරු ගාන්නයි පොඩ්ඩ එහා මෙහේ උන ගමන් අඬන්නයි, කියවන්නයි කෙනෙක් ඒ මනුස්සයගෙ ජීවිතේ නෑනෙ. ඉතින් ඒ මනුස්සය ඔහොම චරිතයක් වෙන එකත් අහන්න දෙයක්ද? නිශදබ්ද බිරිඳක් තමා ලොකුම හයිය මනුස්සයෙක්ට. 

කීවේය. 

🔹කියන්නට සන්තෝසයි මිත්‍ර වරුනි, එතනින් එහාට ඒ කතන්දරේ විස්තර මෙතන කතා කරන්නට බැරිය. ටිපී විලා හි ගෘහමූලික මහතා වන හස්බන්ඩා මහතාට මේ ආත්මයේ සාර්ථක වන්නට බැරිය. ඊට හේතුව එතුමාගේ බිරිඳ ගොලු නැත. ඈට ඕනෑවටත් වඩා කතා කරන්නට හැකිය. ඇගේ පුතාට ඊටත් වඩා කතා කළ හැකිය.  ඉතින් ඒ නිවැසියන් මේ ආත්මයේ නම් සාර්ථක වන්නේ නැත. 😈😈😈😈





මවගෙන් ලද උරුම

ටිපී මහතාට තම මවගෙන් ලැබුන දායාද


ටිපී මහතා එහෙම්පිටින්ම තම පියාගේ පොටෝ කොපියක් වුවත් එතුමාට තම මවගෙන් ආ ප්‍රවේණි ලක්ශන ද ඇත්තේය. හැතැම්මක් දුර ඇති ගඳක් සුවඳක් තම සැටලයිට් නාසය යොදවා තක්කෙටම නිවැරදිව කීම එක් ලක්ශනයක් වන අතර, නානකාමර වල දිග පළල සෙවීමද තව එකකි. 

යන කර්තව්‍යය නවතා එහි ඇති පැල්ලම් සෙවීම, ටයිල් ගැනීම, සිහින මැවීම, ගීත යැයි සිතා කතා කීම, ආදී වූ නානාප්‍රකාර නානකාමර සමයං ටිපී නිවසේ සුළබ අතර, සුළු පැල්ලමක් හෝ , ලාවට තෙතක් හෝ සහිත තුවා ප්‍රතික්ෂේප කිරීමේ තුවා නාඩගමද එකී නිවැසියෝ මේ වනවිට දැහැමින් සෙමෙන් ඉවසන්නට යෙදෙති. ඒ වෙන කිසිවක් නිසා නොව , මවගේ එවන් සමයං බේරීමට පුතාද , පුතාගේ සමයං සාධාරණීකරණය කිරීමට මවද කඩු පොලු උස්සාගෙන පෙරට එන ගති ලක්ශනය නිසාය. ඒවා එහෙමය. 

ඒ නිවසේ කැරට් කියන්නේ , අමුවෙන් කන , හෝ බොන දෙයක් මිසක උයන දෙයක් නොවන අතර මවගේ පාරේ යන පුතාද කරන්නෙ කැරට් අමුවෙන් කන එකය. ඉතින් ඒ නිවසේ කැරට් උයන්නේ නැත. 

තම මවගෙන් පැමිණි උරුම අතර ඕනෑම කෑමක් සුළු අප්පිරියයා සහගත තත්වයක් යටතේ ආපසු දැමීමේ අසහාය හැකියාවක්ද ටිපී මහතා සතුය. මෙලෙස වමනෙ දැමීමට කුඩා කැස්සක්, සුළු ගඳක්, ඇඬීමක්, ප්‍රමාණවත් වන අතර
බැණුමක් ආතතියක් යනු  වරුවක වමනෙ දැමීමක් වේ. 

එලෙසම, 

ඊගාව මොහොතේ කණ පිරෙන්නට බැනුම් ලැබේය යන තත්වයක් මත එසේ බැනුම් ලැබීමට පෙර මහා හයියෙන් ඇඬීමේ අපූරු දස්කමක්ද ඒ දෙන්නා සතුය. එසේ අඬනා විට මවගේ මුවින් නම්, මම යනව තාත්තා ගාවට මං කියනව තාත්තාට කියනව කියනවමයි, වැනි වැකිද, පුතුගෙන්, අපි යං අම්මෙ සීයා ගෙදර , අපි කියමු සීයට වැනි වැකිද පිටවන අතර ඔය කියන සීයාට ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ඒවා නොකියන බවත් කිව යුතුය. 

තවත් උරුම ලක්ශනයක් ලෙස හපාකෑම දැක්විය හැකි අතර මෙය කිසිසේත්ම දරුණු ඝණයට නොවැටේ. ටිපී මහතාගේ පියා නිදා සිටින අවස්ථාවල ඇහි පිල්ලම් උස්සා එතුමා නිදිදැයි බැලීම, නිදිනම් ඇඟ පුරා බලි ඇඳීම, ආදී එකී මෙකී නොකී සමයං මව හා පුතු විසින් සමගියෙන් සහයෝගෙන්, නිවසේ සිදුකරන අතර මේවා පුතුගේ ආගමනයට පෙර සිටිම මව විසින් කරනු ලබන කටයුතු බැවින් එතුමා මේ වනවිට ඒවාට පදම් වී ඇත. 

තවත් බොහෝ එවන් උරුම ගති ඇති අතර ඒවා පසුවය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 





පුතෙක් නම් නුඹ වැනිම විය යුතුය

මෙවන් පුතෙක් මටනම් ලෝකයක්.. 
➖➖➖➖➖➖➖➖➖➖➖➖

සාමාන්‍යයෙන් මම බොහෝ සංවේදී චරිතයක් මි. හිතට සමීපතමයෙකුගේ එකම එක කුඩා වචනයක්  පැය ගානක් මාව අඬවන්නට සමත් වන තරම් සංවේදී චරිතයක් මි. 

ගෙවුන සෙනසුරාදා රාත්‍රියේ අසනීප තත්වයක් මත රෝහලට යා යුතු වග මම සැමියාට කියද්දි ඔහු කීවේ හෙට වන තුරු බලමු, උදේම යමු කියාය. එය කනකට නොගත් මම මට මේ දැං යන්න ඕනෙ කියමින් අඬා වැටෙන්නට වූ අතර ඉනුත් නොනැවතී හිතවතියකට දුරකතනයෙන් අමතා මට හොස්පිට්ල් යන්න ඕනෙ අක්කේ කීමි. එවිට වේලාව රාත්‍රී 11 පමණ වූ අතර, ඇය හරි රත්තරනේ, මේ දැං එනවා ඉන්න පොඩ්ඩක් කීවාය. 

ඇයත් ඇගේ ඉතාලි ජාතික සැමියාත් මග එන වග මම මගේ සැමියාට කියූ විට ඔහු මට කීවේ, මොන මගුලක් කරනවද? දැං සුමි අක්ක මට බනියි පලු යන්න මෙතන. යන්නම ඕනෙ කීවනම් මම එක්ක යනවනෙ රෙද්ද කියා පමණකිය. ඒ වචන කීපය හමුවේ ඔහුව මහ හඬින් හඬා වැටුන මාව ඔහු විසින්ම යලි සන්සුන් කල අතර පුතු නොසන්සුන් වග පෙනෙන්නට තිබිණි. 

මා හඬමින්ම යන්නට සූදානම් වූ අතර , පුතු විසින් තම පියාව කුස්සියට එක්ක යනුද පෙනිනි. 

ඉන්පසුව අප රෝහලට පිටත් වූ අතර මේ ඒ යන අතරවාරයේදී සැමියා විසින් අපට කියූවකි. 

කුස්සියට ගොස් පුතු විසින් තම පියාට ඉතාලියෙන් කරන ලද දෝශාරෝපනයක සිංහල පරිවර්තනය වේ. 

ඔයාට වටින්නෙ නෑ අප්පච්චී අම්මට එහෙම කරන්න. කොටින්ම ඔයාට කිසිම අයිතියක් නෑ අම්මව අඬවන්න. එයා ඉන්නෙ අමාරුවෙන්. එයා අඬනව. එහෙම අඬනව දැක දැක ඔයාට එහෙම නපුරු වෙන්න බෑ. ඔයා පිරිමියෙක්, ඔයා දැනගන්න ඕනෙ ගෑනු කෙනෙක්ට වැදගත් වෙන්න. ඒ ඔයාගෙ බිරිඳ, වෙන කෙනෙක් නෙමෙයි. ඔයා ලැජ්ජ වෙන්න ඔයාගෙ බිරිඳව ඔයා විහින් අඬවපු එකට.. ඔයා සමාව ගන්න ඕනෙ එයාගෙන්. මේ දැන්ම.. 💜

මේ ඉහත කතාව තම පියාට කීවේ අවු. 7 ක දරුවෙකු විසිනි. ඒ කියූ සියල්ල අකුරක් නෑර සත්‍ය වන අතර එකී සියල්ල කණින් ඇසූ අයෙක්ද මේ ගිණුමේ ඇත. 

🌹 පුතේ , ඔබ කවදා විවාහ වේදැයි මම නොදන්නෙමි. කුමන රටක , කුමන ජාතියක , කුමන විදියක කාන්තාවක් හා විවාහ වේදැයි හෝ නොදන්නෙමි. එහෙත්, ඒ කාන්තාව ඔබව ලබන්නට මෙලොව ඉන්නා වාසනාවන්තම කාන්තාවන්ගෙන් කෙනෙකු වනු ඇති වන නම් මට සහතිකය.. 

පුතෙක් නම් ඔබ වැනිම විය යුතුය.. 😘



හස්බන්ඩා මහතාගේ සප්‍රයිස්

හස්බන්ඩා මහතාගේ සප්‍රයිස්😈
➖➖➖➖➖➖➖➖➖➖➖➖


ඒ 2008 වර්ශය විය. හස්බන්ඩා මහතා හා මම අපේ විවාහ මංගලෝත්සවයෙන් පසුව අපේ ගෙදර ගිහින් එන්නට ගිය කල , එතුමා මාව සර්ප්‍රායිස් කරන්නට සිතා දින කීපයක් නුවරඑළියෙ නවතින්නට අදහස් කොට හෝටල්ද බුක් කොට තිබිණි. අපේ ගෙදර ඉඳන් පැයෙන් යන්නට පුලුවන් දුරක හෝටලේක නැවතීම මට මහ ලොකු සප්‍රයිස් එකක් නොවුනත් ඒ දින කීපය පුරාවටම එතුමා කල කී දෑ මට ලොකුම ලොකු සප්‍රයිස් එකක් දෙන්නට සමත් විය.

එකී දින කීපයෙන් පළමු දින එතුමා බුක් කර තිබුනේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය විය. අපි ඉතින් ඔය නුවරඑළියේ සිරි බලා අහවරව හෝටලේට ගොස් විවේකීව සිටියෙමු. රාත්‍රී භෝජනයට පෙර එතුමා නුවරඑළියෙන්ම ගත් කුමක්දෝ වර්ගයක ( මා එහි නම දන්නේ නැත. එකල එය මතක තිබූවත් දැන් එය මතකත් නැත) රහමෙරක රස බැලූ අතර, මේක වදින එකක් නෙමේ වගේ කියමින් පාරම්බාන්නටද විය.

මා එකල දන්නා රහමෙරක් නැත.අපේ තාත්තා පස් පවින් තොර හෙයින් ඕවා අපේ ගෙදර තිබුනේ නැත. මට සිටියේ අයියලා දෙන්නෙක් වුවත් ඒ දෙන්නා ඕවා යන්තන් පාවිච්චි කලත් ගෙදර එන්නේ පාර අයිනේ පේර ගහේ දළු පමණක් නොව කොල පොතු මුල් පවා කෑමෙන් පසුවය. නැත්නම් හැක්ස් ටොපී පැකට් ගනන් කෑමෙන් පසුවය. එනිසා මා දන්නා රහමෙරක් නැති අතර එතුමා කියන වැදිල්ල ගැන කොහෙත්ම දැනීමක් මට තිබුනේ නැත. 

එතුමා කියන්නට යෙදුන වැදිල්ල රාත්‍රී භෝජනය වන තුරුම වැදී නොතිබූ අතර අපි දෙයියනේ කියා කෑම එහෙම කා යලිත් කාමරයට ආවෙමු. එහෙත් ගිය පුද්ගලයා නොව ඊට ටිකක් වෙනස් පුද්ගලයෙක් ආපසු පැමිණි වග පෙනෙන්නට තිබූ අතර මොහොතින් මොහොතම එකී ගති ලක්ශන වැඩි වන්නට විය. එතුමා පිස්සු දොඩවමින් ස්වල්ප වේලාවක් සිට එහෙම්මම ඇඳ බදා ගොරවන්නට වූ අතර කොතෙක් කීවද දත් මදින්නට , ඇඟ හෝදන්නට තබා ඇඳුම් වත් මාරු නොකොටම කොස් , බුරුත, නැදුන්, බර අරටු ඉරන්නට විය. 

මෙහෙම දර්ශනයක් මින් පෙර දැක නොතිබු මම බය බිරාන්තව, දොර ජනෙල් වසා එතුමාව ඇඳේ අයිනටම තල්ලු කොට මැදින් කොට්ටයක්ද තබා ඇඟේ වත් නොගෑවෙන සේ නිදාගත්තෙමි. පසුදා නැගිට්ට පසුත් තත්වය සාමාන්‍ය නොවූ අතර, එතුමා නැගිටින පාටක්ද නොතිබිණි. 
එදින රැයද එකී හෝටලේම ඉන්නට වෙන පාටක් පේන්නට තිබුනෙන් මම රිසෙප්ශන් එක අමතා එසේ පුලුවන් දැයි ඇසූ කල, ඔවුන්ගේ පිළිතුර සුභදායී විය. ( එසේ නොවුනානම් තත්වය තවත් සර්ප්‍රායීඊඊඊස් වෙන්නට ඉඩ තිබුනි) 

හස්බන්ඩා මහතා දෙයියනේ කියා පට්ට පාන්දර උදේ 11 ට විතර නැගිට්ට අතර, එවෙලේ තම අලුත ගෙනා මනමාලියගේ වාජ් ප්‍රහාර හමුවේ මහත් සේ සප්‍රයිස් වී තවත් ටිකක් නිදාගත්තනම් හරි අප්පා පට්ට ඔලුවෙ කැක්කුමක් නෙ යි ඉතා අසරණ ලීලාවෙන් කීය. කොහේ යතත් මගේ නයි මල්ලේ තියෙන පැනඩෝල් කාර්ඩ් එකට පිං සිද්ධ වෙන්නට එතුමාගේ ඔලුවෙ කැක්කුම යාංතම් සුව වූ අතර, එදින දිවා ආහාරය පවා හෝටල් කාමරයටම ගෙන්නා ගන්නට තරමටම එතුමාගේ ඔල්මොරොන්දන් ගතිය ප්‍රභල විය. 

පෙර වැදෙන්නේ නෑය කියමින් පාරම් බෑ රහමෙරෙහි වැදිල්ල එතුමාට තැපැල් මාර්ගෙන් වැදී තිබුන අතර , යලිත් මියෙන තුරා ඒ වර්ගය නම් කටේ නොතියමි කියමින් පොරොන්දු ප්‍රකාර දෙන්නටද විය. 

එතුමා බොහෝ බැගෑපත් ලීලාවෙන් ඔයා ගෙදරට එහෙම කීවේ නෑ නේද ? යි ඇසූ අතර , පැයක දුරින් මගේ මහගෙදර තියෙනා වග මගෙ ඔලුවට ආවේද එවිටය. ශිට්ට් අපරාදෙ රෑ කෝල් කරල තාත්තට එන්න කියන්න තිබ්බෙ කියමින් වීර කතා කියා තවත් එතුමාව අපහසුතාවට පත් කල මම, ඊට සෑහෙන කාලෙකට පසුව සිනාමුසුව ඒ ගැන කියනා තුරුම ගෙදර ඇත්තන්ට එය නොකියන්නට වග බලා ගත්තෙමි. 

එතුමාගේ පළමු හෝටලේ සප්‍රයිස් එක එහෙම වූ අතර ඊගාවට ගියේ රම්බොඩ ෆෝල්ස් හෝටලයටය.. 

දෙයියනේ කියා එහිදීද ලැබුනේ මියෙන තුරු අමතක නොවන සප්‍රයිස් එකක් වූ අතර එය ඊගාව කොටසිනි.. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 


හස්බන්ඩා මහතාගේ සප්‍රයිස් 02 😈 
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

කලින්දා වැදිල්ල හේතුවෙන් ඔල්මොරොන්දන් ගති‍යෙන් පසුවූ හස්බන්ඩා මහතා පහුවදාත් දෙයියනේ කියා වැටුන වැටුන අතට දොයියබබා වූ අතර තුන් වන දින වනවිට එතුමා සාමාන්‍ය තත්වයට පත්වී සිටියේය. එනිසා එදින උදෑසන අදාල බිල හෝටලයට ගෙවා අප පිටත් වූ අතර දවස් කාලයේ හෝට්න්ප්ලේස් එහෙම බලාගෙන හවස් යාමයේ රම්බොඩ ෆෝල්ස් හෝටලට පැමිණියෙමු. 

රම්බොඩ ඇල්ල පැත්තකින් පේන ලෙස යෙදූ ජනෙල් හා බැල්කනියකින් සමන්විත වූ එකී හෝටල් කාමරය ඉතා මනස්කාන්ත විය. බැල්කනියට ගිය කල පේනා දසුන් ද ඉතා මනරම් විය. පෙර දවස් දෙකෙන්  උගත් පාඩම් ඇසුරෙන් හස්බන්ඩා මහතා නොදන්නා මළ කෙහෙල්මල් වල රස බලන්නට නොගිය අතර දන්නා ජැක් ඩැනියල් වීදුරුවක රස බලා ඉන් අනතුරුව රාත්‍රී බෝජනයද ගෙන මද වේලාවක් කතා කරමින් හෝටලේ සිරි නරඹමින් ඉතාමත්ම හොඳ සහකරුවෙකු සේ කලින් කපාගත් ලකුණු ඕසෙට රැස් කරමින් සිටියේය. 

යලිත් හෝටල් කාමරයට එන්නට පිටත් වූ අපට රිසෙප්ශන්  එකේ සිටි ලස්සන තරුණ මහතා , සර් මතක ඇතුවම බැල්කනි එකේ දොර වහගන්න නිදාගද්දි " කීය. එතුමාට කට පුරා හිනාවී කාමරයට පැමිණි අපි දියඇල්ලේ සද්දේ අසමින් ලයිට් එලි වලින් අලංකෘත වටපිටාවේ සිරි බලමින් සිට නිදන්නට සැරසුන අතර, මට කලින් නින්ද ගියොත් ඔයා මතක් කරලම බැල්කනියෙ දොර වහන්න යි මම හස්බන්ඩා මහතා අමතා කීප වරක්ම කීමි. 

මට නින්ද ගියේ කොයිවෙලේද කියා නිච්චියක් මට නොවූ අතර පහුදා කුරුලු සද්ද හා නානාප්‍රකාර සද්ද බද්ද ඇසී ඇහැරියෙමි. 

යාන්තමට ඇස් ඇර බැලූ මට එකවරම දිස් වූයේ කාමරයේ සිවිලිමේ සිට පහලට එල්ලි තිබූ විදුලි ලාම්පුවේ එල්ලෙමින් මා වෙත දත් තිස් දෙකම පෙන්නා විරිත්තාගෙන සිටින රිළා මහතෙකි. දකින්නේ සිහිනයකැයි සිතමින් ඇස් පිස දමා යලි ඇස් ඇර වට පිට බලද්දී , තව රිළා මහතෙක් කණ්නාඩි මේසය උඩද , රිළා නෝනලා හා මහත්තුරු කීප දෙනෙක්ම බැල්කනියේද, එක් තරුණ පහේ රිළා මහතෙක් හස්බන්ඩා මහතා විසින් ඇර දමා තිබූ බැල්කනි දොර මතද සිටිනු දකින්නට පුලුවන් වූ අතර , එක් රිළා මවුතුමියක් ඒ අස්සේ තම පැටවාට බැල්කනි ගැට්ට මත සිට කිරි දෙනුත් පෙනෙන්නෙට තිබිණි. 

අනපේක්ෂිත අමුත්තන්ගේ ආගමනයෙන් ඔල්මොරොන්දන් වී ගිය මනසින් යුතු මම සිහි එලවා ගත නොහී නැගූ සද්දයෙන් හස්බන්ඩා මහතා උඩ ගොස් බිම වැටුන අතර , එකී සද්දයේ තරම මත විනාඩියක් යන්නට පෙර හෝටලේ මැනේජර් මහතා ඇතුලු සේවක පිරිසක් ද දොරට තඩිබාන්නටද විය. පොරවාගෙන සිටි රෙද්ද තුලටම මම ගුලි වෙද්දී හස්බන්ඩා මහතා හනික ඇඳෙන් බැස දොර විවෘත කල අතර , කාමරයට කඩා වැදි හෝටල් සේවක මහත්තුරු පිරිස මගේ කෑගැහිල්ලට හේතුව දුටුවෙන් එලී රිළා පිරිස පන්නා දමන්නට කටයුතු කලෝය.
ආය නම් සර් නිකමට වත් දොර ඇරල තියන්න එපා ඔහොම වෙලාවට. කියා මැනේජර් මහතා කියා නික්මුනු අතර සේවක මහත්තුරු ද ඔහු අනුගමනය කලෝය. 

රිළා මහත්තුරු බැල්කනි දොරෙනුත්, සේවක මහත්තුරු කාමරේ දොරෙනුත් පිටව ගිය පසු ඇඳ රෙද්ද පසෙකට දමා නැගී සිටි මම කී ගමනක් කීවද අර ඉලවු දොර වහන්න කියල, මොන ලෝකෙද අනේ හිටියෙ, කියමින් වාග් ප්‍රහාර එල්ල කරන්නට වූ අතර , ඒ කිසිවක්ම නෑසූ කන්ව සිටි හස්බන්ඩා මහතා අර රිළා පැටියා මාර ලස්සනයි නේදැයි ඇසීය. කටට ආ වචන ගිලගත් මම රිළා මහත්තුරු තම ඇඹේනියන්ට දීමට මගේ ලට්ට ලොට්ට ගෙන ගොස් ඇතිදැයි සොයා බලන්නට වීමි. කිසිවක් නැති නොවී තිබීමම යහපතක් වූ අතර ඒ සර්ප්‍රායීඊඊඊස්  එක එසේ නිමා විය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 




නින්ද මම හා අකරතැබ්බ 02

💜නින්ද මම හා අකරතැබ්බ 02

♦️එදා ලීවේ 2008 දී සිදුවූ අකරතැබ්බයක්ය. මේ ඊට පසුව සිදුවූවකි. 

🔸සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට මහන්සිය නිවා ගන්නට කියාපුම දෙය මද රස්නෙ වතුරෙන් ඇඟ පත සෝදාගැනීමය. ඉතින් මටත් ඒක එහෙම්මමය. අපේ ගෙදර තිබෙන්නේ තට්ටු නිවාස සංකීර්ණයක පස්වෙනි තට්ටුවේය. ඉතින් අපිට මිදුල් එහෙම නැතිය. හැබැයි බැල්කනියක් තිබේය, ඒ අපට ඇතිය. එය තියෙන්නේ කුස්සියට යාබදව වන අතර, නාන කාමරේ ජනේලය ඇරෙන්නේද එකී බැල්කනියටමය. 


ග්‍රීශ්ම ඍතුව කියන්නේ අපේ ගෙදර ඇත්තෝ වතුරේම දඟලන කාලයක් වන නමුත් මටත් පුතාටත් ඕක ශීත කාලෙට පවා වලංගුය. එහෙත් මේක උනේ ග්‍රීශ්ම ඍතුවේ සුන්දර පැහැබර රාත්‍රියකය. රාත්‍රියක් කීවාට රාත්‍රී 9 ට, 10 ට වගේය. 

මම නානකාමරයට ගියේ නාගන්නය. ටබ් එකත් පුරවාගෙන ඒකට බැස්ස මම ලාවට සිංදුවකුත් මටම ඇහෙන්නට කියමින් උන්නෙමි. හීන මවන්නට කියාපුම තැන එතැනය. ලියන්නට එක එක සමයං ඔළුවට එන්නේත් එතැනදීමය. ඉතින් මම මගේ මනෝලෝකයට වී නිදහසේ එකි කරක් ගසමින් උන්නෙමි. එහෙත් මට එහෙම ඉන්නට මහ වෙලාවක් ඉඩ ලැබුනේ නැත. 

🔹එක පාරම උඩ ගොස් බිම වැටුනේ බැල්කනියේ සිට කවුරුන් හෝ ජනේලය බිඳින්නට ඩාං ඩෝං ගාමින් තඩිබානා හඬටය. යන්තම් සිහි එළවාගත් මම මොකද අනේ ජනේලෙට ගහන්නේ යැයි ඇසූ අතර , ඔයාට අවුලක් නෑ නේද , මොකද මෙච්චර වෙලා, ආදී ලෙසින් එලියෙන් පිළිතුරු ලැබුන අතර , ආ මම මේ නානව ඉන්න විනාඩියෙන් එන්නං , ජනේලෙන් නෙමේ අනේ බාතෲම් එකට එන්නෙ දොරෙං දොරෙං.. කියමින් බාගෙට නාගෙනම තුවායත් දවටාගෙන දොර ඇරියෙමි. 

😈යක්සාරූඩෙන් සිටි හස්බන්ඩා මහතා , පැය තුනක් මොන මගුලක් කරාද මේක අස්සෙ , කන් ඇහුන්නැද්ද? කොච්චරක් කතා කරාද? කී පාරක් නං දොරට ගැහුවද , බැරිතැන ජනේලෙ කඩන්න ලෑස්ති වුනේ මං , කියමින් බැන වදින්නට වූ අතර , 

ඒ කිසිවක්ම නෑසූ කන්ව බොහෝම අසරණ ලීලාවෙන්, 

🌹ටබ් එක අස්සෙ පෝඩ්ඩක් නින්ද ගියා ඒයි, ඕකට ඔච්චර කෑ ගහන්නෙ මොකටද? මගුළ, ඔයාට නින්ද යන්නෙ නැද්ද ? 😴

යි පෙරළා එතුමාගෙන් ප්‍රශ්න කල අතර , ඊට මට ලැබුන පිළිතුර මෙතැන කොටන්නට බැරිය. 👿👿

දෙයියනේ කියා මම ටබ් එක අස්සේ රාත්‍රී 9 සිට මධ්‍යම රාත්‍රී 12 ත් පහුවෙනතෙක්ම සෝයි එකට දොයිය බබෙක් වී සිට ඇත. ඕකෙන් ඉතින් නින්ද යන්න ඇත්තේ පැය 2 ක් වැනි සුලුම සුලු කාලයක් වන්නත් ඇතිය. ඒත් ඉතින් මම බාතෲම් එක අස්සේ අන්ඬක් කඩාගෙන සිහි නැතුව ගොස් හෝ , පරළොව ගොස් හෝ ඇතැයි සිතා හස්බන්ඩා මහතා  තව ඩිංගෙන් ජනේලෙත් කඩනවාය. 😬

මගේ ඒ පොඩි නින්ද එහෙමය. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 



නින්ද මම හා අකරතැබ්බ

නින්ද, මම , හා අකරතැබ්බ 
➖➖➖➖➖➖➖➖➖➖➖


චුච්චං බච්චං කාලෙ ඉදන්ම අනවශ්‍ය වෙලාවලට යන නින්ද මට කරපු අකරතැබ්බ බෝමය.. 

ඒ පුංචං ඇඹිටිල්ලියක සමයේදී වරක් අයියලා දෙන්නා මාව රෙදි ගොඩක් අස්සේ හංගා හොයනා තුරු එලියට එන්න එපැයි කියමින් හැංගිමුත්තන් කලෝය. ඒ සමයං දෙක මාව මගහරිනු වස් එසේ කල බැවු මම නොදැන සිටියෙන් හොයනා තෙක් සද්ද බද්ද වසා රෙදි ගොඩේ හැංගී සිටියදී මට නින්ද ගොස් ඇත.  පසුව මාව සොයා නැති තැන අම්මා පරළ වී කෑ කෝ ගසා පොලීසිය කැඳවන්නට සිතද්දී ඒ හොල්මන් දෙකට මාව හැංගූ තැන සිහිව සොයා ගන්නා තෙක්ම මම එතැන සෝයි එකට නිදිය. 

ඒ එකය , ඊගාවට ඔය ඉස්කෝලෙ එහෙම ඇරී ගෙදර ආවාට පසු හවස් යාමයේ යන නින්ද මට කල අකරතැබ්බ බොහෝය. 

හවස 6 ට පමණ අපේ අයියලා ජෝඩුව , 
නැගිටිනවාහ්හ්හ් ඉස්කෝලෙ යන්නැද්ද ? පරක්කු වෙනව මෝඩියේ, අම්මට යක්සය එන්න කලින් නැගිටිනවාහ්හ්හ්හ් අන්න මං ගවුම මැද්දා, බෑග් එකත් හැදුවා.. නැගිටිනාවාහ්හ්හ් ගගා දෙන බෙරිහන් දිවිල්ල හේතුවෙන් , ආත භූත නැතුව ඇහැරෙන මම සැබැවින්ම සිතන්නේ මේ උදේ කියාය. විගහට මූණ කට සෝදා සුදු ගවුම ඇඳ බෑග් එකත් පිටේ එල්ලා ගනිද්දී තාත්තා හවස වැඩ ඇරී ආ දවස් බොහෝය. අනෙ මගෙ කෙල්ලව අදත් රවට්ටලා කියමින් තාත්තා මා අස්වසනා අතර අතට අසුවන ඕනෑම දෙයකින් පහර දෙමින් හපා කමින් , හූරමින් , කෑ කෝ ගසමින් අයියලාගෙන් පළි ගන්නේ මා නොව මගේ යක්සයාය. 

ඒවා චුච්චං බච්චං කාලේ ඒවාය. 

මේ කසාදත් බැන්ද පසුය.. 

ඒ 2008 අවුරුද්ද විය යුතුය. යුද්ධය උපරිම අවස්තාවේ තිබූ අතර වැලිවේරියේ බෝම්බය පුපුරා ගොස් ටික කලකට පසුය. මට සහළවා උන අරන් තිබූ අතර, හස්බන්ඩා ඕඩිකොලොන් දමා , උම්මා වරුසා දිදී, කිරිහොදි , ඉඳිආප්ප හදා කවනු වෙනුවට, ලෑස්ති වෙනව බෙහෙත් ගන්න යං , මගෙ යාලුවෙක් ඉන්නව මේ ලඟ, උගෙන් ගත්තැකි, මට ජිම් යන්නත් ඕනෙ ( එතුමා මා මෙන් නොව තම සරීර සෞඛ්‍ය ගැන ඕනෑවටත් වඩා වෙහෙසෙන උතුමෙක් වන අතර වැකේශන් මාසෙත් ලඟ පාත ජිම් එහෙකට බඩගායි) කියමින් බලහත්කාරෙන් මාව කුදලාගෙන වාහනේ අස්සට ඔබාගෙන බෙහෙත් නං බොන්නෑ නෑ නෑමයි කියමින් මා නගනා කිසිම විලාපයක් කනකට නොගෙන , එකී ෆ්‍රෙන්ඩාගෙන් බෙහෙත් අරන් දී උගේ ඉස්සරහාම පළමු බෙහෙත් වඩිය බලෙන්ම පොවන්නට තරම් කාරුණික විය. ඉන් පසුව, ගෙදර ගිහිං දාන්නද නැත්තං මා එක්කෙ ජිම් එකට ගිහිං එතන ඉන්නවදැයි ඇසූයෙන්, එකී නිවසේ ඉන්නවාට වඩා අතරමග සැප හෙයින් දෙවනි ඔප්ශන් එක මම තෝරාගතිමි. 

එහෙත් ජිම් එක ආසන්නයේදී , ඒ මට බෑ ඕකෙ අස්සට එන්න. මං කාර් එකේ ඉන්නං කීයෙන් එතුමා මාව එහිම තබා වැඩි හොඳට ඒ සී එකත් ලාවට දමා දී ජිම් එක කරා නික්ම ගිය අතර, මම යස සැපට සීට් එක පස්ස්ට කරගෙන නිදාගත්තෙමි. ස්ථානය වැලිවේරියේ ශෙහාන් මිහිරංගගේ ගෙවල් ආසන්න මහ පාර අයිනේය. 

යසට සැප නින්දේ සිටි මට යාන්තමට හීනෙන් වගේ පොලීසියට වත් කියන්න වෙයි නේද , මැරිලද දන්නෑ , මරලද කොහෙද ? වගේ කතන්දර ඇසෙන්නට වූයෙන් මම යාන්තමට ඇස් ඇර බැලූයෙමි. කාර් එක වටේ විස්සක් විතර කට්ටියක් එක් වී සිටි අතර, එය හීනයක් විය යුතුය යැයි සිතා මම යලිත් ඇස් පියාගත් අතර, නෑ නෑ මැරිලා නෑ කියූ කතාවක් ඇසුනෙන් මෙය හීනයක් නොවන වග සපථ කරගත් මම දෑස් හැර බැලීමි. 

කාරයේ වීදුරුවට ගැහැණු කෙනෙක් තට්ටුවක් දැමූ අතර මම දෑස් පිසදා නැගිට වීදුරුව හැර , ඇයි කරදරයක් ද ? කවුද මැරිල තියෙන්නෙ ? යි ඇසීමි. 

අනේ නෑ මිස්, අපි හිතුවෙ මිස්ට කරදයරයක් වත් වෙලා කියල, දැං ගොඩක් වෙලානෙ මෙතන. කතා කරා කරා ඇහුනෙත් නෑනෙ. කාලෙත් හොඳනෑනෙ මිස් ඉතින් , 

යැයි එකී කාන්තාව පිළිතුර ලෙස මට දුන් අතර මළ පෙරේතයෙක් මෙන් නිදාසිටි මගේ මළගම මේ මිනිසුන් ප්ලෑන් කර ඇති වග තේරුම් ගිය මට දෙළොව සිහිවිය. 

යාන්තම් සිහි එළවාගත් මම, 
අනේ නෑ මම මේ උණ හැදිල බෙහෙත් බීල හිටියෙ. මහත්තයා අර අතන ජිම් එකට ගියා එනකල් හිටියෙ මම , ඒ අතර ලාවට නින්ද ගිහින් , කී අතර, 

ඒක මරු ලා නින්ද බං , යැයි එක කොල්ලෙක් තව කොල්ලෙකුට කියනු ද ඇසිනි. 

අනේ මිස් අපි හිතුවෙ කරදරයක් ද කියලා. මිස් කැමති නං මහත්තයා එනකල් අපේ ගෙදර ඉන්න , කියමින් ඒ පෙර කී කාන්තාව මා වෙත කාරුණික වූ අතර , ඈත එන හස්බන්ඩා මහතා දුටු මම අනේ ස්තූතියි හස්බන්ඩ් එනවා යි කීමි. 

සිදුවූ අති කුජීත සිදුවීම හේතුවෙන් අදටත් ලංකාවට ගිය පසු එතැන පහු කරද්දී ඔලුව කෙලින් තබාගෙනම එතැනින් මාරු වෙන අතර, දැන් ඒ මිනිසුන්ට ඒවෑ මතකයක් නැති වග මතක් වෙන්නේ එතැන පසුවූ පසුවය.. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 




අම්මලා වෙන්න ඉන්න අයට

හෙට අනිද්දාට දරු සුරතල් බලන්න ඉන්න අම්මලාට. 
**********************************************

ඕනිම අම්මෙකුගේ ප්‍රධානම හීනේ තමයි තමන්ගෙ දරු පැටියට ආදරේ පුරවපු කිරි බඩක් පුරවන එක. ඒත් සමහර අම්මලට තමන්ගෙම නොදැනුවත්කම නිසා මේ අවස්ථාව මුල් දවස් කීපයේ මගෑරෙනව. 

මේ කියන්න හදන්නේ දරුවෙක් වෙනුවෙන් කිරි දෙන්න කලින් තමන්ගේ පියවුරු සූදානම් කරගන්නේ කොහොමද කියන එක ගැන.  

💙 සාමාන්‍යයෙන් මාස අට සම්පූර්ණ වුනාට පස්සෙ ගැබිණි මවකට කිරි එරෙන්න පටන් ගන්නව. මුලින්ම වතුර වගේ  ඇවිත් දරු ප්‍රසූතියෙන් පස්සෙ රන්පාට ස්‍රාවයක් විදියට එනව. සමහර විට අවර්ණ වෙන්නත් පුලුවන්. මේකට කියන්නෙ කොලෙස්ට්‍රම් එහෙමත් නැත්තම් රන් කිරි. ශරීරයට අවශ්‍ය  ඇමයිනෝ අම්ල 10 කින් සමන්විත මේ රන්කිරි , ප්‍රෝටීන අධික ආහාරයක්. ඒ වගේම විශබීජ නාශක ගුණයෙනුත් යුක්තයි. 

💙 ඉතින් මේ රන්කිරි අපේම නොදැනුවත්කම නිසා දරුවන්ට දෙන්න බැරිවෙන තැන් එනව,  ඒ නිසා මේ කියන විදිය මගින් ඒ තත්වය සමනය කරගන්න පුලුවන්. 

🧡 මූලිකම අංගය පිරිසිඳු කම. ගැබිණි සමයේ අවසන් දින ටිකේදී , රාත්‍රී ඇඟපත සෝදනකොට කරන්න පුලුවන් දෙයක් තමයි මේ.  පියයුරු තුඩ ( නිපල් එක ) හොදට සෝදන්න ඕනෙ. ඇඟිලි තුඩු වලින් මේ නිපල් එක අල්ලල ඉදිරියට කරාම අපිට පේනවා ඒ මත කලු පාට කබොල්ලක් වගේ තියනව. මෙන්න මේ කබොල්ල නිසා ක්ශීර නාල වැහිල තියෙන්නෙ. මේක හොඳට පිරිසිඳු කරන්න ඕනෙ. එතකොට අපිට පේනවා පුංචි ඉඳිකටු හිල් වගේ මේ ක්ශීර නාල. 

🧡. දැන් මේ පිරිසිඳු කරගත්තු පියයුරු වල පියයුරු තුඩ ඇඟිලි දෙකෙන් අල්ලල ඉදිරියට අදින්න ඕනෙ. එතකොට තමයි දරුවට උරන්න ලේසි වෙන්නෙ. මෙහෙම ටික දවසක් කරනකොට ඉබේටම නිපල් එක හැදෙනව දරුවට කිරි බොන්න පහසු විදියට. 

🧡 ඒ වගේම කිරි එරෙනකොට පියයුරු වේදනාවයි. මේ වගේ වෙලාවට පියයුරු මද රස්නෙ වතුරෙන් තවල කිරි ටිකක් දොවල අහක් කරාම සනීපයි. දරුවට කිරි මදිවෙයි වගේ හිතෙනවනම් මේ දොවන කිරි බෝතලේකට දාල පස්සෙ දරුවට දෙන්නත් පුලුවන්. 

💚 ඒ වගේම කිරි දෙන සෑම අවස්ථාවකටම පෙර පියයුරු සේදීම හෝ පිරිසිඳු රෙදි කඩකින් ( තෙත්) පිසදැමීම නම් අනිවාර්යයෙන් කල යුතුයි. 

💚 තව දෙයක් තමයි , කිරි දෙනකොට මතක ඇතිව ( මුල් දිනවල) අමතර රෙදි කඩක් හතරට වගේ නවල ( පිරිසිඳු නැපි එකක් වුනත් කමක් නෑ ) එක් පියයුරකින් කිරි දෙද්දී අනෙකට තබාගත යුතුමයි.  මොකද දරුවා වේගෙන් කිරි උරනකොට අනෙක් පියයුරෙන් කිරි විදින්න ගන්නව ස්වල්ප වෙලාවකින්.  මෙහෙම රෙදි කඩක් තියාගත්තම ඒ විදින කිරි ඇඟපුරා බේරීම වලක්වාගන්න පුලුවන් 

💚 අනෙක පියයුරු දෙකෙන්ම කිරි දීමත් වැදගත්. ඒ වගේම නිදාගෙන කිරිදීම කරන්නත් එපා. හැම වෙලාවකම දරුවව අතට අරන් ආදරෙන් කතා කරන ගමන් කිරි දෙන එක වටිනව. එතනදි මව හා දරුවා අතර තියන සම්භන්ධය වර්ධනය වෙනවා. 

💜 ඔය පුංචි දේවල් වලට අමතරව ඔබ දන්න තවත් වැදගත් කරුණු තිබේනම් සඳහන් කරන්න. 

🖤 පියයුරු තුඩ ස්වභාවිකව ඇකිලිලා තියන අයට නිපල් පම්පර් කියල එකක් තියනව. ඒක භාවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. 

©️ප්‍රභානී තෙන්නකෝන්.